රාවය

ව්‍යවස්ථාව පිළිබඳ සංවාදය තියෙන්නේ පටන්ගත් තැනමයි ලංකා සමසමාජ පක්ෂයේ නායක | තිස්ස විතාරණ

ව්‍යවස්ථාව පිළිබඳ සංවාදය තියෙන්නේ පටන්ගත් තැනමයි ලංකා සමසමාජ පක්ෂයේ නායක | තිස්ස විතාරණ

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාවක් අවශ්‍යද අනවශ්‍යද කියලාත් දැන් සංවාදයක් මතුවෙලා. 1978 පවතින මේ ව්‍යවස්ථාව රටට සුදුසුයි කියලා ඔබ හිතනවාද?
මං හිතන්නේ කාටත් පිළිගන්න සිද්ධවෙනවා හැත්තෑඅටේ ව්‍යවස්ථාවෙන් පස්සේ අපේ රට විශාල දේශපාලන අර්බුදවලට මුහුණදුන්නා. එක් පැත්තකින් විධායක ජනාධිපති ක්‍රමය තුළින් එක් පුද්ගලයෙකුට විශාල දේශපාලන ආර්ථික බලයක් ලබා දීලා ඒ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම නිසා නොයෙකුත් ප්‍රශ්න ඇතිවුණා. ඒ එක්කම මැතිවරණ ක්‍රමයත් වෙනස්කළා. විශාල මුදලක් සහ බලය තියෙන අයට තමයි පත්වෙන්න හැකියාව ලැබුණේ.

දැන් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යා යුතුයි කියලා කියන්නේ සමසමාජ පක්ෂය එක්ක එදා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන්කළ ශ්‍රීලනිපයමයි. සමසමාජයේ අදහසත් දැන් වෙනස්වෙලාද?
කොහෙත්ම නැහැ. අපේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණේම බි්‍රතාන්‍ය ආදර්ශය මත. රට හැඩගැහුණේ පාර්ලිමේන්තු ක්‍රමයකට. ඒ නිසායි 1978දී ගෙනා විධායක ජනාධිපති ක්‍රමය නිසා ගැටලු රැසක් ඇතිවුණේ. ඒක හොඳටම පෙනෙන්න තියෙන කාලයක් මේ. පත්තරයක් අරන් බැලුවොත් ජනාධිපතිවරයා එකක්, අගමැතිවරයා තව එකක් කියනවා. ඒ මේ ක්‍රමයේ අවුලයි. අද පාලනය දිහා බැලුවාම යහපාලනයක් නෙවෙයි, අවපාලනයක් තමයි දකින්න තියෙන්නේ.

ඔබ ව්‍යස්ථාවක අවශ්‍යතාව කිව්වත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ව්‍යවස්ථාව ගැන විරෝධය පළකරනවා. දැන් ව්‍යවස්ථා සංශෝධන යෝජනා ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ඔබේ අදහස මොකක්ද?
කවුරු කෙරුවත් අපි ව්‍යවස්ථාව වෙනස් කරන්න සහයෝගය දෙනවා. හැබැයි හරියට කරන්න ඕනෑ. මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියෙ අවුලක් මුල ඉඳන් තිබුණා. මුලින්ම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පිටින් තමන්ගේ අතට අරගෙන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය ගෙනෙන්න උත්සාහ කළා. ඒත් අපි ඒ වෙලාවේ විරෝධය දැක්වීම නිසා ඒක පාර්ලිමේන්තු රාමුව තුළ කරන්න සිද්ධවුණා. හැබැයි පාර්ලිමේන්තු රාමුව තුළ මේක කෙරීගෙන යද්දී වුණත් අගමැතිවරයාගේ හැසිරීම ගැන මම කනගාටු වෙනවා. විශේෂයෙන් මෙහෙයුම් කමිටුව තුළ සංවාදය හරියට මෙහෙයවන්න අගමැතිවරයා කටයුතු කරලා තිබුණේ නැහැ.

