රාවය

සංවාදයට වඩා අත්ත‍නෝමතිකත්වය අගය කරන ව්‍යවස්ථා විරෝධියෝ

සංවාදයට වඩා අත්ත‍නෝමතිකත්වය අගය කරන ව්‍යවස්ථා විරෝධියෝ

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මාරාන්තික විරෝධයක් දක්වන සංඝයා වහන්සේලා ඇතුළු සියලු බලවේග සිය විරෝධය මගින් අනෙක් පැත්තට සාධාරණය කරන්නේ 1978 පනවන ලද වත්මන් ව්‍යවස්ථාවයි. ඔවුන්ගේ අදහස එක්කෝ මේ ව්‍යවස්ථාව එලෙසින්ම දිගටම තබාගැනීමයි. නැතිනම් එයට සංශෝධන කිහිපයක් පමණක් එකතුකර ගැනීමයි.
වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කිසිවකුට නොකියා හොරෙන් කෙරෙන කුමන්ත්‍රණකාරී මගඩියක් නොවන බව දැන දැනම වුණත්, එය එසේයැයි කියන්නෝ සාමාන්‍ය මිනිස්සු පමණක් නොවෙති. බෙල්ලන්විල විමලරතන හිමි වැනි මහාචාර්ය යතිවරුද ඒ මතයම දරති. පසුගියදා පැවැති රැස්වීමකදී බෙල්ලන්විල හිමියන් පැවසුවේ, දැනටමත් දෙදෙනකු විසින් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් කෙටුම්පත් කර ඇති බවය. මෙවැනි පදනම් විරහිත කතා කියන විට, බෙල්ලන්විල හිමියන් වැනි දැනඋගත් භික්‍ෂූන් වහන්සේලාත් කරුණු හරිහැටි නොසොයා, නොබලා, හුදෙක් කිසිවකු කියන කිසිවකින් මෝහයට පත්ව, තමන් කියන දෙය අසා සිටින මිනිසුන් මුලා කරන්නට දරන වෑයම ගැන ඇතිවන්නේ බලවත් කනගාටුවකි. අඳනකඩක් හා සිවුරක් දවටාගෙන මහජනයාගේ මහන්සියෙන් පිළියෙල කරන දන් ආහාරයට ගනිමින් පන්සල්වල දවසරින අල්පශ්‍රැත භික්‍ෂූන් එවැනි අදහසක සිටියා නම් ඉවසිය හැකි නමුත්, දේශ දේශාන්තර චාරිකාවන්ගෙන් මෙන්ම අධ්‍යාපනයෙන් ලද අත්දැකීම්ද, දැනුම් සම්භාරයක්ද ඇතිව සිටින, ලංකාවේ ප්‍රබුද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ ගොඩෙහි ලා ගිනිය හැකි මහාචාර්ය විමලරතන හිමියන් වැනි සංඝයා වහන්සේලා, බුදුන් දෙසූ කාලාම සූත්‍රය වැනි මූලික බුද්ධිමය සම්ප්‍රදායන්ට පවා එරෙහිව කතා, ක්‍රියා කරන විට, ලංකාවේ බෞද්ධ දැනුම් සම්ප්‍රදායේ සීමාසහිතකමද මැනැවින් ප්‍රකට වෙයි. එහෙත්, කිසිවකු බුද්ධිමතකු ලෙස සැලකිය හැක්කේ ඔහු ව්‍යවස්ථාවට පක්‍ෂ වුවහොත් පමණකිය යන්න ඉන් අදහස් නොවේ.
වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට එරෙහි පාර්ශ්වය ගෙනෙන එක් තර්කයක් නම්, මේ ව්‍යවස්ථා සම්පාදනය කඩිමුඩියේ, ප්‍රමාණවත් ලෙස මහජනතාවගේ අදහස් විමසන්නේ නැතිව කරනු ලබන්නක් බවයි. එහෙත් එය එසේ නොවන බවද ඒ පිරිසම දන්නවා ඇත. වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වූකලි, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදාය තුළ මේ තරම් ඉහළ මහජන සංවාදයට හා විචාරයට ලක්කළ පළමු හා එකම ව්‍යවස්ථාවයි. පසුගිය 30වැනිදා ආරම්භ වූ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ගැන පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විවාදය දින හතරක් දක්වා දීර්ඝකරන ලදි. පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්‍ෂවල මහජන නියෝජිතයන්ට එහිදී අතුරු වාර්තාව ගැන අදහස් කියන්නට අවස්ථාව ලැබුණි. ඊට පෙර ලාල් විජේනායක කමිටු වාර්තාවෙන් ව්‍යවස්ථාව ගැන මහජන අදහස් ගොනුකොට ඉදිරිපත් කරන ලදි. පාර්ලිමේන්තුවේ අනුකමිටු හය, තමන් විවිධාකාර මහජන හා විශේෂඥ හමු පවත්වා සැකසූ වාර්තා ඉදිරිපත් කළේය. මේ සංවාදය තවත් ඉදිරියට යනු ඇත. පාර්ලිමේන්තුවේ විවාදයෙන් පැනනගින කරුණු පදනම් කරගෙන මෙහෙයුම් කමිටුව සිය අවසාන වාර්තාව සකස්කරනු ඇති අතර ඒ මත පදනම්ව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක ඡන්දයෙන් එය සම්මත කරගත යුතුය. ඉන්පසු එය ජනමත විචාරණයකට යොමුකෙරෙනු ඇත. ජනමත විචාරණයකදී ජනතාවගේ ඡන්දය අවශ්‍ය නිසා නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන හා මහජනතාව ඇතුළු පිරිස් සමග ඒ ගැන සංවාදයක් පැවැත්වීම අවශ්‍යය. ඒ සංවාදයේදී, ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයේදී ප්‍රතික්‍ෂෙප කළ යුත්තේ ඇයිදැයි, ව්‍යවස්ථා විරෝධීන් ජනතාවට පැහැදිලි කරනු ඇති අතර, ව්‍යවස්ථාවට පක්‍ෂ අය, එය ජනමත විචාරණයෙන් ජයග්‍රහණය කළ යුත්තේ ඇයිදැයි කියනු ඇත. මේ ආකාරයට සමාජ මාධ්‍යවල සිට සෑම ජනමාධ්‍යයක්ම හරහා ගමේ කෝපි කඬේ තේ බොන මිනිසුන් දක්වාම ව්‍යවස්ථාවක් ගැන කතාකරන තත්ත්වයට පත්වීම යහපතක් මිස අයහපතක් නොවේ. එය මින් පෙර නොවූ විරූවකි. පක්‍ෂව හෝ විපක්‍ෂව වුණත්, ව්‍යවස්ථා ක්‍රියාවලිය ගැන සංවාදයට සහභාගිවීමෙන් මේ මිනිස්සු රාජ්‍යය සමග බලහවුල්කාරිත්වයක් ඇතිකර ගනිති. ආණ්ඩුවට වුවමනා විදියට නටන්නට දැන් සිටින මහජනතාව ඉඩක් නොදෙන බව එයින් කියැවෙන ඇත්තයි. එවැනි පසුබිමක, දැනටත් ව්‍යවස්ථාව හදා අවසන්යැයි බෙල්ලන්විල හිමි වැනි අයකු කියන විටෙක, එහි ඇත්තේ අසත්‍යයකි. එහිමියන් එසේ කියන විටෙක, ඔය හදා ඇතැයි කියන ව්‍යවස්ථාවේ පිටපතක් එහිමියන් සතුව පවතීදැයි අසන්නට අපට අයිතියක් තිබේ. එවැන්නකුත් නැතිව, තමන් වහන්සේට කිසිවකු කී දෙයක් එහිමියන් මයික්‍රපෝන ඉදිරියේ පුනරුච්චාරණය කරන්නේ නම්, එය බුදුන් දෙසූ කාලාම සූත්‍රයට එරෙහිව යෑමකි. කිසිවකු කී නිසාම කිසිවක් විශ්වාස නොකරන ලෙස කාලාමයේ කියැවෙන බැවිනි. මෙසේ කියන විට, පත්තරකාරයන් භික්‍ෂූන්ටත් බුදුදහම උගන්වන තැනට ඇවිත්යැයි නොකියනු ඇතැ’යි මනුවර්ණ සිතයි.
වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය හදිසි එකක්, පුළුල් මහජන සංවාදයකට ලක් නොකර සඟවාගත් වුවමනාවකින් කෙරෙන හොර වැඩක් බව පෙන්වන්නට ව්‍යවස්ථා විරෝධීන් ඉදිරිපත් කරන තර්ක හරහා අනියමින් සාධාරණය කෙරෙන්නේ 1978 ව්‍යවස්ථාවයි. එහෙත්, 1978 ව්‍යවස්ථාව නිර්මාණය වුණේ මහජන අදහස් විමසීමෙන් පසුවද? කිසිසේත් නැත. අද 1978 ව්‍යවස්ථාව වන්දනාමාන කරන ව්‍යවස්ථා විරෝධීන් වුවමනාවෙන්ම අමතක කරන්නේ, හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන එය සම්මත කර ගත්තේ කිසිම මහජන සංවාදයකට ඉඩ නොතබා සිය තනි තීරණ මතම ක්‍රියාකිරීමෙන් බවය.
ජේආර් ජයවර්ධන, විධායක ජනාධිපති ධුරයක් ගැන සිහින දැක්කේ 1950 වැනි කාලයේ සිටය. සේනානායකවරුන්ගේ බලය නිසා ඒ සිහිනය සැබෑ කරගන්නට 1977 වනතුරු කල්ගතකරන්නට ඔහුට සිදුවිය. 1977 ජුලි මහමැතිවරණයෙන් පසු, පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයද ඇතිව ඔහු වහාම විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාවට නැංවූයේය. ඒ. 1972 ව්‍යවස්ථාවට, සංශෝධනයක් ගෙනඑමිනි. (2වැනි සංශෝධනය).
ඒ සංශෝධනය ගෙන ආ හැටි ගැන ආචාර්ය ඇන්ඇම් පෙරේරා සිය ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විවේචනාත්මක විශ්ලේෂණයක්’ (1981, ස්ටාර් මුද්‍රණාලය) පොතේ ප්‍රස්තාවනාවේ ලියන්නේ මෙසේය.
‘ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වැනි ඡෙදයේ විධිවිධාන අනුව මේ ව්‍යවස්ථා සංශෝධනය හදිසි කටයුත්තක් ලෙස සලකන ලදි. ශිෂ්ට ලෝකයේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මුළු ඉතිහාසයේ කොතැනකවත් හදිසි කටයුත්තක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් ඉක්මන් කළ එක් අවස්ථාවක් හෝ ඇතැයි අපි නොසිතමු. (1972) ව්‍යවස්ථාවේ ඉහත කී ඡෙදය කෙටුම්පත් කිරීමේ වගකිව යුතු කෙනෙකු හැටියට, ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ යුතුව ඇත්තේ, එබඳු තත්ත්වයක් අප කිසිවෙකු බලාපොරොත්තු නොවූ බවය. හදිසි කටයුත්තක් යන්නෙන් බලාපොරොත්තු වූ දේ නම්, මුදල් හදල්, හුවමාරු අනුපාත, ආදායම් බදු පිළිබඳ සාමාන්‍ය ව්‍යවස්ථා ආදිය පැනවීමය. .. පුදුමය නම් මේ සංශෝධනය ව්‍යවස්ථා අධිකරණයේ හා පාර්ලිමේන්තුවේ කිසිදු සාකච්ඡාවකින් තොරව හදිසි අන්දමින් සම්මත කරවාගත් නමුදු, මේ අන්දමේ ඉවක් බවක් නැති කඩිනමින් සම්මත කරවා ගත් සංශෝධනය ක්‍රියාත්මක වන දිනය 1978 ජනවාරි දක්වා කල් තැබීමය. මේ නීතිය ක්‍රියාත්මක වන්නේ 1978 ජනවාරියේ සිට නම්, මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සාමාන්‍ය නියමයන් මත ක්‍රමානුකූලව ක්‍රියා නොකිරීමට හේතු කිසිවකුට පිළිගත නොහැකිය.’
