රාවය

සුන්දර වේදනාබර පුක්කුලමට සවන් දෙන්න

සුන්දර වේදනාබර පුක්කුලමට සවන් දෙන්න

රේඛා නිලුක්ෂි හේරත්

අපි ඉන්නේ ලංකාවේ බටහිර වෙරළ තීරයේ. කල්පිටියේ. ඒත් මුහුද අපට නැගෙනහිරින්. මුහුද පැත්තෙනුයි ඉර නැගෙනවා පෙනෙන්නේ. අපි ඉන්නෙ කළපුවේ වම් ඉවුරේ. පාන්දරක. ඉර ටිකෙන් ටික නැගෙනවා. අහස පුරා වර්ණ මවනවා. පාන්දරම මුහුදු යන කඩිසර මිනිසුන් පෙනෙනවා. මේ වඩදිය වෙලාව. ධීවර තොටුපොළ පුරාම මුහුදු වතුර. ඒ අස්සේ අපිත් බෝට්ටුවකට ගොඩවෙනවා.
මුහුද මතුපිට ගැස්සෙමින් බෝට්ටුව වේගයෙන් යනවා. යන්නේ කොහාටද? කළපුවෙන් එළියට. මුහුද දෙසට. බෝට්ටුවේ යන අපට දකුණු පැත්තෙන් විල්පත්තු වනය පෙනෙනවා. වම් පැත්තේ වැලි පිරුණු වෙරළ තීරය. කළපුව මැද්දෙන් අපි ඇදෙන්නේ දූපත් දෙකක් සොයාගෙන. අප බොහෝ දෙනෙක් දන්නා බත්තලංගුණ්ඩුවට නෙවෙයි. අද බත්තලංගුණ්ඩුවට යන්න වෙලාව මදි කියලායි බෝට්ටුවේ අපව එක්කගෙන ගිය මිත්‍රයා කීවේ. අපි යන්නේ පල්ගහතුරෙයි දූපතට සහ පූකුලමට.
අපව එක්කගෙන ගිය මිත්‍රයා කීව විදියට මේ දූපත් දෙකම ව්‍යවහාරයේ හැටියට දූපත්යැයි කීවත් ඒ සියල්ල ප්‍රධාන ගොඩබිම එක්ක සම්බන්ධයි. එහෙත් ගොඩබිමින් යනවාට වඩා මුහුදෙන් යන එක ළඟයි. ගොඩබිමෙහි ගමන් කරන්න තියෙන්නේ මහා වනාන්තර මැද්දේ අසීරු ගමනක්. බොහෝවිට විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ ඒකේ පරිවාර රක්ෂිත වනාන්තර ඔවුන්ගේ ගොඩබිම් මාර්ගය හරස් කරනවා. ඒ නිසා මේ ප්‍රදේශවලට ගමන් කරන අය බෝට්ටුවෙනුයි යන්නේ.
ඒ විදියට ගිය අපි පහුගිය සතියේ මේ දූපත්වල වෙසෙන අයගේ ජීවිත අඳුරු කරන්නට හේතුවුණ ට්‍රෝලර් ප්‍රශ්නය ගැන ලීවා. එහෙත් ඒ කතාව මැද්දේ කියාගන්නට නොහැකිවුණු කතාවක් පූක්කුලමේ තියෙනවා.

