රාවය

ට්‍රම්ප් දිනුවේ පුතින්ගේ ප තුරුම්පුවලින්

ට්‍රම්ප් දිනුවේ පුතින්ගේ ප තුරුම්පුවලින්

එස්. නන්දලාල්

පසුගිය නොවැම් බර් මස පැවැති අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් අපේක්‍ෂක ඩොනල්ඞ් ජේ ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම සඳහා රුසියානු රජය සෑහෙන වෑයමක් දරා ඇති බවට වූ හාහෝව ජනාධිපතිවරණය පැවැත්වෙන්නටත් පෙර සිට ම පැවැතිණි. මේ වනවිට එය කූටප්‍රාප්තියට එළැඹ ඇති බව පසුගිය සතියේ ලොව පුරා මාධ්‍ය, වෙබ් අඩවි මෙන් ම සමාජ ජාල ද වාර්තා කළේ ය.
ගිය වසරේ ඔක්තෝබර් මස 07 දින -ජනාධිපතිවරණයට මසකට පමණ පෙර- අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික රහස් ඔත්තුසේවා අධ්‍යක්‍ෂගේ කාර්යාලය සහ ස්වදේශීය ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ ඒකාබද්ධ වාර්තාවක දැක්වුණේ රුසියානු ආණ්ඩුව, අමෙරිකානු රජයේ සහ ජනාධිපති ධුරාපේක්‍ෂක යන්ගේ ඊමේල්, වෙබ් අඩවි, පෞද්ගලික සමාජ ජාලා ගිණුම් යනාදිය හැක් කරමින් මැතිවරණ ක්‍රියාදාමයට මැදිහත්වීම් සිදු කරන බවයි. තවද GRU නමින් හැඳින්වෙන රුසියානු ප්‍රධාන රහස් ඔත්තු අධිකාරිය ඩිමොක්‍රැටික් පක්‍ෂයේ ජාතික කමිටුවේ සහ හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ සභාපති ජෝන් පොඩෙස්ටාගේ විද්‍යුත් තැපෑල රහසිගතව විවෘතකොට අන්තර්ගත දෑ විකිලීක්ස් වෙත ලබාදී ඇති බවත්, විකිලීක්ස් විසින් ඒවා ලොවට අනාවරණය කොට ඇති බවත් ඒ වාර්තාවේ දැක්වේ.
මේ වාර්තාවලින් පසු ජනාධිපති බරක් ඔබාමා ‘රතු දුරකථනය’ යනුවෙන් හැඳින්වෙන සන්නිවේදන ජාලය ඔස්සේ ක්‍රෙම්ලිනය අමතා තදින් තරවටු කළ බව සඳහන් ය. ඒ ඔක්තෝබර් 31දා ය. ජනාධිපති වරණයෙන් රිපබ්ලිකන් අපේක්‍ෂක ඩොනල්ඞ් ජේ ට්‍රම්ප් ජයගත්තේය. 2008 ජනාධිපතිවරණයේ සිට මැතිවරණ සඳහා රුසියානු බලපෑම පරීක්‍ෂාවට ලක් කරන්නැයි ජනාධිපති ඔබාමා ඒෆ්බීඅයි වෙත නියෝග කළේය.
මෙයින් ට්‍රම්ප් කිපුණු බව පැහැදිලි ලෙස ම ප්‍රකට විය. ඔහු විවිධ මාධ්‍ය ඔස්සේ ඔබාමා පාලනයත් ඩිමොක්‍රටික් පක්‍ෂයත් මේ කාරණයට අදාළ ව විවේචනය කළේ ය. ‘එහෙම විදෙස් මැදිහත්වීමක් වුණේ නෑ. ඩිමොක්‍රැට්ලා මේ හදන්නේ තමන්ගේ පරාජයේ ලජ්ජාව මකාගන්න. රුසියානු ජනාධිපති පුටින් වැදගත් මහත්මයෙක්’ වැනි දැ ඔහු ඒවායේදී පැවසී ය.
