රාවය

ව්‍යවස්ථාව අපට ද්විතීයික කාරණයක් | වාසුදේව නානායක්කාර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

ව්‍යවස්ථාව  අපට ද්විතීයික කාරණයක් | වාසුදේව නානායක්කාර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

තරිඳු උඩුවරගෙදර

මේ දිනවල ප්‍රධාන ප්‍රශ්නය බවට ව්‍යවස්ථාව ගැන සංවාදය පත්වෙලා. ඒත් මෙතෙක් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සංවාදයේ ඉදිරියෙන් සිටි ඔබ ඒකට සම්බන්ධයක් නැත්තේ ඇයි?
ව්‍යවස්ථාවක් පිළිබඳ ප්‍රශ්නය ප්‍රධාන ප්‍රශ්නය බවට පත්කර තිබෙන්නේ ආණ්ඩුව විසින්. ඒක ආණ්ඩුවේ වුවමනාවක් අනුව කළ මෙහෙයුමක්. ඒ ගැන අපේ සම්මාදමක් නෑ. අපි මේ ආණ්ඩුවට ව්‍යවස්ථාවක් ගෙනඑන්න හෝ කෙටුම්පතක් ඇතිකරගන්න යෝජනා කරලා නෑ. ඒක ආණ්ඩුවේම අදහසක්. ආණ්ඩුව මේ ගැන එකඟත්වය ඇතිකරගෙන තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය එක්ක කියලායි අපට පෙනෙන්නේ. ඒ වාගේම විදේශීය කණ්ඩායම් එක්කත් එවැනි එකඟතාවක් ඇතිකරගෙන තියෙනවා ඇති. ඒ වාගේම අපට උපදෙස් දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් මෙබඳු උනන්දු කරවීමක් ආණ්ඩුවට කරනවාත් ඇති. නැත්නම් මේ රටේ මිනිස්සු විශාල ප්‍රමාණයක් නියෝජනය කරන අපි ව්‍යවස්ථා යෝජනාවක් ගැන පෙළඹවීමක් කරලා නැහැ.

ව්‍යවස්ථාව කියන්නේ ආණ්ඩු, විපක්ෂ භේදයකින් තොරව ගෙන ආ යුතු ජාතික මාතෘකාවක් නෙවෙයිද? ඇතැම්විට ව්‍යවස්ථා ක්‍රියාදාමයක ආණ්ඩුවටත් වඩා ජනතාවාදී ලෙස ක්‍රියාකරන්නත්, ඒවායේ ගෞරවය ලබාගන්නත් විපක්ෂයට අවස්ථාව වැඩියි නේද?
අපට දැන් තියෙන්නේ ව්‍යවස්ථාව සහ ආණ්ඩුව වෙන්කරලා ගන්න බැරි තත්ත්වයක්. මොකද මේ ආණ්ඩුව බලයට පත්වුණේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම හරහා. මේ ආණ්ඩුවට කිසිම ජනවරමක් නෑ තුනෙන් දෙකක බලයක් පවත්වාගෙන යන්න. ඒ නිසාම ව්‍යවස්ථාවක් ගෙනඑනවා වගේ බරපතළ කටයුත්තකට යෑමට ආණ්ඩුවට අයිතියක් නෑ. අනෙක ඡන්ද කල් දමන්න අයිතියකුත් නෑ. එකක් උපාය මාර්ගිකව තුනෙන් දෙකක බලයක් ගැනීමේ අරමුණෙන් අපේ ජනවරමෙන් පත්වුණ අයවත් ඒ පැත්තට එකතුකරගැනීම කියන කාරණය තුළ තමයි අපි මේක දකින්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුව පරාජය කිරීම පළමු ප්‍රමුඛත්වය හැටියට බාර අරගෙන තියෙනවා. හේතු රාශියක් තියෙනවා. මම කිව්ව බලයට පත්වුණ ආකාරය පිළිබඳ කාරණය විතරක් නෙවෙයි, ඉන්පසුව කටයුතු කළ ආකාරයත් මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවට සංඥාවක්. හැබැයි ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදය අනුවයි එක කළයුත්තේ. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයකට නෙවෙයි බලයට පත්වුණේ. ඒක ඉවත්කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් ඔස්සේ ගමන් කරන්න ඕනෑ. ඊළඟට පළාත් පාලන ඡන්දය එනවා. ඒකෙදී විශාල ජනවරමක් අරගෙන ආණ්ඩුවට සංඥාවක් දෙන එක තමයි අපේ පළමු ප්‍රමුඛත්වය. ව්‍යවස්ථාව අපට ද්විතීයික කාරණයක්.

