රාවය

සෝභිත හිමි සමරුව දෙතැනක දෙයාකාරයට

සෝභිත හිමි සමරුව දෙතැනක දෙයාකාරයට

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වී අවුරුදු දෙකක් ගතවීම නිමිත්තෙන් පසුගිය 8 වැනිදා උත්සව දෙකක් පැවැත්විණ. එකක්, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරයේ මෙහෙයවීමෙන් ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැති රැස්වීමය. අනෙක, සෝභිත හිමියන් වාසය කළ කෝට්ටේ නාග විහාරයේ පැවැති දානමය පිංකමය.
පළමුවැනි උත්සවය ගැන කතාකරන්නට පෙර, දෙවැනි ගුණ සමරුව ගැන කතාකළ යුත්තේ එය එතරම්ම සිත්ගන්නාසුලු එකක් නිසාය.
නාග විහාරයේ පැවැති උත්සවයේ ප්‍රධාන අමුත්තා වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. ඒ හැරෙන්නට පසුගිය ආණ්ඩුවේ අන්ත දූෂිත දේශපාලකයන්ගෙන් හා නිලධාරීන්ගෙන් කිසියම් පිරිසක්ද එහි සිටිනු දක්නට හැකි විය. සියලු දෙනාම සිටියේ ප්‍රීතියෙන් බව ඔවුන්ගේ මුහුණුවලින් පෙනිණි. තමන් භුක්තිවිඳිමින් සිටි දේශපාලන බලය අහිමිකර පන්නා දමන්නට මුල්වුණු පැරණි සතුරු බලකොටුවක පාලනය තමන් අතට පත්වීම ගැන ඒ සියලු දෙනාම සතුටින් සිටින්නට ඇත. උත්සවයේ ප්‍රධාන වගකීමක් ගෙන කටයුතු කළ බව පෙනුණේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂය. ඇමතිකම අහිමිවීමෙන් පසු, තමා වෙත තිබුණු සමාජ අවධානය ගිලිහීයෑමෙන් පසුගිය දිනවල හුදෙකලාව සිටි හිටපු ඇමතිවරයාටද මේ අවස්ථාව නව ප්‍රබෝධයක් ගෙනදුන් බවක් පෙනිණි. ඔහු සිටියේ මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය සමග තමාගේ ඇඟැලුම්කම ප්‍රදර්ශනය කරනු කැමැත්තෙන් මෙනි.
සෝභිත හිමියන් විසූ නාග විහාරයේ ආධිපත්‍යය දැන් මුළුමනින්ම හිමිව ඇත්තේ ඒ හිමියන් ජීවත්ව සිටි කාලයේ, උන්වහන්සේගේ ප්‍රතිපත්තිවලට එරෙහිව සිටි පාර්ශ්වයටය. එය, පන්සලට අයත් සංඝ සභාවේ ගුරු-ගෝල අයිතිය පිළිබඳ ආරාවුලක් නිසා ඇතිවුණ තත්ත්වයකි. වර්තමානයේ පන්සලේ බලය දරන්නේ, සෝභිත හිමියන්ගේ ගෝලකමේ කාලයක් සිටි නමුත්, පසු කාලයක උන්වහන්සේ විසින්ම සිය ගෝලකමෙන් ඉවත්කරන ලද භික්‍ෂුවකි. දැන් ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාගවෙමින් පවතියි.
කොහොම වුණත්, මහින්ද රාජපක්‍ෂ මහතා නාග විහාරයට නැවත පැමිණීම සංකේතාත්මක වැදගත්කමක් දරයි. රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියෙන් පලවාහැරීම සඳහා බොහෝ සැලසුම් සකස් වුණේද, සාකච්ඡා පැවැත්වුණේද, ක්‍රියාත්මක වුණේද, ඒ වැඩපිළිවෙළට නායකත්වය දුන් සංඝ නායකයා වැඩසිටියේද නාග විහාරයේ නිසාය. එහෙත් ඒවා හුදෙක් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරිමේ වුවමනාවෙන් කළ ඒවා නොවේ. ඒ මොහොතේ රටේ පැවැති මහජන වුවමනාවට පිළිබිඹු කරමින් සැකසුණු න්‍යාය පත්‍රයකට අනුව සිදුකළ දේ විය. විධායක ජනාධිපති ධුරය ඉවත්කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ අවශ්‍යතාව සෝභිත හිමියන් විසින් මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටය. යුද්ධය ජයග්‍රහණය කොට, ඒ ජයග්‍රහණයේ ප්‍රීතියෙන් උද්දාමයට පත්ව උද්දච්ච සිතක් ඇතිව, 18වැනි සංශෝධනය හරහා ඒ බලය සිය ජීවිත කාලය පුරාවටම පවත්වා ගැනීමේ ලෝභයෙන් පෙළුණු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා, සෝභිත හිමියන්ගේ ඉල්ලීම දුටුවේ පසමිතුරු කෝණයකිනි. සිය බලය වැඩිකරගැනීමේ මිස අඩුකර ගැනීමේ කිසිම ප්‍රතිසංස්කරණයකට කැමැති නොවූ ඔහු මේ යෝජනා කෙවිටෙන් තලා පිටුදැක්කේය.
