රාවය

මට දිවුලපිටියෙන් යන්න වුණේ පස් කන මිනිස්සු නිසා |නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

මට දිවුලපිටියෙන් යන්න වුණේ පස් කන මිනිස්සු නිසා |නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

තරිඳු උඩුවරගෙදර

මේ ආණ්ඩුව ආපු කාලේ ඔබ නිතර අල්ලස් දූෂණ සිදුවීම් පිළිබඳ පැමිණිලි අරගෙන ගිය හැටි අපි දැක්කා. හැබැයි ඒ බොහෝ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිද්ධවෙන්නේ නෑ. ඒ වෙනුවට හොරු අල්ලන්න ආපු ආණ්ඩුවටත් දූෂණ චෝදනා ඇවිත් නේද?
ලක්ෂ හැටදෙකහමාරක ජනතාව කිව්වා ඉහට උඩින් දූෂණ තියෙන නිසා ඒ ආණ්ඩුව එපා කියලා. මම කියන්නේ අනෙක් සියලු හේතුවලට ඉහළින් ඒ ආණ්ඩුව පරාජය වෙන්න හේතුවුණේ දූෂණ වංචා. අනෙක රටක් දියුණු කරන්න නම් මුලින්ම කරන්න ඕනෑ දූෂණ වංචාවලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමයි. එහෙම වුණා නම් ලංකාව සුරපුරයක් කරන්න පුළුවන්. මේ ආණ්ඩුව ජනවාරි අටවැනිදා ආවේ ඒ වෙනස කරන්නට. හැබැයි මේ ආණ්ඩුව එන්න කලින්ම මහින්ද අමරවීර ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් අපූරු කතාවක් කිව්වා. ගිය ආණ්ඩුව හොඳට කාලා ඉන්නේ. ඒ හින්දා අලුතෙන් කන්න ඕනෑ නෑ. අලුත් කට්ටිය බඩගින්නේ ඉන්නේ, ආවොත් කාගෙන කාගෙන යයි කියන එකයි ඔහු කිව්ව කතාවෙ තේරුම. මේ ආණ්ඩුවේ ඇතැම් සිදුවීම් දැක්කාම කතාවේ ඇත්තකුත් තියෙනවා කියලා හිතෙනවා. මේ මහා පක්ෂ සහ පොඩි පක්ෂ බැලුවාම පක්ෂ සියල්ලේම ඉන්නේ බහුතරයක් හොරු. නායකයොත් හොරුන්ට හොරකම් කරන්න ඉඩදෙනවා.

එහෙනම් ඔබ මේ ආණ්ඩුවේ ඉන්නේ ඇයි?
මේ ආණ්ඩුව සාපේක්ෂව යහපත් හින්දා. හොරුන්ට විතරක් මේකේ ඉඩදීලා අවංක අය ඔක්කොම එළියට බැස්සොත් ඒ යහපත් තත්ත්වය නැතිවෙන්න ඉඩ තියෙන හින්දා. ආණ්ඩුවේ ඉඳගෙන අපි යමක් කරන්න ඕනෑ. අනෙක අපට සංසන්දනාත්මකව බලද්දී හොඳ ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. හොරකමට විරුද්ධ වෙන්න පුළුවන් වාතාවරණයක් ඉන්පස්සේ ඇතිවුණා. මහදවල් එළිපිට හොරුන්ව රැක්කේ නැහැ. චෝදනා එල්ලවෙද්දී ඒවාට ප්‍රතිචාර දැක්වූවා. චෝදනා පිට හොරුන්ව ළඟ තියාගෙන හිටියේ නෑ. ඒ නිසායි ඇමතිවරු තුන්දෙනෙකුට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ. ඇත්තටම හොරුන්ට ලැබුණු පසුබිම උඩුයටිකුරු වුණා. අපි දැක්කා කැබිනට් ඇමතිවරු මාංචු දාගෙන ගෙනියනවා. මහින්දානන්ද අලුත්ගමගේ, සජින් වාස් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ වගේ අය සම්බන්ධයෙන් මුලින්ම පියවර ගත්තා. දැන් අධිකරණයේ ඒවා තියෙනවා. අධිකරණයට පුළුවන් වෙන්න ඕනෑ ඉතිරි ටික කරන්න

