රාවය

ප්‍රගතියේ අනෙක් පැත්ත

ප්‍රගතියේ අනෙක් පැත්ත

පසුගිය දෙවසරක කාලය තුළ ආණ්ඩුව ලබාගත් ප්‍රගතිය පිළිබඳව වාර්තාව ‘ප්‍රගතියෙන් බිඳක්’ නමින් අගමැතිවරයා පසුගිය දා එළි දැක්වූයේ ය. ශීඝ්‍රයෙන් ගිලිහෙන ආණ්ඩුවේ ජනප්‍රියත්වය හමුවේ එය එසේ නොවේයැ’යි කියන්නට මෙන් අගමැතිවරයා ‘ප්‍රගතියෙන් බිඳක්’ ඉදිරිපත් කළ ද, ‘ප්‍රගතියේ’ අනෙක් පැත්ත අගමැතිවරයා කියන තරම් ලස්සන එකක් නොවන බව කවුරුත් දනිති.
වර්තමාන ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එම ධුරවලට පත්වීම හරහා, එතෙක් මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් ඇදගෙන යමින් තිබුණු අගාධයෙන් රට ගැලවුණු බව නම් අවිවාදිත ය. ඒ වෙනස කළ යුතුව ම තිබුණි. ඒ වෙනස කිරීම ගැන අද පසුතැවිලි වන වග, ඒ වෙනසට දායකවූවන් කිසිවකුත් අදටත් සිතන බවක් නොපෙනේ. රට යමින් තිබුණේ එතරම් ම විනාශයකට ය. ජනවාරි 8 ඒ වෙනස නොවුණි නම්, ලංකාව කෙතරම් අභාග්‍යසම්පන්න රටක් වන්නට ඉඩ තිබුණි දැයි දැනුත්, ඒ පාලනයට සම්බන්ධ උදවිය කියන කරන දෙයින් පැහැදිලි වෙයි.
එහෙත්, ඒ වෙනසෙන් පසු රටට ලැබුණු නායකයෝ, රට ඉල්ලා සිටි වෙනස කිරීම සඳහා අවශ්‍ය වුණු දිගු දැක්මක්, අවංකභාවයක්, කැපවීමක් හා දේශපාලන අධිෂ්ඨානයක් තිබුණු අය වූ ද? ඊට පෙර පාලන කාලවලින් ඇරඹී රාජපක්‍ෂ පාලන කාලය තුළ අතිශයින් වේගවත්ව හා ප්‍රබලව රට ඇදී යමින් තිබුණු විනාශයෙන් රට ආපස්සට ගැනීමට නම්, ඉන්පසු බිහිවන නායකයන්ට මහා දැක්මක්, කැපවීමක්, අධිෂ්ඨානයක් තිබිය යුතු විය. ඔවුන් ගමන් කළ යුතුව තිබුණේ මහජනතාව මෙහෙයවමින්, මහජනතාවට ඉදිරියෙනි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත් පසුගිය කාලය තුළ ඉටු කරන්නට බැරිවුණු දේ ද එයයි. ඒ නිසා අද ජනතාවට සිදු වී තිබෙන්නේ, රටේ දේශපාලන නායකයන් අනුගමනය කරන සමූහයක් හැටියට හැසිරෙන්නට නොව, ඔවුන් ඇදගෙන ඉදිරියට යන්නට ය. එහි තේරුම අපේ දේශපාලන නායකයන් දෙදෙනා ම ඉන්නේ ජනතාවට පිටුපසින් බව ය.
ආණ්ඩුවේ ධුර කාලයෙන් අඩක් ගෙවී යන මොහොත වන තුරුත්, තමන් ජනතාවට පොරොන්දු වූ දේවලින් අඩ-අඩක්වත් ඉටුකරන්නට මේ නායකයන්ට හැකි වී නැත. රාජපක්‍ෂ කාලයේ ණය බර, රාජපක්‍ෂ කාලයේ දූෂණය වැනි කෝකටත් ගැළපෙන තෛලයන් භාවිත කරනවා වුණත්, මනා සිහිබුද්ධියකින් යුතුව, අවංක ව හා තමන් ද ආදර්ශයක් වෙමින් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන බවක් පෙනෙන්නට ද නැත.
පසුගිය ආණ්ඩුවේ දූෂණ ගැන කිය කියා බලයට ආ වික්‍රමසිංහ ආණ්ඩුව එක පැත්තකින් ඒ දූෂිතයන්ට එරෙහිව ප්‍රමාණවත් පියවර ගත්තේ නැත. එකී මහ පරිමාණ වංචා දූෂණවලින්, අධිකරණය ඉදිරියේ පවරා ඇති නඩු පවා අදත් තිබෙන්නේ දිගින් දිගට ම කල් යන තත්ත්වයක ය. එවැනි නඩු විභාගය සඳහා වෙන ම අධිකරණයක් පිහිටුවීම වැනි සරල කාරණයකට පවා කතා සාප්පු නම් දහසක් දමා ඇති නමුත් සිදුවුණු කිසිවක් තවමත් නැත.
