රාවය

ඉන්දියාවේ අවදානම් රහිත ධනවාදය: සත්‍යය සහ උගත හැකි පාඩම්

ඉන්දියාවේ අවදානම් රහිත ධනවාදය: සත්‍යය සහ උගත හැකි පාඩම්

අහිලන් කදිරගාමර්

පරිවර්තනය රමිඳු පෙරේරා

ලංාකීය බල සංස්ථාපනයේ ආර්ථිකය චින්තනය තුළ ඉන්දියාවේ ආර්ථික දියුණුව ගැන කතාන්දරයට ලැබී තිබෙන්නේ ප්‍රමුඛ තැනකි. යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA ගිවිසුම) ආදි නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් ‘දිදුලන ඉන්දීය‘ ආර්ථිකය සමඟ ලංකාවේ ආර්ථිකය සම්බන්ධ කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් තිබෙන විශාල උනන්දුව මේ අදහස සමඟ සමීපව සම්බන්ධය. මේ සන්දර්භය තුළ, ඉන්දියාවේ දේශපාලන-ආර්ථිකයේ ස්වභාවය විපරම් කොට බැලීම වැදගත් වනු ඇත.
ඉන්දියාවේ මාධ්‍යවලට හා ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ට ලංකාව ගැන තිබෙන්නේ අපැහැදිලි සහ එක්තරා දුරකට විකෘති අවබෝධයක් බව කාලයක් තිස්සේ මා විසින් මතු කරනු ලැබූ කරුණකි. 1980 ගණන්වල සිදු වූ අසාර්ථක ඉන්දීය මැදිහත්වීම සමයේ මෙන්ම මෑත කාලය තුළ කලාපයේ භූ-දේශපාලනික බලය සඳහා චීනය සමඟ ඉන්දියාවට තිබෙන තරගය මගින් නිර්ණය වූ ලංකාව පිළිබඳ ඉන්දීය විශ්ලේෂණවල මූලික අවධානය යොමුවන්නේ ආරක්ෂාව සම්බන්ධ කරුණුවලටය. ලංකාවේ දේශපාලන-ආර්ථිකය ගැන ඉන්දීය විශ්ලේෂකයන්ගෙන් සිදුවූ ගැඹුරු අධ්‍යයනයන්වල විශාල හිඟයක් තිබේ.
කෙසේ වූවද මේ පොදු තත්ත්වයට ව්‍යතිරේකයන් ද නැතිවා නොවේ. උර්මිලා ෆාදින්ස් වැනි ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රඥයන් ශ්‍රී ලංකාවේ ආගම හා දේශපාලනය අතර සම්බන්ධය ගැන ගැඹුරින් අවබෝධ කරගැනීමට උත්සාහ දරා තිබෙන අතර 1970 හා 1980 ගණන්වල ඉන්දු-ලංකා සබඳතා පිළිබඳ විවේචනාත්මක විශ් ලේෂණයන් ඉදිරිපත් කොට තිබේ. එසේ වුවද, මෑත කාලයේ ලංකාව ගැන ඉන්දීය කතිකාව බොහෝ දුරට සමන්විත වී තිබෙන්නේ ලංකාව හා ඉන්දියාව අතර භූගෝලීය සමීපතාව හා එය චීනය සහ බටහිර සමග ඉන්දියාවට තිබෙන සම්බන්ධයට බලපාන ආකාරය පිළිබඳ සාකච්ඡාවන්ගෙන්ය. මීට පරිබාහිරව ලංකාව ගැන තිබෙන අනෙක් එකම කතිකාව සමන්විත වනුයේ යුද-පීඩිත උතුර මුහුණ දෙන ගැටලු විසින් ඇතිකළ අවකාශය පාවිච්චි කිරීමට තමිල්නාඩුවේ අවස්ථාවාදී දේශපාලන ව්‍යාපෘතීන් විසින් දරනු ලබන ව්‍යායාමයන්ගෙන් හා යුද්ධ කාලයේ විඳවීම් ගැන සිදුවන භාවාතිශය රචනාවන්ගෙන් සංලක්ෂිත සාකච්ඡා වන්ගෙන්ය. යුද්ධයෙන් පීඩිත ජනයා විසින් මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අභියෝග ගැන සාරවත් හා සාර්වත්‍රික විශ්ලේෂණයක් මෙබඳු සාකච්ඡාවල අඩංගු වන්නේ කලාතුරකිනි.
මෙම දුර්වලතාව දක්නට ලැබෙන්නේ ලංකාව සම්බන්ධ ඉන්දීය කතිකාව තුළ පමණක් නොවේ. ලංකාව තුළ ද ඉන්දියාවේ දේශපාලන-ආර්ථිකය ගැන පුළුල් විශ්ලේෂණයන් දක්නට නොමැති තරම්ය. ඉන්දියාවේ දේශපාලන ගැටුම් හා දේශපාලන විපර්යාසයන් -කාශ්මීර ගැටුම වේවා, චත්තිස්ගාර්හි මාඕවාදී යුද්ධය වේවා, ඊසානදිග දේශසීමා ප්‍රාන්තවල ගැටුම් වේවා, මෑතකාලීනව සිදුවෙමින් තිබෙන හින්දු ස්වෝත්තමවාදී ‘හින්දුත්ව’ දෘෂ්ටිවාදයේ නැගීම ගැන වේවා – ලංකාව තුළ සාකච්ඡාවට ගැනෙන්නේ කලාතුරකිනි. තවද පසුගිය දශක තුනක කාලය තුළ ඉන්දියාවේ ඇති වූ බරපතළ ආර්ථික වෙනස්කම් ගැන ද අප ගැඹුරින් විමසා බලා නැත.

