රාවය

දරුවන් නැවත නැවත ඉඳුල් කරන දකුණේ පිරිමි මාධ්‍ය පිටපත්

දරුවන් නැවත නැවත ඉඳුල් කරන  දකුණේ  පිරිමි මාධ්‍ය පිටපත්

ඉෂාරා ධනසේකර

පිරිමි උත්කර්ෂයෙන් ඔද වැඩී ගිය සමාජයක, ගැහැනියක ව ඉපදීමේ වේදනාව මම උපරිමයෙන් විදිමින් සිටීමි. ඒ වෙන කිසිවක් නිසා නොව හිරිකිත ලෙස අශීලාචාර සමාජය විසින් ගැහැනුන් දූෂණය කොට මරා දැමීමෙන් අනතුරව පවා දකුණේ හික්මීමක් නැති මාධ්‍ය පසුගිය කාලය පුරාමත්, තවමත් රඟනු ලබන අතිනාටකීය ජවනිකා නිසාය. ලිංගික අපචාරවලට ලක්වූ ගැහැනුන්, දරුවන් නැවත නැවත් ඉඳුල් කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය නිසාය. මෙම ජවනිකාවන්ට පිටපත් සපයමින් සිටින නඩය තලුමරමින් බුදින්නේ ‘මිනිස් ජීවිත’ බව යළි යළිත් අප ඔවුන්ට මතක් කොට දිය යුතුද?
ඔබට මට කට පාඩමින් කිව හැකි තරම් ප්‍රධාන මාධ්‍යවල දවසේ කඳුළු බින්දු බවට ලක්වූ දැරියන් කිසිවෙකුගේ නම් මෙහිලා සඳහන් නොකරමි. ඒ තවදුරටත් ඔබ වෙතින්ද ඔවුන් නැවත නැවත අපයෝජනය වනු දැකීමට ඇති දැඩි පිළිකුල නිසාය.

මෙහි අලුත්ම විගඩම බවට පත්ව ඇත්තේ ‘නරුම සේක්ස්ෂුවල් ත්‍රිල් එකකින් ෆෝම් වී’ ගිය දකුණේ මාධ්‍ය බබාලා විසින් ලිංගික අතවර කොට සාහසික ලෙස මරාදමන ලද දරුවන්ගේ සියලු අනන්‍යතාවන් ‘මාකටින් ටූල්’ බවට පත්කොට තිබීමය. ඔවුන්ගේ මුලික අරමුණ හුදෙක්ම එකී දරුවන්ගේ ආත්ම කුණු කොල්ලයට සතියෙන් සතිය හෙළිකරමින් බිස්නස් වැඩි කරගැනීමය. මේ අත්දකිමින් සිටින ඛේදවාචකය තවත් දරුණු වන්නේ කාන්තාවන් 52% කට ආසන්නව වෙසෙන ලංකාව තුළ පිරිමින් අතින් දුෂණය වීමෙන් අනතුරුව නැවත පිරිමින් අතින් ලියවෙන පත්තර පිටුවලත් මේ දැරියන් දූෂණයට ලක්වීම නිසාය.

මාධ්‍ය සදාචාරය කොයිබටද?
මෙරට මාධ්‍යයැයි කියාගන්නා කුණු විකුණන ප්‍රධාන පෙළේ ඒජන්තයන් විසින් කිසිදු ආකාරයක මාධ්‍ය සදාචාරමය ප්‍රතිපත්තියක නොපිහිටමින් ඕලාරික උපමා රූපකවලට නංවමින් උත්ප්‍රාසයෙන් කියන්නට යන කතා වස්තුවල යටි අරමුණ පසුගිය දවස් කිහිපය පුරා සිදුවුණු සිදුවීම් වඩවඩාත් අධ්‍යයනය කිරීමේදී පෙනීයයි.

