90 වසරකට පෙර සිදු වූ මහත්මා ගාන්ධිගේ ලංකා චාරිකාව

මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි (1869-1948) හෙවත් මහත්මා ගාන්ධි විසි වන සියවසේ ශ්‍රේෂ්ඨතම චරිතයන් අතුරෙන් කෙනෙක්.
ඔහුගේ සන්නිවේදන හැකියාවන් ගැනත්, සඟරා කතුවරයකු හැටියට කළ හපන්කම් ගැනත් අප මේ තීරු ලිපියෙන් මීට පෙර කථා කළා (2015 ජූනි 14 හා ජූනි 21).
ගාන්ධි සිය ජීවිතයේ එක් වරක් ශ්‍රී ලංකාවට පැමිණ සති දෙකහමාරක් රට පුරා සංචාරය කළා. ඒ 1927 නොවැම්බරයේ. එම ඵෙතිහාසික සංචාරයට මේ මාසයට වසර 90ක් පිරෙනවා.
මේ චාරිකාව ගැන විස්තර එවකට මෙරට පුවත්පත්වල පළ වුණා. මීට අමතරව මාධ්‍යවේදිනී ප්‍රියානි ගුණරත්න 2002දී ‘මහත්මා ගාන්ධි ලංකාගමනය’ නමින් සිංහලෙන් පොතක් ලියූවා.
මේ ලිපියට මා පාදක කර ගන්නේ එම පොතත්, ගාන්ධිගේ ලේකම්වරයකු ලෙස ලංකා චාරිකාවට සම්බන්ධ වූ මහාදේව් දේසායි ඉංග්‍රීසියෙන් ලියා 1928දී මදුරාසියේ පළ කළ With Gandhij‍ෙin Ceylon නමින් පොතත් යන මූලාශ්‍ර දෙකයි.
ගාන්ධිගේ ජීවන කථාව සමීපව අධ්‍යයනය කර තිබෙන ඉන්දියානු ඉතිහාසඥයකු හා ප්‍රකට ලේඛකයකු වන රාමචන්‍ද්‍ර ගුහා :(Ramachandr Guhaකියන්නේ 1927 වර්ෂය ගාන්ධි ජීවිතයේ සාපේක්‍ෂව සන්සුන් එකක් වූ බවයි.
ඒ වසරේ ගාන්ධි සත්‍යග්‍රහයක් සංවිධානය කළේ හෝ අත්අඩංගුවට පත්ව සිරබත් කෑවේ හෝ නැහැ. අවිහිංසාවාදී අරගලය දිගටම ගෙන යන අතර ස්වදේශීය කර්මාන්ත නගා සිටුවීමේ එක් වැදගත් පියවරක් ලෙස චර්ක (charkha) අත්යන්ත්‍ර යොදා ගෙන කපු කැටීම හරහා තමන්ගේම රෙදි වියා ගැනීම රට පුරා ප්‍රවර්ධනය කළා.
මෙයට අමතරව එම වසරේ විවේක ඇති හැම විටෙකම ගාන්ධි තම ආත්ම චරිතාපදානය රචනා කළා. ඔහු සංස්කරණය කළ Young Indiaසඟරාවේ 1927 පුරාම එය සතිපතා කොටස් වශයෙන් පළ කැරුණා.
ලංකාවට පැමිණීමට කලෙක පටන් ගාන්ධි තුළ ඕනෑකමක් තිබුණත් එය ඉටු කර ගත හැකි වූයේ 1927 අගදීයි. ගාන්ධි සමඟ ඔහුගේ බිරිඳ කස්තුර්බා, නිදහස් සටනේ නායකයකු වූ සී. රාජගෝපාලචාරී (1878-1972) සහ ඔහුගේ දියණියත්, ගාන්ධිගේ ලේකම්වරුන් වූ මහාදේව් දේසායි හා පයාරේලාල් දෙපළත් මෙහි පැමිණියා.
ලංකාවට පැමිණීමට දින පහකට පෙර ඔහු මෙරට ජනයාට පණිවුඩයක් එවමින් මෙසේ කියා සිටියා. “මා ඔබේ රටට පැමිණෙන්නේ දාරිද්‍රනාරායන (දුගී මිනිසුන්ගේ දෙවියන්) නම් ව්‍යාපාරය වෙනුවෙන්. භාරතයේ දුගී ජනයා නඟා සිටුවීමට ආධාර එකතු කරන්නයි. 1901දී ඔබේ රටට ඒමට මා සැලසුම් කළත් එය සාර්ථක වූයේ නැහැ. මා කම්කරුවෙක් බැවින් ලංකාවේ වැඩ කරන ජනයා සමඟ සබඳතා වැඩි දියුණු කර ගන්නට කැමතියි.”
