රාවය

ධීවර ඇමති මාළු හොරුන්ගේ සාක්කුවේද?

ධීවර ඇමති මාළු හොරුන්ගේ සාක්කුවේද?

රේඛා නිලුක්ෂි හේරත් / තරිඳු උඩුවරගෙදර

එක පාරක් මාස තුනකට විතරක් ට්‍රෝලර් කරන එක නැවැත්වුවා. මාසයක් යද්දී බලාගෙන ඉන්නකොට මාළු වැඩිවුණා. මාස දෙකක් යද්දී තමයි අපට තේරුණේ ට්‍රෝලර්වලින් කරන විනාශය. අපට වෙනදට කිලෝ එකක් අහුවෙන්න යන වෙලාව ඇතුළේ කිලෝ සීයක් අහුවෙන තත්ත්වෙට පත්වුණා. මම මේ බොරුවට කියනවා නෙවෙයි. ඒ තරම් අස්වැන්න. ඒත් මාස තුනකින් ට්‍රෝලර් පටන්ගත්තාම සති දෙක තුනක් යද්දී අර අස්වැන්න නැත්තට නැතිවුණා. කල්පිටියේ කළපුවේ ට්‍රෝලර් කරන බෝට්ටු 23යි තියෙන්නේ. ඒවා ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙකුගේ. ධීවරයෝ දහදාහක් විතර ඉන්නවා. ආණ්ඩුවට ගණන් බෑ. එයාලාට 10,000ට වඩා 23 ලොකුයි.”
මේ කතාව කල්පිටියේ ෆ්‍රැන්සිස්, පල්ගහතුරේ දූපතේ ඩන්සන්, පූකුලම්හි අරුල්සාමි, ඒතාලෙයිවල අරහුමාන් ඇතුළු කල්පිටියේ කළපුව ආශ්‍රිතව අපට හමුවූ සියලු ධීවරයන් කී කතාවෙහි සමස්තයයි.
අප කල්පිටියට ගියේ ට්‍රෝලර් තහනම් කරමින් පාර්ලිමේන්තුවේ සම්මත වූ නීති ක්‍රියාත්මක වෙනවාදැයි බලන්නටය.

පනතක්
ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත මේ වනවිට පාර්ලිමේන්තුවේ සම්මත වී නීතිගත කර ඇත. එය පාර්ලිමේන්තුවේ සම්මත වුණේ පසුගිය ජුලි 6 වැනිදාය. ඒ පනතට අනුව ධීවරයන් විසින් මුහුදු පතුලේ ඇදගෙන යමින් කරනු ලබන ධීවර කටයුතු ලංකාවේ මුහුදු සීමාවේ සිදුකිරීම තහනම්ය. ආණ්ඩුවෙන් නොව එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මේ පනතෙහි ප්‍රධාන අරමුණ වුණේ ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු සීමාවේ සිදුකරනු ලබන ට්‍රෝලර් නැවැත්වීම සඳහාය. පනතට අනුව බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට වසර දෙකකට නොවැඩි සිරදඬුවමක් සහ රුපියල් පනස් දහසක අවම දඩ මුදලක් නියම කළ හැකිය.

