රාවය

අලුත් ව්‍යවස්ථාවක් කියන්නේ ජනවාර්ගික ප්‍රශ්නයට දෙන විසඳුමක් විතරක් නෙමෙයි | යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්

අලුත් ව්‍යවස්ථාවක් කියන්නේ  ජනවාර්ගික ප්‍රශ්නයට දෙන  විසඳුමක් විතරක් නෙමෙයි | යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

පහුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් පිළිබඳ උතුරු නැගෙනහිර ජනතාව තුළ ගොඩනැගී තිබුණු බෙදුම් රේඛාව මේ වන විට බොඳවෙමින් යනවා කියලා ඔබ කියනවා. ඒ ඇයි?
මේ ආණ්ඩුවේ තියෙන සංයුතිය තුළත්, ආණ්ඩුව ගෙවී ගිය අවුරුද්ද දෙක තුළ ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක බලද්දී ජනතාව තුළ ඒ වගේ බිඳවැටීමක්, එසේත් නැත්නම් පහුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව වෙනසක් නෑ කියන හැඟීමක් ඇතිවීම පුදුමයට කරුණක් නෙමෙයි. පවතින තත්ත්වය තුළ මිනිස්සුන්ගේ බලාපොරොත්තු විශාල වුණාට ඒවා යථාර්ථයක් බවට පත් කරගන්නා යම් ක්‍රමයක් තිබුණේ නෑ.
යුද්ධයෙන් පීඩනයට පත් වෙලා හිටි ජනතාව තුළ මේ ආණ්ඩුව බලයට පැමිණීමත් එක්ක විශාල බලාපොරොත්තු ඇති වුණා. විශේෂයෙන් නැවත පදිංචි කිරීම, අවතැන් වූ ජනතාවගේ ප්‍රශ්න විසඳීම වගේම හමුදාව යටතේ තියෙන ජනතාවට අයිති ඉඩම් ආපසු ලබාගැනීම, දේශපාලනික සිරකරුවන් මුදවාගැනීම වගේ කාරණා ඒ තුළ කැපීපෙනුණා. රැකීරක්ෂා නොමැතිබව කියන කරුණත් මෙතැනදී වැඩි වශයෙන් මතු වුණා. විශේෂයෙන් එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනයවූවන් බහුතරය මේ වන විට විරැකියාවෙන් පෙළෙනවා. යුද්ධයෙන් පසුව සිදුකෙරුණු ඇතැම් පර්යේෂණ සංඛ්‍යා ලේඛන අනුව පෙනෙන දෙයක් තමයි මේ වෙනකොට ලංකාවේ වැඩිපුර ම සියදිවි නසාගැනීම් සිදුවන්නේ උතුරේ කියලා. විශේෂයෙන් ක්ෂුද්‍ර ණය වගේ දේවල ජනතාව හිරවීම මේ සියදිවි නසාගැනීම්වලට වැඩි වශයෙන් හේතු වෙලා තියෙනවා. ඉතිං අද වන විට මිනිස්සුන්ගේ අපේක්ෂා සහ යථාර්ථය අතර විශාල පරතරයක් මතුවෙලා තියෙනවා කියලා පැහැදිලිව කියන්න පුළුවන්.
මේ ආණ්ඩුවෙන් ජනාතාව බලාපොරොත්තු වූ කාරණා ඉටු නොවුණේ උතුරේ විතරක් නෙමෙයි තමයි. සමස්ත රට තුළ ම කිසියම් බලාපොරොත්තු කඩවීමක් තියෙනවා. නමුත් යුද්ධයකින් ඍජුව පීඩා ලැබූ මිනිසුන් හැටියට උතුරු නැගෙනහිර ජනතාවගේ හදවත් තුළ පැවති බලාපොරොත්තු වඩා වැඩියි. ඒ නිසා ඒ බිඳවැටීමත් ඒ තරමටම විශාලයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාව, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව, උදලාගම පරණගම වාර්තා වගේ දේවල් යුද්ධය අවසන් වුණ දවසේ ඉඳන් උතුරු නැගෙනහිර ජනතාවගේ බලාපොරොත්තු අලුත් කළාද?
මේවා කිසියම් තරමකින් ජනතාවගේ බලාපොරොත්තු තවදුරටත් වර්ධනය කළා. හැබැයි මේ වාගේ වාර්තා තුළින් මතු කරලා තියෙන කාරණා ගැන උතුරු නැගෙනහිර වගේම සමස්ත රට තුළ ම මතවාදීමය පැහැදිලි කිරීම් සහ ඒවා අවශ්‍යවෙන්නේ ඇයි කියන කාරණා ගැන පැහැදිලි සංවාදයක් ගොඩනගන්න තිබුණා. නමුත් ඒ සංවාදය ආණ්ඩුවලින් විතරක් නෙමෙයි, රටේ ප්‍රධාන විපක්ෂය වන ටීඑන්ඒ එකෙන්වත් සිදු කළේ නෑ. ඒ වෙනුවට ඒ අය හැම වෙලාවේම කළේ තමන්ගේ එදිනෙදා පැවැත්මට අවශ්‍ය දේවල් සිදුකිරීම විතරයි.

