රාවය

දේශපාලන කල්පනා: තමන්ට අලුත් දේශපාලන භූමිකාවක් ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සිතන්නේ නම්..

දේශපාලන කල්පනා: තමන්ට අලුත් දේශපාලන භූමිකාවක් ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සිතන්නේ නම්..

ජයදේව උයන්ගොඩ

මේ දිනවල ලංකාවේ දේශපාල නයේ ඉතා වැදගත් බොහෝ දේ ඉතා ඉක්මනින් සිදුවෙයි. එය හරියට, චිත්‍රපටියක් ෆාස්ට් ෆෝවර්ඞ් කර නරඹනවා වැනිය. එවැනි වැදගත් සිදුවීම් කිහිපයක් ගැන කෙටියෙන් විවරණය කිරීම මේ ලිපියෙන් මා උත්සාහ ගන්නා අරමුණයි.
බලයට පත්කිරීමට මාද දායක වූ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සමත්කම දක්වන්නේ තම අසමත්කම් ප්‍රදර්ශනය කිරීමටය. ඛනිජ තෙල් බෙදාහැරීමේ අර්බුදය නිර්මාණය කිරීමෙන් ආණ්ඩුව මෙම දක්ෂතාව නැවතත් තහවුරු කර තිබේ.
සමහරවිට ඉතා තියුණු දේශපාලන නිරීක්ෂකයන් වන්නේ දේශපාලන විශේෂඥයන් හෝ වෘත්තීය දේශපාලනඥයන් හෝ නොව සාමාන්‍ය පුරවැසියෝය. මේ දිනවල සමාජ මාධ්‍යයේ ඉතා ජනප්‍රිය වෙමින් පවතින, සාමාන්‍ය පුරවැසියෙකු කියා ඇති “තෙල් ටික බෙදන්නවත් බැරි ආණ්ඩුවක්ද බලය බෙදන්න යන්නේ?” යන කියමන, සාමාන්‍ය ජනයා සතු දේශපාලන ජීනියස්භාවය, එනම් අසමසම බුද්ධි ප්‍රභාව එළිකරන්නකි. දුර්වල ආණ්ඩුවකට රාජ්‍යය ප්‍රතිසංස්කරණ කළ නොහැකිය යන්න එයින් ගම්‍ය වන දේශපාලන විනිශ්චයයි.
ගිය සතියේ සහ මේ සතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල විවාදයෙන් මැනැවින් පෙනුණ දෙයක් නම්, ඒකාබද්ධ විපක්ෂය, තම බුද්ධිමය බංකොළොත්භාවය ප්‍රදර්ශනය කළ බවය. දේශපාලන වශයෙන් හරවත් දෙයක් ප්‍රකාශ කළෝ ආණ්ඩු පක්ෂයේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුය. භික්ෂූන් වහන්සේලා සහ විමල් වීරවංශ මන්ත්‍රීතුමා ලවා සිංහල-බෞද්ධ වර්ගවාදී විරෝධය ඉදිරියට තල්ලු කිරීම හැර, හරවත් දේශපාලන විකල්පයක් ඉදිරිපත් කිරීමට, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නොහැකි වීම, පුදුමයට කරුණක් නම් නොවේ. 1950 ගණන්වල මැදභාගයේ කේ.එම්.පී. රාජරත්න ඉදිරිපත් කළ සිංහල වර්ගවාදී තර්කවලටම ආපසු යෑමට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ආචාර්ය මහාචාර්ය වියතුන්ටද බලකෙරී ඇත්තේ ඇයි? සිංහල ජාතිකවාදී බුද්ධිමතුන් සතු දේශපාලන පරිකල්පනයේ දුගීබව නොවේද? තම පරිකල්පනය යාවත්කාලීන කර ගැනීමට ඔවුන්ට නොහැකි නිසා නේද?