එහෙත් මුහුදු පත්ලේ ට්‍රෝලර් තාක්ෂණයෙන් මසුන් අල්ලන්නේ ඉන්දියානු ධීවරයන් පමණක් නොවේ. ලංකාවේද මුහුදු පත්ලේ ට්‍රෝලින් කිරීමෙන් මසුන් අල්ලාගන්නා ධීවරයෝ සිටිති.
ට්‍රෝලින් කිරීම යනු මුහුදු පතුල දිගේ අතිදැවැන්ත රේක්කයක් ඇදගෙන යමින් එක්වන සියලු මුහුදු ජීවීන් සහ පැලෑටි එකතු කරගැනීමක් බඳුය. මුහුදු පතුල අතුගෑමක් බඳුය. පතුලේ සිටින මත්ස්‍ය පැටවුන්, මසුන්, මත්ස්‍ය බිත්තර, කැස්බෑවන් වැනි විවිධ මුහුදු ජීවීන් ඇතුළු සියලු දේ ට්‍රෝලින් දැලට එක්වෙයි. ඒ සියල්ලෙන් අලෙවිය සඳහා ගන්නේ වැඩුණු මසුන්, ඉස්සන් ඇතුළු මත්ස්‍ය නිෂ්පාදන පමණි. මුහුදු පැලෑටි, ජීවීන්, මත්ස්‍ය බිත්තර ඇතුළු බොහෝ දේ එක්කෝ ගොඩබිමේදී හෝ නැත්නම් මුහුදේදී යළි විසිකර දමයි. ගැටලුව එයයි. මුහුදු ජීවීන් සහ මුහුදු පත්ලේ පරිසරයට විශාල විනාශයක් මෙයින් වන අතර අනාගතයේ ධීවර කටයුතු සඳහා මසුන්ද විනාශ වීමට මුහුදු පත්ලේ ට්‍රෝලින් කිරීම හේතුවෙයි. මෙය වර්තමාන මත්ස්‍ය සම්පත පමණක් නොව අනාගත මත්ස්‍ය සම්පතද මහා පරිමාණයෙන් විනාශ කරන්නකි.

පල්ගහතුරෙයි
අප මුලින්ම ගියේ කල්පිටියේ, පල්ගහතුරෙයි දූපතටයි. එය මහා වනයකින් වටවුණු පුංචි ධීවර වරායකි. පල්ගහතුරෙයි වෙසෙන බොහෝ දෙනෙකුට කල්පිටියේ නිවාස ඇත. ඔවුහු පල්ගහතුරෙයිවලට පැමිණ පවුල් සමඟ පදිංචිවී රැකියාවෙහි යෙදෙති. නැවත වරින්වර නිවෙස්වලට යති. පල්ගහතුරෙයි දූපතේ ඔවුන් ජීවත්වෙන්නේ ඉතා පුංචි නිවාසවල දුක්ඛිත ලෙසය. ඔවුන්ට විදුලිබලය නැත. කල්පිටියේ කළපුවට ඇතුල්වෙද්දීම ට්‍රෝලර් කරන යාත්‍රාවලට ආසන්නම දූපතකි පල්ගහතුරෙයි.
ඩන්සන් එහි ධීවරයන් අතර නායකයායි.
“අපි හැමෝම සල්ලි වියදම් කරගෙන මේ කළපුවේ මාළු අල්ලනවා. අපි දූපත්වල සල්ලි වියදම් කරගෙන දුක් විඳගෙන ඉන්නවා. ඒත් අන්තිමේදී අපට අයිති මාළු ලොකු ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් හොරකම් කරගන්නවා. රජයෙන් අපට කියලා තියෙනවා මාළු පැටව් අල්ලන්න එපා කියලා. ඒත් එයාලා මාළු පැටව් අල්ලනවා. ට්‍රෝලර් එකට මාළු පැටව්, ලොකු මාළු කියලා වෙනසක් නෑ. ඉස්සොත් එහෙම තමයි. සාමාන්‍යයෙන් උදේ හවසට විතර එයාලා ට්‍රෝලර් කරන්න පටන්ගත්තොත් හවසට තමයි නවත්වන්නේ. කවුරුත් විරුද්ධ වෙන්නේ නෑ” ඔහු කියයි.

