රාවය

මගේ ගම, කැකුලේ ගම සහ බත්ගම

මගේ ගම,  කැකුලේ ගම සහ  බත්ගම

කේ. සංජීව

ගොරවන්න තියා ගෙන අහස. බක්මහ වගේ.. මම ආයෙත් නිනව් නැති ගමනක. රත්නපුරේට මේ දවස්වල හද්දා වැස්ස. කඳු කැඩිලා පහළට පෙරළෙන්නේ මේ පොළොවේ මිනිස්සු හුස්ම ගත්තා ඇති කියන්නැහේ. කුලයක වර්ණය ගැන කියන්න මම ආයෙමත් පුරුදු මගක. දැන් කුලය ලොකු කරගෙන නටන, තවත් මිනිහෙක් ඒකෙන් තලන මිනිස්සු නැහැ කියන්න බැහැ. හැබැයි එහෙම මිනිස්සු අඩුයි. ඒත් සමාජය අස්සේ ඉසියුම් කේශ නාලිකාවක් වගේ කුල සාධකය පිළිකාකරණය වෙනවා. ඉතිං මගේ ගමට අල්ලපු ගමක වර්තමාන කතාබතා එක්ක අතීත මගේ මතක කතා ගොන්නක් එකට අච්චාරු වෙලා තමයි මේ විදිහට ලියවෙන්නේ.

ආයෙත් ගොරවන්න තියාගත්තා. අහස එළියත් නැති කළුවත් නැති අකාල ගොම්මනකට හැරිලා. කොහොම හරි සොයාගෙන යන්න යන්න හිත කියනවා. ගමන් දෙකක්. එක බසේක මතකය සරනවා. රත්නපුර නගරයෙන් කළුගඟ පැනලා පොත්ගුල් විහාර මාවතේ ඇවිල්ලා කොටාමුල්ලෙන් හැරිලා හංගමු ගඟ නිම්නය දිගේ ගඟ ඉහළට ආවාම තමයි මුලින් හංගමුව. හාමුදුරුවරු මුණගැහුණු තැන. ඊළඟට ජනකවියා දැකපු කුඩමසු ගම මගුරුගොඩ. ඊළඟට පැළැලි අතුළ දොලමෝය ළඟ ගම පෑලිමෝදර. මගේ ගම. මේ ගමට ඉහළින් රබර් වතු දුපත්ද කැලෑ කැටියද පැනපු තැන නිලට හැරුණ ගම. කැකුලගම නැතිනම් කැකුලේ ගම. ඒ ගම මැදින් ගලන මහා දොළ. දෙපැත්තේ කුඹුරු. ඊට වටින් ගම ගෙවල්. පැත්තකින් මගුරුගොඩ මූකලානේ. උසට උසේ බැලුම් හෙළන බැලුම් ගල. මෙතැනින් පස්සේ ලියවෙන්නේ ගම ගැන. අරෝවකට අපහාසයකට නෙමෙයි ආයුබෝවන්!! මේ තමයි ලංකාව. ඉතිං නොලියා කොහොමද?