ව්‍යවස්ථාව ඉදිරියට තල්ලුකළොත් අර්බුදයට යන්නේ ආණ්ඩුවම බව පෙනෙනවා. මොකද ආණ්ඩුව ඇතුළේත් එකඟතාවක් නැහැ. ඒ නිසා විපක්ෂයට ඒ කොඩිය අතට ගන්න පුළුවන් නේද?
මෙහෙයුම් කමිටු වාර්තාව අදහස් අතින් විවිධ බව ඇත්ත. එජාපය තම අදහස් ඉදිරිපත් කරලා නෑ. හැබැයි මේක යන්නේ ටිකක් කෛරාටික ක්‍රමයකට. කෙළින්ම තමන්ගේ යෝජනා ඉදිරිපත් කරලා ඒකට ප්‍රතිවිරුද්ධ යෝජනා අරගෙන පියවරෙන් පියවර යනවාට වඩා එක එක විදියේ අදහස් ඉදිරිපත් කරලා කෙටුම්පත් කරද්දී කුමන දේවල් කරයිද කියලා අපි දන්නේ නෑ, ශ්‍රීලනිපය වෙනස් අදහස් දක්වලා තියෙනවා අතුරු වාර්තාවට. ඒ වුණත් යම් ආකාරයකට අවසාන මොහොතට යනකොට ඔය කියන වෙනස්කම් යම් ආකාරයකට සමනය කරගෙන පියවර ගන්න ඉඩ තියෙනවා කියලායි අනෙක් පැත්තෙන් පෙනෙන්න තියෙන්නේ. දැනට ලොකු විවාදයක් තියෙන බව පෙන්වලා අපව එකතුකරගෙන අන්තිමේදී තුනෙන් දෙකක බලය පාවිච්චි කරලා, එකඟතාවයෙන් එයාලාට ගැළපෙන දෙයක් කරයි.

ඡන්දයට ඉදිරිපත් වීම ප්‍රමුඛ කාරණය කියලා ඔබ කිව්වා. ඡන්දයට ඔබේ කණ්ඩායම ඉදිරිපත් වෙන්නේ කොහොමද? අවසන් එකඟතාවක් තියෙනවාද?
ඒවා තවම සාකච්ඡාවට භාජනය වෙමින් තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය එක්තරා නමක් තීන්දු කරලා ඒ නමෙන් සහ ලකුණකින් ඡන්දය ඉල්ලන්න එකතුවෙන්න ඉඩ තියෙනවා. ලකුණ දැනට තියෙන පොහොට්ටුව වෙන්නට හෝ වෙනත් නමකින් ඡන්දයට යන්නත් ඉඩ තියෙනවා. කොහොමත් පක්ෂ අතරින් සාකච්ඡා යමින් තියෙනවා. ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සමඟ අපේ පක්ෂයත් සාකච්ඡාවල ඉන්නවා. එසේ වුණත් ඒ සාකච්ඡා තවම අවසන් නැති නිසා ඒවා ගැන කතාකරන්නට ටිකක් අපහසුයි.

