රාවය

ශ්‍රී ලංකාව මතක ද? මතකයි!

ශ්‍රී ලංකාව මතක ද? මතකයි!

තිසරණී ගුණසේකර

ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… “වෙලාව ඇවිල්ලා,” පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප්‍රකාශ කෙළේය. “අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.” -විලියම් මැක්ගොවන් (මිනිසාම ය තිරිසන් වන්නේ: ශ්‍රී ලංකාවේ ඛේදවාචකය)

‘මව්බිම අනතුරේ’ යැයි නැවත වතාවක් කියනු ඇසේ. වචන සුපුරුදු ය. 1980 අවසාන භාගයෙන් ඒවා නින්නාද දෙයි. ඒ කාලයේ දකුණේ හැට දහසක් මියගියේ ලු. සෑම දේශපාලනයකටම අයත් ගැහැනු පිරිමි ඒ අතරේ වූහ. එසේම කිසි දේශපාලනයකට නැති අයත් වූහ. සමහරුන්ට, ප්‍රශ්න ගැන යම් වැටහීමක් තිබුණි. තවත් සමහරුන්ට එවැනි වැටහීමක් නොතිබුණි. පළාත් සභාවලට එරෙහි එක් පෙළපාලියකදී ‘පළා බබා අපිට එපා’ කියමින් කෑගැසූහ. ‘පළාත් සභා අපිට එපා’ යැයි කියමින් කෑගැසීමට පුළුවන්කම තිබුණත්, ‘පළාත් සභා’ යන්න එදා බොහෝ දෙනාට ගෝචර වූ දෙයක් නොවුණි. මේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ, කෙනෙකුට නොවැටහෙන දෙයකට, කෙනෙකු සම්බන්ධ වීමට අදහසක් නොකරන දෙයකට බලහත්කාරයෙන් ඇදගනු ලැබූ අසරණ ජනතාවකගේ ශෝචනීය තත්වයයි. තුවක්කු දරා සිටි මිනිසුන්ගේ බහට අවනත නොවීම සිහිමොළේ ඇතිව කළ හැකි දෙයක් නොවුණි. විශේෂයෙන්, අනෙකා නොඉවසීම ඉහවහා ගිය, ඝාතනය තුට්ටුවකට මායිම් නොකළ වකවානුවක, කොහෙත්ම එය කළ හැකි දෙයක් නොවේ.
ඒ ලේ වැකි වකවානුවේ ජීවත් නොවු කෙනෙකුට, එදා පළාත් සභා නැමැති ප්‍රපංචය විසින් ඇති කෙරුණු භීතිකාවේ සහ වෛරයේ තරම කෙතෙක්දැ යි සිතාගත නොහැකි වනු ඇත. අද ඒ පළාත් සභා, පාර්ලිමේන්තුව යන වචනය තරමටම සාමාන්‍ය ව්‍යවහාරයක් බවට පත්ව තිබේ. වියදම්කාරී බව ඇත්ත. දූෂිත බව ඇත්ත. අකාර්යක්ෂම බවත් ඇත්ත. එහෙත් ඒවා භයානක යැයි අද කෙනෙකු නොකියනු ඇත. පළාත් සභා පිළිබඳ සංකල්පය, බෙදුම්වාදයේ ශීඝ්‍ර මාවතකැ යි අද විශ්වාස කරන කෙනෙකු ඇතොත් ඒ කලාතුරකිනි. කෙසේ වෙතත්, ඒ වෙනුවෙන් අද කිසිවෙකු මිනි මරාගන්ට යන්නේ නැත.

එහෙත් 1980 අවසාන කාලයේ පැවති තත්වය ඊට ඉඳුරා වෙනස් ය. එදා පළාත් සභා අර්ථ ගැන්වුණේ, මිහිමත ඇති රුදුරු නපුර වශයෙනි. වෙනත් නමකින් සහ වේශයකින් එන ‘ඊලාමයක්’ වශයෙනි. ‘මව්බිම’ වනසාලීම සඳහා ද්‍රෝහීන් සහ අධිරාජ්‍යවාදීන් ඇටවූ උගුලක් වශයෙනි. ‘ඉන්දු-ලංකා ගිවිසුමට’ එරෙහිව, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සහ පළාත්බදව බලය විමධ්‍යගත කිරීමට එරෙහිව එදා පෙළගැසුණු දේශපාලනික නායකයන්, පළාත් සභා යනු ඊලාම් රාජ්‍යයක් යැයි ගැනීම නොම්මර එකේ බොරුවක් බව දැනසිටියාට සැක නැත. ඔවුන්ට එය දේශපාලනික පහුරක් වූවා පමණි. එහෙත්, ඉහත සඳහන් කළ විලියම් මැක්ගොවන්ගේ කෘතියේ විස්තර කෙරෙන තරුණ භික්ෂුව වැනි ඔවුන්ගේ අනුගාමිකයෝ, ඒ උද්වේගකාරී බොරුව ගෙඩිය පිටින් ගිල්ලෝය. එය, තවකෙකු ඝාතනය කිරීමට තරම් සහ තමාගේම ජීවිතය වුව නැති කර ගැනීමට තරම් වටිනා දෙයකැ යි විශ්වාස කළෝය. අවසානයේ, සාමාන්‍ය ඡන්ද පොරයක් විය යුතුව තිබූ ප්‍රථම පළාත් සභා මැතිවරණය කුඩා යුද්ධයක් බවට පත්කළෝය.

