රාවය

ආණ්ඩුක්‍රමය හා ව්‍යවස්ථා සම්පාදනය ගැන

ආණ්ඩුක්‍රමය හා ව්‍යවස්ථා සම්පාදනය ගැන

වික්ටර් අයිවන්

ලංකාව කල්පනා කරන විදියේ ලොකු අවුල්සහගතභාවයක් දැකිය හැකිය. ලංකාව වැදගත් තීන්දුවක් ගන්නට පෙර ඇති කළ හැකි ප්‍රතිවිපාක ගැන හොඳින් කරුණු සොයා බලන තැනකට යන්නේ නැත. ඒ සඳහා වන විධිමත් ක්‍රමවේදයක්ද රටට නැත. Ceylon Teaයන නමට අද්විතීය ගණයෙහිලා සැලකිය හැකි ලොකු කීර්තිනාමයක් ලොව තිබුණි. සාමාන්‍යයෙන් රටකට කිසියම් දෙයක් සඳහා එවැනි කීර්තිනාමයක් ගොඩනගා ගැනීමට ලොකු වියදමක් දරන්නට සිදුවේ. එහෙත් එම කීර්තිනාමය අප විසින් ගොඩනගන ලද දෙයක් නොව බි්‍රතාන්‍යයන් විසින් ගොඩනගන ලද දෙයක් විය. එහෙත් ලංකාව නක්ෂත්‍රකරුවකුගේ උපදෙස් මත Ceylon යන නාමය වෙනස් කොට ීSri Lankaයන නාමය අලුතෙන් ආරෝපණය කරගත්තේය. අලුත් නම නිසා රටට ඇතිවූ විශේෂ ප්‍රගතියක් නැත. Ceylon යන නාමය අත්හැරීමෙන් ලංකාවට සිදුවන අලාභය ගැන කිසිම අවබෝධයක් රටට තිබුණේ නැත.
දඩාවතේ යන බල්ලන්ගේ ගහනය පාලනය කරන ක්‍රමවේදයක් රටට තිබුණි. එය අහෝසි කරන ලද්දේ ජනාධිපති පුතෙකුට බල්ලන් ගැන ඇතිවූ දුකත් නැති කිරීම සඳහාය. අවසානයේ දඩාවතේ යන බල්ලන්ගේ ගහනය පාලනය කරන ක්‍රමවේදය අහෝසි කරන ලද්දේ උන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වන විකල්ප ක්‍රමවේදයක් ඇති කිරීමෙන් තොරවය. ඒ නිසා දඩාවතේ යන බල්ලන්ගේ ගහනය වේගයෙන් වර්ධනය වී උන් දැන් රටට ලොකු හිසරදයක් බවට පත්ව තිබෙන්නේය. සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඇති කරන විට එසේ කරන ලද්දේද එය අනාගතය කෙරෙහි ඇති කරන බලපෑම ගැන කරුණු සොයා බැලීමකින් තොරවය. ඒ වෙනුවෙන් අනාගත පරපුරට පමණක් නොව මුළු රටටමද ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය. විශාල සංවර්ධන යෝජනා ක්‍රමවලදී පවා එවේලේ ලැබෙන වාසි ගැන මිස ඒවා අනාගතය කෙරෙහි ඇති කරන බලපෑම ගැන සොයා බලන්නේ නැත. එය අසාර්ථක උමා ඔය ව්‍යාපාරය තුළ පමණක් නොව, සාර්ථක ව්‍යාපාරයක් ලෙස සැලකෙන මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ පවා දැකිය හැකි ලක්ෂණයකි.
අල්ලස් හෝ දූෂණය මර්දනය කිරීම සඳහා විශේෂ ආයතන ක්‍රමයක් හදන විට සිංගප්පූරුවේ හෝ හොංකොංවල තිබුණු සාර්ථක ආයතන ක්‍රමය සැලකිල්ලට ගත්තේ නැත. අවසානයේ අපට කන්දක් විළිලා බිහිකළ හැකිවූයේ අලියෙකු නොව මී පැටියෙකි. ස්වාධීන මැතිවරණ කොමිසම හදන විටද අඩුම වශයෙන් අසල්වැසි ඉන්දියාවේ තිබුණු මැතිවරණ කොමිසම සැලකිල්ලට ගත්තේ නැත.
