රාවය

භාෂාවකට සීමාවුණු පාසල් මගින් අන්‍ය සංස්කෘතීන් තේරුම්ගැනීමේ ශක්‍යතාව ලබාදෙන්නේ නෑ |මහාචාර්ය සිරි හෙට්ටිගේ

භාෂාවකට සීමාවුණු පාසල් මගින්  අන්‍ය සංස්කෘතීන් තේරුම්ගැනීමේ  ශක්‍යතාව ලබාදෙන්නේ නෑ |මහාචාර්ය සිරි හෙට්ටිගේ

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

රටක සමාජ දේශපාලනික ආස්ථානයට සහ පුරවැසි භාවිතාවට අධ්‍යාපනය කියන සාධකය කොච්චර බලපානවාද?
අධ්‍යාපනය හා ප්‍රජාතන්ත්‍රවාදයත් අධ්‍යාපනය හා පුරවැසිභාවයත් අතර තියෙන සම්බන්ධය පිළිබඳ විවිධ දාර්ශනිකයෝ සෑහෙන කාලයක ඉඳන් සාකච්ඡා කරනවා. එක්දහස් නවසිය දහසයේ විතර ජෝන් ඩිවේ කියන දාර්ශනිකයා විසින් ලියපු අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන පොත මේ පිළිබඳව සෑහෙන වැදගත් කරුණු ඉදිරිපත් වෙන එක වැදගත් කෘතියක්.
වර්තමාන ලංකා සමාජය ගත්තාම, අපි ප්‍රධාන වශයෙන් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ යම් යම් කුසලතා වර්ධනය කරගෙන ඒකෙන් රස්සාවක් අරන් ජීවත් වෙන එකනෙ. අධ්‍යාපනය ඊට වඩා පුළුල් අරමුණක් සහිත දෙයක් බවත් එය හුදු ජීවන මාර්ගයක් සඳහා තියෙන පාරක් විතරක් නොවන බවත් මේ අය පෙන්වා දෙනවා. යම් සමාජයක ජීවත් වන මිනිස්සු කොයි විදිහටද තමන් ජීවත්වන පරිසරයට හැඩ ගැහෙන්නේ. සමාජයේ ජීවත් වන විවිධ පිරිස් සමග සමග ගනුදෙනු කරන්නේ සහ කොහොමද එකිනෙකා තේරුම් ගන්නේ, රාජ්‍යයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ, පොදු ප්‍රශ්න කළමනාකරණය කිරීම සඳහා කොහොමද දායක වෙන්නේ වගේ බොහෝ කාරණයන් පිළිබඳ ව අධ්‍යාපනය බැඳිලා තියෙනවා. ඒ වගේ ම නව නිර්මාණ සහ අදහස් බිහිකිරීම සම්බන්ධයෙන් ද අධ්‍යාපනය සතුව විශාල කාර්යභාරයක් තියෙනවා.

ඒ නොහැකියාව යටත්විජිත අධ්‍යාපන රාමුවෙන්ම අපිට ලබා දුන්නක්ද නැතිනම් පසුකාලීනව අපි ගොඩනගාගත් ක්‍රමවේදයන්හි ඵලයක්ද?
බි්‍රතාන්‍ය යුගයේ අධ්‍යාපනය ගත්තාම, ඒ යුගයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබුණා. මොකද සාමාන්‍ය මිනිසකුට අධ්‍යාපනය ලබාගැනීමට හැකි ක්‍රමයක් ඒ යුගයේ තිබුණෙ නෑ. හොඳ අධ්‍යාපනයක් ලබාගැනීම සහ උසස් අධ්‍යාපන වරප්‍රසාද හිමි වුණේ වරප්‍රසාද ලත් ඉතාම සුළු පිරිසකට විතරයි.
ඒ විතරක් නෙමෙයි මේ හේතුවෙන් දේශීය ප්‍රභූ පංතියක් බිහිවුණාට පස්සෙ ඒ අය ලංකාව තුළ තමන්ට ම ආවේණික වූ අධ්‍යාපනික ආයතන බිහිකරගන්න පටන්ගන්නවා. මොකද බි්‍රතාන්‍ය යුගය තුළ බොහෝ අධ්‍යාපනික ආයතන පල්ලිය ආශ්‍රිතවනෙ බිහිවෙන්නෙ. ඉතිං එහෙම වෙද්දි මේ දේශීය ප්‍රභූ පංතිය ඊට සමගාමීව තමන්ගේ පාසල් නිර්මාණය කරන්න ගන්නවා. නුවර, කොළඹ, ගාල්ල, මාතර, යාපනය වගේ හැම නගරයකම මේවා බිහිවෙනවා. නමුත් ඒ පාසල් තුළින් ලාකාවේ අධ්‍යාපනය තුළ තිබුණ ගැටලුව විසඳුණේ නෑ. ඒ වෙනුවට උනේ නාගරික ප්‍රභූ පන්තිය සහ ග්‍රාමීය ජනතාව අතර තිබුණ පරතරය තවදුරටත් වැඩි වුණ එක විතරයි.

