රාවය

ජනපති අගමැති සටන

ජනපති අගමැති සටන

වික්ටර් අයිවන්

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර හා ඉන්පසුත් රට ඓතිහාසික අර්ථයෙන් ගමන් ගනිමින් තිබෙන්නේ යහපත් තැනකට නොව, අරාජිකත්වයකටය. එහෙත් නව ආණ්ඩුවක් බලයට පත් කිරීම සඳහා පෙනී සිටිමින් එම පෙරළියේ අයිතිකරුවන් තමන් වේයැයි සිතන බොහෝ නාමධාරීන් දරන ලද මතය වූයේ බලයට පත්වූ නව ආණ්ඩුවේ සමහර අඩුපාඩුකම් තිබියදීත් එය ප්‍රගතිය කරා යන ශක්තිමත් ආණ්ඩුවක් වන බවය. එහි තිබෙන දෝෂ නිවැරදි කරගත හැකි දෝෂ ලෙස සලකා ඒ නිවැරදි කරගැනීම සඳහා ක්‍රියාකරන බලවේගයක් ලෙස ක්‍රියා කරන්නට ඔවුහු උත්සාහ කළහ. ඔවුන්ට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබෙන සමනය කළ නොහැකි ගැටුම නොපෙනුණේය. ඔවුන් දෙදෙනා අතර භේදයක් තිබෙන බව බව පෙනුණද ඔවුන් එය දකින්නේ විසඳාගත හැකි සරල ගැටුමක් ලෙසය.

යහපාලන ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුද රට තිබුණේ අරාජිකත්වය කරා යන ගමනකය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටියදී පවා ඓතිහාසික අර්ථයෙන් රට ගමන් කරමින් තිබුණේ අරාජිකත්වයකටය. මම ඒ බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාලන බලයේ සිටින කාලයේදී පවා ලියා ඇත්තෙමි. අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් වසර දෙකකට පසුව මා කීවේ යුද්ධය ජයගැනීමෙන් පසුව රටේ ඇතිවූ දීර්ඝකාලීන ප්‍රචණ්ඩ අරගල නිසා අබල දුබල හා විකෘති තත්ත්වයකට පත්ව තිබෙන සමාජය හා රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරන වැඩසටහනකට යොමු නොවීම තුළ රට අරාජිකත්වයකට යන ගමනකට යොමුවී තිබෙන බවත්, ඉන් සමාජයට සිදුවන හානිය අවම කරගැනීම සඳහා බලවත් සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවත්ය. විකල්ප සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණින් වන බලවත් සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමේ ඓතිහාසික අවශ්‍යතාව විස්තර කරමින් ‘ලංකාව ගලවා ගැනීම’ යන නමින් මා පොතක් ලියා පළ කළේ 2011 වසරේ ජනවාරිවලදීය. මා ඒ පොත ලියන්නට ඇත්තේ 2010දීය.

දැකීමේ දුප්පත්කම
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරමින් බලයට පත් යහපාලන ආණ්ඩුවට රටේ ගමන් මග වෙනස් කිරීමට අවශ්‍ය තරමේ යථාර්ථවාදී ඉදිරි දැක්මක් හා එම ඉදිරි දැක්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තරමේ බලවත් අධිෂ්ඨානයක් තිබුණේ නම් රට අරාජිකත්වයකට යන ගමනේ මූලික වෙනසක් ඇති කරගැනීමට පුළුවන් වන්නට ඉඩ තිබුණි. එහෙත් යහපාලන ආණ්ඩුවට එවැනි ශක්තිමත් ඉදිරි දැක්මක් නොතිබුණි. එයට තිබුණේ බලය ලබාගැනීමේ අරමුණ ජයගැනීම සඳහා වන අතිසරල දැක්මක් පමණය. එය සැලසුම් කළ සියලු ප්‍රතිසංස්කරණ අරාජකත්වයට යන ගමන දුර්වල කරනවා වෙනුවට ශක්තිමත් කරන ව්‍යාජ හා අවිධිමත් ප්‍රතිසංස්කරණ විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා කරළියට ගෙනා පොදු අපේක්ෂකයා පිළිබඳ සූත්‍රය පවා තාවකාලික අර්ථයෙන් ලැබෙන සහනයක් වූවා මිස ප්‍රශ්නයට ලැබෙන හොඳ පිළිතුරක් නොවීය.

