රාවය

රෙඩ් චෙරි නම් වූ ජනාධිපති දියණි සමාගම

රෙඩ් චෙරි නම් වූ ජනාධිපති දියණි සමාගම

ලසන්ත රුහුණගේ

දේශපාලන බලය හොබවන පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳවත්, එම දේශපාලන බලය වටා රොක් වී සිටින පුද්ගලයන් පිළිබඳවත් විමර්ශනශීලිව සිටීම ජනමාධ්‍යයේ වගකීම හා යුතුකමය. මන්ද මේ දේශපාලන බලය යමෙකු අයුතු ලෙස භාවිත කරන්නේ නම් සිය පරමාධිපත්‍ය බලය තාවකාලිකව දේශ පාලනඥයන්ට පිරිනැමු ජනතාවට තීන්දු තීරණ ගැනීමට හැකි තොරතුරු සම්පාදනය කිරීම සිදුකළ යුත්තේ ජනමාධ්‍ය බැවිනි.
විශේෂයෙන්ම 1977න් පසු බිහිවූ ලංකාවේ දේශපාලනය තුළ දේශපාලන බලය හිමිවීමට පෙර දේශපාලනඥයන්ට නොතිබූ වස්තු සම්භාරයන්ද විවිධ හැකියාවන් හා කුසලතාවන්ද ඉබේ පහළවන බැවින්ය. එසේම දේශපාලනඥයන්ගේ පවුල්වල උදවියට හා බලය වටා සිටින පුද්ගලයන්ටද ඉහත කී වස්තු සම්භාරයෙන් හා හැකියාවෙන් හා කුසලතාවන්ද ඒ ආකාරයටම ඉබේ පහළවන බැවින්ය.

ආසන්නතම අතීතයට ගියහොත් ඒ ආකාරයෙන් නිදර්ශන රැසක් අපට පෙන්නුම් කරනු ලැබුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පවුලේ උදවිය හා ඔහු වටා සිටි පිරිස්ය. අද ඒ බොහෝ අයට එරෙහිව කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය, රාජ්‍ය මුදල් හා සම්පත් අවභාවිතය ඇතුළු මූල්‍ය චෝදනා නැඟී ඇත. ඒ සමහරුන්ට එරෙහිව නඩු පවරා ඇත. සමහරුන්ට එරෙහිව ලඝු නොවන නඩු ගොනු කර තිබේ. සමහරුන් ඉන්නේ අධිකරණ ඇප පිටය. සමහරුන්ට විදේශ ගමන් තහනම්ය.

2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් නාමකරණය කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ රටේ නීතියට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදය අගයන, දූෂණයට වංචාවට එරෙහි පොදු මහජනතාව බලයට පත්කළේ නැවත රාජපක්‍ෂ යුගයක් බලා පොරොත්තුවෙන් නොවේ.

එහෙත් ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේද සිදුවන කටයුතු අනුව පෙනෙන්නේ යහපාලනයක් කෙසේ වෙතත් රාජපක්‍ෂ පාලනයක් කරා මේ රට ආපස්සට ගමන් කරමින් තිබෙන බවය.
එම ආපස්සට ගමන් කිරීම සඳහා යහපාලන ආණ්ඩු නියමුවා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පවුලේ උදවියද දායකත්වය සපයමින් සිටිති. ඉන් එක් අයෙකු වන්නී ජනාධිපති දියණි චතුරිකා සිරිසේනය. ජනාධිපති පුත් දහම් සිරිසේන කොළඹ ටවුන්හෝල් රාත්‍රි සමාජශාලා සිද්ධියෙන් පසු විදේශයකට පිටත්කර යැවීම නිසා ඔහු ගැන තාවකාලිකව යමක් දැන් ඇසෙන්නේ නැත. චතුරිකා සිරිසේන නම් එසේ නොවේ. පසුගිය කාලය පුරාම බොහෝ සමාජ ආර්ථික කටයුතුවලදී ඇය අපට අසන්නට දකින්නට ලැබුණි.