යුද වින්දිතයන් සම්බන්ධ අතුරුදහන් කිරීම්, පැහැරගැනීම් සහ ඝාතනය කිරීම් වගේ දේවල් සංවේදී කාරණා හැටියට මේ වෙලාවේ උතුරුනැගෙනහිර පවතින්නේ නැද්ද?
ඔය විදියේ කාරණා ගැන සාකච්ඡා මතු වෙමින් තියෙනවා. නමුත් ඒ සාකච්ඡාවලින් වැඩිපුර ඉස්මතු කරන්නේ මොන වගේ ප්‍රවේශයක්ද කියන එක තමයි ගැටලුව. යුද වින්දිතයන් සම්බන්ධ ඔබ කියපු ගැටලු සම්බන්ධයෙන් සමාජයේ මතුවන්න අවශ්‍ය සැබෑ ප්‍රවේශය තමයි මේ දේවලට සාධාරණයක් විය යුතුය කියන එක. නමුත් මේ පිළිබඳව වැඩිපුර මතුවන්නේ මේවා පිළිබඳව පළිගැනීමේ ප්‍රවේශය.
උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි සමස්ත රටේම තියෙන අභියෝගය තමයි ජාතිවාදය පරාජය කිරීම. ඇත්තට ම මේ වෙලාවේ හැම තැනම සිද්ධවෙන්නේ පරණ අතීතය ගැන සිහිපත් කරමින් ඉන්න එක. අතීතවාදී දෘෂ්ටියෙන් බැහැරව අනාගතවාදී දෘෂ්ටියකින් බලලා අතීතය තුළින් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන කවුරුත් කල්පනා කරන්නේ නෑ.