පරීක්‍ෂණ පැවැත්වීම එක්සත් ජනපදයේ රහස් ඔත්තුසේවා ප්‍රජාව නම් ආයතනය වෙත පැවැරිණි. මේ ආයතනය පෙර සඳහන් ආයතන ඇතු`ඵ ආරක්‍ෂාව සහ නීතියට අදාළ එකිනෙකට අසම්බන්ධ ආයතන 16ක නියෝජිතයන්ගෙන් සමන්විත මුදුන් මට්ටමේ ආයතනයකි. එහි අධ්‍යක්‍ෂ තැන ඍජුව ම වාර්තා කරනුයේ ජනාධිපති වෙත ය.
තවද පාර්ලිමේන්තුවේ සහ සෙනෙට් සභාවේ රහස් ඔත්තු සේවා කමිටු දෙක විසින් වෙන වෙන ම පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරන ලදි.
2016 දෙසැම්බර් 29දා ජනාධිපති ඔබාමා විසින් රුසියානු තානාපති නිලධාරීන් 35 දෙනකු පළවා හරින ලද අතර අමෙරිකා එක්සත් ජනපදය තුළ පිහිටි රුසියානු නාගරික සංකීර්ණ දෙකට ප්‍රවේශ වීම ද වළක්වන ලදි. ඊට අමතරව රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක වඩාත් දැඩිකරන ලෙසද නියෝග කරන ලදි.
ඉන් මසකටත් අඩු කාලයක් තුළ ඩොනල්ඞ් ට්‍රම්ප් ඕවල් කාර්යාලය භාරගත්තේ ය. දින සියයක් ගතවන්නටත් පෙර මැයි 09දා ජනාධිපති ට්‍රම්ප් එෆ්බීඅයි අධ්‍යක්‍ෂ ජේම්ස් කෝනි තනතුරෙන් ඉවත්කරන ලදි. ඊට හේතුව ලෙස දක්වන ලද්දේ ‘මේ රුසියානු කාරණාවට අදාළ ව තම ජනාධිපතිධුරය ගැන අවිශ්වාසය පළකිරීම’ ය.
මේ සිද්ධියෙන් පසු මැයි 17 දින ‘2016 ජනාධිපතිවරණයේ දී රුසියානු මැදිහත්වීම සොයාබැලීම සඳහා වන විශේෂ කවුන්සලය’ නම් විමර්ශන ආයතනයක් ද අලුතින් ම ස්ථාපිත කරන ලද අතර එහි සභාපති ධුරයට අපක්‍ෂපාත මෙන් ම දැඩි තීරණ ගැනීම ගැන ප්‍රකට විශ්‍රාමික රාජ්‍ය නිලධරයකු වන රොබට් මුලියර් පත්කරන ලදි.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ නියමුවන් වූ පෝල් මැන්ෆෝට්, කාටර් පේජ් සහ රොජර් ස්ටෝන් ද ට්‍රම්ප්ගේ ජාතික ආරක්‍ෂක උපදේශකවරයාව සිටි පත් වූ සැණෙන් ම වාගේ එල්ල වු චෝදනා නිසා ඉල්ලා අස් වූ මයිකල් ෆින් ද මේ විමර්ශන සියල්ලේ ම පාහේ ඉලක්ක බවට පත්ව සිටියෝ ය. රුසියානු රහස් ඔත්තු සේවා හිලරි ක්ලින්ටන්ට එරෙහිව දියත් කළ ව්‍යාපාරයට මොවුන් ද සම්බන්ධව සිටියේ ද යන්න මුලියර් කවුන්සලයේ දැඩි අවධානයට යොමුව තිබිණි.