වැදගත් පර්යේෂණ දෙකක්
මෙම ලිපිය සඳහා පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ පළ වූ වැදගත් පර්යේෂණ පත්‍රිකා දෙකක් පදනම් කරගැනීමට මම අදහස් කරමි. පළමුවැන්න, අගෝස්තු 5 වන දා ‘ඉකොනොමික් ඇන්ඞ් පොලිටිකල් වීක්ලි’ සඟරාවේ පළවූ අසාද්, බෝස් හා දාස්ගුප්තා විසින් රචිත ‘අවදානම්-රහිත ධනවාදය – බැංකු ණය හා ආර්ථික ක්‍රියාකාරකම්’ නම් ලිපියයි. මෙය සමකාලීන ඉන්දීය ආර්ථිකය තුළ දක්නට තිබෙන ඇතැම් අර්බුද-භරිත ප්‍රවණතා ගැන වූ විශ්ලේෂණයකි. දෙවැන්න, ‘ඉන්දියාවේ ආදායම් විසමතාව, 1922-2014 : බි්‍රතාන්‍ය යටත්විජිත රාජ්‍යයේ සිට බිලියනිපති රාජ්‍යය දක්වා’ (^Indian Income Inequality” 1922-2014( From British Raj to Billionaire Raj) නමින් 2017 ජූලි මාසයේ දී චැන්සල් හා පිකෙටි විසින් පළකළ පර්යේෂණ පත්‍රිකාවයි. මෙය නව ලිබරල්වාදය හඳුන්වා දීමෙන් පසු ඉන්දියාව තුළ ආර්ථික අසමානතා වර්ධනය වී තිබෙන ආකාරය ගැන කෙරෙන විශ්ලේෂණයකි.
මේ ලියැවිලි දෙකම වෙහෙසකර පර්යේෂණ මත පදනම් වූ ඒවාය. මුල් ලිපිය සමකාලීන ඉන්දීය ආර්ථිකය තුළ දක්නට ලැබෙන ගතිකත්වයන් ගැන හා ආර්ථික වර්ධනය පසුපස තිබෙන ඇතැම් සැඟවුණු ගතිලක්ෂණ ගැන සාකච්ඡා කරන අතර දෙවැන්න ආදායම් විසමතාව පිළිබඳ සියවසකට අධික කාලයක් පුරා දිවෙන ඓතිහාසික දත්ත මත පදනම් වූවකි. මෙකී දත්ත මත රාජ්‍ය ප්‍රතිපත්තිවල අසාර්ථකභාවය ගැන සරල එහෙත් බලවත් තර්ක දෙකක් මෙම ලිපි දෙක තුළම ගොනු කොට තිබේ. මෙම විශ්ලේෂණයන් වැදගත් වන්නේ ඉන්දියාවට පමණක් නොවේ. ලොව පුරා ප්‍රතිපත්ති සම්පාදකයන්ට එමගින් ගත හැකි පාඩම් බොහෝය. එසේම විවිධ රටවල ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා සටන් වදින විවිධ මහජන ව්‍යාපාරයන්ට ද මෙම ලිපි මගින් ගොඩනගන සාකච්ඡාව බෙහෙවින් වැදගත්ය.