අලුත් පළාත් සභා, එදා: අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අද
1988 දී පළමු පළාත් සභා මැතිවරණය පැවැත්වුණි. එය පැවැත්වුණේ අදියර හතරකිනි. එසේ කෙළේ, විශේෂ පහසුවක් හෝ කැමැත්තක් නිසා නොව, වෙන කළ හැකි ක්‍රමයක් නොවු නිසා ය. ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ දකුණේදීත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ දෙමළ එක්සත් විමුක්ති සංවිධානය උතුරේදීත් එම මැතිවරණය වර්ජනය කළහ. ඊට සහභාගි වන ඕනෑම කෙනෙකු- අපේක්ෂකයෙකු වශයෙන් වේවා, ක්‍රියාකාරිකයෙකු වශයෙන් වේවා, ඡන්දදායකයෙකු වශයෙන් වේවා- එම තැනැත්තා, එක්කෝ සිංහලයාගේ උන්නතියට, නැත්නම් දෙමළාගේ උන්නතියට, එක්කෝ ඒකීය ශ්‍රී ලංකාවට, නැත්නම් අනාගත ඊලාමයට, හතුරෙකු හෝ ද්‍රෝහියෙකු වශයෙන් සැලකුණි. ඊට දඬුවම වුණේ මරණයයි.
මේ අතීතය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හොඳින් මතක ඇතිවාට සැක නැත. එදා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුණත් (1977 මැතිවරණයෙන් ඔහු පරාජය වුණි), අනුර බණ්ඩාරනායකගේ සමීපතම ගජයෙකු වශයෙන්, ඒ මිනිමරු නාටකයේ ප්‍රධාන භූමිකාවක් ඔහු රඟපෑවේය. දකුණේ ප්‍රචණ්ඩත්වය සහ ප්‍රති-ප්‍රචණ්ඩත්වය පෙර නොවූ විරූ සාහසිකත්වයෙන් වැපිරීමේ එක් මූලාශ්‍රයක් වූ පිටකොටුවේ සත්‍යග්‍රහය තුළ ඔහු සිටියේය. ‘ඉන්දු-ලංකා ගිවිසුම’ මගින් සහ පළාත්වලට බලය බෙදා හැරීම මගින් රට විනාශ කෙරෙනු ඇතැයි කී පිරිසෙන් ඔහු ද කෙනෙකි. ඉන්දු-ලංකා ගිවිසුම සහ පළාත් සභා පිළිබඳව කෙනෙකු ගන්නා ස්ථාවරය මත දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා හඳුනා ගැනීමේ සූත්‍රය සමාජගත කළ පිරිසෙන් ඔහු ද කෙනෙකි.
රට මුළුමණින් පාහේ විනාශ වුණි. ඒ, ඉන්දු-ලංකා ගිවිසුම නිසා හෝ පළාත් සභා නිසා හෝ නොවේ. ඒවාට විරුද්ධව ගොඩනැගුණු උමතු ප්‍රචණ්ඩකාරී උද්වේගය නිසා ය. ප්‍රජාතන්ත්‍රවාදී සහ හේතුවාදී සීමාවන් තුළ, උණ්ඩය වෙනුවට තර්ක විතර්ක මත මේ විරෝධය ගොඩනැගුණේ නම්, ජීවිත 60,000 ක් ආරක්ෂා කර ගත හැකිව තිබුණි.

ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ රහස්‍ය ආකාරය මේ තත්වය වැළැක්වීමට දායකත්වයක් නොසැපයූ බව ඇත්ත. එහෙත් ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාවලිය ඉතා පැහැදිලි අහසක් තරමට විවෘතභාවයෙන් යුක්ත වුවත්, වීදුරුවක් තරමට පාරදෘශ්‍යභාවයෙන් යුක්ත වුවත්, මේ තත්වයේ කිසි වෙනසක් සිදු නොවනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සිටියේ, දෙමළ ජනතාවට මොනම දේශපාලනික සහනයක්වත්- එය, බලය විමධ්‍යගත කිරීමක් වේවා, බලය බෙදාහදා ගැනීමක් වේවා, දේශීය ක්‍රමයක් වේවා, විදේශීය ක්‍රමයක් වේවා- පිළිනොගන්නා ස්ථාවරයකයි. එය, ඉතා සරල සැලැස්මක් මත පදනම්වූවකි: හැකි තාක් සිංහලයාගේ කෝපය අවුළුවන්න. එහි ප්‍රතිවිපාකයක් සේ ගොඩනැගෙන විරෝධය, ජයවර්ධන පාලනයට එරෙහි මුගුරක් සේ පාවිච්චි කරන්න. බලයට පැමිණීමේ ඔවුන්ගේ අපේක්ෂිත මාර්ගය එය විය.

මේ පක්ෂ දෙක අතර එකඟ විය නොහැකි දෙයකට තිබුණේ එක කාරණයක් පමණි. ඔවුන්ගේ සන්ධානය අවසානයේ බිඳෙන්නේත් ඒ හේතුව කරණ කොටගෙනයි. ඒ වනාහි, බලතල බෙදාහදා ගැනීමේ ක්‍රමයක් වෙනුවෙන් පෙනීසිටි නිරායුධ පුද්ගලයන් මරා දැමීම පිළිබඳ මතභේදයක් නොව, ඕගන් වාදකයා විය යුත්තේ කවුද, වඳුරා විය යුත්තේ කවුද යන්න පිළිබඳ මතභේදයයි. (ජීවිකාව උපයා ගැනීමේ ක්‍රමයක් වශයෙන් ඕගනයක් වාදනය කරමින් පාරේ යන ශිල්පියෙකු, වැඩි මහජන ආකර්ෂණය සඳහා පුහුණු කළ වඳුරෙකුගේ විකට සේවය ලබා ගනී. වඳුරා හැසිරෙන්නේ සහ වැඩ දාන්නේ, ඕගන් වාදකයා පුරුදු පුහුණු කොට ඇති ආකාරයටයි- පරිවර්තක).

අතීතය අදාළ වන්නේය. වෙන දෙයක් නිසා නොව, මහින්ද රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂය සහ ඔවුන්ගේ උමතු ජාතිවාදී නඩය විසින් ඒ අතීතයට යළි පණ පිහිටුවීමට අරඅඳිමින් සිටින බැවිනි. බලයට පැමිණීමේ ශීඝ්‍ර ධාවන පථයක් වශයෙන් එදා ඉන්දු-ලංකා ගිවිසුම සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ/ජනතා විමුක්ති පෙරමුණු/මහජන එක්සත් පෙරමුණු එකතුව බැලුවේ යම් සේ ද, අද රාජපක්ෂ නායකත්වය සපයන ‘ඒකාබද්ධ විපක්ෂය’ තමන්ට අහිමි වූ ලෝකය 2020ට කලින් යළි අත්පත් කර ගැනීමේ මාර්ගයක් වශයෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලිය දෙසත් එයාකාරයෙන් බලයි. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලිය, ඔවුන් සම්බන්ධයෙන් ගත් විට, එදා ඇති වු පළාත් සභා ක්‍රමයයි. ඔවුන් කියන කරන දේවල්වලින් පෙනෙන්නේ, පාර්ලිමේන්තුව තුළදී හෝ ජනමත විචාරණයකදී නව ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීයව පරාජය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව නොව, එම ව්‍යවස්ථාව දකුණේ ගිනි ඇවිලවීම සඳහා මේ මොහොතේ පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් ඇති බවයි.

