රාවය

හදවත් යාකළ කතාවක අහිමි පරිච්ඡේදය

හදවත් යාකළ  කතාවක  අහිමි පරිච්ඡේදය

ලසන්ත ද සිල්වා

මං ඉපදුණේ 1946 යාපනයේ කරෛනගර්වල ජනවාරි 14 වැනිදාවක. බණ්ඩාරවෙලට ආවේ බණ්ඩාරනායක මහත්තයා සිංහල විතරක් රාජ්‍ය භාෂාව කරපු නමසිය පනස් හයේ අවුරුද්දේ. ඒ වෙනකොටත් මගේ තාත්තා හිටියේ බණ්ඩාරවෙල. වෙළඳාමට ඇවිත් 1928 අවුරුද්දෙ ඉඳලා. තාත්තා සාප්පු බඩු වික්කා. හැබැයි වැඩිය ප්‍රසිද්ධ යාපනෙන් ගෙනල්ලා විකුණපු සුරුට්ටු දුම්කොළවලට. මිනිස්සු ඒවාට කැමති නිසා හරි වාසියි ඒ කාලෙ. යාපනේදී මං ඉස්කෝලෙ ගියේ වියාවිල් ශෛව පරිපාලන විද්‍යාලෙට හයේ පංතියට යනකම්. බණ්ඩාරවෙලට ආවාට පස්සේ දැම්මෙ සෙන්ට් ජෝශප් කොලේජ් එකට. ඒකෙ දෙමළ වගේම සිංහල ළමයි කලවමේ හිටියා. මට ඊට කලින් ඒ වගේ අත්දැකීමක් තිබුණෙම නෑ.”
සෙල්වතුරෛ ගනේෂ මූර්ති හෙවත් බණ්ඩාරවෙල පරාශක්ති මුදලාලි එසේ සිය අතීතය ස්මරණය කරන්නේ දෙනෙතෙහි නැඟි සියුම් දීප්තියක් සහිතවය. නමසිය පණහ දශකයෙහිදී තමන් උපන් යාපනය හැර දමා නව මිශ්‍ර සංස්කෘතියක් අත්පත් කර ගනු වස් ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ බණ්ඩාරවෙල කුඩා නගරයට පැමිණි ඔහු පසුකාලීනව පදිංචිය සඳහා තෝරගන්නේද බහුවාර්ගික බණ්ඩාරවෙලයි. නව ජීවන පන්නරය ඔහුට ලබා දෙන්නේ බණ්ඩාරවෙල පැමිණි පසුව අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළත් වීමට සිදුවන මිෂනාරීන් විසින් ආරම්භ කරන ලද පාසලක් වන ශාන්ත ජෝශප් විද්‍යාලයයි.

ඉස්කෝලේ පියවරු ලංකාවෙන් එපිටය
ශ්‍රී ලංකාවේ සිය මෙහෙවර ආරම්භ කරන් නට පැමිණි මිෂනාරී කණ්ඩායම් අතර කැපීපෙනෙන අධ්‍යාපන මෙහෙවරක් ඉටු කළ නිකායක් වන්නේ ඩි ලාසාල් බ්‍රදර්ස්ලාය. ඩි ලාසාල් සහෝදරවරු බදුලු දිසාවේ ආරම්භ කළ ප්‍රමුඛ අධ්‍යාපන මධ්‍යස්ථානය වන සෙන්ට් ජෝශප් විද්‍යාලය බිහිවන්නේ 1909 වසරේදීය. ඒ අනුව එය බදුල්ල දිස්ත්‍රික්කයේම අතිපැරණි පාසලක් වේ. පිරිමි ළමුන් 17 දෙනෙකුගෙන් සමන්විතව ඇරඹි පාසලේ මුල් විදුහල්පතිවරයා අයිරිෂ් ජාතික සහෝදරවරයෙකි.
1928 දී සෙන්ට් ජෝශප් විද්‍යාලය ප්‍රංශයේ මාරිස්ට් බ්‍රදර්ස්ලාගේ පාලනයට නතු වේ. එවක් පටන් ක්‍රමයෙන් දියුණු වූ බහුවාර්ගික පිරිමි පාසලක් වන මේ විද්‍යාලය රජයට පවරාගන්නේ 1961 දීය. සිංහල දෙමළ සහෝදරත්වයේ පාසල ඇතැම්විට අවසන් වන්නේ රජයට පවරා ගැනීමෙන් පසුව සෙන්ට් ජෝශප් කොලීජිය සිංහලයන් සඳහාද බාලිකාවන් සඳහා වෙන්ව පැවති මිශ්‍ර සෙන්ට් මේරීස් විදයාලය අමිශ්‍ර දෙමළ කතා කරන්නන් සඳහාද වශයෙන් වෙන් කිරීමේ අදූරදර්ශී රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා විය හැකිය. අද වනවිට නිල සම්මතයක් නොවූවද එක් භාෂා මාධ්‍යයකට සීමාවීම නිසා සිංහල පමණක් පාසලක් ලෙස පවත්වාගෙන යන මේ විද්‍යාලයේ වත්මනට වඩා අතීතය බෙහෙවින් ප්‍රෞඪ වන බැවින් ඒ පිළිබඳව සාක්ෂි සටහන් කිරීම යුතුකමකි.