ඉතින් මේ ලියන්නට සූදානම් පූක්කුලම් ගැනයි. පූක්කුලම කල්පිටියට වඩා ළඟ දූපතක් වුණත් එය ගොඩබිමින් ගත්තාම අයිතිවෙන්නේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට. ඈත දුෂ්කරක පිහිටි තනිවුණු ගමක් මේ. ගමේ වෙසෙන්නන් අතර සිංහල දෙමළ භේදයක් නැහැ. සිංහල කතා කරන්නන්, දෙමළ කතා කරන්නන් ඉන්නවා. එහෙත් වැඩිපුර ඉන්නේ දෙමළ කතා කරන අයයි.
පල්ගහතුරෙයි ඉඳන් පැය එකහමාරක් තිස්සේ බෝට්ටුවේ සිටි අප පූක්කුලමට ළඟා වෙද්දී බොහෝ දෙනෙක් දූපතේ නැහැ. ඒ ඉරිදාවක්. ලංකාවේ ධීවරයන් අතරින් අතිබහුතරය වෙච්ච කතෝලිකයන් මුහුදු නොයන දවස. පූකුලම් කතෝලිකයන්ද මුහුදු යන්නේ නැහැ. නිවාඩු දිනයේ ගමනක් බිමනක් නොගිය අය එක්කෝ වෙරලේ ඉඳන් කැඩුණු මාළු දැලක් මහනවා. නැත්නම් මහ සද්දෙට හඬන මුහුද අයිනේ බෝට්ටු බඳක ඉඳගෙන කයිවාරුවක. මුහුදෙ අඬෝවැඩියාව ඔවුන්ට හුරුයි. අපේ බෝට්ටුව ළංවෙද්දී ඔවුන් ඇවිත් අපේ බෝට්ටුව වෙරළට ඇදලා අරගත්තා. සාදරයෙන් පිළිගත්තා.
පූක්කුලම් දෙස මුහුදේ ඉඳන් බලද්දී හරි අපූරුයි. මහා වනාන්තරයක්. අයිනේ ප්‍රාථමික මිනිස් ඉදිකිරීම් ටිකක් සහිත තොටුපොළක්. සුන්දර දර්ශනයක්. එහෙත් අපේ බෝට්ටුව වෙරලේ කයිවාරු ගසමින් සිටි ධීවර මිත්‍රයන් විසින් ඇදලා ගොඩට අරන් හමාරයි. මුහුදේ සිට දකින දර්ශනය වගේ නෙවෙයි. පූක්කුලම් දූපතට එබුණාට පස්සේ දර්ශනය සුන්දර නැහැ. දුක්ඛදායකයි.
“ගමේ හැමෝම ඉන්නේ ධීවරයෝ. පවුල් 150ක් විතර ඉන්නවා. යුද්දෙට කලින් නම් පවුල් 300ක් විතර හිටියා.” අපි එක්ක ඉඳගත්ත අරුල්සාමි මහත්තයා කතාව පටන්ගත්තා. ඔහුගේ පියා එකල මේ ගමේ නායකයා. අරුල්සාමි මහත්තයාත් ඔහුගේ සහෝදරයාත් තාත්තාගෙන් පස්සේ මේ ගම අත්හැර යනවා. ඒ ගමේ හිටපු පවුල් තුන්සීයත් එක්කමයි. මේ ගම අත්හැර දානවා. නාවික හමුදාව ඔවුන්ට නිවෙස් අත්හැර යන්නැයි අණ කරනවා. වසර ගණනාවක් නිවෙස්වලින් ඈත්වෙලා හිටපු ඔවුන් අතරින් පවුල් එක දෙක බැගින් ආපහු පදිංචියට ඇවිත්. ඇතැමුන් ආපහු ඇවිත් නැහැ. අරුල්සාමි මහත්තයා ආවත් ඔහුගෙ සහෝදරයා ආපහු ඇවිත් තිබුණෙ නැහැ. ඔහු කල්පිටියේ පදිංචිවෙලා.

