රාවය

මව්පියන්ගේ බූදලයෙන් මම යැපෙන්නේ නෑ | සංගීතවේදී චිත්‍රාල් සෝමපාල

මව්පියන්ගේ බූදලයෙන්  මම යැපෙන්නේ නෑ | සංගීතවේදී චිත්‍රාල් සෝමපාල

 ටිරන් කුමාර බංගගමආරච්චි

සංගීතය ගැන චිත්‍රාල්ගේ කියවීම මොනවගේද?
ලොකු විග්‍රහ, ලොකු කතා අමතක කළොත් මම හිතන්නේ සංගීතය කියන්නේ දෙවියන්ගේ තෑග්ගක්. ඒක ඉතාම වටිනා ඉහළම මට්ටමේ තියෙන දෙයක්. කෙනෙක් සතුටු වුණත් දුක් වුණත් රස විඳින්න පුළුවන් කලාවක් මේක. ඒකම තමයි මේකේ තියෙන අපූර්වත්වය. එහෙම කලාවක් ලංකාවේ අද පහත් තත්ත්වයට ඇදදමලා තියෙනවා. අද සංගීතය දෙවැනි තැනට දාලා මුදල් එකට ඇවිල්ලා. සල්ලිවලට තණ්හාවෙන් මියුසික් කරන්න බෑ. එහෙම ලෝභයෙක්ගෙන් මියුසික්වලට වන යහපතකුත් නෑ. ලෝකයේ මිනිස්සු කියන්නේ පමිසජ සි ් fැැකසබට එදදක කියලා. ඒක තමයි මම විශ්වාස කරන සංගීතය.

චිත්‍රාල් කැමති ඔබ ගායකයෙන් විදියට හඳුන්වනවාටද සංගීතඥයකු ලෙස හඳුන්වනවාටද?
ලංකාවේ වගේ රටක සංගීතය කිව්වාම ඒ අය දන්නේ ගීතය. ඒ නිසා ලංකාව තුළ මට ලොකු ජනප්‍රියත්වයක් තියෙන්නේ ගායකයකු විදියට. මම මා තුළ ඉන්න ගායකයාට කැමතියි. හැබැයි අඩුවෙන්ම පාවිච්චි කරන්න තමයි වඩා කැමති. මොකද නිතර ඇහෙන්න ගත්තාම ඒක එපා වෙනවා. හුඟක් අය දන්නේ මම ගායකයෙක් විදියට වුණත් මම ක්‍දපචදිැර කෙනෙක්. ඒ වගේම මම සවුන්ඞ් ඩිසයිනර් කෙනෙක්. මම අලුත් ශබ්ද ගැන හරියට හිතනවා. ඔයාගේ ප්‍රශ්නයට පිළිතුර නම් මම ක්‍දපචදිැර කෙනෙක් කියනවාට ගොඩක් කැමතියි.

ඔබගේ දෙමාපියන් (පී.එල්.ඒ. සෝමපාල, චිත්‍රා සෝමපාල) දෙපළගෙන් ඔබට සංගීතය පැත්තෙන් බලපෑවේ මොනවාද?
ඒක බැරෑරුම් ප්‍රශ්නයක්. මොකද බැලූ බැල්මට මම ඉපදෙන්නේම සංගීත පවුලක. මේ නිසා ජානගතව මා තුළ ඔවුන්ගෙන් ලැබුණු සංගීත භාවිතයක් ඇති. ඒත් ඒ අයගෙන් මම සංගීතය පැත්තට යොමු කිරීමක්වත් මා තුළ සංගීතයට ආශාවක්වත් පොඩි කාලේ තිබුණේ නැහැ. ඒක මම අත ඇරලම දාලා තිබුණු විෂයක්. මට ඕනෑ වුණේ සංගීතය කරන්න නෙමෙයි ක්‍රීඩකයෙක් වෙන්න. ඒකට මම සෑහෙන උත්සාහ කළා. මම කොළඹ ඉසිපතන විiාලයට ගියේ. ඒ යන්න හේතුව අපි ඉසිපතන මාවතේ හිටියා. ගෙවල් ළඟමයි පාසල. සමහරු මව්පියන්ට කිව්වා පුතාව ලොකු ඉස්කෝලෙකට දාන්න කියලා. එතකොට ඒ අය කිව්වේ ඇයි මේක හොඳනේ, ඉගෙන ගන්න කෙනා කොහේ හිටියත් ඉගෙන ගන්නවා කියලායි. මම ඉසිපතනේදී ක්‍රිකට් ගැහැව්වා. හෂාන් තිලකරත්නත් අසංක ගුරුසිංහත් මාත් එක්ක ක්‍රිකට් ගැහැව්වා. ඒ අය ශිෂ්‍යත්ව ලැබිලා වෙන පාසල්වලට ගියා. කාලයක් ගියාම මම ක්‍රිකට් අතඇරලා හොකී ගැහැව්වා. හොකීවලින් තැනකට ආවා. ඒත් පස්සේ ඒකත් අතඇරලා දැම්මා. ක්‍රීඩකයා වීමේ ආශාව හිඳුණාම තමයි සංගීතයට ආස හිතුණේ. සංගීතයට කැමති වුණත් මම අම්මාගේ තාත්තාගේ අඩිපාරේ ගියේ නෑ. එහෙම යන්න කැමති වුණෙත් නැහැ. මම සිංදු කියලා වුණත් ඇහැව්වේ බටහිර ගීත. ලංකාවේ ගීත ඇහැව්වා නම් ඒ ක්ලැරන්ස් වගේ අයගේ. ඒ නිසා මගේ සංගීත නැඹුරුව බටහිර ආරක්. ඒ නිසා මව්පියන්ගෙන් ලොකු දෙයක් මගේ සංගීතයට ලැබුණේ නැහැ. ඒ කාලේ ගායකයෙක් වෙන්න ආසාවක්වත් මට තිබුණේ නැහැ.