පුවත්පත් වාර්තාවලට අනුව, මෙම විවාදයේදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඉතාම වැදගත් කතාව කළේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාය. ජී.එල්. පීරිස් මහැදුරුතුමා (එතුමා හිටපු ෆෙඩරල්වාදියෙකි) ලියා දුන් කතාවක් එතුමා කියවන්නට ඇතැයි කෙනෙකුට සිතුණත් එහි වරදක් නැත. ඒ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවේ ඉතාම ෆෙඩරල්වාදී අදහසක් තිබිණ. එනම් දැනට යෝජනා වී ඇති බලය විමධ්‍යගත කිරීමේ ක්‍රම නිසා කුඩා සුළු ජන කණ්ඩායම්වලට අවාසි සිදුවනු ඇත යන්නයි. මෙය වනාහි, බලය විමධ්‍යගත කිරීම පිළිබඳ ඉතා හොඳ තර්කයක් සපයන විවේචනයකි. සාම්ප්‍රදායික බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමයේ ඇති මූලික වරදක් නම්, ප්‍රාදේශීය වාර්ගික සුළුතර කණ්ඩායම්වල දේශපාලන අපේක්ෂාවන්ට ආමන්ත්‍රණය නොකිරීමයි. මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරන බව පෙනෙන්නේ, ප්‍රාදේශීය වාර්ගික සුළුතර ප්‍රජාවන්ගේ දේශපාලන ඉල්ලීම්වලටද ප්‍රතිචාරය දැක්විය හැකි ලෙස බලය විමධ්‍යගත කිරීම තවත් ගැඹුරු කළ යුතුය යන්නයි. මෙය කාලයක් තිස්සේ මාද යෝජනා කර තිබෙන අදහසකි. දියුණු ෆෙඩරල් ක්‍රමයක් යෝජනා නොකිරීම ගැන ආණ්ඩුව විවේචනය කිරීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා නොදැනුවත්ව හෝ ඉදිරිපත්වීම දෛවයේ සරදමක්ද? නැත්නම් එතුමාට ලැබුණු කතාවේ පිටපත වරදවා කියැවීමක්ද?
පසුගිය දිනවල අප රටේ ඉතා උගත්, සංඝ පීතෲවරු ඉතා උද්යෝගයෙන් දේශපාලන අදහස් ඉතා නිර්භීතව ඉදිරිපත් කළහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ගැන වැඩියෙන්ම විවේචනවල යෙදුණේ මේ භික්ෂු නායකත්වයයි. ඒ අතර අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිනපතාම පාහේ මහජනයා අමතා කරන කතාවල අවධාරණය කළේ, දුම් නොබීම, මත්පැන් නොබීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, නිරෝගීකම, මව්පියන්ට සැලකීම, පවුලේ සමගිය ආරක්ෂා කරගැනීම වැනි සදාචාරවාදී පණිවුඩය. නායක භික්ෂූන් වහන්සේලා ජනතාවට දේශපාලනය දේශනා කරන සහ ජනාධිපතිතුමා පුරවැසියන්ට ධර්මය දේශනා කරන තත්ත්වයට ලංකාව වෙනස් වී තිබෙන සැටි ගැන මම අවස්ථා කිහිපයකම විමතියෙන් සහ ශෝකයෙන් කල්පනා කළෙමි. දේශපාලනඥයන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ වෘත්තීය භූමිකා හුවමාරු කරගන්නා නැතහොත් පටලවා ගන්නා නව ඓතිහාසික අවධියකට ලංකාවේ අපි සම්ප්‍රාප්ත වී සිටින්නෙමුද?