රාවයම මීට පෙර වාර්තා කරනු ලැබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මහරගම පිළිකා රෝහලේ සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඇගේ පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් පිළිකා රෝගීන්ට අපහසුවක් ඇති වී තිබුණි. ඒ අවස්ථාවේදී තමා බලයට පැමිණි මුල් අවස්ථාවකදීම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපගේ එම වාර්තා කිරීම සිත් රිදීමක් බවට පත්වී තිබුණි.
ඒ චතුරිකා සිරිසේන දැන් ඊට වඩා බොහෝ දුර ගොස් ඇත. වස විස නැති ගොවිතැන පිළිබඳ ජාතික වැඩසටහනේ ඇය නිල නොවන ප්‍රධානියකු ලෙස කටයුතු කරනු අපට පෙනේ. ඒ රජයේ කිනම් තනතුරක් දරමින්දැයි කවුරුවත් නොදනිති.

මෑත කාලයේ චතුරිකා සිරිසේනට විශේෂයෙන්ම අන්තර්ජාල මාධ්‍ය හරහා චෝදනා එල්ලවෙමින් පවතින්නේ ඇය පිටුපස සිට මෙහෙයවන ප්‍රචාරක ආයතනයක් ඇති බව හා රජයේ ආයතනවල ප්‍රචාරක කටයුතු එම සමාගමට ලැබෙමින් පවතින බවයි.

ඇත්තටම චතුරිකා සිරිසේනට ප්‍රචාරක ආයතනයක් තිබෙන්නේද? අප කළ සොයා බැලීම්වලදී ලැබුණ පිළිතුර වූයේ “ඔව්” යන්නය. ඒ ඇය පිටුපස සිට මෙහෙයවන ප්‍රචාරක ආයතනයක් නොව ඇය ඇගේ නමින්ම මෙහෙයවන ප්‍රචාරක ආයතනයක්ය.

PV103978 අංකය යටතේ සමාගම් නීතිය යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති එම සමාගමේ නම RED CHERRY ADVERTISING AGENCY (Private) LIMITED ය. එහි පළමු අධ්‍යක්ෂවරුන් දෙදෙනා වන්නේ පල්ලේවත්ත ගමරාළලාගේ දර්ශනී චතුරිකා පල්ලේවත්ත හෙවත් ජාතික හැඳුනුම්පත් අංක 828024022Vහිමි ජනාධිපති දියණි චතුරිකා සිරිසේනය. සමාගම් ලියාපදිංචියේ ඇගේ ලිපිනය අංක 06, පළමු පටුමග, නව නගරය, පොළොන්නරුව යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පොළොන්නරු ලිපිනයය.

එහි ආරම්භක අනෙක් අධ්‍යක්‍ෂවරයා වන්නේ ජාතික හැඳුනුම්පත් අංක 781611042V හිමි ජයපුර, හිඟුරක්ගොඩ ලිපිනය ඇති ජනක ප්‍රසන්න දෙහිවල ලියනගේය. මේ ජනක ප්‍රසන්න යනු චතුරිකා සිරිසේනගේ ස්වාමියා වන වේවැල්පනාව ගමගේ තිළිණ සුරංජිත්ගේ පාසල් මිත්‍රයාය.
මේ සමාගමේ එක් කොටස බැගින් හිමි මුල් අයිතිකරුවන් දෙදෙනා වන්නේද එම ආරම්භක අධ්‍යක්‍ෂවරු දෙදෙනාමය. සමාගමේ මුල්ම ලියාපදිංචි ලිපිනය වන්නේ අංක 20A සුලේමාන් මාවත, ජාවත්ත කොළඹ 05 යන ලිපිනයය.