එම සූත්‍රයට අනුව බලයට පත්විය හැක්කේ නියම මහජන බලයක් ඇති පුද්ගලයකුට නොව මහජන බලයක් ඇති වෙනත් සංවිධානවල ආධාර ලබා ගන්නා පුද්ගලයෙකුටය. එවිට වෙනත් අයට තිබෙන මහජන බලයෙන් බලයට පත්වූ නායකයාට ඔහු බලයට පත් කළ සංවිධානවල සිරකරුවකු වීමට හෝ ඒවා සමඟ ගැටුම් ඇතිකර ගන්නා තත්ත්වයකට යන්නට සිදුවේ.
යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමට සහය දුන් ව්‍යවස්ථා විෂය පිළිබඳව කිසිම අවබෝධයක් නැති මහජනතාව අතර 19 වැනි සංශෝධනය ලොකු ආස්වාදයක් ඇති කිරීමට හේතුවී තිබුණද එය රට අරාජිකත්වය කරා යන ගමන වේගවත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් වූවා මිස ක්‍රමවත් ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය නොහැක. එහි බාහිර පෙනුම ලස්සනය. හරය අවුල්සහගතය. මනා ගැළපීමකින් තොරය. ඒ අනුව ජනාධිපතිවරයා අගමැතිගේ අනුමැතිය ඇතිව මිස ජනාධිපතිවරයාගේ අභිමතයට පමණක් කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකිය. කැබිනට් මණ්ඩලය හෝ එහි සාමාජිකයන් වෙනස් කළ නොහැකිය. අගමැතිවරයා වෙනස් කළ නොහැකිය. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමෙන් පසුව ඉබේ සිදුවන විසුරුවා හැරීමකදී හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව සිදුවන විසුරුවා හැරීමකදී හැර ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට පාර්ලිමේන්තුවද විසුරුවා හැරිය නොහැකිය.

පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වූ අවස්ථාවකදී හැර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු අර්බුද අවස්ථා තිබිය හැකිය. ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයට පිරිසක් එකතුවීම නිසා කවර කණ්ඩායමකටවත් ආණ්ඩු බලයක් සඳහා අවශ්‍ය බලයක් නැති අවස්ථා ඇතිවිය හැකිය. එවැනි අර්බුද අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට බලයක් නැතිනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ස්වකැමැත්තෙන් විසුරුවා හැරීමකට කැමති නොවේ නම් ඇතිවිය හැකි විකාරසහගත හා නින්දාසහගත තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නැත. පාර්ලිමේන්තුව සිය කැමැත්තෙන් විසුරුවා හරින තැනකට නොයන්නේ නම් (පාර්ලිමේන්තුව සිය කැමැත්තෙන් විසුරුවා හැරීමක් කරගනු ඇතැයි සිතිය හැක්කේ කෙසේද?) ඇතිවිය හැක්කේ අරාජික තත්ත්වයකි.

