රාවය

ජීවිතේ කළ නිවැරදිම වැඬේ තනියම හිටිය එක | ප්‍රවීණ සාහිත්‍ය පරිවර්තිකා මාලිනී ගෝවින්නගෙ

ජීවිතේ කළ නිවැරදිම වැඬේ තනියම හිටිය එක | ප්‍රවීණ සාහිත්‍ය පරිවර්තිකා මාලිනී ගෝවින්නගෙ

ටිරන් කුමාර බංගගමආරච්චි 

ඔබට ‘ෆොන්ටමාරා’ වගේ පොතක් කරන්න හිතුණේ ඇයි?
ඒක නම් මට හිතුණ දෙයන් නෙමෙයි. මම එතකොට විශ්වවිiාල ශිෂ්‍යාවක්. ඒ කාලේ සමාජවාදී අදහස්වලින් තමයි මගේ ඔලුව පිරිලා තිබුණේ. ඒකට හේතුව මගේ විශ්වවිiාල ගුරුවරු. රංජිත් ගුණවර්ධන සර් තමයි මට මේ පොත ගෙනල්ලා දුන්නේ පරිවර්තනය කරන්න කියලා. ඒක කියෙව්වාම මටත් හිත ගියා. ඉතින් මම උද්යෝගයෙන් ඒක කළා.

ගම කොහෙද?
මගේ ගම දුම්මලසූරිය. අදටත් හරිම දුප්පත් ගමක්. දියුණුවක් නැති තරම්. උදේ පාන්දරට කොළඹට බස් එකක් දෙකක් එනවා. ඒ ඇරුණු කොට කොළඹත් එක්ක සෘජු සම්බන්ධයක් නෑ. මීගමුවට ඇවිත් තමයි හැම තැනටම සම්බන්ධ වෙන්නේ. අදටත් නළ වතුර අපිට නෑ. එතකොට හිතන්නකෝ ඒ කාලේ දුෂ්කරතාව කොහොමද කියලා.

ගමේ මිනිස්සුන්ගේ රැකියාවන් මොනවාද?
වැඩිපුරම ඉන්නේ අඳගොවියෝ. කුලී වැඩ කරන අය. ඒ වගේම හරි ප්‍රසිද්ධයි කසිප්පු පෙරන එකටත්. ඒ ඇරුණාම රා මදිනවා. මම පුංචි කාලේ මතකයි කල්ලතෝනි මිනිස්සු අපේ සීයාගේ වත්තේ රා මැද්දා. ඒ අය පැණි හදනවා. අපිට පැණි නිකං හම්බ වෙනවා.

පවුලේ තත්ත්වය කොහොමද?
අපේ මහප්පා ගමේ පිළිගත් කෙනෙක්. එයා පොල් ව්‍යාපාර කළේ. එයාට හොඳට සල්ලි බාගේ තිබුණා. තාත්තා වැඩ කළේ එයා යටතේ. අපේ තාත්තාගේ අම්මා විවාහ දෙකයි. පළමු විවාහයේ තමයි මහප්පා. මහප්පාගේ තාත්තා උසස් හොඳ නම්බුකාරයෙක්. එයාට සල්ලි බාගේ තිබුණා. අපේ තාත්තාගේ තාත්තා සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඉතින් ඒ අය අඟහිඟකම් ගොඩක හිටියේ. මුලදී තාත්තා මහප්පා ගාව වැඩ කළත් පස්සේ අයින් වුණා. ඊට පස්සේ කුලී වැඩ කළේ.

එතකොට ඔබගේ ජීවිතයත් දුෂ්කරතාවෙන් පිරිලා.
අපෝ ඔව්! සෑහෙන්න දුක් වින්ඳා. ඒත් පවුලක් විදියට සතුටින් හිටියා. අපේ ගමේ විවිධ කුලවල අය හිටියා. දෙමළ අයත් හිටියා. ඒත් අපිට කුලය අදාළම වුණේ නැහැ. අපි හැමෝම හොඳට හිටියා. අපිට කියලා කුඹුරු තිබුණේ නැහැ. ඉන්න කියලා විතරයි තැනක් තිබුණේ. ළිඳක්වත් තිබුණේ නැහැ. සෑහෙන දුක්ඛිත ජීවිතයක් ගතකළේ. මට මතකයි කෙල්ලක් මිනිස්සු ගොඩක් මැද නාවන්න බෑ කියලා අම්මා මාවත් අරගෙන මහා පාන්දර කළුවරේමයි ඔයට යන්නේ. අපි පාවිච්චි කළේ ඔය. තාත්තාට ලොකු බරපතළකමක් තිබුණේ නැහැ. එයා හිතුවේ ළමයි ටිකට මොනවා හරි කන්න දුන්නාම ඇති කියලායි. එයා හවසට රත්වෙලා තමයි ගෙදර ආවේ.