නිදහස් අධ්‍යාපනය පිළිබඳ කන්නන්ගර ප්‍රතිසංස්කරණ විසින් අමතන්න උත්සාහ කළේ මේ ආකාරයේ ගැටලු නේද?
ඔව්. නිදහස් අධ්‍යාපනික සංකල්ප හඳුන්වා දීම තුළින් මේ ප්‍රශ්නයට විතරක් නෙමෙයි තවත් ප්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තු වුණා. විශේෂයෙන් මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න හැකියාවල් තියෙන තරුණ තරුණියන්ට ඒ ප්‍රදේශවලම හොඳ අධ්‍යාපනය ලබන්න අවස්ථාව උදා වුණා.
ස්වභාෂා අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට ද යොමු කරන ආකාරයේ වැඩ පිළිවෙළක් ඒ තුළ තිබුණා. ඒ අනුව රටේ ගොඩනැගිලා තිබුණ භාෂාව පිළිබඳ ප්‍රශ්නයටත් හොඳ විසඳුමක් ඒ මගින් ලැබුණා. ඒ වගේම සෑම විෂය ධාරාවක් ම පාහේ ඒ පාසල් තුළ ඉගැන් වූ නිසා විෂ්‍යයන් මත ඇතිවෙලා තිබුණු පරතරයත් ඒ මගින් අඩු කෙරුණා.
ඒ විදිහට සාර්ථකව ගමන් කළ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය භාෂා මාධ්‍ය වෙනස් කිරීම ආදි විවිධ හේතු නිසා ටික ටික පිරිහුණා. හැත්තෑගණන්වල අග ඉඳන් අසූ ගණන් වෙනකොට මධ්‍ය මහා විද්‍යාල කියන ඒවා කොන් වෙන තත්ත්වයකට වැටුණා. අද වන විට කවුරුත්ම මධ්‍ය මහා විද්‍යාල ගැන කතා කරන්නෙත් නෑනෙ. ඒ එක්කම ජනප්‍රිය ප්‍රභූ පාසල් කියන ඒවාට තිබුණු ආකර්ෂණය ආයෙම වැඩිවෙන්න ගත්තා.