ඇහුම්කන් දෙන්නෙ නෑ
ඩන්සන්ලා මේ ප්‍රශ්නය ගැන කියන්නට ධීවර අමාත්‍යාංශයට ගොස් ඇති වාර ගණන අනන්තය. අමාත්‍යාංශය කිසිසේත්ම ධීවරයන්ට ඇහුම්කන් දෙන්නේ නැත.
“අපි ට්‍රෝලර් නිසා සිදුවෙන හානිය වීඩියෝ කරලා ඒවා සීඩී එකක දාලා ධීවර ඇමතිතුමාට ගිහින් දුන්නා. ලියුම් දුන්නා. දැන් අවුරුදු තුනක් තිස්සේ අපි වරින්වර රුපියල් දහපහළොස්දාහ වියදම් කරගෙන යනවා ඔය වැඬේට විතරක්. ළඟදීත් ගිහින් අතිරේක ලේකම්තුමාට ලියුමක් දුන්නා. රුපියල් විසිදාහක් වියදම් කරගෙන ධීවර අමාත්‍යාංශෙට ගියේ. ගණන් ගන්නේ නැතිවම ඔන්න ඕක තියලා යන්න කිව්වා. තව පාරක් ගියා, කතාකරන්න ලැබුණේත් නෑ. එයාලාම සාකච්ඡාවකට කතාකරලා අපි ලොකු වියදමක් දරාගෙන ගියාම ඇමතිට වෙන වැඩක් වැටිලා කියලා සාකච්ඡාව කැන්සල් කරලා. අපි එළියේ ඉඳලා ආවා.”
බොහෝවිට ධීවර අමාත්‍යවරයා තමන් සමඟ සාකච්ඡාවලටවත් නොපැමිණෙන බවත් සාකච්ඡාවට පැමිණෙන නිලධාරීන් අඩු තරමේ ඔවුන්ට උනන්දුවෙන් ඇහුම්කන් දීමටවත් කටයුතු නොකරන බවත් ඔවුහු කියති.

ප්‍රසිද්ධියේම
ඇන්ටනි අල්මේදාත් ඩන්සන්ගේ කතාවට එකතුකිරීම් කළේය.
“එයාලා මේ කළපුවේ අල්ලන්නේ නැතිව මහමුහුදේ මාළු ඇල්ලුවා නම් කමක් නෑ. ඒත් කළපුවට වතුර එන දියවැලේම තමයි මෙයාලා ට්‍රෝලර් කරන්නේ. ඉතින් මෙහෙට එන මාළු පැටව් ඔක්කෝම ඒකට අහුවෙනවා.”
පල්ගහතුරෙයි, පූකුලම් ඇතුළු දූපත් ආශ්‍රිතව බෝට්ටුවක ගිය අපට ඉතා ළඟින්ම දකින්නට ලැබුණේ ට්‍රෝලින් කරන බෝට්ටු පෙළයි. ඒවා ප්‍රසිද්ධියේම ට්‍රෝලින්වල යෙදෙයි. මෙය හොරෙන් කරන නීති විරෝධී කටයුත්තක් නොවේ. ප්‍රසිද්ධියේම සිදුකරන්නකි. ඔය අතරේ අපට නාවික හමුදාවේ යාත්‍රා ඒ අසලින් යන අයුරුත් දකින්නට ලැබුණි. නාවික හමුදාවට මේවා පෙනෙන්නේ නැති සෙයකි. අප පල්ගහතුරෙයි දූපතට පැමිණි පසු දුවගෙන ආ නාවික හමුදා සෙබළු දෙදෙනෙක් අප ගැන දූපත්වාසීන්ගෙන් ප්‍රශ්න කරන්නට පටන්ගත්තෝය. මෝටර් බෝට්ටුවෙන් පැමිණි අප ගැන වහා සොයාබලන නාවික හමුදාව නීති විරෝධී ලෙස මසුන් අල්ලන්නවුන් ගැන අන්ධයන් මෙන් සිටියි. සාකච්ඡාවලදී නාවික හමුදාවේ පාර්ශ්වයෙන් කියන්නේ ඔවුන්ට ධීවර අමාත්‍යාංශය පැත්තෙන් නිසි උපදෙස් ලැබී නැති බවයි. උපදෙස් ලැබුණහොත් ඇල්ලීම අපහසු නැති බවද නාවික හමුදාව කියයි. අප සමඟ තතු දන්නෙකු කීවේ, කල්පිටියේ කළපුවේ ට්‍රෝලර් කරන්නවුන් නවත්වන්නට නාවික හමුදා සෙබළුන් පස්දෙනෙකු සහ යාත්‍රා දෙකක් හොඳින්ම ප්‍රමාණවත් බවයි. බෝට්ටු ඇත්තේ කිහිපයකි. ඒවාට ගොස් අත්අඩංගුවට ගැනීම පමණකි කරන්නට ඇත්තේ.

පූකුලම්
අප මෝටර් බෝට්ටුවකින් පූකුලම් දූපත වෙතද ගියෙමු. එය දූපතක්යැයි කීවත් එය ප්‍රධාන ගොඩබිම සමඟ සම්බන්ධයක් ඇත. පූකුලම් වෙත එන්නට ගොඩබිම් මාර්ග ඇත. ඒවා දුෂ්කරය. මුහුදෙන් යෑම පහසු නිසා එයට දූපතක්යැයි කියයි.
ඇන්ටනි පූකුලම්හි වෙසෙන ධීවරයෙකි. අරුල්සාමි සහ ඇන්ටනි ප්‍රමුඛව පූකුලමේ සිටි බොහෝදෙනෙක් අප සමඟ කතාකළෝය. ඒ කතාබහ දීර්ඝ එකකි.
“පූකුලමේ අපි මහා දුකක් විඳිනවා. ඒත් කාටවත් ගාණක් නෑ ඒ ගැන. අපට ගෙවල් ප්‍රශ්න තියෙනවා. පාසලක් නෑ ළමයින්ට. ඒ ප්‍රශ්නවලින් බොහොමයකට විසඳුම් ලැබෙන්නේ අපේ අතට ආදායමක් ආවා නම්. ආදායමක් නැත්තේ ට්‍රෝලින් නිසායි.” ඔවුහු කියති.
පූකුලම් කතාව විස්තර කරන්නට ගියොත් මේ ලිපිය තවත් දිගුවන නිසා ඒ කතාවට අපි ඉදිරි සතියකට තබාගත්තෙමු. කෙටියෙන් කිවයුත්තේ ඔවුන් අවම අවශ්‍යතා වන නිවෙස්, වැසිකිළි, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අවශ්‍යතාවන් සැපිරී නොමැති පිරිසක් බවයි. ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇති අපට දකින්නට ලැබුණු අසීරුම ජීවිත ගෙවන පිරිසකි ඔවුන්. ඒ සියල්ලට එහායින් ආර්ථික ගැටලු ඔවුන්ගේ අර්බුදය වී ඇත. මුහුදේ මාළු සිටිත් නම් ඔවුන්ට අන් කිසිවක් ඕනෑ නැත.

