රාවය

ඉන්දීය විරෝධයෙන් වනසන පෙට්‍රල් මාෆියාව

ඉන්දීය විරෝධයෙන් වනසන පෙට්‍රල් මාෆියාව

ලසන්ත රුහුණගේ

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ගෙන්වූ පෙට්‍රල් නැවක් ප්‍රතික්ෂේප වීම නිසා ඇති වූවා යැයි කියන පෙට්‍රල් හිඟවීමේ හෝ පෙට්‍රල් නැතිවීමේ වාහන හිමියන්ට දරුණු වූ තත්ත්වය නොවැම්බර් 09 වැනිදා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වූ පෙට්‍රල් නැව නිසා සමනය වනු ඇතැයි ප්‍රකාශයට පත්වී ඇත.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ගෙන්වනු ලැබූ පෙට්‍රල් නැවක් ප්‍රතික්ෂේප වී ඇති බවත් එම නැවේ පෙට්‍රල් නැවත ශ්‍රී ලංකාවට ගොඩබෑම සඳහා උත්සාහයක් ගනිමින් පවතින බවටත් වූ ප්‍රචාරය පළමුවෙන්ම ප්‍රසිද්ධියට පත්කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිතියක්ය. එම ප්‍රහාරයේදී පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අනතුරද ඔවුන් සමාජය හමුවේ තැබූ අතර විශේෂයෙන්ම මතුකර පෙන්වූයේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට එරෙහි සිය පක්ෂයේ සුපුරුදු ඉන්දීය විරෝධයය. අනෙක් පැත්තෙන් පෞද්ගලීකරණයට එරෙහිව සුපුරුදු විරෝධයය. එහිදී ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයද නැවත මාතෘකාවක් බවට පත්කරගනිමින් ප්‍රකාශ වූයේ රජය සතුව එම තෙල් ටැංකි සංකීර්ණය පැවතියේ නම් පෙට්‍රල් හිඟයක අර්බුදයක් මතු නොවන බවය. එමෙන්ම ඉන්දියන් ඔයිල් සමාගම හරහා ඉන්දියාවට ශ්‍රී ලංකාව අකර්මණ්‍ය කිරීමේ හැකියාව ඇති බවද එහිදී අවධාරණය කරනු ලැබීය.
කෙසේ හෝ නොවැම්බර් 02 බ්‍රහස්පතින්දා වනවිට තෙල් හිඟයක කටකථා පැතිරෙන්නට වූ අතර වාහන හිමියෝ ඒ නිසාම තෙල් ගබඩා කර ගැනීමට ලකලෑස්තිවී සිටියහ. ඒ නිසාම එම දින රාත්‍රියේ සිටම පෙට්‍රල් ලබා ගැනීමේ වාහන පෝලිම් ඉන්ධන පිරවුම්හල් අවට නිර්මාණය වන්නට වූ අතර එම පෝලිම් මෙම සටහන ලියන නොවැම්බර් 09 වැනිදා උදැසන වනවිටත් දක්නට ලැබුණි. ඒ අතර සමහර ඉන්ධන පිරවුම්හල් පෙට්‍රල් නැතිව වසා දමා තිබුණි. මෙම කාලය ඇතුළත දී කෑන් ඇතුළු බෝතල්වලට පෙට්‍රල් නිකුත් නොකරන ලෙසට ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක් පවා නිකුත් කරන්නට සිදුවූ අතර නැඟුණ විරෝධය හමුවේ විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංගට පසුව එය ඉවත් කරන්නට සිදුවිය.

පෙට්‍රල් හිඟයට හේතු ඉදිරිපත් කරමින් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්තෝබර් 17 දින ගෙන්වන ලද පෙට්‍රල් නැවේ තිබූ පෙට්‍රල් පරීක්‍ෂණ දෙකකදීම ප්‍රතික්ෂේප වූ බැවින් එම පෙට්‍රල් බාර ගැනීම තමා ප්‍රතික්ෂේප කළ බවත්, එම නැව ආපසු පිටත් නොවී ලංකාවට පෙට්‍රල් බෑම සඳහා ත්‍රිකුණාමල මුහුදේ නැංගුරම්ලා ඇති බවත්, තමාට එම නැව බාරගන්නා ලෙස බලපෑම් ඇති බවත්, අමාත්‍ය තනතුර අහිමි වූවද තමා එයට ඉඩ නොදෙන බවත්, බාල පෙට්‍රල් මඟින් පෙට්‍රල් හිඟයටත් වඩා දරුණු බලපෑමක් රටට ඇතිවිය හැකිවීම ඊට හේතුව බවත්ය.

