රාවය

සුගත් පුංචි ළමයෙක් වගේ

සුගත් පුංචි ළමයෙක් වගේ

“කලාකරුවා කරන්නේ ප්‍රතිනිර්මාණයකි. මේ ප්‍රතිනිර්මාණයේදී සැබැවින්ම සිදුවන්නේ කුමක්ද? ඔහු ජීවත්වන්නේ සෙසු මිනිසුන් ජීවත්වන ලෝකයේමය. ඔහුට හාල් පොත් දෙකක් නැත. ඔහු ලබන්නේ සෙසු මිනිසුන් ලබන අත්දැකීම්මය. එහෙත් සෙස්සනට මෙන් නොව මේ අත්දැකීම් ඔහුට කිසිවක් උගන්වයි. මේ උගැන්මෙන් ඔහු උත්තේජනයක් ලබයි. මේ උත්තේජනය බෙදාහදා ගැනීම ඔහුට අවශ්‍යය. ඔහු පොළඹවනු ලැබූ පොඩිත්තකු වැනිය.”
ඒ සුගතපාල ද සිල්වා නම් සුවිශේෂී කලාකරුවා තමන් ගැන තැබූ සටහනකි. උපුටා ගැනීම ‘බෝඩිංකාරයෝ’ පොතිනි.

ඇගේ නම ශීලා ද සිල්වාය.
සුගතපාල ද සිල්වා නම් මහා කලාකරුවාගේ බිරිඳ ඇයය. සුගතපාල ද සිල්වා ඇසුරු කළ මිත්‍ර සමාජය තුළ ඇය ශීලා අක්කාය. සුගතපාල ද සිල්වා සූරීන් ජීවිත වේදිකාවෙන් සමුගෙන පහළොස් වසරකි. සුගතපාල ද සිල්වා ගැන බොහෝ දෑ කිව හැකිය. ලිවිය හැකිය. ඒවා ඇතිපදම් කියාද ලියාද ඇත. මේ ශීලා සුගතපාල ද සිල්වා දුටු අයුරුය. ඔහු සමඟ දිවි ගෙවූ අයුරුය. ඇයට ඔහු වැටහුණු අයුරුය. නැතහොත් වටහාගත් අයුරුය.

ශීලා අක්කා සුගතපාල ද සිල්වා ශූරීන්ට ඇමතුවේ කොහොමද?
(කොක්හඬලා සිනා පොකුරකි.) සුගත් කියලා තමයි.

සුගත් අයියාව හම්බ වුණේ කොහොමද?
එතකොට අපි ජීවත් වුණේ දෙහිවල සිරිවර්ධන පාරේ. අපි ජීවත් වුණ ගෙදර බෝඩිමක් කළා. මම තමයි ඒක බලාගත්තේ. ඒකට සුගත් බෝඩිං වෙන්න ආවා. හේමන්ත වර්ණකුලසූරිය එක්ක ආවේ. ඒ බෝඩිං වෙලා තමයි අපි යාළු වුණේ.

මේ කොයි කාලෙද?
හැට ගණන්වල. හරියටම අවුරුද්ද මතක නෑ.

එතකොට ශීලා අක්කාගේ වයස කීයද?
අවුරුදු 14යි.

සුගත් අයියාට එතකොට වයස කීයක් විතර ඇත්ද?
එයා මට වඩා අවුරුදු 22ක් වැඩිමල්. ගණන් හදලා බලන්න. (හිනා.)

අවුරුදු 14දීමද යාළුවුණේ?
ඔව්! ඉතින්….

ගෙදරින් කැමති වුණාද?
හරියට විරුද්ධ වුණා. මම පුංචි කෙල්ලක්. එයාට වයස වැඩියි කියලා. කොච්චර විරුද්ධ වුණත් නැවැත්තුවේ නෑ.

ශීලා අක්කා ගැන කියන්න.
මට අම්මායි තාත්තායි නෑ. මාව හදාගන්න තමයි මගේ ඒ මව්පියෝ අරගෙන තිබුණේ. ඒ අය මගේ මව්පියෝම වගේ මාව බලාගත්තා.

