රාවය

ධර්මසිරි,තුන්වෙනි යාමය සහ සිනමා සංරක්ෂණය

ධර්මසිරි,තුන්වෙනි යාමය සහ සිනමා සංරක්ෂණය

කේ. සංජීව

සිනමා සංරක්ෂණය ගැන නැවත කතාබහක් ආරම්භ වෙලා. ඒ ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වෙනි යාමය සිනමාපටයේ, ධර්මසිරි බණ්ඩාරනායක සතු පටල පිටපත විනාශවී යාමත් සමඟ. මේ සමඟ අනාවරණය වී තිබෙනවා සරසවි චිත්‍රාගාරය තුළ තිබූ තුන්වෙනි යාමයේ පිටපතත් විනාශවී ඇති බව. රටක පැරණි සිනමා කෘතීන් කියන්නේ ඒ රටේ ඉතිහාසය. එවැනි තත්ත්වයක් යටතේ මෙලෙස විනාශවන්නේ රටේ ඉතිහාසය. මේ තත්ත්වයට ප්‍රධානම හේතුව සිනමා කෘතීන් සංරක්ෂණය සඳහා සංරක්ෂණාගාරයක් රට තුළ නොපැවතීම. එහෙත් සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව ගැන ආචාර්ය ලෙස්ටර් පීරිස් මහතා මුලින්ම කතාකරන්නේ 1957 වසරේ ඔබ්සර්වර් පුවත්පතේ ‘ආර්ට්’ සඟරාව සඳහා ‘ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයක් ඕනෑ‘ යන මැයෙන් ලිපියක් ලියමින්. එදා මෙදා තුර මේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවත ලංකාව තුළ ඇතිවෙමින් නැතිවෙමින් පැවතිලා තිබෙනවා. එහෙත් අඩසියවසකට පසුව වුවත් තවමත් අපට නිසි ලෙස දුවන සංරක්ෂණාගාරයක් නැහැ. මේ ඒ පිළිබඳව අදහස් දක්වන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක.
මුලින්ම අපි තුන්වෙනියාමය ගැන කතාකළොත්..

මේකේ පිටපත ලියලා මම ඒක චිත්‍රපට සංස්ථාවට දැම්මාම ඒක “ඒ” ශ්‍රේණියේ තිරපිටපතක් විදිහට තේරුණා. ඒ කාලේ තිර පිටපතකට “ඒ” ශ්‍රේණියේ සහතිකයක් ලැබුණාම ඒකේ වැය ඇස්තමේන්තුව බලලා සංස්ථාවෙන් ඒකට මහජන බැංකුව හරහා ණය මුදලක් දෙනවා අධ්‍යක්ෂකවරයාට. ඒ ක්‍රමය යටතේ නිෂ්පාදනය කළ මුල්ම චිත්‍රපටය තමයි වසන්ත ඔබේසේකරගේ “පළඟැටියෝ. දෙවැනියට ටයිටස් තොටවත්තගේ ‘හඳයා’. තුන්වෙනියට ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ. ඊළඟට තමයි ‘තුන්වෙනි යාමය’ නිෂ්පාදනය කරන්න ණයක් ලැබෙන්නේ. අපි පස්දෙනාම මේ චිත්‍රපටවලින් එන ආදායමෙන් ඒ ණය සම්පූර්ණ පොලියත් එක්කම ගෙවලා තියෙනවා. මම මේ චිත්‍රපටය කළේ 1980 අවුරුද්දේ. ප්‍රදර්ශනය කළේ 1983. ඒ වෙනකොට මම ‘හංස විලක්’ කරලා මට යම් ප්‍රේක්ෂකාගාරයක් ගොඩනැගිලා තිබුණා. එනිසා යම් ආදායමක් ලබලා ඒ ණය මුදල ගෙවන්න පුළුවන් වුණා.

