රාවය

පතිරාජගේ ස්වරූප: නූතනත්වය යටතේ අවශ්‍යතාවට බැඳුණු, නිදහස අහිමි මිනිසාගේ පැවැත්ම විකාරරූපී ද?

පතිරාජගේ ස්වරූප: නූතනත්වය යටතේ අවශ්‍යතාවට බැඳුණු, නිදහස අහිමි මිනිසාගේ පැවැත්ම විකාරරූපී ද?

කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම
ධර්මසේන පතිරාජගේ ‘ස්වරූප’ මානව පැවැත්මේ පැතිකඩ ගණනාවක් අපගේ අවලෝකනයට විවෘත කරන කලාත්මක ලෙස නිමැවුණු චිත්‍රපටයකි. එය මූලිකවම නූතන ධනවාදය යටතේ මිනිසාට උදාකර ඇති පීඩාකාරීත්වය සහ ඉන් ඇති කරන විගලිතභාවය :්කසැබ්එසදබ* පිළිබඳ ය. නූතනත්වය යටතේ මානව පැවැත්මේ කොන්දේසිය අභූත ය, විකාරරූපී ය, යන්න මෙයින් යෝජනා කෙරෙයි. මා දකින පරිදි අවසාන විග්‍රහයේදී, ‘ස්වරූප’ නාභිගතවන්නේ සතෙකු බවට රූපාන්තරණය වීමේ (අ)භාග්‍ය සම්පන්න ඉරණමට මුහුණ පා සිටින කථානායකයා පිළිබඳවත් නොවේ, පවුල කෙරෙහිය, අසමත් නූතන පවුල පිළිබඳ ය. ඒ එකම වර, ‘ස්වරූප’ ආදරය, කරුණාව වැනි මානව වටිනාකම් පිළිබඳ කරුණ ද අප හමුවේ මතු කරයි. එමෙන්ම, යථාව යනු කුමක්ද? අභූත, අද්භූතජනක යනු කුමක්ද? අභූතරූපී විකාරරූපී බව යථාව නොවන, යථාවෙන් බැහැර දෙයක්ද? යන ප්‍රශ්න අප හමුවේ නඟයි. තවද, ඒ යථාව පිළිබඳ අපගේ හැඟීම විභාග කිරීමට ඇරියුම් කරයි.

ශ්‍රමය සහ නො-නිදහස
‘ස්වරූප’, නූතනත්වය යටතේ යුරෝපීය සමාජයේ තරුණයෙකු අත්දුටු විගලිතභාවය පදනම් කොටගෙන රචිත ෆ්‍රාන්ස් කෆ්කාගේ The Metamorphosis (1915, රූපාන්තරණය) නමැති කෙටි නවකතාවේ සිංහල අනුවාදයක් මත පදනම් වූ චිත්‍රපටයකි.
හනා ආරන්ඞ්ට් තම The Human Condition කෘතියේ ශ්‍රමය (labour), වැඩ (work) සහ ක්‍රියාව (action) යනුවෙන් මානව ක්‍රියාකාරකම් (activities) කොටස් තුනකට බෙදයි. එයින් ශ්‍රමය අනෙකුත් සත්වයන් හා සමානව, මානව පැවැත්මේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලින් සහ අවශ්‍යතාවන් හා බැඳුණු, ජීවිතය පවත්වාගෙන යාම සඳහා කෙරෙන්නෙකි. එහි ප්‍රධාන ලාක්ෂණිකය නො-නිදහස :(Unfreedom) යි, වහල් ස්වරූපයයි. එනිසා මිනිසා විගලිතභාවයට පත්වෙයි. (මිනිසා නිදහස දිශාවට ගෙන යන්නේ වැඩ සහ ක්‍රියාවයි.)
‘ස්වරූප’, තම ජීවනෝපාය සඳහා ශ්‍රමයේ යෙදෙන්නට බල කරනු ලැබූ තරුණ මිනිසෙකු එම ශ්‍රමයේ බරින් හෙම්බත්ව නො-නිදහසින් පීඩාවට පත්ව, තම පවුලෙන්, රැකියාවෙන්, සමාජයෙන් සහ තමාගෙන්මත් විගලිත වී විඳින කටුක අත්දැකීම මුල්කර ගත් කතාන්තරයකි.
යටත්විජිත සමයේ ලංකාවේ මැද පන්තික පවුලකට දාව ඉපිද අධ්‍යාපනය ලබා තම වැඩිහිටි ජීවිතය පශ්චාත් විජිත ලංකාවේ අරඹන තරුණයෙකුට ඖෂධ අලෙවි සමාගමක වෙළෙඳ නියෝජිතවරයෙකු ලෙස රැකියාවක් තිබියදීත් රැකියාවේ වෙහෙසත් පවුලේ පීඩනයත් නිසා ජීවිතය පිළිබඳ දැඩි ලෙස හෙම්බත් වන්නට තරම් ඔහුට ජීවිතයේ නිදහස නොතිබීම ධර්මසේන පතිරාජ තම චිත්‍රපටියෙන් අපගේ අවලෝකනය සඳහා ඉදිරිපත් කරන ගැටලුව යැයි සිතමි.

