රාවය

අක්ෂිකාච නොමිලේ – කොන්දේසි සහිතයි

අක්ෂිකාච නොමිලේ – කොන්දේසි සහිතයි

රේඛා නිලුක්ෂි හේරත්

පසුගිය වසරේදී ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට අධික පිරිසක් වළක්වාගත හැකි අක්ෂි ආබාධවලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා තිබුණි. මේ වසරේ දත්ත දැනගන්නට අපට නොලැබුණත් මේ මිලියනයක ප්‍රමාණය වැඩිවී මිස අඩුවී නැති බව අක්ෂි වෛද්‍යවරුන්ගේ මතයයි.
වළක්වාගත හැකි අක්ෂි ආබාධ යනු ඇසේ සුද මතුවීම ආදි හේතු නිසා ඇතිවන අක්ෂි ආබාධය. එවැන්නක් සැත්කමකින්, සුද ඉවත්කිරීමකින් සුව කරගත හැකිය. අක්ෂි කාච සැත්කම් කරන්නේ බොහෝවිට මෙලෙස වළක්වාගත හැකි අක්ෂි ආබාධවලින් පෙළෙන්නන්ටය. ලොව පුරා ප්‍රමුඛ සෞඛ්‍ය අවශ්‍යතාවක් ලෙස වළක්වාගත හැකි අක්ෂි ආබාධවලට විසඳුම් ලබාදීම හඳුනාගෙන ඇත. ඇසක පෙනීම යනු මූලිකම අවශ්‍යතාවකි. ඒ නිසාම සෞඛ්‍ය අමාත්‍යවරයා අක්ෂි කාච නොමිලේ ලබාදීම සඳහා සැලසුම් සකස්කිරීම ඉතාම වටිනා උත්සාහයක් විය.
දැන් ආණ්ඩුව කියන්නේ අක්ෂි කාච නොමිලේ ලබාදෙන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිතර අක්ෂි කාච නොමිලේ ලබාදීම පිළිබඳව පම්පෝරි ගසයි. සත්‍ය වශයෙන්ම අක්ෂි කාච නොමිලේ ලබාදෙන බවට ඔවුන් කියන කතාව අසත්‍යයක් නොවේ. එහෙත් විශාල ලාභයක් පාරිභෝගිකයන්ට ලබාදෙන බව කියන වෙළෙඳ දැන්වීමක පුංචි අකුරෙන් කොන්දේසි සහිතයි කියා යොදන අයුරින් නොමිලේ අක්ෂි කාච ලබාදීමේ ව්‍යාපෘතියත් ක්‍රියාත්මක කෙරෙන්නේ කොන්දේසි සහිතවය.

වෛද්‍යවරුන්ගේ බාල්දිය
අක්ෂිකාච බද්ධකිරීමේ සැත්කම්වලට කොන්දේසි ඇතැයි යොදන්නට සිදුවුණේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ වැරැද්දෙන්යැයි කීමත් නිවැරදි නොවේ. එය එසේ වුණේ වෛද්‍යවරුන් මේ ව්‍යාපෘතියට හැකි උපරිමයෙන් බාල්දි දමන්නට පටන්ගත් නිසාය.
පෙර සතියක අප පෙන්වා දුන් ආකාරයට දැන් වෛද්‍ය සැපයුම් අංශය හරහා රජය මිල ගණන් කැඳවා අක්ෂිකාච මිලට ගන්නේ නැත. ඒ වෙනුවට ඔසුසැල් හරහා අක්ෂිකාච මිලට ගනියි. රජය විසින් වෛද්‍ය සැපයුම් අංශය හරහා ලබාදුන් කාචය ප්‍රමිතියෙන් තොර බව පවසමින් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ඒවා පාවිච්චි කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. රජයෙන් ලබාදෙන අක්ෂිකාච දැමීමෙන් සිදුවිය හැකි ‘විනාශයන්’ ගැන රෝගීන්ට අනතුරු අඟවා තිබුණි. ඒවා නිසා ඇසට හානි සිදුවෙන බව බියට පත්කර තිබුණි. රෝගීන් එක්ක ගනුදෙනු කරන්නෝ වෛද්‍යවරුය. වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කරන කාච තම සිරුරට බද්ධකර ගැනීමට රෝගීහු සූදානම් නොවෙති. එවන් පසුබිමක අක්ෂිකාච නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියට කොන්දේසි වැටුණි. අමාත්‍යවරයාට වෛද්‍යවරුන් නිර්දේශ කරන කාච මොනවාදැයි විමසන්නට සිදුවිය.