නංගී පෙන්වා අක්කා දීම
පළාත් සභා ක්‍රමයක් කරළියට එන්නට පෙර රටේ තිබුණේ පාර්ලිමේන්තු ක්‍රමයක් හා පළාත් පාලන ක්‍රමයක් පමණි. පළාත් සභා ක්‍රමයක් කරළියට ගැනීමෙන් පසු පාර්ලිමේන්තු නියෝජනය කුඩා කරගත යුතුව තිබුණි. මක්නිසාද යත් පාර්ලිමේන්තුව වෙත පැවරී තිබුණු වගකීම්වලින් කිසියම් විශාල කොටසක් පළාත් සභාවලට පවරා දෙන ලද නිසාය. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 225ක් සිටියෝය. පළාත් සභා ක්‍රමය, පළාත් සභා මන්ත්‍රීවරුන් 464ක් කරළියට ගෙනාවේය. පළාත් පාලන ක්‍රමය සඳහාද මහජන නියෝජිතයෝ 4430ක් සිටියෝය. ඇති කරන ලද නව පළාත් සභා ක්‍රමය නිසා ඒ තරම් විශාල පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය වූයේ නැත. ඒ නිසා පාර්ලිමේන්තු නියෝජනය අඩු කොට පාලන තල තුනකින් එන මහජන නියෝජිත ක්‍රමය ක්‍රමවත් කොට ඒ වෙනුවෙන් රටට දරන්නට සිදුවන වියදමද අඩු කරගත යුතුව තිබුණි. එහෙත් ඒ දේ කිසිවිටෙකත් සිදුවූයේ නැත. ලංකාව අක්‍රමවත් බවට කැමතිය. මුදල් නිකරුණේ නැති නාස්ති කරන්නටද කැමතිය.
මැතිවරණ ක්‍රමය වෙනස් කරගත යුතුව තිබුණි. එහෙත් එය කළ යුතුව තිබුණේ මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව අතිවිශාල ප්‍රමාණයකට වැඩි කෙරෙන ආකාරයකට නොව තිබුණු සංඛ්‍යාව වෙනස් නොවන ආකාරයටය. එහෙත් පුදුමයකට මෙන් ආණ්ඩුව දැන් මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් තිබෙනුයේ මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාවේ අතිවිශාල වර්ධනයක් ඇතිවන ආකාරයටය. පළාත් පාලන ආයතන සඳහා යොදාගෙන තිබෙන නව මැතිවරණ ක්‍රමය යටතේ වැඩිවන මහජන නියෝජිතයන් සංඛ්‍යාව දෙගුණයකට ආසන්නය. දැන් සිටින සංඛ්‍යාව 4430ක් වනවිට අලුත් ක්‍රමය යටතේ පත්වන සංඛ්‍යාව 8436කි. පළාත් සභා හා පාර්ලිමේන්තුව සඳහාද එවැනි වැඩිවීමක් සිදුවේ නම් රටට දෙයියන්ගේම පිහිටය. ඔවුන් නඩත්තු කිරීම සඳහා අතිවිශාල බරක් දරන්නට මහජනයාට සිදුවනු ඇත.
දේශපාලන තන්ත්‍රය හා ඊට සම්බන්ධ දේශපාලන ආයතන ක්‍රමය නඩත්තු කිරීම සඳහා දැනටත් දරන්නට සිදුවී තිබෙන වියදම රටට ඉසිලිය නොහැකි තරම් අතිවිශාල බරක් වී තිබෙන්නේයැ’යි කිව හැකිය. ඇති කරන්නට යන ප්‍රතිසංස්කරණ නිසා ඒ සඳහා යන වියදම දෙගුණ වේ නම් ඉන් රටට විය හැකි හානිය අතිවිශාලය. දේශපාලන නායකයන් මේ ආකාරයෙන් කල්පනා කරන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරු නැත. යන වියදම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. ඔවුන් වියදම් කරන්නේ තමන්ගේ සාක්කුවෙන් නොවන නිසා හා මහජන මුදල් වීම නිසා ඔවුන් වියදම් කරන්නට නිර්ලෝභීය. එය ඔවුන් වෙත පැටවෙන බරක් නොව මහජනයා හෝ රට මත පැටවෙන බරකි. තේරී පත්වන නියෝජිතයන්ගේ සංඛ්‍යාව විශාල වන තරමට පක්ෂවලට ලැබෙන ප්‍රතිලාභද විශාල වේ. පක්ෂවලට නොමිලේ වැඩගත හැකි මහජන මුදලින් නඩත්තු වන අය වැඩිවන තරමට පක්ෂවලට වාසිදායකය. පක්ෂවලට තිබෙන මහජන විශ්වාසය මහා පරිමාණයෙන් නායයමින් තිබෙන මෙම ඓතිහාසික අවස්ථාවේදී මේ ආකාරයෙන් හෝ නව පක්ෂ තර කර ගැනීමට ඔවුන් කැමතිය. ඒ මගින් නැති ගාම්භීරත්වයක් ආරෝපණය කරගත හැකිය. ගෙවීමකින් තොරව නොමිලේ වැඩ ගත හැකි පිරිසක් පක්ෂවලට ලැබෙන්නේය.