1927 නොවැම්බර් 13 වනදා සන්ධ්‍යාවේ ගාන්ධි ඇතුළු පිරිස ලංකාවට පැමිණියේ චින්කොබා නම් බඩු ප්‍රවාහනය කරන නැවෙන්. ඔහුගේ ගමනට මුල් වූයේ ව්‍යාපාරික අතින් ඉහළ තැනෙක සිටි කොළඹ හෙට්ටි ජනයා බව සඳහන්.
ඒ වන විට මැදිවියේ (වයස 58) පසු වූ ගාන්ධි, දින 17ක් ලංකාවේ ගත කළා. ඒ කෙටි කාලය තුළ මෙරට ප්‍රදේශ ගණනාවක සංචාරය කරමින් උත්සව රැසකට සහභාගි වූවා.
කොළඹින් පටන්ගෙන ඔහු එක් සංචාරයකදී මීගමුව, මාදම්පේ, හලාවත, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, බණ්ඩාරවෙල, බදුල්ල, මාතලේ, තලවකැලේ, හැටන්, නාවලපිටිය, ගම්පළ යන නගරවලට ගියා.
ඊළඟට දකුණු දිසාවට ගමන් කරමින් ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර, හික්කඩුව,ගාල්ල, මාතර හා අක්මීමන යන නගරවල ජනයා ඇමතුවා.යළිත් කොළඹ පැමිණි ඔහු නැවතත් රට හරහා ත්‍රිකුණාමලයට ගමන් කර එතැනින් යාපනයට ගියා. යාපනයේ තෙදිනක් ගත කිරීමෙන් පසු තලෙයිමන්නාරමට ගොස් නැව් නැගී යළිත් ඉන්දියාවට යෑමට පිටත් වුණා. ඒ 1927 නොවැම්බර් 30 වැනිදා.
ගාන්ධි මෙරට සංචාරයට දුම්රිය හා මෝටර් රථ යොදා ගත්තා. ඔහුගේ ගමන් හා නවාතැන් වියදම් දැරුවේ මෙරට ව්‍යාපාරික ප්‍රජාව විසින්.
මෙරටට ළඟා වීමෙන් පසුදා1927 නොවැම්බර් 14 වනදා ගාන්ධි දිනමිණ පත්‍රයේ වාර්තාකරුවකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරනවා. ලංකාගමනයට හේතුව මෙසේ විග්‍රහ කරනවා.
“මම පාත්‍රයක් රැගෙන පිඬු සිඟා ආවාෟ භාරතවාසී ජනතාව අද ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. එදා දේශීය කර්මාන්තයක් ලෙසට දියුණුව තිබූ ඛාදාර් (khaddar) රෙදි ව්‍යාපාරය බලවත් තර්ජනයකට මුහුණ පා තිබෙනවා. ඛාදාර් රෙදි වියනු ලබන්නේ චර්ක හෙවත් අත්යන්ත්‍ර මඟින්. මෙම රෙදි විකුණා ගැනීමට අද වෙළෙඳපොළක් නැහැ. පේෂ කර්මාන්තශාලා භාරතය පුරාම ඉදි වෙමින් පවතිනවා. ඒ නිසා මේ පිරිස අසරණ බවට පත්වෙලා. මේ උවදුරුවලට අවසාන උත්තරය චරකය මුළු භාරතය පුරාම පැතිරවීමයි. එවිට විශාල කර්මාන්ත ශාලාවලට ඉඩක් නොමැති වේවි. ලාංකික ඔබ මෙම රෙදි වියන ජනතාවට උදවු කරන්න. මොවුන්ගේ නිෂ්පාදන මිලට ගෙන සහයෝගය දක්වන්න. ඉන්දියානු දුගී පිරිසට මුදලින් ආධාර කරන්න. එම ඉල්ලීම ලාංකික ජනතාවගෙන් – මගේ අසල්වැසි මිතුරාගෙන්ෟ”
රුපියලේ අගය අදට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක තිබූ එදා ගාන්ධි සමස්ත ලංකාවෙන් එකතු කරගත් මුළු මුදල රුපියල් එක් ලක්‍ෂ පන්දහස් දහසයක් (1,05,016) වුණා. මෙයට දහස් ගණනක් ලාංකිකයන් හැකි පමණින් දායක වුණා. මේ චාරිකාව නිසා ඉන්දු ලංකා සුහදත්වය බෙහෙවින් දියුණු වුණා.
