රාවය

චක්‍ර අරපරිස්සමෙන් වචන අමුණා කරන ලද වියමනක්

චක්‍ර අරපරිස්සමෙන් වචන අමුණා කරන ලද වියමනක්

සීතා රංජනී

පියා කවුදැයි සො ය න පුතෙකු පිළිබඳ මේ ප්‍රබන්ධය, තම බාල පුතු අනාගතයේ දවසක ලේඛකයකු වනු ඇතැයි සිහිනෙන්වත් නොසිතූ, මා දස හැවිරිදි වියේදී මෙලොව හැර ගිය මගේ තාත්තා කේ. වලෙන්ති සිල්වා නාමයට පුදමි.” සම්මානනීය ලේඛක ජයතිලක කම්මැල්ලවීර තම අලුත්ම නවකතාව තම පියාට පුද කරමින්, රුවන් නම් දරුවෙකු ඔහුගේ සංකේතීය පියා කවුදැයි දැන ගැනීමට පෙරුම් පුරන ආකාරය සහ ඒ හේතු කොටගෙන ඔහු මුහුණ දෙන සිදුවීම් පිළිබඳ ප්‍රබන්ධයක් පාඨක අප වෙත ඉදිරිපත් කර ඇත. සිදුවීම් 62ක්, අතීත කතාවක් සහිතව ඉදිරිපත් කර ඇති ඔහුගේ එම අලුත්ම සාහිත්‍ය කෘතිය ‘චක්‍ර’ නම් වෙයි.

දරුවෙක් (ගැහැනු හෝ පිරිමි) තම පියා සොයා ගැනීමට උනන්දු වීම අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් පියා කවුදැයි නොදන්නා දරුවෙකුට පියා කවුදැයි දැනගැනීමට ඇති ආශාව, අයිතිය සුළුපටු නොවේ. මව සම්බන්ධයෙන් වුව එය එලෙසම වුවත් පියා සම්බන්ධයෙන් එය බලපෑමක් බවට පත්වන්නේ සුජාත අවජාත වශයෙන් සමාජීය කොන්කිරීමකට දරුවන්ට මුහුණ දෙන්නට සිදුවන බැවිනි. එවැනි ආකල්පමය සමාජයක දරුවන්ට විඳවීමට සිදුවන බැවිනි. රුවන් ද අධ්‍යාපනය කඩාකප්පල් කරගත් දරුවකු බවට පත්වන්නේ එම ආකල්පමය සමාජයේ ප්‍රහාරයන් නිසාය. දරුවකු ලෙස තරුණයකුගේ ලිංගික ගොදුරක් බවට පත්වන්නේ පියා ගැන දැන ගැනීමට ඔහුට ඇති ඕනෑකම අවියක් කර ගත් නිසාය. ගම හැර දා යන්නට හේතුවූයේ මාමාගේ පුතාගේ ප්‍රකාශය යට තිබූ, පියා නොමැතිකම නිසා අසරණ වී ඇති බවට ඇති හැඟවුම නිසාය.

චක්‍ර නවකතාවේ රුවන්ගේ සංකේතීය පියා ගැන මව හැර කිසිවෙක්ම නොදනී. ගැබ් ගත් ඇයගෙන් ඇය ගැබ් ගැන්වූ පුද්ගලයා ගැන කිසිවක්ම දැනගැනීමට ඒ වන විට ඇයට සිටි එකම ඥාතියා වන සහෝදරයාටවත් නොහැකි වේ. ඇසුරු කළ හෝ පෙම් කළ හෝ කිසිවෙක් ගැන කිසිවෙක් ම නොදනී. ඒ ගැන දැනගැනීමට ඇති එකම පුද්ගලයා රුවන්ගේ මව වන පියවතී ම වන අතර ඇය සම්පූර්ණයෙන්ම ඒ ගැන ගොලුවත රකී. එය අහඹු අවස්ථාවක, පන්සලක විෂ්ණු දේව කුටියක් තුළ දී, ඇයගේ ම පෙළඹවීම මත, දින දෙකකින් මහණවීමට සූදානමින් සිටි ආගන්තුක තරුණයකු හා සිදුවූවක් බව හෙළිවන්නේ නවකතාව අවසානයට එක් කරන අතීත කතාවකින්ය. නවකතාවේ දී තම සංකේතීය පියා සොයන රුවන්ට පියා ගැන දැනගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ වන විට දියුණු රටක් වූ ඕස්ටේ්‍රලියාවේ ජීවත්වෙමින් සිටියත් පියා කවුදැයි දැනගැනීමේ වුවමනාව අත්හැර නැති රුවන්ට, භාවනානුයෝගී භික්‍ෂුවක ලෙස පියා මුණ ගැසුණත් පිය පුතු දෙදෙනා ම ඒ ගැන නොදනිති. රුවන් නමැති තරුණයාගේ ජීවිතයේ අරමුණ පියා ගැන දැනගැනීම වුවත්, එම අරමුණ ඉටු නොවූ සාමාන්‍ය තරුණයෙකු ලෙස ඉදිරියට යන ජීවිතයක් සහිතව නවකතාව අවසන් වේ. පිය පුතු දෙදෙනා ආගන්තුකයන් ලෙස හමුවී ඇති බව දැනගන්නේ පොත කියවන පාඨකයන් මිස නවකතාවේ චරිත විසින් නොවේ. එහෙයින් චක්‍ර නවකතාව සාම්ප්‍රදායික අවසානයක් සටහන් නොකරයි.

