රාවය

ඩෙස්මන්ඞ් ටුටු සහ දලයි ලාමා

ඩෙස්මන්ඞ් ටුටු සහ දලයි ලාමා

දකුණු අප්‍රිකාවේ වයඹ පළාතෙහි පිහිටි විශාලතම නගරය වන ක්ලක්ස්ඩෝප් නුවරදී 1931 ඔක්තෝබර් 07 දින උපත ලද ඩෙස්මන්ඞ් මිපිලෝ ටුටු, සිය ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ ජොහැන්නස්බර්ග් බන්ටු විදුහලෙනි. කළු ජාතිකයන් වූ ටුටුලා ලන්දේසි අධිරාජ්‍යවාදීන් විසින් දකුණු අප්‍රිකාව තුළ ස්ථාපිත කරනු ලැබූ වර්ණභේදවාදයෙන් දැඩි ලෙස පීඩාවට පත් ජන කොට්ඨාසයක් ලෙස සැලකිය හැකිය. සුළුතර සුදු ආණ්ඩුව විසින් එරට බහුතරය වූ කළු ජාතිකයන්ට කෙතරම් හිරිහැර කළාදැයි කිවහොත් 1960 සිට 1983 දක්වා වන කාල පරිච්ඡේදය තුළ කල්ලෝ මිලියන 3.5ක් ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශවලින් බලහත්කාරයෙන් ඉවත් කොට, නිශ්චිතව වෙන්කළ වෙනම ස්ථාන වෙත යවන ලදහ. 1949 මිශ්‍ර විවාහ තහනම් පනත මඟින් කල්ලන්ට සුදු පවුල්වලින් ආවාහ විවාහ සිදුකරගැනීමේ අවකාශය නීතියෙන්ම අහුරනු ලැබීය. සිය උසස් අධ්‍යාපනය ලබන අවධියේ විවිධ ආර්ථික දුෂ්කරතා මතු වූ හෙයින්, ඩෙස්මන්ඞ් ටුටු පාසල අහවරවී දොඩම් වෙළෙඳාමේ සහ සුදු ජාතික ගෝල්ෆ් ක්‍රීඩකයන්ට බෝල අහුලාදීමේ නිරතව අමතර ආදායමක් උපයා ගත්තේය. සොෆියා ටවුන්හි පිහිටි ඇන්ග්ලිකන් පල්ලියේ නේවාසිකාගාරය තුළ නොමිලේ නවාතැන්ගැනීමේ පහසුකම එකල සලසා දුන්නේ ටුටුට එතැන නැවතී සිටි පාසල් සගයෙකු විසිනි. ඇන්ග්ලිකන් පල්ලියේ නායක බිෂොප්වරයා ලෙස එවකට කටයුතු කළ බි්‍රතාන්‍ය ජාතික ටේ‍රවෝ හඞ්ල්ස්ටන් පියතුමා කළු, සුදු භේද නොසැලකූ කරුණාවන්ත උතුමෙකු බැව් දුටු ඩෙස්මන්ඞ් ටුටුට ඇන්ග්ලිකන් පූජකවරයෙකු වීමේ ආශාවක් පහළ විය. ඒ අනුව, දකුණු අප්‍රිකානු සරසවියෙන් කලා උපාධියක්ද දිනාගත් ඩෙස්මන්ඞ් ටුටු 1956දී රොසෙට්න්විල්හි ශාන්ත පීතර දේවධර්ම විදුහලට ඇතුල්වූයේ ඇන්ග්ලිකන් පූජකවරයෙකු වීමේ අභිලාෂයෙනි.