පොදු ජනතාවගේ සැබෑ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු නොකරන තත්ත්වයක් තුළ දෙමළ ජාතික සන්ධානය වගේ දේශපාලනික පක්ෂ පවතින්නේ කොහොමද?
මං කලින් කිව්වා වගේ සමස්ත රටේම විපක්ෂ නායකත්වයට ඔවුන් පත් වෙලා තියෙන එක තමයි මේ වෙලාවෙ තියෙන ඉතාම වැදගත්කම. ඒ නිසා දෙමළ ජාතික සන්ධානයට මේ වෙලාවේ මීට වඩා වගකීමක් තියෙනවා සමස්ත රටේම තියෙන ප්‍රශ්න ගැන මීට වඩා තදින් මැදිහත් වෙන්න. ආණ්ඩුව ගලවාගැනීමේ මාර්ගයෙන් ඈත් වෙලා මේ අය රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදය පිළිබඳව, මර්දනය, නීතිය, ආර්ථිකය ආදි දේවල් ගැන පුළුල්ව ප්‍රශ්න කරන්න ඕනෑ.
ඒ වගේම පොදු අර්බුදවලට අමතරව ඒ අයට විශේෂ වගකීමක් තියෙනවා උතුරු නැගෙනහිර ජනතාව ගැන සංවේදී වෙන්න. යුද්ධයෙන් පීඩාවට පත් වූ අයගේ ප්‍රශ්න පිළිබඳවත්, දේශපාලනික වශයෙන් පවතින බලය බෙදීම ඇතුළු ප්‍රශ්න හා ඒවාට විසඳුම් ගැනත් මේ අය සාකච්ඡා කරන්න ඕනෑ. ඒ විතරක් නෙමෙයි ජාතිවාදී මතවාදයන් නිසා මිනිස්සු අතර ඇති කරලා තියෙන දුරස්ථභාවය නැතිකිරීම වගේ කාරණාවලදී පවා මේ අයට දක්වන්න පුළුවන් මැදිහත්කම වැඩියි. විපක්ෂ නායක තනතුර කියන්නේ ඒ ආකාරයේ මැදිහත්කමක් දැක්විය හැකි තනතුරක්. ඉතිං රටේ පවතින මේ ප්‍රශ්න දිහා බලද්දි පෙනෙන දේ තමයි, මේවාට ආණ්ඩුව විතරක් නෙමෙයි විපක්ෂනායකවරයා ඇතුළු පිරිසත් වගකියන්න ඕනෑ කියන එක.
ඝාතන සහ අතුරුදන් කිරීම් කියන දේවල් බලන්නකෝ, අතුරුදන් කිරීම කියන එකත් ඝාතන කියන එකත් එක පැත්තකින් උතුරු නැගෙනහිරට විතරක් අදාල ප්‍රශ්නයක් නෙමෙයි. දකුණේත් මේ විදියේ ප්‍රශ්න තියෙනවා. අතුරුදන් වීම දෙමළ සමාජය තුළ වැඩි වශයෙන් සිදු වෙලා තියෙනවා තමයි. නමුත්
ආරක්ෂක අංශවලට අදාල සාමාජිකයන්, මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් වැනි බොහෝ දෙනෙක් දකුණේදීත් මේ ඛේදවාචකයට මූණ දීලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න දිහා සමස්තයක් හැටියට අරන් විසඳුම් දෙන්න පුළුවන්. මේක එක ජාතියකට සහ ආගමකට අදාල කාරණයක් හැටියට ලඝු නොකර මේවා දිහා සමස්තයක් හැටියට බලන්න අවශ්‍යයි.

මේ වෙලාවේ කරන්න ඕනෑ බලය බෙදන්න කියන එක නෙමෙයි තමන්ගේ අයිතීන් ඉල්ලීම කියන යෝජනාව ඔබ සිංහල නොවන ලාංකිකයින්ට කරනවා. ඒ ඇයි?
බලය බෙදීම කියන එක මගින් විතරක් ම ජාතික ප්‍රශ්නය විසඳෙනවා කියලා මම හිතන්නේ නෑ. විශේෂයෙන් රටේ මුල් ඇදලා තියෙන ජාතිවාදී මතවාදයන් සහ ක්‍රියාකාරීත්වයන් මගින් රට භේදබින්න බවට පත් කරලා තියෙන අවස්ථාවක බලය බෙදීම කියන එක ඇතුළේ විතරක් ඒ විදියේ අව්‍යාජ විසඳුමකට එන්න බෑ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහජන අදහස් විමසීමට සහභාගි වූ කෙනෙක් විදිහට මම දන්නවා උතුරු නැගෙනහිර ස්වාධීන ජනතාව වෙතින් ආ බොහෝම අදහස් ඉතාමත් පුළුල්. ඒවා හුදෙක් බලය ලබාගැනීමේ පටු අරමුණු ඉක්මවා ගිහින් සමස්ත රටේ පවතින ප්‍රධාන ගැටලු රාශියක් ආමන්ත්‍රණය කරන යෝජනා සහ අදහස්.
අපි මේ වෙලාවේ කරන්න ඕනෑ වැදගත් ම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද කියලා පොදු ජනයා දැනුවත් කරන එක. අපිට එහෙම කරන්න පුළුවන් නම් සියලු පාර්ශ්වයන්ගේ සිටින අන්තවාදීන්ගේ මතවලින් සාමාන්‍ය ජනතාව ගලවාගන්න පුළුවන්.

