රාවය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකමට චුදිතයෙක් යෝජනා වේ

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකමට චුදිතයෙක් යෝජනා වේ

කේඩබ්ලිව් ජනරංජන

මහාධිකරණ විනිසුරුවරයකු හැටියට කටයුතු කළ කාලයේ දූෂණ චෝදනා ලබා සිටි වත්මන් අභියාචනාධිකරණ විනිසුරු එම්එම්ඒ ගෆූර්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නාමයෝජනා කිරීම ගැන නීති ක්‍ෂෙත්‍රයේ බලවත් විරෝධයක් මතුවී තිබේ.

2014 සැප්තැම්බර් මාසයේ, ගෆූර් මහතා මීගමුව මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරද්දී, හෙරොයින් සම්බන්ධ නඩුවක සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා, අධිකරණයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතට පිටින් ගොස් කටයුතු කිරීම ගෆූර් මහතාට එරෙහිව ඇති චෝදනාවයි. හෙරොයින් ග්‍රෑම් 35ක් හා 10ක් ජාවාරම් කිරීම සඳහා ආධාර හා අනුබල දුන්නායැයි එම නඩුවේදී චෝදනා ලත් සැකකරුවන් තිදෙනා විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු ඇප අයදුම්පත්‍රවලට අනුව, නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරිය විරුද්ධ වෙද්දීත් හදිසියේම මෝෂන් පත්‍රයකින් නඩුව කැඳවා ඇප ලබාදීම ගෆූර් මහතා 2014 සැප්තැම්බර් 17 වැනිදා සිදුකර තිබේ. මෙලෙස නීතිපති විරුද්ධ වෙද්දීත් හදිසියේ සැකකරුවන්ට ඇප ලබාදීම කිසියම් මූල්‍යමය වාසියක් මත කර ඇති බවට චෝදනා එල්ලවී තිබුණි. මේ තොරතුරු 2014 සැප්තැම්බර් 21වැනිදා රාවය පුවත්පත මුල් වරට හෙළි කළේය.
මේ චෝදනා ගැන කිසිදු විමර්ශනයක් නොකොට එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, 18වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ සිය තනි කැමැත්තට අනුව, අභියාචනාධිකරණ විනිසුරුවරයකු හැටියට ගෆූර් මහතා පත්කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් සඳහා නාමයෝජනා කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. එම නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළ පසු ජනාධිපතිවරයා අදාළ පත්කිරීම සිදුකරයි. මේ වන විට අභියාචනාධිකරණ විනිසුරු එම්එම්ඒ ගෆූර් මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පත්වීම් සඳහාවූ නාමයෝජනා සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොවැම්බර් 10 වැනිදා රැස්වීමට නියමිතය.
විනිසුරු ගෆූර්ට එරෙහිව නැගුණු චෝදනා ගැන සවිස්තර වාර්තාවක් අද රාවය පුවත්පතේ 9 වැනි පිටුවේ, ‘චෝදනා ලත් ගෆූර් ඉහළම උසාවියට පත්කරාවිද?’ යන සිරස්තලය යටතේ පළවී ඇත.■