රාවය

විධායක ජනාධිපතිවරු සුළු ජනවර්ගවල අවශ්‍යතා ඉටුකරලා නෑ | ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා

විධායක ජනාධිපතිවරු සුළු ජනවර්ගවල අවශ්‍යතා ඉටුකරලා නෑ | ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා

රේඛා නිලුක්ෂි හේරත්

ඔබේ පක්ෂය නිතරම පවතින ආණ්ඩු සමඟ සන්ධානගත වුණ පක්ෂයක්. දැන් ඔබ ආණ්ඩුව සමඟ සන්ධානගත වෙලා නැහැ. සන්ධානගත වීම සහ නොවීම ගැන අදහස මොකක්ද?
අපි නවසිය අනූගණන්වල එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩකළා. ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සමඟත් වැඩකළා. මහින්ද රාජපක්ෂ රජයත් සමඟ වැඩකළා. අපි දේශපාලනිකව විශ්වාස කරන්නේ පවතින ආණ්ඩු සමඟ එකඟතාවෙන් වැඩකිරීම සුදුසු බවයි. එය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්නට වැදගත්. මේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර ගත්තේ නැති වුණත් අපි ආණ්ඩුව එක්ක එකඟතාවක් දක්වනවා. දෙමළ ජාතික සන්ධානයත් සමඟ සංසන්දනය කළාම, ඔවුන් වසර ගණනාවක් තිස්සේ දකුණේ ආණ්ඩු එක්ක එදිරිවාදීව තමයි වැඩකළේ. එය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ අරගලය අඩියක් හෝ ඉදිරියට යෑම වෙනුවට බොහෝ පසුපසට ගෙනයන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. දකුණේ ආණ්ඩු එක්ක මිත්‍රශිලීව සංවාදයට එකතුවීමයි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න හොඳම උපක්‍රමය. තවම ඒ උපක්‍රමය අපි විශ්වාස කරනවා.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? බලය බෙදීම සිදුවිය යුත්තේ මොන මට්ටමෙන්ද?
ව්‍යවස්ථාවට අපි සහයෝගය දෙනවා. එකල ඉඳන්ම අපි කිව්වේ දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලායි. ඒක බලය බෙදීම ගැන ආරම්භයක් විදියට ඉතාම යහපත් තත්ත්වයක්. අලුත් ව්‍යවස්ථාවේ බලය බෙදීම, දහතුන්වැනි සංශෝධනය හෝ ඉන් එහාගිය බලතල ඇති තත්ත්වයක් වුණොත් අපි ඒක පිළිගන්නවා. ඊට අඩු බලතල සහිත ව්‍යවස්ථාවක් වුණොත් අපට ඒක පිළිගන්න බැහැ. දහතුන්වැනි සංශෝධනය එද්දී දකුණේ ජනතාව අතරින් ලොකු විවේචන පැමිණියත් මේ වෙද්දී ඒකට ජනතාව හුරුවෙලා. ඇත්තටම ඒකට වඩා බලය අඩුකිරීම දකුණේ ජනතාවගෙන් වුණත් එකඟතාව ලැබෙන දෙයක් නෙවෙයි. ඉතින් දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම අමාරු නැහැ. සිංහල ජනතාවගේ එකඟතාවත් දෙමළ ජනතාවගේ කැමැත්තත් දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ලබාගන්න ඕනෑ.

දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම කියලා ඔබ අදහස් කරන්නේ මොනවාද?
අපි දහතුන්වැනි සංශෝධනය කියලා කියන්නේ ඉන්දු ලංකා ගිවිසුමේ ඇතුළත් වෙලා තිබුණු කරුණු සහමුලින්ම ක්‍රියාත්මක කිරීම ගැනයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලයේ කිව්වා තර්ටීන් ප්ලස් කියලා. චන්ද්‍රිකා මැතිනිය දෙදාහේ යෝජනාවලියේ තර්ටීන් එකටත් වඩා එහා ගියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියෝජනය කරන්නේ එදා දහතුන්වැනි සංශෝධනය ගෙනා පක්ෂය. නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා ශ්‍රීලනිපය නියෝජනය කරමින් මෙහෙයුම් කමිටුව ඉදිරියේ කිව්වා දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ගැන එකඟයි කියලා.

