රාවය

පහුගිය කාලේ එහෙම ඇහැරුණා – සිනමාවේදී අශෝක හඳගම

පහුගිය කාලේ එහෙම ඇහැරුණා – සිනමාවේදී අශෝක හඳගම

ටිරන් කුමාර බංගගමආරච්චි 

වාසගමෙන්ම කතාව පටන් ගනිමුද?
මගේ වාසගම තියෙන්නේ හඳගම රාළලාගේ කියලායි. ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හඳගම රාළලා කළ වික්‍රම කතා තියෙනවා. ඒවා වෙනම දේවල්, කොහොම වුණත් අද ලංකාව පුරාම විසිරිලා ඉන්න හඳගම රාළලාගේ මුදුන් මුල් කෑගල්ලේ කියලා තමයි කියන්නේ.

හඳගමගේ තාත්තා මොනවාද කළේ?
තාත්තා වැඩ කළේ ගොඩනැගිලි දෙපාර්ත මේන්තුවේ. එයා ඉදිකිරීම් පරීක්‍ෂකවරයෙක්. හැබැයි තාත්තාගේ තාත්තා වෙද මහත්තයෙක්. ඒ වගේම ගොවියෙක්. අනෙක් අතට වඩු බාස් කෙනෙක්. සීයා කියන්නේ විවිධ දක්‍ෂතා තිබුණ චරිතයක්. එයා ඒ කාලේ කුඹුරේ නාට්‍ය පෙන්නලාත් තියෙනවා. පුංචි කාලේ අහුමුලුවල තිබිලා සීයා ලියූ අත්පිටපත් මට ලැබිලා තියෙනවා. ඒ කාලේ මට නාට්‍ය ගැන උනන්දුවක් නෑ. ඒ නිසා ඒවා බැලුවේ නෑ.

හැත්තෑ එකේ කැරැල්ල මතකද?
71 කැරැල්ල ආවාම අපි කෑගල්ල දාලා අනුරාධපුර පදිංචියට ගියා. මොකද සුජාතා හඳගම කියන්නේ ප්‍රබල සාමාජිකාවක්. එයා මගේ අක්කා කෙනෙක් වෙන්නේ. ඒ වුණාට මට වඩා ගොඩක් වයසයි. එයා මැරුණා. තාත්තා අපිවත් අරගෙන අනුරාධපුර ගිහිල්ලා අවුරුදු හතරක් එහේ හිටියා. එහේදී මල්ලිට මැලේරියාව හැදුණා. ඒත් එක්කම ආයේ කෑගල්ලටම ආවා.

හඳගම හිතන්නේ කලාව ඔබට දායාද වෙන්නේ සීයා නිසා කියලාද?
මගේ තාත්තාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. මගේ මුල් මාධ්‍යයත් චිත්‍රකලාව. මට චිත්‍ර ඇඳීමේ හැකියාව ලැබෙන්න ඇත්තේ තාත්තාගෙන්. සීයා නාට්‍ය කරනවා මම දැකලා නැහැ. හැබැයි තාත්තා ඒ ගැන කියනවා අහලා තියෙනවා. සීයා බීලා ගමට ඇහෙන්න සිංදු කියනවා මට මතකයි. ඒ වගේම තාත්තාගේ අයියා කෙනෙක් හිටියා, එයාම රා මදිනවා. ගහට නැඟලා ගහේ ඉඳලම බීලා, ගමටම ඇහෙන්න එයාත් සිංදු කියනවා ගහ මුදුනේ ඉඳලා. සිංදු කියලාම වෙරි බැස්සාට පස්සේ තමයි එයා බහින්නේ. ඉතින් මේ හැම අයම පොඞ්ඩ පොඞ්ඩ හරි මට බලපාන්න ඇති. ඒ වගේම කියන්න ඕනෑ මුල් කාලේ කලාව පැත්තට ලොකු නැඹුරුවක් මගේ තිබුණේත් නැහැ.