ප්‍රභූ පාසල් නැවත ජනප්‍රිය වීම කියන එක නිදහස් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යටතේ තුලනය කෙරෙමින් තිබුණු භාෂා සංස්කෘතික සාම්‍යයත් සමාජමය පරතරයත් නිශේධනාත්මකව ආපස්සට හැරෙවෙන්න හේතුවක් වුණාද?
මේ අධ්‍යාපනික වෙනසත් එක්ක ප්‍රභූ පාසල් විතරක් නෙමෙයි සියලුම පාසල් විවිධාකාරයෙන් නැවත බෙදෙන්න පටන්ගත්තා. ඉන් එක ආකාරයක් තමයි භාෂා මාධ්‍යය යටතේ ආපසු බෙදීම. මධ්‍ය මහා විද්‍යාල සංකල්පය බිඳවැටීමෙන් පස්සෙ රටේ සියලුම පාසල් මේ විදිහට බෙදුණා. උදාහරණයක් විදිහට දකුණේ සියලුම පාහේ පාසල් සිංහල මාධ්‍ය පාසල් බවට පත් වුණා. ඊට අමතරව තැනින් තැන දෙමළ මාධ්‍ය පාසල් බිහි වුණා. ඊට අමතරව බොහෝමයක් පාසල් ආපහු ආගම් අනුව බෙදෙන්න පටන්ගත්තා.
උදාහරණයක් විදිහට දකුණේ බොහෝ පාසල් සිංහල බෞද්ධ පාසල් වුණා. යම් පාසලක් ආගමික අනන්‍යතාවක් මත ගොඩනැගෙද්දී ඒ මගින් බිහිවන ශිෂ්‍යයන් හැඩ ගැහෙන්නෙ එම රාමුව ඇතුළේ සුවිශේෂී අනන්‍යතාවට අනුව. ඒ වගේ අවස්ථාවක පොදු අනන්‍යතාවක් ලබාගැනීම සඳහා පාසල් අධ්‍යාපනය උදවු වෙන්නෙ නෑ. ඒ මගින් සිදු කරන්නේ ආගම් සහ භාෂා පාදක කරගෙන රට තුළ තියෙන බෙදීම් තවදුරටත් තීව්‍ර කරන එක. මොකද එක භාෂාවකට සීමා වුණු පාසල් මගින් අන්‍ය සංස්කෘතීන් තේරුම්ගැනීමේ ශක්‍යතාව ලබා දෙන්නෙ නෑ.
ඒ විදිහට ශ්‍රීලාංකීය අධ්‍යාපන පද්ධතිය වෙනස්වීම තුළ කන්නන්ගර නිදහස් අධ්‍යාපනයෙන් ඉටු කරන්නට ගිය පරමාර්ථ සම්පූර්ණයෙන් කණපිට හැරුණා. ඒ වෙනුවට ආපහු ගියේ යටත් විජිත ප්‍රභූ පාසල් ආකාරයේ බෙදීම් සහිත අධ්‍යාපන ක්‍රමයකට. නමුත් කලින් තිබූ තත්ත්වය එක්ක බලද්දී මෙතන ප්‍රධාන වෙනසකට තියෙන්නෙ භාෂා මාධ්‍යය කියන කරුණ අද කලින්ට වඩා ප්‍රධාන කාරණයක් බවට පත් වෙලා තියෙන එක. නමුත් ඊට අමතරව ජනවාර්ගිකත්වය හා ආගමත් ඒ එක්ක එකට එකතු වෙලා තියෙනවා. ඒ නිසා අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය දිගින් දිගට වර්ධනය වෙමින් තියෙනවා. දකුණේ විතරක් නෙමෙයි උතුරේ සහ නැගෙනහිර කියන හැම තැනකම.
ශිෂ්‍යයාට සංස්කෘතික අනන්‍යතා පවරාදීම, එහෙමත් නැතිනම් තම සංස්කෘතිය පිළිබඳව ඔහු දැනුවක් කිරීම කියන එක මූලික අධ්‍යාපනයේ එක වැදගත් අරමුණක් විදිහට ගන්න බැරිද?
සංස්කෘතික අනන්‍යතා ශිෂ්‍යයාට පවරාදීම කියන එක අවශ්‍යයි තමයි. නමුත් මේ ඇතුළේ හැමෝටම එකතු වෙන්න පුළුවන් පොදු දෙයක් තියෙන්නත් ඕනෑ. අපේ රටේ මේකේ විවිධ ජනවාර්ගික කණ්ඩායම් ඉන්නවා. ඔවුන් විවිධ භාෂා කතා කරනවා. විවිධ ආගම් අදහනවා. ඉතිං මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ මේ කියන ප්‍රාථමික වෙනස්කම් අබිබවා යන්න පුළුවන් පොදු අනන්‍යතාවක්, එහෙමත් නැතිනම් මේ සියල්ල හරහා යන්න පුළුවන් හැකියාවක් අධ්‍යාපන ක්‍රමය තුළින් ලබා දෙන්න ඕනෑ.
අපි සිංහල භාෂාවට හරි දෙමළ භාෂාවට හරි මොකක් හරි තනි භාෂාවකට විතරක් සීමා වුණොත් අපිට හැකියාව නැතිව යනවා අනික් භාෂාවලින් කියන දේවල් දැනගන්න. අනික් කෙනාගේ හැඟීම් තේරුම්ගන්න. ඒ වගේ මට්ටමක් තුළ අපේ ආගමුත් වෙනස් නම් ජාතියත් වෙනස් නම් වෙන පොදු දෙයක් නෑ එකතු වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට මේ රටේ ඇතිවුණ තරුණ කැරලි ගන්න. දකුණේ ඇතිවුණ කැරැලි පදනම් වුණු තරුණ ගැටලුවලට සමාන ගැටලුම තමයි උතුරේ තරුණයන් තුළින් කැරැල්ලක් මතුවීමටත් මූලික වශයෙන් බලපෑවේ. රාජ්‍යයට එරෙහිව මේ නැගීසිටීම්වලට මූලික වශයෙන් බලපෑවේ රැකියා විරහිතභාවය පිළිබඳ ප්‍රශ්නය, තමන්ට පිළිගැනීමක් නැතිය කියන ප්‍රශ්නය, සමානව සලකන්නෙ නෑ කියන ප්‍රශ්නය වගේ සමාන කාරණා. නමුත් මේ දෙකොට්ඨාසයට මේ සමාන ගැටලු වෙනුවෙන් ඒකාබද්ධව අරගල කරන්න පුළුවන්කමක් තිබුණෙ නෑනෙ. ඒකට හේතුව ඒ දෙගොල්ලට එකතු වෙන්න අවශ්‍ය පොදු තැනක් නොතිබීම.