ඔබ මීට වසර ගණනකට කලින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ සර්වපාක්ෂික නියෝජිත කමිටුවේ සභාපතිවරයා විදියට කටයුතු කළා. ඒ අත්දැකීම් සමඟ ඔබ මෙහෙයුම් කමිටුවේ වාර්තාව ඉදිරිපත් වූ ආකාරය දකින්නේ කොහොමද?
මම අවුරුදු තුනකට වැඩි කාලයක් තිස්සේ රැස්වීම් 127ක් පැවැත්වුවා. මුලින්ම එක්වුණු පක්ෂ 17ක නායකයන් විසිනුයි මාව සභාපතිවරයා විදියට පත්කළේ. සර්වපාක්ෂික කමිටුවට මුලින්ම දෙමළ ජාතික සන්ධානය හැර අනෙක් පක්ෂ ආවා. ඒ අය එක්ක එකඟතාවකට ඇවිල්ලා අපි ව්‍යවස්ථාවකට අවශ්‍ය සියලු දේවල් එකතු කරගත්තා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ක්‍රියාත්මක කරන්න කියලා වාර්තාවක් ඉදිරිපත් කළා. මහින්ද රාජපක්ෂ මහතා ඒක ක්‍රියාත්මක කළේ නැහැ.

මේ ආණ්ඩුව ඒක සැලකිල්ලට ගත්තාද?
මේ ආණ්ඩුව බලයට ආවේ මාස හයකින් ව්‍යවස්ථාව පිට කරනවා කියන පොරොන්දුව එක්ක. පළමුවැනිම සාකච්ඡාවලදී මම වර්තමාන ජනාධිපතිවරයාට කිව්වා සර්වපාක්ෂික කමිටු වාර්තාව ගැන. ඇත්තටම එතැනදී පක්ෂ 13ක් එකඟ වෙලා අත්සන් කළා. එජාපයත් එහි කරුණුවලට එකඟ වුණා ඒ වෙලාවේ ආණ්ඩුව එක්ක ප්‍රශ්න නිසා අත්සන් නොකළත්. ඒ ලියැවිල්ලෙන් මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න තිබුණා.

අගමැතිවරයා විසින් මෙහෙයුම් කමිටුව පත්කරලා නැවත පක්ෂ අතර සාකච්ඡා පටන්ගත්තා. අගමැතිවරයා මේ සාකච්ඡා මෙහෙයවා ඇති ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
මෙහෙයුම් කමිටු වාර්තාව බැලුවාම පෙනෙන්නේ කමිටු වාර්තාවක් නෙවෙයි. අඩු තරමේ අනුකමිටුවක් කළයුතු දේවත් මෙහෙයුම් කමිටුව කරලා නැහැ. අනුකමිටුවක් කරන්නේ තමන්ගේ විෂය සම්බන්ධයෙන් විවිධ මත අරගෙන ඒවා සාකච්ඡා කරලා මත එකකට හෝ දෙකකට ගන්න එකයි. ඒක මෙහෙයුම් කමිටුවට අරගෙන සියලු පක්ෂවල නායකයන් අතර සාකච්ඡා කරලා අවසාන එක යෝජනාවලියක් සකස් කරන එකයි කළ යුතුව තිබුණේ. ඒ අවසාන නිශ්චිත එකඟතාව තමයි පාර්ලිමේන්තුවට දාන්න තිබුණේ. දැන් මෙහෙයුම් කමිටු වාර්තාව කියලා ලොකු මැල්ලුමක් තමයි තියෙන්නේ. ව්‍යවස්ථා සම්පාදක සභාව විදියට පාර්ලිමේන්තුව රැස්වෙලා ඒ මැල්ලුම තවත් අනනවා. මම හිතන්නේ අගමැතිවරයා ආණ්ඩුවට අවුරුදු තුනක් ගතවෙලාත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගෙනියන්නේ ඉදිරියට නෙවෙයි, ආපස්සට. ඉතින් මට සැකයක් ඇතිවෙනවා අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවක් සඳහා සැබෑ වුවමනාවක් තියෙනවාද කියලා. ව්‍යවස්ථාව පිළිබඳ සංවාදය තියෙන්නේ පටන්ගත් තැනමයි. අඩියක්වත් ඉස්සරහට ගිහින් නෑ.