ඔබ නිර්මාණය කළ චිත්‍රපට අතරේ ‘තුන්වෙනි යාමය’ ඔබ ස්ථානගත කරන්නේ කොතැනද?
හංස විලක්” ලාංකේය සිනමාවේ හැරවුමක් කියලා කියනවා. ඒක කියන්නේ මම නෙවෙයි ප්‍රේක්ෂකයෝ. ඒ කාලේ විචාරකයොත් ඉස්සරහට පැනලා මේ නිර්මාණය ගැන කතාකළේ නැහැ. හැබැයි ඒ කාලේ තරුණ විචාරකයෝ විදිහට හිටිය ගුණසිරි සිල්වා, සුනිල් මිහිඳුකුල වගේ අය මේ චිත්‍රපටයට හොඳටම ගැහුවා. රෙජී සිරිවර්ධන මේ නිර්මාණය දැක්කේ මගසලකුණක් විදියට. තුන්වෙනි යාමය, හංස විලක් චිත්‍රපටයට වැඩිය වෙනස් සිනමාත්මක අභ්‍යාසයක්. ඒ යුගය එක්ක බලනකොටත් ඒක ප්‍රේක්ෂකයන්ට සමීප නැහැ. මොකද ලිංගික බෙලහීනතාව, ඒ නිසා විවාහය දෙදරායාම, එවැනි තත්ත්වයක් තියෙන මිනිසුන්ගේ චිත්ත චෛතසිකයන් ගැන ඒ කාලේ සමාජය මත එතරම් සංවාදයක් තිබුණේ නැහැ. ඒ නිසා තුන්වෙනි යාමය කතාකළ දේ අපේ සමාජයට අලුත් වුණා. අනෙක් පැත්තෙන් තුන්වෙනි යාමය කරන්න ගිහිං මට අකරතැබ්බ ගොඩකට මුහුණ දෙන්න වුණා. මම මුලින්ම ප්‍රධාන නළුවා විදිහට තෝරාගෙන හිටියේ හේමසිරි ලියනගේ. හැබැයි මට චිත්‍රපටය කරන්න වුණේ වසන්ත කොටුවැල්ල එක්ක. ඒක වසන්තගේ පළවෙනි චිත්‍රපටය. ඊළඟට ඉන්දිරා ජෝන්ක්ලස්. කළුදිය දහරට පස්සේ මේක ඉන්දිරාගේ දෙවැනි චිත්‍රපටය. අපි මේ චිත්‍රපටි කළේ අද වගේ ලාභය අරමුණු කරගෙන නෙවෙයි. අපි මේවායින් හම්බ කළ දෙයක් නැහැ. අධ්‍යක්ෂණය, තිර රචනය, රංගනය කියන තුනටම මට ඒ කාලේ ලැබුණේ රුපියල් 25000ක් වගේ මුදලක්.

ඇත්තටම තුන්වෙනි යාමය ඔබ ළඟ තිබුණු පිටපතට මොකද වුණේ?
මම මගේ හැම චිත්‍රපටයකම පිටපතක් ආරක්ෂා කරගෙන හිටියා. ඒක හරි අමාරුවෙන් අව්වට දමමින් රීල් කරකවමින් තමයි කරගෙන ආවේ. ඉතිං ඒ විදිහට ‘තුන්වෙනි යාමය මම ළඟ ආරක්ෂා වෙලා තිබුණා. මම දන්නවා තව පිටපතක් සරසවි චිත්‍රාගාරයේ තිබුණා. ඒ පිටපත සරසවි චිත්‍රාගාරයට ගියේ 1983 කළු ජූලිය වෙලාවේ. විජය චිත්‍රාගාරයට ගිනි තිබ්බාම විජය කුමාරතුංග, ඇලරික් ලයනල් ප්‍රනාන්දු වගේ අය චිත්‍රාගාරයේ තිබුණු සමහර චිත්‍රපටි බේරාගත්තා. එහෙම හම්බවෙච්ච පිටපතක් තමයි ලයනල් සරසවියට දුන්නේ. ඉතිං මේ විදිහට මගේ ළඟ එක පිටපතයි සරසවියේ තව පිටපතකුයි තිබුණා.