මෙය ආණ්ඩු ප්‍රතිසංස්කරණයකට මුවාවී රටේ පැවැත්ම පරදුවට තබා කෙරෙන විනාශකාරී වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. දේශපාලන නායකයන්ගේ ආත්මාර්ථකාමය සඳහා මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව මේ ආකාරයට වැඩිකර ගැනීමට ඉඩ දුනහොත් ඒ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවන වන්දිය අතිවිශාල වනු ඇත. පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට හා පළාත් පාලන ආයතනවලට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමකින් තොරවම මිශ්‍ර ක්‍රමය යොදාගත හැකි නම් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේ සා විශාල ප්‍රමාණයකින් වැඩි කරන්නේ ඇයි?
හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ක්‍රියාත්මක වන රටවල් සමඟ සැසඳූ විට පවා ජනගහනයට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව අනුව බලන විට ලංකාව මන්ත්‍රීවරයෙකුට අඩුම ජනගහනයක් වැටෙන රටක් ලෙස සැලකිය හැකිය. පහත සඳහන් සංඛ්‍යා සටහනේ එන තොරතුරුවලින් ඒ ගැන අදහසක් ඇතිකරගත හැකිය. (සටහන බලන්න)
ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වැටෙන ජන සංඛ්‍යාව මෙතරම් අඩු මට්ටමක තිබියදී විවිධ මහජන නියෝජිත ආයතනවලට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව දෙගුණ කරන ප්‍රතිපත්තියක් සාධාරණ විය හැක්කේ කෙසේද? මිශ්‍ර ඡන්ද ක්‍රමය තේරී පත්වන සංඛ්‍යාවේ කිසිදු වෙනසක් ඇති නොවන ලෙස යොදා ගැනීමට පුළුවන්කම තිබියදී රටට ලොකු ආර්ථික බරක් ඇති කිරීමට හේතුවන ලෙස එසේ කරන්නේ ඇයි? නංගි පෙන්වා අක්කා දෙනවයි කියන්නේ මෙවැනි ක්‍රියාවලටය.
ව්‍යවස්ථා විවාදය
ගොඩනගමින් තිබෙන නව ව්‍යවස්ථාවට අදාළ වාද විවාද සිදුවෙමින් තිබෙන්නේ මහජනයාගේ දැනුම වර්ධනය කරන ශීලාචාර ආකාරයට නොව වෛරය හා ක්‍රෝධය කුළුගන්වන අශීලාචාර ආකාරයකටය.
ව්‍යවස්ථා සම්පාදන විෂයේදී ලංකාවට තිබෙන්නේ ගෞරවයට හේතුවන ඉතිහාසයක් නොව අපකීර්තිමත් ඉතිහාසයකි. ලංකාවේ පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැලකෙන සෝල්බරි ව්‍යවස්ථාව පවා සම්පාදනය කෙරුණේ ව්‍යවස්ථා සම්පාදනයකදී අනුගමනය කළ යුතු පිළිගත් සම්ප්‍රදායක් නොසලකා සටකපට ආකාරයකටය.
එම ව්‍යවස්ථාවේ මුල් කෙටුම්පත ඩී.එස්. සේනානායක විසින් සර් අයිවර් ජෙනින්ස් ලවා කෙටුම්පත් කරවා ගන්නා ලද්දේ හොර රහසේය. එසේ කෙටුම්පත් කරන ලද මුල් ව්‍යවස්ථාවේ පිටපත ඩී.එස්. සේනානායක විසින් වයිට් හෝල් අධිකාරියට යවනු ලැබීමෙන් පසුව එය අන් අය සමඟ සාකච්ඡා කොට සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පතක් නොවන බවට ලංකාවේ සුළු ජාතික නායකයෝ වයිට් හෝල් අධිකාරියට පැමිණිලි කළෝය. ලංකාවේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට ලංකාවට සුදුසු ව්‍යවස්ථාවක් නිර්දේශ කරනු පිණිස සෝල්බරි සාමි ප්‍රමුඛ රාජකීය කොමිසමක් ලංකාවට එවන්නට සිදුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
තමන් යවන ලද ව්‍යවස්ථා කෙටුම්පත පිළිනොගෙන අලුත් ව්‍යවස්ථාවක් නිර්දේශ කිරීම සඳහා කොමිසමක් ලංකාවට එවීම ඩී.එස්. සේනානායකගේ බලවත් විරෝධයට හේතුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකා ජාතික සංගමය සෝල්බරි කොමිසම වර්ජනය කරන්නට තීරණයක්ද ගත්තේය.