අතීත මතක
මමත් මගේ ගමට එක අතකට පිටස්තර. ඉපදිලා අවුරුද්දකට පස්සේ තමයි ඇවිත් තියෙන්නේ. ඒ අපේ අම්මාගේ දෙවෙනි කසාදේට පිං සිද්ධ වෙන්න. හැමදාම චුරු චුරුව වහලෙන් හොරාට ගේ ඇතුළේ වළං ටින් බෙලෙක්කවලට වතුර හලනවා. ගොඩක් දවසක නොකියාම එන මහ හුළං වළා අහුරු ගෙදර වහලේ ටකරන් උදුරලා අහල රබර් වත්තට ගෙනිහින් දානවා. උදේට පාරට පහළින් ගඟ බඩදරු වෙලා බලාගෙන ඉන්නවා. ඔය වගේ අටානුවක් මතක මල් මාලෙක කැකුල ගමත් තියෙනවා. අපේ ගමේ ගණන්කාරයෝ ඌරු පැලැව්වේ ගම ඇති රාළලා. නැත්තන් කොස්පලවත්තේ එළඳ හාමිල්ලා. නැත්තන් මලවි ආරච්චිල්ලා. සෝමදාසලා පියදාසලා සූරියසේනලා ජයරත්නලා ප්‍රේමරත්නලා කරුණාවතීලා සුමනාවතීලා තමයි නිතර ඇහුණ නම්. පුංචි අප්පෝ හාමිලා, සිරිබෝ හාමිලා වගේ නම් එතකොට සීයලා වෙලා. ඉතිං ඔහොම කාලෙක අල්ලපු ගමෙන් අපේ ගමට එනවා කිරි හතනි නැන්දා. උන්දෑ එන්නේ පැදුරු මිටියක් ඇතුල්පත් මිටියක් වගේ වට්ටි මුට්ටි අතින් කරින් එල්ලගෙන. පෝසතා මාමා ගැන තාත්තා නිතර කතාකරනවා. කිරි බිංදුව, කිරි බබී එහෙම එහේ ඉන්නවා. මොකද්ද උඹේ නම නඩුකාරයා ඇහැව්වලු. මගේ නම කිරි හොඳා. කිරි හොඳා තමයි බොල නම කියපිය. කිරි හොඳා. කිරි හොඳා තමයි.. මේ අල්ලපු ගම ගැන ගොයිගම ගමේ මිනිස්සු අවමානෙට කියපු මට ඇහුණු කතා. දැන් මම මේවා ලියන්නේ අපහාසයකට නෙවෙයි මේ තමයි අතීතය. ඕකුන්ට දවල් 12ට පස්සේ මොළේ නැහැ. මේ ඒ වර්ගයේ තවත් කතාවක්. අපේ නංගිලා කැරට් රුයිතෙට කැපුවහම ඔය කපලා තියෙන්නේ පදු කැපිල්ලක්. අපේ අම්මාගේ කටිං පනින්න වැඩි වේලාවක් යන්නේ නැහැ. මේ කතා අස්සේ තියෙන කතාව තමයි කියවන්න වටින්නේ. මේ තමයි ඒ මිනිස්සු අතීතයේ ඉඳලා ඉතිහාසය අස්සේ කොන්කරපු විදිහ. ඉතිං අපි මේවා දැන්වත් විවෘතව කතාකරන්න ඕනෑ. ඒ සුගතියට. ගරහන්න පහළට හෙළන්න නෙවෙයි. අල්ලපු ගමෙන් අපේ ගමට පතලෙක මොන කමක්කාරියකට ආවත් පිරිමියෙක් ගැහැනියෙක් අපහාසයට තාඩනයට නිතර ලක්වුණා. ගම පහුකරගෙන ඒ ගමට යනකොට උසුළුවිසුළුවලට ලක්වුණා. හැබැයි අද වෙනකොට මේක වෙනස්. තරුණයෝ එකට කනවා බොනවා. සමහර වේලාවකට දුරාවාරේ ආවාහ විවාහ වුණත් වෙනවා. හැබැයි තවමත් පුංචි පුංචි අඩුපාඩු අපි අතින් වෙනවා. අනික් පැත්තෙන් කුල හීනමානය වෙනුවට අද ඒ පැත්තේ තරුණයෝ ප්‍රචණ්ඩත්වය දිහාට මතට තල්ලු වෙලා. ඒකට හේතුවත් මේ සමාජය අස්සේ නොපෙනෙනවාට තිබෙන කුල පීඩනය වෙන්න පුළුවන්. සමහරුන් නම් මේ කුල පීඩනය නිසාම ආර්ථික අතින් ඉහළටම නැගලා. ඒක හොඳ තත්ත්වයක්. මොකද සල්ලිවලට පුළුවන් මේ දේවල් යම් පමණකට අඩුකරන්න. ඒ හින්දාම ඒ ගම මැණික් ව්‍යාපාරිකයෝ වුණත් අඩු නැහැ. කොහොම හරි කතාව ගඟේ ගියා. දැන් කැකුලේ ගමට යන්න වෙලාව.