නැඹුරුව ඇතිවුණේ කොහොමද?
සමන් බොකලවෙල හින්දා. එයා අපේ පන්තියේ ළමයි අරගෙන පාසලේ නාට්‍යයක් කළා. මගේ පන්ති සගයා මැල්කම් මචාඩෝ තමයි ඒකේ රඟපෑවේ. ඒක තමයි මගේ වේදිකාවේ වැඩමුළුව කිව්වොත් හරි. නාට්‍යයක පළමු වචනය ඇහෙනකොට නාට්‍යය යන ලය දැනෙනවා. ඒක කියලා දුන්නේ බොකලවෙල සර්. ඒක හරියටම ඒත්තු ගන්වන්න සර්ට ලොකු හැකියාවක් තිබුණා. එදා ඒ නාට්‍යයෙන් ලබපු දේ තමයි මේ ගමනට ලැබුණු ලොකුම අත්වැල, කොහොම වුණත් මම ඒ නාට්‍යයට සම්බන්ධ වුණේ මට චිත්‍ර අඳින්න පුළුවන් හින්දා සෙට් එක හදන වැඩවලට උදව් කරන්නයි.

මේ කොයි කාලයේද?
සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළ කරන කාලේ. ඒ නිසා නාට්‍ය වැඬේ තදින්ම දැනුණා. මේ වෙනකම් නාට්‍යයක්වත් බලලා තිබුණේ නැහැ. මෙතැනින් තමයි ඒ පෙළඹුමත් ඇති වුණේ. මේ කාලේ මට චිත්‍ර අඳින්න පුළුවන් වගේම කවි ලියන්නත් පුළුවන්. ඒ නිසා මට හිතුණා මටත් නාට්‍යයක් කරන්න පුළුවන්නේ කියලා. ඉතින් මමත් ලිව්වා. උසස් පෙළ පන්තියේදීම. ඒ 1979 දී.

නාට්‍ය වැඬේ හොඳට ගියාද?
අපි ඉස්කොලේ හැටියට කළාට ඒ කාලේ රාජ්‍ය නාට්‍ය උළෙලට යන්නේ මුලින්ම දිස්ත්‍රික් දිනලා ඊළඟට පළාත් දිනලා පිළිවෙළටයි. අපි දිස්ත්‍රික් දින්නා. ඒ දිනලා පළාත් නාට්‍ය තරගයට ගියා. අපි පැරදුණා. කේ.බී. හේරත්ගේ ‘සුදු කරල්’ නාට්‍යය තමයි රාජ්‍ය නාට්‍ය තරගයට ආවේ. ඒක රාජ්‍ය නාට්‍ය උළෙලෙත් ජනාධිපති සම්මාන හිමි කරගත්තා. ඒක ඒ තරම් අපූරු නාට්‍යයක්.

ඇයි නළුවෙක් වෙන්න හිතුවේ නැත්තේ.
පාසල් නාට්‍යයේත් චූටි කෑලි කළා. ඒත් ඒ ගැන ලොකුවට අදහසක් තිබුණේ නැහැ. ලියන එක සහ නළුවන් මෙහෙයවීම කියන එකට මට හුරුවක් තිබුණා. කවදාවත් රඟපාලා නැති කෙනෙකුගේ වුණත් ශරීරය රිලැක්ස් නම් මට එයාගෙන් ගන්න පුළුවන් දේ ගන්න හැකියාව තියෙනවා. කැම්පස් ආවාට පස්සේ ඒ හැකියාව වැඩි වුණා.

තාත්තා කැමති වුණේ ඔබ කවුරු වෙනවාටද?
තාත්තා බිල්ඩින් දෙපාර්තමේන්තුවෙනේ. ඉතින් එයාගේ බොස්ලා වුණේ ඉංජිනේරුවන්. ඉතින් එයාට ඕනෑ වුණේ මාව ඉංජිනේරුවෙක් කරන්න. එහෙමනේ හීන එන්නේ. තාත්තාගේ හීනේ වුණේ තාත්තාගේ බොස් කරන්න. කොහොම හරි මමත් ඒකට උත්සාහ කළා. ඒත් ඉංජිනේරු පිඨයට යන්න බැරිවුණා. එක ලකුණක් අඩුවුණා.