ඉන්පසුව සිදුවූ දේවල් ලංකාවේ නිල ඉතිහාසයට ඇතුළත් නැත. මා ඒ ගැන මෙහි ඉදිරිපත් කරන චිත්‍රයට අවශ්‍ය කරුණු ලබාගෙන ඇත්තේ මූලාශ්‍ර තුනකිනි. මහාචාර්ය කේ.එම්. ද සිල්වාගේ ලේඛනවලින්, සර් ඔලිවර් ගුණතිලක ජනමාධ්‍යවේදීන්ට ලබාදී තිබෙන සම්මුඛ සාකච්ඡාවලින් හා සර් ජෝන් කොතලාවල ඔහුගේ මරණයට පෙර නෙවිල් ජයවීරට ලබාදී තිබෙන දීර්ඝ සම්මුඛ සාකච්ඡාවෙනි.
ඩී.එස්. සේනානායක ප්‍රසිද්ධියේ කොමිසම වර්ජනය කළද අප්‍රසිද්ධියේ කොමිසම සමඟ ලොකු ගනුදෙනුවක යෙදුණේය. කොමිසමේ සාමාජිකයන් ලංකාවේ ගත කරන කාලයේදී ඔවුන්ට ප්‍රීතිමත් ජීවිතයක් සහතික කිරීම සඳහා අවශ්‍ය දේවල් නොඅඩුව ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක විය. සර් ඔලිවර් ගුණතිලක එම වැඩසටහන භාරව ක්‍රියා කළ අතර සර් ජෝන් කොතලාවලද ඊට ආධාර කළේය. ඒ කාර්යයේදී සර් ඔලිවර් ගුණතිලක කොතරම් සාර්ථකවීද කියනවා නම් ඔහු කොමිසම සමඟ සමීප සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් නොනැවතී කොමිසමේ ලේකම්වරිය සිය පෙම්වතිය බවට පත්කර ගැනීමටද සමත් විය. ඔලිවර් ගුණතිලක පසුකලක සිය දෙවැනි විවාහක බිරිඳ බවට පත්කර ගත්තේද ඇයයි. ඇය කොමිසම කෙරෙහි බලපාන වැදගත් චරිතයක් ලෙස ක්‍රියා කළා පමණක් නොව, කොමිසමේ සිදුවන සියලු දේ ඔලිවර් ගුණතිලකට දැනුම් දෙන්නෙකු ලෙසද ක්‍රියා කළේය.
ඩී.එස්. සේනානායක එම වැඩසටහනින් බලාපොරොත්තු වූයේ ඔහු විසින් සර් අයිවර් ජෙනින්ස් ලවා කෙටුම්පත් කරවා ගන්නා ලද ව්‍යවස්ථාව වෙනස් නොකොට කොමිසම ලවා එම කෙටුම්පතම නිර්දේශ කරවා ගැනීමය. සෝල්බරි සාමි ඒ උදව්ව තමන්ට කර දෙන්නේ නම් ඒ වෙනුවෙන් සෝල්බරි සාමිට ලොකු ප්‍රතිඋපකාරයන් කරන්නටද ඩී.එස්. සේනානායක අදහස් කරගෙන සිටියේය. එම ගනුදෙනුව ගැන සෝල්බරි සාමි සමඟ කතා කිරීමේ වගකීම භාරදී තිබුණේ සර් ජෝන් කොතලාවලටය. නෙවිල් ජයවීර ලියා තිබෙන සටහනේ ඒ ගැන පැහැදිලිව සටහන් කර තිබේ. ඩී.එස්. සේනානායකගේ යෝජනාව ජෝන් කොතලාවල විසින් සෝල්බරි සාමිට දැනුම් දෙන ලද්දේ කඳවල වලව්වේදී සෝල්බරි සාමිට පමණක් සීමාවන ලෙස පවත්වන ලද රාත්‍රී සාදයකදීය. අයිවර් ජෙනින්ස්ගේ පිටපතේ ලොකු වෙනසක් ඇති නොකොට එයම නිර්දේශ කරන්නේ නම් ඒ වෙනුවෙන් සෝල්බරි සාමිට දෙන්න අපේක්ෂා කළ තෑග්ග වූයේ ආණ්ඩුකාරකමය. ඩී.එස්. සේනානායක අපේක්ෂා කළ උදව්ව කර දෙන්නට සේ ම ආණ්ඩුකාරකම භාරගන්නටද එහිදී සෝල්බරි සාමි එකඟ විය. ජෝන් කොතලාවල එම දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදී ඩී.එස්. සේනානායකව හඳුන්වා ඇත්තේ කපටි නරියෙකු ලෙසය.