කථාව – පවුල
‘ස්වරූප’, රැකියාවේ දුෂ්කරතාවන්ගෙන් සහ පීතෲමූලික ආකල්ප ඇති පියෙකු නිසා පීඩා විඳි, ජීවිතය පිළිබඳ ලාලසාව පිරිහුණු තරුණ මිනිසෙකු වන ග්‍රෙගරි සහ ඔහුට පිළිසරණක් විය නොහැකි මවක, ඔහු තමාගේ දියුණුවට අතදෙනු ඇතැයි අපේක්ෂා දල්වා සිටි සහෝදරියක පිළිබඳ කතාවකි.
ඔවුහු එදිනෙදා ජීවිතයේ ගත් යම් තීරණ නිසා වියවුලට පත් පවුලකි. විශාල නිවෙසක් තමන්ට දරා ගත නොහැකි කුලියකට ගෙන, ග්‍රෙගරි සේවය කරන සමාගමෙන් ණයකුත් ගෙන, තමන්ට ආර්ථිකව දරා ගත නොහැකි දිවි පෙවෙතක් ගෙනයමින් එහි බර මූලිකව ග්‍රෙගරි මත පැටවූ පියෙකු අධිපතිකම දරන පවුලකි.
හර්මන් සැම්සන් ව්‍යාජ ඇගයීම් ඇති පියෙකි, පීතෲවාදී ආකල්ප ඇත්තෙකි, පීඩාකාරීය, නපුරුය, ඔහු තම මහන්තත්ත්වය ගැන පුරාජේරු කීමට රුචියක් දක්වන සාටෝපකාරී ව්‍යාජ ගර්වයක් ඇත්තෙකි. පවුලේ අන් සාමාජිකයන්ද මෙය නොදන්නවා නොවේ. හර්මන්ගේ බිරිඳ මාර්තා එයට ප්‍රතිචාර දක්වන්නේ කිසියම් සෝපාහාසයකිනි.
මාර්තා උපේක්ෂාවෙන් සියලු බර දරා ගන්නා සුප්‍රකට මවගේ චරිතයයි. පියා ග්‍රෙගරිට සලකා ඇති ආකාරය පීඩාකාරීය. මව එයට එකඟ නොවන නමුත් පියාගේ ආධිපත්‍යය නිසා ඇයට ග්‍රෙගරිට පිහිට වීමේ හැකියාවක් නොතිබුණි. අනෙක් අතට පියා විශ්‍රාම යෑමෙන් පසු අධ්‍යාපනය නවත්වා රැකියාවකට යාමට ග්‍රෙගරිටද අවශ්‍ය විය.
ග්‍රෙගරිගේ සහෝදරිය ග්‍රේටා, ග්‍රෙගරි තම සංගීත අධ්‍යාපනයට වියදම් කිරීම පිළිබඳ සතුටු විය. ග්‍රෙගරිට තම සහෝදරිය සංගීත ක්ෂේත්‍රයේ දස්කම් වර්ධනය කරගනු ඇතැයි යන අපේක්ෂාව මුල් කරගත් අභිලාසයන් විය. ග්‍රේටා කොළඹ සංධ්වනි වාදක මණ්ඩලයට බැඳවීම ග්‍රෙගරිගේ අපේක්ෂාව වූයේ තමා නොලද නිදහස ඇයටවත් ලබාදිය යුතු යැයි ඔහු සිතූ නිසාද? ඇයට අවශ්‍ය වූයේ තම නැන්දනියක මෙන් කොළඹ වංශවත් පැළැන්තියේ කාන්තා විදුහලේ සංගීත ගුරුවරියක වීමටය.
ග්‍රේටා මගින් සමාජයේ ඉහළ තත්ත්වයකට නැගගැනීමේ පල නොලද ආශාව හර්මන්ට මෙන්ම ග්‍රෙගරිටත් තිබුණිද? මැද පන්තිකයෙකු වූ නමුත් සමාජයේ ඉහළට නැග ගැනීමට නොහැකි වූ පියෙකු වියදම්කාර දිවි පෙවෙත සහ තම දියණියගේ සාර්ථකත්වය මගින්වත් එම ආශාව මුදුන් පමුණුවා ගැනීමට ඇති අපේක්ෂාවෙන් පසුවීද?
