අබෙ, අපි උතුරු කොරියාවට ගහමු!

එස්. නන්දලාල්

පසුගිය ඉරිදා (නොවැම්බර් 05) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජපානයේ යොකෝටා ගුවන් පර්යන්තයෙන් එරටට ගොඩ බැස එරට නායකයන් හමු වී කතාබහක යෙදෙන්නටත් පෙර එරට රැඳී සිටින අමෙරිකානු සොල්දාදුවන් සමූහයක් අමතා කථාවක් පැවැත්වීය.
එහි දී ඔහු මෙසේ පැවසී ය. ‘අමෙරිකානු යුදකාමීන් වන ඔබ අපගේ අසමසම හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගෙන අපගේ ජාතිය ආරක්‍ෂා කරන්නට සැදී පැහැදී සිටිනවා. එයට අපේ හිතවත් රටවල් ද අපට සහාය දෙනවා ඇති. කිසිවකු, කිසිම ඒකාධිපතියකු, කිසිම රෙජිමයක්, කිසිම ජාතියක් අමෙරිකානු විසඳුම් අඩු තක්සේරු නොකළ යුතුයි. අතීතයේ එක් නිමේෂයක දී ඔවුන් අපව අඩු තක්සේරු කළා. ඔවුන්ට එය ප්‍රසන්න වුණා ද? නෑ. කොහෙත් ම නෑ. ඔවුන්ට එය ඉතා අප්‍රසන්න වුණා.’
ඔහුගේ මේ ප්‍රකාශ කරුණු දෙකක් හඟවන බව ජපන් විචාරකයන්ගේ අදහසයි. එය ඔවුන් කණස්සලු සහගත කරවයි. පළමුවැනි ව මේ කියන්නේ කොරියාවට පහර දිය යුතු ය කියා වන අතර හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට පරමාණු බෝම්බ හෙළීම ඒ සමග ම සාධාරණීකරණය කෙරෙයි. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ සිය සොල්දාදුවන් ඉදිරියේ බෝම්බ ආරක්‍ෂක ජැකට්ටුවකින් සැරසී ය. ඒ සමහරවිට සොල්දාදුවන්ගේ දිරිය උපරිමයෙන් පවත්වා ගෙන යාම සඳහා විය හැකි ය. එහෙත් ඔය කියන හැකියාවන් අසමසම නොවන බවත් හිරෝෂිමා – නාගසාකි ප්‍රහාරය මගින් ජපනුන් දණ ගස්වන්නට අමෙරිකාවට හැකි වුවත් වසර දහ නමයහමාරක් පුරා පැවැති වියෙට්නාම් යුද්ධයෙන් තමන් පරාජයට පත් වූ බව ජනාධිපතිවරයා සිහිපත් කළේ නැත.
අමෙරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභිකයන් වන ටෙඞ් ල්‍යු සහ රූබන් ගැලෙගෝ යන දෙදෙනා විසින් පිළිතුරු අපේක්‍ෂාවෙන් ඉදිරිපත් කරන ලද ලිපියකට ජනාධිපතිවරයා සිය දීර්ඝ ආසියානු සංචාරය අරඹන්නට පෙර දින පිළිතුරු දෙමින් එරට ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී උපඅධ්‍යක්ෂ රියර් අද්මිරාල් මයිකල් ජේ. ඩුමොන්ට් පෙන්වා දී ඇත්තේ, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි ඇති තැන් සොයා ගැනීමට සහ ඒවායේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කළ යුත්තේ ගොඩබිමින් ප්‍රහාරයක් එල්ල කිරීම පමණක් බවයි. අන් මගක් නොමැති ය. එහෙත් එහි අනිටු ඵලය විය හැක්කේ සටනට යන සොල්දාදුවන්ට රසායනික අවි සහ ජීව විද්‍යාත්මක අවිවලට මුහුණ දෙන්නට සිදු වීමයි. අඩු තරමින් සොල්දාදුවන් 25,000ක් වත් දිවි පුදනු ඇත. අනතුරට පත් විය හැකි සාමාන්‍ය ජනතාව ගැන ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ නොහැකි ය.
උතුරු කොරියානුවන් භාවිත කරනු ඇතැ’යි උපකල්පනය කෙරෙන රසායනික සහ ජීව අවිවලින් සොල්දාදුවන්ට විවිධ සංකූලතා ඇතිවිය හැකි ය. ඒවා අතර ස්නායු ආබාධ, චර්ම රෝග මෙන් ම ශ්වසන අවහිරතා ඇතිවිය හැකි අතර සමහරවිට ඔවුන්ට මරණය දක්වා විඳවන්නට සිදුවන දුස්සාධ්‍ය රෝග වැළඳෙන්නට ඉඩ තිබේ.