ඉන්පසු සියල්ල ඩී.එස්. සේනානායක අපේක්ෂා කළ ආකාරයටම සිදුවිය. ජෙනින්ස්ගේ ව්‍යවස්ථාවට සෝල්බරි සාමිවරයා විසින් අලුතෙන් එකතු කර තිබුණේ සෙනෙට් සභාව පමණය. ඒ හැර අන් සියල්ල අයිවර් ජෙනින්ස්ගේ විය. සෝල්බරි සාමිවරයා සකස් කරන ලද අවසන් වාර්තාවේ පිටපතත් වයිට් හෝල් අධිකාරියට භාර දෙන්නට පෙර ලන්ඩනයේදී දැක බලා ගැනීමේ වාසනාවද ඩී.එස්. සේනානායකට හා ඔලිවර් ගුණතිලකට හිමිවිය. එසේ කරන ලද්දේ ඔලිවර් ගුණතිලකගේ පෙම්වතිය විසිනි. සමහරවිට ඒ දේ කරනවාට සෝල්බරි සාමිගේ අනුමැතියද ඇයට ලැබුණා විය හැකිය. සෝල්බරි සාමි හැම දෙයක්මත් පොරොන්දු වූ ආකාරයටම ඉටුකරන ලද අතර ඩී.එස්. සේනානායකද සෝල්බරි සාමිට දී තිබුණු පොරොන්දුවද අකුරටම ඉටු කළේය. ඔහු සෝල්බරි සාමිවරයා ලංකා ආණ්ඩුකාරයා බවට පත් කළේය. මේ වැඩසටහනේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ සර් ඔලිවර් ගුණතිලකට වැදගත් ඇමතිකමක් දුන්නේය. ඔලිවර් ගුණතිලකට සිය පෙම්වතිය සමඟ ජීවත්වීමට එංගලන්තයට යෑමට අවශ්‍ය වූ කල ඒ නිසා නැතිවන ඇමතිකම වෙනුවට ඔහු බි්‍රතාන්‍ය ලංකා මහ කොමසාරිස්වරයා බවට පත් කළේය. මෙසේ සිදුවූ සටකපට ගනුදෙනුව ගැන වැඩි විස්තර දැනගැනීමට කැමති අය මගේ ‘ජාතියේ ඛේදවාචකය’ හෝ එහි ඉංග්‍රීසි පරිවර්තනය වන The Tragic Plight of a Nation නමැති පොත් පිංච කියවිය යුතුය.
ඊළඟට තවත් අවුරුදු 22කට පසුව 1972දී කොල්වින්ගේ සමූහාණ්ඩු ව්‍යවස්ථාව තනන ලද්දේද පොදු එකඟතාවකින් යුතුව නොව සමඟි පෙරමුණු ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලයෙනි. එහිදී දෙමළ දුක්ගැනවිලි සලකා බැලීම මුළුමනින්ම නොසලකා හරින ලදි. ඉන් තවත් අවුරුදු 6කට පසුව දෙවැනි සමූහාණ්ඩුව ව්‍යවස්ථාව තනන ලද්දේද පොදු එකඟතාවකින් නොව යූඑන්පී ආණ්ඩුවට තිබුණු හයෙන් පහේ බලයෙනි. එය ලංකාවේ ඔළුවට නොව ජේ.ආර්. ජයවර්ධනගේ ඔළුවට ගැළපෙන ලෙස සකස් කරන ලද තොප්පියක් ලෙස සැලකිය හැකිය. ඉන් තවත් අවුරුදු 22කට පසුව ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද අලුත් ව්‍යවස්ථාවක් කරළියට ගන්නට උත්සාහ කළාය. දීර්ඝ කාලයක් සාකච්ඡා මේසයේ සිට අවසාන මොහොතේ ඊට සහාය නොදෙන්නට එජාප තීරණය කළ විට අඩු ඡන්ද සංඛ්‍යාව මිලදී ගෙන හෝ ව්‍යවස්ථාව සම්මත කරගන්නා බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් කීවේය. එජාපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මිලදී ගැනීම සඳහා ඔවුන්ට අත්තිකාරම් ගෙවන ක්‍රමයක්ද ක්‍රියාත්මක විය. එජාප නායකයා එම වැඩසටහන නිරර්ථක කළේ එජාපයේ මන්ත්‍රී කණ්ඩායමෙන් තෝරාගත් ලොකු පිරිසක් සිංගප්පූරුවට යැවීමෙනි. ඒ සමඟ ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ වැඩසටහන අත්හරින්නට ආණ්ඩුවට සිදුවිය.
අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද?
දැන් රට තිබෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ ගැටුම් නිසා ඇතිවූ මහා විනාශයකින් පසුව නව ගමනක් ආරම්භ කිරීම සඳහා ලොකු ප්‍රතිසංවිධානයක් අවශ්‍ය ඓතිහාසික අවස්ථාවකය. ඒ සඳහා නව ව්‍යවස්ථාවක් ද අවශ්‍ය බවට විවාදයක් තිබිය නොහැකිය. එහෙත් නව ව්‍යවස්ථාවක් කරළියට ගන්නට පෙර සම්පූර්ණ කරගත යුතු ඓතිහාසික කොන්දේසි ගණනාවක්ද තිබෙන්නේය.
සිංහල දකුණෙන් ආරම්භ වී දෙමළ උතුරෙන් අවසන් වූ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ ගැටුම් විශාල ජීවිත විනාශයක්ද දේපළ විනාශයක්ද ඇති කළේය. ඒ නිසා ඇතිවූ දීර්ඝකාලීන අශීලාචාරත්වය සමාජය රෝගී කිරීමටත්, විකෘති කිරීමටත් හේතුවිය. එම තත්ත්වය පුද්ගලයන් කෙරෙහිද ඔවුන්ගේ පවුල් හා සමස්ත සමාජය කෙරෙහිද බලපෑවේය. එම තත්ත්වය රාජ්‍ය හා රාජ්‍යයේ ආයතන ක්‍රම කෙරෙහිද බලපෑවේය. ඒවාහි ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම කිරීමටත්, දූෂ්‍ය කිරීමට හා ජරපත් කිරීමටත් හේතුවිය. ගැටුම් නිසා හානි සිදුවී තිබෙන අයට සහන ලබාදීම අත්‍යවශ්‍යය. ඒ සමඟ සමාජයට සිදුවී තිබෙන හානියේ තරම හා ස්වභාවය ගැනත් රාජ්‍යයේ හා රාජ්‍ය ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳ වැටීම ගැනත් ඒ සියලු දේ සඳහා බලපා තිබෙන හේතු ගැනත් සොයා බලන තැනකට යෑම අත්‍යවශ්‍යය. අලුත් ව්‍යවස්ථාවකට යායුත්තේ එම පූර්ව කොන්දේසි සපුරා ගැනීමෙන් පසුවය. නව ව්‍යවස්ථාවකට යෑමට අවශ්‍ය හරි දැක්මක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය. රටට අවශ්‍ය වෙනස්කම් මොනවාද යන්න හරියාකාරව හඳුනාගත හැකිවනු ඇත්තේද එවිටය.
නව ව්‍යවස්ථාව සම්පාදනය නිසි දර්ශනයක් නැතිව අයාලේ යන තත්ත්වයකට පත්ව ඇත්තේ ආපසු හැරී බැලීමකට යෑමෙන් තොරව නව ව්‍යවස්ථාවකට අතගැසීම නිසාය. ආපසු හැරී බලන තැනකට ගියේ නම් මේ මොහොතේ අවධානයට යොමුවී නැති බොහෝ වැදගත් දේවල් අවධානයට යොමුවන්නට ඉඩ තිබුණා සේ ම රටට අවශ්‍ය වී තිබෙන වෙනස්කම් හඳුනා ගැනීමට හැකිවීම තුළ නව ව්‍යවස්ථාවක් සඳහා අවශ්‍ය අව්‍යාජ ඉදිරි දැක්මක්ද ඇතිකර ගැනීමට සමත් වන්නට ඉඩ තිබුණි. එවැනි වැඩසටහනක් මහජනයා අතරද ලොකු උද්යෝගයක් ඇති කරන්නට ඉඩ තිබුණා සේ ම ඒ මගින් නව ව්‍යවස්ථාවක් සඳහා අවශ්‍ය මහජන උනන්දුවද ගොඩනගා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියද ව්‍යාජ දෙයක් නොවී අවංක හා මහජනයාගේද මහත් උනන්දුවට හේතුවන ක්‍රියාදාමයක් බවට පත්වන්නට ඉඩ තිබුණේය.
