රාවය

සෙනරත් සැඟවුණේ ඇමති ළඟද සැක

සෙනරත් සැඟවුණේ ඇමති ළඟද සැක

නිමල් අබේසිංහ

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලැබි ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මේ වන විට ඔහු පදිංචි ස්ථානවලින් ඉවත්ව රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ රැකවරණය යටතේ සිටින බවට පරීක්‍ෂණ කණ්ඩායම්වල සැකයට භාජනය වී ඇත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගාමිණී සෙනරත්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම කොට්ඨාසයට කැඳවා තිබුණද එහි පැමිණීම ඔහු මගහැර තිබුණු අතර මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගත්තේ ඉන් පසුවය.

මේ අතර රුපියල් බිලියන 04ක මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති ගාමිණී සෙනරත් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වලකාලන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සමක් නොවැම්බර් 02 දින කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණය එය විමසීම මේ මස 06 වැනිදාට කල් තබා ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටිය ග්‍රැන්ඞ් හයිට් රීජන්ට් හෝටල් ව්‍යාපෘතියට 2012 දී කැබිනට් අනුමැතියකින් වෙන්කළ රුපියල් බිලියන 18.5ක මුදලින් බිලියන 4ක මුදලක් නීති විරෝධි ලෙස හම්බන්තොට හයිට් රිජන්සි ව්‍යාපෘතියට යෙදවීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බී වාර්තාවක් මඟින් ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීමට නීයෝග කර තිබුණේ 2017 ඔක්තෝබර් 31 දින දීය. එයට අමතරව ඔහුගේ විදේශ ගමන්ද තහනමට ලක් කර ඇත.

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල හා ලිට්රෝ ගෑස් සමාගම කොල්ලුපිටියේ හෝටල් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 18.5 ක මුදල ලබා දී ඇත.
ගාමිණී සෙනරත්ට අමතරව රක්ෂණ සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් ජනරාල් නීල් බණ්ඩාර හපුවින්න යන අයද මෙම රුපියල් බිලියන 04 රේ මූල්‍ය අවභාවිතාවට සැකකරුවන් ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය නම් කර ඇත.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ අලි සබ්රි ගාමිණී සෙනරත් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.■