එසේම විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග එහිදී වැඩි දුරටත් කීවේ ප්‍රතික්‍ෂේප වූ තෙල් නැව වෙනුවට තවත් තෙල් නැවක් ඔක්තෝබර් 31 හෝ නොවැම්බර් 01 දින ලබාදීමට ඉන්දියන් ඔයිල් සමාගම පොරොන්දු වූවද එය ඉටු නොකළ බවත්, නොවැම්බර් 04 දින ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 16000ක තෙල් නැවක් දින හතරක කාලයකින් ගෙන්වා දිය හැකි බවට පැවසූ බවත් එහිදී එම නැවේ ඇති ඩීසල් ද බාරගත යුතු බවට කොන්දේසියක් පැනවූ බවත් එම ඩීසල් ප්‍රමිතියෙන් තොර නිසා එයද ප්‍රතික්‍ෂේප කළ බවත්ය.

තවදුරටත් ඔහු පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇණැවුම් කළ තෙල් නැවක් නොවැම්බර් 02 හෝ 03 දිනවල පැමිණීමට නියමිතව තිබූ බවත්, එයද දින හයකින් ප්‍රමාද වන බවත් එතරම් ප්‍රමාදයක් මීට පෙර සිදුවී නොමැති බවත්, අමතරව සපුගස්කන්ද පිරිපහදුවද විදුලිබලය ඇනහිටීම හේතුවෙන් ඔක්තෝබර් 31 දින සිට දින තුනක් අක්‍රියව පැවතීම මෙම පෙට්‍රල් හිඟයට හේතු සාධක වන බවත්ය.

එසේ වුවද ඉන්දියන් ඔයිල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ ඉන්ධන අලෙවියෙන් 10%ක පංගුවක් පමණක් තම සමාගම දරන බවත් ඉතිරිය රජය සතු සමාගම දරන බවත් තම සමාගම දිනකට මුදා හරින්නේ මෙටි්‍රක් ටොන් 600ක පෙට්‍රල් ප්‍රමාණයක් බවත්, එම නිවේදනය නිකුත් කරන දින වන විටද තම සමාගම සතුව මෙටි්‍රක් ටොන් 3500ක පෙට්‍රල් සංචිතයක් පවතින බවත්ය. එමෙන්ම අර්බුදයට හේතු වූ පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 35000ක් රැගත් ඵරැී ඔධඕඛ නැව ඔක්තෝබර් 16 දින ශ්‍රී ලංකාවට පැමිණි බවත්, එම නැවේ ඉන්ධන ප්‍රතික්ෂේප වූ බැවින් එම ඉන්ධන පෙරණය සඳහා අවසර ඉල්ලූ බවත්, එයට ඉඩ ලබානොදුන් බවත් හා ඒ නිසා එම නැව හරවා යැවූ බවත්ය.

මේ ආකාරයට වූ රජය හා ඉන්දියන් ඔයිල් සමාගම යන දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සත්‍යද අසත්‍යද කියා කිරාමැන බැලීම සඳහා ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපළ හා ගබඩා පහසුකම් පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම ප්‍රයෝජනවත්ය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග අනුව රටේ දිනක පෙට්‍රල් අව්‍යශ්‍යතාව මෙටි්‍රක්ටොන් 2500ක් පමණය. සමාන්‍යයෙන් මසකට මෙටි්‍රක් ටොන් 75000ක් පමණය. රටේ පෙට්‍රල් ගබඩා කිරීමේ මුළු ධාරිතාව මෙටි්‍රක් ටොන් 110000ක්ය. ඒ ඉන්දියන් ඔයිල් සමාගම සතු ත්‍රිකුණාමල චීන වරායේ මෙටි්‍රක්ටොන් 20000ක් හා සපුගස්කන්දේ මෙටි්‍රක්ටොන් 5000ක්, මුතුරාජවෙල මෙටි්‍රක්ටොන් 45000ක් හා කොලොන්නාවේ මෙටි්‍රක්ටොන් 40000ක් වශයෙන්ය.
මෙම ධාරිතාව නිසා සාමාන්‍යයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දළ වශයෙන් මසකට ගෙන්වන පෙට්‍රල් ප්‍රමාණය මසකට අවශ්‍යතාවට වඩා මෙටි්‍රක් ටොන් 35000ක් 40000ක් අතර ප්‍රමාණයක පැවතීම සාමාන්‍ය තත්ත්වයය. එම අතිරික්ත ප්‍රමාණය රටේ අවශ්‍යතාවවෙන් සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව ඒ අනුව පෙනේ. නැව් පමාවීම හෝ ඉන්ධන ප්‍රමිතියෙන් බාල වූ අවස්ථාවලදී මෙම අතිරික්තය නිසා මීට පෙර අවස්ථාවලදී රටට දැනෙන ඉන්ධන අර්බුදයක් බවට පත්වී නැත.