ගාන්ධි සිය සංචාරයේදී මෙරට සියලු තරාතිරම්වල ජනයා මුණ ගැසුණා. බි්‍රතාන්‍ය ආණ්ඩුකාර හර්බට් ස්ටැන්ලි ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක් පසෙකින්ද, මෙරට සියලු ජනවර්ගවලට අයත් ප්‍රභූ ජනයා අනෙක් පසින්ද හමුවී සාකච්ඡා කළා. ඊට අමතරව දහස් ගණනක් සාමාන්‍ය ජනයා හමු වුණා.
ලංකාවේ ගත කළ දින 17 තුළ ගාන්ධි බෞද්ධ, හින්දු ක්‍රිස්තියානි පූජ්‍යස්ථානවල පැවති රැස්වීම් ඇමතූ අතර මහජන සභා හෝ පාසල් සිසුන් අමතා කථා 35ක් පවත්වා තිබෙනවා. එයට අමතරව ඔහු ගිය හැම තැනෙකම ලක් ජනයා විශාල සංඛ්‍යාවක් රැස් වෙමින් ඔහු දැක බලා ගත් බවත්, ඔහුට ජය ඝෝෂා කළ බවත් වාර්තාවල සඳහන්.
නොවැම්බර් 15 වනදා කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල්වලටත්, නොවැම්බර් 17 වනදා කුරුණෑගල මලියදේව බාලිකා විදුහල හා මහනුවර ධර්මරාජ විදුහලටත් ගියා. ඒ සැම තැනෙකම සිසුන් හා ගුරුවරුන් අමතා කථා කළා.
නොවැම්බර් 23 වනදා ගාල්ලේ මහින්ද විiාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ගාන්ධියි. ඉනික්බිති යාපනයේදී හින්දු විiාලය හා යාපනය මධ්‍ය මහා විiාලයට ගොස් කථා පවත්වා තිබෙනවා.
ගාන්ධි ගිය හැම පාසලකින්ම සිසුන් හා ගුරුවරුන් එකතු කළ ආධාර මුදල් ඔහුට පුදනු ලැබුවා. සහිරා විදුහලේ විදුහල්පතිවරයාගේ කථාවේදී ගාන්ධි තරුණ වියේ දකුණු අප්‍රිකාවේ ගතකළ කාලයේ එරට මුස්ලිම්වරුන්ට කළ උදවු උපකාර ගැන සඳහන් කෙරුණා.
මේ සියල්ලෙන් පෙනීයන්නේ ගාන්ධි වටා සමස්ත ලක් ජනයා එක් රොක් වූ බවයි.
මෙරට දේශපාලනය ගැන සෘජුව කථා නොකළත්, ස්වයංපාලනයේ හා දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ වැදගත්කම ගැන ඔහු බොහෝ සේ අවධාරණය කළා.
මහාදේව් දේසායි සිය පොතේ ගාන්ධිට ලැබුණු ලාංකික පිළිගැනීම ගැන මෙසේ කියනවා. “තමන් ලංකාවට ආවේ සම්මාදම් එකතු කරන්නකු ලෙස බව ගාන්ධි පුන පුනා කීවත් ලාංකිකයෝ එය තමන්ට දැක්වූ ගෞරවයක් ලෙස සැලකුවා. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හෝ ඉස්ලාම් භේදයකින් තොරව මුදල් එකතු කර පරිත්‍යාග කළා. අතමිට සරු අය පමණක් නොවෙයි, එදා වේල හම්බ කර ගන්නා කම්කරුවන් පවා හැකි පමණින් ආධාර කළා. ගාන්ධිගේ රෙදි විවීමේ ව්‍යාපාරය ලංකාවේත් ප්‍රවර්ධනය කරන්න යයි බොහෝ ඉල්ලීම් ද ලැබුණා.”