සංඥා ඉතා පැහැදිලි ය. ‘මාතෘ භූමිය අනතුරේ’ නම් වූ පරණ තැටිය යළි වාදනය කෙරේ. ඒ සඳහා වන බලවේග, සංඝයා වහන්සේ සහ ශිෂ්‍යයන් ඇතුළු කොටස්වලින් එක් රැස් කෙරේ. අලුත් ව්‍යවස්ථාව හරහා ජාතික සෞඛ්‍යය අවදානමේ හෙලන බව කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඊට එක්ව සිටී. අලුත් ව්‍යවස්ථා කෙටුම්පත්කරුවන්ව පන්නා දැමිය යුතු බව කියමින් ගලගොඩඅත්තේ ඥානසාරත් එහි වඩී. රටේ වාසනාවට, ජනතා විමුක්ති පෙරමුණවත්, ඉන් කැඩී ගිය පෙරටුගාමීන්වත් මේ විසකුරු කරත්තයට ගොඩවීමේ කැමැත්තක් නොදක්වති. කළු කරමින් ඇති අහසේ එකම එළියකට ඇත්තේ එය පමණි.

අලුත් ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රීයව විරෝධය ප්‍රකාශ කළ හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම, විශේෂයෙන් ජනමත විචාරණයකදී එය ප්‍රජාතන්ත්‍රීයව පරාජය කිරීමේ හැකියාවත් තිබේ. ඇත්ත වශයෙන්ම මේ අලුත් ව්‍යවස්ථාව ගෙන ආ යුතුව තිබුණේ, ඓතිහාසික ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමග ආණ්ඩුවට තිබූ ජනප්‍රියත්වයත් සමගම ය. මේ වන විට ආණ්ඩුව කඩ කොට ඇති පොරොන්දු හේතුවෙන් ජනප්‍රියත්වය පිරිහෙමින් තිබේ. ඒ තත්වය තුළ පවත්වන ඕනෑම ජනමත විචාරණයක්, අලුත් ව්‍යවස්ථාවේ ගුණාගුණ ගැන නොව, පොදුවේ ආණ්ඩුවේ සාර්ථක/අසාර්ථකභාවය, විශේෂයෙන් ආණ්ඩුවේ ආර්ථික සාර්ථක/අසාර්ථකභාවය මත ඡන්දය පාවිච්චි කෙරෙන ජනමත විචාරණයක් වීමට ඉඩ තිබේ. නොකරන බවට පොරොන්දු වූ දේවල් කිරීම සහ කරන බවට පොරොන්දු වු දේවල් නොකිරීම නිසා ආණ්ඩුව කෙරෙහි ගොඩනැගී ඇති මහජන අප්‍රසාදය ජනමත විචාරණයක් හරහා ප්‍රකාශයට පත්වීමට ඉඩ තිබේ.

එම ශක්‍යතාව පිළිබඳ මහින්ද සහ ඔහුගේ හෙංචයියන් නොදැන සිටිනවා විය නොහැක. එසේ නම්, උමතුව වැපිරීමට සහ කලබැගෑනි ඇති කිරීමට මෙසේ වෙහෙස වන්නේ මන්ද? 1980 ගණන්වල කරලියට ගෙනා පරණ අවතාරයට පණ පිහිටුවීමට බලන්නේ ඇයි?
‘උතුරේ ප්‍රායෝගිකව වෙනම රටක් පිහිටුවා ඇති බවට පැහැදිලි සාක්ෂි තිබේ’යැයි ජී.ඇල්. පීරිස් පසුගිය සතියේ කියා තිබුණි. උතුරේ පොලීසිය දෙමළ සන්ධානය මගින් හසුරුවන බවත් ඔහු කියා ඇත. එවැනි පට්ට කෙබරයක් මහාචාර්ය ජී.ඇල්. පීරිස් විශ්වාස කරති යි ඇදහීමත් අසීරු ය. එහෙනම් ඔහු එසේ කියන්නේ ඇයි? හුදෙක් අලුත් ව්‍යවස්ථාවකට විරෝධය පෑම පමණක් නොව, පවතින ව්‍යවස්ථාව සඳහා වන සංශෝධනයකට වුව විරෝධය දැක්වීමට තරම් නායක සංඝයා වහන්සේලා කොටසක් ඉදිරිපත්ව තිබීම තුළ පැහැදිලිව පෙනෙන්ට ඇත්තේ, පවතින ආගමික අන්තවාදයේ තරමයි. පූජක තන්ත්‍රයක් ලංකාවේ නැති බව, තවම නැති බව, කෙනෙකු මේ සංඝයා වහන්සේලාට කියා දිය යුතුව තිබේ.