මෙහෙයුම් කමිටු වාර්තාව නිසා ලොකු සංවාදයක් ඇතිවෙලා ව්‍යවස්ථාවකට සුදුසු වාතාවරණයක් ඇතිවුණා කියලා හිතන්නේ නැද්ද?
දැන් මොනවද වෙලා තියෙන්නෙ. උතුරෙනුයි දකුණෙනුයි අන්තවාදී අදහස් වැඩිවෙලා. ආයේ බෙදුම්වාදී අදහස් පවා මතුවෙලා. කවුරුත් මේවාට එකඟ නැතිවෙලා. ඉතින් ව්‍යවස්ථාවකට සුදුසු වාතාවරණයක් ඇතිකරලා නැහැ. මේ විදියට ඇතිකරන ව්‍යවස්ථාවකින් ජනතාව එකතුවෙන්නේ නැහැ. සංහිඳියාව සඳහා ව්‍යවස්ථාවක් ගෙනඒම මීට වඩා භාරධුර කටයුත්තක්.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට වුණත් දිනපතා ජනමාධ්‍යවල ලොකු ඉඩක් වෙන්වෙනවා. ඔවුන්ගේ අදහස් ප්‍රකාශකිරීම්වල වුණත් දෙදෙනාට ව්‍යවස්ථා වෙනස ගැන පණිවුඩය සමාජගත කරන්න පුළුවන්. ඔවුන් ඒකවත් කරන්නෙ නැහැ නේද?
ඒ දෙන්නා අතර ලොකු පරස්පර විරෝධයක් තියෙනවා. මේ දෙන්නා එකතුවුණේ මේ කාර්යය කරන්න. හැබැයි මේකෙදී තමයි මේ දෙපාර්ශ්වය අතරේ එකඟතාවක් නැත්තේ. ඒ නිසායි මට ලොකු සැක පහළවෙලා තියෙන්නේ. එජාපය සහ ශ්‍රීලනිපය එකතුවෙනවා කියන්නේ හොඳ අවස්ථාවක් මේ වගේ ප්‍රශ්න විසඳන්නට. ඒ එක්කම මැතිවරණයේ සහයෝගය දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය වක්‍රාකාරව ලැබුණා. මුස්ලිම් කොංග්‍රසය සහාය දුන්නා. දකුණේ සුළු ජනවර්ග නියෝජනය කරන පක්ෂවල සහයෝගය ලැබුණා. ඉතින් හොඳ අවස්ථාවක් තිබුණා මේ ප්‍රශ්නය මේ වෙලාවේ විසඳන්නට. හැබැයි බැලූබැල්මට පෙනෙනවා ආණ්ඩුව සැබෑ වුවමනාවකින් නෙවෙයි මෙතැන වැඩ කරන්නේ.