ඒතාලෙයි
ඒතාලෙයි කල්පිටිය අර්ධද්වීපයට යද්දී කල්පිටියට පෙර හමුවන ප්‍රදේශයයි. ඒතාලෙයි ආශ්‍රිත ධීවර වරායන් කිහිපයකටද අපි ගියෙමු. කපිල, මොහොමඞ් රහුමාන්, රංජිත් පුෂ්පකුමාර, සේවියර් ප්‍රනාන්දු, පෝල් ඇතුළු කණ්ඩායම අප සමඟ කතාබහකට එක්වුණේ එවන් ධීවර වරායකදීය. ඔවුන් සියලුදෙනාම ධීවර රැකියාව කරන්නේ අතිරේක රස්සාවක් ලෙසයි. මුහුදු යෑමට අමතරව ඔවුහු දැන් බයිසිකල් අලුත්වැඩියාව, පලතුරු කඩ ආදි රැකියාවල නිරතවෙති.
“ඉස්සර අපි මුහුදු ගිහින් ආවාම හවස් වරුව හරි නිදහස්. අපට හොඳ ආදායමක් ලැබුණා. ඉන් පස්සේ අපි හවස්වරුවේ එකතුවුණා. ගමේ වැඩ කළා. එකිනෙකා ගැන හොයලා බැලුවා. දැන් අපට එහෙම කරන්න විදියක් නෑ. හවස වැඩ ඇරිලා ඇවිත් ආයේ වැඩ කරනවා. ළමයින්ට උගන්වන්න, ජීවත්වෙන්න හරි අමාරුයි.” මොහොමඞ් රහුමාන් කියයි.
ඒතාලෙයි ප්‍රදේශයේ ඇති මේ ගම්මානයේ මුස්ලිම්, සිංහල, දෙමළ ජනතාව සම සමව වාගේ වෙසෙති.
“අපි නීති විරෝධී ධීවර ක්‍රම පාවිච්චි කරන්නේ නැති නිසා තමයි අපට ප්‍රශ්නය වෙලා තියෙන්නේ. තහනම් වැඩ කරන මිනිස්සු හොඳින් ඉන්නවා. පොලීසියවත්, නේවි එකවත් ඒවා අල්ලන්නේ නෑ.” ඔවුහු එසේ කියති.
“අපි ඉන්න ප්‍රදේශවලට වඩා ගොඩක් දුරින් තමයි ට්‍රෝලර් කරන්නේ. ඒ නිසා අපි වැඩිය ඒ ගැන දන්නෙ නැහැ.” කපිල එසේ කීවත් පසුව මොහොමඞ් රහුමාන් කීවේ තමන් ට්‍රෝලර්වලින් සිදුවන විනාශය දැක ඇති නිසා ඒ ගැන සුළුකොට තැකිය නොහැකි බවයි.
එසේ වුවත් ඔවුන්ට දෑසින්ම පෙනෙන විනාශය කරන්නේ ට්‍රෝලර් නොව කූරු දැල් වැනි තහනම් පන්න ධීවර ක්‍රමයි. ට්‍රෝලර් කරන්නේ කළපුවේ පිවිසුම පැත්තේය. ඒතාලෙයි සිට කිලෝමීටර් ගණනාවක් දුරින්ය. කූරු දැල් දාන්නේ ඊට වඩා ඔවුන්ට ළඟින්ය. ඔවුහු එහි විනාශය හොඳින් දකිති. කූරු දැලක් යනු මාළුන් අල්ලාගත හැකි උගුලකි. කූරු දැලටත් මත්ස්‍ය පැටවු සහ කුඩා ඉස්සෝ හසුවෙති. ඒ හසුවන මත්ස්‍ය පැටවුන් සහ ඉස්සන්ද නැවත විසිකර දමන්නේ ඒවා අලෙවි කළ නොහැකි නිසාය.

“දැන් මාළු පැටවුනුයි ඉස්සොයි මහ මුහුදෙ හැදෙනවා කියලා හිතමුකෝ. උන් මුලින්ම මුහුදේ ඉඳන් කළපුවට ඇතුල්වෙන දියවැල් හරස් කරගෙන ඉන්නේ ට්‍රෝලර්. ඒවායින් කොහොම හරි බේරිලා මාළුවෙක් ආවොත් උන්ව අල්ලගන්නවා කූරු දැල්. මේ දෙකෙන්ම බේරෙන මාළු ඩිංග තමයි අපට අහුවෙන්නේ.” රහුමාන් පැහැදිලි කරයි.
ඒතාලෙයිවලම තවත් ධීවර වරායකදී සංජීව සහ පැතුම් ඇතුළු පිරිස හමුවිය.
“ඉස්සර දිමු දසනායක ඇමතිතුමා ඉද්දී නම් එතුමා ඇවිල්ලා කූරු දැල් එහෙම අයින් කරනවා. ඒත් දැන් මෙහේ දේශපාලන නායකයොත් ඒවා බලන්නේ නෑ.” සංජීව කියයි.
“කිලෝ එකට ඉස්සෝ 35ක්වත් අහුවෙනකන් ඉස්සාට ලොකුවෙන්න දෙන්න ඕනෑ. එතකොට තමයි වටිනාකමක් එන්නේ. එතකොටයි මිනිස්සු ගන්නේ. ඒත් පුංචි ඉස්සෝ පැටව් කාලෙම විනාශ කරලා දානවා. උං ලොකු වුණා නම් ඊට වඩා ලොකු ආදායමක් එනවා. එතකොට රටට එන්න නියමිත ආදායම තමයි පුංචි කාලෙම අල්ලලා මේ මිනිස්සු විනාශ කරන්නේ. අපට හරියට අල්ලන්න පුළුවන් කියන්නේ අපට අඩුවට ඉස්සෝ, මාළු විකුණන්න පුළුවන්. ලංකාවෙ මිනිස්සුන්ට වැඩියෙන් ලැබෙනවා. අඩුවට ලැබෙනවා. මිනිස්සු වැඩියෙන් මාළු කනවා නම් ඒක රටේම පෝෂණයට හොඳ දෙයක්. ඒ නිසා එක විදියකට මේ නීති විරෝධී මාළු අල්ලන ක්‍රමවලින් කරන්නේ රටේම මිනිස්සුන්ට ලොකු විනාශයක්.”