බත්ගම
මේ ගම මිනිස්සු බත්ගම මිනිස්සු නැත්තන් පදු මිනිස්සු කියලා තමයි පිළිගැනීම. ගම ජනාවාස වුණේ කොහොමද කොයි කාලෙද කියලා ඇහැව්වොත් කා ළඟවත් උත්තර නැහැ. හැබැයි ඔප්පු තිරප්පු ලියවුණ ඉතිහාසය විමසුවොත් 1800යේ අගට නැත්තන් 1900 මුලට අපිට යන්න පුළුවන්. එතකොට මේ ඉතිහාසය ලේසියෙන් අපිට නුවර යුගයත් එක්ක පූට්ටු කරන්න පුළුවන්. කොහොමත් මේ කුල භේදය ගැටුම් වගේ දේවල් සමාජය මත්තේ හොඳටම වැඩකළේ නුවර යුගයේ තමයි. ඒකට හේතුව දකුණු ඉන්දියානු බලපෑම වෙන්න පුළුවන්. කොහොම වුණත් කුලවාදය සම්පූර්ණයෙන්ම අතෑරපු දහමක් ජීවිතය කරගත්ත මිනිස්සු කොට්ඨාසයක් අස්සේ මේ වාගේ කුලවාදයක් පිපුණේ කොහොමද කියලා හිතන්න වටිනවා.

ආචාර්ය කාලිංග ටියුඩර් සිල්වාගේ ‘කුලය පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්’ කියන පොත කියන විදියට ගොවිගම කුලයට පස්සේ ජනතාව වැඩියෙන්ම එකතුවුණ කුලය තමයි බත්ගම කුලය. ජන අනුපාතයක් විදියට ගොවිගම ප්‍රජාව 49%ක් වෙනකොට 18%ක් තමයි බත්ගම කුලය. ඉතිහාසය කියන්නේ බත්ගම කුලය කියන්නේ සේවා කුලයක් කියලා. මේ මිනිස්සුන්ගේ රාජකාරිය වුණේ දෝලා ඔසවාගෙන යාම, යුද සේවය වගේ දේවල්. හැබැයි ජීවනෝපාය වුණේ මෙහෙකාර සේවය නැතිනම් කුලී වැඩ.
“මීට පෙර ලේඛකයන් ‘පදු’ නමින්ද නොක්ස් විසින් පොද්දා නමින්ද සඳහන් කරැති බත්ගම කුලය සැලකිය යුතු පිරිසකගෙන් සමන්විත කන්ද උඩරට කුලයකි. පරම්පරාවෙන්ම මොවුන් නිවෙස් ඇතුළත වැඩ කරවාගැනීමට නුසුදුස්සන් බවත් ගෙයින් පිටත පමණක් වැඩ කරවාගැනීමට යොදවා ගතයුතු බවත් උසස් කුලවල අයගේ මතයයි. ඔවුන්ට නියම වී ඇති පාරම්පරික කාර්යය වූ ප්‍රභූවරුන්ගේ දෝලා ඔසවාගෙන යාම වැනි රාජකීයයන්ගේ ආවතේවවලට අනුගතව ඔවුන් කුලයක් ලෙස හඳුනාගෙන තිබුණත් දැන් ඒ කුල සේවාව අතීතයට එකතුවී ඇත.” මේ බ්‍රයිස් රයන්ගේ බත්ගම කුලය ගැන නිරීක්ෂණයයි.

