රාවය

ශ්‍රියාලතාට ඇය ඉල්ලන දේ දෙන්න

ශ්‍රියාලතාට ඇය ඉල්ලන දේ දෙන්න

ටිරන් කුමාර බංගගමආරච්චි

පුවත්පතේ කාල යක් යූ.ඩී. ශ්‍රියාලතා ගැන ලීවේ ජයග්‍රාහී වැනුම්මය. ඒ තරමට ඇගේ නම ඉදිරිපිට ලියැවුණ ජයග්‍රහණ කන්දක්ය. ඒ කන්ද ඇය තරණය කළේ පාපැදියක නැගීය. මේ බොහෝ මංමාවත් ඇයට හුරුය. පුරුදුය. ඇගේ සිරුර කරට ගත් පාපැදිය ඇය රැගෙන ඉගිළ ගියේ ශ්‍රියාලතාගේ දෙපයේ ශක්තියටම විනා ආශ්චර්යයකින් නොවේය. එහෙත් අද ඇය සුසුම්ලන්නීය. එදා ඇය ලද ජයග්‍රහණයම අද ඇය වස් කවියක් කොටගෙන සමාජයටම දෙස් දෙන තැනට තල්ලු වී ඇත. ඉතින් ඇය අසාධාරණද?

1994 වර්ෂයේදී පාසලේ පාපැදි තරගයට ඉදිරිපත් වන ශ්‍රියාලතා ඉන්පසු සිය ජීවිතයම පාපැදියට භාරදී ක්‍රීඩිකාවක ලෙස අප්‍රමාණ කැපකිරීම් කරන්නීය. එහි ප්‍රතිඵල ඉහළය. 2016 වසර වනවිට ඇය තරග හාරසියයට වඩා පැද ගොස්ය. ඉන් බොහොමයක ජයග්‍රාහිකාව ඇයය. මෙරට පාපැදියේ රැජින ඇය වනවිට මෙරටින් පිට තරගද ඇයට විවෘතවන්නේ ඇය ලද ජය නිසාමය. දෙස්-විදෙස් තරග රැසකදී ඇය ලද රන්, රිදී, ලෝකඩ පදක්කම් ගණන සියය ඉක්මවයි. එහෙව් යටගියාවක් ආඩම්බරයක් ඇති ජවසම්පන්න ගැහැනියක අද හඬා වැටෙන්නේ ඇයි?
ඉන් ගම්‍යවන්නේ මෙරට ක්‍රීඩාවේ නියැලීම ඒ වෙනුවෙන් කැපවීම පාපයක් බවද? විඳවිල්ලක්, හීල්ලීමක්, ළතැවිල්ලක් පසුතැවිල්ලක් බවද?

මේ වැලපිල්ල නවකයකුට ක්‍රීඩාවේ නියැලෙන්නට දිරි දෙයිද? එහෙත් ඇගේ වැලපිල්ලෙහි වරදක් වේද? සරල පිළිතුර නැත. යන්නය.
අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයෙන් අකුරු කළ ඇය මුලින් තරගයක් සඳහා බයිසිකලයට නගිනුයේ පාසල් නිවාසාන්තර තරගයකටය. ඉන් ජයග්‍රහණය ඇඟේ වදින ශ්‍රියාලතා ඉන් ඉදිරියට සිතනුයේ පාපැදියේ ජීවිතයේ කොටසක් කරගෙන ජයග්‍රහණ සොයා කාපට් පාරේ ඉගිලෙන්නය. ඒ අනුව පළාත්, සමස්ත ලංකා, ජාතික ක්‍රීඩා උළෙලේ ඉන් නොනැවතී සාග් දක්වා ඇය පාපැදියෙන් දස්කම් පානුයේ ඒ සඳහා සිය අප්‍රමාණ මහන්සියේ ප්‍රතිඵලවල පිහිටෙනි.
මහා බලසම්පන්න ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට මල් විකුණන ශ්‍රියාලතාගේ අම්මා මල්වලින් උපයන මුදලින් කළේ ශ්‍රියාලතාගේ ජයග්‍රාහී සිහිනවලට කොටසක් වෙන්කිරීමය. ඒ මුදල් අපතේ නොගිය බව නම් සැබැවි. මේ ජයග්‍රහණ පමණක් නොව අදටත් කාන්තා අංශයෙන් පැයට කිලෝමීටර් 38.99ක වේග සීමාව ඉක්මවූ ඇයගේ වේගයට ළංවිය හැකි ක්‍රීඩිකාවක තවම නොආ බැවින් සාග් ක්‍රීඩා උළෙලෙහි රන්පදක්කම් තුනක් ඇගේ නමට අයිතිය.