ඒත් ඔබ කැම්පස් එනවානේ.
ඔව්. සයන්ස් කරන්න කැලණියට ආවා. ඒ ඇවිල්ලා නාට්‍ය කළා. කැම්පස් එනකොට අපි කොක්ක ගහනවා. කැම්පස් එකේ එතකොට ජවිපෙට අදාළව තමයි ශිෂ්‍ය සංගම් තිබුණේ. මමත් ඒ කොක්කේ හිටියා. ඒ උණට කරපු නාට්‍යය තමයි ‘අවුරෝරා.’ අපි නාට්‍ය කරනකොට සීනියර්ලා කිව්වා මල්ලී කැම්පස් එකේ නාට්‍ය කරනකොට ගමේ වගේ කරන්න බෑ. මුලින් නාට්‍ය බලලා ඉන්න කියලා. ඒ නිසා නළුවෝ තෝරාගන්නත් අමාරු වුණා. චරිත තුනෙන් දෙකක් හොයාගත්තා. ඒත් මදිනේ. මදි චරිතේ මමම කළා. සුගතපාල ද සිල්වා තමයි විනිශ්චය මණ්ඩලයේ හිටියේ. කොහොම වුණත් අපි තමයි හොඳම නාට්‍යය වුණේ.

ජවිපෙ සතුටු වුණද?
ඒකත් ලස්සන කතාව. මගේ නාට්‍යය හොඳම නාට්‍යය වෙලා සම්මානෙත් ගත්තාට පස්සේ මෙන්න පක්‍ෂයේ සහෝදරයා උපාලි ජයවීර මට කතාකරලා කියනවා, මල්ලි නාට්‍යය හොඳයි වෙඩිල්ලක් වගේ, හැබැයි ආර්ට් නෙමෙයි කියලා. කලාව කියන්නේත් ඕක නෙමෙයි මල්ලි කිව්වා. මාව නිකං ලොක් වුණා. සෑහෙන අය අගයද්දී මෙහෙම කිව්වාම. ඒත් ඒක මට සෑහෙන්න බලපෑවා. ඒක මං වෙනස් වෙන්නත් බලපෑවා. ඒ වගේම මම පෝස්ටර් අඳිනකොට මම ලිව්වා අඳෝනා කියන වචනය. එතැන හිටියා ඩීඑස් ආනන්ද සහෝදරයා. මේ සහෝදරයා මොනාද ඔය ලියන්නේ අඳෝනා කියලා වචන නෑ හරිද, ‘නඟන හඬ’ කියලා ලියන්න. එදා අයට එහෙම අපූරු දැක්මක් තිබුණා. මමත් ඊළඟට වෙනස් විදියට හිතන්න ගත්තා.

තාත්තාගේ හීනයට මොකද වුණේ.
ඒ කාලේ මම ගෙදරින් පිට ඉන්නේ නෑ. දවසක් අර පාසල් නාට්‍ය කරනකොට රෑ වුණා. තාත්තා මාව හොයාගෙන ආවා. එනකොට අපි නාට්‍ය වැඩ. තාත්තා හිතන්න ඇති මම කැමති දේ කියලා. ඉංජිනේරුවා කරන්න ලොකුවටම හිතුවේ නෑ.

