රාවය

ආයිබෝං! ඇත්තටම ආණ්ඩුවක් මක්කටෙයි?

ආයිබෝං! ඇත්තටම ආණ්ඩුවක් මක්කටෙයි?

එකල්හි සිරිසේනයෝද වික්‍රමසිංහයෝද සීතලට ගුලිවූ සුනඛ පෝතකයන් දෙදෙනෙකු සේ වකුටුවී නිදාසිටිනු දුටු මහජන පඬිවරයාණෝ මෙසේ විමසා සිටින්නේ;
මේ බල, පෝතකයෙනි, කුමන හේතුවක් නිසා තොප දෙදෙන මේ ගිනියම් දවාලයෙහි සීතලට කන් අඟුළු වැටුණා සේ නිදිවදින්නේදැයි ඇසූහ.
දුනුදියෙන් මිදුණු හීතල දෙකක් දේ එකවරම ඈඳිගත් දෙබෑයෝ ක්‍රීඩාපිටියකට මුදල් දී යවන ලද ජයඝෝෂාකාරියන් දෙදෙනෙකු සේ එකම හඬින් මෙසේ කියන්නාහුය.
‘අසව, නුනැත්තාණෙනි, දකුණින් සයිටම්කාරයෝය. උතුරින් දේශපාලන සිරකරු උද්ඝෝෂකයෝය. බස්නාහිරින් තෙල් පෝලිම්ය. නැගෙනහිරින් ඉඩම් උද්ඝෝෂකයෝය. එපමණක් නම් මදැයි! අහසින් පොලී ඉල්ලා කන්න පනින චීන්නුය. ජිනීවා සිට මානව හිමිකම් ඝෝෂාකරන එක්සත් ජාතීන්ය. යටින් මරා හාරවන අඩි හයක වළය. සතර දිගන්තයෙහි සාගරයක් වැනි තෙරක් නොපෙනෙන සමාජ ජාලකාරයෝය. බැදුම්කර කොමිසම කට ළඟය. ඉතින් කියව, ගුලි ගැසෙනු හැර අන් කුමන සැපතක් දැයි කියා.’

අතීත කතාව:
සිරි ලංකාව නම් මේ දේශය කුම්භාණ්ඩයකු සේ අරක්ගෙන සිටි රාජපක්ෂ සහෝදර වංශය පළවා හැරීමට මහාජනයාගේ තිබූ උනන්දුව පිරිමසාලමින් තෙවසරකට තරම් පෙර සිරිසේනයෝ නිර්භයව පිටියට පැමිණ එළඹීමට නියමිතවූ රුදුරු පවුල් පාලනයකින් රට මුදාගත්හ. තමාට කළ නොහැකි එම කාරියට ඉදිරිපත්වූ සිරිසේනයන්ට වික්‍රමසිංහයෝද නොමසුරුව දන්-පැන් පිළිගැන්වූහ.
ස්ත්‍රී-පුරුෂ බේදයක් නොසලකා මහජන උනන්දුවෝ තමන් වෙත පැමිණි අනගි අවස්ථාව අත නොහරින්නේ මරාගේ මිනීමරු සේනාවන්ට මුහුණදෙමින් නගරයෙන් නගරයටද ගමින් ගමටද යමින් බලසේනා සංවිධානය කොට වර්ෂ දෙදහස් පසළොසක් වූ දුරුත්තෙහිදී පොදිබැඳ ඡන්දපොළට ගොස් මරා වෙනුවට සිරා පත්කර ගත්තෝය.
බලයට පත් සැණෙන් සිරා සිරාවටම කතාදෙන්නේ තමාට අතිගරු යනාදි විශේෂණ නොයොදන ලෙසත් තමා අල්පේච්ජ ජීවිතයක්ම ගෙනයන බවත් තමාට ඇත්තේ හැදීමට රටක් මිස පවුලක් නොවන බවත් වදාරන්නේ ජනීජනයා සාදූසාදූ කියා අපමණ සතුටට පත්වූවෝය.
සිරා පසුපසින් වැඩියේ අගමැතිකමට වඩා විපක්ෂ නායකකමට ලාලසා පාන නායකතුමෙකි. නායකතුමා ගොඩවුණේ පුට්බෝඞ් එකටය. වැඩිපුර ලැබුණේ මංත්‍රීවරු දුසිමකටත් අඩුවෙන් නිසාය.
වර්ථමාන කතාව:
දැන් සිරා සිතා සිටින්නේ රාජ්‍ය පාලනය යනු රැස්වීම්හි මයික් ඉදිරියේ කතා පැවැත්වීම බවයි. ඊට අමතරව සිරා සිය පක්ෂයේ මංත්‍රී ගණයාද ගෙන්වා රැස්වීම් පිට රැස්වීම් තබයි. සිරාට මයික් එක තරම් වටිනා භාණ්ඩයක් මෙලොව නැත.