උතුරේ දේශපාලන පක්ෂ නව ව්‍යවස්ථාවක් පිළිබඳ ක්‍රියාවලියේදී සහභාගී වීම හොඳ තත්ත්වයක් නේද? මේක ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කලින් ගත්ත උත්සාහයන්වලදී නොතිබුණු තත්ත්වයක් නේද?
ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ දකුණේ ආණ්ඩුවල වැරැද්ද නිසාම දේශපාලන විසඳුම පස්සට ගියා කියලා අපි හිතන්නේ නෑ. දෙමළ පක්ෂ තමන්ගේ ස්වයං වාසිය තකා මේ දේවල් මඟහැරියා. අද දෙමළ දේශපාලන පක්ෂ සහභාගි වුණා කිව්වාට කලිනුත් සහභාගි වුණා සාම සාකච්ඡා වගේ අවස්ථාවල. හැබැයි එයාලා අන්තිම වෙලාවේ හෝ ලිස්සලා ගියා. අත්පුඩි ගහන්න අත් දෙකක්ම ඕනෑ. ඉතින් මේ දේවල් සිදු නොවීම ගැන දෙමළ දේශපාලන පක්ෂ මෙතෙක් පාවිච්චි කළ උපාය මාර්ගය වගකියන්න ඕනෑ. දැන් ඔවුන් ආණ්ඩුව එක්ක සුහදව කටයුතු කිරීමේ අපේ උපායමාර්ගයට ඇවිත්. ඒ ඇවිත් ඉන්නේ අවංකවද කියලා අපට සැකයක් තියෙනවා. අවංකව එහෙම වුණා නම් ඒක හොඳ තත්වයක්.

සිංහල ජනතාව ව්‍යවස්ථාවක් එපා කියද්දී ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයිද කියලා ඇහුවොත් ඔබට තියෙන පිළිතුර මොකක්ද?
අවුරුදු තිහක යුද්ධය අවසාන වුණාට පස්සේ සිංහල ජනතාව ජයග්‍රාහී හැඟීමකින් හිටියා. එතකොට අනෙක් පැත්තෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳුණේ නැහැ. යුද්ධයට හේතුව මොකක්ද, ඒක තවමත් තියෙනවා. ඉතින් ඒකයි නව ව්‍යවස්ථාවක් හරහා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වෙන්න ඕනෑ. දෙමළ ජනතාවට දහතුන්වැනි සංශෝධනය ලැබීමත් ප්‍රමාණවත්. අපි හිතමු ස්විට්සර්ලන්තය ඉතාම පුංචි රටක්. එහෙත් ස්විට්සර්ලන්තයේ කැන්ටන් ගණනාවක් තියෙන ෆෙඩරල් පාලනයක් තියෙන්නේ. ඉන්දියාව ෆෙඩරල් පාලනයක් ගෙනියනවා. ඉතින් ඒ විදියට නැතත් දෙමළ ජනතාව වෙනුවෙන් යම් බලය බෙදීමක් හෝ අවශ්‍යයි.
මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, රිෂාද් බදියුදින් මහතාගේ පක්ෂය සහ ඔබේ පක්ෂය මෙහෙයුම් කමිටු වාර්තාවට ඒකාබද්ධ යෝජනාවලියක් දුන්නා. එහි ඔබ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි කියලා. එහෙම කියන්නට හේතුව කුමක්ද?
විවිධ අයට විවිධ මත තියෙනවා. දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා කියන අයත් ඉන්නවා. අනෙක් පැත්තෙන් ශ්‍රීලනිපයේ අය විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බව කියනවා. අපට ඇත්තටම විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුද නැද්ද කියලා වෙනසක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්න කියන යෝජනාවට අපි විරුද්ධ වුණේ නැහැ. ඒකට හේතුව ජනාධිපතිවරණයකින් ජනාධිපතිවරයා පත්කරගැනීමේදී සුළු ජනවර්ගවලට ඇහුම්කන් දෙන්නත්, සුළු ජනවර්ගවල කැමැත්ත ලබාගන්නත් ජනාධිපති අපේක්ෂකයන්ට සිදුවෙන නිසා.