ජනාධිපති – අගමැති හටන
සාමාන්‍ය මිනිසුන්ට මෙසේ ප්‍රසිද්ධියේ පෙනෙන්නට නොතිබුණු එහෙත් ආණ්ඩුව ආරම්භයේ සිට පැවති හා වර්ධනය වෙමින් පැවති ජනපති හා අගමැති අතර පැවති සීතල යුද්ධය දැන් තිබෙන්නේ පුපුරන්න ආසන්න තත්ත්වයකය. 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිට, අගමැති හෝ කැබිනට් මණ්ඩලය බලරහිත කළ නොහැකිය. රනිල් විරෝධීන් ජනාධිපති වටා කල්ලි ගැසී සිටින අතර මෛත්‍රී විරෝධීන් අගමැති වටා කල්ලි ගැසී සිටින්නේය. ජනාධිපතිවරයාට එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකුව (මහින්ද හා රනිල්) දඩයම් කිරීමට සිදුවී තිබෙන අතර, මහින්ද හා රනිල් එක්ව හෝ වෙන් වෙන්ව ජනාධිපතිවරයාට එරෙහිව සටන් කරනු ඇත්තේ අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුවය. ජනාධිපතිගේ තුරුම්පු පැහැදිලිව පෙනෙන්නට ඇතත්, රනිල් හෝ මහින්දගේ තුරුම්පු පැහැදිලිව පෙනෙන්නට නැත. සමහරවිට දෙක එකට එකතු වී ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකිය.

අගමැතිවරයාට පෙනෙනවා ඇත්තේ බැඳුම්කර මගඩිය සොයා බැලීමට කොමිසමක් පත්කිරීම තමන් විනාශ කිරීම පිණිස අටවන ලද දුෂ්ට උගුලක් ලෙස විය හැකිය. කොමිසමේ කටයුතු අවසන් කිරීමෙන් පසු නැවත ජනාධිපතිවරයා විසින් බැඳුම්කර කොමිසම් කාලය මාස 6කින් දීර්ඝ කරන ලදි. ඒ සමඟ කොමිසම අගමැතිවරයා කොමිසම ඉදිරියට කැඳවන්නට තීරණය කර තිබේ.
නොවැම්බර් 16 වැනිදා තෙක් විදේශගතවී සිටින නීතිපතිවරයා වෙනුවට වැඩ බලන නීතිපති වශයෙන් පත්කර ඇත්තේ බැඳුම්කර කොමිසම ඉදිරියේ පැමිණිල්ල මෙහෙයවන අතිරේක ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් දප්පුල දි ලිවේරාය. කොමිසම ඉදිරියට කැඳවන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරනු ඇත්තේ ඒ මහතාය. ඒ මහතා කොමිසමේ කටයුතු සති දෙකකට කල් දමා තිබෙන්නේ ශල්‍යකර්මයකට භාජනය වී සිටින එක් සාමාජිකයෙකුට අවශ්‍ය නිවාඩු ලබාදීම සඳහාය. ඇතිවන්නට නියමිත රාජකීය බල අරගලයෙන් ජයගනු ඇත්තේ කව්ද? එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කරන්නට යන ජනාධිපතිවරයාද?

මෙතෙක් තිරය පිටුපස තිතකට නොපෙනෙන ලෙස සිදුවූ මෙම රාජකීය බල අරගල නාටකය ළඟදීම විවෘත වේදිකාවක් මත රඟදැක්වීමට නියමිතය. මෙම රාජකීය සටනේදී ‘සිරස ජනාධිපති වෙනුවෙන් අගමැතිට වෙඩි තබන විට ෑ බැඅි වෙබ් අඩවිය අගමැති වෙනුවෙන් ජනාධිපතිට වෙඩි තබන්නේය. දැන් දින කීපයක සිට ෑ බැඅි ඇඉ අඩවියට පිවිසිය නොහැක. එය මෙම රාජකීය හටනේ අතුරු ඵලයක් විය. මහජනයා විස්මයට පත් කරන තව තව දේ ඉදිරියට සිදුවනු ඇත.
මෙම රාජකීය සටනෙන් ජයගනු ඇත්තේ කවුද? එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කරන්නට යන ජනාධිපතිවරයාද, එම දඩයම සාර්ථක කරගත හැකිවේද? නැතිනම් කුරුල්ලන් දෙදෙනා දඩයම්කරුගේ ඇස් දෙකට කොටන තත්ත්වයක් ඇතිවේද? කිසියම් මොහොතකදී අගමැතිවරයා හා හිටපු ජනාධිපතිවරයා විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත්තද එය විස්මයට හේතුවිය යුතු නැතිවා සේ ම ඒ දෙදෙනා එකට එකතු වී ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ ද එයද විස්මයට හේතුවන්නේ නැත. බොහෝ රාජකීය හටන් කෙළවරවන්නේ විනාශයකිනි.