සෝභිත හිමි ගුණ සමරුවෙහි මයික් එක ඉදිරිපිට වශීවූ සිරා නායකතුමා ඇඳලා නෑව්වේ බැඳුම්කර මගඩියටය. සෝභිත හිමිගේ මූලික මහජන ව්‍යාපාරය වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සිරා කෙළබිඳක් හෝ සෙළවූයේ නැති නමුත් ජීවත්ව නැති එහිමියන් නමින් තමාම චරිත සහතිකයක් ලියාගත්තේය.
ඒ වන විට (08දා) ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය තහනම් කරතිබීම වහෙන්ඔරෝ බසින් සාධාරණ කරන්නටද සිරා අමතක කළේ නැත. සිරාගේ 2017 නොවැම්බර් 08 දේශනය සම්මුති ආණ්ඩුව අසම්මුති ආණ්ඩුවක් බවට පෙරළෙන මුල් වෙඩිල්ලය.
නායකතුමාද ඊට සතියකට පෙර බෝරයක් ගසමින් කියා තිබුණේ ජනාධිපති කෙනෙකුට ඉංග්‍රීසි දැනීම අත්‍යවශ්‍ය බවයි. ඒ සිරාටය. සිරා 08 දා නායකතුමා නෑව්වේ ඒ නිසාද?
එන එන බෝලයට සෙල්ලම් කරනවා මිස සිරාටද නායකතුමාටද ගේම් පෑලැනක් නැත. හෙට කරන්නේ මොනවාදැයි නොදැන අද ජීවත්වනවා වැන්න.
සිරාගේ බෑයා එනම් නායකතුමා (මහබෑයා සහ කුඩාබෑයා හෝ වේයා කව්දැයි දන්නා කෙනෙක් නැත!) වන නායකතුමා සිතා සිටින්නේ ආර්ථිකය පිම්මේ යන්නේයැයි කියන විට එය ඇත්තටම සිදුවන බවයි. එබැවින් හෙතෙමේ එම තැටිය තෙල් ගා පිරිසිදු කරමින් නිතිපතා වාදනය කරයි. ලක්ෂ හතරක් රැකියා ඇති කළෙමුයි නායකතුමා දොඩවන්නේ එවිට ලක්ෂ හතරකට රැකියා පහළවන්නේයැයි මෝහනයෙනි.
ස්වයං-මෝහනය වනාහි ස්වයං-අහංකාරකමේ අනෙක් පැත්තය. මේ දෙදෙනාටම ඇත්තේ පෙනෙන විදිහට එකම ලෙඬේය. දෙදෙනාටම යම් පමණකට අතීතය අමතකවීමේ ලෙඬේද තිබේ. පෙනෙන විදිහට දැන් දෙදෙනාම සිතා සිටින්නේ තමන්ද අලින්ගේ අධෝමුඛයෙන් ඉපදුණු බවයි.
සිරා කොමිෂන් පත්කිරීමට ගජ හපනෙකි. සිරා විසින් පත්කරන ලද කොමිෂන් ගණන සිරා තබා සිරාගේ කේවට්ටාචාරීන්වත් නොදන්නවා විය යුතුය.
වරක් සිරා, මරා යටතෙහි විපතට පත් ජනමාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට හානිපූර්ණය කරනු වස් ඒකපුද්ගල කමිටුවක් පත්කළේය. අද වනතුරුත් කමිටුවට වූ දෙයක් හෝ කරන ලද හානිපූර්ණයක් හෝ දන්නා ජහමනයෙක් නැත.
එක් නැවක් වැරදීමෙන් රටෙහිම තෙල් හිඟයක් ඇතිවූ විගසද සිරා කමිටුවක් පත්කළේය. සති කිහිපයකට ප්‍රමාණවත් ඉන්ධන ගබඩා කර තබාගැනීමට නොදන්නා ආණ්ඩුවක් පාණ්ඩුවක් බව මේ දෙබෑයන් පිළිගන්නේද නැත. මේ වනාහි ආසියාවේ පාරාදීසයේ හැටිය. තමන්ට තෙල් ගහගන්නට දන්නේ නැති ආණ්ඩුවක් ජහමනයාට තෙල් ගහන්නේ කොහොමද?
දැන් පෙනෙන විදිහට ඉන්දියානු තෙල් නැව තියා කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ගෙන්වා ගත්තත් අසම්මුති ආණ්ඩුව සම්මුතියෙන් ගොඩදැමීම ඉබිපිහාටු සෙවීමක් හා සමාන වනවා ඇත.