මේ යටත්විජිතවාදය යටතේ බිහිවූ ලංකාවේ මැද පන්තිය කළු සුද්දන් ලෙස සිතීමට පුහුණුවීමෙන් ඇතිවූ වින්නැහියද? මෙම පවුල පිළිබඳ ගැටලුව කුමක්ද? ඔවුන්ගේ වටිනාකම් ව්‍යාජ ඒවාද? පවුල සමාජයේ ශිෂ්ටාචාරයේ මූලික ඒකකය යැයි සමාජ විද්‍යාත්මක විග්‍රහයක් තිබේ. ‘ස්වරූප’ විභාග කරන්නේ එහි වලංගුභාවයද?

රූපාන්තරණය
ග්‍රෙගරි සමාජයෙන් හුදෙකලා වී ඇත. ඒකාකාරී, නිරස, අර්ථවිරහිත, වෙහෙසකාරී රැකියාවක යෙදීමේ දෛනික දිවි පෙවෙත හැර අන් යමක් ජීවිතයේ නොලදින් වෙහෙසට පත්ව හෙම්බත් වන තරුණයෙකු තම පවුලෙන්ද දයාවක් නොලැබුණු තැන ජීවිතය පිළිබඳ බලවත් සේ කලකිරී සිටියි නම් ඒ පිළිබඳ ඔහුට කුමක් කළ හැකිද? ඔහුගේ ජීවිතය අවදි වන්නේ ඔහුගේ “ප්‍රේම සබඳතා” තුළ පමණි. එහෙත් ‘ප්‍රේමය’ තම ජීවිතයේ නිත්‍ය පැවැත්මක් බවට පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ඔහුට නැතුවා සේය.
ජීවිතයෙන් පලා යාමට අවශ්‍ය වූවා විය හැකි නමුත් එසේ කිරීමට තම සිත එකඟ කරගැනීමට ඔහු අපොහොසත් වූවා විය හැකිය. තම පවුලට ඇති වගකීම නොසලකා හැර එසේ කිරීමට සිත හදා ගැනීමට ඔහුට නොහැකි වූවා විය හැකිය. ග්‍රෙගරි සමාජ ප්‍රතිමාන සහ වටිනාකම් වෙත තදින් බැඳුණෙකි. ඒවා පීඩාකාරී ලෙස දැනුණද ඊට එරෙහිව අරගල කිරීමට ඔහුට ශක්තියක් නැත්තා සේය. එලෙස ඇතිවන මානසික පීඩනය සහ ආතතිය යටතේ රූපාන්තරණය ඔහු තම අර්බුදයෙන් මුදවා ලූ සේය.
එවැනි බැරෑරුම් සාංදෘෂ්ටිකමය -එනම් මිනිසෙකු ලෙසින් වන තම පැවැත්ම පිළිබඳ -අර්බුදයකට මැදිවූ තරුණයෙකු රෑ නින්දට ගොස් පසු දින අවදි වූ විට තමන් මිනිසත්බවෙන් මිදී වෙනත් සතෙකු බවට රූපාන්තරණය වූ බව දැනගත් විට සිදුවිය හැක්කේ කුමක්ද? ඔහුගේ පවුලේ සාමාජිකයන් එයට මුහුණ දෙනු ඇත්තේ කෙසේද?
මේ නූතනත්වය තුළ මිනිසාගේ ඉරණමද? ජීවත්වීම සඳහා යාන්ත්‍රිකව මෙන් රැකියාවක නිරතවීමට බලකෙරෙන මිනිසාට තම රැකියාවෙන් තෘප්තියක් නොලැබෙන්නේ නම් එය ජීවිතය හෙම්බත් කරන්නේ නම්, ජීවත්වීම අර්ථවත් කරලීමට අවශ්‍ය තෘප්තිය සතුට අන් අරමුණක සොයා යන්නට මිනිසාට සිදුවෙයි. ඒ සඳහා කිසිදු තිරසාර මගක් නොලබන මිනිසාගේ ඉරණම ඛේදනීය වීමට ඉඩ තිබේ.

ඛේදවාචකය සහ පවුලේ ප්‍රතිචාර
‘ස්වරූප’ මානව වෘත්තාන්තයකි. දෘෂ්ටාන්තයකි. කතාන්තරයේ සන්දර්භය ද්වීතියක යැයි මම සිතමි. වැදගත් වන්නේ චරිත අත්දකින සිදුවීම් නොවේ, ‘ඔවුන් ඒවාට කුමන ආකාරයෙන් මුහුණ දෙන්නේද?’ යන්නයි; ‘චිත්‍රපටියේ අපගේ වීරයා නැතහොත් ප්‍රතිවීරයා හෝ ගොදුර මුහුණපාන තත්ත්වය අප කෙසේ වටහා ගන්නේද?’ යන්නයි.