පසු ගිය දිනෙක මෙරට ආණ්ඩුවේම දිනපතා ජාතික පුවත්පතක් බොහෝ අපූරුවට වාර්තා කොට තිබුණේ ඔවුන්ට අනුව වික්‍රමාන්විත හෙඩිමක්ද සමගිනි. ඔවුන්ට එය වික්‍රමයක් වුවද අපට නම් පෙනුණේ හිස් ඔළුගෙඩිවල බැදී ඇති පුස්වල තරමය.
අතවරයට ලක්වී ඝාතනයට ලක්වූ දැරියකගේ ජායාරූප ද පළකරමින්, රට පුරා විදී දිගේ පෝස්ටර් අලවමින් ගෙන යන ලද කැම්පෙන් හුදු මහජන යහපත තකා කරන වාර්තා කිරීම්යැයි කෙසේ නම් කිව හැකිද? ජීවිතය පවා අකාලයේ අමානුෂික ලිංගික අතවරයන්ට ලක්ව හැර යාමට සිදු වූ දහස් ගණනක් වූ දැරියන්, ගැහැනුන්, මව්වරුන්, බිරින්දෑවරුන්, සහෝදරියන් සමස්ත සමාජයකම පංචේන්ද්‍රියනට හසුකර නිරුවත් කරන්නේ කවර නම් වූ අදහසකින්ද?
සිංහල බොදු ප්‍රතිපත්ති හිසේ දරා සිටින ජාතියේ පුවත්පත්ද, හදි හූනියම් සහ හොල්මන් විකුණමින් සිටින ප්‍රසිද්ධ පුවත්පත් ද ඇසින් දුටුවන් මෙන් දැන් දැන් සතියෙන් සතිය ‘මතු සම්බන්ධයි’ කියමින් වාර්තා කරමින් සිටින්නේ අතිනාටකීය පිටපත්ය.

නිරුද්ධව ගිය ප්‍රාණයන්ගේ ගැලවී ගිය යට ඇඳුමේ සිට අනාවරණය කරමින් යන තුට්ටු දෙකේ කුණු කඩකාරයන් ලොකු මාධ්‍යකාරයන් කොට ඇත්තේ කවුරුන්ද? දෙබස් ද ඔබ්බවා වාර්තා කරන මේ පුවත්පත් කරමින් සිටින්නේ තවදුරටත් මේ දැරියන් සමූහ දුෂණයකට ලක් කිරීම නොවේද? ලබන සතියට ‘දූෂණය කොට මරා දමන ලද්දේ කෙසේදැ’යි යන්න දැනගැනීමට පත්තරය ගෙදර ගෙනියන්නයැයි කියන සමාජයක ජිවත් වීම මොන තරම් නරුමකමක් ද?
ඒ අනේ අපොයි! කියා ඒවා කියවන ලේ රහෙන් පින වෙන සමාජයම නොවේද? අවුරුදු 30ක් පුරා මිනී රහ විඳිමින් මැරුණු ඔලුගෙඩිත් ගණන් කරමින් ආතල් ගත් සමාජයකට අනෙක් අතට මෙය අරුමයක් ද නොවන බව මේ සිදුවීම් යළිත් තහවුරු කරමින් සිටියි.