එතකොට සුගත් අයියා රස්සාවක් කළාද?
නෑ. නාට්‍ය කරනවා. රස්සාවක් කළේ නෑ. බෝඩිමේ ඉන්න කාලේ ඉන්දියාවේ ගියා. එංගලන්තෙත් ගියා. මට ලොකුවට ඔය නාට්‍ය තේරෙන්නේ නැහැ. කොහොම හරි අපි යාළු වෙලා අවුරුදු හයක් හිටියා. ඒ ඉඳලා කසාද බැන්දා. මානෙල් වීරමුණි. නාමෙල් වීරමුණි දෙන්නා ඉස්සර කරගෙන බොරැල්ල වයිඑම්බීඒ එකේ තමයි කසාද බැන්දෙ. බඳිනකොට මට අවුරුදු 20යි.

ඇයි සුගත් අයියාට කැමති වුණේ?
හරිම අහිංසක හොඳ මනුස්සයෙක්නේ.

ඊට කලින් සුගත් අයියා යාළුවෙලා ඉඳලා නැද්ද?
මොකද ඉඳලා නැත්තේ. එයා යාළුවෙලා ඉඳලා. ගෙදරිනුත් කසාද ගෙනාවා හරියට. කැමති වුණේ නැහැ. මාත් එක්ක යාළුවුණේ පස්සේ.

සුගත් අයියාගේ ගෙදර අය කැමති වුණාද?
අපෝ ඔව්!

සුගත් අයියා ශීලා අක්කාට ඉගෙනගන්න කිව්වේ නැද්ද?
හැම තිස්සෙම කිව්වා. පස්සේ මැහුම් පන්තිවලට ඉංග්‍රීසි පන්තිවලට එහෙමත් දැම්මා. මට උනන්දුවක් තිබුණේ නැහැනේ ඒවා ඉගෙනගන්න.

ඔහුට සමාජයේ ලොකු වටිනාකමක් තිබුණා කියලා ඔබ දැනගෙන හිටියාද?
ඔව්! ඉතින් නිතරම කට්ටිය ගෙදර එනවා. නාට්‍ය ගැන කතා කරනවා. බොනවා. එහෙම වුණාට ඉතින් මට එයා මගේ මහත්තයානේ.

ඔබ ඔහුගේ නාට්‍ය වැඩවලට උදව් කළාද?
අපෝ ඔව්! හැම එකකටම යනවා. වේදිකාව පිටිපස්සේ වැඩ භාරව හිටියේ මමනේ. තේ හදනවා. කන්න දෙනවා. ඒවා ලේසි නෑ. මම ළමයින්වත් අරගෙන ගිහිල්ලා ඒවා කළා. සතුටින් තමයි ඒවා කළේ.

බැඳලා කොහේද හිටියේ?
අපිට කියලා ඉන්න තැනක් නෑ. කුලියටම තමයි හිටියේ.

සුගත් අයියා තාත්තා කෙනෙක් විදියට කොහොමද?
අපෝ ළමයින්ට හරිම ආදරෙයි. කවදාවත් ගහලා බැනලා නෑ. ළමයි හතරක්නේ. ළමයි කරේ තියාගෙන තමයි වැඩිපුර ලියන්නේ. සෑහෙන වෙලාවක් ඔහේ කරේ තියාගෙන ලියනවා. කොච්චර අමාරු වුණත් බහින්න කියන්නේ නෑ. එයා තමයි ළමයින්ගේ රෙදි හේදුවේ. ළමයින්ගේ නැප්කින් හෝදන කොට එයාට අදහස් එනවා කියලා තමයි එයා හැමදාම කියන්නේ. ගෙදර වැඩටත් නිතර උදව් වෙනවා.

ශීලා අක්කා එක්ක රණ්ඩු වෙලා නැද්ද?
මොකද රණ්ඩු නැත්තෙ? පවුල් වුණාම ඕනෑ තරම් රණ්ඩු තියෙනවානේ. ඇයි ඉතින් බොන එකමනේ වැඬේ. බීල බීලා රෑ පාන්දර 2,3යි ගෙදර එනකොට. ඉතින් රණ්ඩු වෙන්නේ නැද්ද? මම රණ්ඩු වෙනවා.