මෙම අසාමාන්‍ය තත්ත්වයේදී ග්‍රෙගරිගේ පවුලේ සාමාජිකයන් හැසිරෙන්නේ කෙසේද? මොවුන් යහපත් පවුලක් -පියෙක්, මවක්, සහෝදරියක් ද? ඔවුන් මානවයන් වශයෙන් ගැලවීමක් ඇති චරිතද? ඔවුන් එක් එක් අයෙකුට තමා පිළිබඳ වගවීමක් කරන්නට සිදුවෙයි.
ග්‍රෙගරි අත්දුටු විපරීතකරණය පිළිබඳ පවුලේ සාමාජිකයන්ට ඇත්තේ මිශ්‍ර හැඟීම්ය. ඔවුන්ගේ මනස් අවුල්ය. ඔවුනට ඊට අභිමුඛ වීම දුෂ්කරය. මුලදී ඔහුගේ විපරීතකරණය භාරගැනීමට පවුලේ අයට අපහසුය. ඔහුට ග්‍රෙගරි ලෙසම සැලකීමට ඔවුනට අවශ්‍ය වෙයි. ඔවුහු පළමුව ඔහු මගහරිති. ඔවුහු ග්‍රෙගරිගේ නව තත්ත්වය පිළිබඳ විකර්ෂණය සහ ඔහු තමාගේ පුතා/සහෝදරයා වීය යන කරුණ නිසා ඇතිවන ආකර්ෂණය අතර දෝලනය වෙති. ගෙදර දින චර්යාව අවුලට පත්වෙයි.
පතිරාජ ඔවුන් නිරූපණය කරන්නේ තමන් මුහුණ පා සිටින ගැටලුව සමඟ අඩු වැඩියෙන් පොර බදන මිනිසුන් සහ ගැහැනුන් මිස පැතලි කළු සුදු චරිත ලෙස නොවේ.
පියා සාම්ප්‍රදායික පීතෲමූලික ආකල්පයෙන් පුතාට සලකා ඇතත් ඔහු තුළද පුතා කෙරෙහි අනුකම්පාවක් දයාවක් නැත්තේම නොවේ. ඔහුට ග්‍රෙගරිට සිදුවූ දේ සම්බන්ධයෙන් වරදකාරීත්වයක් පිළිබඳ ප්‍රබල හැඟීමක් නැත. එක් අතකින් පියා හැසිරෙන්නේ ඔහු මෙවැන්නක් අපේක්ෂා කළාක් මෙනි. එහෙත් උදාවී ඇති තත්ත්වයට ඔහුටද මුහුණ දිය නොහැකිය. ඔහු එය ඉබේ විසඳෙනු ඇතැයි සිතයි. ‘ග්‍රෙගරි අපේ අනාගතය ගැන කනස්සල්ලෙන් සිටිනවා ඇතැ’යි සිතයි, ‘ඔහුට ඔහුගේ ප්‍රශ්නය විසඳාගන්න ඉඩ දෙන්න’ යැයි කියයි.
ග්‍රෙගරි විපතට පත් වූ විට කොන්දේසි විරහිතව ඔහුට කරුණාව දක්වන්නේ ඔහුගේ මව සහ කුඩා කල සිට ඔහු හදාවඩා ගත් ගෘහ සේවිකාව මේරිය. මේරි කුඩා කල සිට තමන් හදාවඩා ගත් ග්‍රෙගරි ‘මයේ පුතේ’ යැයි අමතමින් ඔහුට සුවපතා යාඥා කරන්නීය. තමාට ඔහුට සත්කාර කරන්නට අවසර නොලැබීම පිළිබඳ කම්පාවෙන් මේරි නිවස හැර අනාථ නිවාසයකට යයි.
තම දරුවාට සිදුවූයේ කුමක්දැයි වටහා ගන්නට මාර්තා අවුලකය. ඇය කිසිවක් කර කියා ගත නොහැකි අසරණ හැඟීමෙන් වෙලී දුක්වෙයි. තම පුතා වෙත ඉමහත් ආදරයක් ඇති ඇයට ඔහුට සිදුවී ඇති විපත දරාගත නොහැකිය. මුලින් ග්‍රෙගරිගේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තුවක් ඇය තුළ විය. “අපිව බලාගත්තු අහිංසක දරුවා” පිළිබඳ ඇය කම්පා වෙයි. ඇය තමාට අහිමි වූ පුතා ගත කළ ජීවිතය සිහිපත් කරමින් ඔහු පිළිබඳ කාංසාවෙන් පෙළෙයි. ඔහුගේ මෙම තත්ත්වය තාවකාලික එකක් යැයිද ඔහු ඉන් මිදෙනු, සුවවෙනු ඇතැයිද මාර්තා විශ්වාස කරයි. ඇය ඔහු හොඳින් ඇඳපැළඳ වැඩට යනු සිහිනෙන් දකියි. එහෙත් ඔහුගේ තත්ත්වය වෙනස් නොවනවා පමණක් නොව එය පිරිහෙමින් පවතින බව වටහා ගත් විට කම්පාවට පත්ව ඉන් රෝගීව පසුව එය ඉරණම ලෙසින් භාරගන්නට ඇය යොමුවෙයි.
