රාවය

ව්‍යවස්ථාව අසාර්ථක වුණොත් දෙසිය විසිපහම පන්නලා දාන්න ඕනෑ | රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

ව්‍යවස්ථාව අසාර්ථක වුණොත් දෙසිය විසිපහම පන්නලා දාන්න ඕනෑ | රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

තරිඳු උඩුවරගෙදර

ඔබ කිව්වා දැන් ඉදිරිපත් වෙලා තියෙන ව්‍යවස්ථා යෝජනා සියල්ලට වඩා දෙදාහේ ව්‍යවස්ථා යෝජනාවලියට කැමතියි කියලා. ඔබ එහෙම කියන්න හේතුවුණේ මොකක්ද?
දෙදාහේ ව්‍යවස්ථාව ජනවාර්ගික ප්‍රශ්නයට මේ යෝජනාවලියේ තියෙන සමහර කාරණාවලට වඩා ඍජුව ආමන්ත්‍රණය කළා. එතැන ඒකීය කියන වචනය වෙනුවට එක්සත් කියලායි තියෙන්නේ. සමහරුන්ට ඒක ප්‍රශ්නයක්. හැබැයි මම ෆෙඩරල් කියන වචනයට වුණත් බය නැහැ. දෙමළ ජනතාව වගේ මම ඒකීය කියන වචනයටත් බය නැහැ. වචන පිළිබඳ ප්‍රශ්නයක් නෑ. අපි හදාගන්න ක්‍රමයයි වැදගත් වෙන්නේ. මම කියනවා දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම ප්‍රශ්නයක් තියෙනවා කියලා. සරල උදාහරණයක් කිව්වොත් අපේ රටට නිදහස ලැබිලා අවුරුදු හැටහතක් ගියා දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියන්නට. එතැනින්ම දෙමළ භාෂාවට අපි දීලා තියෙන තැන පෙනෙනවා. දෙදාහේ කෙටුම්පත දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් යෝජනා කරලා තිබුණා. එජාපය ඒ කෙටුම්පත ගිනිතිබ්බා. ඒ ගිනිතිබ්බේ විසඳුම. දැන් එජාපය ගිනිතිබ්බා කියලා එජාපයට බැන බැන ඉන්න ඕනෑ නෑ. ඕක ඉතිහාසය පුරා වුණා. එජාපය දෙදාහේ ගිනිතිබ්බා වගේ ඊට කලින් බණ්ඩාරනායක මහත්තයා විසඳුමක් ගෙනෙනකොට ජේආර් මහත්තයා ඇතුළු පිරිස විරුද්ධ වුණා. ඩඞ්ලි මහත්තයා විසඳුමක් ගෙනෙනකොට අපි ඩඞ්ලිගෙ බඬේ මසල වඬේ කියලා පෙළපාළි ගියා. හැම ආණ්ඩුවක්ම විසඳුමක් ගෙනෙන්න හදනකොට අනෙක් පැත්තෙන් විරුද්ධ වෙලා තියෙනවා. 2015 කිසිම පක්ෂයකට තනිව ආණ්ඩුවක් නිර්මාණය කරන්න නොහැකි වුණ පසුබිමක සම්මුති ආණ්ඩුවක් හදන්න සිද්ධවුණා. ඒ නිසා දැන් තව අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා දෙදාහේ වගේ නැතිවුණත් යම් ආකාරයක විසඳුමක් ගෙනඒමට. ඒකට මේ කතිකාව වැදගත් කියලා මම හිතනවා.