වැරදුණේ කොතැනද?
සාමාන්‍යයෙන් ලේ වැගිරීම් ඇතිවන්නේ නිදහස ලබාගැනීමේදී මිස නිදහස ලැබීමෙන් පසුව නොවේ. එහෙත් ලංකාවේ ලේ වැගිරීම් ඇතිවූයේ නිදහස ලබාගැනීමේදී නොව නිදහස ලබාගැනීමෙන් පසුවය. නිදහස ලබාගත්තේ එකම ලේ බිඳුවක්වත් නොසොල්වාය. නිදහස ලබාගැනීමෙන් අවුරුදු 30කට පසුව එක දිගට අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් ලංකාව ඉතාමත් අසාමාන්‍ය තරමට ලේ වැගුරුවේය. නිදහස ලබාගැනීමේදී ජාතික රාජ්‍යයට අවශ්‍ය නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම ඇතිවූ බව එම ලේ වැගිරීම් කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව වී යැයි කිව හැකිය. නැතහොත් ඒ ලේ වැගිරීම් කෙරෙහි වර්ගය, කුලය හා ආගම යන සාධක බලපෑවේය.
වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම දුර්වල කරමින් ලංකාවේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලැබෙන ආකාරයට නූතන ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට සමත් වී නම් නිදහස ලැබීමෙන් පසු මහා පරිමාණයෙන් ලේ හලන තත්ත්වයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. දීර්ඝ කාලයක් තිස්සේ ඇතිවූ ලේ වැගිරීම් හා ඒ ආශ්‍රයෙන් රටේ ඇතිවූ අශීලාචාර තත්ත්වය තුළ විශාල ජීවිත විනාශයක් ඇතිවූ අතර, කායික වශයෙන් ජීවත්වීමේ වාසනාව හිමි කරගත් සමාජයද අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ විකෘති වූ හා රෝගීවූ සමාජයක් බවට පත්විය. එම අශීලාචාර වටාපිටාව මිනිසුන් පමණක් නොව, රාජ්‍යයද විකෘති කිරීමට හේතුවිය. රාජ්‍යයේ ස්වභාවය අකාර්යක්ෂම, මිනිසුන් පීඩාවට පත් කරන, චෞර හා මාංශභක්ෂක රාජ්‍යයක ස්වභාවය ගත්තේය.

අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසු විකෘති හා රෝගී තත්ත්වයක වූ සමාජය සුවපත් කොට සමාජය ප්‍රතිනිර්මාණය කරගනිමින් නිදහසේ සිට දීර්ඝ කාලයක් ගොඩනගා ගැනීමට අසමත්ව තිබූ ලාංකික ජාතිය ගොඩනගා ගන්නා තැනකට යායුතුව තිබුණා සේම, අකාර්යක්ෂම, දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍යයද ගොඩනගන නූතන ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කරගන්නා තත්ත්වයකට යා යුතුව තිබුණි. එහෙත් අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයාට හෝ ඔහුගේ ආණ්ඩුවට ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව හෝ ඉදිරි දැක්මක් නොතිබුණේය. ඔහු හා ඔහුගේ ආණ්ඩුවේ කල්පනාව වූයේ රට ප්‍රතිසංවිධානය කරන තැනකට නොගොස් අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් ලද ජයග්‍රහණයේ කීර්තියෙන් පමණක් බලයේ සිටීමට හැකිවනු ඇතිය කියාය.