88/89 කාලයේ ඔබ ගැලවුණේ කොහොමද?
මම ජවිපෙ නෙමෙයි. ඒත් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළේ ප්‍රධානියෝ වගේ තමයි. ඉතින් අපිවත් හෙව්වා. 87 ඉන්දියන් ආමි එක කැම්පස් එකට එනකොට මම ස්ටාෆ් එකේ වැඩ. ඒ කාලේ අපි පොලිසියට ‘හූ’ කියලා ආමි එකට ෂෝක් කිය කියනේ හිටියේ. කොහොම හරි කැම්පස් එක වට කරනකොට අපේ ඩීන් වික්‍රමසූරිය, එයා තමයි මට රස්සාව දුන්නේත්. එයාම මගෙන් ඇහැව්වා අශෝක මම ඔයාට රස්සාවක් හොයලා දෙන්නද කියලා. මේ කියන්නේ යන්න කියන එකනේ. මම කිව්වා නෑ එපා මමම හොයාගන්නම් කියලා මම අයින් වුණා. ඒ දවස්වල මට ඔහු ගැන ලොකු තරහක් තිබුණා. ඒත් පස්සේ තේරුණා එයා ඒක කළේ මගේම හොඳට කියලා. එදා එයා මාව එළියට නොදාන්න මට කරදරයක් වෙන්න ඉඩ තිබුණා. කොහොම වුණත් ඒ කාලයෙන් මම ගැලවුණා.

ඔබ ජවිපෙ නෙමෙයි කිව්වාට ඒකට ආසක්ත වෙලා ඉඳලා තියෙනවා.
හිටපු විදියට දකින කෙනෙකුට එහෙම පෙනෙනවා. ජවිපෙ කට්ටිය අපේ ගෙදර ගිහිල්ලා හැඳුනුම්පත් එකතු කරන කොට මගේ එක කෝ කියලා අහලා. එතකොට තාත්තා කියලා එයා ඔයාලාගේ කෙනෙක්නේ කියලා. තාත්තාට හොඳටම බැනලා ගිහින්. තාත්තා මට කියනවා, උඹ ඒකේ හිටියාට උඹලාගේ එවුන් උඹගේ හැඳුනුම්පත ඉල්ලුවා කියලා.

කැම්පස් එකේ රස්සාව නැති වුණාම මොකද කළේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට ඉල්ලුම් කරලා තිබුණා. සෑහෙන පිරිසක් ඉල්ලුම් කරලා තිබුණා. කොහොම හරි විභාගයෙන් පාස් වුණේ තුන්දෙනායි. ඉන් එක්කෙනෙක් මම. අනෙක් කෙනා තමයි අද ඒකේ ඉන්න අධ්‍යක්‍ෂ ජනරාල්. ඉතිරි කෙනා අද ජීවතුන් අතර නෑ.

එතකොට ඔබ මහබැංකුවේ රස්සාවට එන්නේ.
ජන හා සංඛ්‍යා ලේඛන එකේ වැඩ කරනකොට මට මාසික පඩිය විදියට හම්බවුණේ රුපියල් 630 යි. ඉතින් ඒ වෙනකොට මම නාට්‍යයක් කරනවා. නාට්‍ය කරලා ජීවත් වෙන්න මේ පඩිය මදි. ඒ විතරක් නෙමෙයි. ඒ ආයතනය ටෙක්නිකල් තැනක්. රසයක් තියෙන තැනකුත් නෙමෙයි. මේ වෙනකොට සෙන්ට්‍රල් බෑන්ක් එකේ තමයි නාට්‍යකරුවන් ගීත රචකයන් විවිධ කලාවන්ට යොමුවුණ වැඩිම පිරිසක් හිටියේ. මේ නිසා විශ්වවිiාලය ඇරුණු කොට මම ආසම වෙච්ච අනෙක් තැන සෙන්ට්‍රල් බෑන්ක් එක. මට ගැළපෙන තැන එතැන කියලායි මට හිතුණේ. ඉතින් මම ඒ වෙනකොට ‘මාඝාත’ එහෙම කරලා හිටියේ. විජේවීරත් මැරිලා ලොකු හිස්කමකුත් තිබුණ කාලයක්. මේ කාලේ සෙන්ට්‍රල් බෑන්ක් එකට විභාගයක් තිබ්බා. මම ඒකට ලිව්වා. පාස් වුණා.