සමාගමේ පළමු ලේකම්වරයා වන්නේද අධ්‍යක්‍ෂ/හිමිකරු ජනක ප්‍රසන්න දෙහිවල ලියනගේය. එම ලේකම් ධුරය වෙනස් වන්නේ 2016 මාර්තු 02 දිනදීය. ඒ අනුව ගම්පහ, අස්ගිරිය, කොස්ගහවත්ත පාරේ අංක 305 /Rහි ලිහිණිය කුමාරගේ ප්‍රබෝධා සන්ධනනී රාජකීය පත්වන්නීය.
ජාතික හැඳුනුම්පත් අංක 680383014V හිමි පොළොන්නරුව, නව නගරයේ, වාරිමාර්ග කලාපයේ ලිපිනයැති, ජයකොඩි ආරච්චිගේ විපුල් ජයකොඩි නව අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් පත්වන්නේ 2016 මාර්තු 01 වැනිදාය. ඔහු වෙනුවෙන් එම දිනයේ අධ්‍යක්‍ෂධුරයෙන් ඉවත් වන්නී චතුරිකා සිරිසේනය.
චතුරිකා සිරිසේන නැවත 2016 මැයි 25 දින අධ්‍යක්‍ෂවරියක ලෙසින් පත්වන අතර ඇය වෙනුවෙන් පත්වූ ජයකොඩි ආරච්චිගේ විපුල් ජයකොඩි අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉවත්වන්නේය.

සමාගම 2016 ජුලි 27 දින කොටස් නිකුත් කරන අතර එම ප්‍රමාණය රුපියල් 10 බැගින් වූ කොටස් හාරලක්ෂයකි. ඉන් කොටස් ලක්ෂ දෙකක් චතුරිකා සිරිසේන මුදල් ගෙවා මිලදී ගන්නා අතර ඉතිරි කොටස් ලක්ෂ දෙක මුදල් ගෙවා ජනක ප්‍රසන්න දෙහිවල ලියනගේ මිලදී ගනී.
මේ දෙදෙනාගෙන් ජනක ප්‍රසන්න දෙහිවල ලියනගේ, 2017 ජනවාරි 01 දින අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉවත් වන්නේය. එමෙන්ම සමාගම් ලිපිනය 2017 පෙබරවාරි 01 දින වෙනස් කරන්නේය. නව ලිපිනය වන්නේ, අංක 10 /05, රන්දෝලි පටුමග, තිඹිරිගස්යාය කොළඹ 05ය. සමාගමේ ලේකම්වරුන්ද 2017 අගෝස්තු 20 දින වෙනස් කරන අතර ඒ වෙනුවට මිනුවන්ගොඩ, විජය මාවතේ, පළමු පටුමගේ, අංක 11/7හි කළුතර කෝරලගේ දෝන රොසිටා ෆ්‍රෙඞ්රික් පත්වන්නීය.

චතුරිකා සිරිසේනගේ මෙම සමාගම පිළිබඳව අන්තර්ජාලය පිරික්සීමේදී හමුවන්නේ redcherry.lk යන වෙබ් ලිපිනයය. එහි ලිපිනය වශයෙන් සඳහන් වන්නේ සමාගමේ ලියාපදිංචි මුල් ලිපිනයේ වූ අංක 20් සුලේමාන් මාවත, ජාවත්ත, කොළඹ 05 යන ලිපිනයය. දුරකථන හා ෆැක්ස් අංකය වන්නේ 0112507060 ය. එහි ගනුදෙනුකරුවන් වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන රාජ්‍ය ආයතන අපට හමුවේ.
අන්තර්ජාල පිරික්සීමේදී මේ රෙඞ් චෙරි ආයතනයට සමාන තවත් ආයතනයක් අපට හමුවේ ඒ www.mediagang.lk fවෙබ් ලිපිනය හිමි Mediagang Advertising (pvt) Limited ලෙස සඳහන් ප්‍රචාරක ආයතනයයි. නම් දෙකින් සමාගම් දෙකක් වුවද වෙබ් අඩවි අනුව මේ සමාගම් දෙකම සමාන බව පෙනේ. වෙබ් අඩවි දෙකේ About us, Our Team, Clients,  Contact usආදිය එක සමානය. එහි Contact us යටතේ ඇති ලිපිනයත් රෙඞ් චෙරිහි ලිපිනය වන අංක 20්ල සුලේමාන් මාවත, ජාවත්ත, කොළඹ 05 යන ලිපිනයය. දුරකථන හා ෆැක්ස් අංකය රෙඞ් චෙරිහි මෙන්ම 0112507060 ය. Our
Teamදී මීඩියා ගැන්ග් වෙබ් අඩවියේ ඒ ඒ පුද්ගලයන්ගේ පින්තූර, නම් හා තනතුරු සඳහන් කර ඇතත් රෙඞ් චෙරි වෙබ් අඩවියේ වෙනසකට ඇත්තේ නම් හෝ තනතුරු නොමැතිව එම කණ්ඩායමේම පින්තූර ඇතුළත් කර තිබීමය. මීඩියා ගැන්ග්හි වැඩිපුර ඇත්තේ Clients යන උපශීර්ෂය යටතේ, රජයට සම්බන්ධයක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් හා ීStudio යන උපශීර්ෂය පමණය.