මෙම ඉන්ධන අර්බුදයට හේතුවූවායැයි කියන ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නැව ප්‍රතික්ෂේප වන්නේ ඔක්තෝබර් 17 වැනිදාය. එතැන් සිට ඉන්ධන අර්බුදයක් පිළිබඳ ආරංචි පැතිරෙන නොවැම්බර් 02 දින දක්වා දින 16ක කාලයක් ගතවන්නේය. එහි තේරුම වන්නේ ඒ වනවිටත් රටේ අවශ්‍යතාවේ සති දෙකක කාලයකටත් වඩා අප සතුව පෙට්‍රල් තිබූ බවය. එපමණක් නොව එම නොවැම්බර් 02 දිනෙන් පසුව මේ සටහන ලියන නොවැම්බර් 09 දින වනවිටත් බෙදා හැරීම සඳහා පෙට්‍රල් රටේ ඇත. (නොවැම්බර් 09 දින පැමිණි නැවේ පෙට්‍රල් ලැබිය හැක්කේ ඉන් පසුවය.) එහි තේරුම වන්නේද සති තුනක කාලයකට වඩා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් නැව ප්‍රතික්‍ෂේප වූ අවස්ථාවේ සිට රටේ පෙට්‍රල් තිබූ බවය. පෙට්‍රල් හිඟයක් ගැන ආරංචි නොපැතිර සාමාන්‍ය ලෙස එදිනෙදා අවශ්‍යතාවන් සඳහා පරිභෝගිකයන් පෙට්‍රල් ලබාගත්තේ නම් මෙවැනි අර්බුදයක් නිර්මාණය නොවනු ඇති බව ඒ අනුව පැහැදිලිය. පෙට්‍රල් අර්බුදයක් ගැන බියකරු කථා පතුරුවා හැරීම නිසා සිදුවූයේ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාව ඉක්මවා වාහන හිමියන් පෙට්‍රල් ලබාගැනීමය. එවැනි තත්ත්වයකදී ඉන්ධන පිරවුම්හල් වෙත මෙතෙක් සාමාන්‍ය ලෙස අවශ්‍යවන පෙට්‍රල් ප්‍රමාණය මදි බවට අමුතුවෙන් කියාදිය යුතු නැත.

කෙසේ හෝ මෙම අර්බුදයේ දී පෙනෙන්නට තිබෙන කාරණාව වන්නේ අර්බුදයේ නිමැවුම්කරු ලංකා ඉන්දියන් ඔයිල් සමාගම බව පවසමින් විරෝධය ඒ දෙසට යොමුකිරීමය. විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රකාශයන් තුළද ඒ බැව් ගැබ්වී ඇත. එය ඔහු මේ පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙතින්ද පෙනේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අපගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ගෙන්වූ නැවේ තිබූ පෙට්‍රල් ප්‍රතික්‍ෂේප වී ඇත්තේ එම පෙට්‍රල්වල ඔක්ටේන් අගය අඩුවීම වැනි පෙට්‍රල්වල තත්ත්වයේ බාලවීමක් නිසා නොවේ. එම පෙට්‍රල් ප්‍රතික්‍ෂේප වී ඇත්තේ පෙට්‍රල්වල තිබූ රොඩු සහිත ස්වභාවය නිසාය. එවැනි අවස්ථා උදාවූ විට මීට පෙර සිදු වී ඇත්තේ එම ඉන්ධන රොඩු ස්වභාවය ඉවත්වන ලෙස පෙරණයට ලක් කර භාවිතයට ගැනීමය. එහෙත් එම සාමාන්‍ය ක්‍රමවේදය සඳහා ඉල්ලූ අවසරය මෙවර ප්‍රතික්ෂේප කර ඇත. ඒ ඇයිද යන්න එක් ගැටලුවකි. (ඉන්දියන් ඔයිල් සමාගම ඔවුන්ගේ නිවේදනයේද ඒ බව සඳහන් කර ඇත.)

