රාවය

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, දෙබිඞ්ඩෝ සහ පැසිස්ට්වාදය

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, දෙබිඞ්ඩෝ සහ පැසිස්ට්වාදය

2015 පරාජයෙන් පසු තක්බීර්ව සිටි දේශපාලන දෙපත්නයි දැන් යළි අවදිවන්නට පටන්ගෙන තිබේ. මේ දෙපත් නයින්ගේ ප්‍රධාන කුරුමානම බවට පත්ව ඇත්තේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි.
රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් එවා තිබේ. එමෙන්ම වෛද්‍ය වැඩවර්ජනයක් දියත්කර එදිනම පුද්ගලික රෝහලක සේවය සඳහා මුදල් ලබාගෙන අතටම හසුවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය පාදෙනියද නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි ප්‍රකාශ කර තිබේ.
තර්කාණුකූලව බලන්නේ නම් මේ දෙපිරිසම මෙම මතය ප්‍රකාශ කළයුතුව තිබුණේ 2015 ජනාධිපතිවරණ සමයෙහිදීය. මන්ද යත් නව ව්‍යවස්ථාවක් ඇතිකරන බවට මෛත්‍රීපාල සිරිසේන පමණක් නොව මහින්ද රාජපක්ෂද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි කියා තිබූ නිසාය. ජනාධිපතිවරණයෙහි එක් ප්‍රධාන මාතෘකාවක් වූයේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයි. ව්‍යවස්ථාවක් එපායැයි දේශනා කරන රාජපක්ෂ සරණ ගිය බෞද්ධ භික්ෂුන්ද සිය දේශනා කළ යුතුව තිබුණේ එකලය.
එහෙත් මේ හැමෝම එකල කට ඇරියේ නැත. ජනාධිපතිවරණ සමයෙහි නවව්‍යවස්ථාවක් එපායැයි කීවේ නම් ඒ සියල්ලන්ට නියමිතව තිබුණේ ඉතිහාසයේ කුණුකූඩයයි. තවද රාජපක්ෂවාදී දෙබිඞ්ඩන්ට රාජපක්ෂ මැතිවරණ ප්‍රකාශනයේ මෙන්න මෙහෙම කියා තිබූ නිසාද දෙමුඛයම වසාගෙන සිටින්නට සිදුව තිබුණි.
‘1978දී නිසි සංවාදයකින් තොරව අප මත පැටවූ ව්‍යවස්ථාවෙන් වසර තිස්හයක් පුරා අපි බැටකෑවෙමු. එමෙන්ම එකිනෙකට නොගැළපෙන සංශෝධන පැලැස්තර මගින් පවතින ව්‍යවස්ථාව විකෘති හැඩයක් ගෙන ඇතැයි මම ද පිළිගන්නෙමි. ..ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත සම්මත කිරීමට අවශ්‍ය කටයුතු කරමි.
(ඒ සඳහා) සියලුම දේශපාලන පක්ෂවලට අයත් මහජන නියෝජිතයන්ගෙන් සමන්විත සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වනු ඇත.
අලුත් ව්‍යවස්ථාවට පුරවැසි අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ, යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන්, ආණ්ඩුක්‍රම විශාරදයන්, විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් සමන්විත පුරවැසි උපදේශක සභාවක් පත්කරමි.
ව්‍යවස්ථා කෙටුම්පත …සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට (සහ) ඔබේ අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කරමි.” (2015, මහින්ද චින්තනය, ලොව දිනන මඟ, 17වන පිටුව)
මහින්ද රාජපක්ෂ නව ව්‍යවස්ථාවක් වසරක් තුළ ජනමත විචාරණයකටද ඉදිරිපත් කිරීමට 2015 ජනවාරියේදී පොරොන්දුවී සිටියේ ය. දැන් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි කියන මහත්වරු සහ සංඝයා එකල සිටියේ කොහේද?
ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට එරෙහිව රාජපක්ෂ කඳවුර ඉදිරියට දමා ඇති එක් විකට නළුවකු වන්නේ ජී.එල්. පීරිස් ය. දැන් සාකච්ජා වෙමින් ඇති ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක සිට පෙඩරල් ක්‍රමයක් කරා ගෙනයන්නේ යැයි ඔහු අඳෝනා නගයි. මේ බලන්න 1999 වසරෙහිදි කැනඩාවෙහි තිබූ සමුළුවකට ගොස් ඔහු ඉදිරිපත්කළ අදහස්.