.
ඔබ අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නීතිඥ සංගමයෙන් අධිකරණ අපහාස චෝදනා මත නඩු පවරන තැනට පත්වෙලා නේද?
ඒ ප්‍රකාශයේදී මම අධිකරණය අපහාසයට ලක් කළාද නැද්ද කියන එක අධිකරණයේදී තීන්දු වෙන්න ඕනෑ දෙයක් නිසා මම අධිකරණයට ගරුකරමින් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අධිකරණයට අපහාස කළාද නැද්ද කියන එක ගැන කියන්නේ නෑ. හැබැයි මම කළ ප්‍රකාශයේ හරය ඔබ එක්ක කියන්න මට අයිතිය තියෙනවා. මම කිව්වේ මේ රටේ මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක්. විනිසුරුවරුන් පමණක් නෙවෙයි, නීතීඥවරුන් අවංකව නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනීඉන්නවාද කියන සැකය මිනිස්සුන්ට තියෙනවා. ධනවතුන් සහ දිළින්දන්ට වෙනසක් වෙනවාද කියන සැකය ජනතාවට තියෙනවා. මේ ගොඩක් දේවල් හෙළිකළේ මම නෙවෙයි, රාවයම තමයි. තිළිණ ගමගේ සිද්ධිය බලන්න. ඔහු මහේස්ත්‍රාත් විනිසුරුවරයෙක්. බරපතළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් වරෙන්තු ලබනවා. රාවයේම ලියැවුණු විදියට ඔහු පල්හොරෙක් වගේ හැංගිලා නීතියෙන් කට්ටි පනිනවා. ඉන්පස්සේ අධිකරණයට ඉදිරිපත් වෙලා සාමාන්‍ය ක්‍රමයට පිටින් ඇප ලබනවා. ඉන්පස්සේ විනිසුරුවරයෙක් විදියට වැඩත් කරනවා. දැන් ඒ ගැන කතාවක්වත් නෑ. අඹ ගෙඩියක් හොරකම් කළ, අටදාහක් අල්ලස් ගත්ත කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔහොම නෙවෙයි. නොදැනුවත්කමට සීගිරියෙ කැටපත් පවුරේ කුරුටුගෑ දිළිඳු දරුවෙක්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම නෙවෙයි. වික්ටර් අයිවන් මහත්තයා ලිව්ව නොනිමි අරගලය කියන පොත අධිකරණය ගැන උනන්දුවෙන කෙනෙක්ට කියවන්න වටිනවා. මම නිකම් හොයලා බැලුවා ලෝකයේ වෙන සිදුවීම් දිහා. කිසිම තැනක අධිකරණයට අශූචි ගහපු සිද්ධියක් ගැන අහන්න ලැබිලා නැහැ. ඇත්තටම අධිකරණය වැඩියෙන් කල්පනා කරන්න ඕනෑ ඉහළ සමාජ බලයක් තියෙන පුද්ගලයන්ට වඩා කාර්යක්ෂමව දඬුවම් ලබාදෙන්නයි. අධිකරණ පද්ධතිය එවැනි අය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මොකද සමාජයක් නීතිය රකින්න හුරුවෙන්නේ ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන විදිය බලාගෙන ඉඳලායි. ඉතින් සමාජය නීත්‍යනුකූල කරන්න නම් අධිකරණයට විශේෂ වගකීමක් පැවරෙනවා.