මූල්‍ය බුබුලු
‘අවදානම්-රහිත ධන වාදය’ යන වචනය ඉන්දියාවේ මධ්‍යම බැංකුවේ හිටපු ප්‍රධානියා වූ රගුරාම් රාජන් විසින් 2014 දී ගොතනු ලැබූ යෙදුමකි. එහි සරල අදහස, රාජ්‍ය බැංකු ආර්ථික වර්ධනයේ අවදානම ගත යුතු බවය. ආර්ථිකය යහපත් කාලවල ලැබෙන ප්‍රතිලාභ අත්හරිමින් අයහපත් කාලවල සිදුවන පාඩු අවශෝෂණය කරගැනීම රාජ්‍ය බැංකුවල කාර්යයක් බව ඉන් කියැවේ. පසුගිය කාලය තුළ ඉන්දීය රාජ්‍යය මෙම මොඩලය අභ්‍යාස කළේය. ඒ අනුව පුද්ගලික බැංකු සහ සමාගම් ‘අවදානම්-රහිත ධනවාදයක්’ භුක්ති විඳි අතර එම භුක්තිය පැමිණියේ පොදු අංශයේ කර මතිනි.
අසාද් සහ අනෙක් අය විසින් රචිත ලිපිය අවදානම්-රහිත ධනවාදය පිළිබඳ මේ අදහස ආශ්‍රයෙන් 1980 ගණන්වල සිට ක්‍රමයෙන් වර්ධනය වූ ඉන්දීය ආර්ථිකයේ ලිබරල්කරණය විභාග කරයි. මෑතකාලීන ඉන්දීය ආර්ථික උත්පාතය ගැන ඔවුන්ගේ පහත විවේචනය කාවදිනසුලුය.
“ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කොට ගත වූ මුල් දශකය තුළ ඇති වූ ආර්ථික උත්පාතය කෙරෙහි වෙළෙඳාම හා මූල්‍ය අංශය විවෘත කිරීම බලපා තිබෙන නමුදු 2000 දශකයේ මුල් යුගය තුළ මෙම උත්පාතය රඳවා ගැනීම හා 2007-8 ගෝලීය ආර්ථික අර්බුදයෙන් ඉක්බිති මෙකී වර්ධනය නඩත්තු කිරීම සම්බන්ධයෙන් රජය තීරණාත්මක කාර්යභාරයක් කළ බව අපගේ පර්යේෂණ ප්‍රතිඵල යෝජනා කරයි. රාජ්‍ය බැංකු හරහා ණය බුබුලක් නිර්මාණය කෙරුණු අතර යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රය ඉලක්ක කොටගෙන ගනු ලැබූ විදේශ ණය මගින් මෙම බුබුල වඩාත් සවිමත් කෙරිණ. 2011-12 කාලයේ දී මෙම බුබුල පුපුරා ගියේය. ඒ සමස්ත බැංකු පද්ධතිය දරුණු ණය අර්බුදයකට ඇද දමිමිනි.”
ශ්‍රී ලංකාවේ තත්ත්වය එතරම් වෙනස් නැත. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 500ට අධික වටිනාකමින් යුක්ත සමාගම් බැඳුම්කර පා කරන ලෙසට ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආදි රාජ්‍ය බැංකු උනන්දු කරනු ලැබූ අතර එම ආණ්ඩුව කාලයේ ඇති වූ ආර්ථික උත්පාතය සඳහා මෙය විශාල වශයෙන් උදවු විය. කෙසේ වූවද මේ ණය අධික පොලී අනුපාත යටතේ 2018 වන විට ගෙවිය යුතුය. මෙය බැංකු ක්ෂේත්‍රය මත බරපතළ පීඩනයක් ඇති කිරීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් බවට ලංකාව හැරවීමට පිළිණ දී සිටින වත්මන් ආණ්ඩුව මෙම උපායමාර්ගය තුළම ගමන් කරයි. තවද, අපගේ ආර්ථිකය මුහුණ දෙන සකලවිධ ව්‍යාධීන්ට පිළිතුර ලෙස රාජ්‍ය-පෞද්ගලික අංශවල හවුල්කාරීත්වය පිළිබඳ සංකල්පය මෙම ආණ්ඩුව මහත් විශ්වාසයෙන් යුක්තව යෝජනා කොට සිටී.
අසාද් සහ අනෙක් අය පෙන්වා දෙන ලෙස 2000න් පසු ඉන්දියාවේ ආර්ථික වර්ධනය නඩත්තු කිරීම සඳහා පුරෝගාමී කරගනු ලැබුවේ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රය තුළ රාජ්‍ය-පෞද්ගලික හවුල් කාරීත්ව ව්‍යාපෘති දියත් කිරීමය. යථාර්ථයේදී, මෙම ව්‍යාපෘතීන් තුළ අන්තර්ගත ණය හා අවදානම් විශාල ප්‍රමාණය දරාගනු ලැබුවේ රාජ්‍ය බැංකු විසිනි. එක් අධ්‍යනයක් අනුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතීන්වලට යොදාගත් අරමුදල්වලින් සියයට 68ක් ණය ගැනීම් වූ අතර එම ණයවලින් සියයට 82ක් රාජ්‍ය බැංකු හරහා ගලා ආ ඒවාය. ඒ අනුව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතිවල වැඩි පංගුව රාජ්‍යය මගින් මූල්‍යයනය කරනු ලැබිණ. පර්යේෂකයන් විසින් මතු කරන ප්‍රශ්නය මෙයයි. සමාගම්වලට ලාභ උපයා දීම සඳහා රජය මෙලෙස මුදල් වියදම් කරන්නේ ඇයි? ඒ වෙනුවට රජය සෘජුව මෙකී ආයෝජනවල වගකීම නොගන්නේ ඇයි?

