රාවය

ගමේ බලය සමාජයටද? පක්ෂවලටද?

ගමේ බලය සමාජයටද? පක්ෂවලටද?

කේ.ජී. පිලිප් ශාන්ත

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉතාම සතුටු සිතින් පළාත් පාලන මැතිවරණයට සූදානම් වෙමින් සිටී. මෙවර එය පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයට ය. මෙතෙක් සමානුපාතික ක්‍රමය යටතේ පවත්වමින් ආ පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතුය යන අදහස මුලින්ම කතාබහට ලක් වූයේ මීට අවුරුදු දහයකට පමණ පෙර ය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එවකට කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පිහිටුවා එහි නිර්දේශයන් මත පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන ලද්දේ 2012 වර්ෂයේ දී ය. ඒ අනුව සීමා නිර්ණය කොමිසමක් පිහිටුවා පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කර අවසන් කළ ද ඊට අවශ්‍ය නීතිමය ව්‍යුහය සම්පූර්ණ නොවීය. පළාත් පාලන ආයතනයන් පිහිටුවා ඇති අතිසංකීර්ණ නීති පනත් සංශෝධනය කරමින් කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකිවන ලෙස කටයුතු අවසන් කිරීමේ පනත් සංශෝධනය කිරීම පසුගිය දා විෂය භාර අමාත්‍යවරයා විසින් සම්පූර්ණ කරන ලදි. ඒ අනුව පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පනත් සංශෝධන කර්මාන්තයට වසර දහයක පමණ කාලයක් ලබාගෙන ඇත.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මූලික අදහස වූයේ තමන්ගේ කොට්ඨාසයට හඳුනාගත හැකි නියෝජිතයකු පත්කර ගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදීමයි. එසේම මහජනතාවගේ සර්වජන ඡන්ද බලය ශක්තිමත් කිරීම ද එහි එක් අරමුණක් විය. විශේෂයෙන් පැවැති ක්‍රමය තුළ අධිපති බලය ලැබුණේ මහජනතාවට නොව පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ ලේකම්වරයාට ය. ඒ අනුව සමානුපාතික ක්‍රමය තුළින් ඒ ඒ පළාත් පාලන ආයතනයට නියෝජිතයන් මහජනතාව විසින් පත් කළ ද සභාපතිවරයා හා උපසභාපතිවරයා පත්කරන ලද්දේ පක්ෂය විසිනි. නියෝජිතයකුගේ පුරප්පාඩුවක දී අතුරු මැතිවරණයක් නොපවත්වන ලද අතර මැතිවරණයේ දී ලැබූ මනාප අනුපිළිවෙළ අනුව පුරප්පාඩුව පුරවන ලදි.
නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ දී ද වැඩිම ඡන්ද ලැබූ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ ආයතනයේ බලය කෙසේ හෝ ලබාදීමේ ප්‍රතිපත්තියකට අනුව ක්‍රමය සකස් කර තිබුණි. ඒ අනුව වැඩිම ඡන්ද ලැබූ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ බෝනස් ආසන දෙකක් ලැබුණි. යම් පළාත් පාලන ආයතනයක අයවැය පිට පිට පරාද වන අවස්ථාවකදී පවා බාධාවකින් තොරව ආයතනයේ පාලනය ගෙනයෑමට හැකිවන ලෙස නීතිය සකස් කර තිබීම නින්දා සහගත තත්ත්වයක් විය. එහෙත් 2013 වර්ෂයේ දී පමණ මෙම නීතිය වෙනස් කර පිට පිට දෙවරක දී අයවැය පරාජය වන පළාත් පාලන ආයතනයේ සභාපතිවරයාගේ ධුරය අහෝසි කරන ලදි. මේ ආදි වශයෙන් පැවැති නීතිමය තත්ත්වය නිසා සභාපතිවරයාට අත්තනෝමතික පාලනයක් ගෙනයෑමට හැකිවිය.

සමානුපාතික ක්‍රමය හඳුන්වාදීමට පෙර පැවැති කේවල ආසන මැතිවරණ ක්‍රමය තුළ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වූයේ මේ අන්දමින් නොවේ. එහිදී කොට්ඨාස ක්‍රමයට තේරී පත්වන නියෝජිතයන් අතුරින් සභාපතිවරයා හා උපසභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ බලය තිබුණේ තේරී පත් වූ නියෝජිතයන්ටම ය. තේරී පත්වූ නියෝජිතයන් තම ඡන්දයෙන් සභාපතිවරයා හා උපසභාපතිවරයා තෝරාගැනීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විය. එනිසා සභාපතිවරයාට හෝ උපසභාපතිවරයාට හෝ දේශපාලන ගනුදෙනුව පවත්වාගෙන යෑමට සිදුවූයේ සභාවේ නියෝජිතයන් සමග ය. එහෙත් සමානුපාතික ක්‍රමය යටතේ එම දේශපාලන ගනුදෙනුව ඔවුන් පවත්වාගෙන යෑම අවශ්‍ය වූයේ පක්ෂ ලේකම්වරයා සමග ය.

එසේම එම ක්‍රමය තුළ ඇතිවන නියෝජිත පුරප්පාඩුවක දී අතුරු මැතිවරණයක් පවත්වන නිසා සභා කාලය අතරතුර මහජන මතය සලකා බැලීමට හැකි වූ අතර සභාවේ පාලනය ද මහජන මතයට ගරු කරන ආස්ථානයකට යොමු වුණි. එහෙත් අතුරු මැතිවරණ නොමැති පරිසරයක මහජන මතය සලකා බැලීමට අවස්ථාවක් නොලැබුණි. එසේම මහජන මතය කෙරෙහි අවධානය යොමු කිරීමක් ද අනවශ්‍ය වුණි.

පැරණි ක්‍රමය තුළ තිබූ වඩාත්ම වැදගත් ලක්ෂණය වූයේ සභාග ආණ්ඩුවලට ද පළාත් පාලන ආයතනයන්හි බලය පවත්වාගෙන යෑමට හැකිවීමයි. ඒ අනුව වැඩිම ආසන දිනාගත් තනි පක්ෂයකට වඩා දේශපාලන සම්මුතීන් අනුව සභාග පාලනයක් ගෙනයෑමට කැමැති පක්ෂවලටද අවස්ථාව ලැබුණි. එහෙත් සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා වැඩිම ඡන්ද ලබාගන්නා පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ බෝනස් ආසන දෙකක් ලබාදීමේ ප්‍රතිපත්තිය මත තත්ත්වය වෙනස් වුණි. කළ යුතුව තිබුණේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගන්නා පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ බෝනස් ආසන දෙකක් පිරිනැමීම නොව මහජන ඡන්දයෙන් ලබාගන්නා ආසන සංඛ්‍යාව අනුව පාලනය පිහිටුවීමට උත්සාහ කරන පක්ෂයට හෝ සභාගයකට හෝ බෝනස් ආසන දෙක පිරිනැමීමයි.

මහජන නියෝජිත ආයතනයක පාලනය ස්ථාවරව තිබිය යුතු බව සත්‍යයකි. එහෙත් එය මහජන කැමැත්තට අනුකූල විය යුතුය. මහජන කැමැත්ත පසෙක තිබිය දී ස්ථාවරභාවය පමණක් සලකා බලන්නේ නම් එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැත. එහෙත් සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණ පවත්වා පාලනය ගෙන ගිය පළාත් පාලන ආයතනයන් තම පාලනය ගෙන ගියේ මහජන කැමැත්තට හා බලයට සංවේදී නොවන අයුරිනි. එසේ සංවේදී වීම නීතියෙන්ම අනවශ්‍ය වන ලෙස සකස් කර ඇති ව්‍යුහයක සභාපතිවරයා තම බලය කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පවත්වාගෙන යෑමට උත්සාහ කරනවා විනා මහජන බලයට හා කැමැත්තට සංවේදී නොවීම තාර්කිකය.

දශක තුනක පමණ අත්දැකීම මත පළාත් පාලන ආයතනයන්හි පාලන ක්‍රමයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අංගයන් වෙනස් කිරීමට ඒවායේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට පියවර ගැනීම ප්‍රශස්ත කරුණක් විය. එහෙත් එහි පදනම ලෙස සලකා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් මහජන බලය ශක්තිමත් කර සවිබල ගැන්වීම නොවේ. කොට්ඨාස ක්‍රමය නැවත නිර්මාණය කර තමන්ගේ කොට්ඨාසයට මන්ත්‍රීවරයකු පත් වුවද ඒ හැරෙන්නට පරණ ලක්ෂණ සියල්ල නොඅඩුව එහි තිබේ. ඊට අමතරව හානිදායක වන තවත් ලක්ෂණ කිහිපයක් ද ඊට එකතු කර ඇත.

සංශෝධනය කර ක්‍රියාත්මක කිරීමට තැත් කරන පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළව නියෝජිතයන් තෝරාගන්නා ක්‍රම දෙකක් පවතී. එකක් ඒ ඒ කොට්ඨාසයට අනුව ඝෘජු මහජන ඡන්දයෙන් නියෝජිතයන් තෝරා පත්කර ගැනීමයි. අනෙක පළාත් පාලන ආයතනයටම අදාළව ඒ ඒ පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව සමානුපාතිකව ආසන සංඛ්‍යාවක් බෙදාදීමයි. එහිදී සමානුපාතිකව හිමිවන ආසන සංඛ්‍යාව සඳහා නියෝජිතයන් පත්කරන්නේ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ හෝ ලේකම්වරයා විසිනි. මෙම තත්ත්වය අලුත් වටයකින් ආරම්භ කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වටපිටාවකි.

පැරණි කේවල ක්‍රමයේ සිට සමානුපාතික ක්‍රමය දක්වා පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ දී අහිමිවූ යහගුණ නැවත ස්ථාපිත කිරීමක් අලුත් පළාත් පාලන මැතිවරණ සංශෝධනයෙන් සිදුව ඇති බවක් දක්නට නොලැබේ. කොට්ඨාස ක්‍රමයට මැතිවරණ පැවැත්වුවද ඇති වන පුරප්පාඩුවක දී අතුරු මැතිවරණ පවත්වන්නේ නැත. සභාවේ සභාපතිවරයා හා උපසභාපතිවරයා තෝරාගන්නේ ද සභා නියෝජිතයන්ගෙන් නොව පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ හෝ ලේකම්වරයා විසිනි. එසේම පළාත් පාලන ආයතනයන් තුළ සම්මුතික ආණ්ඩු පිහිටුවීමට ද අවස්ථාවක් ලබා දී නොමැත.