ලන්ඩන් ගමන
ටුටුගේ පෙම්වතිය වූ නොමැලිසෝ ලියා විවාහ කරගැනීමද මෙම වකවානුවේදී සිදුවුණු අතර ඇන්ග්ලිකන් පූජකවරුන්ට යුගදිවියට එළඹීම සඳහා එම පල්ලියෙන් පූර්ණ අනුමැතිය ලබාදී තිබුණි. 1960දී ටුටුට සිය පවුල සමඟ ලන්ඩනයේ රාජකීය දේවධර්ම විදුහල වෙත ගොස් එහි නැවතී අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාවිය. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය කෙතරම් පීඩාකාරී ප්‍රතිපත්තියක්ද යන්න ටුටු ඇතුළු ඔහුගේ පවුලේ අයට සක්සුදක් සේ පැහැදිලි වූයේ එංගලන්තයේ දක්නට ලැබුණු නිදහස් පරිසරය තුළ දිවිගෙවන අතරතුරේය. ලොව විවිධ ආගම් හා ඇදහිලි පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කොට එංගලන්තයේ සරේ විශ්වවිiාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් 1966දී දිනාගත් ඩෙස්මන්ඞ් ටුටු, සිය දරු පවුල සමඟ යළිත් දකුණු අප්‍රිකාව බලා යාමට තීරණය කළේ වර්ණභේදයෙන් තම මව්බිමේ බහුතරය පීඩා විඳින විට තමා බි්‍රතාන්‍යයේ සුවපහසු දිවියක් ගෙවීම උචිත නොවේයැයි සිතූ හෙයිනි. එහෙත් බිරිඳ නොමැලිසෝ ටුටුගේ මෙම තීරණයට එකඟ වූයේ සිය සැමියාගේ ප්‍රතිපත්තිවලට කරන ගරුකිරීමක් ලෙස විනා ස්වකැමැත්තෙන් නොවේ. මන්ද සුදු ජාතික පාලකයන්ගේ වෙනස්කම්වලට තම දරුවන් පවා බඳුන් වන වග ඇය හොඳින් දැනසිටි හෙයිනි. මව්බිමට පැමිණි පසු, නැගෙනහිර කේප්හි ෆෙඩරල් දේවධර්ම සෙමිනරියේ එකම කළු ජාතික ගුරුවරයා ලෙස ටුටු සේවයට බැඳුණේය.

වර්ණ භේදයට එරෙහිවීම
වර්ණභේදවාදී අධ්‍යාපන යෙන් තම දරුවන් මුදාගත යුතුයැයි සිතු ටුටු සහ නොමැලිසෝ ඔවුන් ස්වාසිලන්තයේ පෞද්ගලික පාසලකට ඇතුල් කළහ. ඉංග්‍රීසි, ග්‍රීක්, ඇෆ්රිකානා, හීබෘ සහ ලතින් වැනි භාෂා ගණනාවක් ප්‍රගුණ කොට තිබූ හෙයින් සෙමිනරියේ පාලනාධිකාරය (කල්ලෙකු වුවද) ඩෙස්මන්ඞ් ටුටු එහි උපවිදුහල්පති ධුරයට පත්කිරීමට තීරණය කළද, තවත් අප්‍රිකානු රටක් වූ ලෙසොතෝ වෙතින් එරට ඹඊඛී සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියක් ඒ වන විට ඔහුට පිරිනමා තිබුණි. ඒ අනුව ඹඊඛීහි ග්‍රීක භාෂා හා සාහිත්‍ය ආචාර්යවරයකු ලෙස සේවය කිරීම සඳහා හෙතෙම 1970දී එරට ගියේය. 1975දී ජොහැන්ස්බර්ග්හි ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයා බවට පත්වූ පසුව ටුටු එම පදවිය හැමවිටම යොදාගත්තේ වර්ණ භේදවාදයට එරෙහිව අවිහිංසාවාදී ලෙස මතවාදී තලයේ ක්‍රියාකිරීම උදෙසාය. සුදු ජාතිකයන් විසූ වරප්‍රසාදලාභී හවුටන් පෙදෙසෙන් ඔහුට දැවැන්ත මන්දිරයක් හිමිවුවද, ඔහු කළු ජනයා බහුලව වෙසෙන සොවෙටෝ නගරයෙහි සාමාන්‍ය නිවසක පදිංචියට ගියේය. විනී මැන්ඩෙලා, ස්ටීව් බිකෝ සහ තානෝ මොට්ලානා වැනි වර්ණ භේද විරෝධී ජනනායකයන් සමඟ සමීපව ඇසුරු කිරීම හේතුවෙන් ටුටු සුදු පාලනාධිකාරයේ උදහසට ලක්වූවද, ඒ වන විට ඔහු ලෝ ප්‍රකට ඇන්ග්ලිකන් පූජකවරයෙකුව සිටි නිසා ඔවුහු ඔහුට හිරිහැර කිරීමට බියවූහ. එහෙත් 1980 මාර්තුවේදී නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස් කළ යුතුයැයි පවසමින් විරෝධතා පා ගමනකට එක්වීම නිසා ටුටුගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කොට එක් රැයක් ඔහු පොලිස් අත්අඩංගුවේ තැබීමට සුදු පාලකයෝ ක්‍රියාකළහ. නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස්ව දකුණු අප්‍රිකාවේ ජනපති ධුරයට පත්වූ පසුව, අවධාරණය කර සිටියේ ඩෙස්මන්ඞ් ටුටුගේ අවිහිංසාවාදී හා නිර්භය හඬ හේතුවෙන් විශාල ලේ හැලීමකින් තොරව දකුණු අප්‍රිකාව තුළින් වර්ණභේදවාදය තුරන් කිරීමට ඔවුන්ට හැකිවූ බවයි. කළු ආගමික නායකයෙකු ලෙස දකුණු අප්‍රිකාවේ සුදු ජාතික පාලකයන් අතින් විවිධ අඩන්තේට්ටම්වලට ලක් වුවද ඔවුන් කෙරෙහි වෛරී ආකල්පයකින් තොරව කරුණාදයාවෙන් යුතුව කටයුතු කිරීමට තමා උගත්තේ මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං සහ දලයි ලාමා වැනි ශ්‍රේෂ්ඨයන්ගෙන් වග ටුටු වරෙක කියා සිටියේය.