සමකාලීන ලංකාවේ දේශපාලන බල තරගය අලුත් අවධියකට පත්වෙමින් තිබෙන බව ප්‍රතික්ෂේප කිරීමට දුෂ්කර ඉඟි ගණනාවක්ම දැනට ප්‍රකාශ වෙමින් තිබේ. මෑතක් වනතුරු සමකාලීන දේශපාලන බල තරගයේ තිබුණේ ද්වි-පාර්ශ්වික ධ්‍රැවීකරණයකි. එනම් යහපාලන ආණ්ඩුවේ ජනාධිපති හා අගමැති එක් පැත්තකත් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය අනෙක් පැත්තේත් වශයෙනි. මෙය දේශපාලන බල තරගයේ පැවති ද්විවිධ විභේදනයයි. දැන් මතුවෙමින් පවතින බව පෙනෙන්නේ, යහපාලන ආණ්ඩුව ඇතුළේ බල ධ්‍රැවීකරණයක් සහ බල තරගයක් තියුණු වීමයි. එය සිදුවන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා යන යහපාලන ආණ්ඩුවේ බල මධ්‍යස්ථාන දෙක අතරය. මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ, නැතහොත් ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රීලනිපය හා එජාපය අතර ඇතිවෙන ත්‍රිවිධ විභේදනය පාදක කොට ගත් තුන් කොන් බල අරගලය, ලංකාවේ ඉදිරි දේශපාලන ගමන් මගේ ස්වභාවය තීරණය කිරීමට සමත් වන තරම් වැදගත් එකක්ද විය හැකිය. අප රටේ වත්මන් දේශපාලන තරගය ද්වි-ධ්‍රැවකරණයේ සිට ත්‍රි-ධ්‍රැවකරණයක් කරා පරිවර්තනය වීම, දේශපාලන නිරීක්ෂකයන්ගේ නොමඳ අවධානයට ලක්විය යුතු වර්ධනයක් ද වෙයි.
පසුගිය සති කිහිපය තුළ යහපාලන ආණ්ඩුවේ බල මධ්‍යස්ථාන දෙක අතර සිදුවන දේශපාලන සීතල යුද්ධය දෙස බලන විට කෙනෙකුට පැහැදිලි වන කරුණක් තිබේ. එය අපට ඉදිරිපත් කළ හැක්කේ නිගමනයක් හැටියට නොව, සීමිත සාක්ෂි ප්‍රමාණයක් දෙස බලා ගොඩනගන උපන්‍යාසයක් හැටියටය. එය නම්, යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තර බල තුලනය, තමන්ගේ මධ්‍යස්ථානයට වාසි වන ලෙස යළි සකස් කිරීමට ජනාධිපතිතුමා ක්‍රියාකරමින් සිටින බව සහ එහිදී එතුමා සාර්ථක වෙමින් සිටින බවයි. අගමැතිතුමා නායකත්වය දෙන ආණ්ඩුවේ බල මධ්‍යස්ථානය, පසුගිය කාලයේ සිට පත්වෙමින් සිටින්නේ එක් පසුබැසීමකින් තවත් පසුබැසීමකටය. බැඳුම්කර වංචා සිද්ධිය නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන විශ්වසනී යත්වයට පිළිසකර කරගත නොහැකි තරමට හානි පැමිණ තිබේ. එජාපය සාර්ථක වී තිබෙන්නේ දේශපාලනය, ආර්ථිකය සහ ආණ්ඩුකරණය දුෂ්කළමනා කරණය :පසිප්බ්ටැ* කිරීමට පමණි. මේ පසුබිම ආණ්ඩුව ඇතුළත දේශපාලන බල තුලනය වෙනස් කිරීමට අවශ්‍ය වන වාස්තවික තත්ත්වයක් නිර්මාණය කර ඇත. උපතින්ම දේශපාලන සත්ත්වයෙකු වන මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ නව තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම ගැන අප පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ, එතුමා එය නොකරන්නේ නම්ය. ඒකීය රාජ්‍යය රැකගැනීමේ විශාල දේශපාලන අභිලාෂයක් සිංහල සමාජයෙන් නැවත නැවතත් ප්‍රකාශ වේ. ලංකාවේ ඉතිහාසය සහ අතීතය ගැන විශාල ආඩම්බරයක් ඇති ඒකීය රාජ්‍යවාදී බුද්ධිමය ස්ථර නොකරන බවක් පෙනෙන්නේ ලංකාවේ ඒකීය රාජ්‍යයේ සංකල්පමය සහ ආයතනමය ඉතිහාසය ගැන සොයා බැලීමයි. එසේ සොයා බලන කෙනෙකුට පෙනෙනු ඇත්තේ, ලංකාවේ ඒකීය රාජ්‍යය බි්‍රතාන්‍ය යටත්විජිතවාදයේ සංකල්පමය සහ ආයතනික නිර්මාණයක්ය යන්නයි. එහි ඉතිහාසය 1833ට වඩා ඈතට යන්නේ නැත. ඉන්දියාවේ හින්දු ජාතිකවාදී මෙන්ම, ලංකාවේ සිංහල ජාතිකවාදී මතවාදයේද ඇති පොදු ලක්ෂණයක් නැතහොත් ප්‍රතිවිරෝධයක්, මෙහිදී අපට නිරීක්ෂණය කළ හැකිය. එය නම්, මහාචාර්ය අශීස් නාන්දි පෙන්වා දෙන පරිදි, යටත්විජිතවාදයේ දේශපාලන නිර්මාණ වන්දනය කිරීමයි. එය කරන්නේද මහත් ආඩම්බරයෙනි.