පුවත්පත් ඔස්සේ උක්ත කරුණු වාර්තා කිරීමේදී වින්දිතයා හා වරදකරු යන දෙපාර්ශ්වයේම කරුණු වාර්තා කිරිමේදී සැලකිය යුතු සුවිශේෂී කරුණු පිළිබඳ 1981.10.14 දින නිකුත්කරන ලද අංක 162/ 5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ 1 කොටසේ (1 ) ඡෙදයේ පහත වගන්තිවලදී ඉතා පැහැදිලිව සඳහන් කරයි.
6 (1) “අපරාධ හෝ අපරාධ නඩුවල විස්තර වාර්තා කිරීමේදී හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමේදී අ) ලිංගික අපරාධවලට භාජනයවූවන් නම් කිරීම ආ) සාපරාධ වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ තම දැනුම අනුව වයස අවුරුදු 18 ට අඩු වූ හා තම දැනුම අනුව කලින් වරදකරු කරනු නොලැබූ යම් තරුණ තැනැත්තෙකු නම් කිරීම හෝ ; ඇ) අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ හෝ වරදකරු කරනු ලැබූ හෝ තැනැත්තෙකුත් ඒ තැනැත්තාගේ ඥාතියෙකුත් අතර ඇති සම්බන්ධතාව පාඨකයාට දැනුම් දීමේ හුදු කාර්ය සඳහා යම් තැනැත්තෙකු පළමු කී තැනැත්තාගේ ඥාතියකු ලෙස නම් කිරීම මහජන යහපත පිණිස වේ නම් විනා පත්‍ර කලාවේදියකු විසින් නොකළ යුතුයි.

8) පත්‍රකලාවේදියකු විසින් පරපීඩා කාමුකත්වය, සැහැසිකම් හෝ සල්ලාලකම් ප්‍රවර්ධනය කෙරෙන ආකාරයට යම් කරුණක් ඉදිරිපත් නොකළ යුතුය.’ යනුවෙනි.
එසේ සඳහන් කර තිබියදී පවා මෙරට පුවත්පත් ඇතුළු සමස්ත මාධ්‍යයේ භූමිකාව හිරිඔතප් බිඳගෙන ඇත්තේ යහපාලන ආණ්ඩුවේ කොරහද බිඳගෙනය. ඒ යහපාලන ආණ්ඩුව තවමත් අඳ ගොළු බිහිරි වෘත පුරමින් සිටින නිසාත්, වගන්තිවලට බලය දිය යුතු ආයතන අදටත් මර නින්දේ සිහින දකිමින් සිටින නිසාත්ය. මහජනතාව පමණක් නිදිගත නොහැකිව ඇස් ඇර සිටින අතර අතලොස්සක් වූ සමාජ ක්‍රියාකාරිකයෝ පමණක් වෙබ් අවකාශයේ හෝ මේ පිළිබඳ කතිකාවතක් තනන්නට උත්සාහ කරමින් සිටිති.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යන ලොකු නාම පුවරු සහිත වගකිවයුතු ආයතන මේ සම්බන්ධව ගෙන ඇති පියවර මොනවාද?
අප දන්නා තරමින් නම් දිනපතා ජාතික පුවත්පත් ඕනෑම රාජ්‍ය ආයතනයකට ලැබෙන අතර ඒවා පසුගිය කාලය තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයාට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ පුවත්පත් කොමසාරිස්වරයාට උඩින් පල්ලෙන් හෝ කියවා බැලීමට වෙලාවක් නොතිබුණා විය හැකිය. ඒ වෙන කිසිවක් නිසා නොව කිසිදු වගකිවයුතු ආයතනයක් මේ පිළිබඳ වගකිවයුතු අදහසක් හෝ පළ කොට තිබෙනවා අප නොදුටු හෙයිනි.
නැත්නම් සාමාන්‍ය පොදු ජනයා ලෙස අපට සිතිය හැක්කේ මාධ්‍ය හෙංචයියන් මේ මොහොතේ තවදුරටත් තරහ කරගැනීමට ආණ්ඩුවට අනවශ්‍ය බව පමණකි. වැටත් නියරත් ගොයම් කා ඇති බව ඇත්තය.
එහෙත් තවමත් අංශු මාත්‍රයක් හෝ ඉතිරිව ඇති මිනිස්කමේ නාමයෙන් මේ පීඩකාරී මනෝව්‍යාධියෙන් පිරි තිරනාටක හා ප්‍රබන්ධ ගොතමින් දරුවන්ගේ ආත්මයන් ඉහගෙන කෑමට මේ මාධ්‍ය නඩයට අප ඉඩ දිය යුතුද?■