ඇයි ඒ?
අහලා, දැකලා තියෙන දේවල් එක්ක. ඒ කාලේ මගේ ඔලුවේ තිබුණේ ගායකයන් කියන්නේ බේබද්දෝ ජාතියක් කියලා. ඒ නිසා එහෙම ගායකයෙක් වෙන්න මට ඕනෑ වුණේ නෑ. ඒත් දැන් බැලුුවාම එදා අය හොඳයි. දැන් ගායකයෝ කිව්වාම ගංජාකාරයෝ ඒ වාගේම විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිස් ඉන්නේ. එතැනත් තියෙන ලොකුම වෙනස ඒ කාලේ අයට ගායනා කරන්න පුළුවන්. දැන් කාලේ අතිබහුතරයකට ගායනා කරන්න බෑ. ඒත් ගායකයෝ. (හිනා)

ඉතින් ඔබ ගායකයෙක් වුණානේ.
පොඩි කාලේ සිතුවිල්ල තමයි ඒ කිව්වේ. පස්සේ දැනුම් තේරුම් වෙනකොට මම සංගීතයට කැමති වුණා. ඒත් බටහිර ආරට. මම මුලින්ම සිංදුවක් කියන්න පටන්ගත්තේ අවුරුදු විස්සේදී. මට මේ රටේ මව්පියන්ට කියන්න දෙයක් තියෙනවා. මේ පුංචි ළමයින්ට සිංදු කියන්න තරගවලට දාන්න නහින විදිහ දැක්කම මට හරිම දුකයි. මොකද මේ පොඩි කාලේ තියෙන්නේ මේ අයගේ නියම හඬ නෙමෙයි. නියම හඬ එන්නේ අවුරුදු විස්සේදී විතර. හැමදේම වගේ තමන්ගේ ස්වාධීන හඬක් නිර්මාණය වෙන්නේ ඒ වගේ වයසේදීයි. ඒත් අද මොකද්ද මේ වෙන්නේ. ගායකයෙක් වෙන්න දෙන්නේ නෑ. හදන්නමනේ යන්නේ. බ්‍රොයිලර් කුකුල් පැටව් හදනවා වගේ ගායකයෝ හදන්න බෑ. අවුරුදු විස්සේදී තමයි මට මගේ වොයිස් එක තේරුණේ. උගුර හොඳට වැඩිලා මට මගේ අනන්‍යතාව වැටහුණේ අවුරුදු විසිපහ විතර වෙද්දී. එතකොටයි මට තේරුණේ අභ්‍යාස කරලා එහෙම එතකොට මගේ හඬ හොඳ තත්ත්වයට ඇවිල්ලා කියලා. එතැන ඉඳලා මම මගේ ආරකට යනවා. කොහොම හරි අවුරුදු තිස්පහක් විතර මේ ෆීල්ඞ් එකේ ඉන්නවා.