සෝභිත හිමියන් නායකත්වය දුන්නේ ඒ මොහොත වන විට සමාජයේ පැවැති මහජන හඬටය. රනිල් විරෝධී ව්‍යාපෘතියක් ලෙස එජාප නායකයන් කිහිප දෙනකුගේ මූලිකත්වයෙන් ඇරඹුණු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, පසුව මුළුමනින්ම මහජන වයාපාරයක් බවට පත්වුණේ ඒ මහජන හඬ සමග එකතුවීම නිසාය.
අද නාග විහාරයට පැමිණීම මහින්ද රාජපක්‍ෂ මහතාට විශාල ජයග්‍රහණයක් ලෙස පෙනෙන්නට හැකි නමුත්, තේරුම් ගත යුතුව ඇත්තේ. අද එය දෙවියන් නැති තැනක් බවය. එවැනි තැනක සෙල්ලම් කරන්නේ කවුදැයි අලුතෙන් කියන්නට අවශ්‍ය නොවේ. අද නාග විහාරයේ සෝභිත හිමියන්වත්, උන්වහන්සේගේ මහජන ව්‍යාපාරයවත්, එහි සිටි ප්‍රගතිශීලි නියමුවෝවත් නැත. අද එය හැම අතින්ම තනිකර පාලු බිමකි. එහෙත් සෝභිත හිමි චින්තනයට සම්පූර්ණයෙන් පසමිතුරු චින්තකයන්ගේ හෙවත් මහින්ද චින්තකයන්ගේ පිනුම් පිටියකි. ඊට ගැළපෙන නියම නායකයා, මහින්ද රාජපක්‍ෂ මහතා දැන් එහි පැමිණ තිබේ. විජේදාස රාජපක්‍ෂ හිටපු ඇමතිවරයාද දැන් ඔහු සමඟ බව පෙනෙයි. ඉතිහාසය සරදම් කරන්නේ එහෙමය.
සෝභිත හිමියන්ගේ ගුණ සමරුවට ජනාධිපති, අගමැති ඇතුළු නායකයන් සහභාගි නොවීම ගැන මාධ්‍යයෙන් ඇසූ ප්‍රශ්නයකට විජේදාස රාජපක්‍ෂ මහතා එහිදී පිළිතුරු දෙමින් සරදමක ආකාරයෙන් කීවේ, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් බොහොම ශ්‍රද්ධාශීලීව, තුන් සිත් පහදවාගෙන තමන්ගේ නිවෙස්වලට වෙලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් සිටින බවය.
එහෙත් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඒ උදෑසන ම සහභාගි වී සිටියේ පාර්ලිමේන්තුව අසළ ඉදිකෙරෙන සෝභිත හිමියන් සඳහාවූ ස්මාරකයට මුල්ගල තැබීමේ උත්සවයටත්, ඉන් පසුව පැවැත්වුණු ගුණ සැමරීමේ රැස්වීමටත්ය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය සිය කතාවේදී ඉතාමත් බලවත් ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල කළේය. ජනවාරි 8වැනි දා පොරොන්දු ඉටුනොකිරීම ගැනත්, වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් නොදීමට අමතරව මේ ආණ්ඩුවේ වංචනිකයන් හා දූෂිතයන් ගැනත්, පොලිසියද ඇතුළුව ආණ්ඩුවේ සමහරුන් ඒ වංචනිකයන් ආරක්‍ෂා කිරීම ගැනත් බලවත් විවේචනයක් ඒ කතාවේ අඩංගු විය. විජේසූරිය මහතා කතා කරද්දී, ජනාධිපතිවරයා, තමා ළඟ වාඩිවී සිටි ඇමතිවරුන් අමතා, විජේසූරිය මහත්තයා කියන්නේ සම්පූර්ණ ඇත්ත බවත්, උදාහරණයටක් හැටියට, හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සඟවාගෙන සිටින්නේ අහවල් දකුණු පළාතේ ඇමතිවරයායැයි තමාට තොරතුරු ඇති බවත් කිවූ බව ඒ අසළම අසුන්ගෙන සිටියකු පසුව මනුවර්ණට කිව්වේය.