ඒ අතර, ආණ්ඩු බලය ලබාගෙන කෙටි කාලයක් ඇතුළත, අගමැතිවරයාගේ ගජමිතුරකු වූ මහබැංකු අධිපතිවරයා, සිය බෑනා ලවා ඓතිහාසික මුදල් මංකොල්ලයක යෙදුණේ ය. තම ගජමිතුරාට එවැනි මංකොල්ලයක් ගැන චෝදනා තිබියදීත්, අගමැතිවරයා කළේ කුමක් ද? ඔහුගේ මහබැංකු අධිපති ධුර කාලය දීර්ඝ කිරීමට සැරසීම යි. තම ගජමිතුරකු වුවත්, චෝදනාවක් ලැබුණු පසු, ඒ ගැන සාධාරණ පරීක්‍ෂණයක්වත් නොපවත්වා, හොරුන් රකින පිළිවෙතක අගමැතිවරයා සිටියේ ය. අද ජනාධිපති කොමිෂන් සභාවේ හෙළි වී ඇති තොරතුරුවලින් මේ අවලස්සණ මංකොල්ලයේ හැටිසොබාව ගැන මුළු රටම දනියි. එහි අවසාන ඇඟිල්ල දිගුවන්නේත්, දිගු විය යුත්තේත් අගමැතිවරයාට බව අලුතෙන් කිවයුතු නැත. අනෙක් අතට, රාජපක්‍ෂ පාලනයේ දැවැන්ත දූෂිතයන් සමඟ ඇයිහොඳයිකම් පවත්වමින් අගමැතිවරයා කටයුතු කරන බවට නැගෙන චෝදනාව ද එකවර ප්‍රතික්‍ෂෙප කළ හැකි නොවේ. ඔහුගේ සමීපතම, නීතිය හා සාමය භාර ඇමතිවරයා නීතිය ක්‍රියාත්මක කීරීමට තීරණාත්මක බාධා එල්ල කරන බව ද රහසක් නොවේ.
අද ආණ්ඩුවේ ඇමතිවරුන් විශාල පිරිසකට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඉහළ සිට පහළට. වංචා දූෂණ යාන්ත්‍රණය අදත් රාජපක්‍ෂ කාලයේ මෙන් ම නිරුපද්‍රිතව ක්‍රියාත්මක වේ. මේ දූෂණ මැඬලන්නට, ශක්තිමත් නීති, ශක්තිමත් ආයතනික ව්‍යුහ හදන්නට අගමැතිවරයාගේ ආණ්ඩුව මුළුමනින් ම අසමත් වී තිබෙන්නේ ය. වංචා දූෂණවල යෙදෙන්නට අදත් කිසිවකුට බියක් ලජ්ජාවක් නැත. මේ අවුරුද්දත් අවසන් වන්නට යන්නේ, විගණන පනත ගෙනෙඒම ගැන එකිනෙකා කියූ පුරාජේරු කතා පුස්ස බින්දාක් වැති තත්ත්වයට පත් කරමිනි.
රට ආර්ථීක අගාධයක වැටී සිටින බව පුන පුනා කියමින් වුවත්, අගමැතිවරයා කටයුතු කළේ සිය පාක්‍ෂික මන්ත්‍රීවරුන්ට හැකි තරම් වාහන පහසුකම්, අනෙකුත් පහසුකම් මහජන මුදලින් ලෝභ නැතුව බෙදා දෙන පිළිවෙතක සිටිමිනි. ඒවා ප්‍රතික්‍ෂෙප කරන්නට පොළඹවමින් තමන්ගේ අනුගාමික දේශපාලකයන්වත්, යහපාලන මූලධර්ම තුළ රඳවාගන්නට අගමැතිවරයා අසමත් වී තිබේ. ජනාධිපතිවරයාගේ තත්ත්වය ද ඊට දෙවැනි නැත.
ජනවාරි 8 වැනිදා මේ රටේ සාමාන්‍ය මිනිසුන් සියලු දෙනා ම එකාවන් ව දායක වී අධිකාරිවාදී අත්තනෝමතික පාලනයකින් රට ගලවා ගත්තේ, දර්ශනයක් නැති නායකයන් විසින් ඉන්පසු රට නමැති යාත්‍රාව අරමුණක් නැතිව ඔබමොබ ගෙනයාවිය කියන බලාපොරොත්තුවෙන් නම් නොවේ. නිසි දර්ශනයක් හා අධිෂ්ඨානයක් ඇතිව එය පදවනු ඇතැ’යි බලාපොරොත්තුවෙනි. එහෙත්, අවාසනාව, නායකයන් ඒ බවක් නොදැන සිටීම ය.■