ඔබ ලංකාවට වඩා විදේශයේ ඉන්න කෙනෙක්.
ඔව්. මම අවුරුදු 33ක් තිස්සේ පදිංචිය ජර්මනියේ. මට 1986දී යුරෝපයට යන්න අවස්ථාව ලැබුණා. එහෙදී තමයි මට තේරුණේ ලංකාවේ සංගීතඥයන්ගෙයි එහේ අයගෙයි වෙනස. අපේ අය රස්සාවක් කරමින් විනෝදයට තමයි මියුසික් කරන්නේ. එහේ එහෙම නෙමෙයි. සංගීතයම තමයි එකම වැඬේ. කොහොම හරි ඒ රටවල මට සංගීතයේ යෙදෙන්න පුළුවන් වුණා. මොකද මම මෙහෙන් යන කොටත් බේස් වාදකයෙක්. ඒ අතරේ එහේදී මම තනියම සංගීතය ඉගෙනගත්තා. ඉතින් යමක් කරන්න තරම් ඉවසීමක් මට අද තියෙනවා. මම තනියම සිංදුවක් ගායනා කරනවා. තනියම මියුසික් ඇරෙන්ජ් කරනවා. ඒ වගේම මට තනියම රෙකෝඩින් එකක් කරගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා සංගීතය ගැන චූටි දැනුමක් මට තියෙනවා.

චිත්‍රාල් වැඩිපුර කැමති යුරෝපයේද ලංකාවේද ඔබගේ හැකියාවන් පෙන්වන්න.
දෙකේම. එහෙත් අපේ රටේ යමක් කළාම වැඩිපුර දැනෙනවා. මොකද මේක මගේ පොළොවනේ. ඒ නිසා වෙන්න ඇති. මම අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයට සංගීත රචනය කළා. ඒකට මට සිග්නීස් සම්මානය ලැබුණා. මම ලබපු පළමුවැනි සම්මානය. ඒක මට සෑහෙන සතුට ඇති කළ දෙයක්. ඒ වගේම හරි ආඩම්බරයි. මම යුරෝපයේදී නොමිනේට් වෙලා තියෙනවා. ඒත් සම්මාන ලැබිලා නෑ. මේ කොහේ කළත් මගේ දේ මම අවංකව කරනවා. මේක මගේ හොබී එක නෙමෙයි මේක මගේ ලයිෆ් එක.

ඒ වගේම කියන්න ඕනෑ ඒ රටවල කලාකරුවන්ට සෑහෙන වටිනාකමක් තියෙනවා. අගය කිරීමක් තියෙනවා. මට යම් මාසයක් වැඩ කරන්න බැරි වුණොත් ඒක ඒ ආණ්ඩුවට දැනුම් දුන්නාම ඒ අය මට ජීවත්වෙන්න මුදලක් දෙනවා. ඒ තරමටම ඒ අය කලාකරුවන්ව අගය කරනවා.