දූෂණය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පරාජය කෙරෙහි බලපෑ ලොකුම සාධකය ලෙස විස්තර කෙරෙමින් තිබුණද එම ආණ්ඩුවේ පරාජය කෙරෙහි බලපෑ ලොකුම සාධකය ලෙස ක්‍රියා කළේ සුළු ජාතිකයන් කෙරෙහි ඇතිව තිබූ පීඩාකාරී හැඟීම්ය. අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසුත් අන්තර් වාර්ගික සම්බන්ධතා තිබුණේ අවුල් ජාලයකය. යුද්ධය දෙමළ ජනතාව කෙරෙහි ලොකු පීඩාවක් ඇති කිරීමට හේතුවී තිබුණු අතර යුද්ධය අවසන් කිරීමෙන් පසුව අඩුම වශයෙන් ඔවුන්ට ලැබිය යුතු මානුෂික සහනවත් හරියාකාරව ලබා දෙන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමත්ව නොතිබුණි. මුස්ලිම් ජනතාව එම අභ්‍යන්තර යුද්ධයේදී සහාය දුන්නේ සිංහල රාජ්‍යයට මිස දෙමළ කැරලිකරුවන්ට නොවේ. දෙමළ කැරලිකරුවන්ට එරෙහිව කෙරුණු යුද්ධයේදීද දුර විහිදුම් බලකාය වැනි විශේෂ හමුදා අනුඛණ්ඩ තුළ මුස්ලිම් සෙබළුන් අතිවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු මුස්ලිම් ජනතාවටද පාඩමක් ඉගැන්වීම සඳහා සිංහල අන්තවාදීන් ක්‍රියාවට නගන සාහසික ක්‍රියාමාර්ගවලට ඉඩදී බලා සිටින ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කළේය. එය මුස්ලිම් ජනයාගේ බලවත් විරෝධයට හේතුවූවා පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් ඔවුන් පවත්වාගෙන ගිය හිතවාදී ප්‍රතිපත්තිය ඒ නිසා ඔවුන් මුළුමනින් අත්හරින තැනකට ගියේය.

ආණ්ඩු පෙරළියේ ප්‍රවර්තක සාධක
රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන ප්‍රවර්තක බලය ලෙස ක්‍රියා කළේ රටේ තිබුණු දූෂණ විරෝධය නොව සුළුතර ජනයා අතර පැවති අසහනයයි. දෙමළ හා මුස්ලිම් ජනයා එක පොදියට රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඡන්දය දෙන තැනකට නොගියේ නම් රාජපක්ෂ ජනාධිපතිවරයා එම මැතිවරණයෙන් පරාජය නොවන්නට ඉඩ තිබුණේය. එහෙත් සුළු ජාතීන්ගේ ගැටලුව රටේ විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස කරළියට ගැනීමට රාජපක්ෂ විරෝධී බලවේගයන්ද කැමති නොවීය. එය එසේ වූයේ සුළු ජාතික ප්‍රශ්නය ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස කරලියට ගන්නට ගියහොත් සිංහල ජනතාව අතර තිබුණු රාජපක්ෂ හිතවාදීභාවය වර්ධනය කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇතැයි සැලකූ නිසාය. ඔවුන් දූෂණ විරෝධය ප්‍රධාන තේමාවක් කොටගත්තේ ඒ නිසාය. එම ප්‍රතිපත්තිය සුළු ජාතීන්ගේ සංතෝෂයට හේතු නොවන්නට ඇතත්, ඔවුන් ඒ බව නොසලකා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට එක පොදියට ඡන්දය දුන්නේය. බලයට පත්වූ යහපාලන ආණ්ඩුව සුළු ජාතීන් පීඩාවට පත් කරන තැනකට ගියේ නැතත් සුළු ජාතික පක්ෂවලට වරදාන දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළා විනා පීඩාවට පත්ව සිටි සුළු ජාතීන්ට යුක්තිය ඉටු කරන තැනකට ගියේ නැත. අඩුම වශයෙන් සුළු ජාතීන් කෙරෙහි පිළිකුලක් හා වෛරයක් ඇති කිරීමට හේතුවන ප්‍රචාරක ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඉඩ නොදෙන දැඩි ප්‍රතිපත්තියක් හෝ පවත්වාගෙන යෑමටත් යහපාලන ආණ්ඩුව සමත් වූයේ නැත.