එකල පැරණි වාමාංශික පක්ෂ 1978 ව්‍යවස්ථාව පැමිණි අවස්ථාවේදී ලොකු විරෝධයක් දැක්වූවා. දැන් නෙවෙයි, එදාම ඒක අහෝසි කළ යුතු බව කිව්වා. මෑතක් වන තුරුම පැරණි වාමාංශික ප්‍රශ්නවලට තිබුණු ප්‍රමුඛ ප්‍රශ්නය ව්‍යවස්ථාව. ඒ ප්‍රමුඛත්වය වෙනුවට වෙනත් අරමුණු ඉදිරියට ආවේ කොහොමද? ඔබේ කණ්ඩායමේ ඉන්න අනෙක් අය මෙන්ම ඔබත් මේ පවතින ව්‍යවස්ථාව හොඳයි කියලා හිතනවාද?
නැහැ. මම කියන්නේ මේ ව්‍යවස්ථාව රටට ගැළපෙන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තු ක්‍රමයකට යන්න ඕනෑ. ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. දහතුන්වැනි සංශෝධනය ගැන කල්පනා කරලා වෙනසක් කරන්න ඕනෑ.

දැන් ව්‍යවස්ථා සංවාදයේ තියෙන්නේත් ඔබ කිව්ව කාරණා ටිකම නේද?
ව්‍යවස්ථාවේ අදහස් උදහස්, යෝජනා ඒ විදියට තියෙනවා. අපි අපේක්ෂා කළ වෙනස්කම් ඇතිකිරීමට අපට තියෙන වුවමනාව නැතිවෙලා නෙවෙයි. ඊට වඩා බරපතළ විදියට ආණ්ඩුව පරාජය කිරීමේ වුවමනාවට අපව යොමුවෙලා තියෙනවා.

මේ ආණ්ඩුව පරාජය කරලා රාජපක්ෂලා ප්‍රමුඛ බලවේග යළි බලයට පත්වුණොත් මේ සංශෝධන කළ හැකිවේවි කියලා සහතිකයක් තියෙනවාද? ආණ්ඩුවේ හිටපු කාලේ මේ දේවල් කරන්න නොහැකිවීම ගැන පසුතැවීමක් හෝ ඉදිරියේදී ඒවා කරන්න බලාපොරොත්තුවක් ඔවුන්ගේ තිබෙන බව පෙනෙනවාද?
මම හිතන්නේ අපට ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙලා තියෙනවානම්ථ අපි ආණ්ඩුවක් හදන්නේ මේ රටේ දේශපාලන, ආර්ථික සමාජ ගැටලුවලට විසඳුම් හොයන්නයි. අපට තියෙන ප්‍රධාන කාරණය විදියට අපි දකින්නේ අධිරාජ්‍යවාදී බලවේගවලින් පුළුවන් තරම් මේ රට නිදහස් කරගන්න එක. අනෙක් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් මේ රට පුළුවන් තරම් ඉදිරියට ගෙනයන්න ඕනෑ. ජාතික එක්සත්කම ඇතිකරගන්න ඕනෑ. ඒ සඳහා ගතයුතු පියවර අප ඉදිරියේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම කියන්නේ ඡන්ද ක්‍රමය විතරක් නෙවෙයි. අපේ රටේ ඉතිරිවී තියෙන වැඩවසම් ලක්ෂණ නැතිකරන්න ඕනෑ. ඒ වගේම අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම්වලට මේ රටේ හොල්මන් කිරීමට ඉඩ නොදෙන පියවර ගන්න ඕනෑ. අනෙක ජාතික එක්සත්කම ඇතිකිරීම ප්‍රධානම කාරණයක්. ජාතික එක්සත්කමට ප්‍රධානම බාධාව අධිරාජ්‍යවාදීන්ගේ ඇඟිලි ගැසීම්. අධිරාජ්‍යවාදීන් අනුබල දෙනවා, උතුරු නැගෙනහිර දේශපාලන නායකත්වයට ඔවුන්ගේම ප්‍රාන්තයක් නිජභූමි සංකල්පයෙන් ලබාගැනීමේ අරමුණක් ඇතිකරගන්න. ඒකෙන් ජාතික සංකල්පය දුර්වල වෙනවා. ඒක තමයි දෙමළ ජාතික දේශපාලනයේ අධිනිශ්චය වෙලා තියෙන ප්‍රතිපත්තිය. ඒ නිසා අද අපට ජාතික එක්සත්කම ඇතිකරගන්න අමාරුවෙලා තියෙනවා. අපි මේකට අලුත් ප්‍රවේශයන් හොයාගන්න ඕනෑ. අලුත් මාර්ග හොයාගන්න ඕනෑ. වෙනම පාලන ප්‍රදේශයක වෙනම භූමි ප්‍රදේශයක් වෙන් කරගත්ත වෙනම පැවැත්මක් කියන අදහසෙන් තොරව වෙනසක් කරන්න ඕනෑ. අපි බලන්න ඕනෑ පළාත් සභා ක්‍රියාකාරීත්වය මීට වඩා ප්‍රජාතන්ත්‍රීය, අර්ථවත් එකක් කරන්නේ කොහොමද කියලා. ඒකට තියෙන බාධා මොනවාද කියලා බලන්න ඕනෑ. පළාත් සභාවලට තව තවත් ඉඩපහසුකම් ලබාදෙන අතරේ ඒකීයභාවය රැකගන්නේ කොහොමද කියන කාරණය ගැන බලන්න ඕනෑ. මේ කතාව එක රැයකින් ඉවරකරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දිගට යන ක්‍රියාමාර්ගයක් හැටියට මේක කරන්න ඕනෑ. අධිරාජ්‍යවාදී ඉගැන්වීම්, අනුබලදීම්වලින් දෙමළ ජනතාව අතර වැරදි අදහස් ඇතිවීම තමයි ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