ගාන්ධිට උදවු කිරීම සඳහාත්, ඔහුගේ ගුරුහරුකම් ලැබීමටත් තමන්ගේ වාදභේද පසෙක දමා ලක් සමාජය එක්සත් වූ බව දේසායිගේ පොතෙහි විස්තරාත්මකව වාර්තාගතයි.
එවකට මෙරට කම්කරු ව්‍යාපාරයේ නායකයාව සිටි ඒඊ ගුණසිංහ (1891-1967) ගාන්ධිගේ ලංකා සංචාරයේ ඇතැම් අවස්ථා මනාව සම්බන්ධීකරණය කළා. මෙතරම් කාර්යක්‍ෂම ලෙස කම්කරු ව්‍යාපාරය ඉන්දියාවේ සංවිධානය වී නැති බවට දේසායි නිරීක්‍ෂණය කොට තිබෙනවා.
විද්‍යෝදය පිරිවෙනට රැස් වූ පන්සියයකට අධික බෞද්ධ භික්ෂුන් ගාන්ධිට සෙත් පතා පිරිත් සජ්ඣායනා කළා. එයට පිළිතුරු දෙමින් ගාන්ධි බුදුන් වහන්සේ පිළිබඳ ඇගැයීමක් කළ බවත්, බෞද්ධ හා හින්දු සමගිය අවධාරණය කළ බවත් වාර්තාගතයි.
ගාන්ධි ලිවීමෙන් මෙන්ම කථාවෙන්ද සන්නිවේදන දක්‍ෂයෙක්. ඔහු මෙරට විවිධ පිරිස් අමතන විට ඔවුන්ට අදාළ පරිදි තම පණිවුඩය සකස් කොට ඉදිරිපත් කළා.
කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA) හමුවේ කළ කථාවේ සාමයික සහජීවනයේ වැදගත්කම අවධාරණය කළා. මෙසේ කීවේ ලාංකික කිතුනුවන්ටත් වඩා එකල මෙරට සෑහෙන තරම් බලපෑම් කරමින් සිටි ක්‍රිස්තියානු මිෂනාරිවරුන් ඉලක්ක කර ගෙන බව දේසායිගේ විග්‍රහයයි.
ගාන්ධි උඩරට ගමන් කළේ දුම්රියෙන්. බදුල්ල, නුවරඑළිය හා හැටන් ප්‍රදේශවලට ගිය ගාන්ධි, මෙරට වතුකරයේ වැඩ කිරීමට දකුණු ඉන්දියාවෙන් ගෙනා ජනයා හමු වී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කළා. දුසිරිත්වලින් තොරවූ අවංක ජීවිත ගත කරන මෙන් ගාන්ධි ඔවුන්ට අවවාද කළා.
වතු කළමනාකරුවන් හා කංකානම්වරුන්ද මුණගැසී කථා කිරීමට ගාන්ධිට වුවමනා වූවත්, එයට කාල වේලාවක් තිබී නැහැ. වතු කම්කරු ජනයාගේ ජීවන මට්ටම් නඟා සිටුවීමේ අවශ්‍යතාව මේ කෙටි සංචාරයේදී වුවත් ගාන්ධි අවබෝධ කර ගත්තා. (සියවසකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් තවමත් මේ අභියෝගය ලක් සමාජය හමුවේ තිබෙනවා.)
නොවැම්බර් 23 වනදා මෝටර් රථයකින් කොළඹ සිට ගාල්ලට ගිය ගාන්ධි ඇතුළු පිරිස හැම නගරයකම පාහේ නතරවී ජනයාට කථා කළා. ආධාර පිළිගත්තා.
නතර කිරීමට නියමිතව නොතිබුණු ගම්මානයක කාන්තාවන් මහමගට පැමිණ අධික උද්‍යෝගයෙන් යුක්තව ගාන්ධිගේ රථය බලෙන්ම නතර කොට තිබෙනවා. ඔවුන්ගේද සුළු ආධාරය තෑගි කරන්න.
බුදුන් වැඩ සිටි භාරතයේ නූතන යුගයේ පහළ වූ ඉතාම ප්‍රතිපත්තිගරුක නායකයා ලෙස ගාන්ධි ගැන මෙරට බෞද්ධ ජනයා තුළ විශේෂ පැහැදීමක් තිබුණා. එසේම බෞද්ධයන්ට ඉතා වැදගත් බුද්ධගයාව යළිත් බෞද්ධයන් අතට ලබා දෙන්න මැදිහත්වන්න යයි ගාන්ධිට ඉල්ලීම්ද කෙරුණා.