දෙමළ සන්ධානය හා ජවි පෙරමුණ වැනි පක්ෂ ආණ්ඩුක්‍රමය තව තව විකෘති කිරීමට හේතුවන හා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි තනතුරු භාර නොගත යුතුව තිබුණි. ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ හොඳ නරක කුමක් වුවත් විරුද්ධ පක්ෂ නායකත්වය සේ ම විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර ලැබිය යුතුව තිබුණේ වැඩි බලයක් තිබුණු ඒකාබද්ධ විරුද්ධ පක්ෂයටය. බොරු නෛතික තර්කයකට මුවාවී එම තනතුරු දෙක ඔවුන්ට අහිමි කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වනවා සේ ම ඒ මගින් පාර්ලිමේන්තු ක්‍රමයේද ඇති කර තිබෙන්නේ මහා විකෘතියකි. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දායක වූ දේශපාලන පක්ෂවලට තනතුරු අවශ්‍ය නම් ඒවා අනියම් ආකාරයකට නොව ඍජු ලෙස ලබාගත යුතුව තිබුණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කොට බලයට පැමිණි යහපාලන ආණ්ඩුවටද ලංකාව මුහුණ දී තිබුණු අර්බුදය ජයගැනීම සඳහා වන යහපත් ප්‍රායෝගික දැක්මක් නොතිබුණි. බලය අල්ලා ගැනීමේ අරමුණ ජයගැනීම සඳහා පාවිච්චි කළ සටන් පාඨ මොන මොනවා වුවද ඔවුන්ද වඩා වැදගත් කොට සැලකුවේ බලය මිස රටේ පැවති අර්බුදය ජයගැනීම නොවේ.
යහපාලන ආණ්ඩුවටද රටේ සිදුවූ දේවල් දෙස හෝ ඒවා කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන තැනකට නොගියේය. ඒ නිසා අර්බුදය ජයගැනීම සඳහා වන ප්‍රායෝගික ඉදිරි දැක්මක් ඇතිකර ගැනීමේ හැකියාවක්ද නොතිබුණි. අඩුම වශයෙන් දූෂණය අවසන් කිරීම සඳහා බලවත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමටද අසමත් විය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් අපේක්ෂා කළේද ආණ්ඩුක්‍රමයේ යහපත් වෙනසකට වඩා පටු දේශපාලන අභිලාෂයන් සපුරා ගැනීමය. අවසානයේ යහපාලන ආණ්ඩුව අතින්ද නූතන ජාතිය ගොඩනැගීමක් හෝ දූෂිත හා ජරපත් තත්ත්වයක තිබූ රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමක්ද සිදු නොවීය. ඒ නිසා ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමට යහපාලන ආණ්ඩුවද අසමත් වූවා පමණක් නොව එම අසමත්වීමේ ක්‍රියාවලිය රටේ තිබුණු අර්බුදය උග්‍ර කොට රට අරාජිකත්වයක් කරා යන ගමනද වේගවත් කළේය.

දැන් ලංකාව තිබෙන්නේ පූර්ණ අරාජිකත්වයට ආසන්න තත්ත්වයකය. රාජ්‍ය කළමනාකරණය තිබෙන්නේ අවුල් ජාලයකය. සමස්ත රාජ්‍ය ආයතන ක්‍රමය තිබෙන්නේ උපරිම මට්ටමේ අකාර්යක්ෂම, දූෂිත හා ජරපත් තත්ත්වයකය. සමස්ත ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ගමනාගමනය තිබෙන්නේද අවුල් ජාලයකය. දේශපාලන නායකයන් සිටින්නේද දේශපාලන පක්ෂ තිබෙන්නේද විශාල ප්‍රමාණයකට මහජන විශ්වාසය අහිමි කරගත් තත්ත්වයකය.
ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපති අතර තිබෙන තුන්කොන් රාජකීය ගැටුම රට පූර්ණ අරාජිකත්වයකට තල්ලු කරන තත්ත්වයක් ඇති කරනු නොවැළැක්විය හැකිය.