එහෙත් එසේ පත්වන ජනාධිපතිවරුන් මෙතෙක් කල් ප්‍රායෝගිකව සුළු ජනවර්ග වෙනුවෙන් ක්‍රියාකරලා තියෙනවාද?
ජනාධිපතිවරණවලදී සුළුතර ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන තමයි ඡන්ද දීලා තියෙන්නේ. හැබැයි යථාර්ථය තමයි විධායක ජනාධිපතිවරු සුළු ජනවර්ගවල අවශ්‍යතාවන් අපේක්ෂිත විදියට ඉටු කරලා නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ, විධායක ජනාධිපති ක්‍රමය තිබුණත් නැතත් අපට ලොකු ගැටලුවක් නැහැ.

ඔරුමිත්ත නාඩු කියන වචනය සහ ඒකීය ක්‍රමය ගැන ලොකු සංවාදයක් ඇතිවෙලා. ඔරුමිත්ත නාඩු කියන්නේ මොකක්ද?
තමිල් අරසු කච්චි කියන පක්ෂයේ නමෙහි තේරුම තමයි දෙමළ රාජ්‍ය පක්ෂය කියන එක. එතකොට දෙමළෙන් ඒ නම තියාගෙන දෙමළ ජනතාව එක්ක එක දෙයක් කියලා දකුණට ඇවිල්ලා තමන්ව ෆෙඩරල් පාටි විදියට හඳුන්වාගන්නවා වගේ ඔරුමිත්ත නාඩු කියන්නේත් ඔවුන් යොදපු රැවටීමක් තමයි. ලංකාවේ ව්‍යවස්ථාව ඒකීය රාජ්‍ය ක්‍රමයක් පිළිගත්තේ. ඉදිරි ව්‍යවස්ථාවත් ඒකීය රාජ්‍යය පිළිගන්න බව පෙනෙන්නේ. එතකොට ඒකීය රාජ්‍යය කියන එක දෙමළට පරිවර්තනය කළොත් ඔට්රේආච්චි කියල තමයි එන්නේ. හැබැයි ඔරුමිත්ත නාඩු කියන්නේ එකතු කළ රටක් කියන එක. මේකට ගැළපෙන සිංහල වචනය එක්සත් රටක් කියන එක. ඉතින් එක්සත් රටක් කියලා සිංහල පිටපතේ තිබුණා නම් කමක් නැහැ. ඔරුමිත්ත නාඩු කියන වචනය දෙමළ පිටපතේ දැම්මාම ව්‍යවස්ථාවේ ව්‍යුහයේ වෙනසක් වෙනවා නම් කමක් නැහැ. හැබැයි ලංකාවේ ව්‍යවස්ථාවේ පිටපත් අතර ගැටුමක් ඇතිවුණොත් සලකා බලන්නේ සිංහල පිටපත. ඉතින් දෙමළ පිටපතේ ඔරුමිත්ත නාඩු කියලා දැම්මාම දෙමළ ජනතාව රැවටීම පමණයි වෙන්නේ. දැන් වෙලා තියෙන්නේ ඒක වටේ බිල්ලෙක් මවලා සිංහල ජනතාව බියට පත්කිරීම. දැන් අපට හිතෙනවා දෙමළ ජාතික සන්ධානයේ යෝජනා මත මේ වචනය දැම්මෙ සිංහල ජනතාව අතර සැකය වැඩි කරවන්නද කියලා. මේ වචනය අනවශ්‍ය වචනයක්. ඒකේ වටිනාකමකුත් නැහැ. ඉතින් අනවශ්‍ය දේකට තමයි මහාසංඝරත්නය සහ සිංහල ජාතිකවාදී බලවේග බියට පත්වෙලා තියෙන්නේ.

දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම තියෙන ප්‍රශ්නය මොකක්දැයි සමහරු අහන්න පටන් අරන්. දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය මොකක්ද?
උතුරු ප්‍රදේශවල තියෙනවා අනෙකුත් ප්‍රදේශවල නොමැති විශේෂ ප්‍රශ්න රාශියක්. අනෙක් පැත්තෙන් භාෂා ප්‍රශ්නය වගේ මූලිකම ප්‍රශ්න බරපතළ විදියට තියෙනවා. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කියලා කිව්වත් අද වුණත් ලංකාවේ තැනකට ගිහින් දෙමළ ජාතිකයෙකුට තමන්ගේ භාෂාවෙන් කටයුත්තක් කරගන්න බැරිවෙලා තියෙනවා. නිදහස ලබපු වෙලාවේ ලංකාවෙ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළත් දැන් අවුරුදු හැත්තෑවක් ගතවුණාට පස්සේ තවම දෙමළ ජනතාවට ලංකාවේ ජාතික ගීය තමන්ගේ භාෂාවෙන් ගයන්න බැරිවෙලා තියෙනවා. අපි ඒ කාලේ ඉඳන්ම කී දෙයක් තිබුණා. කොටින්ගේ ප්‍රශ්නය වෙනයි, දෙමළ ජනතාවගේ ප්‍රශ්නය වෙනයි කියලා. එල්ටීටීඊය ෆැසිස්ට්වාදී සංවිධානයක්. අපි පෙනීඉන්නේ දෙමළ ජනතාව වෙනුවෙන්. අපි ප්‍රමාණයෙන් අඩුයි තමයි. හැබැයි අපි අයිතීන්ගෙන් සමාන විය යුතුයි. අපි දෙවැනි ගණයේ මනුෂ්‍යයන් බවට පත්වෙන්න බැහැ. ඉන්දියාව බලන්න. ඉන්දියානු ජනගහනයෙන් කෝටි හැත්තෑවක් පමණ හින්දි භාෂාව කතාකරන ජනතාව ඉන්නවා. ඒත් නාගාස් සහ සිකිම් කියන ජනවර්ගවල ලක්ෂ පහයි ඉන්නේ. ඒත් ඔවුන්ට වෙනම ප්‍රාන්තයක් තියෙනවා. ඔවුන්ට සමාන අයිතීන් තියෙනවා. ඉතින් ඔවුන් කවදාවත් රටෙන් වෙන්වෙන්න ඉල්ලන්නේ නැහැ. සිංහල ජනතාව වගේම අපිත් අවුරුදු දෙදාහකට එහා ගිය අතීතයේ ඉඳන් ලංකාවේ හිටියා. කොටින්ම කුවේණි පවා ද්‍රවිඩියන් අයට සම්බන්ධයි. අනෙක් පැත්තෙන් එළාර රජු පිළිබඳ කතාවෙන් එහෙම පෙනෙනවා අවුරුදු දෙදාහක් පමණ මෙහේ වෙසෙන බව. ඉතිහාසය පුරා ලංකාවේ දෙමළ ජනතාව සිටි බවට සාක්ෂි තියෙනවා.
අපි කියන්නෙ නැහැ ලොකු බලය බෙදීමක් කරන්න කියලා. දෙමළ පක්ෂවල හැසිරීම් නිසා බහුතර සිංහල ජනතාව අතර සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙනවා. ඉතින් මේ මොහොතේ දහතුන්වැනි සංශෝධනය ප්‍රමාණවත් කියලා කියන්නේ ඒ නිසායි. සිංහල ජනතාවට දෙමළ ජනතාව පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟුණු දවසට ඉන් එහාට යනවාද කියලා කතාබහ කරන්න පුළුවන්. නිදහස ලැබුණු වෙලාවේම මේ සියල්ල වුණා නම් ගැටලුවක් නැහැ. දැන් මේ ජනතාව එකිනෙකා බෙදිලයි ඉන්නේ. ඉතින් ඒ නිසයි හෙමින් මේවා කරන්න ඕනෑ. ඉතාම පරෙස්සමෙන් කරන්න ඕනෑ.■