පසුගිය සතිය වනවිට පරීක්‍ෂණවල ප්‍රගතිය පෙනෙන්නට තිබිණි. පෝල් මැන්ෆෝට් සහ ඔහුගේ ව්‍යාපාරික සගයකු වන රික් ගේට්ස් යන දෙදෙනාට අත්අඩංගුවට ගන්නට පෙර බාරවෙනු’යි පසුගිය 30දා එෆ්බීඅයි විසින් දැනුම් දෙන ලද බව වාර්තාවල සඳහන් විය. ඔවුන්ට එරෙහි චෝදනා වන්නේ එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, ලියාපදිංචි නොවූ විදේශ ඒජන්තයන් ලෙස පෙනිසිටීම සහ මුදල් විශුද්ධිකරණය වේ. මොවුන්ගේ ගිණුම්වල ප්‍රභවය හෙළි නොකළ ඩොලර් මිලියන 35ක් පමණ තිබූ බව මුලියර් කවුන්සිලය අනාවරණය කැරගෙන ඇත.
ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ විදේශ ප්‍රතිපත්ති උපදේශක ජෝර්ජ් පැපඩොපලවුස් එෆ්බීඅයි වෙත ව්‍යාජ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් පසුගිය 30දා වරද බාරගත්තේ ය. ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබ ඇත්තේ ලන්ඩන්හි වෙසෙන රුසියානු මහාචාර්යවරයකු මගින් රුසියානු රාජ්‍ය නිලධාරීන් හා ට්‍රම්ප් ජනාධිපතිවරණ මෙහෙයුමේ ප්‍රධානීන් අතර හමුවක් සූදානම්කොට එය පැවැත්වීම සම්බන්ධයෙනි.
මේ අතර කෝපාවිෂ්ඨ ජනාධිපතිවරයාගේ ට්වීටර් පණිවුඩ කිහිපයක් ම දක්නා ලැබේ. එකක ඔහු සඳහන් කරන්නේ මෙය දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ කුමණ්ත්‍රණයක් බවයි. ඒ නිසා රිපබ්ලිකන් සාමාාජිකයන් මොනවා හෝ කළ යුතු ය.
ඊට ප්‍රතිචාර වශයෙන් නිව් ජර්සි ආණ්ඩුකාර රිපබ්ලිකන් පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධරයකු වන ක්‍රිස් ක්‍රිස්ටී සීඑන්එන් ප්‍රවෘත්ති වැඩසටහනකට සහභාගි වෙමින් මුලියර්ගේ පරීක්‍ෂණ ගැන සිය බලවත් සැකය පළකොට ඇත. මුලියර් ප්‍රවේසමෙන් කටයුතු කළ බව වරෙක පවසන ඔහු තවත් අවස්ථාවක පවසන්නේ ඔහු ඉල්ලා අස්විය යුතු බවයි. මුලියර්ගේ කාර්යාලය විසින් ඇතැම් තොරතුරු මාධ්‍ය වෙත යොමුකොට ඇතැ’යි පවසන ක්‍රිස්ටි ඒ සම්බන්ධයෙන් ඔහු නීතිය හමුවට පමුණුවනු ලැබීමට ඉඩ ඇති බව පෙන්වා දෙයි. එහෙත් මුලියර් යනු අපක්‍ෂපාතභාවය පිළිබඳ කීර්තියක් උසුලන අයකු බව ප්‍රකටයැ’යි බීබීසී පෙන්වා දෙයි.
තම රටේ ජනාධිපති වරණයට රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුතින් ඍජුවම මැදිහත් ව ඇති බව 2016 නොවැම්බර් අවසානය වනවිට අමෙරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබිණි. හිලරි ක්ලින්ටන්ගේ ඩිමොක්‍රැටික් පක්‍ෂයේ ජාතික කමිටුවේ පද්ධතිවලට ඇතු`ඵ වීම භාරධුර කාරියක් බැවින් ඊට විදේශ ප්‍රතිපත්ති සම්බන්ධ ඉහළපෙළේ අනුමැතියක් අවශ්‍ය බව GRU විසින් රජයට පෙන්වා දී තිබිණි. ඒ අනුව ඊට අනුමැතිය ලැබුණේ පුතින් නොදැනුවත් ව නොවේ.