වන්නාටය. දෙවන යුද්ධ කාලයේ පටන් පවත්නා හිස් තෙල් ටැංකි දහපහළොවක් අසළ රටකට තෙල් ගබඩා කිරීමට බදුදීමට විරුද්ධව තෙල් මාෆියාව මරාගෙන මැරෙන්නට යන්නේ සතියකටවත් තෙල් ගබඩා කරගත නොහැකි මෙවැනි රටකය. මරාද එම ටැංකි හිස්වම තබාගත් යුතු බවට කෑමොර දෙයි. දෙබෑයෝ රණතුංග සහෝදර සමාගම සහ තෙල් මාෆියාව හමුවේද හිස පහත් කරගෙන සිටිති.
මේ දෙන්නාටම ප්‍රශ්නයක් තිබෙන බව තේරුම් යන්නේ වැඬේ කුරුවල්වන්නට ආසන්නවන විටය. නායකයකුට විය හැකි නරකම දේ නම් යථාර්ථයෙන් වියෝවීමයි. මරාට වූයේත් එයයි. සිබීකේ නෝනාට වූයේත් එයයි. මරා අඩුම ගණනේ වසර 10ක් රජකම් කළේය. සිරා තවම රජකම් කර ඇත්තේ වසර තුනකි. මේ වසර තුන සිරා පෙන්වා ඇත්තේ කතා පැවැත්වීමේ දක්ෂතාව පමණි. වැඩ නැත. නායකතුමාට නම් දැන් සිහිනෙනුත් කවදා විපක්ෂයට යම්දැයි සිතෙනවා ඇති.
එක් දේශපාලන තීරණයකින් එකවරම විසඳිය හැකි තිබූ සයිටම් ප්‍රශ්නය පොරවකින් හෝ කපා හෙළිය නොහැකි ප්‍රශ්නයක් බවට පත්කරගත්තේ ද දෙබෑයන්ය. කතා මගින් නිදහස් කළ හැකි නම් දේශපාලන සිරකරුවන් දැනටමත් නිදහස්ය. පානම මිනිස්සුන්ට ඉඩම් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ 2015 පෙරවාරියේදීය. තවම ඒ මිනිස්සු උඩ බලාගෙන හූල්ලති. උමා ඔය මිනසුන් ගැන දෙන්නාටම හීන් වේදනාවක්වත් නැති පාටය. තොරතුරු දැනගැනීමේ පතන ගැන පාරම්බාන ජනාධිපති කාර්යාලය ඉල්ලන තොරතුරු ආරක්ෂක හේතුන්යැයි නොදී අරිති.
සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් සඳහා පසුගිය ජනවාරියේදී අගමැති කාර්යාලයට බාරදුන් කෙටුම්පත් වළපල්ලේ පුස්කයි. නායකතුමා පස් මාෆියාවට බියවී රංජන් රාමනායක පන්නා දමයි. තවමත් එජාප මංත්‍රීවරයකු වන විජේදාස ආණ්ඩුවට දෙහි කපයි. හැම එකකටම ඇමැතියකු ඉන්නා ආණ්ඩුවට මානව හිමිකම් ඇමැතියකු නැත.
ඒ අතරවාරයේ ජනාධිපති තාත්තා වී මාස දෙකක් යන්නට කලින් සිරාගේ දුව චතූ ආණ්ඩුවෙන් ලක්ෂ ගණන් බිස්නස් ගන්නා වෙළෙඳ ප්‍රචාරක සමාගම් තනාගනී. සිරාගේ අප්පච්චි මළා ගසාකන්නේ ලැජ්ජාවක් නැතිවය. බැඳුම්කර මගඩිකරුගෙන් මිලියන ගණනක ගෙයක් ගත් රවී දැන් වීරයෙකි. ආණ්ඩුවේ බැඳුම්කර නීතිඥයෝ මස් රාත්තලටත් වඩා තව ටිකක් ඉල්ලති. නායකතුමා සබන් බෝල අහසට යවයි.
වැලිකඩ සිරකරු ඝාතනයේ වින්දිතයනට සාධාරණය ඉල්ලා පස්වසරකට පසුත් විදීයේ උද්ඝෝෂණය. ප්‍රගීත්, තාජුඩීන්, ලසන්ත ඈ ඝාතන කකුලු ගමනිනි. උතුරෙහි අතුරුදන්වූවන්ගේ මව්වරු දෙසිය දින පසුකර පාරේ වාඩිවී සිටිති. හමුදාව මිනිස්සුන්ගේ ඉඩම්වල බජව් දමති.
අනාගත කතාව:
ඉතිං අයුබෝවන්, මක්කටෙයි අසම්මුති ආණ්ඩුවක්?
දැන් එලඹෙන්නේ ජන්දය දෙන ප්‍රතිශතයෙන් නොව ජන්දය නොදෙන ප්‍රතිශතයෙන් ජනමතය කියැවෙන අනාගතයක් ද?
අරාජිකත්වයට පාර ඇර තිබේ. ‘පාර වසා ඇත’ බෝඞ් එක තවම පින්තාරු කර නැත.■