ආපසු හැරී බැලීමක වැදගත්කම
ව්‍යවස්ථාවක් තනන තැනකට යන්නට පෙර රටේ සිදුවී තිබෙන අවාසනාවන්ත හා විනාශකාරී දේවල් දෙස ආපසු හැරී බලන තැනකට ගියේ නම් සිදුවී තිබෙන මහා විනාශය ගැන හරි අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඉඩ තිබුණි. ඇතිවූ මහා විනාශය කෙරෙහි බලපෑ තිබෙන හේතු ගැන හොඳ වැටහීමක් ලබාගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. විපතට පත්වූවන් ගැන හා ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ විපත්වල ස්වභාවය ගැනද ඔවුන්ට ලබාදිය යුතුව තිබෙන සහන ගැනද හරි වැටහීමක් ඇති කර ගැනීමට පුළුවන්වන්නට ඉඩ තිබුණි. ඒ සියල්ල එසේ කළේ නම් විකෘති වී හා රෝගී වී තිබෙන සමාජයද, දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍යයද ප්‍රතිනිර්මාණය කරගැනීම සඳහා ඇති කළ යුතුව තිබෙන වෙනස්කම් නිවැරදි ලෙස හඳුනා ගැනීමට සමත්වන්නට ඉඩ තිබුණි. එවැනි ක්‍රියාමාර්ගයක් සමාජය තුළද නව පිබිදීමත් සමඟ නව සමාජ කථිකාවක් ඇති කිරීමට හේතුවන්නට ඉඩ තිබුණා සේ ම සමාජ සවිඥානකත්වයේද ලොකු දියුණුවක් ඇති කිරීමට හේතුවන්නටද ඉඩ තිබුණි.
පුනරුදය ව්‍යාපාරයේ මතය අනුව රටේ ඇතිවූ මහා විනාශය වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම අහෝසි කොට භේදයකින් තොරව සියලු මිනිසුන්ට මනුෂ්‍ය ගෞරවය, සමාන අයිතිවාසිකම් ලබාදීම තුළ ජාතිය ඒකාග්‍ර කොට නූතන ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසා ඇතිවූ තත්ත්වයකි. නැවත රට යහපත් තත්ත්වයකට ගැනීමට නම් නූතන ලාංකේය ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය. ඒ සඳහා විකෘති හා රෝගී තත්ත්වයක තිබෙන සමාජය සුවපත් කොට ප්‍රතිනිර්මාණය කළ යුතුය. දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍යයද ප්‍රතිනිර්මාණය කරන තැනකට යායුතුය. ඒ ඉලක්කය සපුරාගත හැකිවනු ඇත්තේ සිදුවී තිබෙන විනාශය ගැන හැරී බලන තැනකට යෑමෙනි. නව ආණ්ඩු ක්‍රමයක් සඳහා වන යථාර්ථවාදී දර්ශනයක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය.
ආණ්ඩු ක්‍රමයේ දර්ශනය
ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන් දර්ශනයේ එන කැපී පෙනෙන දෝෂ සමහරක් මෙසේය.
1. ලංකාවේ තිබෙන ජනාධිපති ක්‍රමය හෝ පාර්ලිමේන්තු ක්‍රමය තිබෙන්නේ අණ්ඩ දමා ප්‍රතිසංස්කරණය කළහැකි තත්ත්වයක නොව පූර්ණ විපර්යාසයකට යායුතු නැතකය. තිබෙන ජනාධිපති ක්‍රමය සේ ම තිබෙන පාර්ලිමේන්තු ක්‍රමයද අශීලාචාරය. අපට අවශ්‍ය ජනාධිපති ක්‍රමයක් නම් ඒ සඳහා තිබෙන ශීලාචාර මාදිලියක් තෝරා ගත යුතුය. අපට අවශ්‍ය අගමැතිවරයකු ප්‍රමුඛ කොටගත් පාර්ලිමේන්තු ක්‍රමයක් නම් ඒ සඳහා ද තිබෙන ක්‍රමය අත්හැර ශීලාචාර මාදිලියක් තෝරාගත යුතුය. තිබෙන ජනාධිපති ක්‍රමය සරල ප්‍රතිසංස්කරණවලින් ශීලාචාර කළ නොහැකි අතර තිබෙන පාර්ලිමේන්තු ක්‍රමයද සරල ප්‍රතිසංස්කරණවලින් ශීලාචාර කළ නොහැකිය.