මැතිවරණ ව්‍යුහය තුළ මහජන පරමාධිපත්‍යයට වඩා පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ කැමැත්තට ඉඩදීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවේ. සියල්ල පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ පවරාදීමෙන් සිදුවන්නේ පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ ප්‍රබල වීමය. එතැනදී පුද්ගල චරිත හුදු රූකඩ බවට පත්වේ. එහෙත් මහජන කැමැත්ත විමසීමේ දී පක්ෂයක ප්‍රතිපත්තිවලට මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමට සුදුසු පුද්ගල චරිතයන්ට ද ප්‍රබල ස්ථානයක් හිමි වේ. එනිසා පක්ෂයට බලය පවරා නිහඬවීම සමාජය සවිබල ගැන්වීමේ දී යහපත් නොවේ.
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් උනන්දු රාජ්‍ය නොවන සංවිධාන අට අනූවක් ලංකාවේ පවතී. ඒවා දිවි පරදුවට තබා උනන්දු වන්නේ මහජන නියෝජිතායතන තුළ කාන්තාවන් සවිබල ගැන්වීම, හදිසියකටවත් මැතිවරණ කල්දැමීමට ඉඩ නොදීම වැනි කාරණාවන්ට ය. එහෙත් මැතිවරණ පැවැත්වීමේ දී මහජන බලය සවිමත් නොකිරීම හා ඒ වෙනුවට පක්ෂයක බලය සවිබල ගැන්වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ඒ රාජ්‍ය නොවන සංවිධාන උනන්දු නොවේ. පවතින මහජන නියෝජිතායතන සවිබල ගැන්වීමේ දී පදනම ලෙස සලකන්නේ එම මහජන බලය ප්‍රාග්ධනය ගෝලීයකරණයට බාධා නොවන ලෙස කළමනාකරණයයි. එහෙත් රාජ්‍ය නොවන සංවිධානයන් ඊට හාංකවිසියකින්වත් බාධා නොකරන්නේ එය ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව වීම නිසා ය.
විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ස්ථාපිත කළේ හුදු මතු පිටින් පෙනෙන ලෙස ස්ථාවර ආණ්ඩුවක් පැවැතීමේ ඊනියා සාධකය මත නොවේ. ඔවුන්ට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ සමාජය සවිබල ගැන්වීමට නොවේ. ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ ස්ථාවර ආණ්ඩුවක් තුළ ප්‍රාග්ධනය නිදහසේ ගලායෑමට පවතින බාධා ඉවත්කර ගැනීමයි. ඒ අනුව නීති සංශෝධනයන්, නීතිය ක්‍රියාත්මක කිරීමේ බාධාවන් ආදිය ඉවත්කර සුදුසු කාර්යක්ෂම පාලනයක් ඇතිකිරීමයි.

පළාත් පාලන ආයතනයන්හි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ දී ද ප්‍රාග්ධනය ගෝලීයව ගලා යෑමේ පවතින ධනේශ්වර අවශ්‍යතාවට බාධා එල්ල නොවන ලෙස ඒවා කළමනාකරණයට ඔවුහු කටයුතු කරති. යම් පළාත් පාලන ආයතනයක මහජන නියෝජනය ශක්තිමත් වී නිවැරැදි නියෝජනයක් තුළ මහජන අවශ්‍යතා වෙනුවෙන් පෙනීසිටීම ප්‍රාග්ධන සංසරණයට බාධාවක් විය හැකිය. එනිසා එම බාධා කළමනාකරණයට සෘජු මහජන නියෝජනයට වඩා පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ ලේකම්වරයා අත නැටවෙන ඊනියා මහජන නියෝජිතයන් පත් කරගන්නේ නම් වඩා පහසුය. ඝෘජු මහජන නියෝජනයට වඩා පක්ෂ ලේකම්වරයාගේ කැමැත්තට වැඩි බරක් තබන්නේ එබැවිනි.

පළාත් පාලන ආයතන ව්‍යුහය ශක්තිමත් කළ යුත්තේ ඒ ඒ ප්‍රදේශවල පළාත් පාලන දේශපාලන සඳහා මහජනයා සවිබල ගැන්වීමට ය. එහෙත් පළාත් පාලන ආයතනයන්ට නියෝජිතයන් තෝරා පත්කර ගන්නා අලුත් පනත් සංශෝධනයන් තුළින් ද උත්සාහ ගෙන ඇත්තේ මහජනයා සවිබල ගැන්වීමට නොව දේශපාලන පක්ෂ සවිබල ගැන්වීමට ය. ප්‍රාග්ධනයේ නිදහස් සංසරණය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අවලංගු වීම ප්‍රාග්ධන ගෝලීයකරණයේ නෛසර්ගික ලක්ෂණයකි.■