සුගත් අයියා සැර මනුස්සයෙක්ද?
අපෝ නෑ. මම සැරයිනේ. (හිනා) එයා හරි අහිංසකයි. බීලා බීලා පාන්දර එනකොට මාව සනසන්න ආප්ප, කොත්තු, කෑම ගොඩාක් ගේනවා. මේ දෙකට තුනට ඕවා කන්න පුළුවන්ද? සාරි, ඇඳුම් එහෙමත් ගෙනාවා. ඉතින් මම රණ්ඩු.

ඇයි ළමයින්ට ද සිල්වා නොදැම්මේ?
එයා කැමති වුණේ නෑ. එයාගෙ නමට ගලප්පත්තිගේ කියලා කෑල්ලකුත් තියෙනවානේ. පර නම් ඕනෑ නෑ කියලා ළමයින්ට ගලප්පත්ති දැම්මා.

මට අහන්න බැරිවුණා. රස්සාවක් කළේ නැද්ද?
ඇයි ගෙදරින් අපි බඳිනවාට විරුද්ධනේ. වයසට මුලින් විරුද්ධ වුණත් අපි අතඇරියේ නැහැනේ. ඊළඟට කිව්වා රස්සාවක් නැතිව නම් බඳින්න දෙන්නේ නෑ කියලා. මාව බඳින්න ඕනෑ නිසා ගුවන් විදුලියේ රස්සාවට ගියා.

සුගත් අයියා ධනවත් ජීවිතයක් ගෙවන්න ආස කළේ නැද්ද?
අනේ නෑ. කාර් එකක් ගන්න එක ගැන කතා නොකර ඉමුකෝ. මොකද ෆ්‍රිජ් එකක්වත් ගන්න කැමති නැහැනේ. අපිට හොඳට කන්න, අඳින්න, රත්තරන් එහෙම අරගෙන දුන්නා. ඒ වුණාට ඊට එහා ගෙයක්, වාහන, ඒ ගැන කිසිම හිතීමක් නෑ. කුලියට ඉඳලා ඇතිවෙලා බැරිම තැන මමම තමයි කිව්වේ ආණ්ඩුවෙන් ගෙයක් ඉල්ලගන්න කියලා. බොහෝම අමාරුවෙන් තල්ලු කරලා ඇරියා. ඒ ගිහින් තමයි ප්‍රේමදාස මහත්තයාගෙන් ඉන්න තැනක් ගත්තේ. ඒ කළාමයි. කිසිම දේකට මැදිහත් වෙන්නේ නෑ. මමමයි සේරම කරන්නේ.

ඒ කිව්වේ?
ළමයි ඉස්කෝලේ දාන එකවත් කළේ නැහැනේ. මම දුවලා පැනලා තමයි ළමයින්ව පාසල්වලට දාගත්තේ. එයා කිසිම දේකට කාටවත් කතා කරන්න කැමති නැහැ. පොත්පත් මුද්‍රණය කරන්න දෙන එක පවා මම කළේ. එයා මම ගිහින් එනකම් මේ සැටියට වෙලා ඇලවෙලා ඉන්නවා. ගෙදර කවුරුත් නැත්නම් ලියන්නේවත් නෑ. කවුරුහරි ඉන්න ඕනෑ. මම කොහේ හරි ගියොත් කීයට හරි එනකම් සැටියේ තමයි.

කිහිප පාරක්ම රස්සාව නැති වුණා නේද?
ඔව්! ඉන්ටර්ඩික්ට් කළා කිහිප පාරක්ම. ඇවිල්ලා කියනවා ශීලා වැඩ නෑ කාලයක් කියලා. ඒ කාලවල සෑහෙන දුක් වින්දා. යාළුවෝ තමයි උදව් කළේ. යාළුවන්ගේ ගෙවල්වල හිටියේ.
සුගත් අයියාට කැමති ගැහැනු එහෙම ඉන්න ඇති.
ඕනෑ තරම් හිටියා. මම ඒවා ගණන් ගත්තේ නෑ. හැබැයි බය නැතිව ගැහැනු ළමයෙක් වුණත් දාලා යන්න පුළුවන්. ඒ විශ්වාසය තියෙනවා.