සපරගමු මහා සමන් දේවාලයේ රාජකාරි ක්‍රමය සකස් වීම නිරීක්ෂණය කළොත් සපරගමුවේ වැඩි ව්‍යාප්තියක් පෙන්වන මේ කුලය ගැන තවත් නිරීක්ෂණයක් අපිට දකින්න පුළුවන්. උලියන් පංගුව කියලා තමයි බත්ගම මිනිස්සුන්ගේ රාජකාරිය සහ ඔවුන්ට ඒ වෙනුවෙන් දේවාලයෙන් ලැබුණු ඉඩම් හඳුනාගත්තේ. උලියක් කාරයෝ කියන්නේ ඔසවාගෙන යන්නෝ වගේ අදහසක්. මේ පංගුවේ රාජකාරිය වුණේ කම්කරු පන්නයේ වැඩ. අලින්ට අතු කැපීම, අලි බෙටි ඉවත් කරමින් දේවාල බිම පවිත්‍ර කිරීම වගේ දේවල්. හැම දේවාල ගමකම උලියක්කාර පංගුවක් තිබුණා. තලාවිටිය හල්පේ වගේ විශාල බත්ගම ගමක් ගත්තොත් ඒවායේ ලොක්කෙක් හිටියා. ඒ තනතුරට කිව්වේ මහදුරයා කියලා. මේක තමයි වැඩවසම් කාලේ වැඩ සංවිධානය වෙලා තිබුණ ක්‍රමය. හරි වුණත් වැරදි වුණත්. මේ දුරෙයි කියනකොටත් ගැටුම් ගොඩක් එනවා. මොකද පීඩිත අනුකුල ගොඩක් මේ බත්ගම කුලයත් එක්ක මුසුවෙන නිසා.

සපරගමු ගම් පළාත්වලට සිමා වුණ බ්‍රයිස් රයන් කියන කොන්ත දුරෙයි කුලය ගැන කතාවත් ඒ වගේ තමයි. දැන් බත්ගම කියලා අපි කටවචනෙට කියන කැකුල ගමේ මුල් මිනිස්සුන්ගේ වාසගම් එන්නේ කැකුල දුරෙයි කියලා. ඒක ඔලුවේ තියාගෙන මේ විස්තරයත් කියවමු.
“නිරිතදිග පළාත්බදව වෙල්ලි දුරෙයි කුලයේ කණ්ඩායම් බෙදීමක් පිළිබඳව කුතුහලය දනවන විස්තරයක් 1887 අවුරුද්දේ පළවූ ද තැප්රෝබ්රේනියන් කෘතියෙහි ඇතුළත්ය. මේ කුලයට අයත් වැන්නවුන් වාසය කරන බලංගොඩ නගරයට නුදුරු ගමකදී ඔවුන් අප සමඟ පැවසුවේ තමන් කලකට ඉහත එහි වූ රාජසිංහ රජතුමාට අයත් ගමක බත්ගම කුලයේ මිනිසුන් සමඟ එකම කණ්ඩායමක් ලෙස එකට ජීවත් වූ මුතුන්මිත්තන්ගෙන් පැවත එන්නවුන් බවයි”
මේ බ්‍රයිස් රයන් ලියන නිස්සංක පෙරේරා සිංහලට පරිවර්තනය කළ ‘සිංහල සමාජයේ කුල භේදය මූලාරම්භය සහ ව්‍යාප්තිය’ කෘතියෙන් ගත් උපුටනයක්. බත්ගම කුලයේ ආරම්භය ගැන එක මතයක් මේ අදහසෙන් අපිට ගන්න පුළුවන්.