කැමති රැකියාව ලැබුණා.
ඔව්! එතැන ඉඳලා තමයි මගේ ජීවිතය වෙනස්ම විදිහට ගෙවෙන්න ගත්තේ. මම මැත්ස් කරලා හිටපු හින්දා ඉකෝන් ගැන අකුරක්වත් දන්නේ නෑ. සෙන්ට්‍රල් බෑන්ක් එකෙන්ම අපිට ඉකෝන් ඉගැන්නුවා. ඊට පස්සේ ඒකට සෑහෙන ආශාවක් ඇතිවුණා. ඒ අතර නාට්‍ය වැඩත් කළා. ඒ කාලේ මම ‘දුන්හිඳ අද්දර’ කරනවා. ඒ කාලේම මම විභාගය පාස්වෙලා පශ්චාත් උපාධිය කරන්න එංගලන්තයට යන්නත් අවස්ථාව ලබාගෙන හිටියේ. ඒ යන්න ඇප්ලිකේෂන් එක පුරවන්න කියලා අධ්‍යක්‍ෂ කතා කරනකොට මම දුන්හිඳ හිටියේ. මම කිව්වා ලබන අවුරුද්දේවත් බලමු දැන් මට එන්න බෑ මේක දාලා කියලා. ඊළඟට දවස් දෙක තුනකට පස්සේ ආයේ කතා කරලා කිව්වා. ඇප්ලිකේෂන් එක පුරවලා තියෙන්නේ අපේ ගෙදරට ඇවිල්ලා අත්සන් කරලා යන්න කියලා. එතකොටත් බෑ කියන්න බෑනේ. ඇවිත් අත්සන් කළා. ඒ වගේ ලොකු සහායක් මට ලැබුණා. ඒත් අවාසනාව සෙන්ට්‍රල් බෑන්ක් බෝම්බයට ඇප්ලිකේෂන් එක පුරවපු කෙනාත්, මාව දිරිගන්වපු අධ්‍යක්‍ෂවරයාත් මියගියා.

එංගලන්ත ගමන ඔබව වෙනස් කළාද?
ඔව්. අලුතින් හිතන්න මට ලොකු උදව්වක් වුණා. මෙහේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය අපි කතා කරනවා. ඒත් එකේ භාවිතය තියෙන්නේ ඒ රටවල. ඒ ගමන නිසා ජීවිතය දිහා වෙන ඇහැකින් බලන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ තමයි ‘දියකැට පහණ,’ ‘සින්තටික් සිහිනය,’ ‘මේ මගේ සඳයි’ එහෙම කළේ. එංගලන්තයේ ඉඳලා ආවාට පස්සේ වෙනම ගමනක් යන්න හිතුවා.

ප්‍රථම ප්‍රේමය ගමේ කෙනෙක්ද?
ඔව්! අවුරුදු 12 දී විතර පටන් ගත්තේ. මම කැඬේටිං කළා. ක්‍රිකට් ගැහැව්වා. උද්යෝගීමත් ශිෂ්‍යයෙක්. ඔය අතරේ අවුරුදු දොළහේදී විතර ප්‍රේමයක් පටන්ගත්තා. අවුරුදු දහයක් විතර ප්‍රේමය තිබුණා. මම කැම්පස් ආවා. එයාට ඒ අවස්ථාව නැතිවුණා. ඉතින් අපි ටිකක් දුරස් වුණා. එයා එහේ. මම මෙහේ. මේ අතරේ එයා මට කිව්වා, ඔයා කලාවයි විප්ලවයයි තෝරාගන්නවාද, නැත්නම් මාව තෝරාගන්නවාද කියලා හිතන්න කියලා. හිතලා හිතලා මම කලාවයි විප්ලවයයි තෝරාගත්තා.