පවතින තත්ත්වයෙන් ඔබ්බට ගිහින් පොදු සාම්‍යයක් තුළ හැමෝටම එකතු විය හැකි ආකාරයේ යන්ත්‍රණයක් ගොඩනගන්නෙ කොහොමද?
මේක දවසින් දෙකෙන් ඇතිවුණ තත්ත්වයක් නෙමෙයිනෙ. ඉතිං මේක දවසින් දෙකින් වෙනස් කරන්නත් බෑ. මේ සඳහා ප්‍රතිපත්තිමය සහ ආයතනික වශයෙන් පරිවර්තනයක් වෙන්න ඕනෑ. ඒක දිගුකාලීන අරමුණක් යටතේ සිදුවිය හැකි එකක්. ඒත් අපේ රටේ ඒ විදිහේ ප්‍රතිපත්තිමය පදනමක් මත මේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමේ කාර්යයක් සිදුවුණේ නෑ. මේ නිසා වුණේ මේ අර්බුදයන් තවදුරටත් එන්න එන්නම වැඩිවුණ එක.
අද වනවිටත් භාෂා ප්‍රශ්නය එහෙමමයි. ග්‍රාමීය නාගරික වශයෙන් අධ්‍යාපනයේ පවතින පරතරය පිළිබඳ ප්‍රශ්නයත් එහෙම්මයි. අධ්‍යාපන ක්සේත්‍රයේ තියෙන අසමානතාව අද වෙනදාටත් වැඩිය වැඩියි. මොකද අද වන විට ජාත්‍යන්තර පාසල් ඇවිත්. මුදල් තියෙන මිනිස්සු විදේශ අධ්‍යාපනයට යොමුවීමේ සම්ප්‍රදායක් ඇවිත්. ඒ වගේම හැම නගරයකම තියෙන ජනප්‍රිය පාසල් ටික හැකියාව තියෙන සහ සම්බන්ධකම් තියෙන අය විසින් අල්ලාගන්න ස්වරූපයක් ගොඩනැගිලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි ග්‍රාමීය වශයෙන් තවමත් තියෙන්නේ විද්‍යා ආදි විවිධ විෂය අධ්‍යාපනය ලබන්න හැකියාව නැති පාසල්. ඒ වගේම මානව ශාස්ත්‍ර අධ්‍යාපනය ලබලා සමාජයේ ඉස්සරහට යන්න තියෙන ඉඩකඩ ඇහිරිලා තියෙනවා. කලා විෂයයන් කරන අය සඳහා රැකියා වෙළඳපොළ තුළ ඉඩප්‍රස්ථා නැති බව දන්න මේ විදිහේ බොහෝ ග්‍රාමීය සිසුන් උසස් අධ්‍යාපනයට යොමු නොවී සාමාන්‍ය පෙළ පන්තිය වගේ තැනකදී පාසල් හැරගොසින් වෙනත් වෘත්තීය දිසාවකට යොමු වෙන්න උත්සාහ දන්නවා. අපේ විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර පීඨයන් දිහා බැලුවාම මේ දේ හොඳටම පැහැදිලියි. ඒ පීඨවලට එන අයගෙන් සීයට අසූවකටත් වඩා ඉන්නේ ශිෂ්‍යාවන්. මොකද ශිෂ්‍යයෝ අධ්‍යාපනය අතහැරලා වෙන වෙන තැන්වලට යොමුවෙලා තියෙන නිසා.
ඒ නිසා පටු පරමාර්ථවලින් එළියට ගිය පුළුල් පරමාර්ථ උදෙසා අධ්‍යාපනය සැකසීමේදී කුමන විදිහේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණද අපිට අවශ්‍ය කියන එක ගැන අපි නැවත හිතන්න ඕනෑ. රටේ අනාගත පරපුර බෙදා වෙන්කිරීමට ඉවහල් වන අධ්‍යාපනය ආපහු හැරවීමට නම් ජාති ආගම් කුල බේදයකින් තොරව සිසුන් ඇතුල් කරගන්නා පාසල් පද්ධතියක් ඇතිකිරීම වැදගත්. නිර්මාණශීලී විචක්ෂණශීලී පරපුරක් බිහිකරගන්න නම් අපිට සෑහෙන කැපවීමක් කරන්න සිද්ධවෙනවා.■