රියර් අද්මිරාල් ඩුමොන්ට් යනු ජනාධිපතිවරයාට ඍජුව උපදෙස් දෙන මට්ටමේ තනතුරක් හොබවන නිලධරයෙකි.
හමුදාවේ ඉහළ නිල දරා විශ්‍රාම ගෙන දැනට කොන්ග්‍රස් සභිකයන් වන ඉහත සඳහන් ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් දෙදෙනා සමග රිපබ්ලිකන් පක්‍ෂයේ තවත් සමානයන් දොළොස් දෙනෙකු එක් ව පෙන්වා දී ඇත්තේ එම තක්සේරුව අනුව උතුරු කොරියානු නායකයා ප්‍රකෝප කිරීමෙන් අප්‍රසන්න අත්දැකීමක් විඳින්නට සිදු වනු ඇති බවයි. භූමියෙන් ගොස් ප්‍රහාර එල්ල කිරීම අතිඅවදානම්කාරී ක්‍රියාවක් වනු ඇති අතර බරපතළ තත්ත්වයක් උද්ගත කරන්නට හේතුකාරක වනු ඇත. එහි ප්‍රතිඵලය ලෙස සිය දහස් ගණනක් සමහරවිට මිලියනයක් ජනයා අනතුරට පත් වීම වැලැක්විය නොහැකි වනු ඇත. ‘ඔවුන්ගේ තක්සේරුව අප කියන කාරණය අවධාරණය කිරීමකි. සාකච්ඡා මේසයක දී උතුරු කොරියාව සමග සාමයෙන් මේ ප්‍රශ්නය විසඳා ගන්නවා විනා විකල්පයක් නොමැත.’
ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවියට ජේම්ස් කෝගන් නම් ආරූඪ නාමයකින් ලිපියක් සපයන ලේඛකයකු පෙන්වා දෙන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය මාෆියා කල්ලි නායකයකුගේ ප්‍රකාශයක් හා සම බවයි.
ජපාන අගමැති ෂින්සො අබෙ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රියතම විදෙස් නායකයා බව ජපාන පුවත්පත්වල සඳහන් ය. ඔවුන් අතර ඇති සබැඳියාව හැඳින්වෙන වචනය ඉරදප්බජැ ය. මෙයට සිංහල පදයක් සොයා ගැනීම අපහසු ය.
නොවැම්බර් 05 සහ 06 යන දෙදින තුළ ටෝකියෝහිදී පැවැත්වුණ හමුවත් සමග ට්‍රම්ප් – අබෙ හමු ගණන 4කි. දෙකක් නිව්යෝක් නුවර වන අතර අනෙක වියෙනාවල ය.
06දා ජනාධිපති ට්‍රම්ප් ජපාන ව්‍යාපාරික ප්‍රජාව සමග පිළිසඳරක නිරත විය. ජපාන – අමෙරිකා වෙළෙඳ ගනුදෙනු අසමතුලිත බව ඔහු පෙන්වා දුන්නේ ය. ජපානය ලෝකයේ හොඳම යුද අවි වන අමෙරිකානු නිෂ්පාදන මිල දී ගන්නා අතර අමෙරිකාව ජපාන වාහන මිල දී ගනියි. එහෙත් සියරටට ආනයනය කෙරෙන ජපන් වාහන ප්‍රමාණය අල්ප ය.
තමන් දෙන අවිවලින් උතුරු කොරියානු මිසයිල බිම හෙළන්නැ’යි ට්‍රම්ප් එහිදී පැවසී ය. උතුරු කොරියාව සතියකට වරක් එකක් බැගින් ජපාන අහසට මිසයිල් යොමු කරයි. ෂින්සො අබෙ ඊට එකඟත්වය පළ කළ බව සඳහන් ය.
‘ලෝක ත්‍රස්තවාදයේ උල්පත උතුරු කොරියාව ය, එනිසා එය මර්දනය කළ යුතු ය’ යන යෝජනාවක් කොන්ග්‍රසයේ සම්මත කොට ඒ මගින් නීත්‍යනුකූලව කොරියාවට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් ඇතැ’යි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළ බව ජපාන පුවත්පත් වාර්තා කළේ ය. මේ ප්‍රහාරය එල්ල කෙරෙනු ඇත්තේ ආසියාකරයේ සිටින සිය ඇලියේ සහායෙනි. එහෙත් මේ ඇලියට අයත් වන්නේ ජපානය සහ දකුණු කොරියාව පමණි. අනෙක් රටවලට උතුරු කොරියාවට පහරදීමේ වුවමනාවක් නොමැත. ආසියාවෙන් බැහැර පංච මහා බලවතුන් අතර සිටින රුසියාවට හා චීනයට පවා එවැනි අවශ්‍යතාවක් නොමැත. එය ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයට පමණි. මෙය මේනියාවකි. ට්‍රම්ප් ජනාධිපතිධුරය භාරගත් පසුව මේ මේනියාව උග්‍ර බව පැහැදිලි ය.