දලයි ලාමාගේ මෙත් සිත
හිමාලයට උතුරු දිගින් පිහිටි ටිබෙට් රට, හැමවිටම සිය දේශපාලන හා ආගමික නායකයා ලෙස සැලකුවේ ගෙලුග් නිකායේ සම්ප්‍රදායන්ට අනුව පත්කෙරෙන දලයි ලාමාය. එහෙත් 1950දී චීනයේ නායකයා වූ මා ඕ සේතුං ඔහුගේ සංවර්ධන ව්‍යාපෘතිය වූ ‘සංස්කෘතික විප්ලවය’ ටිබෙට් රටට බලෙන් හඳුන්වාදීමට උත්සාහ කළ මොහොතේ 14 වැනි දලයි ලාමා වන ටෙන්සින් යැටිසෝ ඊට විරෝධය පළකළේය. ඒ සමඟම චීන හමුදාව ටිබෙට් රට ආක්‍රමණය කළ අතර දලයි ලාමා සිය ආරක්‍ෂාව පතා ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ධරම්ශාලා වෙත පැනගියේය. ඒ අනුව, වත්මනෙහි මධ්‍යම ටිබෙට් පාලනාධිකාරය 14 වැනි දලයි ලාමාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කොට තිබෙන්නේ ධරම්ශාලා නුවර තුළය. 1950 -1960 අතරතුර කාලයේදී චීන හමුදාව, ටිබෙට්හි බෞද්ධ ආරාම 6000ක් බිමට සමතලා කොට මාඕගේ ‘ඉදිරි ගමන’ නම් ව්‍යාපෘතිය හරහා ටිබෙට් වැසියන් මිලියනයක් පමණ පරලොව යැවීය. වත්මනෙහි 82 වැනි වියේ පසුවන 14 වැනි දලයි ලාමාද චීන නායකයන්ට නයාට අඳුකොළ බඳුය. ඔවුන් හැමවිටම එතුමන් විවේචනය කරන්නේ එබැවිනි.
භාවනානුයෝගී සැබෑ බෞද්ධ යතිවරයෙකු වන උන්වහන්සේට 1989 වසරේහි සාමය පිළිබඳ වන නොබෙල් ත්‍යාගය හිමි විය. දලයි ලාමාගේ අතිජාත මිත්‍රයා ඩෙස්මන්ඞ් ටුටුට එම ත්‍යාගය ලැබුණේ 1984 වසරේදීය. නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ ගෝලීය සමුළුව දකුණු අප්‍රිකාව තුළ පවත්වන්නට එහි සංවිධායකයන් තෙරවක්ම උත්සාහ කළද ඒවා අසාර්ථකව ගියේ චීන කොමියුනිස්ට් රජයේ බලපෑම මත දකුණු අප්‍රිකානු රජය දලයි ලාමාට එරටට ඇතුළුවීමේ වීසා නිකුත් කිරීම ප්‍රතික්‍ෂේප කළ නිසාය. චීන රජය හැමවිටම කියන්නේ දලයි ලාමා බෙදුම්වාදියෙකු බවයි. එහෙයින් ඔහු සමඟ පයුරුපාසානම් පවත්වන කවර රටකට වුවද ආර්ථික සම්බාධක පැනවීමට තමන් පසුබට නොවන වග චීන පාලකයෝ පුන පුනා පවසති.