හැබැයි ආණ්ඩුවට අධිකරණයේ පිට දාලා නිහඬව ඉන්නත් බැහැ. ආණ්ඩුවම සමහර සිදුවීම් පරීක්ෂණ කරලා අධිකරණය ඉදිරියටවත් නොගිහින් යටගැහුවා. ඒ අතරේ ඉදිරියෙන්ම තියෙන භයානක සිදුවීමක් තමයි ජනවාරි අටවැනිදා සිදුවුණ කුමන්ත්‍රණය. ඒවා ගැන ආණ්ඩුව වගකීම ගතයුතුයි නේද?
ජනවාරි අටවැනිදා සිද්ධිය පැහැදිලිවම සිද්ධවුණා. රාවය සාක්ෂි ඇතිව ඒක ලිව්වා. මංගල සමරවීර ඇමතිතුමා පැහැදිලිවම කිව්වා ඒ ගැන. ඉතින් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතුවම තිබුණා. ඒක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සිදුවුණු භයානකම සිද්ධියක්. ඒක සම්බන්ධයෙන් පියවර නොගැනීම රජයෙන් කළ ලොකු වැරැද්දක්. ඒ වෙලාවේ නීතිය වෙනුවෙන් පෙනී ඉන්න නිලධාරීන් කිහිපදෙනෙක් උත්සාහ ගත්ත නිසයි ඒක වැළකුණේ. මේකේ භයානකකම තියෙන්නේ ජනප්‍රිය මාධ්‍ය හරහා ඒ කුමන්ත්‍රණ සිද්ධිය යටපත්වෙලා බොහොම සාමකාමීව රටේ බලය හුවමාරු කළ නායකයෙක් විදියට මහින්ද රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් අසත්‍ය කරුණක් සමාජගත වීම. මම ඔබ පෙන්වන දේ පිළිගන්නවා.

ආණ්ඩුව හිටපු ආණ්ඩුවේ දූෂණ පිළිබඳ පියවර නොගත්තා පමණක් නෙවෙයි, ඔවුන් දූෂණවල යෙදුණු අවස්ථා පිළිබඳ චෝදනා ගොඩක් එල්ලවුණා නේද?
ඒක ඇත්ත. ඒවා ප්‍රතික්ෂේප කරන්න අමාරුයි. මුලින්ම ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් තිලක් මාරපන මහත්තයා කිව්වා ඔහු සේවාදායකයෙක් කියලා. විජේදාස රාජපක්ෂ අමැතිවරයාට චෝදනා රැසක් එල්ලවුණා. බොහෝ ඇමතිවරු ඇමතිකමට ආ ගමන් සල්ලි ටිකක් හොයාගන්න ක්‍රම හොයාගන්නවා. රවී කරුණානායක මහත්තයාගේ සිද්ධිය මොන තරම් ලැජ්ජාසහගත එකක්ද. ඒ ගෙදර මිලට ගන්න ගියාම ඒ මොහොතේම අර්ජුන් ඇලෝෂියස් ගෙදරට ආ බව සාක්ෂි ලැබෙනවා. ඒ වෙලාවේම සල්ලි ගෙවනවා. මිලියන ගණනක්. හැබැයි මම යළිත් අර කාරණය කියනවා. මේ ආණ්ඩුව දූෂිතයන්ව මහදවාලේ රකින්නේ නැහැ. එක් පැත්තකින් පෙනෙනවා ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාට එරෙහි මේ බරපතළ චෝදනාව ප්‍රසිද්ධියේ විභාග වෙනවා. හිටපු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා කවුද කියලා නිකමට මතක් කරන්න. ඔහු සම්බන්ධයෙන් මෙවැනි සාක්ෂියක් ලංකාව තුළදී දෙන්න පුළුවන්ද. ඉතින් ඒ සම්බන්ධයෙන් සතුටුවිය හැකි තත්වයකුත් තියෙනවා.