පරාශක්ති මුදලාලි හෙවත් සෙල්වතුරෛ ගනේෂමූර්ති
“මං යාපනේ ඉඳලා ඇවිත් මේ ඉස්කෝලෙට ඇතුළත් වෙනකොට සිංහල දෙමළ ළමයි කළවමේ ඉගෙන ගන්නවා. ඒක හරිම පුදුම අත්දැකීමක්. එතකොට අපේ ප්‍රින්සිපල් ජර්මානු වෙක්. එයාගේ නම බ්‍රදර් රුඩොල්ෆ්. එයා අපෙන් ඉහළ විනයක් බලා පොරොත්තු වුණා.” මේ පරාශක්ති මුදලාලි ලෙසින් හඳුන්වන බණ්ඩාරවෙල වැඩිමනත් සිංහල මිනිසුන් පොතපත මිලදී ගැනීමට පැමිණෙන වෙළෙඳසැලෙහි හිමිකරුය. ඔහුට අනුව සෙන්ට් ජෝශප් විද්‍යාලය එවක පරිපාලනය කළ මිෂනාරීන් ඔවුන්ට ඉගැන්වූ ප්‍රමුඛ පාඩම බහුවාර්ගිකත්වය ඉවසීමයි.
“ඔන්න රුඩොල්ෆ්ට පස්සෙ ආවා ප්‍රංශකාරයෙක්. එයා බ්‍රදර් ජේම්ස්. හරිම තද නීතිකාරයා. හැබැයි හැමෝටම සමානව සැලකුවා. ජාතීන් අතර සමගිය බලාපොරොත්තු වුණා. 6 පංතියේ ඉඳලා මම හිටියේ දෙමළ ළමයි විතරක් ඉන්න පංතියක. ඊට පස්සෙ 9 පංතියෙන් එහාට ජ්‍යෙෂ්ඨ පංතිවල අපි දෙමළ සිංහල ළමයි කලවමේ දැම්මා. අන්න එතකොට සිංහල ළමයි ආශ්‍රය කරන්න ලැබුණා. ඇත්තටම මං ඒකේදී තමයි සහජීවනය ඉගෙන ගත්තේ. මොනවා වුණත් එයාලා අපේ ඉස්කෝලෙ ළමයි. ඊට පස්සෙ තාත්තාගේ කඬේ ඉන්නවා හවස්වරුවෙ. එතැනට වැඩිපුර එන්නේ ගම්බද සිංහල මිනිස්සු. ඉතිං මං එයාලා එක්ක සිංහලෙන් කතා කරනවා.”
56 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ජන පිරිස් අතර කුකුසක් ඇතිකළ අතර 1958 දී වාර්ගික ගැටුමක සේයාවන් පහළ විය. “58 පොඩි කලබල තත්ත්වයක් ඇතිවුණා. ඒත් අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. ඉස්කෝලෙන් අපිව ආරක්ෂා කළා. ඇයි අපේ සිංහල යාළුවෝ, එයාලාට ඕනෑකම තිබුණා අපිව පරිස්සම් කරන්න.”
සෙන්ට් ජෝශප් විද්‍යාලයීය විනය ඔවුන්ට ඉගැන්වූයේ ඒකීයත්වයයි. ඒ තුළ වෙනස්කම් නොමැති පරිසරයක් හා සුහද බව තහවුරු විය.
“ඒ කාලෙ මතක් වෙනකොටත් ආඩම්බරයි. හරිම සතුටුයි. මා එක්ක එකම පංතියේ හිටියා අල්ලපු බිල්ඩිමේ ඩොක්ටර් රණසිංහ. එයා සිංහලනෙ. දැක්කාම අදත් අහනවා කොහොමද මචං කියලා. මං ළඟ සිංහල කීප දෙනෙක් වැඩ කරනවා. මගේ පොත් සාප්පුවේ සිංහල පොත් භාර එයාලාට. ”
පරාශක්ති මුදලාලි සාම විනිසුරුවරයෙකි. අද ඔහු වෙත ලිපිලේඛන අත්සන් කර ගැනීමට එන බහුතරයද සිංහලයෝය.
“පස්සෙ කාලෙක අපේ ඉස්කෝලෙ සිංහල විතරක් කළා. ඒක අපරාධයක්. මිශ්‍ර ඉස්කෝලෙ සහජීවනයට කොයිතරම් වටිනවාද?”