ඔබගේ ජීවිතයේ විවිධ හැලහැප්පීම් එනවා. ඒවා දැන් දැනෙන්නේ කොහොමද?
අපි ඉන්නේ හීනවල. ඉතින් කවුරු හරි හොලවලා හරි ගහලා හරි කීද්දුවාම තමයි ඇහැරෙන්නේ. අන්න එහෙම ඇහැරිල්ලක් තමයි මට වෙලා තියනේනේ. ඉතින් පහුගිය කාලේ එහෙම ඇහැරුණා. දැන් හොඳ අවදියෙන්.

මොනවා නැති වුණත් මියැදෙන කොට මේ දේ තියෙන්න ඕනෑ කියලා දෙයක් තියෙනවාද?
ජීවිතේ මෙන්න මේ දේවල් තියෙන්න ඕනෑ කියලා දෙයක් මට නැහැ. ඒ වගේම මගේ ජීවිතය සම්බන්ධයෙන් අතෘප්තියකුත් මට නැහැ. ඒත් එක ආශාවක් තියෙනවා. කවදා හරි දවසක මට මැරෙනකොට ගොඩක් නාමකරණ අස්සේ සිනමාකරුවෙක් විදියට මාව හැඳින්වෙනවා නම් මම ආසයි. මම මිය ගිහිල්ලාත් හඳගම කියන සිනමාකරුවා කියලා කියවෙනවා නම් ඒක ලොකු සතුටක්. ඒක යටිහිතේ තියෙන ආශාවක්. ඒක විතරක් ඉතිරි වෙනවාට ආසයි.

ඔබට ඔබව දැන් හමුවෙලාද තියෙන්නේ?
නැහැ. තාම හොයනවා. එහෙම හම්බවුණොත් මට මේ නිර්මාණ කරන්න බැරිවෙයි. මාව මට හමු නොවන තාක් කල් තමයි මම මේවා කරන්නේ.

හිනා වෙනවා එහෙම අඩුයි නේද?
ගොඩාක් අය කියනවා. සමහරු මූණටම කියනවා ටිකක් හිනාවෙලා හිටපන්කෝ කියලා. මේ මගේ මූණේ හැටි වෙන්න ඇති. මූණෙත් නොපෙනුණාට මම හිතෙන් නම් හොඳට හිනාවෙනවා. මම නිතර හිත ඇතුළෙත් හිනාවෙන මිනිහෙක්.

මව්පියන්ට දැන් ඔබ වීරයෙක්ද?
ඒ අයට අදාළම නෑ. අපේ පුතා මෙහෙමයි කියලා ඒ අය කියවන්නේත් නෑ. පොඩි කතාවක් කියන්නම්කෝ. සෙන්ට්‍රල් බෝම්බය පිපුරුණාම ගමේ අය අපේ ගෙදරට පිරිලා. මල්ලිලාත් ලොකු අයියා ඉන්නවා කියලා හූල්ලලා. අර මිනිස්සු කලබලවෙලා ඉන්න අස්සේ අපේ අම්මා කියනවාලු ‘එයාට මුකුත් වෙන්නේ නෑ’ කියලා. මට කතා කළේත් නැ. ඒ අය එහෙමයි. හරිම සරලයි.

ඔබ කාලයකට ජවිපෙ. තව කාලයකට එක්ස් කණ්ඩායමේ. ඔබගේ දේශපාලනය මොකක්ද?
මම ඉන්න තැන මම ඉන්නවා. එක එක කාලවල එක එක අය මම ඉන්න තැන හරහා යනවා. මම ජවිපෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවා. ඒ වගේම එක්ස් කණ්ඩායමෙන් ඉගෙනගත්ත දේවලුත් තියෙනවා. හැබැයි මම ඒ තැන්වල නතර වෙන්නේ නෑ. නතර වෙලා ඉන්න කොට ඒවා මම ඉන්න තැනින් යනවා.■