ලංකාවේ රොක් භාවිතය ගැන ඔබ සතුටුද?
ඒක කතා නොකර ඉමු. මොකද මම දේවල් විග්‍රහ නොකර ඉන්න කැමතියි. හැබැයි දෙයක් කියන්න ඕනෑ. ලංකාවේ ලොකු වැරදි මතයක ඉන්නවා රොක් සිංදු කියනවා නම් හොඳට ගංජා බොන්න ඕනෑ, ඩි්‍රන්ක්ස් ගන්න ඕනෑ කියලා. එහෙම අරගෙන උගුර කඩාගෙන කෑගහනවා. ඒක රොක් නෙමෙයි. ඒක වෙන මොකද්ද එකක්. සංගීතය කරනවා නම් හොඳ සිහියෙන් කරන්න ඕනෑ. ගංජා බීගෙන මේවා කරන්න බෑ. මේ යක්කු ගංජා ගහලාම ඉක්මනට මැරෙනවා. මේ අය හිතන්නෙ මේ අය වැඞ්ඩෝ කියලා. එහෙම පෙන්වන්න සෑහෙන මහන්සි වෙනවා. මම ගියාමත්, මම ඉන්න විදියට වෙන්න ඇති, ඉස්සර වෙලාම අහන්නේ ඕවා ඕනෑද කියලා. මම එපා කිව්වාම හානේ එහෙමද අපි හිතුවේ හොඳට ගහනවා ඇති කියලාත් කියනවා. මම ඉතින් හිනාවෙලා ඉන්නවා. මට විනයක් තියෙනවා. නැත්නම් මෙච්චර කල් එහෙයි මෙහෙයි දෙකේම ඉන්න බෑ. එහෙම පිස්සු නටනවා නම් මට ඒ රටවල ඔයිට වඩා දේවල් කරන්න තිබුණා. මම එහෙම නෑ. මගේ ස්ටයිල් එකක් තියෙනවා. ඒක මම දැනුවත්වම කරන්නේ. කොණ්ඬේ වවා ගත්තා කරාබු දැම්මා කියලා ගංජා කුඩු ගහන්න ඕනෑ නෑ. ඒවා කරන්නේ නැතිව මියුසික් කරන්න බැරිද? අපේ රටේ අය මියුසික් ඇරෙන්න අනෙක් හැමදේම කරනවා. මම බියර් ලෝලියෙක්. ස්මෝක් කරනවා. ඒ ඇරෙන්න ඉඳලා හිටලා චූටි ඩි්‍රන්ක් එකක් ගන්නවා. මේ කිසිම දෙයක් මම ස්ටෙජ් එකට නගින්න ඉස්සර වෙලා කරන්නේ නෑ. මොකද මම දන්නවා මගේ දේවල් මගේ දිහා මිනිස්සු බලාගෙන ඉන්නවා. නැචුරල් ඉන්න තරම් සංගීතයට කරන්න පුළුවන් සාධාරණයක් වෙන කිසිම දෙයකින් කරන්න බෑ. මාව රසවිඳින්න එන අයව මම කවදාවත් සරලව හිතන්නේ නෑ. මම අර ගන්නවා කියපුවත් ඉතාම පිළිවෙළට ගන්නේ. මොකද මම මගේ ප්‍රමාණය දන්නවා. හැමදේම ලිමිට් එකක් ඇතිව කරන්න ඕනෑ. මම සංගීතය ඇතුළේ විතරයි නෝලිමිට් වෙන්නේ.

ඔබ මෙරට නව පරපුර සමඟ එකතුද?
බොහෝ අය මගේ හිතවතුන්. මම හැමවිටම මිනිස්සුන්ට ගරුකරනවා. ඒ ගරුකිරීම ඒ අයත් දෙන්න ඕනෑ. අලුත් පරණ කියලා නෑ. මම හැමෝටම ගරුකරනවා. අගය කරනවා. අර වගේ වැරදි වැඩත් කියනවා.

ඔබ පරම්පරා දෙකම දැකලා තියෙනවා. මේවායේ වෙනස කොහොමද?
පරණ පරම්පරාව හරිම වැදගත්. අලුත් අය ගත්තොත් කම්මැලියෝ. ඔක්කෝම නෙමෙයි හැබැයි බහුතරය කම්මැලියෝ. මේක සංගීතයට විතරක් පොදු නෑ. හැම අංශයටම එහෙමයි. මම අද මෙතැන ඉන්නේත් මම කම්මැලි නෑ. මම සෑහෙන කැපකිරීම් කළා සහ තවම කරනවා. ඒ නිසා මට දෙවියෝ මේ ටැලන්ට් එක දීලා තියෙනවා.

ගායකයෙක් වුණාට පස්සේ මොකද හිතුණේ.
මම ගායකයෙක් වෙයි කියලා හිතුවේ නෑ. මට වෙලාවකට හිතාගන්නත් බෑ. මම මේ ඇවිල්ලා ඉන්න තැන ගැන. එක දෙයක් කියන්න ඕනෑ. මට හිතුණොත් දෙයක් කරන්න මම ඒක කරනවා. මොන බාධකය ආවත් මම ඒක කරනවා. මගේ ඉස්සරහා බිත්තියක් තිබුණොත් මම ඒක කඩාගෙන යනවා. ඒක මට බාධාවක් නෙමෙයි. සමහරු කියනවා කරන්න බැරි දේවල් තියෙනවා කියලා. මම හිතන්නේ කරන්න බැරි දේවල් නැහැ කියලායි.