ගාන්ධි කොළඹදී සෑම තරාතිරමකම කණ්ඩායම් මුණගැසුණා. කොළඹ මහ නගර සභාවේ රැස්වීමක් අමතමින් ඔහු මෙසේ ද කියා තිබෙනවා. “ඔබේ නගරය දැකුම්කලුයි. එහි කුරුඳුවත්ත ප්‍රදේශයේ මහා මන්දිර වැනි නිවෙස් පසු කරගෙන මා ගමන් කළා. මේවායේ වෙසෙන අයට සුවිශේෂී වගකීම් තිබෙනවා. තමන් තරම් වරප්‍රසාද නොලත් ජනයාගේ අයිතීන් හා ජීවන මට්ටම් වෙනුවෙන් පෙනීසිටින්න. කොළඹ පිරිපුන් නගරයක් වන්නේ මන්දිර මෙන්ම පැල්පත්වල වාසය කරන අයද සුවදායක ජීවිත ගත කරනවා නම් පමණයි.”
කොළඹදීත්, වතුකරයේත්, වෙනත් ස්ථානවලත් ගාන්ධි නිතරම සමාජ සාධාරණත්වය පිළිබඳව හුවා දැක්වීමට මෙරට ව්‍යාපාරිකයන්ගෙන් හා ප්‍රභූන්ගෙන් කෙසේ ප්‍රතිචාර මතු වූවාද යන්න පැහැදිලි නැහැ.
කොළඹදී කාන්තා හමුවක් ලෙස හඳුන්වා දුන් අවස්ථාවකටත් ගාන්ධි සහභාගි වුණා. එහෙත් එහිදී පෙනීගියේ ප්‍රභූ කාන්තාවන් ටික දෙනකු පමණක් උසස් පන්තියේ නිවෙසක රැස්වී සිටි බවයි.
මහාදේව් දේසායි එය මෙසේ විස්තර කරනවා. “ගාන්ධි අපේක්‍ෂා කළේ මෙබන්දක් නොවෙයි. එහෙත් ඔහු උපේක්‍ෂාවෙන් මේ නෝනාවරු සමඟ කථා කළා. කාන්තා අයිතිවාසිකම් හා සමාජ සාධාරණත්වය ගැන උදාහාරණ සහිතව විග්‍රහ කළා. විශේෂයෙන්ම වතුකරයේ කාන්තාවන් විඳින දුක්ගැහැට ගැන විස්තර කළා. වරප්‍රසාද ලත් කොළඹ කාන්තාවන්ට කළ හැකි බොහෝ දේ තිබෙන බව පෙන්වා දුන්නා.”
ලංකා චාරිකාවේ කළ කථාවලදී හුදෙක් විදෙස් බලවේගවලින් ස්ථාධිපත්‍යය ලැබීම ගැන පමණක් නොව රටක් හා එක්සත් ජාතියක් ලෙස යළි පිබිදීමට අවශ්‍ය වෙනත් බොහෝ සාධක ගාන්ධි මතු කළා.
මත්පැන්වලට ඇබ්බැහි වීමට අරඹා තිබූ අමiප ව්‍යාපාරයට ගාන්ධි පූර්ණ සහයෝගය දැක්වූවා. කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට සමාජයේ නිසි තැන හා ගෞරවය ලබා දීමේ වැදගත්කම අවධාරණය කළා. දේශීය කර්මාන්ත හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කළ හැක්කේ කෙසේද යන්න සාකච්ඡා කළා.
තමන්ම වියා ගන්නා ඛදාර් රෙදි මිස පිටරටින් ගෙනෙන රෙදි නොඅඳින ලෙස ඔහු සැමට නිර්දේශ කළා.
නොවැම්බර් 22 වනදා ලංකා ජාතික කොංග්‍රසය විසින් ගාන්ධි වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කරනු ලැබුවා. එයට ඩීබී ජයතිලක, ඊඩබ්ලිව් පෙරේරා, ටීබී ජායා, ජේම්ස් පීරිස් හා ඩීඑස් සේනානායක වැනි නායකයෝ සහභාගි වුණා.
ගාන්ධි මෙරටදී කළ කී තවත් දේ ගැන විස්තර ඉදිරි ලිපියකින්.■