අවසාන වශයෙන්, අපට නිරීක්ෂණය කළ හැකි තවත් දෙයක් තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා, එජාපය සමඟ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයද සමඟ තරගකාරී ශ්‍රීලනිපයක් අලුතින් නිර්මාණය කිරීමට යන්නේ නම්, එතුමාට පිරවිය හැකි මතවාදී සහ දේශපාලන අවකාශයක් ලංකා සමාජයේ නිර්මාණය වෙමින් පවතින්නේය යන්නයි. එය නම් මධ්‍යස්ථවාදී ජාතිකවාදී :පදාැර්එැ ීසබය්ක් බ්එසදබ්කසිප* දේශපාලනයයි. ලංකාවේ සිංහල සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී සහ තරුණ කොටස්වලටත්, සුළු ජන කොටස්වලටත් ආයාචනා කළ හැකි, ඔවුන්ගේ දේශපාලන පරිකල්පනය පිබිදවිය හැකි මතවාදී ශක්තියක් රාජපක්ෂ පවුලේ අයට නැත. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ හැකියාව දැන් ක්ෂය වෙමින් යන බව පෙනේ. දේශපාලන හිදැසක් ඇතිවෙමින් යන්නේ ජාතික සමඟිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ලංකාවේ සියලු ජනවාර්ගික සමාජවල අපේක්ෂා සංයෝග කළ හැකි සහ මිලියන තුන-හතරක් පමණ වන ලංකාවේ අලුත් තරුණ ඡන්දදායක පරපුරට බුද්ධිමය වශයෙන් ආකර්ෂණයක් ඇති කරන මැදහත්වාදී :පදාැර්එැ* දේශපාලනයකට සහ මතවාදයකටය. ජාතිකවාදයේ ධාරාවන් ගණනාවක් ඇති ලංකාවේ, සිංහල, දෙමළ සහ මුස්ලිම් සමාජවලද මධ්‍යස්ථවාදී ජාතිකවාද ධාරා තිබේ. අවශ්‍ය වන්නේ ඒවා අතර අලුත් දේශපාලන සන්ධානයක් බිහිවීමයි. යහපාලන සන්ධානය දුර්වල වීමත්, රාජපක්ෂ පවුලට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්වයං-ප්‍රතිසංස්කරණයක් ඇතිකර ගැනීමට නොහැකිවීමත් පිළිබඳ පසුබිම තුළ, තමන්ට අලුත් දේශපාලන භූමිකාවක් ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සිතන්නේ නම්, මේ වනාහි එතුමා සහ එතුමාගේ උපදේශකයන් බැරෑරුම්ව කල්පනා කළ යුතු විකල්පයකි. ඉහත ආකාරයේ මතවාදී යළි නිර්මාණයකට අවශ්‍ය අදහස් සහ අමුද්‍රව්‍ය ලංකාවේ සමාජයේ ඕනෑ තරම් තිබෙන බවද ඔවුන්ට කිව යුතුව තිබේ. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ, සිරිසේන මහතා හැර ඒ ගැන සිතීමටවත් හැකි වෙනත් අය එතුමාගේ පාර්ශ්වයේ නොසිටීමයි.■