සිංහල යාළුවා දොස්තර රණසිංහ
“ඒ කාලෙ සිංහල දෙමළ භේදයක් තිබුණෙ නෑ. හැමෝම යාළුවො. දෙගොල්ල යා කරපු මීඩියම් එක ඉංග්‍රීසි. ඒ නිසා අපි අතර හොඳ සහජීවනයක් තිබුණා.” දොස්තර රණසිංහ සෙන්ට් ජෝශප් විද්‍යාලයීය ස්වර්ණ යුගයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු පවසන්නේ මනා සන්නිවේදනය භේද මග හළ බවයි.
“අනික අපිත් දෙමළ ඉගෙන ගත්තා. දෙමළ අය සිංහල ඉගෙන ගත්තා. අපේ දෙමව්පියො කළ ව්‍යාපාරවල පාරිභෝගි කයො දෙමළ අය. ඉතිං ඉස්කෝලෙ ඉගෙන ගත්ත දේවල් අපි ප්‍රැක්ටිස් කළේ ඒ අය ඇසුරෙ”. තමන් දෙමළ සංස්කෘතියටද එක සේ ගරු කරන්නට උගත් අන්දම ඔහු පැහැදිලි කරයි.
“අපි ක්‍රීඩා කළේ සිංහල දෙමළ යාළුවෝ එකට. ගුරුවරුත් හැමෝටම එක වගේ සැලකුවා. කවුරුත් ළමයි මිස සිංහල දෙමළ කියලා නෙවෙයි.”
බණ්ඩාරවෙල නගරය සංහිඳියාවේ නගරයක් ලෙස පවත්වාගෙන යන්නට ඔවුන්ට උපකාරී වූයේද පාසලෙන් ලද ඒ පන්නරයයි. දොස්තර රණසිංහ අදහන්නේ බෙදීම් ඇත්තේ දේශපාලනය තුළ මිස ජනතාව අතර නොවන බවයි.
“58, 83 කලබලවලදී අපි දෙමළ අයව පරිස්සම් කළා. අපේ ගෙවල්වල කුලියට හිටපු දෙමළ අයව පරිස්සම් කළා. අවුරුදු ගාණක් එකට හිටපු අය දොට්ට දාන්නෙ කොහොමද. අදත් අපි කන බොන දේවල් පවා හුවමාරු කරගන්න තරම් එකට බැඳුණෙ අපේ ඉස්කෝලෙ හින්දා.” දොස්තර රණසිංහ පෙන්වා දෙන අන්දමට මිශ්‍ර පාසල් වාර්ගිකව බෙදා වෙන් කිරීම ජනතාව භේදභින්න කිරීමට හේතු වූ ප්‍රශ්නවල මූලයයි.