ජනාධිපති පුතින්ට අමෙරිකාවේ ඩිමොක්‍රැටික් පාලනය පෙරළා දැමීමේ තදබල අවශ්‍යතාවක් තිබිණි. ඊට ප්‍රධාන වශයෙන් කරුනු තුනක් අදාළ ය. පළමුවැන්න නම් එක්සත් ජනපදය ලෝක ප්‍රජාව අතර විශ්වාසයක් නැති තත්ත්වයට පත් කිරීම ය. ට්‍රම්ප් වැනි දේශපාලනයට නවකයකු අමෙරිකාව වැනි සංකීර්ණ දේශපාලන යාන්ත්‍රණය හසුරුවන්නට ගත්විට සිදුවිය හැකි දැය පිළිබඳව පුතින්ගේ තක්සේරුවක් තිබිණ. එය නිවැරදි බව මේ වනවිටත් ට්‍රම්ප් ඔප්පුකොට ඇත. දෙවැනි කාරණය නම් රුසියාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති ආර්ථික සම්බාධක ඉවත් කැර ගැනීම ය. ඒවා පනවන ලද්දේ ඩිමොක්‍රැටික් ජනාධිපති ඔබාමා විසින් වන නිසා නැවතත් ඩිමොක්‍රැටික් පාක්ෂිකයකු ම බලයට පත්වුවහොත් එය අසීරුවනු ඇත. එහෙත් එය මෙතෙක් යථාවත් වී නොමැත. තුන්වැන්න එමගින් රිපබ්ලිකන්-ඩිමොක්‍රැටික් භෙදයක් ඇති කිරීම ය. එය ද යම් තරමකට සාර්ථක වී ඇති බව දෙපාර්ශ්වයේ අය කියන කතාවලින් ප්‍රකට වෙයි.
විය යුතු පරිදිම රුසියාව මේ සියලු චෝදනා ප්‍රතික්‍ෂෙප කළේ ය. ජනාධිපති පුතින් පැවසුවේ අමෙරිකාවට මිථ්‍යා ප්‍රබන්ධ ගෙතීමේ හිස්ටීරියාවක් ඇතැ’යි තමාට සැක සිතෙන බවය. එරට විදේශ ඇමති සර්ජි ලැව්රොව් පැවසුවේ ‘මළ සමයං’ වැනි අරුත් ඇති දෙයකි.
අමෙරිකානු විශ්වවිද්‍යාල කිහිපයකම දේශපාලන අංශ විසින් මේ කාරණය සම්බන්ධයෙන් ජනමත සමීක්‍ෂණ පවත්වනු ලැබ ඇති අතර සෑම සමීක්‍ෂණයක දීම ඒවාට සහභාගි වූ අයගෙන් 55%ක් පමණ රුසියානු මැදිහත් වීමක් තිබෙන්නට ඇතැ’යි පිළිගනිති. ඒ සම්බන්ධයෙන් පු`ඵල් පරීක්‍ෂණ පවත්වා සාක්ෂි අනාවරණය වුවහොත් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් කරුවන්ට එරෙහිව නිතිමය පියවර ගත යුතු බව ද ඒ තරම්ම පිරිසකගේ අදහස ය.
හිලරි ක්ලින්ටන් පවසන්නේ එවකට අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ අමාත්‍යව සිටි තමා 2011 රුසියානු මහ මැතිවරණය අන්ත දූෂිත එකක් බව පෙන්වා දීම නිසා ජනාධිපති පුතින් තමා සමග අමනාපයෙන් සිටි බවයි. එම මැතිවරණයේ දී දූමාහි ආසන 450න් 238 ක් ජයගන්නට පුතින්ගේ නායකත්වයෙන් යුත් එක්සත් රුසියාව පක්‍ෂය සමත් විය.
අපට කියන්නට ඇත්තේ ලෝකයේ බලවත්ම රාජ්‍යය ලෙස සැමදෙනා විසින් ම පිළිගනු ලබන අමෙරිකා එක්සත් ජනපදය වැනි රටක මැතිවරණ පසුබිම ඔයාකාර නම් ලොව අනෙක් රටවල මැතිවරණ ගැන ඉතින් කියන්නට දෙයක් ඉතිරි වී නැති බව ය.■