මේ සමානකම තවදුරටත් තහවුරු වන්නේ මීඩියා ගැන්ග්ට සම්බන්ධ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලිපි ගොනුව පරීක්‍ෂා කිරීමේදීය. ඒ අනුව අපට හමුවන්නේ අංක PV104567 යටතේ ලියාපදිංචි MEDIA GANG ADVERTISING AGENCY PRIVATE LIMITEDලෙස 2015 මාර්තු 19 දින ලියාදිංචි වූ සමාගමය.
එම සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරයා වන්නේ ජනක ප්‍රසන්න දෙහිවල ලියනගේ හෙවත් චතුරිකා සිරිසේනගේ ‘රෙඞ් චෙරි’හි ආරම්භක අධ්‍යක්ෂවරයකු හා කොටස් හිමිකරුවා වන පුද්ගලයාමය. ඔහුට අමතරව එම සමාගමේ මුල්ම අනෙක් කොටස්කරුවා වන්නේ ජාතික හැඳුනුම්පත් අංක 656791810V හිමි පොළොන්නරුව, නව නගරයේ, තුන්වන හරස් පාරේ, අංක 2/1හි, පතිරහැල්ලාගේ නන්දනී පතිරණය.

මේ සමාගමට 2016 මාර්තු 01 දින නව අධ්‍යක්ෂවරයෙකු පත්වන අතර ඔහු ජයකොඩි ආරච්චිගේ විපුල් ජයකොඩි හෙවත් අප මීට පෙර රෙඞ් චෙරිහි අධ්‍යක්ෂවරයකු වශයෙන් පත්කළා යැයි සඳහන් කළ පුද්ගලයාමය.