ආචාර්ය ඇන්ඇම් පෙරේරා මේ කියන්නේ, 1972 ව්‍යවස්ථාවේ 55 ඡෙදයේ විධිවිධාන අනුව, හදිසි පනත් කෙටුම්පතක් ජාතික රාජ්‍ය සභාවට ගෙන ආ හැකි විධිවිධාන පාවිච්චි කොට, විධායක ජනාධිපතිවරයකු ඇතිකිරීමට ජේආර් ජයවර්ධන කටයුතු කළ බවය. හදිසි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කෙරෙන විට ඒවා කිසිම මහජන සංවාදයකට ඉදිරිපත් නොවේ. ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට පෙර ඒවා ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ නොකෙරේ. ඒවාට විරුද්ධව අධිකරණයට යෑමට ජනතාවට අවස්ථාවක් ලැබෙන්නේද නැත. ඒ තබා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්වත්, අත උස්සන තුරු ඒවායේ අඩංගු මොනවාදැයි දන්නේ නැත. 1978 සැප්තැම්බර් මාසයේ නීතිගත වුණු වර්තමාන ව්‍යවස්ථාවද ඒ ආකාරයෙන්ම කිසිම මහජන සංවාදයකට ලක් නොකර, හුදෙක්ම ජේආර් ජයවර්ධනගේ වුවමනාවන් අනුව සම්මත කරන ලද්දකි. ඒ නිසා එය උපතින්ම අත්තනෝමතිකය. මහජන විරෝධීය. මේ වන විට ඒ ව්‍යවස්ථාවට එකතු කර ඇති සංශෝධන 19න් 16ක්ම ඊට එකතු කරන ලද්දේ ජේආර් ජයවර්ධන පාලන කාලයේදීය. තමාට හිතෙන හිතෙන හිතුවක්කාර සංශෝධන ව්‍යවස්ථාවට එකතු කිරිමට ජේආර්ට ඒ හැකියාව ලැබුණේ පාර්ලිමේන්තුවේ ඔහුට තිබුණු විශාල බහුතර බලය නිසාය.
17වැනි සංශෝධනය, එනම් ජනාධිපතිවරයාගේ බලය අඩු කරමින් ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම සඳහා වූ සංශෝධනය, එනම් මේ ව්‍යවස්ථාවට එකතුවුණු එකම ප්‍රගතිශීලි සංශෝධනය, එකතු කළේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ කාලයේය.
ඉන්පසු ව්‍යවස්ථාවට එකතු කරන ලද ඉතාම පාපකාරී සංශෝධනය, එනම් 18, ගෙන එන ලද්දේ 2010 සැප්තැම්බර් මාසයේ 9වැනිදා, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසිනි. ඔහු එය කළේද, 1977දී ජේආර් ජයවර්ධන කළාක් මෙන්, 1978 ව්‍යවස්ථාවේ ඇති හදිසි පනත් කෙටුම්පත් පිළිබඳ විධිවිධානය කූට ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. ව්‍යවස්ථාවේ 122 අනුව, ජාතියේ හිත පිණිස වහා අවශ්‍යවන බවට ඇමති මණ්ඩලය තීරණය කරන පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ නොකොට, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට තිබෙන අවස්ථාව මඟහැර පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත හැකිය. ජනාධිපතිවරයා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකොට ව්‍යවස්ථාවට පටහැනිද යන මතය පමණක් විමසිය යුතුය. අධිකරණය සිය මතය පැය 24- දින 3ක් අතර කාලයක ජනාධිපතිවරයාට දැනුම් දිය යුතුය. මේ විදියට 18වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනඑන විට, පසුව ඊට අත ඉස්සූ කිසිවකුත් එහි තිබුණේ මොනවාදැයි දැනගෙනවත් උන්නේ නැත.