තමා කෙරෙහිම යොමුවූ සිතැතිව දිවි ගෙවූ ග්‍රේටාටද තම සොහොයුරාට අත්වූ තත්ත්වය පිළිබඳ ඇත්තේ අනුකම්පාවකි. ග්‍රෙගරිගේ දුක සැප බලන්නේ තමන් නොව ගෘහ සේවිකාවක වන මේරි බව වටහා ගැනීම තුළ ඇතිවන වරදකාරීත්වය පිළිබඳ හැඟීමෙන් ග්‍රේටා, මේරි ග්‍රෙගරිට සැලකීම අකාරුණික ලෙස තහනම් කරයි.
ග්‍රේටා ග්‍රෙගරි ගැන දුක්වෙයි. ඔහුගේ නව ජීවිතය පහසු කරන හැටි ගැන සිතයි. ඇගේ සිත නව ග්‍රෙගරි වෙත කිසියම් ආකර්ෂණයක් ඇත. එමෙන්ම ඇය ඔහුට බියය. ඇය උදාවී ඇති තත්ත්වයට මුහුණ දීගත නොහැකි මවගේ සිත කෙමෙන් එයට සමීප කරන්නට යොමුවෙයි: “එයා මමීගෙ පුතා වුණාට දැන් එයා සතෙක් මමී.”
එහෙත් ශාලිකා සංගීත රාත්‍රියේ කටුක අත්දැකීමෙන් පසු ග්‍රේටාගේ සිත බිඳෙයි. “අපි එයාට කරුණාවන්තයි. ඒත් එයාට ගාණක්වත් නැහැ. එයා ග්‍රෙගරි කියලා අපිට අමතක කරන්න වෙනවා” යැයි ඇය සිත සනසා ගන්නට උත්සාහ කරයි.
මේරිගෙන් පසු නිවෙසේ සේවයට කොළඹින් එන කඩිසර, දක්ෂ බියටි්‍රස් නිවස පිරිසිදු කිරීමට රුචිය. ඇයගේ පැමිණීම ඔවුන්ගේ ජීවිතයට කිසියම් සහනයක් උදා කළා වැනිය. නිවෙස් වැසියන්ගේ බාහිර අලංකාර බව පිටුපස සැඟවුණු ඔවුන්ගේ චරිතවල දිළිඳු බව බඳුව අලංකාර නිවස පිටුපස ඇති කුණු ගොඩ දැක බියටි්‍රස් සතුටු වුණා සේය. බියටි්‍රස් පැමිණි විට දහවල නිවසේ ඉන්නේ “මමයි, පුතයි” බව මාර්තා ඇයට පැවසුවද, එය නොතකා එම “කරදරය” අවසන් කිරීමේ තීරණය බියටි්‍රස් තමා අතට ගත්තා සේය. ග්‍රෙගරිද මරණය අපේක්ෂාවෙන් ස්වකැමැත්තෙන් ඇයට අභිමුඛ වූවා වැනිය. අවසන ජීවිතය සාමාන්‍යත්වයට පත්වෙයි. ග්‍රේටා නව දිවියක් ඇරඹීමට සූදානම් සෙයකි. මාර්තා පවා ඉන් යම් සහනයක් ලැබූ සෙයකි. ග්‍රෙගරි අහිමි ජීවිතය කොතෙක් සතුටින් භාර ගැනීමට මාර්තාට හැකිවනු ඇතිද?
ග්‍රෙගරි වෙනුවෙන් අවමඟුලක් නොතිබූ නමුත් ඔහු වෙනුවෙන් තැනූ සොහොන් කොතකි. එය නිරූපණය කරන්නේ පවුලේ ව්‍යාජ හැසිරීමක් බඳුය. එහිදී සමාජ සම්මතය රකින්නට ඔවුන් යොමුවුණාක් මෙනි.

පතිරාජගේ සිනමා ශිල්පීය ප්‍රතිභාව
චිත්‍රපටිය ඇරඹෙන්නේ අපගේ (ප්‍රති)වීරයා සෙමින් පියවර තබමින් එන පාගමන නිරූපණයෙනි. එතැන් සිට චිත්‍රපටියද ඉතා මන්දගාමීව දිගහැරෙයි. එය ඉලක්ක සුරතාන්තයක් කරා වේගයෙන් ඉදිරියට දිවයන කතාවක් නොවේ. එනිසාම එයට අප සිත ඇදබැඳ ගනියි. මෙය අප සාමාන්‍යයෙන් අත්දකින වත්මන් සිනමාවෙන් වෙනස් සුවදායක, නවමු, පිළිගත යුතු වෙනසකි.