ඔබට උගන්වලා තියෙනවා.
මම හිතුවෙම මට සාමාන්‍ය පෙළවත් ඉස්කෝලේ යන්න වෙන එකක් නැහැ කියලා. ඒත් මගේ අම්මා නිසයි මම අද මේ තත්ත්වයේ ඉන්නේ. මගේ අම්මා ඉස්කෝලේ ගිය කෙනෙක් නෙමෙයි. අම්මාගේ පවුලේ ළමයි ගොඩයි. එයිනුත් බාලයා අම්මා. අනෙක් අයගෙන් නිතර ටොකු කන එකමලු අම්මාගේ වැඬේ. ඉතින් සීයා කොළඹ ඥාති ගේක අම්මාව නවත්වලා. ඒ අය අම්මාට උගන්වලා නෑ. ගෙදර වැඩ ටික කරගෙන විතරයි. ඒත් වැඬේ කියන්නේ මම තවමත් දැකලා නැහැ මගේ අම්මා තරම් බුද්ධිමත් ගැහැනියක්. මට ඒක හිතාගන්නත් බෑ. එයා ශරීරයෙනුත් හරිම කුඩායි. ඒ වාගේම දුර්වලයි. ඒත් මොකද්දෝ හයවෙනි දැක්ම වගේ එකක් එයාට තිබුණා. ඒ බුද්ධියම තමයි මගේ දැනුමට එකතු වෙන්න ඇත්තේ. මම විශ්වවිiාලයට තේරුණාම එයා සෑහෙන දුක් විඳලා මාව කැම්පස් යවලා ඉගැන්නුවා.

එතකොට ඉංග්‍රීසි දැනුම ලබාගත්තේ කොහොමද?
මම සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න මාදම්පෙට ආවා. ඒ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයා අපිට කිව්වා මුල් වසර පාසල ඇරුණාම පැයක් මම ඉංග්‍රීසි උගන්වනවා, අනිවාර්යයෙන්ම ඉන්න ඕනෑ කියලා. ඉතින් අපි හවස පැයක් ඉගෙනගත්තා. මම අදටත් හිතනවා ඒ ගුරුවරු තමයි දෙවිවරු කියලා. ඒ සර් බි්‍රටිෂ් කවුන්සිල් එකෙන් පොත් පවා ගෙනැවිත් අපිට කියවන්න දුන්නා. මම ඒ ඉගෙනගන්න ගමන් ආයෙමත් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ලිව්වා. ක්‍රෙඩිට් එකක් ලැබුණා. ඉංග්‍රීසි දැනුම ලැබුණේ ඒ ගුරුවරයාට පින් සිද්ධ වෙන්න තමයි. ඒක මම වැඩි දියුණු කරගත්තා කැම්පස් ආවාම. කැම්පස් එකෙත් ළමයි කාණ්ඩයක් තෝරාගත්තා මුල් වසරේ ඉංග්‍රීසි ඉගෙනගන්න. මාත් තේරුණා. ඒකත් මගේ දැනුමට ගොඩක් ප්‍රයෝජනවත් වුණා.