අනෙක් ගැටලුව ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇණැවුම් කළා යැයි කියන ඉන්ධන නැව අසාමාන්‍ය ලෙස දින හයක කාලයක් පමා වූයේ ඇයිද යන්නය. ඊටම ඈඳෙන තවත් කරලියට නො ආ ප්‍රධාන ගැටලුව වන්නේ, පෙට්‍රල් අර්බුදයක් ඇතිවනවා යැයි ආරංචි පැතිර ගිය නොවැම්බර් 02 බ්‍රහස්පතින්දා දින සාමාන්‍ය ලෙස මුදාහරින ප්‍රමාණයට වඩා විශාල වශයෙන් අඩුවකින් යුතුව (අපට වාර්තා වන ආකාරයට මෙටි්‍රක් ටොන් 600ක් අඩුවෙන්) පෙට්‍රල් වෙළෙඳපළට නිකුත් කිරීමට තීරණ ගත්තේ කවුද යන්නය. එම අඩුවේ භයානකකම එතෙකින් නවතින්නේ නැත. ඊට පහුවෙනිදා හෙවත් නොවැම්බර් 03 දින පොහොය දිනය වීම ඊට හේතුවය. සාමාන්‍යයෙන් පොහොය දිනවල නිවාඩු දිනයක් ලෙස සලකා ඉන්ධන බෙදාහැරීම සිදුනොකරන අතර මෙවර ඉන්ධන අර්බුදයක් ලෙස කථා පැතිරෙද්දීත් සිදුකර තිබුණේ පොහොය දිනට පෙර දින ඉන්ධන අඩුවෙන් යවා පොහොය දින සම්පූර්ණයෙන්ම ඉන්ධන බෙදාහැරීම වසා දමා ඇති තත්ත්වය තුළ සති අන්තයේ ඊළඟ දින දෙක දක්වාද ඉන්ධන අර්බුදය දැනෙන ලෙස විශාලනය කිරීමය.

සාමාන්‍යයෙන් ජනතාව අතර පැතිර පවතින මතය වන්නේ මේ රටේ දේශපාලනඥයන් දූෂිත බවය. එහෙත් සත්‍යය වන්නේ දේශපාලනඥයන් තරමටම තීන්දු තීරණ ගන්නා ස්ථානවල සිටින සමහර රාජ්‍ය නිලධාරීන්ද දූෂිත බවය. මෙවැනි ඛනිජ තෙල් අර්බුදයකදී අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සිදුවන්නේ හදිසි ක්ෂණික මිලදී ගැනීම සඳහා යොමුවීම ය. මේ හදිසි ක්ෂණික මිලදී ගැනීම් යනු ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සිදුවන මිලදී ගැනීම්ය. එවැනි මිලදී ගැනීම්වලදී සිදුවිය නොහැක්කේ මොනවාද? ඛනිජ තෙල් නිලධාරි මාෆියාවත් තිබෙනවා යැයි අමාත්‍ය චම්පික රණවක කියන්නේ මේ පිළිබඳවද? ඛනිජ තෙල් විෂය භාර හිටපු අමාත්‍යවරයෙකු වූ චම්පික රණවක කියන පරිදිම මේ සිදුවීම්දාමය වූකලි එම ඛනිජ තෙල් මාෆියාවේ තවත් එක් වික්‍රමයක්ද? ජනප්‍රිය ඡන්ද දේශපාලනයේ හුදු ඉන්දීය විරෝධයකට මේ ප්‍රශ්නය ලඝු නොකර සොයාබැලිය යුත්තේ ඉන්ධන ඇණැවුම් කිරීමේ හා බෙදා හැරීමේ එම මාෆියාවේ වගකිව යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳවය. ඊට විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග සූදානම්ද? හුදු ඉන්දීය විරෝධයකට මේ ප්‍රශ්නය යොමුකරන වෘත්තීය සමිති සූදානම්ද?■