‘ස්වරූප’ සැම්සන් පවුල පිළිබඳ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය පදනම් කරගත් මානව වංශ ලේඛනයක් බඳුය. ඔවුන්ගේ දෛනික ලෞකික දිවි පෙවෙත සූක්ෂ්මතාවෙන් යුතුව එහි නිරූපණය කෙරෙයි. පතිරාජ චිත්‍ර ශිල්පියෙකු බඳුව චරිත ප්‍රතිරූප පින්සල් පහරෙන් පහර මෙන් ඉතා පරෙස්සමෙන් අතිදක්ෂ ලෙස නිමවයි. චිත්‍රපටය එහි චරිතවල විශේෂයෙන් ග්‍රෙගරිගේ වෙනස්වන මනෝභාව දෘශ්‍යමාන වන ආකාරය පිළිබඳ සමීප අධ්‍යයනයකි. පුද්ගලයා අපට දෘශ්‍යමාන වන ආකාරය පිළිබඳ සියුම් සවිස්තරාත්මක කරුණු කෙරෙහි අවධානය තුළින් චරිතයේ මානසිකත්වය විදහා දක්වයි. ඒ අනුව, අපි මිනිස් වතෙහි හැඟීම් පළකෙරෙන අයුරු, ඉඟි, චලනයන්, පියවර වේගය යනාදිය සිතෙහි සටහන් කරගන්නට ඉක්මනින් යොමු වන්නෙමු.
කාර්යාලයට යන ග්‍රෙගරි නොරුස්සනසුලුය. කනස්සල්ලෙන් පෙළෙයි, චින්තාපරය. ඔහු සිතේ තැවුලක්, සිදුවන්නට යන යම් නරක දෙයක් පිළිබඳ කිසියම් බියක් ඇතිව ඉක්මනින් කලබල වෙයි. දුම්රියට ගොඩවන ග්‍රෙගරිගේ හිසකෙහි අවුල් වී ඇත. ඔහුගේ මුහුණ හැඟීම්බරය. ඔහු ගෙදර පැමිණි විට තමාට ඔහුගෙන් ලැබෙන දේ ගැන අවධානයෙන් සිටින ග්‍රේටා ඔහු අමතද්දී ඔහු නිරුත්තරය, තමා පිළිබඳ දුක් නිසා සිත කැළඹී සිටියි. ඔහු කල්පනාවේ නිමග්නය.
ග්‍රෙගරි කිසියම් බැරෑරුම් කරදරයකට මුහුණපා ඇති බව ඔහුගේ භාව ප්‍රකාශනයෙන් ඉරියව්වෙන් අපි දැන ගනිමු. ඒ සඳහා අධ්‍යක්ෂ අප මනාව සූදානම් කොට තිබේ.

යථාර්ථවාදය සහ පරාරෝපණ උපක්‍රමය
මෙම චිත්‍රපටිය යථාර්ථවාදය එහි ඉහළම ශක්‍යතාවෙන් උපරිමයෙන් කුළුගන්වයි. එහි සිදුවීම් යථාර්ථවාදීව නිරූපණය කෙරෙයි. ඇඳෙන් වැටුණු ග්‍රෙගරි මහත් වෙහෙසක් දරා කාමරයේ දොර යාම්තමින් ඇරගත් මොහොතේ එතෙක් චිත්‍රපටිය අනුදත් යථාර්ථවාදී ශෛලිය නාටකීකරණය වූ ශෛලියකට මාරුවෙයි.
ඒක රේඛීය වෘත්තාන්තය අනුව යමින් ප්‍රේක්ෂකයා එය සැබෑවක් යැයි සිතා ඊට සමවැදීම වළක්වාලීමට පරාරෝපණ ඵලය ඇති කිරීම සඳහා වෙනත් ශිල්ප ක්‍රම අතර අතීතාවලෝකනයන් යොදා ගැනෙයි.
එබඳු එක් අතීතාවලෝකනයක දැක්වෙන වෛද්‍ය විද්‍යාලයේ දර්ශනයෙහි අධ්‍යක්ෂ/තිරනාටක රචක වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු තුළින් ප්‍රේක්ෂකයා සමාජ ආර්ථික දේශපාලන ගැටලු පිළිබඳ අමතන්නා සේය. වෛද්‍ය විද්‍යාව සහ ඖෂධ කර්මාන්තය පිළිබඳ ගෙනෙන විවේචනය හැරුණු කොට ස්ත්‍රී ශරීරය පිළිබඳ ගොරහැඩි පීතෲවාදී යාන්ත්‍රිකවාදී භෞතිකවාදයක් වෛද්‍යවරයා මගින් ඉදිරිපත් කරන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රශ්න කිරීමක් ලෙසිනැයි මම සිතමි.
චිත්‍රපටිය මුලදී, කාර්යාලයේ, රෝස මලක් කබා පටියේ පැළඳ ග්‍රෙගරි කණ්ණාඩියෙන් තම හැඩරුව බලන දර්ශනයේදී, ඉන් ඉවත්ව ගියද ඔහුගේ රුව තවදුරටත් කණ්ණාඩියේ රැඳී පවතින මොහොත සංකේතවත් කරන්නේ ලකාන්ගේ ‘දර්පණ ප්‍රතිරූපය’ පිළිබඳ අදහස යැයි සිතමි. දර්පණ ප්‍රතිරූපය යථාවේ තැනට ආදේශ වෙයි. එය එයටම හිමි ජීවිතයක් අත්පත් කරගත්තා වැනිය. ඒ ග්‍රෙගරි දකින්නට කැමති ‘තමා’ ය, සතුටින් සිටින්නට කැමති ග්‍රෙගරි ය. එහෙත් එය සැබවින් සාක්ෂාත් කරගන්නේ කෙසේද? ලකානියානු දර්පණ ප්‍රතිරූපය මෙන් එය හුදු මායාවකි, වරදවා හඳුනා ගැනීමකි. පසුව සිදුවන්නේ මෙම ග්‍රෙගරිගේ සිත ඇදගන්නා දර්පණ ප්‍රතිරූපය සත්වයෙකු බවට රූපාන්තරණය වීමයි.
චිත්‍රපටයේ නාටකීය ශෛලිය ඉදිරියට ගෙනයමින් හා ප්‍රේක්ෂකයාට හාස්‍යෝත්පාදක සහනයක් ගෙන දෙමින් බෝඩිංකරුවන් තිදෙනා පිළිබඳ ප්‍රහසනය ඉදිරිපත් කෙරෙයි. සම්භාව්‍ය සංගීතය අගය කරන බව පෙන්වන බෝඩිංකාර මහලු මහත්වරු තමන් වැදගත් මිනිස්සු යැයි කියාපාති. එහෙත් රූපාන්තරණයට ලක්ව සිටින ග්‍රෙගරි තම සොයුරියගේ සංගීත වාදනයට රුචි වී කාමරයෙන් පිටතට පැමිණීමෙන් බියට පත්ව කලබල වන එම මහත්වරු තමන්ගේ නේවාසික ගාස්තු ගෙවීමද ප්‍රතික්ෂේප කොට නිවෙසින් පිටව යති.
මෙම අවස්ථාව, එක් අතකින් තමන් වැදගත් යැයි සිතන, එසේ පිළිගැනෙන මිනිසුන්ගේ ‘සැබෑ ස්වරූපය’ පිළිබඳ ගැටලුව අප හමුවේ මතුකරයි. අනෙක් අතට එය ශාලිකා සංගීතය නියෝජනය කරන සම්භාව්‍ය සංගීතය පිළිබඳ සැපයෙන කෙටි අටුවාවක් බඳුය.
“යමෙකු සම්භාව්‍ය සංගීතය අගයන්නේ යැයි කියාපාන නිසාම ඔවුන් යහපත් මිනිස්සුය යන අර්ථයෙන් මිනිසුන් ‘වැදගත් මිනිස්සු’ වන්නේ නැත,’ යන්න ගැන විවාදයක් තිබිය නොහැක. සම්භාව්‍ය සංගීතය රසවිඳීම යනු පුහු ලෙස සමාජ තත්ත්වය සලකා ව්‍යාජව එය අගය කරන බව අඟවන මහල්ලන්ගේ කටයුත්තක් යැයි චිත්‍රපටයෙන් යෝජනා කරන්නේ යැයි නොසිතමි.
“උසස් කලාත්මක රසාස්වාදයට ඇති හැකියාව මිනිසුන් යහපත් බවට පත්කරන්නේ” යැයි ප්‍රචලිත අදහසට ව්‍යතිරේකයක් දක්වා එහි වලංගුභාවය අභියෝගයට ලක් කිරීමක් මෙයින් ඉලක්ක කරන්නේ නම් අපට එය වටහාගත හැකිය. ‘උසස් කලාත්මක රසාස්වාදය’ යන්නෙන් හඳුනා ගැනෙන්නේ සම්භාව්‍ය සංගීතය වැනි විදග්ධ කලාවන් රසාස්වාදය නම්, ඉහත සඳහන් අදහස නිසාම අප ඒවා රසවිඳීම පිළිකෙව් කළ යුතු යැයි ‘ස්වරූප’ යෝජනා කරන්නේ යැයි මම නොසිතමි. හනා ආරන්ඞ්ට් The Crisis in Culture ලිපියේ තර්ක කරන පරිදි වැදගත්වන්නේ කලාව උසස් සහ බාල ලෙසින් විභේදනයට ලක් කිරීම නොව සංස්කෘතිය සහ විනෝදාස්වාදය අතර වෙනස සහ ඉන් අපේක්ෂිත අරමුණු අතර වෙනස වටහා ගැනීමයි.

යථාව සහ අද්භූතය
යථාව යනු කුමක්ද? අභූත, අද්භූතජනක යනු කුමක්ද? අභූතරූපී විකාරරූපී බව යථාව නොවන, යථාවෙන් බැහැර දෙයක්ද? මිනිසුන් දේවල් හෝ සත්වයන් බවට විපරීතකරණය වන අවස්ථා පුරාණෝක්තීන්හි දක්නට ලැබේ. එහෙත්, සාමාන්‍ය ජීවිතයේදී මිනිසෙකු සතෙකු බවට රූපාන්තරණය වීම අද්භූතජනක දෙයක් ලෙස අපි දකිමු. එවැනි අභූත කතාවක් යථාව ලෙසින් විශ්වාස කිරීමට ‘ස්වරූප’ අප පොළඹවයි. එලෙසින්, ‘ස්වරූප’, යථාව හ අභූතබව පිළිබඳ අපගේ විශ්වාසයන් බරපතළ ලෙස ගැටලුවට ලක් කරයි.
ග්‍රෙගරි අත්දුටු විපරීතකරණය පිළිබඳ පවුලේ සාමාජිකයන්ගේ එළැඹුම යථාවාදී නොවේ. ඔවුහු අභූත අත්දැකීමකට එලෙසින්ම අභිමුඛ නොවෙති, ඒ වෙනුවට මිනිසෙකු සතෙකු බවට වෙනස්වීම යථාව ලෙස පිළිගනිති. යමක් වැරදී ඇති බව සියල්ලෝ පිළිගනිති, කම්පනයට පත්වෙති. එහෙත්, කිසිවෙකු ග්‍රෙගරිට පිහිටවන්නට ඉදිරිපත් නොවේ. ග්‍රෙගරිගේ රූපාන්තරණය හමුවේ පවුලේ සාමාජිකයන් හැසිරෙන්නේ මෙවැනි අවස්ථාවකදී මිනිසුන් සාමාන්‍යයෙන් හැසිරෙන ආකාරයට නොවේ. ඔහු වෛද්‍යවරයෙකු ළඟට ගෙන යන්නට හෝ ඒ පිළිබඳ කිසිවෙකුගේ උපදෙස් පතන්නට ඔවුහු යොමු නොවෙති. ඔහුට අනුකම්පාව දයාව දක්වන මාර්තා හෝ මේරි වුව සිතන්නේ ඔහුට අත්වී ඇති තත්ත්වය කිසියම් රෝගයක් බවත් එය සුවවනු ඇති බවත්ය. පවුලේ සහ පිටස්තරයන්ගේ හැසිරීම, ක්‍රියාකලාපය නිසා අපිදු මෙම සිදුවීම යථාවක් ලෙස පිළිගන්නට පෙළඹෙමු.
ග්‍රෙගරිට වූ විපත අමතක කොට අපට මෙම චිත්‍රපටිය සැබෑ සිදුවීමක් පිළිබඳ කතාවක් ලෙස කියැවිය නොහැකිය. එය සැබෑ සිදුවීමක් නොව ප්‍රබන්ධයක් වුවත් අපට එය සැබෑ කතාවක් ලෙස හැඟෙන්නේ ඇයි? මා යෝජනා කරන්නේ අධ්‍යක්ෂ මෙහි චරිත හසුරුවන සහ කතාව ගොඩනගන ආකාරයේ ඇති විශ්වසනීය බව ඊට හේතුවන බවයි.

වින්දනය
අවසාන විග්‍රහයේදී, මානව දෘෂ්ටියෙන් ගත් කල ග්‍රෙගරිගේ ඉරණම ඛේදාන්තයකැයි සිතමි. වැඩ නිසා හෝ පවුල නිසා හෝ තරුණ මිනිසෙකුට තම මිනිස් දිවිය අහිමි වීම ඛේදවාචකයක් නොවේද? නූතනත්වය පොරොන්දු වූ නිදහස මිනිසාට ලැබී නැත.
මෙබඳු චිත්‍රපටියක් නැරඹීමෙන් අප ලබන වින්දනය – මෙහි වින්දනය යනු විනෝදය නොවේ – විඳීම කුමක්ද? එය මානව ජීවිතය පිළිබඳ කතාන්දරයකි. මානවයන් විඳින දුක්ගැහැට සතුට දුක්කරදර පිළිබඳ අවලෝකනයේ යෙදෙන්නට, එහි ආලෝකයෙහි අපගේම ජීවිත සලකා බලන්නට කෙරෙන ආරාධනයකි.■