කැම්පස් ජීවිතය ගැන තෘප්තිමත්ද?
නෑ. ලොකු කලකිරීමක් තියෙන්නේ. ඒ කාලේ තමයි මණ්ඩප ක්‍රමය ආවේ. ඉතින් පේරාදෙණියෙන් ගුරුවරු මෙහේ ඇවිත් උගන්වනවා. විශ්වවිiාල පරිපාලනයම ලොකු අවුලක තිබුණේ. ජීඒකිව් කරනකොට කොළඹ පන්තියට සාපේක්‍ෂව මගේ ඉංග්‍රීසි මදි. කොහොමත් ඒ සමාගමයට ගැළපෙන්නත් බැරි වුණා. මම කළේ සිංහල, ඉංග්‍රීසි ෆිලෝසොෆි. එතැනදී මම ඉංග්‍රීසි ෆේල් වුණා. හැබැයි මගේ දැනුම විභාගය ෆේල් වෙන්න තරම් දුර්වල නෑ. ඉතින් ඒ ෆේල් වීම මට හිතාගන්නත් බෑ. ඒකෙන් මම සෑහෙන්න වැටුණා. කොටින්ම මම ආයේ ඉංග්‍රීසි කරන්න ගියේත් නෑ. මම වෙන විෂයකට මාරු වුණා. එතැනදී මට ක්ලාස් එකක් ලැබුණා. මම පළමුවෙනියා. අර ඉංග්‍රීසි නෑ කියලා මට දුන්නේ නෑ. ලේඛකාධිකාරි කිව්වා මගේ ජීවිතේ මම මේ ළමයා තරම් අවාසනාවන්ත ළමයෙක් දැකලා නෑ කියලා. මේ කාලෙම තමයි මම ‘ෆොන්ටමාරා’ පොත පරිවර්තනය කළේ. මම පරිවර්තනය කළා විතරයි. ඊට එහා ඒක ප්‍රින්ට් කරන ඒවා කිසි දෙයක් මම දන්නේ නැහැ. ඒත් පොත දැක්කාම සතුටු වුණා. මම පොත් පහකුත් අරගෙන නවාතැනට ගියා. එතකොට මම කඩවත නැවතිලා හිටියේ. කොහොම හරි සතුට වැඩිකමට මට බහින තැන මඟ ඇරිලා සෑහෙන දුර ගිහින්. විශ්වවිiාල ජීවිතේ දුක් අස්සේ මට ආස හිතුණේ සතුටක් ඉන්නේ ෆොන්ටමාරා තමයි.

ඔබට පෙම්වතෙක් හිටියේ නැද්ද?
කැම්පස් එකේදී නම් නැහැ. ඊට පස්සේ පෙම්වතුන් හිටියා. කොල්ලන්ට ආස හිතෙන්න තරම් මම එහෙම ඇහැට කනට පෙනෙන හැඩ එකියකුත් නෙමෙයිනේ. ඉතින් ඒවා හරි අඩුයි. කොහොම වුණත් යාළු වුණාට මට කවදාවත් බඳින්න, පවුලක් වෙන්න ඕනෑකමක් තිබුණේ නැහැ. මට ඕනෑවුණේ අම්මා තාත්තා බලාගෙන ඉන්න විතරයි.

අද අම්මා තාත්තා නැහැ. ඔබ තනිවෙලානේ.
මට දේශපාලන කල්ලි නෑ. නිකං කල්ලිත් නෑ. සාහිත්‍ය කල්ලිත් නෑ. කොටින්ම සමාජ කල්ලිත් නෑ. මම නිතරම කැමති වුණේ තනියම ඉන්න. තනිකමට මම හරි ප්‍රියයි. පොතක් පරිවර්තනය කරමින් ඒ ලෝකයත් එක්ක මම ඉන්නවා.

ඔබ කරන වැඩ ගැන සාහිත්‍ය ලෝකයේ අගයක් තියෙනවාද?
සාමාන්‍ය පාඨකයෝ අතර තියෙනවා. ඒ මට ඇති. මොකද මම මේ දේවල් කරන්නේ පාඨකයන් වෙනුවෙන්නේ. ඒ අය පොත බලලා මට කියනවා. සාහිත්‍ය නාමධාරීන්, මහ උගතුන් නම් කවදාවත් අගයක් කරන්නේ නෑ. ඒක මට ඕනෑත් නැහැ. මොකද මම දන්නවා සාහිත්‍යය තුළ තියෙන්නේ ලොකු බොරුවක් කියලා. ඔය සංවාද හරසුන්. සාහිත්‍ය කියවලා යහපත් වුණා කියලා එක මිනිහෙක් හොයා ගන්න පුළුවන්ද? සාහිත්‍යයේ නියැලෙන අයට එහෙනම් ඊට වඩා හික්මීමක් තියෙන්න එපැයි. එහෙම කෝ? බලන්නකෝ සම්මාන පොරය. මේක ලොකු රැවටීමක්.

එතකොට ඔබට සාහිත්‍යයේ නියැලීම තