රාවය

ලජ්ජයි අර්ජුන!

ලජ්ජයි අර්ජුන!

ආණ්ඩුව මාසයකට එකක් හෝ දෙකක් බැගින් සිය අසමත්කමට උදාහරණ පෙන්වමින් සිටියි. පසුගිය සතිය පුරා ම පැවතුණු පෙට්‍රල් අර්බුදය එහි අලුත් ම උදාහරණය යි.
ඇත්ත. ජනාධිපතිවරයා කිවූ පරිදි, පෙට්‍රල් අර්බුදයටත් ඔහු පෞද්ගලික ව වගකිව යුතු නැත. හැම ප්‍රශ්නයක් ම ජනාධිපතිවරයා වෙත උස්සා ගෙන ගිය විට විසඳුම් දීමේ මුග්ධ ක්‍රමය හොඳින් පවත්වා ගෙන ගියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ය. ඒ තමාගේ විධායක ජනාධිපතිකමේ බලය හැම කුණු මුල්ලකට ම පැතිරවීමට ඔහුට තිබුණු වුවමනාව නිසා ය. ඒ නිසා ජනාධිපතිවරයාට පහළින් සිටි කිසිවකු තමන්ට කෙතරම් බලයක් තිබුණත්, අත්‍යවශ්‍ය තීන්දු තීරණ පවා නොගෙන ජනාධිපතිවරයා වෙත ම යැවීමේ ක්‍රමයක් ඒ කාලයේ තිබුණි. ඒ ක්‍රමය අවසන් කළ යුතු බවට විවාදයක් නැත. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කළ යුතු බව සාධාරණීකරණයට එක් සාධකයක් වන්නේ ද මේ පිළිවෙත යි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ තත්ත්වය තේරුම් ගෙන සිටීම වැදගත් කාරණයකි.
එහෙත්, ජනාධිපතිවරයා ද ඇතුළත් මුළු ආණ්ඩුව ම පෙට්‍රල් අර්බුදයේ වගකීම භාර ගත යුතු ය.
පෙට්‍රල් අර්බුදය ආසන්න වශයෙන් සතියක කාලයක් පුරා පැවතියේ ය. ඒ කාලය පුරා ම ඛනිජ තෙල් විෂය භාර ඇමතිවරයා යහමින් පෙන්වූයේ මේ විෂය හැසිරවීමට තමාගේ ඇති නොහැකියාව යි. අනෙක් විෂයන් සම්බන්ධයෙන් ද ඔහු එසේ ම බව පසුගිය කාලයේ වුවමනාවටත් වැඩියෙන් ඔප්පු කර තිබේ.
අර්ජුන රණතුංග ඇමතිවරයා මේ අර්බුදය කළමනාකරණයේ දී මුළුමනින් ම අසාර්ථක වුණා පමණක් නොව, රටට බොරු ද කීවේ ය. වැරදි තීරණ ගත්තේය. අවසානයේ දී ඉන්දියාවෙන් තෙල් නැවක් එන තුරු මුහුද දෙසට නෙත් අයාගෙන සිටින විහිළුකාර තත්ත්වයකට රට ඇද දැමූයේ ඔහු ය.
ඇමතිවරයා රටට කීවේ, ඉන්දියා අයිඕසී සමාගම ප්‍රමිතියෙන් තොර බාල පෙට්‍රල් ගෙන්වූ නිසා මේ අර්බුදය ඇතිවුණු බව ය. එහෙත් එය අසත්‍යයකි. ඉන්දීය තෙල් සමාගම පාලනය කරන්නේ ලංකාවේ ඉන්ධන වෙළඳපොළෙන් සියයට දහයක් පමණි. ඉතිරි සියයට අනූව ම පවතින්නේ ඛනිජතෙල් ඇමතිවරයා භාරයේ ය. පෙට්‍රල් නැති වුණේ අයිඕසී සමාගමේ පිරවුම්හල්වල නොවේ. ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල්වල ය. ඒ නිසා ප්‍රශ්නය තිබී ඇත්තේ ඇමතිවරයාගේ පැත්තේ ය. තමාගේ අසමත්කම වසා ගන්නට ඔහු තවත් වචනාලංකාර අර්බුදය වටා දැවටුවේ ය. එකක් නම්, එම ප්‍රශ්නගත පෙට්‍රල් තොගය බෑමට තමන්ට දේශපාලන වශයෙන් බලපෑම් තිබුණු බවත්, තමා ඒවාට යටත් නොවුණු බවත් කීම ය. නියත වශයෙන් ම එසේ වන්නට ද ඇත. ඊට අමතර ව මේ පෙට්‍රල් හිඟය ඛනිජ තෙල් සැපයුම පෞද්ගලික අංශයට හෙවත් ඉන්දියාවට භාර දීමේ අනිසි ප්‍රතිඵලයක් බව ද ඔහු කීවේ ය. ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් තොගය තෙල් ගොඩ බෑමට අනිසි බලපෑම් තිබුණේ නම් ඇමතිවරයා ඊට යටත් නොවීම අගය කළ යුත්තකි. එහෙත්, මේ ප්‍රශ්නය තෙල් සැපයුමෙන් කොටසක් පෞද්ගලීකරණය නිසා උද්ගත වූවක් බව කීම නම් මුසාවකි. ප්‍රශ්නය තිබුණේ ඒ පැත්තේ නොව, ඇමතිවරයාගේ පැත්තේ නිසා ය. ඇමතිවරයා කළේ තමන්ගේ නොහැකියාවේ නිරුවත වසා ගන්නට, පදනමක් නැති එහෙත් සමාජයේ ජනප්‍රිය කතිකාවේ තිබෙන දේවල් ඇඟේ දවටා ගෙන, සමාජයෙන් අනුකම්පාවක් හා බොරු වීරත්වයක් ලබන්නට වෑයම් කිරීම ය.
අර්බුදය වැඩෙන විට, වාහනවලට මිස බෝතල්වලට පෙට්‍රල් නිකුත් නොකරන බවට විහිළුකාර චක්‍රලේඛයක් නිකුත් කළේ ද ඇමතිවරයා ය. මෙවැනි මොහොතක ජාවාරම්කාරයන් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන බෝතල්වලට පෙට්‍රල් ලබාගෙන වැඩි මිලට විකිණීමේ වෙළෙඳාමක් කරන බව පැහැදිලි ය. එහෙත්, බොහෝ වාහන තිබුණේ මේ අනපේක්‍ෂිත පෙට්‍රල් හිඟය නිසා නැවැත්වූ තැනින් හොලවන්නට බැරි තත්ත්වයක ය. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි මෝඩ චක්‍රලේඛයක් නිකුත් කිරීම විසින් පෙන්වූයේ ඇමතිවරයාගේ සිතුවිලි වපසරියේ සෙන්ටිමීටර ගණන යි. එය කෙතරම් විහිළුවක් වීද යත්, දිනයක් ඇතුළත චක්‍රලේඛය අවලංගු කරන්නට ඇමතිවරයාට ම සිදු විය.
හානිය අවම කිරීමට ගත හැකිව තිබුණු එක් පියවරක් නම්, ආරම්භයේ සිට ම වාහනයකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමේ නියමයක් පැනවීම යි. අර්බුදයේ ඇත්ත තත්ත්වයත්, එය සමනය වීමට ගතවන නියම කාලයත් ගැන අවබෝධයක් ඇමතිවරයාට, ඛනිජතෙල් සංස්ථාවේ බලධාරීන්ට ආරම්භයේ දී ම තිබුණේ නම් එය මුලින් ම කළ යුතු ව තිබුණි. එවැන්නක් කළේ නම්, තමන්ට වුවමනා ප්‍රමාණයට වඩා පාරිභෝගිකයන් එකවර ඉන්ධන ලබාගැනීමෙන් සිදුවන අවුල මඟහරවා ගැනීමට ඉඩ තිබුණි. එවැනි පියවරක් නොගැනීමෙන් ද පෙනෙන්නේ ඇමතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සිතීමේ සීමාව යි. හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීමට වුවමනා ප්‍රමාණවත් තරම් ඉන්ධන ගබඩා කොට නොතැබීම වැනි කාරණා ඊට අමතර ය.
අවසානයේ දී ආණ්ඩුව තම වාර්තා පොතට තවත් ඍණ ලකුණු ටිකක් එකතු කර ගත්තේ ය. පෞද්ගලික ව පෙට්‍රල් බෙදා හරින්නේ නැති වුණත්, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් තමන්ගේ ආණ්ඩුවේ අසමත්කම්වලට මුළුමනින් ම වගකිව යුතු ය. ඒ නිසා, පිරවුම්හල්වල පෝලිම්වල දී රටේ ජනතාව කළ ඇනුම්බැනුම් ඇසීමට ඒ දෙදෙනා හැම අතින් ම සුදුසු ය.■