ඒ නිසා වෛද්‍ය සැපයුම් අංශය විසින් අක්ෂිකාච මිලට ගැනීම නැවැත්විය. රජය නොමිලේ ලබාදුන් අක්ෂිකාච වෙනුවට ඔසුසැල් හරහා රෝහල් විසින් අක්ෂිකාච මිලට ගැනීම දැන් ක්‍රියාත්මක වෙන ක්‍රමයයි. එසේ මිලට ගන්නේ අක්ෂි වෛද්‍යවරුන් විසින් ‘නිර්දේශ කළ’ ඉහළ මිලකින් යුතු කාච වර්ගයකි. මේ කාච දෙක අතර මිලෙහි වෙනස ඉතා දැවැන්තය. කලින් ගත්තේ රුපියල් 500-1000 අතර කාච වර්ගයකි. දැන් මිලට ගන්නේ රුපියල් 16,000කට අධික මිලකින් යුතු කාච වර්ගයකි. ඔසුසැල් හරහා කාච මිලට ගැනීම නිසියාකාරව කෙරෙන්නේ නැත. අක්ෂි කාචයක ප්‍රමාණය අනුව කාච වර්ග 30ක් ඇත. ඒ අතරින් 21-25 අතර ප්‍රමාණයේ කාච වැඩිපුර සැත්කම්වලට අවැසි වෙයි. එහෙත් බොහෝවිට ඒ ඒ ප්‍රදේශවල රෝහල්වලින් ඉල්ලා සිටින ප්‍රමාණයේ කාච ඒ ඒ ප්‍රදේශවල ඔසුසැල්වල නැත්නම් සැත්කම කළ නොහැකි වෙයි. ඉතින් දැන් පෙර කෙරුණු සැත්කම් ප්‍රමාණයෙන් අඩක්වත් කෙරෙන්නේ නැත. කාලක්වත් කෙරෙන්නේ නැත.

නුවර රෝහලේ සේවය කරන නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව පසුගිය වසරේ සැත්කම් අටදහසක් පමණ සිදුකර ඇත. මේ වසරේ දැනට නොමිලේ සිදුකර ඇත්තේ සැත්කම් තුන්සීයක් පමණි. සීදුව විජය කුමාරණතුංග රෝහලේ සැත්කම් 11000ක් පමණ එකල කර තිබුණි. දැන් ඒ රෝහලේ අක්ෂි සැත්කම් කෙරෙන්නේම නැත. වෛද්‍යවරයා ඉවත්ව ගොස්ය.
බණ්ඩාරගම අක්ෂි සැත්කම් අංශයක රුපියල් මිලියන ගණනක් වටිනා බඩු භාණ්ඩ ප්‍රයෝජනයක් නොමැතිව දිරාපත්වෙමින් පවතියි. අප මේ ගැන බණ්ඩාරගම ඉහළම වෛද්‍ය නිලධාරියෙකුගෙන් විමසූ පසුව කීවේ අක්ෂි සැත්කම් කිරීම සඳහා වෛද්‍යවරුන් නොමැති වීම ගැටලුව වී ඇති බවයි.
අනෙක් රෝහල්වල ස්ථිරවම සංඛ්‍යාත්මකව දත්ත ලබාගත නොහැකි වුණත් සැත්කම් ප්‍රමාණය විශාල වශයෙන් අඩුව ඇත.

