රාවය

චීන මුහුණුවරින් යුත් සමාජවාදයේ මංසලකුණු

චීන මුහුණුවරින් යුත් සමාජවාදයේ මංසලකුණු

අශ්වින් හෙම්මාතගම

චීන සමාජවාදී පක්ෂයේ 19වැනි ජාතික සම්මේලනය පසුගියදා බීජිං නගරයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම වැදගත් රැස්වීමෙන් අපේක්ෂා කෙරෙනුයේ සෑම වසර පහකටම වරක් පක්ෂ මධ්‍යය හා එක්ව රට පුරා නියෝජිතයන් බීජිං නගරයේදී රැස්වී පක්ෂයට හා රටට වැදගත් ගැටලු සාකච්ඡා කිරීම සහ නව පක්ෂ නායකයා තෝරාගැනීමයි.

මෙවර සමුළුව
සම්ප්‍රදාය අනුගමනය කරමින් මෙවරත් චීනයේ ආසන, පළාත්, නගර හා ස්වාධීන කලාපයන්, මධ්‍යගත පරිපාලනය යටතේ ඇති ආයතන සහ ජනතා හමුදාව නියෝජනය කරමින් බීජිං නගරයේ මහජන සම්මන්ත්‍රණ ශාලාවට රැස්වූ චීන සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් පක්ෂයේ මහලේකම් ක්ෂී ජිංපිංගේ පසුගිය වසර පහක පාලන කාලයේ ප්‍රගතිය සමාලෝචනයක යෙදුණි. රැස්වීම අවසානයේ ඔවුන්ගේ ඒකමතික තීරණය වූයේ ක්ෂී ජිංපිං තවදුරටත් රටේ පාලකයා වශයෙන් ක්‍රියාකළ යුතු බවත් ඔහුගේ පසුගිය වසර පහක පාලනය චීනයට බෙහෙවින් වැඩදායක වී ඇති බවයි.