යුද්ධයට පෙර මේ බිම් හැර ගිය ඔවුන් ආපහු ඇවිත් දකින්නේ පෙර තිබුණූ පූක්කුලම නෙවෙයි. “අපි ගෙවල් ඉදිකරලා තිබුණා. ඒවා ඔක්කොම කඩාවැටිලා. ඒ විතරක්ද? වෙරළ සම්පූර්ණයෙන් ඇතුළට කැඩිලා ගිහිල්ලා. වෙරළෙන් අක්කරයක් විතර නැතිවෙලා. ඒ කාලේ අපේ ගෙවල්වල ඉඳන් වෙරළට ලොකු දුරක් තිබුණා. අපි වෙරළේ මුහුද පැත්තට එල්ලේ ගැහුවා. ඒ තරම් ඉඩක්. අපි එද්දි ගෙවල් තිබුණු තැන්වලටම මුහුද ඇවිල්ලා. ගෙවල් කඩාවැටිලා. ඒවා හදාගන්න සල්ලි නැහැ අපට. මාළුවලින් ආදායම නැතිවෙලා. අපේ ආදායම ට්‍රෝලර්වලින් හොරකම් කරනවා. ඉතින් අපි දැන් පුංචි ගෙවල් හදාගෙන ජීවත්වෙනවා.” අපිත් එක්ක කතාබහට එකතුවෙච්ච ඇන්ටනි මහත්තයා කිව්වෙ එහෙමයි. ඇන්ටනි මහත්තයාත් පූක්කුලමෙ පරණ මනුස්සයෙක්.
මෑත කාලයේ ගමේ ඉදිකිරීම් ටිකක් ආණ්ඩුවෙ අනුග්‍රහයෙන් වෙනවා. ගමේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ගෙවල් ප්‍රශ්නයට විසඳුමක් ආණ්ඩුවෙන් දීලා. ඒ නිවාස නැති පවුල් 150ක් වෙනුවෙන් ගෙවල් 11ක් ලබාදීම.

“හැමෝටම ගෙවල් හදලා දෙනවා කියලා ආණ්ඩුවෙන් වැඬේ පටන් ගත්තාට 11ක් විතරයි හදලා දුන්නේ. ඇත්තටම අපට ගෙවල් නැතිවුණත් රස්සාව කරන්න හරියට පසුබිම හදලා දුන්නා නම් හරි. අපේ ගමම ධීවර රස්සාව කරන්නේ. මම යුද්ධයට කලින් ණයක් අරගෙන බෝට්ටුවක් ගත්තා. යුද්දෙ වෙලාවෙ අපි ඒ බෝට්ටු දාලා දිව්වේ. ආයේ එද්දී බෝට්ටු නැහැ. ඒත් අපි ණය ගෙව්වා. ගිය අවුරුද්දෙයි ණය ගෙවලා ඉවරවුණේ. හැබැයි බෝට්ටුව නැහැ. ඉතින් අපට බෝට්ටුවක් ගන්න දැන් බැහැ. ඒවාට පහසුකම් හදලා දුන්නා නම් හරි.” අරුල්සාමි මහත්තයා කියනවා.