කරාපිටියේ සිදුවීමක්
‘රජයෙන් නොමිලේ අක්ෂිකාච ලබාදෙන බව වෛද්‍යවරයා විසින් පැහැදිලි කර දෙන ලදි. පිටතින් මිලදීගත් කාචයක් මගේ ඇසට බද්ධ කරන ලෙස ඉල්ලා සිටිමි.’ මෙසේ තම ක්ලිනික් පොතේ ලියන්නැයි පවසා කාච පිටින් මිලට ගන්නැයි වෛද්‍යවරුන් විසින් කියා ඇත්තේ කරාපිටිය රෝහලේ සැත්කම් පෝලිමේ සිටින රෝගීන්ටය. ඡායාරූපයේ ඇත්තේ එසේ රෝගියෙකු විසින් තම ක්ලිනික් පොතේ ලියූ සටහනකි.

අපට මේ සිදුවීම කරාපිටිය රෝහලෙන් පමණක් දැනගන්නට ලැබුණු එකකි. මෙවන් සිදුවීම් වෙනත් රෝහල්වලද සිදුවෙනවා විය හැකිය. කෙසේ වෙතත් අක්ෂි වෛද්‍යවරුන් අප සමඟ කීවේ මේ වෙද්දී පෞද්ගලික රෝහල්වල කෙරෙන අක්ෂි කාච බද්ධකිරීමේ සැත්කම් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

විෂන් කෙයා 2020
අක්ෂිකාච වෛද්‍යවරුන් වූ පමණින් කිසිවෙක් ජාවාරම්කරුවන් වෙනවායැයි අප කියන්නේ නැත. ඉතාම යහපත් වෛද්‍යවරුද සිටිති. අප සමඟ අදහස් හුවමාරු කරගත් එවන් වෛද්‍යවරු සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති. ඔවුන්ගේ උදව්වෙන් 2000 වර්ෂයේ සිට ලංකාවේ ක්‍රියාත්මක වූ ඉතා යහපත් ව්‍යාපෘතියකි විෂන් කෙයා 2020 ව්‍යාපෘතිය.
විෂන් කෙයා 2020 වැඩසටහන වළක්වාගත හැකි අක්ෂි රෝග වැළැක්වීමේ අරමුණෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අන්ධභාවය තුරන් කිරීමේ අන්තර්ජාතික ඒජන්සිය නම් ආයතනය විසින් 1999 දී ආරම්භ කළ වැඩසටහනකි. ඒ සඳහා ලොව පුරා රටවල රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ වී තිබුණි.
ඉතා මන්දගාමීව ආරම්භ වූ වැඩසටහන 2005දී පමණ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ යටතට වැටුණි. එම ව්‍යාපෘතිය පසුගිය කාලය වෙද්දී සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබුණි. විශාල ප්‍රමාණයක් අක්ෂි සැත්කම් නොමිලේ සිදුකර තිබුණි. සැබවින්ම මෑත කාලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අක්ෂිකාච නොමිලේ ලබාදෙන්නට පටන් ගත්තාට පසුව නොමිලේ ලබාදී ඇති අක්ෂිකාච ප්‍රමාණයට ඉතා වැඩි ප්‍රමාණයක් එකල නොමිලේ ලබාදී තිබුණි. අනෙක් අතට විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු දුෂ්කර ප්‍රදේශවල අක්ෂිකාච අවශ්‍යතාවෙන් පෙළෙන රෝගීන්ට අක්ෂිකාච පිරිනමා තිබුණි.

විෂන් 2020 වැඩසටහනට මිලියන ගණනින් ආධාර ලැබී තිබුණි. ඒ අතරින් ලංකාවේ ප්‍රසිද්ධම ආයතන රැසක් ආධාර ලබාදී තිබුණි. වසරකට මිලියන 20-30 අතර මුදලක් විෂන් 2020 වැඩසටහන වෙනුවෙන් වියදම් කර තිබුණු අතර අක්ෂි කාච සැත්කම් 10000 කට නොඅඩු ප්‍රමාණයක් හැම වර්ෂයකම සිදුකර තිබුණි. ඒ සියල්ලට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ අක්ෂි වෛද්‍යවරු සහ නිලධාරීහු සිටියෝය. එහෙත් ඒ සියල්ලට එරෙහිවුණෝද අක්ෂි වෛද්‍යවරුමය.