අසමානතාව
චැන්සල් හා පිකෙටි තමන්ගේ ලිපිය තුළ ඉන්දියාවේ අසමානතාව පිළිබඳ කාවදිනසුලු විග්‍රහයක් ඉදිරිපත් කරයි. මෙම විශ්ලේෂණය තෝමස් පිකෙටිගේ මහත් ප්‍රසිද්ධියට පත් ‘21 වන සියවසේ ප්‍රාග්ධනය’ (Capital in the Twenty First Century) කෘතිය මගින් ඉදිරිපත් කළ රාමුව මත ගොඩනගන ලද්දකි. ඔවුන්ගේ පර්යේෂණය 1922දී සිට ප්‍රසිද්ධියට පත්කළ ආදායම් බදු වාර්තා මත පදනම්ව ඉන්දියාවේ අසමානතාව විචලනය වූ ආකාරය විභාග කරයි. ඉන්දියාවේ ආර්ථිකය ගැන බොහෝ සංවාද භ්‍රමණය වන්නේ සාර්ව ආර්ථික සඵලතාවන් හා දරිද්‍රතාව ආශ්‍රිත ප්‍රශ්න වටාය. එම පසුබිම තුළ ඉහත කී ලිපිය අසමානතාව පිළිබඳ ප්‍රශ්නය මග හැර යා නොහැකි ලෙසකට මතු කොට තිබේ.
මෙම පර්යේෂණ ප්‍රතිඵලවල හැඟවුම බියකරුය. ඉන්දියාවේ ආදායම් විසමතාව 1929 ලෝක ආර්ථික අර්බුදය සහ ලෝක යුද්ධය අතර කාලය සමග අතිපිහිත වූ යටත්විජිත පාලනයේ පසු යුගය තුළ පහත වැටී තිබෙන අතර නිදහස ලැබීමෙන් ඉක්බිති තවදුරටත් පහළ ගොස් තිබේ. එහෙත් ආර්ථික ලිබරල්කරණයෙන් පසු උදා වූ කාලය තුළ විසමතාව විශාල වශයෙන් වැඩි වී තිබේ. මේ වනවිට එය එහි ඉහළම ලක්ෂ්‍යය වෙත පැමිණ ඇත.
ජාතික ධනයේ සාපේක්ෂ පංගුවේ බෙදීයෑම මධ්‍යම පංතීන්ට පවා බලපා තිබෙන්නේ අවාසිදායක ආකාරයටය. ජනගහනයේ මධ්‍යම ආදායම්ලාභී සියයට 40 සහ පහළ ආදායම්ලාභී සියයට 50 යන කොටස් දෙකටම අදාළ ජාතික ධනයේ සාපේක්ෂ පංගුව ලිබරල්කරණයෙන් පසු බරපතළ ලෙස පහත වැටී තිබේ.
ලිබරල්කරණයට ආසන්න යුගය තුළ, එනම් 1982-82 කාලයේ සහ ලිබරල්කරණයෙන් පසු මෑත යුගය තුළ, එනම් 2013-14 කාලයේ ආර්ථික විෂමතාව ගැන දත්ත මෙසේය. ජනගහනයේ ඉහළ ආදායම්ලාභී සියයට 0.01ට අදාළව ආදායම් පංගුව සියයට 0.4 සිට 3.8 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ඉහළ ආදායම්ලාභී සියයට 0.1ට අදාළව එය සියයට 1.7 සිට සියයට 8.6 දක්වාද, ඉහළ ආදායම්ලාභී සියයට 1ට අදාළව එය සියයට 6.2 සිට සියයට 21.7 දක්වා ද ඉහළ ගොස් තිබේ. අනෙක් අතට, මධ්‍යම ආදායම්ලාභී සියයට 40ට අදාළව ආදායමේ සාපේක්ෂ පංගුව සියයට 46 සිට සියයට 29.6 දක්වා පහත වැටී ඇත. පහළම ආදායම්ලාභී සියයට 50ට අදාළව එය සියයට 23.6 සිට 14.9 දක්වා පහත වැටී තිබේ. මේ දත්ත මගින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ, මෑතකාලය – එනම් ‘දිදුලන ඉන්දියාව’ ලෙස ඇතැමුන් හඳුන්වන කාලය තුළ ජාතික ධනය ප්‍රභූ සුළුතරයක් අත සංකේන්ද්‍රණය වීමේ ප්‍රවණතාව භයානක ලෙස ශක්තිමත් වී තිබෙන බවයි.