ලංකාවේ පාරවල්වලින් මිදී විදෙස්හි පාරවල්වලද පැද ගිය ඇය මැලේසියාව, ඉන්දියාව, දෝහ කටාර් මෙන්ම ස්කොට්ලන්තයේදීද තරග කොට ජයගෙන ඇත.
මෙරට මහා ක්‍රීඩා උළෙල ලෙස පම්පෝරි ගසන ජාතික මහා ක්‍රීඩා උළෙලද ඇය ලද අංක එක තැන අට පාරකි. ඉන් හත්පාරක ජය අඛණ්ඩව ලැබීමත් ලේසිපහසු නැත.
තරග, තරග, තරග. ඒ හැම තරගයකින්ම ඇය ලද්දේ ජයමය. එබැවින් ගෙලට මාල නැතත්, පදක්කම් නම් නිතර එල්ලුණි. එදා ගෙල බර වෙන්නටම ලද්දා වූ පදක්කම් අද ඇයට මහ වදයක් වී ඇත. කැබිනෙට්ටුවක් පිරෙන්නට පදක්කම් කුසලාන පුරවාගෙන ගෙට ඇතුළු වන හැම නෙතකටම අසිරියක් ගෙන ආ ඇය අද ඒ කැබිනට්ටුව දෙසම බලමින් හූල්ලන්නීය. පදක්කම් සියල්ල වළ දමන බවට පවසන්නීය.

තමන් ආස කරන දේ පෙනෙන විට දුක වැඩිය. ඒවා වළ දමා යටගියාව මකා දමා ගත් කල සියලු වේදනා සමනය වෙතැයි ඇය සිතනවා විය හැක. එවිට ඇගේ පදක්කම්, ජයග්‍රහණ පිළිබඳ සාක්ෂි මැකෙනු ඇත. එහෙත් එවිට ඇයට ජීවත් විය හැකිද? වසර ගණනාවක් අප්‍රමාණ දුක් වලඳා ඇගේ මව බැතිමතුන්ට මල් විකුණා ලද මුදලින් ඇය දිනවූයේ ඒ සියලු ජය වළලනු දකින්නටද?
ඇය අද ක්‍රීඩාවට සමුදීය. විවාහක ඇය එක් දරු මවකි. සැමියාටද රැකියාවක් නොමැතිය. ඇය අද ජීවත් වන නිවෙස වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි ඇමතිව සිටින කල ලබා දුන් මහවැලියට අයත් නිවසකි. එහි අබලන් වහලේ වවුල් පුරයකි.

පාපැදියෙන් ජය ගන්නා කල අරමුණ එපමණකි. එනම් ජය පමණය. ක්‍රීඩාවට සියලු කැපකිරීම් කරන කල වෙන දේකට කැප කළ හැකි කාලයක්ද නැත. අනුග්‍රාහක ආයතන, අනුග්‍රාහකයන් අවශ්‍ය වන්නේ එබැවිනි. මව් සංගමය තම ක්‍රීඩිකාවකගේ ඉදිරිය හදන යන්ත්‍රණ සකස් කළ යුතුවන්නේ එබැවිනි. සංගමයක පරිපාලනය යනු හුදෙක් තරග සංවිධානය පමණක් නොවන බව සිතිය යුතුය. සංගමයේ පුටු බෙදා ගන්නට හැමදාම වලිය. එහෙත් ජයග්‍රහණය ලද ක්‍රීඩිකාවක රැකගන්නට යන්ත්‍රණයක් හදන්නට එකෙක් නැතිය.
ක්‍රිකට් ක්‍රීඩකයකු සතු වටිනාකම අනෙක් කිසිදු ක්‍රීඩාවකට මෙරට නොමැතිය. එබැවින් සෙසු ක්‍රීඩාවල නියැලීම නිවාස ණයක් ගත්තා වැනි මර උගුලකි. මියෙන තෙක් ගෙව ගෙවා සිටිය යුතුය. අවසානයේ ලද මහා ජයක් නැත.

