රාවය

ස්ටීවන්ටත් පරද්දන්න බැරි රන්දුනු

තරිඳු උඩුවරගෙදර

ස්ටීවන් ග්ලාස් එක් කලෙක ඇමෙරිකාවේ නිව් රිපබ්ලික් පුවත්පතේ නැග ආ මාධ්‍යවේදියෙකි. ඔහු ආකර්ෂණීය ලිපි ලිවීය. පාඨකයන් පුදුම කරවනසුලු කරුණු සොයාගත්තේය. ඒවා ඉතාම රසවත් ලෙස ලිවීය. ඒවා මානවවාදී විය, හාස්‍යය මතු කරන තැන් විය, හදවතට දැනෙනසුලු විය. ඔහු ජනප්‍රියම මාධ්‍යවේදියා බවට පත්විය. හැක් හෙවන්, ඩෝන්ට් යූ ඩෙයා වැනි රසවත් ලිපි ඔහු ලීවිය. එහෙත් එක්වරම හෙළිවුණේ ස්ටීවන් ග්ලාස් මේ ලිපි සියල්ලම අතිශයෝක්තියෙන් ලියූ ඒවා බවයි. ඔහු විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ උපුටා දක්වා තිබුණේ ව්‍යාජ ලෙසය. ඇතැම් විට ඔහු ලියා ඇති ආයතන සහ පුද්ගලයන් සැබෑ වශයෙන්ම සිටින පුද්ගලයෝ නොවූහ. ඔහුගේ නිව් රිපබ්ලික් පුවත්පතට ලියූ ලිපි සියල්ල නැවත පරීක්ෂාවට ලක්වෙද්දී ඒ සියල්ලම පාහේ ව්‍යාජ පුවත් බව හෙළිවිය.

ජනතාව කම්පනය කරවන්නට සමත් ලිපි ඔහු ලීවේ පුංචි ඇත්තක් විශාල ප්‍රබන්ධයක් බවට පත්කරවමිනි. ස්ටීවන් ග්ලාස් එරට කතුවරුන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්විය.
ස්ටීවන් ග්ලාස් සිදුවීම විශාල සංවාදයක් ඇතිකරන්නට සමත්විය. ග්ලාස්ගේ කතාව ෂැටර්ඞ් ග්ලාස් නමින් චිත්‍රපටයකටද නැඟුණි. ලංකාවේ මාධ්‍යවේදීන් නැරඹිය යුතුම චිත්‍රපටියකි ෂැටර්ඞ් ග්ලාස්.
මේ වෙද්දී ලංකාවේ පුවත්පත්වල අතිබහුතරය ස්ටීවන් ග්ලාස්ලාය. ලංකාවේ සිටින ස්ටීවන් ග්ලාස් පන්නයේ මාධ්‍යවේදීන් එළිපිටම තමන් ලියන්නේ බොරු බව පෙන්වති. එපමණක් නොව මේ අතිශයෝක්ති මාධ්‍යවේදීන් පාඨක සමාජය අතරද සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත.

ස්ටීවන් ග්ලාස්ට ඉන්නට තිබුණු රට ලංකාවයි. එසේ වූවා නම් ඔහු කර්තෘවරුන්ගේ දෝෂාරෝපණයට ලක්වෙන්නේ අතිශයෝක්තිය වැඩි නිසා නොව අතිශයෝක්තිය මදි නිසාය. ලංකාවේ සිටින මාධ්‍යවේදීන් තරම් අතිශයෝක්තියෙන් ලියන්නට ග්ලාස්ට කොහෙත්ම නොහැකිය.
මේ සියල්ල ලියන්නට සිතුණේ පසුගිය සති කිහිපයේ විද්‍යා ඝාතන නඩු තීන්දුවෙන් පසුව පුවත්පත්වල පළවුණු ලිපි මාලා දැකීමෙන් පසුවයි. ජනයුගය, මව්බිම, දිවයින වැනි පුවත්පත්වල විද්‍යා ඝාතන සිදුවීම රසවත් ලෙස ලියැවී තිබුණි. ඒ අතරිනුත් ඉදිරියෙන් ඉන්නේ දිවයිනේ ලිපි මාලාවයි. අසභ්‍ය කතා ඇති පුවත්පතකින් ලැබිය හැකි රසය එලෙසම ලබාගන්නට දිවයිනේ හේමන්ත රන්දුනු ලියා තිබුණු ලිපි මාලාව නිසා පාඨකයන්ට හැකිවිය.
විද්‍යා ඝාතන සිදුවීමේ සිටම වරින් වර අඩුවැඩි වශයෙන් සිදුවුණේ ඇය යළි යළිත් මාධ්‍යවේදීන් විසින් දූෂණයට ලක් කිරීමයි. විශේෂයෙන් පුවත්පත්වල ඇගේ විශාල ඡායාරූප සමඟ ඇය දූෂණය කළ අයුරු රස කරමින් ලියන්නට පුවත්පත් මාධ්‍යවේදීන් කටයුතු කර තිබුණේ ඒ සියලුදෙනා තුළම ස්ත්‍රී දූෂකයන් සිටින බව පෙන්වමිනි.
දැන් අනෙක් පැත්තට අසන්නට ඉඩ ඇත්තේ විද්‍යා ඝාතනය ගැන වාර්තාකිරීම වැරැද්දක්ද කියාය. අපි එසේ නොකියන්නෙමු. එවන් සිදුවීමක් වාර්තා කිරීමෙහි වැරැද්දක් ඇත්තේ නැත. එය විශාල පාඨක අවධානයට ලක්වූ සිදුවීමකි. එහෙත් එවැන්නක් සම්බන්ධයෙන් නවකතා ලියන්නට මාධ්‍යවලට අයිතියක් තිබෙන්නේද? විශේෂයෙන් පහත් ලිංගික ආශාවන් ඇවිස්සෙන පරිදි එවැන්නක් ලිවීමෙහි අරමුණ කුමක්ද? ඒ ලිපි කිසිසේත්ම විද්‍යා ඝාතන නඩුවේ නඩු වාර්තා ඇසුරෙන් කෙරුණු වාර්තාකරණයක් නොවීය. එය දීර්ඝ ප්‍රබන්ධ ලිපි මාලාවක් විය.