ජාතික එක්සත්භාවයට අධිරාජ්‍යවාදීන්ගේ බාධාවන් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි දේශීය නායකයන්ට වුවමනාවක් නැතිකම ජාතික එක්සත්භාවයක් ඇති නොවෙන්න බලපාන විශාලම ප්‍රශ්නයක් බව පෙනෙන්නෙ නැද්ද?
ඒ අයට වුවමනාව නැතිකම නෙවෙයි. මේ රටේ ප්‍රධාන කර්තව්‍යයන් කිහිපයක් තියෙනවා. ඒවා තමයි මම කිව්වෙ. මේ කටයුතු කරන්න වුවමනායි. හැබැයි මෙතැන බහුතර ජනතා බලය ගැන හිතන්න ඕනෑ. මම කියන්නෙ සිංහලේවාදීන් ගැන නෙවෙයි. එයාලාට ඕනෑ සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන්න. මම කියන්නේ බහුතර සිංහල ජනතාව. ඔවුන් කියන්නේ රට බෙදීමට ඉඩකඩක් නොතබා අහුරමු කියලා විතරයි. ඒ හරහා එක්සත්කමට මාවතක් පාදාගන්න ඔවුන් කැමතියි. විග්නේශ්වරන් උතුරු පළාතේ මහඇමති වුණා. එතෙක් එල්එල්ආර්සී, පරණගම කොමිසම වගේ ඒවා බලන්න. ඒවා ක්‍රියාත්මක කරන්න එකල ආණ්ඩුවක් හැටියට උනන්දුවක් තිබුණා. පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද අපි පැවැත්වුවා එල්ටීටීඊයට බලය යන බව දැනදැන. හමුදාවෙන් අයුතු බලපෑමක් එන එක අපි වැළැක්වුවා. ඒ සියල්ල කළේ එක්සත්කමේ අරමුණෙන්. ඡන්දයෙන් පස්සේ විග්නේශ්වරන් මහඇමතිවරයා ජනාධිපතිවරයාව හමුවෙන්න අරලියගහ මන්දිරයට ආවා. මමත් එතැන හිටියා. දිවුරුම්දීලා විග්නේශ්වරන් මහතා ඉල්ලීමක් කළා ආණ්ඩුකාරවරයා හැටියට ඉන්න හමුදා නායකයා වෙනුවට සිවිල් පුද්ගලයෙක් දෙන්න කියලා. ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එකහෙළා එකඟවුණා. විග්නේශ්වරන් ආණ්ඩුකාරවරයාගේ බලය අඩුකරන්න කියලා ඉල්ලුවේ නෑ, කොහොමවුණත් ඒක කෙරුණෙ නැති බව ඇත්ත.