ගෝල් ලිටරලි ෆෙස්ටිවල් එකේ තුන්වෙනි යාමය පෙන්නන්න හිතාගෙන ඉන්නවා කියලා තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙක් 2008දී තුන්වෙනි යාමයේ පිටපතක් මගෙන් ඉල්ලුවා. මම ඉතිං මම ළඟ තිබුණු කොපිය දුන්නා. පස්සේ මේ මනුස්සයා මට මේ පිටපත ගෙනත් දුන්නේ නැහැ. දවසක් මට හම්බවෙනවා මේ අධ්‍යක්ෂවරයා. මම ඔහුට කියනවා මල්ලි ඔයා මගේ ෆිල්ම් එක ගෙනත් දුන්නේ නැහැනේ කියලා. මොහු මට කියනවා, මම මගේ ඞ්රයිවර් එක්ක ඇවිත් ඔයාගේ සෙන්ටර් එකට දුන්නානේ කියලා. ඒත් ඉතිං මට හොඳටම විශ්වාසයි මට මේ චිත්‍රපටයේ කොපිය නැවත ලැබුණේ නැහැ කියලා. ඉතිං මේ විදිහට කාලය ගතවුණා. මෙහෙම ඉන්නකොට තමයි කේමදාස මාස්ටර්ගේ දුව ගයාත්‍රී ‘කේමදාස සිනමා දැක්මේ’ මේක පෙන්නන්න ඕනෑ කියලා ඉල්ලන්නේ. මේක මාස්ටර්ගේ සිනමා සංගීතය මූලික කරගත්ත සිනමා උළෙලක්. මාස්ටර් ඊට කලින් ගොළු හදවතේ සිට තුන්වෙනි යාමයට කියලා කැසට් එකකුත් කරලා තිබුණා. මේ ඉල්ලීමත් එක්ක මම සරසවි චිත්‍රාගාරයට ගියා තුන්වෙනි යාමය තියෙනවාද බලන්න. තිබුණා, හැබැයි තාර ගොඩක් විතරයි. එක කෑන් එකක්වත් ගන්න බැහැ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඊළඟට මම මගේ ළඟ තිබිලා අර අධ්‍යක්ෂ මගෙන් අරගෙන ගිය පිටපත සොයන්න පටන්ගත්තා. මම මුලින්ම මරදානේ ඔහුට අයිති සිනමාහලට ගිහිං මගේ චිත්‍රපටය ගැන සිනමාහලේ වැඩකරන අයගෙන් විමසුවා. ඒ සැප්තැම්බර් 30. එතකොට එතැන වැඩකරපු ප්‍රොජෙක්ටර් ඔපරේටර් මට කතා කළා. මනුස්සයා ළඟ ෆිල්ම් ලිස්ට් එකක කොලයක් තිබුණා. ඒකේ ෆිල්ම් 3ක නම් තිබුණා. ඒ අතරේ තුන්වෙනි යාමය රීල් 11යි කියලා ලියලා තිබුණා. ඊට පස්සේ මනුස්සයා කිව්වා මම කලින් වැඩකළේ කොස්වාඩියේ දර්ශන හෝල් එකේ, එතැන මේ ෆිල්ම්ස් ටික තියෙනවා කියලා. මම ඒ වෙලාවෙම කොස්වාඩියට ගියා. ගිහිං එතැන ප්‍රොජෙක්ටර් ඔපරේටර් හම්බවුණා. කන්ට්රෝල් රූම් එකේ හෙව්වා. ඒත් තිබුණේ නැහැ. පස්සේ මම පඩිපෙළ බැහැලා ඇවිත් පඩිපෙළ යට කුහරයේ බැලුවා. එතැන යටින්ම තිබුණේ තුන්වෙනි යාමය. හැබැයි ගන්නම දෙයක් නැහැ තාර ගොඩක් විතරයි. මම අර අධ්‍යක්ෂවරයාට කතාකරලා කිව්වා ඔයා මට ගෙනැල්ලා දුන්නා කියපු තුන්වෙනි යාමය ඔයාගේ ෆිල්ම් හෝල් එකේ තියෙනවා කියලා. ඔහු ඉතිං ඇඬුවා දෙඩුවා. ඒත් ඉතිං තුන්වෙනි යාමය ආයෙත් එන්නේ නැහැ. ඒ නිසා මම ඔහුට කිව්වා කොහොම හරි තුන්වෙනි යාමය පිටපතක් හොයලා දෙන්න කියලා. මනුස්සයා හොයලා දෙන්නම් කිව්වා. කොහොම හොයනවාද කියලා මම නම් දන්නේ නැහැ. නිර්මාණකරුවෙකුට මෙහෙම වෙනවා කියන්නේ හරියට දරුවෙක් අහිමිවෙනවා වගේ විපතක්. දැන් මම පුදුම වේදනාවකින් ඉන්නේ. මේ වාගේ රටක කලාව කිරීමේ කරුමය තමයි අපේ මේ ගෙවන්නේ.