දැන්
ඇත්තටම කුල ධුරාවලියේ පහළින්ම තමයි එදා බත්ගම කුලය හිටියේ. හැබැයි අද සිතුවම එච්චරම නරක නැහැ. හැබැයි අර කුලය හින්දා කොන් කිරීම වගේ දේවල් ලෙසටම තියෙනවා. කුලී වැඩ කුලයේ ලේවල වර්ණය වුණාට අද ගොවිගම මිනිස්සුන්ට වැඩිය හොඳට බත්ගම මිනිස්සු ගොවිතැන කරනවා. සපරගමුව පළාත් සභාව ගත්තොත් මම දන්න කාලේ ඉඳලා බත්ගම නිසා දිනන අපේක්ෂකයෙක් ඉන්නවා. ඒ මේ මිනිස්සු කුලයක් විදිහට එකතු වෙන විදිය. අනික් පැත්තෙන් කැකුල ගම ගත්තොත් තාම හරියට පාරක් නැහැ. ගමට බස් එකක් නැහැ. එදා මිනිස්සු මගුරුගොඩින් බැහැලා ලොකු දුරක කන්දක් නැගලා තමයි ගමට නගරයේ ඉඳලා ප්‍රවේශය හදාගත්තේ. හැබැයි දැන් හැමෝටම ත්‍රීවීල් එකක් බයිසිකලයක් තියෙන නිසා වටෙන් තියෙන අබලන් පාරේ යනවා. ඉස්කෝලේ වුණත් තාම තිබුණු තැනම වගේ තමයි. ළමයි සාමාන්‍ය පෙළ උසස් පෙළට හංගමුව මහා විද්‍යාලයට නැත්නම් කරවිට ජාතික පාසලට යන්න ඕනෑ. ඒ හැම වෙලාවේම කොන්වෙන ගතියක් තියෙනවා. හංගමුව මහා විද්‍යාලය ගත්තොත් මේක දරුණුවටම කාලයක් තිබුණා. 1980-90 දසකයේ මුල පේ්්‍රමදාස මහත්තයාගේ උදාගමක් මේක. කැකුල ගම අයිති නිවිතිගල කියන්නේ කුල පිඩිතයෝ ගොඩක් එකතුවුණ මැතිවරණ කොට්ඨාසයක්. ඒ හින්දා හැමදාම වමට බරයි. කතාවට කියන්නේ අත්තනගල්ලෙන් ශ්‍රීලනිපය පැරදුණත් නිවිතිගලින් පැරදෙනවා බොරුයි කියලා. හැබැයි ගාමිණී අතුකෝරල එජාප නිවිතිගල සංවිධායකයා වුණාට පස්සේ මේක ටිකක් වෙනස් වෙනවා. ප්‍රේමදාසගේ උදාගම මේ ගමට ආවාට පස්සේ ගමේ ගොඩක් පීඩිතයෝ අලියා වුණා කියලා කියනවා. හැබැයි ජෝන් සෙනෙවිරත්නගේ කාලේ මේක ආයිත් වෙනස් වෙනවා. අනික් පැත්තෙන් මේ ගමට ගොඩක් උදව් කරන්නෙත් ජෝන් සෙනෙවිරත්න. මිනිහා සෞඛ්‍යය ඇමති කාලේ රෝහල් කම්කරු විදිහට මේ ගමේ ගොඩක් තරුණයෝ රත්නපුරේ මහ රෝහලේ වැඩට යනවා. ඒක ගමට එළියක් වගේම හතර වටින් තියෙන ගොවිගම ගම්වල මිනිස්සුන්ගේ මේ මිනිස්සු ගැන තියෙන දැක්ම වෙනස් කරනවා. ඒකට හේතුව රෝහලේදී උදව්වක් උපකාරයක් ගැනීම වගේ දෙයක්ද කියන්න දන්නේ නැහැ. හැබැයි ගම නගරයට විවෘත වෙනවා. ගමට මිනිස්සුන්ගේ අතට සල්ලි එනවා. පීඩිතයෝ ධනවතුන් වෙනවා. එතකොට කුලය නිසා වෙනස්කර සැලකීම කියන දේ ටිකක් වෙනස් වෙනවා. හැබැයි සල්ලිවලින් දුරස් වෙන තරුණ පීඩිතයෝ ත්‍රීවීල් එකක නැත්නම් මත්ද්‍රව්‍ය අතරේ අතරමං වෙන ගතියකුත් පේන්න තියෙනවා. අනික් පැත්තෙන් මැණික් පතල් කර්මාන්තය මේ තරුණයන්ගේ ජීවිත මාර විදිහට වෙනස් කරමින් ඉන්නවා ඒක සුබ ලකුණක්.

කොහොම වුණත් කිරි බබී නැන්දලා කිරි හතනි නැන්දලාගේ කාලය ඉවරවෙලා. සිරිපාල සුමනපාලලාගේ කාලයත් ඉක්මනින් ඉවර වුණොත් මේ කුල පීඩනයත් ඉක්මනටම නැතිවෙලාම යයි.■