ලංකාවට ගත හැකි පාඩම්
කලාපයේ ප්‍රධාන බලවතුන් දෙපළ වන ඉන්දියාවේ හා චීනයේ ආර්ථිකයන් සමඟ වඩ වඩාත් ඒකාග්‍ර වන ලෙස ඉල්ලා සිටින බලසම්පන්න නව ලිබරල් කතිකාවක් ලංකාව තුළ ඇත. වෙළෙඳාම ලිහිල්කරණය විසින් අපගේ ආර්ථිකය මෙන්ම ශ්‍රමිකයන්ගේ කේවල් කිරීමේ හැකියාව කෙරෙහි ඇතිකළ හැකි අහිතකර ප්‍රතිවිපාක ගැන මා මීට පෙර අවස්ථාවල සාකච්ඡා කොට ඇත. අප නැගිය යුතු ප්‍රශ්නයක් වන්නේ ලංකාවේ කුඩා ආර්ථිකය මෙම දැවැන්ත ආර්ථිකයන් සමග ඒකාග්‍ර කළ විට එම ආර්ථිකයන්හි ඇතිවී තිබෙන ගතිකයන් ලංකාව කෙරෙහි කෙලෙස බලපානු ඇද්ද යන්නය. ආර්ථික බුබුලු ඇතිවීම හා ඒ ආශ්‍රිත අර්බුද සහ ආර්ථික විෂමතාව තීව්‍ර වීම සම්බන්ධයෙන් එය කෙලෙස බලපෑම් කරනු ඇද්ද යන්නය.
ඉන්දියාවේ ආර්ථික අත්දැකීම අපට පෙන්නුම් කරන්නේ වෙනස් ආර්ථික මාවතක අවශ්‍යතාවයි. මූල්‍යකරණය හා ලිබරල්කරණය මත කේන්ද්‍රගත නොවූ ඒ වෙනුවට ඵලදායී ලෙස යටිතල පහසුකම් හා නිෂ්පාදනය නැංවීමට රාජ්‍යය තීරණාත්මකව මැදිහත් වන හා ධනය අනුක්‍රමික බදු ප්‍රතිපත්තියක් මගින් සාධාරණ ලෙස ප්‍රති-ව්‍යාප්ත කරන වෙනස් ආර්ථික මොඩලයක අවශ්‍යතාවයි.
ආර්ථික අර්බුදවල බර මහජනයා මත පැටවීම හා සමාජ විසමතා තීව්‍ර වීම වැලැක්වීමට නම් ගත යුතුව තිබෙන්නේ එවැනි මගකි. එසේම ලංකාවේ ආදායම් විසමතාව ගැන, විශේෂයෙන්ම 1977 විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් පසු එම විසමතාව වර්ධනය වී තිබෙන ආකාරය ගැන බැරෑරුම් සාකච්ඡාවක් මේ මොහොතේ අවශ්‍ය වී තිබේ. මේ මොහොතේ රට තුළ තිබෙන විශාල මහජන අසහනය, උද්ඝෝෂණ හා වැඩවර්ජනවල හේතුව හඳුනාගැනීම සඳහා අපගේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට එවැනි සාකච්ඡාවක් මගින් යම් ඉඟියක් ලබාගත හැකි වනු ඇත.■