‘අප දැන් කල්පනා කරමින් සිටින්නේ ඒකීය ව්‍යුහය එක්තරා මට්ටමක බල බෙදීමක් කරා වෙනස් කිරීමටයි. ඒ තමයි අර්ධ-පෙඩරල් ව්‍යුහයක සාමාන්‍ය ස්වරූපය. පුළුල් විවිධත්වයන් තනි රටවල් වශයෙන් පැවැතීමට අර්ධ-පෙඩරල් මාදිලියන් ඉඩ ලබාදී තිබෙනවා. ..අපේ ව්‍යවස්ථා සැලසුම විසින් කලාපීය ආණ්ඩුවලට….” (1999 ඔක්තෝබර් මාසයේදී කැනඩාවෙහි පැවැති පෙඩරල් ක්‍රමය පිළිබඳ සමුළුවක් අමතා කළ කතාවෙනි.)
එදා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක සිට අර්ධපෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කරන බවට ප්‍රකාශකළ, කලාපීය ආණ්ඩු ඇතිකරන බවට ප්‍රකාශකළ ඒ ජීඑල් පීරිස් දැන් ඒකීය ක්‍රමය ආරක්ෂා කර දිවිහිමියෙන් කැපවන බව කියන්නේ කුමන මුඛයෙන්ද? හුදු දේශපාලන බලය සඳහා දෙබිඩි කතා දෙසන්නේ කවර අරමුණකින්ද? රාජපක්ෂ වලව්වේ කටු ලෙවකෑමට මිස අන් කුමක් සඳහාද? ඔහු විකටයකු නිසාද? කපටියකු නිසාද?
ව්‍යවස්ථා සම්පාදක රාජපක්ෂවාදී විරෝධී ක්‍රියාවලියේ තවත් ආචාර්යවරයකු වන්නේ දයාන් ජයතිලකය. පසුගිය 27දා දි අයිලන්ඞ් පුවත්පතට ලියමින් ඔහු මෙසේ කියා තිබුණි.
නව ඒකීය නොවන ව්‍යවස්ථාවෙහි මව නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. ඇය 1994හිදී මෙසේ කියා තිබුණි.
වත්මන් පළාත් සභා ක්‍රමය වැඩකට නැත. පෙඩරල් යන වචනය අවභාවිත වී තිබේ. එබැවින් අපි ඒ වචනය මඟහැර අර්ථවත් ලෙස බලය බෙදාහරින්නෙමු. රට ඒකක පහකට බෙදා ඒවාට පුළුල් බලතල ලබාදිය හැක.” (ටැමිල් ටයිම්ස් 1994 ජූලි 15)
දැන් ජීඑල් පීරිස් මෙන්ම දිවිහිමියෙන් ඒකීය රාජ්‍ය ව්‍යුහය රැකගැනීමට ඉදිරිපත්ව සිටින දයාන් ජයතිලක කුමාරතුංග එම ප්‍රකාශය කළ1994 සිට වසර 10කට පසු එම දි අයිලන්ඞ් පුවත්පතටම මෙසේ ලිවීය.
‘ක්‍රියාත්මක කළ හැකි දෙමළ උපාය මාර්ගය විය යුත්තේ ස්වාධීන, ස්වෛරී, එක්සත් (එය ඒකීය වීමට අවශ්‍ය නැත) ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ශ්‍රී ලංකාවකි. මේ වනාහි ගනුදෙනු කළ නොහැකි හරයාත්මක වටිනාකම්ය. සාකච්ජා කළ හැකි කරුණූ වන්නේ රාජ්‍ය ආකාරයයි. එනම් පෙඩරල්, අර්ධපෙඩරල්, නිහඬව අනාගමික, බලය බෙදූ කලාපීය ස්වායත්තතාවයි. සිංහලයන් වටහාගත යුත්තේ එක් රටක් රැකගත හැක්කේ ඒකීය යන්න අහෝසි කිරීමෙන් බවයි.” (දි අයිලන්ඞ්, 2004 ඔක්තේබර් 04)
මේ මහත්වරුන් සිතාසිටින්නේ මෙරට ජනයා තමන්ට කැමැති පරිදි දක්කාගෙන යාහැකි පිරිසක් ලෙසද? 2014 වසරෙහිදී ඒකීය යන්න නොහොඳවී අද එය හොඳ වන්නේ කෙලෙසද? ජයතිලකගේ එදා තර්කය පදනම් වන්නේ යුද්දයට විසඳුමක් ලෙස නොව දෙමළ ජනයාගේ අයිතීන් ලබා දීමක් ලෙසය.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට විරුද්ධ සියලු බලවේගයන්ගේ නායකයා මහින්ද රාජපක්ෂය. දැන් ඔහුගේ සෙන්පතියන් වී සිටින සරත් වීරසේකර සහ කමල් ගුණරත්න වැනි මහත්වරුන් බලය බෙදීම පිළිබඳ රාජපක්ෂගේ මතවාදයට පවා විරුද්ධය. සමහර විට ඔවුන්ගේ සෑබෑ නායකයා වන ගෝඨාභය රාජපක්ෂත් බලය බෙදීමට විරුද්ධ වනවා වන්නට පුළුවන.