ඔබ වචන වැදගත් නැතැයි කිව්වත් ඇතැම් අය කියන්නේ ඒකීය නැතිවීම රටේ අනාගතය විනාශවීමක් කියලා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
වචන සෙල්ලම කියන්නේ බොරුවක්නේ. අපි කියනවා ලෝකයේ ඒකීය රාජ්‍යයකට පරමාදර්ශී ව්‍යවස්ථාව එංගලන්තයේ කියලා. හැබැයි ඒ එංගලන්තය කැඩුණා. ස්කොට්ලන්තය, අයර්ලන්තය මොකද වුණේ. ෆෙඩරල් රටවල් නොකැඩී තියෙනවානේ. රටවල් වෙන්වෙන්නේ, එකතුවෙන්නේ ඔය තියන වචන සෙල්ලම් නිසා නෙවෙයි. මේ සෙල්ලම දෙමළ නායකයනුත් කරනවා. අද මම දැක්කා විග්නේශ්වරන් මහත්තයා විමල් වීරවංශ කියන දේ කියනවා. ඒකීය කියන එක වෙනුවට ඔරුමිත්ත නාඩු කියලා දාලා තියෙන්නේ කට්ටකමට කියලා එයා කියනවා. ඒකම තමයි මෙහේ විමල් වීරවංශ, ගම්මන්පිල කියන්නෙත්.

නවවැනි වගන්තිය ගැනත් ලොකු වාදවිවාද ඇතිවෙනවානේ. නවවැනි වගන්තිය තිබුණොත් දෙමළ ජනතාවට අසාධාරණයක් වේවිද?
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන නවවැනි වගන්තිය ඕනෑ කියලා මම කියන්නේ වෙන මොන හේතුවක්වත් නිසා නෙවෙයි. ඒ වගන්තියට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ගියොත් ජාතිවාදීන්ට ලේසියි. හැබැයි දෙදාහේ ව්‍යවස්ථාවේ බුද්ධාගම ගැන මේ වගන්තිය තිබුණේ නැහැ. මෙහෙම කාරණයක් අපි සිහිතබාගන්න ඕනෑ. දෙදාහේදී ඒකීය කියන වචනය ඉවත්කළ, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය කියන වචනය ඉවත්කළ ජීඑල් පීරිස් මහත්තයා එක්කයි දැන් ඒකාබද්ධ විපක්ෂයේ අය ඉන්නේ. එයාලා අතරම ඉන්න ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ වගේ උදවිය දෙදාහේ ව්‍යවස්ථාවට පොතයි ගඩොලයි වැඩසටහන එක්ක කඬේ ගියා. එදා ඔවුන් එක්ක ගිය මට අදත් කොන්ද තියෙනවා එදා හිටපු ස්ථාවරය හරි කියලා කියන්න. හැබැයි එදා අපි එක්ක හිටපු ඔවුන්ගේ කොන්ද දැන් කැඩිලා.

ෆෙඩරල් ක්‍රමයක් දීලා දෙමළ ජනතාවට වෙනම රටක් ලැබේවි කියන අය ඉන්නවා. ඒවා ගැන අදහස මොකක්ද?
රුහුණු, මායා, පිහිටි කියලා අපේ රට බෙදිලා තිබුණේ. ඒ ෆෙඩරල් තමයි. සෝල්බරි කොමිසම කියන්නේ 1948 ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කළ කොමිසම. ඒ කොමිසමෙන් උඩරට නායකයෝ ඉල්ලුවේ රුහුණු මායා පිහිටි හැටියට ෆෙඩරල් ක්‍රමයක නිදහසක් දෙන්න කියලා. එතකොට ඩීඑස් සේනානායක කපටි විදියට ඒකට විරුද්ධ වුණා. මොකද එයා හිතුවා තමන්ට ලැබෙන බලය අඩුවෙයි කියලා. නැත්නම් ලංකාව නිදහස ලැබෙද්දීම ෆෙඩරල් වෙන්න තිබුණු රටක්. 1952 දී ෆෙඩරල් පක්ෂය හදලා යාපනයේ නායකයෝ යාපනයේ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලලා තරග කරනවා. එයාලා පරාද වුණා. වැඩි බලය එජාපයට එහෙම ලැබුණේ. උඩරට සිංහලයෝ ෆෙඩරල් ඉල්ලද්දී දෙමළ මිනිස්සු ප්‍රතික්ෂේප කළා. ඔවුන් ජාතික පක්ෂවල එකතුවෙලා වැඩකරන්න සූදානම් වුණා. දැන් චම්පික රණවකලා දෙමළ නායකයන්ට ආරාධනා කරනවා ජාතික වශයෙන් වැඩ කරන්න එන්න කියලා. මේ වෙනකොට ෆෙඩරල් කියන වචනයට සිංහල මිනිස්සු බයයි. ඒකීය කියන වචනයට දෙමළ මිනිස්සු බයයි. ඒ නිසා ඒ බය තුනී කරගෙන මැදක් හොයාගන්න ඕනෑ. උදාහරණයක් හැටියට ශ්‍රීලනිපය ඉන්නේ ඒකීය කියන රටක් හදනවා නම් ඔරුමිත්ත නාඩු කියන වචනය තිබුණාට කමක් නැහැ. හැබැයි දහතුන්වැනි සංශෝධනයට අනුව සුප්‍රිම් උසාවිය කියනවා ඒකීය කියන ක්‍රමය ලංකාවේ ආරක්ෂා වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා කියලා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වියයුතු නැහැ කියලා අපි හිතනවා.