මෙම සමාගමේ 2016 මාර්තු 02 දින ලේකම්වරුන් වෙනස්වන අතර ඒ සඳහා පත්කරන්ගේ ළිහිණිය කුමාරගේ කැලුමිකා රුවිනි ආශා රාජකීයය. ඇයද ‘රෙඞ් චෙරි’ සමාගමේ ලේකම්වරුන් වශයෙන් පත්වෙන ‘රාජකීය’ වාසගම ඇති තැනැත්තියගේම කෙනෙකු ලෙස පෙනේ.
පසුව 2016 ජූලි 27 වැනිදා මේ සමාගමද කොටස් ලක්ෂ හයක නිකුතුවක් සිදුකරන අතර ඉන් රුපියල් 10 බැගින් වූ කොටස් තුන් ලක්ෂයක් මුදල් ගෙවා ජනක ප්‍රසන්න දෙහිවල ලියනගේ ලබාගන්නා අතර ඉතිරි කොටස් ලක්ෂ තුන මුදල් ගෙවා ලබාගන්නේ ජයකොඩි ආරච්චිගේ විපුල් ජයකොඩිය.
මේ සමාගමේ ලියාපදිංචි ලිපිනයද 2017 පෙබරවාරි 01 දින වෙනස් කරන අතර වෙනස් කළ ලිපිනය වශයෙන් සඳහන් වන්නේ, රෙඞ් චෙරි සමාගමද වෙනස් කළ ලිපිනය වශයෙන් සඳහන් කරන, අංක 10/05, රන්දෝලි පටුමග, තිඹිරිගස්යාය, කොළඹ 05 යන ලිපිනයය. සුපුරුදු පරිදි ටියුඩර් වී පෙරේරා සමාගම මෙම සමාගමේ විගණකවරුන් වශයෙන් කටයුතු කරන අතර රෙඞ් චෙරි සමාගමේ විගණකවරුන් වන්නේද ඔවුන්මය.
සමානකම් එතැනින්ද නවතින්නේ නැත. සමාගම් ලියාපදිංචිය සඳහා ‘රෙඞ් චෙරි’ හා ‘මීඩියා ගැන්ග්’ යන සමාගම් දෙකම ඉදිරිපත් කර ඇති Objects හෙවත් අරමුණද වචනයක්වත් වෙනස් නොවී එක සමානය.

මේ සමානත්වය ගැන කරුණු විමසීම සඳහා අප 0112507060 දුරකතන අංකයට මීඩියා ගැන්ග් ලෙස අමතා, සමාගම් දෙකෙහිම කොටස් හිමියෙකු වශයෙන් කටයුතු කරන හා මීඩියා ගැන්ග්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ජනක ප්‍රසන්න දෙහිවල ලියනගේ සම්බන්ධ කරගත් අතර ඔහුගේ කතාව පුරාම කියවුණේ මාධ්‍ය මගින් ඔවුන්ට හා චතුරිකා සිරිසේනට බොරු චෝදනා එල්ල කරන බවය. මුලින්ම පිළිතුරු දීමට මැලිකමක් දැක්වූ ඔහු සමාගම් දෙකෙහි සමානත්වය හා ඊට චතුරිකා සිරිසේනගේ ඇති සම්බන්ධයද ප්‍රතික්ෂේප කරන අයුරින් කතාකළේය. පසුව චතුරිකා සිරිසේනගේ සැමියාගේ පාසල් මිතුරෙකු බව ඔහු පිළිගත් අතර චතුරිකා සිරිසේන ආරක්ෂා කරමින් වැඩිදුරටත් පැවසුවේ, රෙඞ් චෙරි සමාගමේ වෙබ් අඩවියේ ගනුදෙනුකාර ආයතන වශයෙන් රාජ්‍ය ආයතන සඳහන් වුවද ඒ කිසිදු ආයතනයක් සමග රෙඞ් චෙරි ආයතනය ගිවිසුමකට එළඹ නැති බවය. එමෙන්ම චතුරිකා සිරිසේන ඇයට චෝදනා එල්ල කළ මාධ්‍යවලට නඩු පැවරීමට සූදානම් බවද ඔහු කීවේය.

චතුරිකා සිරිසේනට රාවය ‘ගහන’ බව ඔහු කී අතර ඊට උදාහරණයක් වශයෙන් මීට පෙර සඳහන් කළ ජාතික පිළිකා රෝහලේ සිද්ධිය ඔහුට මතකයේ තිබුණි. (ඔහු සමඟ කළ සංවාදයෙන් උපුටා ගත් දෑ මෙහි වෙනම පළවේ.)