කල්පිටිය
ඇන්සියස් මිරැන්ඩා, ප්‍රැන්සිස් ප්‍රනන්දු, රංජිත්, අරුන් සහ සිරිල් කල්පිටියේ ධීවර රස්සාවෙහි යෙදෙන්නෝය. ඔවුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද? අන් යමක් නොවේ. පෙර කී සියල්ලන්ටම ඇති ප්‍රශ්නයට ඔවුහුද මුහුණ දෙති.
කල්පිටියේ ධීවරයෝ ඉන්දීය ට්‍රෝලර් ප්‍රශ්නයත් පෙන්වාදුන්නෝය. කල්පිටියේ මෙවර අපේ අවධානයට ලක්වූ ප්‍රදේශවලට දැඩිව නොපෙනුණත් ලංකාවේ උතුරේ ධීවරයන්ට ඇති අනෙක් දැවැන්ත ප්‍රශ්නය ඉන්දීය ධීවර ප්‍රශ්නයයි.
“බත්තලංගුණ්ඩුව පෙනෙන මානයට ධීවරයෝ එනවා. නේවි එක ඒවා දකිනවා. නේවි එක දැන් ඒ අයව අල්ලන්නෙ නෑ. යන්න අරිනවා. හැබැයි අපට නීති දානවා ඒ පැත්තට යන්න එපා කියලා. නේවි එක ඉන්නේ අපෙන් එයාලට ආරක්ෂාව දෙන්න වගේ. පහුගිය කාලේ නේවි එක යමක් නොකරන හින්දා අපි එයාලාගේ දැල් ගැලෙව්වා. නේවි එකෙන් ඒවා කරන්නත් දෙන්නෙ නෑ. එක පාරක් මම ගණන් කළා බෝට්ටු 70ක් විතර.” ප්‍රැන්සිස් ප්‍රනාන්දු කීවේය.
දිනකට සිය ගණනක් ඉන්දීය බෝට්ටු කල්පිටිය, පුත්තලම ආශ්‍රිත ප්‍රදේශවලට පමණක් පැමිණෙයි.

නීතියට පෙනෙන දේවල්
නීතියට අතිවිශාල ට්‍රෝලර් බෝට්ටු පෙනෙන්නේ නැති බව ඇත්තය. එහෙත් තංගුස් දැලක් පාවිච්චි කරන ධීවරයෙකු වෙතොත් ඔහු නීතියට පෙනෙයි. අපට හමුවූ ධීවර වරායන් කිහිපයකම ධීවරයන් කියා තිබුණේ දිළිඳු ධීවරයන් බොහෝ දෙනෙක් අල්ලාගෙන උසාවි දමා ඇත්තේ තංගුස් දැල් පාවිච්චි කිරීම නිසා බවයි. ධීවරයන් පාවිච්චි කළ යුත්තේ නයිලෝන් දැල්ය. තංගුස් දැලේ ප්‍රශ්නය මුහුදු බිත්තර කැපීයෑම, මුහුදු පතුලේ තැන්පත් වුණොත් එය පරිසරයට හානියක් වීම ආදියයි. එහෙත් එය ට්‍රෝලර් හෝ කූරු දැල් නිසා සිදුවන විනාශයන් සමඟ ගතහොත් ඉතා සුළු විනාශයකි. දිළින්දන් කරන පුංචි විනාශය පෙනෙන නීතිය දිළින්දන් අත්අඩංගුවට ගෙන විශාල දඩ ගසන්නේ මහා පරිමාණයෙන් කරන විනාශයට නිදහසේ සිටින්නට ඉඩ හරිමිනි. මේ නිසාම දිළිඳු ධීවරයන්ට නීතිය ගැන විශ්වාසය නැතිවෙමින් පවතියි. බොහෝ සාමාන්‍ය ධීවරයන් ට්‍රෝලර් බෝට්ටුවල දවස් කුලියට රැකියාවට යන්නේත්, තහනම් පන්න ක්‍රමවලට යොමුවෙන්නේත් වෙන කරන්නට යමක් නැති නිසාය.