මුද්‍රණාලයාධිපතිගේ සාක්ෂිය
“අපේ තාත්තා අලුත්ගම. මුලින්ම තැපෑලෙ වැඩ කරලා පස්සෙ කොම්පැනියක වැඩ කරද්දී බණ්ඩාරවෙලට ඇවිත්. දකුණෙ අය ටිකක් සිංහල පැත්තට බරයි. ඒත් අපි ජාතිවාදීන් නොවුණෙ අපේ ඉස්කෝලෙ නිසා.”
බණ්ඩාරවෙල ඩව්ලිව් ඒඑස් මුද්‍රණාලයාධිපති කිංස්ලි ද සිල්වා එක්සත් වෙළඳ සංගමයේ මුල් පෙළ තනතුරු දරමින් දෙමළ හා මුස්ලිම් ව්‍යාපාරිකයන් සමගද සහයෝගයෙන් කටයුතු කරන්නෙකි. නගරයේ සංහිඳියා පිළිවෙත පවත්වාගෙන යන්නට මේ ව්‍යාපාරිකයෝ දැඩි කැපවීමකින් කටයුතු කරති. පන්සලේ කෝවිලේ හෝ පල්ලියේ සියලු කාර්යයන්හිදී ඔවුන් එකාවන්ව ඉදිරිපත් වන්නේ එහෙයිනි.
“මට අද වගේ මතකයි ඒ ඉස්කෝලෙ. සිංහල සර්ලා ෆාදර්ස්ලා එක්ක දෙමළ සර්ලා වැඩ කළා. හොඳ සර් කෙනෙක් හිටියා ධර්මලිංගම් කියලා. අපිට ටික ටික හරි දෙමළ කතා කරන්න පුළුවන් වුණේ ඒ ඉස්කෝලෙ නිසා. අදත් මම දෙමළ අය එක්ක බිස්නස් කරනවා. පස්සෙ ආණ්ඩුව ඉස්කෝල වෙන් කළා දෙමළ සිංහල කියලා. එහෙම නැතිව දිගටම තිබුණු විදිය ආවා නම් අපේ රටට මෙහෙම වෙන්නේ නෑ. මං අවුරුදු දහයක් මේ නගරෙ වෙළඳ සංගමයෙ සභාපති. අපි කිසිම ගැටුමක් ජාතීන් අතර ඇති වෙන්න නොදෙන්නේ ඒ ලබපු අත්දැකීමේ වටිනාකම නිසා.”
බණ්ඩාරවෙල අලුත් ගමට ආදර්ශයක්ව ඇති අන්දමද කිසිම අන්තවාදී වාර්ගික කණ්ඩායමකට බණ්ඩාරවෙල මුල්බැස ගන්නට නොහැක්කේ ඇයිද යන්නද ඔහු එසේ පැහැදිලි කරයි.

පොදුජනයාගේ හිතවතා
කුමාරවේල් මුදලාලි හෙවත් කවුරුත් දන්නා පරිදි ජනලංකා මුදලාලි බණ්ඩාරවෙල නගරයේ සම්මානනීය පුරවැසියෙකි. අදත් බහුතරයක් සිංහලයා රෙදි කෑල්ලක් ගන්නට යන්නේ ජනලංකාවටය. ආසන්නයේ ඕනෑම පන්සලක්, බෞද්ධයන්ගේ දන්සැලක් ආධාර ලැයිස්තුවේ මුලටම ලියා ගන්නේ ඔහුගේ නමය. වර්ග දෙකක දරුවන් එකට ඉගෙනගත් සෙන්ට් ජෝශප් කොලීජියේ සාඩම්බර ආදි සිසුවෙකු වන ඔහු අද තමාගේ ව්‍යාපාරවල සිංහලයන් ගණනාවකට පාසලේ නාමයෙන් රස්සාව දී ඇත. ඔහුගේ උපන්ගම සොරගුණෙහි විසූ සීයා කොටු පලයකාට් සරම බත්කෙන්ඩෙන් උඩට ඇඳ කබායක් දමා කොණ්ඩය බැඳ සිටි ගැමියෙකි. කරේ නිතර කුඩයක්ද එල්ලාගෙන සිටි මේ දමිළයා කතාකළේද සිංහලෙන් නිසා සැවොම සිතුවේ ඔහු සිංහල ගමරාළ කෙනෙකැයි කියාය. එවක සොරගුණේ පන්සලේ ඔවුන්ගේ පවුල ප්‍රමඛ දායකයෝ වූහ. ඒ අනුව සිංහල ජනයාට කිසිසේත් ආගන්තුක නොවූ කුමාරවේල් සහජීවනයේ ශික්ෂණය ලද්දේ පාසලෙනි.
“මං යන කාලෙ අපි සිංහල ළමයි දෙමළ ළමයි නෙවෙයි ජොශපියන්ස්ලා. අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සිංහල වුණාම දෙමළ කෙනෙක් වයිස් ප්‍රින්සිපල් කළා. ඒ අතීතය මොන තරම් මිහිරිද” ජනලංකා මුදලාලි විමසයි.