කෘෂිකර්මය නසන සත්ව කරුණාව
පාලනයකින් තොරකම නිසා වන සතුන්ගේ ගහනයේ ඇතිවී තිබෙන අතිවිශාල වර්ධනය තුළ උන් කෘෂිකර්මයටත්, කෘෂිකර්මයෙන් යැපෙන ජනතාවටත් කරන හානිය අතිවිශාලය. ඒ මගින් කෘෂිකර්ම නිෂ්පාදනය පමණක් සියයට 30කින් පමණ අඩු කිරීමටත්, වගා නොකරන ඉඩම්වල අනුපාතිකය විශාල ප්‍රමාණයකින් වැඩි කිරීමටත් හේතුවී තිබේ. වන සතුන්ගෙන් දිගින් දිගට හානි ඇතිවන විට ඒ හානිය වළකා ගැනීමට මගක් නොමැති වූ විට ගොවීන් එවැනි ඉඩම් වගා කිරීමෙන් වැළකී සිටිති. එම ක්‍රියාදාමය ගොවි ජනතාව අතර තිබෙන දුප්පත්කම වර්ධනය කරන සාධකයක් ලෙස ක්‍රියා කරයි.

මෙහි උපුටා දක්වන්නේ ‘ලංකාදීප’ පුවත්පතෙන් ලබාගත් දැන්වීමකි. එහි සඳහන් වන්නේ ගාලු දිස්ත්‍රික්කයේ වැලිපිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින තත්ත්වය පිළිබඳවය.
“වැලිපිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 20ක් ඇත. ඒ සෑම ග්‍රාම නිලධාරි වසමකම වල් ඌරන්ගෙන්, මොනරුන්ගෙන්, ඉත්තෑවන්ගෙන් හා වඳුරන්ගෙන් වන හානිය ඉහළ ගොස් ඇති බව සඳහන් කළ යුතුව ඇත.

මෙම ප්‍රදේශවල ගොවීන් විශාල පිරිසක් මඤ්ඤොක්කා අල බතල වගා කරමින් ඉතා සරු ඵලදාවක් ලබා අතමිට සරුකරගත් අතර අද ඔවුන් වගාවලින් ඈත්වී ඇත. වන සතුන්ගෙන් වන හානිය නිසා එම ගොවියෝ අසරණභාවයට පත්ව සිටිති. විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල වී ගොවිතැන් කරන ගොවියෝ අද එම ගොවිතැනින් ඈත්වීමට පටන් ගෙන ඇත. ගොයම පැසෙන කාලයට දිවා කාලයේ මොනරුන් රංචු පිටින් පැමිණ වී කන අතර රාත්‍රී කාලයේදී වල් ඌරන් රංචු පිටින් පැමිණ වගාව විනාශ කරමින් වී ගිලා බාති.”