රාජපක්ෂ වත්මන් බලය බෙදීමේ ව්‍යුහය වන 13 වන සංශෝධනයටත් එහාට යාමට සූදානම් බව නැවත නැවත ප්‍රකාශකර තිබේ. 2015 ජනාධිපතිවරණයේදීද ඔහු කියාසිටියේ 13 වන සංශෝධනය කිසිසේත්ම දුර්වල නොකරන බවයි.
දැන් 2020 ජනාධිපතිවරණයට සූදානම් කැරෙමින් පවතින ගෝඨාභය රාජපක්ෂ කැරොල් කරත්තය 13වන සංශෝධනයට පවා සහමුලින්ම විරුද්ධය. සරත් වීරසේකර කියන්නේ දෙමළ ජනයාට කියා වෙනම ප්‍රශ්නයක් නැති බැවින් එවැනි විසඳුම් අනවශ්‍ය බවයි. ඔහු සමඟ ගෝඨාභය කැරොල් කරත්තයේ අත්වැල් අල්ලන කමල් ගුණරත්න සූදානම් වන්නේ නව ව්‍යවස්ථාවට සහාය දක්වන සියලුදෙනාම 1988 භීෂණ සමය සිහිගන්වමින් ඝාතනය කිරීමටයි. (ඔහු යුද්ධය කොහොම කරන්න ඇත්ද?) සරත් වීරසේකරද කියාතිබුණේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි මානව හිමිකම් ගැන කතා කරන පිරිස් රාජ්‍ය විරෝධී ද්‍රෝහීන් ලෙස නම් කළයුතු බවයි.
මෙවැනි පිරිස්වල සහායෙන් සහ මූලිකත්වයෙන් බලයට ඒමට කැසකවන ගෝඨාභය යටතේ ශ්‍රී ලංකාව පොල්පොට්වාදී ඝාතනයේ දේශයක් නොවනු ඇත්ද? සරත් වීරසේකර, දයාන් ජයතිලකගේ විග්‍රහයටම අනුව අයත්වන්නේ අන්ත දක්ෂිණාංශික යන ප්‍රභේදයටය. අන්තදක්ෂිණාංශය එක්තරා විදියක පැසිස්ට්වාදයක් බවද ඔහු ඬේලිමිරර් පුවත්පතෙහි වීරසේකර සමඟ යෙදුණූ විවාදයකදී (2017 ඔක් 19) අඟවා තිබුණි.
මෙම සිංහල අන්ත දක්ෂිණාංශිකයන්ගේ බෙලි කපන ලැයිස්තුවෙහි අප වැනි පිරිස්හි පමණක් නොව දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව කියන ජයතිලක වැනි රාජපක්ෂවාදීන්ගේ නම්ද තිබෙන්නට පුළුවන. පොල්පොට්වාදය මතකද? සමහර විට 2000 ව්‍යවස්ථාව ගෙන ආ ජීඑල් පීරිස්ගේ නමත් බෙලි කැපෙන ලැයිස්තුවේ තිබෙන්නට පුළුවන.
නව ව්‍යවස්ථා විරෝධය දැන් ප්‍රචණ්ඩත්වය කරා ගමන් කරමින් තිබෙන බව පැහැදිලිය. කමල් ගුණරත්නට අත්වැල් අල්ලමින් වීරවංශ පාර්ලිමේන්තුව බෝම්බ දමා සමතලා කරන්නට යන්නේද ඒ අනුවය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ ව්‍යාපාරය ලේ ඉවකරමින් බෝම්බ දුමාරය සිපගනිමින් කැරෙන නව පැසිස්ට්වාදී දුෂ්ටත්වයක් බවට වර්ධනය වන්නට පටන්ගෙන තිබේ. නව ව්‍යවස්ථාවක් සඳහා වන ජනමත විචාරණය මේ භීෂකයන්ගේ ප්‍රථම ගොදුරු බිම බවට පත්වීමට හොඳටම ඉඩ තිබේ. අපි එම බිමෙහිදීම මේ දුෂ්ටත්වය පරාජය කළ යුතුවෙමු.■