2. රාජ්‍ය නායකයන් ඇතුළු මහජන නියෝජිතයන්ට ඔවුන්ට ලැබෙන රාජ්‍ය බලය යටතේ ඔවුන් භාරයේ තිබෙන රටේ පොදු සම්පත් කොල්ලකෑමට ලැබී තිබෙන අයිතිය තිබෙන ආණ්ඩුක්‍රමය තුළ දක්නට තිබෙන ලොකුම දෝෂය ලෙස සැලකිය හැකිය. එය සමස්ත රාජ්‍යය දූෂ්‍ය කිරීමට හා ජරපත් කිරීමට බලපා තිබෙන ලොකුම හේතුව ලෙසද සැලකිය හැකිය. එම දෝෂය නැති කිරීමට නම් රාජ්‍ය නායකයා ඇතුළු සියලු මහජන නියෝජිතයන්ට රජයේ දේපළ මිලදී ගැනීම තහනම් කළ යුතුය. රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කිරීම තහනම් කළ යුතුය. රජය සමඟ ව්‍යාපාර කිරීම තහනම් කළ යුතුය. ආදායම් උපයාගත හැකි බලපත්‍ර හිමිකර ගැනීම තහනම් කළ යුතුය. ඔවුන්ට ලැබෙන වාහන විකිණීම පවා තහනම් කළ යුතුය. ඒ වැරදි ඔවුන් දරන සියලු තනතුරුවලින් පහ කළ හැකි වැරදි බවට පත් කළ යුතුය. ඒ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ ක්‍රියාත්මක වන ක්‍රමයකි. 1977 දක්වා එය ලංකාවේද ක්‍රියාත්මක වූ ක්‍රමයකි. යහපාලන ආණ්ඩුව දූෂණයට විරුද්ධ නම් ඒ ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන තැනකට නොයන්නේ ඇයිද යන්න තේරුම්ගත නොහැකි ප්‍රහේළිකාවකි. එය ඕනෑම ආණ්ඩු ප්‍රතිසංස්කරණ වැඩසටහනකට ඇතුළත් විය යුතු අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය.
(අ) දූෂණය තුරන් කිරීම අවශ්‍ය නම් එම සංග්‍රාමය පටන් ගත යුත්තේ පහළ සිට නොව ඉහළ සිටය. ඉහළ තනතුරුවලට සිටින දූෂිත පුද්ගලයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ආරම්භ කිරීමේ අයිතිය පුරවැසියන්ට ලබාදෙන විධිවිධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කළ හැකිය. ඒ සඳහා පුරවැසියන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට ආයතන ක්‍රමයක් තිබිය යුතුය. ඒ වගකීම අවශ්‍ය නම් ව්‍යවස්ථා සභාවට භාරදිය හැකිය. ලැබෙන පැමිණිලි පරීක්ෂා කොට විමර්ශනයට යායුතු පැමිණිලි වේ නම් ඒවා විමර්ශනය කොට පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමේ බලය එම ආයතනයට ලබාදිය යුතුය. ඉදිරිපත් කරන එවැනි වාර්තා න්‍යාය පත්‍රයට ඇතුළු කොට සභාගත කොට එම වාර්තාව විවාදයට ලක්කිරීම අනිවාර්ය කරන විධිවිධාන ඇති කළ යුතුය. ඒ මගින් වැරදි කරන දූෂිත පුද්ගලයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ආරම්භ කිරීමේ අයිතිය පුරවැසියන්ට ලබාදිය හැකිය.
මීට අතිරේකව අලුත් නීති සම්පාදනයක් හෝ නීති ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය අවස්ථාවලදී නියමිත අත්සන් සංඛ්‍යාවක් ඇතිව (අවශ්‍ය අත්සන් සංඛ්‍යාව ලක්ෂ 5ක් කළ හැකිය.)