‘ලංකාව ඔරුමිත්ත නාඩුවක් නොකරන්න’ මැයෙන් සම්මන්ත්‍රණයක් පසුගිය සතියේ පැවැත්වුණි. ඔරුමිත්ත නාඩු යනු, ඒකීය යන සිංහල වචනයේ දෙමළ පරිවර්තනයයි. යෝජිත ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාව අර්ථ දැක්වෙන්නේ ඒකීය/ඔරුමිත්ත නාඩු වශයෙනි. එහෙත් එය නොදන්නා අයවළුන්ට ඔරුමිත්ත නාඩු යන්නෙන් හැඟෙනු ඇත්තේ ඊලාමය වැනි දෙයක්, මලයනාඩු වැනි දෙයක් හෝ, සිංහල ශ්‍රී ලංකාව කඩා නිර්මාණය කර ගන්නා නසිරිස්තාන් වැනි දෙමළ-මුස්ලිම් පාරාදීසයක් විය යුතුය. මේ සම්මන්ත්‍රණයේ තේමා පාඨය ඕනෑකමින්ම තෝරා ගන්ට ඇත්තේ, එවැනි ගිනි අවුලුවන අදහසක් ජනනය කිරීමට විය යුතුය. 1987-89 වකවානුව මාදිලියේ භීතිකා සංදර්ශනයක් වූ මේ සම්මන්ත්‍රණයට දිනේෂ් ගුණවර්ධන සහ, සියල්ලන්ටමත් වඩා බැසිල් රාජපක්ෂ වැනි ඒකාබද්ධ විපක්ෂයේ ලොකු ලොක්කෝ සහභාගී වූහ. වේදිකාවේ සිටි වඳුරන්ගේ රංගනය, වේදිකාව පසුපස සිට ඕගන් වාදකයන් නරඹනු අන්තර්ජාලය හරහා දැක ගත හැකි විය.

මහින්ද රාජපක්ෂ යනු, මුල්ම පළාත් සභාව බෙදුම්වාදය සඳහා තැනුණු පාලමක් යැයි ගෙනහැර පාමින් මීට තිස් වසකට කලින් ඊට මාරක විරෝධය පෑ කෙනෙකි. පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි සහ ඒවාට සහභාගී වූ මිනිසුන්ව එදා අමුඅමුවේ මරාදැමුණි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පෑමේ මුවාවෙන් රටම ගිනි තැබුණි. පළාත් සමග බලය බෙදාහදා ගැනීම, ෆෙඩරල්වාදයක් වශයෙන් අර්ථ ගැන්වුණු අතර එය බෙදුම්වාදයට සමාන කෙරුණි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා, බෙදුම්වාදයකට නෑකමක් නොදක්වන බව අද මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ඇත. පළාත් සභා මැතිවරණ කල් දැමීමට වත්මන් ආණ්ඩුව ගත් බියගුළු උත්සාහය ඔහු ඉතා නිවැරදිව විවේචනය කළ නිසා, කොහොමත් ඔහුට එය පිළිගැනීමට සිදුවෙයි. පමාවකින් තොරව පළමු පළාත් සභා තුනේ ඡන්දය පැවැත්විය යුතු යැයි ඉතා නිවැරදිව අද ඔහු ඉල්ලා සිටින නිසා කොහොමත් ඔහුට එය පිළිගැනීමට සිදු වෙයි. මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය වෙනස් වී තිබීම ගැන ඔහු රටට පැහැදිලි කිරීමක් කළ යුතුව තිබේ. වැඩියත්ම, සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලියට එරෙහිව ඔහු සහ ඔහුගේ හෙංචයියන් අද මතු කරන විවේචන, මීට තිස් වසකට පෙර ලේ වැකි කාල පරිච්ඡේදයක, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ පළාත් සභා ක්‍රමයට එරෙහිව ඔවුන් නැගූ විවේචනයන්ට බෙහෙවින් සමාන වන නිසා, ඔහු ඒ පැහැදිලි කිරීම කළ යුතුව තිබේ.

‘යක්ෂයා ශක්තිමත් කරන්නේ’ කවුද?
මෑතකදී යාපනයේ කළ සංචාරයේදී එතරම් ආදරණීය නොවු පිළිගැනීමක් ලද ජනාධිපති සිරිසේන, තමා දුර්වල නොකරන්නැ යි දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු කී පරිදි, ඔහු දුර්වල කිරීම යනු ‘යක්ෂයා’ බලගැන්වීමකි. යක්ෂයා යනුවෙන් ජනාධිපතිවරයා අදහස් කෙළේ, පසුගිය ජනාධිපතිවරණයේදී, ‘දන්න යක්ෂයාට’ ඡන්දය පාවිච්චි කරන්නැයි දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටි මහින්ද රාජපක්ෂ බව පැහැදිලි ය.