ඇත්තටම සිනමා සංරක්ෂණය කියන දේ වැදගත් වෙන්නේ මෙතැනදී නේද ?
දැන් හිතන්න ලෙස්ටර් මහත්තයා මේක ගැන කතාකරන්නේ කවදා ඉඳලාද? අද වෙනකොට අවුරුදු 50කට වැඩියි. මේ රට අවශ්‍ය නැති දේ වෙනුවෙන් කොච්චර වියදම් කරන රටක්ද? දේශපාලකයෝ රාජ්‍ය මුදල් දිනපතා කොච්චර කොල්ලකනවාද? ඔය එක හොරෙකුට දෙන්න බැරිද මේ යන වියදම. මෙතැන තියෙන ප්‍රශ්නය අපි මේ කලාවේ වටිනාකම දන්නේ නැති එක. අපිට කලාව සංස්කෘතිය ඉතිහාසය මේ මොකුත් ඕනෑ නැහැ. අපිට ඕනෑ කන්න විතරයි. මේක හරිම නරුම සමාජයක්. මේ රට යන්නේ කොතැනටද කියලා කාටවත් කියන්න බැහැ. දැන් ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව සිනමා සංරක්ෂණ වැඩපිළිවෙළක් පටන්ගත්තා. ඒත් දැන් එතැන මොකද වෙන්නේ? දැන් මෙතැන මම දන්න විදිහට ෆිල්ම් 241ක් ගොඩගැහිලා තියෙනවා. සිනමා සංරක්ෂණය කියන්නේ ආවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රාක්ක ටිකක් ගහලා ෆිල්ම් කෑන් ටික තැන්පත් කළා කියලා සංරක්ෂණය වෙන්නේ නැහැ. ෆිල්ම් එකක් ඩීසීපී කරනවා කියන්නේ එක ක්‍රමයක් විතරයි සංරක්ෂණයට තියෙන. දැන් මගේ හංස විලක් ඩීසීපී කරලා තියෙනවා. හැබැයි මේක හොඳම ක්‍රමයත් නෙවෙයි. අනික පටලපටි සංරක්ෂණය කිරීමේ වෙනම ක්‍රමවේදයක් තිබෙනවා. අපි ඉක්මනට එතැනට යන්න ඕනෑ. මොකද මේ නැතිවෙමින් යන්නේ අපේ ඉතිහාසය. සිනමා ඉතිහාසය අස්සේ ඒ මිනිස්සු හෙළපු දහදිය කඳුළු තමයි මෙතැන තිබෙන්නේ. ඉතිං අපි ඒක සංරක්ෂණය කළ යුතු නැද්ද? පතීගේ අහස් ගව්වේ ඉඳලා සොල්දාදු උන්නැහේට එනකම් සංරක්ෂණය කරන්න ඕනෑ. වසන්තගේ චිත්‍රපටි වුණත් එහෙමයි. මේවා ඉක්මනින් සංරක්ෂණය කළේ නැත්නම් විනාස වෙලා යන එක වැඩි ඈතක නැහැ. මට මගේ ෆිල්ම් එක නැතිවුණා. හැබැයි ඒ නිසා ආයෙත් මේ සංවාදය මතුවෙලා තියෙනවා. ඒක ගැන මට තියෙන්නේ සතුටක්. අනික් පැත්තෙන් දැන් සිනමා පාසලකට සහ සංරක්ෂණගාරයකට මුදල් වෙන්වෙලා තියෙනවා. ඒක සතුටක්.

පොදුවේ අද දවසේ කලාවට උදාවෙලා තිබෙන තත්ත්වය ගැන ඔබට තිබෙන අදහස ගැන කතාකළොත්…
කලාව පිළිබඳ අපේ දැක්ම හරිම දුප්පත්. අපිට බැරිද හැම අවුරුද්දකම හොඳ නාට්‍ය 10ක් නිෂ්පාදනය කරන්න දිරිදෙන්න. මතක තියාගන්න හොඳ නාට්‍ය කලාවක් නැති රටක හොඳ සිනමාවක් බිහිවෙන්න විදිහක් නැහැ. අනික කොළඹ සිනමා උළෙල. ඒක නතරවෙලා තිබෙනවා. ඒක තමයි කොළඹ තිබුණ ලොකුම ඉවෙන්ට් එක. මේවා අපි කොහොම හරි ඉදිරියට කරගෙන යන්න ඕනෑ දේවල්. අපි පොඩි උත්සාහයක් ගනිමින් ඉන්නවා ලබන අවුරුද්දේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමයත් එක්ක එකට එකතුවෙලා මේ සිනමා උළෙල කරන්න.■