සුන්දරත්වය
වෙරළ අයිනේම පුංචි කඳුගැටයක්. එතැනට ගියාම වෙරළ හොඳින් පෙනෙනවා. සුන්දරම දර්ශනයක්. සුන්දර පොල් ගස්. ඒ තරම් නැවුම් වෙරළක් දකින්නට ලැබීම ගැන මොහොතකට හිත ආනන්දයෙන් පිරෙනවා. ඒ අරුල්සාමි මහත්තයා සමඟ කතාබහෙන් මොහොතකට වෙන්වෙලා ගම වටේට ටිකක් ඇවිදින්න පටන් ගත්තාම. එහෙත් මේ නැවුම් වෙරළ මත පල්වෙන ජීවිත යළි යළිත් මතකයට නැගෙනවා.
පරණ ගොඩනැඟිලිවල අත්තිවාරම් පෙනෙන්න තියෙනවා. විධිමත්ව ඉදිවුණ වැසිකිළි තියෙනවා. ඒවා වටේට කැලෑව. පුංචි තාවකාලික නිවාස. අපි නිවසකට දෙකකට ඇතුළු වුණා. පොල්අතු වහලවල්. මැටි බිම. පුංචි ඉඩ. නිවසේ පැත්තක පැදුරක් තියෙනවා. රාත්‍රියට බිම එලා නිදාගන්නට. අප පහුගිය කාලයේ අරණායක අවතැන් කඳවුරුවල ජීවත්වුණු මිනිසුන් ගැන ලීවා. ටෙන්ට්වලින් නිර්මාණය කළ ඒ අවතැන් කඳවුරුවල මේ කුඩා නිවාසවලට වඩා බොහෝ පහසුකම් තියෙන බව කිවයුතුයි.
“මේ තියෙන්නේ යුද්දෙ සලකුණු.”
මොහොතකට කලින් සුන්දරයි කියා සිතුණු පොල් ගස්වල තියෙන ළප කැළැල් වගේ සලකුණු කෙනෙක් අපට පෙන්වනවා.
පූක්කුලමේ ජීවත්වෙන මේ අය කතෝලිකයන්. එයාලා අලුත් පල්ලියක් යුද්ධයට කලින් ඉදිකරන්නට පටන් අරගෙන. පල්ලියේ බිත්ති ඉහළට යද්දී යුද්ධයට හේතු වර්ධනය වෙලා. අන්තිමේ කපරාරු නොකළ බිත්ති තියෙද්දී යුද්ධය ඇරඹුණා. ඉතින් පල්ලියේ වැඩ අවසන් කරන්න කලින් යුද්ධය පුක්කුලමට ඇවිත්. දැන් පල්ලියේ බිත්ති හතර කැලයක් මැද්දේ ඔහේ හිටගෙන ඉන්නවා. පල්ලියට ළංවෙලා බලන අපට බිත්තිවල වෙඩි උණ්ඩ සලකුණු පෙනෙනවා.
ගම වටේ කරක් ගහන අප පසුපස හොරෙන් බලමින්. හැංගෙමින් ආ පුංචි දරුවන් කණ්ඩායමක් හිටියා. අපි කතාකළත් ඔවුන් ළංවෙන්න බයක් පෙන්නුවා. නැවත තොටුපොළට ඇවිත් අරුල්සාමි මහත්තයා ඇතුළු වැඩිහිටියන් එක්ක අපි කතාවට වැටෙද්දී හැංගෙමින් සිටි මේ පුංචි කොලු කෙළි රෑන අපට ළංවෙලා හිටියා.
“මේ තියෙන ප්‍රශ්න ඔක්කොමත් හරි. මේ අයට උගන්වන එකත් හරි. අපට තියෙන ලොකුම බය මේ ළමයින්ට උගන්වන එකයි.” තමන්ගේ දියණියගේ ඔළුව අතගාන අතරේ මවක් කීවා.
ඉස්කෝල
මේ ලංකාවේ අධ්‍යාපනය ගැන මහා ඉහළින් වාද විවාද ඇතිකර ගන්න කාලයක්. එහෙව් කාලෙක පූක්කුලමෙ ඉන්න ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු ළමයින්ටවත් ඉගෙනගන්න තැනක් නැහැ. අපට ගමේ පාසල් ගොඩනැඟිල්ල පෙනෙනවා. ආණ්ඩුවේ ව්‍යාපෘතියකින් පාසල් ගොඩනැඟිල්ල හදලා. ගම මැද්දේ සිමෙන්ති ගල් අල්ලපු පාරකුත් පාසල තෙක් හදලා. හැබැයි සුන්දර ගොඩනැඟිල්ලක් පමණයි. උතුරු වසන්තයෙන් ආපු ගොඩනැඟිල්ලක් වෙන්න ඇති. එහෙත් ඒ ගොඩනැඟිල්ල පාසලක් වෙන්න නම් තව බොහෝ දේ අවශ්‍යයි.