මම ආසයි ඔබ අකමැතිම දෙයක් ගැන දැනගන්න.
මම අකමැතිම දේ තමයි සිය දිවි නසාගන්න එක. එහෙම කරන එවුන්ට දෙන ප්‍රසිද්ධිය දැක්කාම මට හිරිකිතයි. මගේ සහෝදරයෙක් වුණත් යාළුවෙක් වුණත් එහෙම කරගත්තොත් මම ඒකාගේ මළගෙදරටවත් එන්නේ නෑ. ජිවිතයේ වටිනාකම අපිට මේ ජීවිතයෙන් කරන්න පුළුවන් දේවල් දන්නේ නැතිව මැරෙන එවුන් තමයි මට පෙන්නන්නම බැරි. අකමැතිම ජාතිය.

ඔබගේ ගායන ශෛලියටත් විවේචන එනවා නේද?
අපෝ ඔව්. මගේ මුල්ම ගීතය ‘නදී ගංගා තරණයේ’ ඒක බියර් කමර්ෂල් එකකට කළේ. ඉතින් මාව පතුරු ගැහැව්වා. ඕවා සිංදුද කමර්ෂල්නේ කියලා. මයිකල් ජැක්සන් පවා සෑහෙන කමර්ෂල් කරලා තියෙනවා. ඉතින් කට්ටිය දන්න තරම නිසා මම බැනුම් අහගෙනම හිටියා. (හිනා) අනෙක සමහරු එක එක තැන්වල ඔය සිංදුව කියනවා ගිරිය කඩාගෙන. මට හිනාත් යනවා. සමහරු මටත් ඔය චෝදනාව ගෙනාවා. මම එක පාරක් කෙනෙකුට පෙන්නුවා ඔහොම දඟලන්න ඕනෑ නෑ. හරිම සැහැල්ලුවෙන් කියන්න පුළුවන් කියලා. මම සිංදු කියන්නේ හරිම සැහැල්ලුවෙන්. ඒකට තමයි ටෙක්නික් තියෙන්නෙ. වැඬේ දැනගෙන කරනකොට ලේසියි. මම ජර්මනියේ හඬ පිළිබඳ උගන්වන ගුරුවරයෙක්. මට සිංදු කියන්න ගිරිය කඩාගෙන දඟලන්න ඕනෑ නෑ. ගංජා ගහන්න ඕනෑත් නෑ.

ඔබගේ පෞද්ගලික ජීවිතය කොහොමද?
මම විවාහ වෙලා ඉන්නේ ජර්මන් කාන්තාවක් සමඟයි. එයා සැහෙන කාර්යබහුලයි. මමත් රට රටවලට යනවා. කාර්යබහුල දෙන්නා තීන්දු කළා ළමයි හදන්නේ නැතිව ඉන්න. මෙහේ වගේ එහේ ළමයි බලන්න ආච්චි සීයලා නෑ. ඉතින් ළමයෙක් වෙනුවෙන් කැපකිරීම් උපරිම කරන්න බැරි නිසා අපි ළමයි හදන එක නැවැත්තුවා. ඉතින් ඒක තමයි මගේ ලයිෆ් එක. අපි ඉතාම සතුටින් ඉන්නවා.

ඔබ මේ යන ගමනට ඔබගේ මව්පියෝ විරුද්ධ වුණේ නැද්ද?
නෑ. ඒ අය මට කිසිම බලපෑමක් කළේ නෑ. තාත්තා නිතරම මට කිව්වේ පරිස්සමෙන් කල්පනාවෙන් පලයං. මොකද ඉරිසියාව, බෙලි කැපිල්ල වැඩියි කියලා. ඒක කොහෙත් තියෙනවා. හැබැයි ලංකාවේ වැඩියි. (හිනා)

ඔබ දැන් මව්පියන්ගේ ගීත ගායනා කරනවා. ඒක සමහරුන්ට නොගැළපෙන්න පුළුවන් නේද?
ඔව් අම්මා තාත්තා රස විඳපු අයට මගේ රටාව සැහෙන්න බෝරිං වෙන්න පුළුවන්. හැබැයි මට කැමති අයත් ඉන්නවා. මම පීඑල්ඒ සෝමපාලගේ පුතා වුණාට මම වෙනස්. මම චිත්‍රා සෝමපාලගේ පුතා වුණාට මම සෑහෙන වෙනස්. මේ දෙන්නාගේ ළමයා වුණාට මගේ ගමන වෙනම එකක්. එහෙම කියලා මම ඒ අයගේ දේවල් විනාශ කරන්නේවත් ඒ අයගේ දේවල් විකුණගෙන කන්නේවත් නෑ. මම කන්නේ මමම හම්බකරගෙන. මව්පියන්ගේ බූදලෙන් මම යැපෙන්නේ නෑ.■