‘වැසිබරින් අහස ගැබ්බර වී තිබුණේය. දින කිහිපයක් තිස්සේ එක දිගට ඇදහැලෙන වර්ෂාව එදින උදෑසන තරමක් තුරල්වී තිබුණි.
‘දුවේ දුවේ නැඟිටින්න. ඉස්කෝලෙ යන වෙලාව පහුවෙලා.’ විද්‍යාගේ ආදරණීය මෑණියන් වූ සරස්වතී කුස්සියේ සිට කෑගසන්නට වූවාය. ඒ හඬින් අහිංසක විද්‍යා අවදි වූවාය. එදින වැසිබර කාලගුණයක් පැවති නිසා විද්‍යාට දැනුණේ තරමක කම්මැලි ගතියකි. නිදි යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටි විද්‍යා එදින පාසල් යනවාද නොයනවාද යැයි සිතමින් කල් ගත කළාය.
එහෙත් එදින තමන් පාසල් යා යුතුම දිනයක් බව විද්‍යාගේ සිතට නැඟිණි.’
ඉහතින් උපුටා දැක්වූවේ හේමන්ත රන්දුනු ලියූ ලිපි මාලාවෙන් උපුටාගත් කොටසකි. මේ ලිපි ප්‍රබන්ධ නොවේ නම් විද්‍යා සිතූ ආකාරයත් හේමන්ත දැනගත්තේ කෙසේද? විද්‍යා ලිංගික හිංසනයට ලක්කිරීම හා ඝාතනය ගැන පමණක් නොව පසුගිය කාලයේ ලංකාවේ සිදුවුණු විවිධ අපරාධ ගැනත් අඩුවක් නැතිව යතුරු හිලෙන් බලා සිටියා සේ කරන මේ වාර්තාකරණයන් සමඟ ස්ටීවන් ග්ලාස්ට හැරෙන්නවත් හැකිද?
සත්‍යය ඇසුරෙන් ප්‍රබන්ධ ගොඩනඟා ඇතුවා පමණක් නොව බොහෝ තැන්වල ලිංගික ආශාවන් ඇවිස්සෙන පරිදි, විද්‍යා ලිංගික හිංසනයට ලක්කොට ඝාතනය කළ අපරාධකරුවන් අපරාධය කරද්දී ලැබූ වින්දනය නිවසේ සිට පුවත්පත කියවමින් ලැබීමට පහසුකම් සපයමින් සම්පූර්ණ ලිපි මාලාව ලියා ඇත. විශේෂයෙන් අපරාධයට පෙර විද්‍යා අල්ලාගෙන බලහත්කාරයෙන් ඇය නිරුවත් කළ අයුරු නාට්‍යරූපී අයුරෙන් ලියා ඇති අයුරු මෙහි උපුටා දැක්විය නොහැක්කේ යළි යළිත් වචනවලින් විද්‍යා දූෂණය කරන්නට අපට හැකියාවක් නැති නිසාය. බැලූ බැල්මට අපරාධය ගැන වේදනාවකින් හැඟීම්බරව ලියා ඇති බව ලිපියේ මතුපිටින් පෙන්වන්නට උත්සාහ කළත් සැබැවින්ම මේ ලිවීම් පසුපස අපරාධය අලෙවි කිරීමේ පහත් ආශාවක් මිස අන් යමක් නොමැති බව ලියා තැබිය යුතුය.
මේවා අලුත් සිදුවීම් නොවේ. මීට පෙරත් ඕනෑ තරම් සිදුවූ මෙවන් සිදුවීම් අනාගතයේත් බරපතළ ලෙස සිදුවනු ඇත. එක් අපරාධයක් ගැන ලියන රසවත් ලිපියක් තවත් අපරාධ සියයකට මුල පුරන බව අප වේදනාවෙන් ලියා තබන්නේ යළි යළිත් මේවා සිදුවන බව දැන දැනමය. ස්ටීවන් ග්ලාස්ලාට එල්ලවුණු විරෝධය කිසිදා හේමන්ත රන්දුනුලාට එල්ල නොවන බව දැන දැනමය.■