කොහොමවුණත් ඔබ දූෂණ වංචාවලට විරුද්ධ වෙන්න ගිහින් ආසන සංවිධායකකමත් නැතිකර ගත්තා කියලායි දැන් කියැවෙන්නේ. ආණ්ඩුවේ නායකයන් දූෂණවලට විරුද්ධ නම් දූෂණ විරෝධියෙක් වන ඔබට ලැබිය යුත්තේ මීට වඩා ඉහළ ගෞරවයක් නේද?
මම දිවුලපිටියට ගියාම පස් ජාවාරම්වල ප්‍රශ්නය ගැන මට මිනිස්සු ඇවිත් කිව්වා. මම ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා ඒ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා මේ ප්‍රශ්නයට රටේ අවධානය යොමු කරවන්න මට ඕනෑවුණා. එහෙම පස් ජාවාරම් කිහිපයක් ගැන කතාකරද්දී රජයේම ප්‍රබල සංවිධායකවරයෙක්ට අයිති තැනකට යන්න සිද්ධවුණා. ඒ සිදුවීමෙන් පස්සේ ඒ ජාවාරම්කාරයන්ම කිව්වා මාව දිවුලපිටියෙන් එලවලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා. පස්සේ කබීර් හෂීම් ඇමතිතුමා මට කතාකරලා කිව්වා රන්ජන් ඔයා දිවුලපිටියෙන් යන්න, මොකද ඔයා සම්බන්ධයෙන් අනෙක් අයගේ චෝදනා තියෙනවා කියලා. මම ඇහුවා මොනවාද මට තියෙන චෝදනා කියලා. එතුමා කිව්වේ මම නම්‍යශිලී නැහැ කියලායි. ඒ ගැන මම තවත් අහද්දී කිව්වා, ඔයා දිවුලපිටියට පිරිසිදු වැඩියි කියලා. මම ඇහුවා ඒ කියන්නේ මොකක්ද කියලා. එතකොට කිව්වෙ අවුරුදු විසිගාණක් තිස්සේ විපක්ෂයේ හිටපු අය මේ. වැලි ට්‍රැක්ටරයක් එහෙම අහුවුණොත් මම පොලීසියයට කතාකරලා බේරලා දෙන්න ඕනෑ කියලා. මම ඒකට එකඟ වුණේ නැහැ. මම කිව්වා මට ඒ විදියට පොලීසියට බලපෑම් කරන්න බැහැ කියලා. මට එරෙහිව සිරිකොතට පැමිණිලි ගොඩක් ඇවිත් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මාව ඉවත් කළේ. ඒ බව සියලුදෙනාම දන්නවා. මේ සිද්ධියේදී ඔවුන් ජයග්‍රහණය කළා. මිනිස්සු ඉන්නවා පස් උඩ වැවෙන දේවල් කන. තවත් අය පස් යට වැවෙන දේවල් වැඩිපුර කනවා. ඒත් තව මිනිස්සු ජාතියක් ඉන්නවා පස් කාලා ජීවත්වෙන අය. මට දිවුලපිටියෙන් යන්න වුණේ පස් කන මිනිස්සු නිසා. මම දිවුලපිටියේ ආසන සංවිධායකකම ආරක්ෂා කරගන්න කියලා පස් ටික කන්න දුන්නොත් අනාගත පරම්පරාවට ලොකු ගැටලුවලට මුහුණදෙන්න වෙනවා. ඉතින් මට යන්න සිදුවීම ගැන මම දුක්වෙන්නේ නැහැ. මට තේරෙන, මට සංවේදී වෙන සිදුවීම් වෙනුවෙන් පුළුවන් විදියට මම පෙනීසිටිනවා. ඒ දේශපාලනයෙන් මට ආපස්සට හැරෙන්න බැහැ. ඒක තමයි මගේ අනන්‍යතාව. ඒ තමයි මගේ දේශපාලනය. ඒවා සම්බන්ධයෙන් මට චෝදනා එයි, නඩු පැවරෙයි. ඒත් මට ඒකෙන් ආපස්සට හැරෙන්න බැහැ.■