තවදුරටත් චතුරිකා සිරිසේන සම්බන්ධ කරගැනීමේ වුවමනාවක් අපට ඇතිවූ අතර ඒ අනුව 0112507060 නම් වූ ඉහත දුරකතන අංකයට පසුව ඇමතුමක් ලබාදී රෙඞ් චෙරි ආයතනයදැයි විමසුවෙමු. දුරකතනයට පිළිතුරු දුන් තැනැත්තිය ‘ඔව්’යැයි පැවසූ අතර අපි චතුරිකා සිරිසේන සම්බන්ධ කරගැනීමට අවශ්‍ය බව පැවසුවෙමු. එවැන්නියක් නැතැයි ප්‍රකාශ නොකළ දුරකතනයට සම්බන්ධ වූ තැනැත්තිය රැඳීසිටින ලෙස දැන්වූ අතර ටික වේලාවකින් දුරකතනයට සම්බන්ධ වූ වෙනත් පුද්ගලයෙකු චතුරිකා සිරිසේන නම් අයෙකු නොමැති බව පවසා දුරකතන සම්බන්ධතාව විසන්ධි කළේය.

ඉහතින් විස්තර කරන ලද කරුණු අනුව එළැඹිය හැකි නිගමනය වන්නේ මේ සමාගම් දෙකෙහි ඇති සම්බන්ධය හා සමානකම තවදුරටත් කිසිවකුට හැංගිය නොහැකි බවය. චතුරිකා සිරිසේන නිල වශයෙන් සිටින රෙඞ් චෙරි සමාගම රාජ්‍ය ආයතන සමඟ නිල වශයෙන් ගනුදෙනු නොකරනවාද විය හැක. කොහොමත් රාජ්‍ය ආයතන සමඟ නිල වශයෙන් ගනුදෙනු කරන්නට තරම් මේ අය නොමේරූ අයයැයි අප සිතිය යුතු නැත. තමන්ගේ නමටම ශත ගණන්වලට රටේ ඉඩම් ලියාගත්තේ අසූව දශකයේ දේශපාලනඥයන්ය. ඩිජිටල් වූ නූතනයේ අපට හමුවන්නේ අයිතිකරුවකු නැති ‘මල්වාන මන්දිරය’ වැනි දේපල සිදුවීම්ය.

කෙසේ වෙතත් සිය පියා ජනාධිපති වුවහොත් සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳව යම් අදහසක් ඇයට තිබී ඇති බව පෙනෙන්නේ 2015 ජනාධිපතිවරණයෙන් පසු මාසයයි දින ගණනක් ඇතුළත චතුරිකා සිරිසේන රෙඞ් චෙරි සමාගමට ලියාපදිංචිය ලබා ගැනීමෙන්ය. මෙහිදී ජනාධි පතිවරයාගේ සහෝදරයා වන චතුරිකා සිරිසේනගේ බාප්පා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී.ජී. කුමාරසිංහ හෙවත් පල්ලේවත්ත ගමරාළලාගේ කුමාරසිංද අපට අමතක කළ නොහැකිය. ඒ රජයේ බොහෝ වගකිවයුතු තනතුරු සඳහා පත්කරන්නේ කවුද යන්න නිශ්චිත නැති කාලවකවානුවක එනම් 2015 ජනවාරි 22 දිනම ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ධුරයේ වැඩ භාරගැනීම නිසාය. අප සාකච්ඡා කරන කරුණට අදාළ ආයතනවල එක් ප්‍රධාන ගනුදෙනුකරුවෙකු වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයය. අනෙක තිලංග සුමතිපාල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයය. (ඡන්දයෙන් පරාජයට පත්වූ ඔහු ජාතික ලැයිස්තුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කළේ ඔහුට හිතවත් පිරිසක් පත් කරගත යුතු යැයි පවසමින්ය.)