පියා නොමැතිකම සහ පියා කවුදැයි නොදන්නාකම නිසා රුවන් දරුවකු ලෙස අවමානයට ලක්වෙයි. රුවන්ගේ අත්දැකීම් චක්‍රය එපමණක් නොවේ. තමාට විඳින්නට සිදුවූ ලිංගික හිරිහැරයට පළිගැනීමක් ලෙස එය සිදු කළ තරුණයාගේ නැගණියට ඒ දේ කරන්නට යන ඔහුට එම නැගණිය (රූපා) තරුණියක ලෙස මුණගැසුණු පසු ඈ පිළිබඳව හැඟීමක් ඇති වේ. ඇය ගැන සිතන ඔහුට වසන්ත අයියා සමඟ පැලක පැදුරක සිටින ඇය දකින්නට ලැබේ. එම සිදුවීම නිසා ගම හැර යන්නට සිදුවේ. දරුවෙකු ලෙස ඥාතියෙකුගේ කඩයක වැඩට උදව්වට යන ඔහුට ජයන්ති අක්කාගේ පියවුරු පහස විඳින්නට ලැබේ. එය දකින ජයන්ති අක්කාගේ මව නිසා ඔහුට කඩයේ වැඩ කිරීම අහිමි වේ. එම පියවුරු පිළිබඳ ආසාවේ චක්‍රය කොතරම් ද යත්, ඔහු නැරඹූ චිත්‍රපටයක නිළියකගේ පියවුරු දකින්නට හැකි ඉරියව්ව සහිත දර්ශනය බැලීම වෙනුවෙන් ඔහු එම චිත්‍රපටය ශාලාවෙන් ගැලවෙන තුරු ම එය නරඹයි. බෝට්ටුවකින් ඕස්ටේ්‍රලියාව බලා යන මාරාන්තික ගමනේදී, දකින මහත ගැහැනියගේ පියවුරු ගැන හැඟීමක් ඇතිවන ඔහුට ඕස්ටේ්‍රලියාවේ දී ලිංගික සේවා සපයන්නියක ලෙස ඇයගෙන් ම සේවා ලබා ගැනීමට හැකිවෙයි.

චක්‍රයක් සේ උඩ යට යන දේශපාලන සංසිද්ධීන් සහ දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා, ජනවාර්ගික ගැටුම්, අවිචාරවත් මිනිස් ඝාතන, භීෂණය රුවන්ගේ අත්දැකීම් පරාසයට ගැළපෙන ප්‍රමාණයට ගෙන එයට ප්‍රමුඛස්ථානයක් දීම මෙම නවකතාවේ විශේෂත්වයක් ලෙස කැපීපෙනේ. ගම හැරදා රුවන් ගොඩබසින්නේ මීගමුවට ය. එහිදී ඔහුට මුණගැසෙන්නේ ප්‍රචණ්ඩත්වයට එරෙහි, මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන වාමාංශිකයෙකු වන මෙන්ඩිස් සහෝදරයා ය. කිතුනුවන් වන එම පවුලේ දරුවකු සේ සැලකුම් ලබන ඔහුට පල්ලියේ බොනිපස් පියතුමාගේ ආදරය, කරුණාව යටතේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමටද අවස්ථාව ලැබෙයි. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාකරන මෙන්ඩිස් සහෝදරයාගේ මනුස්සකමට ආසක්ත වන රුවන්ට 88/89 භීෂණ සමයේ අවිචාරවත් තරුණයන්ගේ ඝාතන දේශපාලනය නිසා රට හැරයෑමට සිදුවන්නේ මෙන්ඩිස් සහෝදරයා එම අවිචාරයේ ගොදුරක් වූ පසුය.