විවිධ කරුණු පිළිබඳව පක්ෂ අතර එකඟතාව ඇති කරගන්නට එකල සර්වපාක්ෂික නියෝජිත කමිටුවේදී කටයුතු කළේ කොහොමද?
එතැනදී එක් එක් පක්ෂ නායකයන්ට මම කිව්වා විවිධ කරුණු ගැන තමන්ගේ අදහස් කියන්න කියලා. හැන්සාඞ් වාර්තා හදන අයව ගෙන්නලා ඔවුන් ලව්වා ඒවා වාර්තා ලෙස සකස්කළා. ඉන්පස්සේ අනෙක් පක්ෂ නායකයන්ට ඒවා දුන්නා. හැමෝම එකඟවෙන අදහස් අයින් කරලා විවිධ අදහස් තියෙන කාරණා ටික ගත්තා. මම යම් කාරණයක් ගැන විවිධ අදහස් තියෙන පක්ෂ නායකයන්ට ඒ ඒ කාරණා පිළිබඳව විවිධ අදහස් තියෙන්නෙ ඇයි කියලා සාකච්ඡා කළා. කෙනෙක් ඇයි මේ මතය දරන්නේ කියලා කාරණා ඇතිව පැහැදිලි කරන්න ඉඩ දුන්නා. අනෙක් පක්ෂවලට ඒවායේ අඩුපාඩු පෙන්වාදෙන්නැයි කිව්වා. අපි උදාහරණයක් විදියට ගනිමු ෆෙඩරල් ක්‍රමය ගැන තියෙන බය. මම හිතුවා ෆෙඩරල් බිය මතුකරන්නේ කුහක අරමුණු ඇතිව කියලා. මොකද ලෝකයේ ඕනෑ තරම් ෆෙඩරල් රටවල් සාර්ථකව තියෙනවා. ඒකීය රටවල් තියෙනවා අසාර්ථක ඒවා. ඒකීය රටවල් බෙදිලා තියෙනවා. ෆෙඩරල් හෝ ඒකීය වීම මත රටක් බෙදීයන්නෙ නැහැ. හැබැයි මට තේරුණා මේ අය දේශපාලන ගුණ්ඩුවක් මත නෙවෙයි, සැබෑ බියක් මතයි ෆෙඩරල් ක්‍රමයට එරෙහිවෙන්නේ කියලා. ඒ බිය නැතිකරන්නේ කොහොමද කියලා අපි තේරුම්ගත්තා. ඒ ආකාරයට ක්‍රමානුකූලව පිළිගත හැකි එකඟත්වයක් ඇතිකරගත්තා. හැබැයි මෙතැන ඒ වගේ කිසි එකඟතාවක් ඇති කරවාගන්න මෙහෙයුම් කමිටු රැස්වීම් මෙහෙයවපු අගමැතිවරයා සමත්වෙලා නැහැ. මම ව්‍යවස්ථාව ගැන ඇතැම් සාකච්ඡාවලට ගියා. එතැන එහෙම මෙහෙයවීමක් තිබුණේ නෑ. එක්කෙනෙක් එක් දෙයක් තියෙනවා, තව කෙනෙක් තව අදහසක් ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට ගැටුමකුත් තියෙනවා. හැබැයි කිසිම විටෙක ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා කියලා පෙනුණේ නෑ.

සර්වපාක්ෂික කමිටුව විසින් ඒකීය ක්‍රමයක් යෝජනා කළත් අර්ධසන්ධිය ක්‍රමයකට වුණත් ඉඩ තියෙන බව යෝජනා කරලා තිබුණා. එසේ බලය බෙදීම ගැන දැන් ඔබේ මතය කුමක්ද?
සම්බන්ධන් සහ සුමන්දිරන් මහත්වරු මගෙන් ඇහුවා ඒ ප්‍රශ්නය. මම කිව්වා අවුරුදු තිහක් රට බෙදන්න යුද්ධ කරලා තියෙනවා. ඒ තුළින් මත වෙනස්වෙලා තියෙනවා. දකුණේ බියක් ඇතිවෙලා තියෙනවා. ෆෙඩරල් කියලා වැඩි බලතල උතුරට දෙන යෝජනාවලියක් මේ වෙලාවේ ගෙනාවොත් ඒ අත්දැකීම් සහ බිය හේතු කරගෙන මේ ගමන පටන්ගන්නේවත් නැ. ඒ නිසා මම යෝජනා කරන්නේ දකුණටත් උතුරටත් ආරම්භයක් විදියට එකඟතාවකට ආ හැකි තැනකින් වෙනස්කම් ආරම්භ කරමු කියලා. බලය බෙදාහැරීම වුණත් එකපාරම අන්ත ස්ථාවරයකට යන්න එපා. ක්‍රමානුකූලව ගමන් කරන්න කියලා. මේ ආරම්භයත් එක්ක ඉදිරියේදී බහුතර ජනවර්ගයේ කැමැත්ත මතම බලය බෙදන්න පුළුවන්.■