ශීලා අක්කාගේ හිත වෙන තැන්වලට ගියේ නැද්ද?
ගියේ නැහැ කියන්න බැහැනේ. ගියා. මම වැරදි කළා නැතිව නෙමෙයිනේ. ඒත් කවදාවත් වචනයක්වත් කියලා නෑ.

පස්සේ කාලේ බීම අඩු වුණාද?
රෑ එළිවෙනකම් බොන එක දුව ලොකු ළමයෙක් වුණාට පස්සේ නැවතුණා. දුව කියලා. ඊළඟට ගෙදර ගෙනල්ලා තමයි කට්ටිය බොන්නේ. මම තමයි බයිට් හදන්නේ. දවසට දහය විස්ස ගෙදර. එයාට හොඳ රහට කන්න ඕනෑ. ලියන කොට නිතර නිතර තේ ඕනෑ. මම ඒවා කළා.

ගෙදර ඉන්න කොට කියවන ලියන එකමද වැඬේ?
අපෝ නෑ. ටීවී බලනවා. රේඩියෝ අහනවා. ගෙදර වැඩ කරනවා. ළමයින්ගේ වැඩ කරනවා. ඕමි ගහනවා. ඒ ඔක්කොම අතරේ තමයි ඒ වැඩ කරන්නේ.

ශීලා අක්කා ගැන ලියලා නැද්ද?
ඕනෑ තරම් ලියලා තියෙනවා. දන්න කට්ටිය දන්නවා. මම ගැන තමයි ලියලා තියෙන්නේ කියලා.

ළමයින්ට ඉගෙනගන්න බලකළේ නැද්ද?
අපෝ නැ. නිතරම කියන්නේ තමන් මහන්සි වෙලා යන්න ඕනෑ කියලා. ළමයින්ව කලාවට යොමුකරන්නටත් උනන්දු වුණේ නෑ. ඒ අයට පුළුවන් නම් කරයි කියනවා. ලොකු පුතා මේකප් කළා කාලයක්. ඒකට නම් අකමැති වුණා. පස්සේ ඒක නැවැත්තුවා.

බිව්වාම යාළුවොත් එක්ක රණ්ඩු වෙන්නේ නැද්ද?
අපෝ රණ්ඩු ඉවරයක් නෑ. ඒ ඔය නාට්‍ය ගැන දේශපාලනය ගැනනේ. ඒවා නම් කෙළවරක් නෑ. ගහ මරා ගන්නේ නෑ. එයාලාගේ විෂයන් තමයි.

ඔයාට නිදහස දීලා තිබුණාද?
ඔව්! ඕනෑ තැනක යන්න පුළුවන්. ෆිල්ම් බලන්න පවා මම තනියම යන්නේ. එයා එන්නේ නෑ. ඕනෑ තැනක ගිහින් එන්න මම ටිකක් නිදාගන්නම් කියනවා. පන්සල් යමු කිව්වොත් එනවා. ඒවාට ඇලිලා නෑ. අපි යනවාට මුකුත් කියන්නේත් නෑ.

සුගත් අයියා ගැන අනෙක් අය දෙන විචාර පැත්තකින් තිබ්බොත් ඔයාට එයාව දැනුණේ කොහොමද?
අනේ පුංචි ළමයෙක් වගේ.අද සුගත් අයියාට වටිනාකමක් තියෙනවාද?පරණ අය දන්නවා. දැන් ඉන්න අය දන්නෙ නැහැනේ. මොනවා කරන්නද නේද? විශ්වවිද්‍යාලවල අයත් දන්නේ නැහැනේ.

සුගත් අයියාගේ මතකය ගිලිහෙන්නට කලින් ශීලා අක්කාට මොනවාද කිව්වේ?
එයා නිතරම කිව්වේ ශීලා කවදා හරි මම නැති වුණත් ශීලට ජීවත් වෙන්න මගේ පොත් ටික තියෙනවා. ඒ නිසා බයවෙන්න එපා. ඒ ටිකෙන් ජීවත් වෙන්න කියලායි.

සුගත් අයියා ලියපු හැමදේම වගේ කියවලා තියෙනවාද?
හැමදේම නෑ. මට තේරෙන ඒවා කියවලා තියෙනවා.■