මෙම ආයතනවල ගනුදෙනුකරුවන්ගේ ලැයිස්තුවේ සිටින පෞද්ගලික අංශයේ ගනුදෙනුකාර ආයතනත් සමඟද ගත් කල අවුරුදු දෙකයි මාස කිහිපයක් වයසැති මේ සමාගම් මේ වනවිට සෑහෙන දුරක් ගොස් ඇති බව පැහැදිලිය. (අන්තර්ජාලයේ ඇති සමාගම් දෙකේ සමානකම් මේ වාර්තාකරණයෙන් පසු සමහරවිට වෙනස් කළ හැකිය.)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් කලඑළියේ කරළියට ආවේ ඔහුගේ දෙවන ධුර කාලයේදීය. පළමු ධුර කාලයේදී ඔහුගේ දරුවන් පාසල් වියේ ගතකිරීම සමහරවිට ඊට හේතුවිය හැකිය. ඒ අනුව බැලූ විට පළමු ධුර කාලයේ අඩක් ගෙවෙන විට ජනපති දියණි චතුරිකා සිරිසේන දක්වමින් සිටින කුසලතාව කිසිවකුත් සුළු කොට තැකිය යුතු නැත. කෙසේද යත් රාජපක්ෂ පුතුන්ගේ සීඑස්එන් නාලිකාවද චතුරිකා සිරිසේනගේ සමාගමේ ගනුදෙනුකරුවෙකු ලෙස සඳහන් වන නිසාය. එම නිසාම චතුරිකා සිරිසේනගේ මේ ව්‍යාපාරික ආගමනය යහපාලන ජනාධිපති වරයකුගේ කටයුතුවලට කොතරම් සදාචාරමය වශයෙන් බලපාන්නේද යන්න හා ළැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නාර්ථය මතුවීම වැළැක්විය නොහැකිය.■

චතුරිකා නඩු දාන්න ඉන්නේ
ජනක ප්‍රසන්න දෙහිවල ලියනගේ                                                                                                              කළමනාකාර අධ්‍යක්‍ෂ හිමිකරු මීඩියා ගැන්ග් හා හිමිකරු රෙඞ් චෙරි

මීඩියා ගැන්ග් සමාගම හා රෙඞ් චෙරි සමාගම අතර තියෙන සම්බන්ධය කුමක්ද?
සම්න්ධයක් නෑ. කොම්පැණි දෙකක්.
ඒ වුණාට මේ සමාගම් දෙකේ කාර්ය මණ්ඩලය විදිහට සඳහන් වෙලා තියෙන්නේ එකම කට්ටියනේ.
ඔයාට ඕනෑ දෙයක් ලියා ගන්න. ඇයි හොයන්නේ.

රාජ්‍ය ආයතන මේ සමාගම්වල ගනුදෙනුකරුවන් වශයෙන් සඳහන් වෙලා තියෙන නිසා. චතුරිකා සිරිසේනට තියෙන සම්බන්ධය කුමක්ද?
චතුරිකා නැහැ.

ඔබ චතුරිකා සිරිසේනගේ ස්වාමි පුරුෂයාගේ පාසල් මිතුරා නේද?
ඔව්. මේ ටෙලිකොම් එක අල්ලාගෙන අපිට මඩ ගහන්න පටන් අරන්. අපි විතරක් නෙමේ ටෙලිකොම් එකේ වැඩ කරන්නේ. අපි ටෙන්ඩර් ක්‍රමවේදයේ ගිහින් තමයි ටෙලිකොම් සයිඞ් ඉවෙන්ට් වැඩ අරගෙන තියෙන්නේ.

රජයේ අලුත්ම වැඩ පිළිවෙළ වන ග්‍රාම ශක්ති කටයුතුත් කරන්නේ ඔබගේ ආයතනය නේද?
අපි සම්බන්ධ නෑ. ඕක බොරුවක්. ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිම දෙයක් අපි කරන්නේ නෑ. මේවා මාධ්‍ය ප්‍රචාරය කරන බොරු. ඒ බොරුවලට චතුරිකා සිරිසේන නඩු දාන්න ඉන්නේ. අනෙක චතුරිකා මගේ කොම්පැණියේ නැහැ. රෙඞ් චෙරි රජයේ කිසිම වැඩක් අරගෙනත් නැහැ. රජයේ ආයතනවල රෙජිස්ටර් වෙලාත් නැහැ. අපි අරන් කරන ගනුදෙනුකරුවන්ව තමයි රෙඞ්චෙරි වෙබ් එකට දාලා තියෙන්නේ.