මේ විදියට 1978 ව්‍යවස්ථාවට ඇත්තේ, මහජන මතයට කිසිසේත් ගරු නොකළ කිලිටි ඉතිහාසයකි. ලංකාවේ මෙතෙක් පැවැති ව්‍යවස්ථාවලින් අපකීර්තිමත්ම ව්‍යවස්ථාව එයයි. එපමණක් නොව, භයානකම ව්‍යවස්ථාවද එයයි. ඇන්ඇම් පෙරේරා මෙසේ කියයි. ‘සීමිත කාල පරිච්ඡෙදයක් තුළ, අසිමිත බලපරාක්‍රමයෙන් හෙබීමට ජනාධිපති ක්‍රමය අවස්ථා සලසන්නේය. එහෙත් බලය භුක්ති විඳීමෙන් වර්ධනය වන රසය හා තෘෂ්ණාව පහසුවෙන් සංසිඳවිය නොහැකිය. ශ්‍රී ලංකාව වැනි පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ගැන විශාල අත්දැකීම් සමුදායක් ලබා ඇති, සාර්ථක අන්දමින් එහි මුල් අවධියේ වූ අර්බුදවලින් ජයගත් රටක්, දැන් එය ව්‍යවස්ථා අර්බුදයේ පල්ලමට පෙරලා දමමින්, අවසානයේදී ප්‍රජාතන්ත්‍රය පවා උවදුරට පත්කිරීම ඛේදජනකය.’
ඇන්ඇම් පෙරේරාගේ පොතට පෙරවදන ලියන කොල්වින් ආර් ද සිල්වා එය අවසන් කරන්නේ මෙහෙමය. ‘ජනාධිපති ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආචාර්ය පෙරේරාගේම වචනවලින් කිවහොත් අවුල් ජාලයකි. ඒ අවුල් ජාලය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නොව, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැළඳගත්, ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපතිත්වයකි.’
ඉතින්, බෙල්ලන්විල විමලරතන හිමියන් වැනි පරිණත යතිවරුන් පවා අද සාධාරණය කරන්නේ මේ තරම් මහජන මතයට කන් නොදී නීතිගත කළ, දිගින් දිගටම විධායක ජනාධිපතිවරුන් අවභාවිත කළ, මහජන පීඩාකාරී ව්‍යවස්ථාවකි. ඒ ව්‍යවස්ථාවේ කාලය තුළ, ලංකාවේ ජනවාර්ගික යුද්ධයක් ඇවිළී- වර්ධනය වී ලක්‍ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත හා දේපළ විනාශ කළේය.
බුදුන් දෙසූ ‘බහුජන හිතාය, බහුජන සුඛාය’ යන්න මිනුම් දණ්ඩක් ලෙස ගන්නේ නම්, මේ ව්‍යවස්ථාව පලවාහැරිය යුතුව තිබුණේ අදට බොහෝ කාලයකට පෙරය. එහෙයින්, බුදුන්ගේ ධර්මය අනුව දිවි ගෙවන සංඝයා වහන්සේලා අද වත් පෙනීසිටිය යුත්තේ ඒ අධිකාරිවාදී ව්‍යවස්ථාව වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම් මහජනයාගේ අදහස් උදහස් සහිත ව්‍යවස්ථාවක් නීතිගත කරගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් දැන් ඇරඹී ඇති සංවාදශීලී ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙනි. එහෙත්, අවාසනාව නම්, සමාජයේ කිසියම් පිරිසක්, තවමත් මේ ගර්හිත ව්‍යවස්ථාව රැකගනිමින්, එහි අත්තනෝමතිකත්වයට ආවඩමින් සිටීමය.■