ඒවා නොකළේ සිංහල බෞද්ධ ජාතිකවාදී මතය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව නිසා නෙවෙයිද?
මෙතැන බලපෑම් දෙකක් තියෙනවා. දෙමළ ජනතාවගේ පැත්තෙන් ඉල්ලන හැම ඉල්ලීමක්ම ඒ විදියටම ඉටුකරන්නට යෑම අනතුරුදායකයි. එහෙම වුණොත් ඔවුන් වෙන්ව යෑමේ පැත්ත වැඩිවෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ හොඳ රාමුවක මේ පළාත් සභා පවත්වාගෙන යෑමයි. මෙවැනි අදහසක ඉන්න අය ඉන්නවා. ඒ අදහස යුක්තිසහගත වීමට හේතුවෙන දෙමළ කණ්ඩායම් ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයේ වගේම ඩයස්පෝරාවේත් ඉන්නවා. එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ අදහස යුක්තිසහගත කරනවා. ඒ නිසා දෙමළ ජනතාවගේ පැත්තෙන් වගේම අපේ පැත්තෙනුත් එකිනෙකාට සේවය කරගන්න අය ඉන්නවා. අපි කරන්න තියෙන්නේ ඒ අයට ඉඩ නොදී මධ්‍යස්ථ අදහස් දරන අය පුළුල් එකඟතාවක් හදාගන්න. මහඇමතිවරයාට පුළුවන් ප්‍රායෝගිකව ආණ්ඩුකාරවරයා එක්ක සහයෝගයෙන් වැඩකරන්න. ආණ්ඩුකාරවරයාට පුළුවන් තමන්ගේ බලය අත්‍යවශ්‍ය මොහොතකදී හැර පාවිච්චි නොකර ඉන්න. ඒක සම්ප්‍රදායක් බවට හරවාගන්න ඕනෑ. හැබැයි අර හාර්ඞ්ලයින් කට්ටිය එක්ක අමාරුයි. මේ ආණ්ඩුව ආවාට පස්සේ උතුරට සිවිල් ආණ්ඩුකාරවරයෙක් දුන්නානේ. ඒකට විරුද්ධ අය ඉන්නවා. හැබැයි අපි කරන්න ඕනෑ ඒක. ඒ කාලයේ පොරොන්දු වුණ දෙයක් ඒක. අපි තේරුම්ගන්න ඕනෑ කොටස් තුනක් ඉන්නවා. අපි අතරේ හාර්ඞ්ලයින් කට්ටිය ඉන්නවා. ඔවුන් අතරේත් එහෙම අය ඉන්නවා. අපි යන්න ඕනෑ එකඟත්වයට. ඒක ලේසි නැහැ. එක් පැත්තක් දකින මධ්‍යය නෙවෙයි තව පැත්තක් දකින මධ්‍යය තියෙන්නේ. ඒ නිසා එකඟත්වයෙන් වැඩකරන එක ඉතා අසීරු හෙමින් කළයුතු දෙයක්.