යූ.ඩී. ශ්‍රියාලතාගේ දුක් කතාව මේ දිනවල මාධ්‍යවල ජයට පළවේ. එහෙත් තවමත් ඇය ලද සහනයක් නොපෙනේ. ක්‍රීඩාවෙන්ද බෙදා ගත හැකි අය ඕනෑ තරම් බෙදා ගත්හ. ඒ අතින් ශ්‍රියාලතාලා හැමවිටම දුප්පත්ය. ඇය සිතුවේ තරග සහ ජයග්‍රහණ පමණි. හෙට ඇයට වුව මේ මේ දේ දුන්නයි පාලකයෝ කෑ මොර දිය හැක. එහෙත් ඊට වඩා දෙයක් කළ යුතුව ඇති බව කල් තබාම කිව යුතුය. පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යාංශයක් ඇත. එසේ නම් ඒවායේ ක්‍රීඩා ඇමතිවරු කුමක් කරනු ඇත්ද?

ශ්‍රියාලතා ඉල්ලනුයේ ජීවත් වන්නට රැකියාවකි. ඒද දන්නා දෙයමය. පුහුණුකාරී තනතුරකි. දේශපාලන සහයෙන් ඕනෑතරම් රැකියා දෙන බව මේ රටේ අරුමයක්ද? තම හත්මුතු පරම්පරාවම දේශපාලන සහයෙන් උගත්කම් ඇතිව හෝ නැතිව ලබාදීම පුදුමයක්ද? එසේ නම් ශ්‍රියාලතාට රැකියාවක් ලබාදිය නොහැක්කේ ඇයි?
“මට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කියලා මේ වන තෙක් කිසිම වරප්‍රසාදයක් ලැබිලා නෑ. ඒ වගේම මම කරපු කැපකිරීම් අගය කිරීමක් සිදුවෙලාත් නෑ. මෙච්චර පාපැදි ක්‍රීඩාවෙන් ඉස්සරහට ආවාට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මට පාපැදියක්වත් දුන්නේ නෑ. ඒ වගේම මම ගොඩාක් දුක් විඳපු කෙනෙක්. මම කන්න නැතිව පුහුණුවීම් කරලා තියෙනවා. මම සමහර දවස්වලට මගට ගිහින් හැරිලා එනවා නොකා නොබී පදින්න බැරිකමටම.”

මේ ඇය කියන දෑය. ක්‍රීඩා අමාත්‍යාංශය කී සැණින් ඊට වත්මන් ක්‍රීඩා ඇමතිවරයා වගකිවයුතු නොවේ. ඇය සිය කුසලතා පෙන්වූයේ මීට පෙර ඇමතිවරුන් යටතේය. ප්‍රශ්නය ඔවුන් ඇය නොසලකා හැරීමය. එබැවින් එය බැරවන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයටය. එබැවින් අද ඇයගේ විලාපයට කන් දෙන්නට සිදුව ඇත්තේ වත්මන් ඇමතිටය. වර්තමානයේ වුව අනාගතයේ වුව ක්‍රීඩාව සම්බන්ධ ගැටලුවලට අද පිළිතුරු පිළිතුරු සෙවිය යුත්තේ ඔහු බැවිනි.

එක දෙයක් කිව යුතුය. ඔහු යමක් කළ හැකි අයෙකි. එබැවින් ශ්‍රියාලතාගේ ප්‍රශ්නයට මැදිහත් වන්නැයි අපි ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලමු. මන්ද කුමන හෝ කරුණක් මත ඇය සිය දුක කියමින් හීල්ලිය යුතු අයෙකු නොවන බැවිනි. ඇය දක්ෂ ක්‍රීඩිකාවකි. රටට කීර්තියක් ගෙනා අයෙකි. ඒ වෙනුවෙන් ජීවිතෙන් අඩක්ම කැප කළ අයෙකි. එසේ නම් ඇගේ ඉතිරි කාලය රැකගත යුතු නැද්ද? ඊට සාධාරණයක් විය යුතු නැද්ද? ඇය පිං පඩියක් ඉල්ලන්නේ නැත. ඉල්ලනුයේ පුහුණුකාර තනතුරකි. ඊට ඇය නුසුදුසු නම් සුදුසුකම් සපුරාලන ක්‍රමවේදයක් සහිතව ඇයට රැකියාවක් දිය යුතු නැද්ද? මේ ඉල්ලීමක් නොව කළ යුතු දෙයක්මය යන්න අපගේ හැඟීමය. ශ්‍රියාලතාට ඇය ඉල්ලන දේ දෙන්න. මන්ද ඒ ඇයට අයිති දෙයකි.■