පසුගිය පස් වසර
2012 සිට මේ දක්වා කාලය තුළදී ගැඹුරු හා මූලික වශයෙන් වැදගත් වූ ඓතිහාසික වෙනස්කම් රැසක් මෙන්ම සමාජ හා ආර්ථික ක්ෂේත්‍රයන්හි කැපීපෙනෙන ප්‍රගතියක් චීනය අත්පත් කරගෙන ඇත. මෙම ආර්ථික ප්‍රගතිය ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩුදී ඇත. වඩා කෙටියෙන් කියතොත්, දළ දේශීය නිෂ්පාදිතය 7.3%ක රඳවාගැනීමට සමත්ව ඇත. මෙය ලෝක සාමාන්‍යය වන 2.6%ට වඩා කැපීපෙනෙන අගයකි. මිලියන 55ක් ජනයා දරිද්‍රතාවෙන් ගොඩගැනීම, ලෝකයේ විශාලතම අධිවේගී දුම්රිය ජාලය ඉදිකිරීම, ලොව ප්‍රථම ස්ථාවර කාලගුණ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම මෙම කාලයේදී චීනය සිදුකර ඇති වැදගත් කර්තව්‍යයන්ය. මීට අමතරව යාබද රටවල් සහ මහද්වීප රැසක් යාකරමින් චීනය විසින් පිඹුරුපත් සකසා ඇති ඉදිකිරීමට නියමිත මාර්ග ජාලයට (Belt Road) ගෝලීයව උණුසුම් පිළිගැනීමක් ලැබී තිබේ.
මානව සම්පත් හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය දක්වා ඇති පරිදි පසුගිය ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ චීනයේ නව රැකියා මිලියන 10.97ක් නිර්මාණය වී ඇත. පසුගිය වසරට සාපේක්ෂව එය රැකියා 300,000ක වර්ධනයකි. 2015 සිට 2020 දක්වා දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක වැඩිවීමට නව රැකියා මිලියන 1.8ක් පමණ දායක වනු ඇති බව චීනය දක්වා ඇත. චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60.7කට වැඩි දායකත්වයක් සපයන පෞද්ගලික අංශය දැන් රැකියා නියුක්තියෙන් 80%කට අධික රැකියා ප්‍රමාණයක් සපයයි. සෑම වසරකදීම එරට රැකියා වෙළෙඳපොළට ඇතුළු වන නව උපාධිධාරීන් මිලියන 8කට අධික සංඛ්‍යාව සඳහා වසරකට අවමයෙන් රැකියා මිලියන 15ක් නිර්මාණය කිරීම චීනයට ඇති වැදගත් අභියෝගයකි.
1949 වසරේ මාඕ සේදොංගේ කොමියුනිස්ට් විප්ලවයෙන් පසුව 1950 වන විටදී චීනයේ ආර්ථිකය සැබවින්ම ජපානයට වඩා 49%ක් විශාල විය. එහෙත් 1977දී චීන සමාජවාදී පක්ෂයේ මහලේකම් ඩෙන් සියාඕ පිං ඉදිරිපත් කළ නව කොමියුනිස්ට්වාදයෙන් නැවත වතාවක් ජපානයේ ආර්ථිකය චීනයේ ආර්ථිකයට වඩා 63%ක වැඩිවීමක් දක්වා ඉදිරියට ගෙන ගියේය.
එහෙත් 2010 වනවිටදී ඒ සියල්ල වෙනස්වී ඇත. දැන් චීනයේ සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයයි. ඇමරිකන් ඩොලර් ටි්‍රලියන 5.88ක් වාර්තා කරමින් චීනය 2010 වසර අවසන් වන විට එවකට ලොව දෙවන ස්ථානයේ සිටි ඇමරිකන් ඩොලර් ටි්‍රලියන 5.47ක ආර්ථිකයක් සතුව සිටි ජපානය අබිබවා යෑමට සමත්විය. අන්තර්ජාතික ෆොර්බ්ස් සඟරාව දක්වන පරිදි චීනයේ නැඟීඑන මෝටර් රථ කර්මාන්තය මෙම ආධිපත්‍යවාදී ආර්ථික බලයට මූලික හේතුවකි. 2015 වසරේදී චීනය විකිණූ මුළු වාහන සංඛ්‍යාව මිලියන 24.6කි.
එක්සත් ජනපදය 1970දී මුළු ගෝලීය ආර්ථික නිමැවුමෙන් 21.2%කට දායක විය. මෙය වර්ධනය 2000 වසර දක්වා ස්ථාවර විය. එතැන් පටන්, එක් අවස්ථාවකදී හැරුණු කොට එක්සත් ජනපද දායකත්වය වේගයෙන් පහත බැස ඇත. 2015 දී එක්සත් ජනපදය ලෝක ආර්ථිකයෙන් 16.7%කට දායක විය. 2025 වන විට එය 14.9% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට සාපේක්ෂව චීන ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයද සැලකිල්ලට ගතයුතු ය. 1970දී චීනය ලෝක ආර්ථිකයෙන් 4.1%කට දායක විය. එය 2015දී 15.6% දක්වා ඉහළ ගියේය. 2025දී ගෝලීය ආර්ථිකයට චීනයේ දායකත්වය 17.2%ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ චීනයට ඇත්තේ ඇමරිකාව අබිබවා යෑමේ ඉලක්කයයි. එය කාලයේ ඇවෑමෙන් විසඳීමට ඇති ප්‍රශ්නයකි.
පසුගිය වසර පහකදී මෙම සුවිශේෂී වර්ධනය සිදුව ඇත්තේ 2012 වසරේ අගභාගයේදී පැවැත්වුණු චීන සමාජවාදී පක්ෂයේ 18වැනි ජාතික සම්මේලනයේදී එළැඹුණු තීරණයන් සහ එම තීරණ ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ මහලේකම් සහ චීන ජනාධිපති ක්ෂී ජිංපිං සැපයූ මහැඟි නායකත්වය හේතුකොට ගෙනය.