ඒකාබද්ධ විපක්ෂය සමඟ ඉන්න මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කියලා තිබුණා ව්‍යවස්ථාවක් ඉල්ලන අයව මරලා දාන්න ඕනෑ කියලා. ඒ අයත් එක්ක ඉන්න ආණ්ඩුවකට ඔය දේවල් කරන්න පුළුවන්ද?
මම කිව්වේ හාර්ඞ්ලයින් කට්ටිය තමයි ඒ. එහෙම අය අසූඅට අසූනවය කාලයේත් හිටියානේ. දහතුන්වැනි සංශෝධනය දේශද්‍රෝහී එකක්, ඒ නිසා දහතුනට පක්ෂ අයව මරන්න ඕනෑ කියලා කිව්වා. විජයවත් මැරුවා, අපේ අයවත් මැරුවා. දහස් ගාණක් මැරුවා. අද ජේවීපිය ගන්න ස්ථාවරය කුමක්ද කියන එක වෙන කාරණයක්. ඉතින් ඒ වගේ හාර්ඞ්ලයින් අය ඉන්නවා. ඒ වගේ අයගෙන් සමාජය විනිර්මුක්ත වෙන්නේ නෑ. හැබැයි එහෙම ඉඳිද්දී බහුතර මතය එකඟත්වයක් හොයාගන්න ඕනෑ. බහුතරය කිව්වාම එක් ජනවර්ගයක නෙවෙයි, හැම ජනවර්ගයකම බහුතර මතය. මේක අමාරු වැඩක්. ඒකට හේතුව අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම්. ඒකට විරුද්ධ වෙන, අධිරාජ්‍ය විරෝධි දෙමළ ජනවාර්ගික ජනමතයක් මතුවී ආවොත් දැනට තියෙන ප්‍රශ්නය ලිහිල් වේවි. අධිරාජ්‍ය විරෝධි දෙමළ ජාතික දේශපාලන ක්‍රියාදාමය බලවත් වෙන තරමට මේ කාරණය ලිහිල් වෙනවා.

දහතුන්වැනි සංශෝධනය ආ වෙලාවේ ඔබ ජේආර් ජයවර්ධන ආණ්ඩුව කාලයේ වුණත් සංශෝධනය ප්‍රමුඛ ප්‍රශ්නයක් විදියට සැලකුවා. එහෙත් අද ආණ්ඩුව පරාජය කිරීම ප්‍රමුඛ ප්‍රශ්නය වෙලා. ඒ ඇයි?
ඒක යුද්ධයක් තිබුණු වෙලාවක්. ඒ නිසා අපි ඒ වෙලාවේ ඒකට ප්‍රමුඛත්වය දුන්නා. දැන් එහෙම යුදමය පසුබිමක් නෑ. ඒ නිසා අපි ප්‍රමුඛත්වය දෙන්නේ ආණ්ඩුව පරාජය කිරීමට. අපි එදත් ජේආර් ජයවර්ධන ආණ්ඩුවට එරෙහිව වැඩකළා. වැඩ වර්ජන කළා. එදා ආණ්ඩුවට එරෙහි වැඩ කරන අතරේයි අපි දහතුන්වැනි සංශෝධනය වෙනුවෙන් පෙනීහිටියේ. දහතුන වෙනුවෙන් පෙනීහිටියා කියලා අපේ ආණ්ඩු විරෝධී සටන දුර්වල වුණේ නැහැ.

ඒකම තමයි අපිත් කියන්නේ. ඔබ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනීහිටියාට ආණ්ඩු විරෝධී සටන දුර්වල වෙන්නෙ නැහැනේ. අදත් ආණ්ඩුවට එරෙහිව වැඩ කරන අතරේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනීඉන්න බැරිද?
මම කිව්වා වගේ එදා සන්නද්ධ අරගලයක මුල හිටියේ. සිංහලේ බලයක් එදා තිබුණා. ආණ්ඩුවේ සහයෝගයක් ඇතිව. එදා හදිසි අවශ්‍යතාවය සලකලා වමේ පක්ෂ දහතුන්වැනි සංශෝධනයට මුල් තැන දුන්නා. හැබැයි අද එහෙම තත්ත්වයක් නෑ. අද බරපතළ පසුබිමක් නැහැ මේකට. ඒ නිසායි අපි කියන්නේ හෙමීට, ඉවසිලිවන්තව ඒවා කරන්න ඕනෑ කියලා. ඒ වෙනුවෙන් අපට වැඩපිළිවෙළක් අවශ්‍යයි.■