රාවය

රොඞ්නිට ගිය ෆිෂ්ටේල්

රොඞ්නිට ගිය ෆිෂ්ටේල්

ඒ. වික්‍රමසූරිය

ගිය වසරේදීත් අපි මෝදර ෆිෂ්ටේල් ක්‍රීඩා සමාජය ගැන බොහෝ දේ කතා කළෙමු. ඒ කතා කළ දෑ කිරාමැන බලන්නට අදවන විට ඕනෑ තරම් නිදසුන් ඇති බව සහතිකය. අද වන විට එම ක්‍රීඩා සමාජයට සිදුව ඇත්තේ කුමක්ද? නිකංම නිකං සිල්ලර බාර් එකකට එහා අරුතක් අද ඊට ඇත්ද?
මෝදර ෆිෂ්ටේල් ක්‍රීඩා සමාජය මෙරට තුළ නමක් දිනා ගත්තේ එයට නොව මෙරට පිහිනුම් ක්‍රීඩාවට අති දක්‍ෂයන් බිහි කළ තිඹිරි ගෙයක් වූ නිසාය. එහෙත් අද එයින් බිහිවන පිහිනුම් ක්‍රීඩකයන් කොහිද? පිහිනුම් ක්‍රීඩාවට නව අරුතක් සැපයූ ප්‍රබලතම ස්ථානයක් වූ මෙහි පරිපාලනයද එකල ඉහළ මට්ටමක පැවතුණි. ධනපති පන්තියේ වටපිටාවට මැදිව මෝදර තිබූ කාලය තුළ ෆිෂ්ටේල් යනු අතිප්‍රබල ක්‍රීඩා සමාජයකි. ධනපති පන්තියේ බලයට නතුව පවතින කල මේ ක්‍රීඩා සමාජයේද ප්‍රමිතියෙන් ඉහළය. ඉන් එම පන්තියට කත් නොඅදින මුත් නිසි පිරික්සුමකට භාජනය කරන්නේ නම් සැමවිටම ඒ පන්තිය එම තනතුරුවල ගුණාත්මකභාවය රැක්කේය. එහෙත් ඉන්පසු පාදඩ රස්තියාදුකාර පන්තිය මේ තනතුරුවලට රිංගීමත් සමඟ ක්‍රීඩා සංගම් පමණක් නොව සමස්ත ක්‍රීඩා යාන්ත්‍රණයම විනාශයට යන්නට විය.
සමස්ත පිහිනුම් ක්‍රීඩාවම පහළට වැටී ඇති කළ ෆිෂ්ටේල් ක්‍රීඩා සමාජය පමණක් විශේෂ නැග්මක තිබිය නොහැකිය. එහෙත් ඒවා එලෙසම විනාශ වන්නට ඉඩ හැර බලා සිටීම ඊට වඩා අභාග්‍යයකි.
ෆිෂ්ටේල් ක්‍රීඩා සමාජයේ මෙවරද බලය අත්කර ගත්තේ රොඞ්නි සිල්වාය. ගියවර රොඞ්නි බලයට එන කල අප තදින් ඊට විරුද්ධ වූයේ ඔහු ජාතික පිහිනුම් සංගමයේ වැටුප් ලබන තනතුරක නියැලෙමින් එම බලධාරීන්ගේ සුවච කීකරු ගෝලයෙකු ලෙස සිටිමින් මෙහි බලය ඇල්ලීම හුදු මව් සංගමයට ඡන්දයකට එකක් එකතු කරනු හැර ඊට එහා දෙයක් නොවන නිසාය.
ඒ සියල්ල පසෙකලා රොඞ්නිලා මේ ක්‍රීඩා සමාජ දියුණු කරනු වෙනුවට කාබාසිනියා කරනු ඇති බව අපගේ ප්‍රධානතම චෝදනාව විය. අද එය ඇස්පනාපිටම තහවුරුය. අද එයින් බිහිවන ක්‍රීඩකයකු නැති තරම්ය. එහෙත් මෙවරත් බලය හිමිවන්නේ ඔවුන්ටමය. එයට හේතුව අප බොරු කියන නිසා නොව රොඞ්නිලාටම කර ගන්නට දී වැදගත් පිරිස් ඊට එකතු නොවන නිසාය. හොර තක්කඩින් සමඟ එකට ලගින්නට ඇසුරු කරන්නට බොහෝ අය අකමැති නිසාය.
මේ නිසා රොඞ්නිලාට මේ වාරය නොව තව කල් මේ තනතුරු දැරිය හැකිය. දැන් බොහෝ අය ක්‍රීඩාව අතහැර දමන නොවැදගත් දෙයක් බවට පත් වෙමින් ඇති නිසාය. එයට හේතුව ක්‍රීඩාව බඩවියත රැකගන්නා වෘත්තිය බවට පත්කර ගත් මේ නිකමුන්ය.
අද ෆිෂ්ටේල් ක්‍රීඩා සමාජය යනු දඩාවතේ යන පිරිසක් රිංගා ගත් ගුබ්බෑයමක්මය. අද සභාපති, ලේකම්, භාණ්ඩාගාරික තනතුරු තුනම සිල්වාලාටම බෙදාගෙන ඇත. මේ සිල්වාලා සියල්ල එක වල්ලේ පොල්ය. ඥාතීන් යැයි ද පැවසේ. එසේ නම් තවත් කවර කතාද? රොඞ්නිලා ගෙවුණු කාලය තුළ අවංකව ෆිෂ්ටේල් ක්‍රීඩා සමාජය ඉහළට ගෙනෙන්නට කළේ කුමක්ද? ඔවුන්ට නම් ඇතිපදම් සෙත වන්නට ඇත. ඒ නිසාම මෙවා අත නොහැර බහිරවයන් සේ සිටීමෙන් පැහැදිලිය. තවදුරටත් මේ අයටම මේ පරිපාලනය කරගෙන යන්නට ඉඩ දෙන්න. දැන් ෆිෂ්ටේල් එක දිනෙන් දින බලුටේල් වෙමින් පවතී. මේ අයට බලය දී අවැසි දේ ලැබී ඇත. ඉතිරි ටිකත් ගිල දමා විනාශ කරන්නැයි හැර කුමක් ඉල්ලමුද?■