කෘෂිකර්මයට හා කෘෂිකාර්මිකයන්ට වන සතුන්ගෙන් එල්ල වී තිබෙන අතිවිශාල හානිය පාලනය කරගැනීමට ලංකාව, අසමත්ව තිබෙන්නේ පිං පව් සංකල්පය මුල් කරගත් ආගමික විශ්වාසයට අනවශ්‍ය තරමට අනුගත වී සිටීම නිසාය. එම වැරදි ආකල්පය රජයේ ප්‍රතිපත්ති කෙරෙහිද බලපා තිබේ. සතුන් මරා උන්ගේ මස් ආහාරයට ගැනීම පාපයක් ලෙස සැලකිය යුත්තේ එම අදහස් ප්‍රචලිත කරන ආගම්වල පූජකයන් මිස ගිහියන් නොවේ. පූජකයන්ට මස් කෑමෙන් වැළකී සිටිය හැකිය. ඔවුන් වැදගත් කොට සලකන්නේ එලොව ජීවිතය මිස මෙලොව ජීවිතය නොවේ. ගිහියන්ට මෙලොව ලෞකික ජීවිතයක් තිබෙන්නේය. ඔවුන්ට ජීවත්වීමට ආදායම් මාර්ග තිබිය යුතුය. ආදායම් උපයා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය. කසාද බැඳිය යුතුය. දරුවන් හැදිය යුතුය. ඒ දරු පවුල නඩත්තු කළ යුතුය. එවැනි ජීවිතයක් ගත කරන අයට මාංශජනක ආහාර අත්‍යවශ්‍යය.
ලිංගික ජීවිතයක් පැවිද්දන්ට අකැපය. එහෙත් ගිහියන් ලිංගික ජීවිතයක් පවත්වාගෙන යා යුතුය. සාර්ථක ලිංගික ජීවිතයක් සඳහා පවා මාංශජනක ආහාර අත්‍යවශ්‍යය. දරුවන් වදන අම්මලාටද මාංශජනක ආහාර අත්‍යවශ්‍යය. කුඩා දරුවන්ගේ මොළේ වර්ධනයටද මාංශජනක ආහාර අත්‍යවශ්‍යය. කය වෙහෙසා වැඩ කරන මිනිසුන්ටද මාංශජනක ආහර අත්‍යවශ්‍යය. පැවිද්දන් ජීවත්වීම සඳහා කය වෙහෙසා වැඩ කරන්නේ නැත. ඔවුන්ට ලිංගික ජීවිතයක් ගතකිරීමද අකැපය. ඔවුන් විවාහ වන්නේ නැත. දරුවන් හදන්නේද නැත. ඒ නිසා ඔවුන් එළවළු ආහාරවලට සීමාවූ ජීවිතයක් ගතකිරීමෙන් සමාජයට වරදක් වන්නේ නැත. එහෙත් පැවිද්දන්ගේ ලෞකික ජීවිත අඳුරු හෝ කාලකණ්ණි නොකළ යුතුය. ලංකාවේ තිබෙන ප්‍රශ්නය බොහෝ පැවිද්දන් ගිහියන් පිළිපැදිය යුතු ධර්මතා පිළිපදින විට ගිහියන් පැවිද්දන් පිළිපැදිය යුතු ධර්මතා පිළිපැදීමට උත්සාහ කිරීමය. එය බොහෝ ගිහියන්ගේ ජීවිත අවුල් කිරීමට හේතුවී තිබෙන සාධකයක් ලෙස සැලකිය හැකිය.

හරක් මස් විරෝධය
හරක් මස් විරෝධය ගැන අපට අලුත්ම කතාව අසන්නට ලැබෙන්නේ මතුගමිනි. මතුගම හරක් මස් වෙළෙඳ සැල සඳහා වන ටෙන්ඩරය හිමිකරගෙන තිබෙන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. ටෙන්ඩරය ලබාගෙන තිබෙන්නේ ලක්ෂ 32කටය. මස් කඩය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයා මස්කඩය සඳහා රුපියල් ලක්ෂ 27ක මිලක් ඉදිරිපත් කරන විට භික්ෂූන් වහන්සේ ඉදිරිපත් කර තිබෙන මිල ලක්ෂ 32කි. භික්ෂූන් වහන්සේ මස් කඩය එවැනි විශාල මිලක් ගෙවා ලබාගෙන තිබෙන්නේ මස් කඩය වඩා හොඳින් පවත්වාගෙන යන්නට නොව මතුගම නගරයට තිබෙන මස් කඩය වසා හරක් මස් වෙළෙඳාම මතුගමින් තුරන් කර දමන්නටය.

ලංකාව රජය මගින් පවත්වාගෙන යන ළමා නිවාස වල සිටින මාපියන් නැති එක් දරුවකු නඩත්තු කිරීම සඳහා දිනකට කරන වියදම රුපියල් 20කි. හරකුන්ට කරුණාව දක්වනවාට වඩා එවැනි අසරණ ළමුන්ට ආධාර කරන ප්‍රතිපත්තියක ඇති යහපත් බව උන්වහන්සේට නොපෙනීම අවාසනාවකි.