සමාජවාදී චින්තනයේ වෙනස්වීම
අතීතයේ සිටි ජනාධිපතිවරුන් මෙන් නොව චීන සමාජවාදී පක්ෂය සහ පක්ෂයේ මහලේකම් ක්ෂී ජිංපිං තම ප්‍රතිසංස්කරණවලින් චීනය ලෝක දර්ශකයන් අබිබවා ඉදිරියට රැගෙනයාමට සමත්ව සිටී. රටේ වේගවත් සංවර්ධනය සඳහා උපාය මාර්ගික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම මෙවර 19වැනි ජාතික සම්මේලනයේ දී සිදුවිය.
පක්ෂ ව්‍යවස්ථාවට එක්කෙරුණු “ක්ෂී ජිංපිං ගේ සිතුවිලි” නැමති කොටස නව ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය ගැඹුරු ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදී ඇත. ධනවාදී සංකල්ප බොහොමයක් ඉතා තදින් වැළඳගෙන සිටින චීනය තවමත් එක දේශපාලන පක්ෂයක් පමණක ඇති රටකි. රටේ සියල්ල සිදුවන්නේ මෙම දේශපාලන පක්ෂයට අවැසි පරිදිය. ඒ වෙන කිසිවක් නොව 1921දී පිහිටුවා ගන්නා ලද චීන සමාජවාදී පක්ෂයයි.
පසුගිය පස්වසර තුළ දූෂණයට එරෙහිව දැඩි හඬක් නගමින් දූෂණ මර්දනය පෙර නොවූ විරූ පරිමාණයකින් ඉදිරියට ගෙන ගොස් ඇති අතර නීතියේ ආධිපත්‍යය වර්ධනය කිරීමට සමත්ව ඇත. 2012දී ක්ෂී ජිංපිං බලයට පත්වූ පසු දූෂණය දුර්වල විය. ඒ වන විට චීනයේ කොමියුනිස්ට් නායකයන් අයථා ධන සම්පත් රැස්කර තිබිණි. තවමත් කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් 209ක් වෙන් වෙන් වශයෙන් ගත් කල එක් අයෙක් ඇමරිකනු ඩොලර් මිලියන් 300කට වඩා අධික ධනයකට හිමිකම් කියයි. ඔවුන්ගේ ඒකාබද්ධ ධනය බෙල්ජියමේ සහ ස්වීඩනයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයට සමාන වේ.
2013 දී ජනාධිපති බවට පත්වීමෙන් පසුව ජනාධිපති ක්ෂී ජිංපිං දූෂණය පිළිබඳ දැඩි මර්දනයක් ආරම්භ කළේය. සිය ගණනක් පක්ෂ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. දූෂිත බලධාරීන්ට සැඟවීමට හෝ නීතිය මගහැර සිටීමට ඉඩ නොතබමින් රජය දූෂිත බලධාරීන් 440ක් සම්බන්ධව පරීක්ෂණ සිදුකර දඬුවම් පමුණුවා ඇත. මේ අය අතර පක්ෂයේ ඉහළ තනතුරු දරන අය 52ක් පමණ සිටිති.
සිය වර්තමාන නිරපේක්ෂ බලයත් සමඟ පවා ජනාධිපති ක්ෂී ජිංපිංට මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටලු වනුයේ වර්ධනය වන ධනවාදය තුළින් රටපුරා ව්‍යාප්තවීමට හැකි දූෂණය, ගණිකා වෘත්තිය, සූදුව, සහ අපරාධයන්ය.