සන්තුෂ්ටියේ ග්‍රන්ථය
තම ආධ්‍යාත්මික මිත්‍රයාට දකුණු අප්‍රිකාවට පා තැබීමට එරට රජය ඉඩ නොදෙන හෙයින් ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටියද ඩෙස්මන්ඞ් ටුටු බිෂොප්වරයා 2015 අප්‍රේල් මාසයේදී සතියක කාලයක් දලයි ලාමා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙනු වස් ඉන්දියාවේ ධරම්ශාලා බලා පියාසර කළේ කීර්තිමත් ඇමරිකානු මාධ්‍යවේදී ඩග්ලස් ඒබ්‍රාම්ස් සහ ඔහුගේ මාධ්‍ය කණ්ඩායමද කැටුවය. දෙදෙනාගේ ආධ්‍යාත්මික සංවාද කැටි කොට ඊදදන දf න්‍දහ නමැති ග්‍රන්ථය 2016 වසරේදී ජනගත කිරීමට ඩග්ලස්ට හැකියාව ලැබුණි. දලයි ලාමාගේ ආශ්‍රමය තුළ ඇන්ග්ලිකන් දේව මෙහෙයක් පවත්වන ටුටු, ඉනික්බිති දලයි ලාමා මෙහෙයවන බෞද්ධ භාවනාවට සමවදන අයුරු ඩග්ලස් මෙම පොතෙහි අපුරුවට විස්තර කරයි. ටුටුගේ දේව මෙහෙයට දලයි ලාමා සම්බන්ධ වන්නේ මහත් ප්‍රීතියෙනි. ස්නායු විiාවේ නවතම සොයාගැනීම්වලට අනුව මිනිසෙකුට සතුටින් දිවිගෙවීම සඳහා මොළයේ විiුත් පරිපථ හතර ආකාරයකින් ක්‍රියාත්මක විය යුතු වග ඇමරිකාවේ විස්කොන්සින් සරසවියේ ස්නායු විiා මහාචාර්ය රිචඞ් ඬේවිඞ්සන් පවසයි. පළමුවැන්න ලෝකය දෙස සාධනීය හා සානුකම්පිත ලෙස බැලීමේ හැකියාවයි. දෙවැන්න, සිතට ගලා එන නිශේධනීය හා ඝෘණ චේතනාවන්ගෙන් ඉක්මනින් ගොඩඒමේ නිපුණතාවයි. තෙවැන්න, එදිනෙදා සියලු ක්‍රියාකාරකම් එළැඹ ඇති සිහියෙන් යුතුව ඉෂ්ටසිද්ධ කිරීමේ දක්ෂතාවයි. සිව්වැන්න තමා අවට සිටින සියලු සත්වයන්ට දයාව, කරුණාව පාමින් ඔවුන්ට ක්‍රියාකාරීව උදව් පදව් කිරීමේ හැකියාවයි. මෙකී සතර ලක්ෂණ, දලයි ලාමා සහ ඩෙස්මන්ඞ් ටුටු සතුව නොමඳව පවතින හෙයින් ඔවුන් දෙපළ ඉතා ඉහළ සතුටකින් ජීවත්වන මුනිවරයන් දෙදෙනෙකු බැව් ඩග්ලස් තම ග්‍රන්ථයෙන් අවධාරණය කරයි. ධරම්ශාලාහි ගුවන් තොටෙන් බිමට බට මොහොතේ, ඩෙස්මන්ඞ් ටුටු පැළඳි ගොල්ෆ් හිස්වැසුම විහිළුවෙන් උදුරාගෙන දලයි ලාමා එය තමන්ගේ හිසෙහි දමාගත් අවස්ථාවේ උන්වහන්සේ ඉතා සරල හා විනෝදයට බර කෙනෙක් යැයි තමාට පසක් වුණු වග ඩග්ලස් පවසයි. චීන පාලනයෙන් හා ටුටුගේ අප්‍රිකානු වර්ගභේදවායෙන් ඉතා දරුණු ලෙස බැටකෑ නමුත් දලයි ලාමාගේ හා ටුටුගේ අභ්‍යන්තර නිරාමිස ප්‍රීතිය උදුරාගන්නට එම පාලකයෝ අසමත් වුහ. ජාතිවාදයෙන් හා ආගමික අන්තවාදයෙන් ඔළුගෙඩි කුරුවල් කරගෙන, විවිධ දේශපාලනඥයන්ගේ අතකොළු බවට පත්ව ඇති මෙරට බහුතරයක් ආගමික නායකයන් දකින විට විමුක්තිය හා සන්තුෂ්ටිය මඟහැරී ඇති බැව් නිසැකවම කිව හැකිය.■