ඩුමොන්ට් ව්‍යවස්ථාදයකයන්ට මොනවා කිව්වත් යුද සැලසුම් තීරණය කරන්නේ ජනාධිපතිවරයා මුලසුන හොබවන ආරක්‍ෂක මණ්ඩලය විසිනි. එක්සත් ජනපද කැබිනට් මණ්ඩලය පත් කෙරෙන්නේ මහජන නියෝජිතයන් අතරින් නොව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය නිලධාරීන් අතරිනි. තමන් ප්‍රගුණ කළ විෂයේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සම්පාදනය සහ ඉදිරියට ගෙනයාම ඔවුන්ගේ රාජකාරියයි. එරට ජනාධිපතිවරයා සහ උපජනාධිපතිවරයා පවා තේරී පත්වන්නේ ඍජු මහජන ඡන්දයෙන් නොවේ. විධායකයේ ම ශාඛාවක් වන කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කරන නීති සම්මත කළ යුත්තේ ව්‍යවස්ථාදායකය විසින් වන අතර ඒවා බලාත්මක කිරීම සඳහා විධායකය අත්සන් තැබිය යුතු ය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී බව හුවා දැක්වුව ද ජනාධිපතිවරයාගේ අභිමතය ක්‍රියාත්මක වන බව පැහැදිලි ය. ජනාධිපතිවරයා අන් මත නොඉවසන්නකු වූ විට තත්ත්වය වඩා නරක අතට හැරෙයි.
ඒ අතින් ජනාධිපති ට්‍රම්ප්ට වඩා තුලිත ලෙස කරුණු දෙස විමංසනය කරන්නට ජනාධිපති ඔබාමාට හැකියාවක් තිබූ බව සාමාන්‍ය මතයයි. ඔහු කිසිදා උතුරු කොරියාවට පහර දිය යුතු ය යන ස්ථාවරයේ සිටියේ නැත.
ජනාධිපති ඔබාමා 2014 මාර්තු අග ආසියාවේ සංචාරයක නිරත විය. ඒ චාරිකාවේ දී ඔහු මුලින්ම ජපානයේත් අනතුරුව දකුණු කොරියාවේ, පිලිපීනයේ සහ මැලේසියාවේත් සංචාරය කළේ ය. ජනාධිපති ට්‍රම්ප් මැලේසියාවට නොයන අතර ඔහු චීනයටත් වියෙට්නාමයටත් පැමිණියේ ය. ජනාධිපති ඔබාමා චීනයට පැමිණියේ 2016 සැප්තැම්බර් මාසයේ පැවැති ඨ20 සමුළුවට සහභාගි වීම සඳහා ය. එහි දී තමා පිළිගනු ලැබුවේ අවමන් සහත අයුරින් බව ඔහුම මාධ්‍යයට පවසා තිබිණි.
සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසු ලොව එකම බලවතා බවට පත් වු අමෙරිකා එක්සත් ජනපදය පසුගිය අවුරුදු 25 ක කාලය තුළ සම්බන්ධ ලොව පුරා ලේ වැගිරීම් සංඛ්‍යාව අසංඛෙය්‍යයකි. රටවල් විනාශ වූ අතර මිලියන ගණනක් ජීවිත විනාශ වී ටි්‍රලියන ගණන් වටිනා දේපළ විනාශ විය. අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ මේ නොසංසිඳෙන යුද උමතුවට වන්දි ගෙවන්නේ ඒ රටේ සාමාන්‍ය ජනතාව ය. ධනවතුන්ට නිරන්තර බදු සහන ලැබේ. මෙවර අයවැයෙන් ඉහළ මට්ටමින් බදු කපා හැරීම් සිදු කොට ඇතැ’යි චෝදනා එල්ල වේ. ඒ අතර ජනාධිපති ට්‍රම්ප් යුනෙස්කෝවට දෙන ආධාර නතර කරන්නට පසුගියදා තීරණය කළේ ය. යුනෙස්කෝව යුද්ධයේ විනාශකාරී බව ලොවට කියා දෙන ප්‍රමුඛතම ආයතනයයි. ඒ නිසා ට්‍රම්ප් ඊට එරෙහි වීම පුදුමයක් නොවනු ඇත.■