සැමට චීන ක්‍රමය
පක්ෂයේ මහලේකම් ක්ෂී ජිංපිංගේ වාර්තාවට අනුව චීනය තම රාජ්‍යතන්ත්‍රික ක්‍රමවේද යොදාගනිමින් භූදේශපාලන බලපෑම් ඔස්සේ “මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක්” යන තේමාව ප්‍රවර්ධනය කිරීමට උත්සහ දරයි. චීනයේ මෙම වෑයමට ශ්‍රී ලංකාව මේ වනවිටත් හසුවී ඇත.
චීන රජයට අනුබද්ධිත සීමාසහිත මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් සඳහා සහනදායී ගිවිසුමකට ශ්‍රී ලංකා රජය මෑතකදී අත්සන් තැබීය. මෙම ගිවිසුමට අනුව හම්බන්තොට වරායෙන් 70%ක් චීන සමාගමකට අයත්වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉතිරි කොටස් 30% අයිති වන්නේය.
2006 වසරේදී ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10.6ක් විය. පසුගිය දශකය තුළ එය 140%කින් වැඩි වී තිබේ. 2016 අග භාගය වන විට ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 25.3 දක්වා වැඩිවී තිබෙන අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 34%ක් විය. මෙම දැවැන්ත ණය එකතුවෙන් 13%ක් එනම් ඩොලර් බිලියන 3.3ක් පසුගිය දශකය පුරා චීනයෙන් ලබාගත් ඒවාය. විවිධ කාල නිර්ණයන්ට යටත්ව ලබාගෙන ඇති මෙම ණය යම් දිනයකදී ආපසු චීනයට ගෙවිය යුතු ය.

ණය උගුල
ශ්‍රී ලංකාව තුළ චීනයේ ආර්ථික ආධිපත්‍යය ණය පිළිබඳවම පමණක් නොව, ආයෝජන සඳහාද වලංගුවේ. 2005දී චීනයෙන් මෙරටට ලැබුණු වාර්ෂික විදේශ සෘජු ආයෝජන ඇමරිකන් ඩොලර් මිලියන 1කට වඩා අඩුවූ නමුත් 2014දී එය ඇමරිකන් ඩොලර් මිලියන 400 ඉක්මවා ගියේය. මෙම තත්ත්වයේ බැරෑරුම්කම ඉස්මතුවන්නේ පසුගිය දශකය තුළ චීනයෙන් අපට ලැබී ඇති සෘජු ආයෝජනවල වටිනාකම ඇමරිකනු ඩොලර් බිලියන 1.1 ඉක්මවීමෙනි. ශ්‍රී ලංකාවේ අපනයන අංශයෙහි දුර්වල කාර්යසාධනය හේතුවෙන් සහ බටහිර රටවල්හි වර්ධනය මන්දගාමී වීම නිසා ශ්‍රී ලංකාවට සැබැවින්ම චීනයෙන් හැර මුදල් ලබාගැනීම සඳහා වෙනත් විකල්පයක් නොතිබුණි. සරලව කිවහොත් ලෝකයේ සල්ලිකාරයා චීනයයි.
ඉහළ යන විදේශීය ණය සේවා ගාස්තුවලට අනුරූපව ශ්‍රී ලංකාව සිය අපනයන ආදායම වැඩිකිරීමට අසමත්ව සිටී. එබැවින් සංවර්ධනය ඇතුළුව එදිනෙදා අවශ්‍යතාවන්ට අරමුදල් සපයා ගැනීම රට හමුවේ ඇති අභියෝගයකි. තවදුරටත් චීනයේන් මුදල් ණයට ගැනීම් හෝ ආයෝජනයෙන් ලබාගැනීම අනතුරකට අත වැනීමකි. ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය කලාපයේ ප්‍රසිද්ධ රහසකි. පසුගිය සතියේදී පිලිපීනයේ උපජනාධිපති ලෙනී රොබ්‍රෙඩො චීනයෙන් ණයට ගැනීමෙන් රටවල් මුහුණ දෙන ණය උගුල පිළිබඳව ශ්‍රී ලංකාව උදාහරණයට ගනිමින් විදෙස් මාධ්‍ය හමුවේ දක්වා ඇත.

නූතන යටත්විජිතවාදය
අවි ආයුධ යොදාගනිමින් රටවල් යටත් කරගත් යුගය අවසන්ව බොහෝ කලක් ගතවී ඇත. ආර්ථික ඝාතකයන් යොදා ගැනීමද යල්පැන ඇත. එහෙත් ගමේ පොලී මුදලාලිගේ චරිතය සහ චීනයේ භූමිකාව අතර වැඩි වෙනසක් නැති බව විචාරක මතයයි.■