“ඉස්කෝලයක් නම් තියෙනවා. ඒත් ගුරුවරු තමයි නැත්තේ.” අරුල්සාමි කියන්නේ ඔය ගැනයි.
“මගේ දුව කාලයක් ස්වෙච්ඡාවෙන් ගමේ ළමයින්ට ඉගැන්වුවා. මාස හයක් යනකොට ගමේ ළමයින් එන්නේ නැතිව ගියා. ඉස්කෝලෙකට යනවා වගේ නෙවෙයිනේ.” දෙතුන් වතාවක්ම ගමට උගන්වන්න ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණු අය හිටියත් ඒවා ක්‍රියාත්මක වෙලා නැත්තේ ආර්ථික ගැටලු නිසා. අනෙක් පැත්තෙන් නොවිධිමත් වැඩවලට ලොකු අනාගතයක් නැති හින්දා.
“සමහරු ළමයින්ව කල්පිටියේ නවත්වලා ඉස්කෝලෙ යවනවා. තව පිරිසක් ළමයින්ව ඉස්කෝලෙ යවන්නැතිව ගෙදර තියාගෙන ඉන්නවා. දූපතේ පුංචි ළමයි 25කින් 10ක් විතර කල්පිටියේ නවත්වලා ඉන්නේ. අපි කාලයක් ඉස්කෝලෙට එක ගුරුවරයෙක් හරි ඉල්ලුවා. දැන් ඉල්ලන එක නවත්වලා. මොකද අපි ඉල්ලුවාම අපේ ඉල්ලීම ඉස් මුදුනෙන් පිළිඅරගෙන දෙන්නම් කියලා කියනවා. ඒත් කියනවා විතරයි. කරන්නේ නෑ. ෆාදර් කෙනෙක් ටික දවසක් ළමයින්ට උගන්වන්න ආවා. එයා බෝට්ටුවක එන්න ඕනේ. වියදමක් යනවා. ඒත් අපට එයා වෙනුවෙන් වියදම් කරන්න හැකියාවක් තිබුණෙ නෑ. ඉතින් ෆාදර් එන එක නැවතුණා.” ඔය විදියට අරුල්සාමි මහත්තයා කියනවා.
ඔවුන්ට ස්ථීරසාර විසඳුම් දෙන්න අපටත් හැකියාවක් නැහැ. ඔවුන් අපෙන් ඉල්ලුවේ හැකි නම් අධ්‍යාපන ප්‍රශ්ණනයට විසඳුම් හොයාදෙන්න කියලයි. ලංකාව අභ්‍යවකාශෙටත් යන්න ලෑස්ති රටක් විදියට මවා පෙන්වුවා. ඒත් තවම මූලික අවශ්‍යතා සම්පූර්ණ වෙලා නැති බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සත්‍යය පූක්කුලමේදී අපට පෙනුණා.

නැවත අපි කල්පිටිය වෙත යන්න බෝට්ටුවට නැඟුණා. අපව ගොඩබිමට ඇදලා ගත්ත ඔවුන්ම බෝට්ටුව මුහුදට දියත් කළා. නැවත දූපතෙන් ඈත් වෙද්දී අපට සුන්දර ලෙස පූක්කුලම පෙනුණා. ළංවුණාම පූක්කුලම වේදනාබරයි. ඈත්වුණාම සුන්දරයි. අපි ඔවුන්ට ළංවීම තෝරාගත්තා. වේදනාව තෝරාගත්තා. ඒත් බොහෝ අය ඈතින් ඉන්න කැමතියි. ඒක වඩා සැහැල්ලුයි.
ආපහු අපි එද්දී දවල් දොළහට ළංවෙලා. දැන් පැය දෙකහමාරක පමණ බෝට්ටු ගමනක්. බෝට්ටුව වැඩි වැඩියෙන් ගැස්සෙනවා. කලින් වඩදිය වෙලාව. අපි එන්නේ බාදිය වෙලාවෙ. ඒ කියන්නේ ගොඩබිමේ ඉඳන් මුහුද දෙසට රැල්ල ඇදෙනවා. අපි රැල්ලට නැතිව රැල්ලට විරුද්ධ දෙසට ගමන් කරනවා. එහෙත් රැල්ලට විරුද්ධව යන එක පහසු නැහැ. බෝට්ටුව ගැස්සෙද්දී යළි යළිත් අපට පසක් වෙනවා.■