පසුගිය 2015 වර්ෂයේදී දානපතියන්ගේ අනුග්‍රහයෙන් සහ සංගීත ප්‍රසංගයක්, බයිසිකල් සවාරියක් ආදි ව්‍යාපෘති කිහිපයකින් පසුව අතිනවීන පහසුකම් සහිත ජංගම අක්ෂි රෝහලක්ද විෂන් 2020 වැඩසටහනට ලැබී තිබුණි. ඒ හරහා දුෂ්කර පළාත්වලට ගමන් කොට ග්‍රාමීය රෝහල් ආශ්‍රිතව සැත්කම් කිරීමේ පහසුකම් ලැබී තිබුණි.

මේ වර්ෂයේ මුල දිනවලදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත මහිපාල ඉවත්වෙද්දී විෂන් 2020 වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා තිබුණි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් අක්ෂි වෛද්‍යවරුන්ට එය පවරා දී තිබුණු අතර ඉන්පසුව විෂන් 2020 වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක වී නැත. අක්ෂි වෛද්‍යවරුන් එහි පාලනය ඉල්ලා ඇත්තේ එය මරා දමන්නටදැයි සිතෙන තරම්ය. දැන් ජංගම අක්ෂි රෝහල ජාඇළ ප්‍රදේශයේ දිරාපත් වෙන්නට දමා ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩසටහනේ පාලනය අක්ෂි වෛද්‍යවරුන්ට ලබා දුන් දිනවල මෙසේ කියා තිබුණි. “විෂන් 2020 වැඩසටහනේ වුණත් ශල්‍යකර්ම සිදු කළේ විෂන් 2020 වැඩසටහනේ කාර්යාල නිලධාරීන් නොවෙයි. වෛද්‍යවරුන්. එහෙත් උසස් තත්ත්වයෙන් අක්ෂිකාච එම වැඩසටහනෙන් ලබා දුන්නේ නැහැ. අඩු මිලට ඇති අක්ෂිකාච තමයි එම වැඩසටහනෙන් ලබා දී ඇත්තේ. විෂන් 2020 වැඩසටහනේ සම්බන්ධීකාරක වෛද්‍යවරයා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් නොවෙයි. සාමාන්‍ය වෛද්‍යවරයෙක් පමණයි. නමුත් විෂන් 2020 වැඩසටහන අපි අහෝසි නොකර අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට එම වැඩසටහන බාරදුන්නා. ඔවුන් සතුව අක්ෂි බැංකුවක් ද තිබෙනවා. දැනට විෂන් 2020 වැඩසටහන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සිදු කරනවා.”

කෙසේ වෙතත් නරියන්ට කුකුළන් බාරදීමේ මේ සිදුවීමෙන් පසුව විෂන් 2020 වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැත.
අක්ෂි වෛද්‍යවරුන් ගැන අනවශ්‍ය විශ්වාසය තැබීම ඉතා අසීරු ක්‍රියාවකි. බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ චෝදනා කරන්නේ අක්ෂි වෛද්‍යවරුන් සමාගම්වල සාක්කුවේ සිටින බවයි. විශේෂයෙන් විෂන් 2020 වැඩසටහන වෙනුවෙන් මුදල් යෙදූ පුද්ගලයන් දැන් මුදල් යෙදවීම නවත්වා ඇත්තේ කුකුළන් නරියන් පාලනය කරන නිසාය.
අප සමඟ නිර්නාමිකව අදහස් පළකළ එවැනි කිහිපදෙනෙකු කී කතාව මෙයයි.
“අපට අක්ෂි වෛද්‍ය සංගමය විශ්වාස නැහැ. ඒ අය මීට කලිනුත් විෂන් 2020 වැඩසටහන ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. අක්ෂි වෛද්‍යවරුන් ලොකු ජාවාරමක් කරනවා. එයාලාට මේ වැඬේ කරන්න බැහැ.” ඔවුන් මිලියන ගණනින් විෂන් 2020 වැඩසටහනට ආධාර ලබාදී තිබුණු අතර ඒවායින් කෙරී තිබුණේ දිළිඳු රෝගීන්ට කාච ලබාදීමයි. තවදුරටත් එය සිදුවෙන්නේ නැත. රජයෙන් නොමිලේ ලබාදෙන ව්‍යාපෘතියත් කොට උඩය.