ජනාධිපතිවරයා සිය කතාවේදීද විජේසූරිය මහතාගේ අදහස් මුළුමනින්ම අනුමත කළේය. විජේසූරිය මහතාගේ කතාව යෝජනාවක් නම්, තමා එය ස්ථිර කරන බවත්, ඡන්දයක් ගන්නේ නම් අත් දෙකම ඔසොවන බවත් කීවේය. කිසියම් ආවේගශීලීබවක් පෙන්වමින් කතාකළ ජනාධිපතිවරයාගේ අවධාරණය මුළුමනින්ම තිබුණේ පහුගිය ආණ්ඩුවේ දූෂිතයන් ගැනටත් වඩා වර්තමාන ආණ්ඩුවේ දූෂිත මැති ඇමතිවරුන් හා පරණ දූෂිතයන් ආරක්‍ෂා කරන අය වෙත බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ‘මට ප්‍රසිද්ධියේ කියන්න බැරි දේවල් තියෙනවා’ ඔහු කීප වරක්ම කීවේය.
ඒ කතාව එක පැත්තකින් තමා ඉන්නේ සම්මුති ආණ්ඩුවකය යන අදහස ජනාධිපතිවරයා විසින් යළි සිහි කැඳවනු ලැබීමකි. පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා. සම්මුති ආණ්ඩුවේ මූලික අවබෝධයන් පවත්වාගෙන යෑම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කළ බව ඔහුට ගෞරව පිණිස කිව යුතුය. විවිධාකාර දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් තමන්ට කොතරම් සාක්‍ෂි හා තොරතුරු තිබුණේ වුවද, අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට අදාළ පියවර ගන්නා තුරු ඉවසා සිටීමේ පිළිවෙතක් ජනාධිපතිවරයා දිගටම පවත්වාගෙන ගියේය. ඒ නිසා සමහර අයහපත් දේ සිදුවුණද ඒ පිළිවෙත යහපත් හා අත්‍යවශ්‍ය දෙයකි. එසේ නොමැතිව සම්මුති ආණ්ඩුවක් පවත්වාගෙන යන්නට බැරිය.
උදාහරණයක් හැටියට, මහබැංකු බැඳුම්කර වංචාවෙන් පසු, නැවත වාරයක් හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි ධුර කාලය සඳහාත් සේවයේ පිහිටුවීමට අගමැතිවරයා දිගින් දිගටම උත්සාහ කරද්දී ජනාධිපතිවරයා සිටියේ කිසියම් ආකාරයේ ඉවසීමකිනි. අගමැතිවරයා ලවාම ඒ තීරණය වෙනස්කර ගැනීමට ජනාධිපතිවරයා බලා සිටියේය. එහෙත් අගමැතිවරයා ඒ මොහොතේ සිටියේ, අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් තමාගේ අගමැති ධුරය වුවද පරදුවට තබන තරමේ අදූරදර්ශී ස්ථාවරයකය. ඒ ගැටුමේ අවසන් ප්‍රතිඵලය වුණේ ජනාධිපතිවරයා විසින් ගත් තීරණයකට අනුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහබැංකු අධිපති ධුරයට පත්කිරීමය. ඒ තීරණය වුවද නිසි වේලාවට අගමැතිවරයාට දැනුම් දෙන ලදි. අද ආචාර්ය කුමාරස්වාමි මහබැංකු අධිපති ධුරයට පත්කිරීම ගැන සියලු දෙනාම ඉන්නේ සෑහිමකිනි.
රවි කරුණානායක මහතාට විවිධාකාර චෝදනා එල්ලවී තිබියදීත්, ඔහු ඇමතිධුරයෙන් පහ නොකර ජනාධිපතිවරයා සිටියේ ඒ තීරණය එජාප පාර්ශ්වයෙන් ගන්නා තුරුය. කරුණානායක මහතාගේ මෙන්ම ඇමතිධුර වෙනස් කළයුතු තවත් අඩුගණනේ හතර දෙනකුගේ නම් ජනාධිපතිවරයා වෙත තිබුණේය. එහෙත්, දීර්ඝ කාලයක් ඇදීයෑමෙන් පසුව වුවද, එජාපය පැත්තෙන් වෙනස්කම් යෝජනා වුණේ රවි කරුණානායක මහතා ගැන පමණකි. විජේදාස රාජපක්‍ෂ මහතාගේද ඇමතිකම වෙනස්විය යුතුය යන ස්ථාවරය ඒ කාලය වෙනවිටත් ජනාධිපතිවරයාට තිබුණි. එජාපය පරක්කු වී ඒ තීන්දුව ගත්තේ දේශපාලන වශයෙන් සෑහෙන තුවාල සිදුකරගත් පසුය.