ඒ ඔහුගේ හදවතේ අනුස්මරණීය මිහිරක් තැම්පත්ව ඇති නිසාය. යාපනෙන් විත් ඔවුන්ට ඉගැන්වූ දෙමළ ගුරුවරුන්ට අදත් සිංහල ආදිශිෂ්‍යයෝ බෙහෙවින් ගරු කරති.
“මේ ගැටුම්වලට ඔයාලගේ අය, ඒ කියන්නෙ මාධ්‍යවේදියොත් වග කියන්න ඕනෑ. එයාලා පත්තර විකුණගන්න පක්ෂග්‍රාහීව වැඩ කළා. පුංචි දේවල් ලොකු කරලා පෙන්නුවා. තේරුම් ගන්න අපේ රට පරම්පරා තුනක් ආපස්සට ගියා.”
“1956 සිංහල රාජ්‍ය භාෂාව කළා. ඒකට කමක් නෑ. රටේ සියයට හැත්තෑපහක් මිනිස්සුන්ගෙ භාෂාවනේ. ඒත් මොකක්ද වරද ඉන්ටර්මීඩියම් එක හැටියට ඉංග්‍රීසි හැදුවේ නෑ. ළමයින්ට දෙවන භාෂාව සැටියට සිංහල හරි දෙමළ හරි ඉගැන්වුවේ නෑ.”
ජනලංකා මුදලාලිට අනුව රටවැසියා ද්විභාෂිකයන් කරන්නට තිබුණු අගනා අවස්ථාව අහිමි වන්නේ සෙන්ට් ජෝශප් වැනි පාසල් වාර්ගික සීමාවක් තුළට ඇද දැමීමෙනි.
“තමන් ඉස්සරහ දෙමළ අය නොදන්න භාෂාවකින් කතා කළාම සිංහල මිනිස්සු සැකෙන් වපර ඇහෙන් බලන්න ගත්තා. කඬේට ආවාම ගෝලයායි මුදලාලියි වෙන දෙයක් ගැන කතා කරනවා. සිංහල මිනිහා හිතනවා වංචාවක් කරන්න හදන්නෙ කියලා.”
ඔහුට අනුව එවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුත්තේ රාජ්‍ය මට්ටමෙහි වැඩපිළිවෙළකි. වැදගත්ම දේ භාෂාවන් ඉගෙන ගැනීමට ජනතාව පෙළඹවීමයි.
“මේ රටේ යාපනේ හැරුණාම අනෙක් දෙමළ අය සියයට අනූවක් සිංහල කතා කරනවා. ඒත් සිංහල අයගේ භාෂා දැනුම ගැන කනගාටු වෙන්න ඕනෑ. මං ළඟ වැඩ කරන සිංහල අයට මං කියනවා මා එක්ක දෙමළෙන් කතා කළාම වැඩි පඩි කියලා. මට ඕනෑ එයාලා ඉගෙනගන්න පොළඹවන්න.”
මේ වනවිට රජයේ පාසල් දෙවන භාෂාවන් ලෙස සිංහල හා දෙමළ ඒ ඒ වාර්ගික දරුවන්ට ඉගැන්වීම ආරම්භ කර තිබේ. එහෙත් කුමාරවේල් මුදලාලි පෙන්වා දෙන්නේ භාවිතයෙන් තොර ඉගැන්වීමේ පලදායක බව අඩු හෙයින් දරුවන්ට මුසුවීමට අවස්ථාව ලබාදෙන වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි. ඒ වැඩපිළිවෙළ වනාහි අතීතයට ආපසු යාමයි. එනම් සෙන්ට්ජෝශප් විද්‍යාලයේ පූර්වාදර්ශය වර්තමානගත කිරීමයි.
“අපි එකට හිටියෙ- ටිකෙන් ටික වෙන් කරලා 78 න් පස්සෙ දෙපැත්තකට ඇදලා දැම්මා. රට ආපස්සට ගියා. මේක කළේ දේශපාලනය. දැන් ආපහු ඕනෑ වෙනස් වෙන්න. අනාගතය වෙනුවෙන්. ආයෙමත් ඒ වගේ ඉස්කෝල. අපි එකතුවෙලා ජාත්‍යන්තරයට යන්න.” ඒ ඔහුගේ අනාගත පෙරදැක්මයි-■