විධායක ජනාධිපති ක්‍රමය ගැන ශ්‍රීලනිපයට එන්න පුළුවන් මැද ස්ථාවරය මොකක්ද?
දහනවවැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමයේ සෑහෙන බලතල කප්පාදුවක් වෙලා තියෙනවා. දහතුන්වැනි සංශෝධනයේ කාරණය එක්ක විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකළ යුතුයි කියලා අපි කියනවා. හැබැයි අපි මේ අදහසේම බඩ මැද්දෙන් මස් රාත්තල ඉල්ලාගෙන හිටියොත් මේක ඉස්සරහට තල්ලු කරන්න බෑ. ඒ නිසා මගේ අදහස ශ්‍රීලනිපය ඇතුළුව හැම පාර්ශ්වයක්ම මැද තැනකට එන හැටි ගැන හිතන්න ඕනෑ. එතකොට ශ්‍රීලනිපයේ අපි නම්‍යශීලී වෙන්න සූදානම් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව. බලතල අඩු නාමික ජනාධිපතිවරයෙක් ඡන්දයෙන් පත්වුණාට වැඩක් නෑ. මොකද අපි කියන්නේ බලය බෙදනවා නම් සංවරණ හා තුලන ක්‍රමයට බලය සමබර වෙන ජනාධිපතිවරයෙක් වෙන්න ඕනෑ. අපි ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයෙකුට කැමතිවුණේ සුළු ජනවර්ගවලට වාසිදායකයි කියන විශ්වාසයෙන්. හැබැයි සුළු ජනවර්ගවලට අයිති පක්ෂම කියනවා නම් ඡන්දයෙන් පත්කර ගන්නා ජනාධිපතිවරයෙක් එපා කියලා අපට පුළුවන් ඒ ගැන හිතන්න. ඉතින් මම කියන්නේ අපි මැද තැන හදාගන්න ඕනෑ. ජනාධිපතිවරයෙක් ඕනෑ. ඒ ජනාධිපතිවරයාට නිශ්චිත බලතල තිබිය යුතුයි. හැබැයි පත්කරගන්නා ක්‍රමවේදය ගැන සාකච්ඡාවකට යමු. එතකොට අපට පුළුවන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන්ද, පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල ඡන්දවලින්ද, ඇමෙරිකාවේදී වගේ ඡන්ද විද්‍යාල ක්‍රමයකින්ද කියලා බලමු. ඒක මැදක් වෙයි. මම හිතනවා ඒ මැදට ගේන්න පුළුවන් නම් එතකොට කට්ටකමට ඉන්න අයට මොකක් හරි තැනක් තීරණය කරන්න වෙනවා.

මේ ආණ්ඩුවේ අවසන් අවුරුද්ද. ආණ්ඩුව බොහෝ තැන්වල අප්‍රසාදයට ලක්වෙලා තියෙනවා. මේ පසුබිමේ ඉඳගෙන ව්‍යවස්ථා ක්‍රියාවලිය සාර්ථක කරගන්න පුළුවන් වේවිද? ඔබට තියෙන අදහස මොකක්ද?
මම තාම ඉන්නේ සුභදායී අදහසක. කවදාවත් කිසිම දේශපාලන පක්ෂයකට තුනෙන් දෙකක් ලැබෙන්නේ නෑ. ආයෙත් මේ වගේ ජනාධිපතිවරයෙක් බිහිවෙන්නේ නෑ. සම්බන්ධන් වගේ මධ්‍යස්ථ දෙමළ දේශපාලන නායකයෙක් ආයේ බිහිවෙන්නේ නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් සුවිශේෂී විදියට ජාතික ප්‍රශ්නය දිහා බලනවා. ඒකාබද්ධ විපක්ෂයේ සමහර අයගේ හැසිරීමත් උතුරේ වෙනත් නායකයන්ගේත් හැසිරීම බැලුවාම පේනවා ඉදිරියේදී රටේ මහා විශාල ජාතිවාදයක් අවුස්සන්න ඉන්නේ. ඉතින් මේ වෙලාවේ බෝම්බ ජාතිවාදීන්ව පරද්දන්න ඕනෑ නම් අපි මැදක් හොයන්න ඕනෑ. අවස්ථාවාදීන්ට එකතුවෙන්න හේතු ඕනෑ නෑ. අදහසක් ඇති අයටයි එකතුවෙන්න අමාරු. අපි කරන්න ඕනෑ ඒ අමාරු කාර්යය. මේ ව්‍යායාමය අසාර්ථක වුණොත් ඒකේ පළමු විත්තිකරු එජාපය. මොකද ඔවුන්ට අදහසක් නෑ. පාර්ලිමේන්තුවේදී අජිත් පෙරේරා විමල් වීරවංශලාගේ පන්නයේ කතාවක් කියනවා. මරික්කාර් මනාප ක්‍රමය ඕනෑමයි කියනවා. විජයදාස රාජපක්ෂ ඇමතිකම ගහල ගියාම අමුතුම කතාවක් කියන්න පටන් අරන්. මැදකට එන්න අදහසක් තියෙන්න එපැයි. දෙවැනි විත්තිකරු විදියට ශ්‍රීලනිපය වගකියන්න ඕනෑ. තුන්වැනියට ටීඑන්ඒ, ජේවීපීය, මුස්ලිම් කොංග්‍රසය වගේ අයත් වගකියන්න ඕනෑ සම්මුතියකට එන්න බැරිවීම ගැන. හැබැයි මේක අසාර්ථක වුණොත් දැන් මම කිව්ව පාර්ශ්වවලින් කවුරුත් ජයග්‍රහණය කරන්නේ නෑ. දිනන්නේ අන්තවාදීන්. විග්නේශ්වරන්, සිවාජිලිංගම්, විමල් වීරවංශ, ගම්මන්පිල. අපි දන්නේ නැහැ ඊළඟට රටේ බලය උතුරේත් දකුණේත් කවුරු ගනියිද කියලා. රට ගිනි තියන අය එන්න ඉඩ තියෙනවා. ෆෙඩරල් ඕනෑ නැහැ, මිනිස්සු බෙදිලා කුළල් කාගන්න පටන්ගනියි. ඉතින් ව්‍යවස්ථා යෝජනාවලිය මධ්‍යස්ථ මතධාරීන් හෝ අන්තවාදීන් අතරින් කවුරු රටේ අනාගතය බාරගනියිද කියලා තීරණය කරන තීරණාත්මක සාධකය. මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය අසාර්ථක වුණොත් අපි කාටවත් අනාගතයේ දේශපාලනය කරන්න අයිතියක් නෑ. විමල් වීරවංශලා කියනවා ව්‍යවස්ථාව සම්මත වුණොත් පාර්ලිමේන්තුව වැඩක් නෑ, ගමට එන්න දෙන්න එපා පන්නන්න කියලා. හැබැයි ඇත්ත කතාව මේ අවසාන අවස්ථාව මිස්කළොත් තමයි අපට ගමට යන්න අයිතියක් නැත්තේ. මේ ව්‍යවස්ථාව අසාර්ථක වුණොත් මේ දෙසිය විසිපහම පන්නලා දාන්න ඕනෑ.■