කතුවරයා තම නවකතාවේ මුඛ්‍ය චරිතය වන රුවන් මාරාන්තික මුහුදු ගමනකින් ඕස්ටේ්‍රලියාව බලා පිටත් කර හැරියත්, එකල මිනිසුන්ට මුහුණ දෙන්නට සිදු වූ මරණ වරෙන්තු අනුව සහ නවකතාවේ හැසිරීම අනුව රුවන් එතරම් ප්‍රබල චරිතයක් බව දැනෙන්නේ නැත. ඔහු මිනිස්කම වෙනුවෙන් පෙනීසිටි මනුස්සයකුගේ සෙවණේ ජීවත් වූ තරුණයෙකි. මෙන්ඩිස් සහෝදරයාගේ මළගමේ කටයුතු වරෙන්තුකරුවන්ගේ අණ පරිදි නොකර ගරු කටයුතු ලෙස සිදුකිරීමට දායක වීම ද එකල ජීවත් වීම අහිමිවීමට හේතුවක් වන තරමේ අවිචාරයක් තිබුණ ද රුවන්ගේ චරිතයට එවන් අනතුරක අවදානමක් තිබූ බවට හැසිරීමක් නවකතාව තුළින් විද්‍යමාන වන බවක් දැනෙන්නේ නැත. මිනිසුන් වෙනුවෙන් හෝ සමාජයේ යහපත වෙනුවෙන් දායක වූ කිසිවක් නැතිව එවැනි මිනිසකුගේ සෙවණේ සිටි පමණින් ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට හැකිවීම, තමන් දන්නා ගම තුළ අවජාතකයෙකු යැයි කොන්කිරීමට ලක් වූ රුවන්ගේ වාසනාවක් ලෙස හැඟීයෑම වැළැක්විය නොහැකිය.

මෙවැනි වපසරියක් වටා ප්‍රබන්ධ වී ඇති චක්‍ර නවකතාව, ජයතිලක කම්මැල්ලවීරගේ සුගම රචනා රීතිය නිසා උනන්දුවෙන් කියවීමට පහසුය. අරපරිස්සමෙන් වචන තෝරාගෙන කරන ඔහුගේ සුපුරුදු වියමන නිසා කුතුහලයෙන් යුතුව කියවා ගෙන යා හැකිය. සරල වුවත් නිශ්චිත සමාජ දේශපාලනික වපසරියක් පිළිබඳව කතුවරයාගේ ගැඹුරු කියවීමක් ප්‍රබන්ධය ගෙතීමට ඉවහල් වී ඇත. ඒ සියල්ලටමත් වඩා මනුෂ්‍යත්වය උත්කර්ෂයට නැංවීමේ උත්තුංග ගුණය කතුවරයාගේ මෙම කෘතියෙන් ද නොඅඩුව ප්‍රකාශ වේ.

ගමේ පන්සලේ නායක හාමුදුරුවන් මෙන්ම, මීගමුවේ බොනිපස් පියතුමා ඇතුළු පියවරුන්ගේ වටිනාකමේ අඩුවැඩියක් නැත. ගමේ මිනිසුන් මෙන්ම මීගමුවේ ධීවර ප්‍රජාව ඇතුළු සියල්ලෝ ඒ මිනිස්කමේ සම කුලකයකට අයත් වෙති. රුවන්ගේ ඇසුරට ලැබෙන ස්ත්‍රී පුරුෂ සියල්ලන්ටම, තමාගේම වූ අභිමානයක් ඇත. මෙහිදී මිනිස්කමේ මහිමය රඟදැක්වෙන්නේ රුවන්ගේ මීගමුවේ ජීවිත වපසරියේය. එහිදී රුවන්ගේ ජීවිතයට බද්ධවන අය කිතුනු දහමට සම්බන්ධ අසල්වැසියන් මෙන්ම පූජකවරුන්ය. රුවන්ට ඕස්ටේ්‍රලියාවට පලා යෑමට සහාය වන්නේත් ඔවුන්ය. එපමණක් නොව ගමේ තමාගේ මාමාගේ පුතා අතුරුදහන් වූ විට රුවන් රටේ නැතිව සිටියදීත්, ඒ ගැන සෙවීමට උත්සාහ කරන්නේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන පියතුමාය. මිනිස්කමට වෙනසක් කරන්නේ නම් ප්‍රබන්ධයක් බැවින් මෙහි දී අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන භික්‍ෂු චරිතයක් ඉබේම ඇතුළුවන්නට ඉඩ තිබිණ. එහෙත්, සත්‍ය ජීවිත අත්දැකීම්වලින් ද පැහැදිලි යථාර්ථය අපගේ කතුවරයා අතින් ගිලිහෙන්නේ නැත. රුවන්ගේ මව වන පියවතීගේ පෙළඹවීම මත විෂ්ණු දේවාලයක් තුළදී ඇය සමඟ ලිංගිකව හැසිරෙන කඩවසම් තරුණයා මහණ වීම සහ භාවනායෝගීව විදෙස්ගතව වාසය කිරීම ඔහු අතින් ගර්හාවට ලක්වන්නේ නැත. එම ලිංගික එක්වීම අවශ්‍ය වූ පියවතී නම් තරුණිය ඔහුගෙන් නින්දාවට ලක්වන්නේ නැත. ඒවා මිනිසුන්ගේ නොවැළැක්විය හැකි අවශ්‍යතා සහ හැඟීම් නිසා ඒ මිනිස්කමට ඔහුගෙන් පලුද්දක් වන්නේ නැත. ඔහුගේ විවේචනයට ලක්වන්නේ මිනිස්කමට නොහොබිනා ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන්නන්ය. චක්‍ර, මඟ නොහැර කියවිය යුතු කෘතියක් වන්නේ එහෙයිනි.■