දකුණේ ඇතැම් පිරිස්වලට අනුව යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ හුදෙක් සුළුතර ජනතාවට බලය බෙදන ලියැවිල්ලක්?
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම කියන්නේ හුදු ජනවාර්ගික ප්‍රශ්නයට දෙන විසඳුමක් විතරක් නෙමෙයි. එහෙමත් නැතිනම් මේ කියනවා වගේ බලය බෙදා දීම ගැන දෙන විසඳුමක් විතරක් නෙමෙයි. සමස්තයක් හැටියට ලාංකීය සමාජය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම සහ ලංකාව තියෙන තැනින් තවදුරටත් ඉස්සරහ ගෙනයෑම පිළිබඳ කාරණයක්.
නමුත් ව්‍යවස්ථා සම්පාදන කථිකාව සම්පූර්ණයෙන් කැරකෙන්නේ ඒකීය එහෙමත් නැත්තං ඔරුමිත්ත කියන වචන දෙක උඩ. ඒකයි ඛේදයට කාරණය.
දැනට පවතින ව්‍යවස්ථාව තුළින් ගිලිහිලා තියෙන මූලික අයිතිවාසිකම් කොහොමද අලුත් ව්‍යවස්ථාව තුළින් ගොඩනගාගන්නේ. මහජන නියෝජිතයන් තෝරද්දී දූෂිතයන් සහ නුසුදුස්සන් පත්වීමට තියෙන ඉඩ අලුත් ව්‍යවස්ථාවක් මගින් අවම කරන්නෙ කොහොමද, නීතියේ ආධිපත්‍යය තවදුරටත් වර්ධනය කරගන්නේ කොහොමද වගේ දේවල් ගැන පැහැදිලි විග්‍රහයක් මේ කථීකාවන් ඇතුළේ කෙරෙන්නේ නෑ. වෙන එකක් තියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අදහස් දක්වන අය පවා ඉස්මතු කරන්නේ මේ කාරණය විතරයි.
දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තත් ඒක සම්පූර්ණ වශයෙන් ඒකීය එකක් නෙමෙයිනේ. ඒ වගේම සන්ධීය එකකුත් නෙමෙයි. දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ඇති කරමින් පළාත්වලට බලය බෙදීම කියන කරුණ තුළ ප්‍රධාන වශයෙන් තනි ඒකීය රාජ්‍යයක් කියන කාරණය අහෝසි වුණා. අපිට මතකයි පළාත් සභා ක්‍රමයට විරුද්ධව හඬ නැගූ අය ඒ දවස්වල කිව්වෙ පළාත් සභා ඇති කළාම අනුරාධපුරයෙන් එයාට යන්ඩ වීසා ගන්න වෙයි කියලා. නමුත් පළාත් සභා ඇති වුණාම එහෙම වුණේ නෑනේ.
ඉතිං අද දකුණේ අන්තවාදී සමාජය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ විදිහට ප්‍රතික්ෂේප කරද්දී උතුරේ අයත් එහෙමම කරනවා. ඒ අය මේ සම්බන්ධයෙන් කියන එක කාරණයක් තමයි යෝජිත ව්‍යවස්ථාව තුළින් ආණ්ඩුකාරවරයාගේ බලතල වැඩිකිරීම හරහා පළාත් සභාවේත් මහඇමතිවරයාගේත් බලතල තවදුරටත් කප්පාදු කරන බව. ඒ අනුව නව ව්‍යවස්ථාව කිසිසේත් පිළිගත යුතු නැති බව ඒ අය කියනවා. ඒ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ හුදෙක් කුමන්ත්‍රණකාරී දෙයක් විදියට අන්තවාදීව බලන එක නවත්තලා එහි සමස්තය දකින්න පුළුවන් සැබෑ සංවාදයක් ගෙනෙන්න ඕනෙෑ. ■

.