අක්ෂිකාචයක මිල
ඇමතිවරයාගේ ව්‍යාපෘතියටත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘතියටත් බාල්දි දැම්මේ කවුද, කුමන අරමුණකින්ද යන්න සොයා බැලීම අසීරු කටයුත්තක් නොවේ. අක්ෂි කාච සැත්කම් යට සිදුවූ මුදල් ගනුදෙනු තතු දන්නා අයට රහසක් නොවේ.
මේ අවුලට කුමන ආකාරයේ විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය ඇමතිවරයා සූදානම් වෙනවාදැයි අප දන්නේ නැත. එහෙත් අප සිටින්නේ රෝගීන්ගේ පැත්තේය. සෞඛ්‍ය ඇමතිවරයාගේ අරමුණ වන රජයේ වියදමෙන් නොමිලේ අක්ෂිකාච ලබාදීම ඉතා යහපත් බව අප කියන්නේ ඒ නිසාය. වළක්වාගත හැකි අක්ෂි රෝග යනු වේගයෙන් වර්ධනය වන ප්‍රවණතාවකි.
ඒ සම්බන්ධ ව්‍යාපෘතියක් නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන ආකාරය ගැන සෞඛ්‍ය ඇමතිවරයා කල්පනා කළ යුතුය. විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ කියමන්වලට හසු නොවිය යුතුය. එය තමාට කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා ඇත. සියලු අක්ෂි වෛද්‍යවරු හොරු නොවෙති. එසේ නොවන අක්ෂි වෛද්‍යවරුන් කාචවල ප්‍රමිතිය ගැන කියන කතාවක් තිබේ. ඒ අතරින් එක් වෛද්‍යවරයෙක් මෙසේ කීය.

“ඉන්දියානු කාචයක් කෙළින්ම ඉන්දියාවෙන් ගෙන්වනවා නම් රුපියල් දාහකට විතර ගන්න පුළුවන්. විෂන් 2020 වැඩසටහනට දේශීය වෙළෙඳපොළෙන් ගත්ත නිසා රුපියල් 2000කට පමණ ගත්තේ. ඒත් ඒවා ප්‍රමිතියෙන් යුතු ඒවා. ඇහැට හානියක් වෙන්නේ නෑ. මම ඉන්දියාවේ සමාගම්වලටම ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වගේ ලෙන්ස් ඇමෙරිකාවට යවලා පැක් කරලා නැවත එවද්දී දහගුණයකින් පමණ මිල වැඩිවෙනවා දැකලා තියෙනවා. දැන් දෙන කාචය සියලු වියදම් එක්ක එක කාචයකට රුපියල් 19000ක් පමණ වෙනවා. බොහෝවිට මේ සැත්කම් කරන්නේ අවුරුදු හැට හැත්තෑව පහුවුණ අය. ඒක පාවිච්චි වෙන්නේ අවුරුදු දහයක් පමණ කාලයක්. ඉතින් ඒ විදියට ගත්තත් මිල අධිකම කාචය දෙන්න අවශ්‍ය නැහැ. නියමිත ප්‍රමිතියෙන් යුතු කාචයක් දෙන්නයි ඕනෑ. රුපියල් දාහකට නියමිත ප්‍රමිතියෙන් යුතු කාචයක් දෙන්න පුළුවන්.”■