ධීවර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ මොන තරම් සාකච්ඡා කළත් පලක් වී නැත. ධීවර අමාත්‍යාංශයෙන් නාවික හමුදාවටත් නිසි උපදෙස් දී නැතැයි කියවෙයි. දැන් පනත හමස් පෙට්ටියේ වේලෙද්දී ධීවරයන් කුසගින්නේ මියැදෙන තත්ත්වයට වැටෙමින් පවතියි. ධීවරයන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන, පෝෂණ අවශ්‍යතා ටිකවත් සපුරාගන්නට බැරිව ඔවුන් සිටියි. ඒ සියල්ලට පෙර ට්‍රෝලර් 23ක් සහ කූරු දැල් පාවිච්චි කරන්නෝ කිහිපදෙනෙකි. සැබැවින්ම මේ සුළුතරය කරන්නේ අපේ මත්ස්‍ය සම්පත සොරාගැනීමකි. සාම්ප්‍රදායික ධීවරයන්ගේ ජීවිත සොරාගැනීමකි. පරිසර සම්පත සොරාකෑමකි. ඉතින් ඔවුන් මාළු හොරුන්ය. හොරු අල්ලන ආණ්ඩුවට මේ මහදවල් හොරකමේ යෙදෙන්නවුන් අල්ලන්නට බැරිවීම අභාග්‍යයකි.

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කල්පිටිය ඇතුළු ලංකාවේ විවිධ ප්‍රදේශවල ට්‍රෝලර් පාවිච්චි කරන ව්‍යාපාරිකයන්ගේ සාක්කුවේ සිටින බව අපට හමුවූ සියලු දෙනාගේම විශ්වාසයයි. අමාත්‍ය අමරවීර මාළු හොරුන්ගේ සාක්කුවේද?යි අපි නොදන්නෙමු. එසේ නොවේයැයි අනුමාන කරන්නෙමු. එසේ නොවන බව ඔප්පු කර පෙන්විය යුත්තේ මහින්ද අමරවීර අමාත්‍යවරයා ඇතුළු ධීවර අමාත්‍යාංශයයි. නීතිය ක්‍රියාත්මක කිරීමේ පදනම දැමිය යුත්තේ ඔවුන් විසිනි. අවංකබව පෙන්වන්නට ඇති එකම ක්‍රමය නීතිය ක්‍රියාත්මක කිරීමයි.
‘ධීවර’ බෝඞ් ලෑල්ල එල්ලාගෙන සිටින අමාත්‍යාංශයෙන් කන බොන මිනිසුන් ධීවරයන් බඩගින්නේ තැබීම තරම් පාපයක් නොමැති බව කියන්නෙමු. ධීවරයන්ටම අමාත්‍යාංශයත් ඇති රටක් වීත් රටේ නායකයාගේ විශ්වාසවන්තම ඇමතිවරයෙකු ධීවර ඇමතිවරයාව සිටියදීත් ධීවරයන් මෙතරම් පීඩාවිඳින බව කියන්නට සිදුවීම අවාසනාවකි.■