පොලිස්පති ධුරයට ජනාධිපතිවරයාගේ කැමැත්ත තිබුණේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු ගැනය. එවැනි නිලධාරියකු පොලිස්පති ධුරයට පත්වුවහොත්, මහින්ද රාජපක්‍ෂ කාලයේ වංචා දූෂණ හා අපරාධ ගැන කෙරෙන විමර්ශනවලට හානි සිදුවනු ඇතැ’යි සාධාරණ සැකයක් එජාපය ඇතුළු බොහෝ දෙනා තුළ තිබිණි. ඒ හැරෙන්නට, දැනටත් පොලිසියේ ඉන්නා ඉතාමත් දක්‍ෂ, අපක්‍ෂපාතී හා විශ්වාසවන්ත ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක්ද ලැයිස්තුවේ සිටියේය. එහෙත්, ඔහුගේ ජ්‍යේෂ්ඨත්වය තිබුණේ ටිකක් පහළ තැනකය. මේ තත්ත්වය යටතේ එජාප පාර්ශ්වයේ කැමැත්ත තිබුණේ පූජිත් ජයසුන්දර මහතා වෙතය. ජනාධිපතිවරයා ඒ ඉල්ලීමට ඉඩදුන්නේය. පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයට පත්විමෙන් පසු අද පොලිසියට සිදුවී තිබෙන විනම්බෑසිය කවුරුත් දනිති. පොලිස්පතිවරයා අද මුළුමනින්ම භාවනා කරන කවටයකු බවට පත්වී තිබේ. අද ඔහු පොලිසියේ සෑම සියලු නිලධාරියකුගේම විහිලුවට ලක්වන කෙනෙකි. එපමණක් නොවේ, තමා යටතේ සිටින නිලධාරීන්ට කනට ගහන්නට තරම් මෛත්‍රී චිත්තයක් වඩවාගත්තෙකි. ඔහු කරන වැරදි ගැන කිසිම විමර්ශනයක් නැත.
හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් බ්‍රහස්පතින්දා වනතුරු සිටියේ නීතියෙන් කට්ටි පනිමිනි. හිටපු ජනාධිපතිවරයාට සමීපව සිටිමින් ඔහුට වුවමනා විදියට වංචාකරුවන් හා දූෂිතයන් මෙහෙයවීමද, විවිධ අක්‍රමිකතාවලට ඍජුවම දායකවීමද ගැන ඔහුට චෝදනා එල්ල වුණේ මේ ආණ්ඩුව බලයට ආ මුල් දවස්වලම සිටය. එහෙත් මේ වනතුරු ඔහු නිරුපද්‍රිතව සිටියේය. ඒ මදිවාට තමා අත්අඩංගුවට ගන්නට යනවායැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම්ද ඉදිරිපත් කරයි. මීට පෙර රාවයත් වාර්තා කළ පරිදි, ගාමිණි සෙනරත් මහතා සැඟවී සිටියේ මේ ආණ්ඩුවේ දකුණු පළාතේ ප්‍රබල අමතිවරයකු ළඟ බවට තොරතුරු තිබේ. මේ ඇමතිවරයා, පසුගිය කාලය පුරා විවිධ වංචාකරුවන් හා දූෂිතයන් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු තිබෙන්නෙකි.
දූෂිතයන් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ කිසිම කෙනකුට යහපත් චරිත සහතිකයක් දිය නොහැකිය. සියලු දෙනාම තමන්ට වුවමනා ප්‍රමාණයට විවිධ හේතු නිසා දූෂිතයන් ආරක්‍ෂා කරති. එහෙත් ජනාධිපතිවරයා කීවාක් මෙන්, පරණ දූෂිතයන්ට කාර්යක්‍ෂමව දඬුවම් දීමත්, අලුත් දූෂිතයන් ගැන පරීක්‍ෂණ කිරීමත්, අලුත් දූෂණවලින් වැලකී සිටීමත් කරන්නට වුවමනා නම් එය දැන්ම පටන් ගන්නට හැකිය. සෝභිත හාමුදුරුවන්ට යුක්තිය ඉටු කළ හැක්කේ එමගිනි.■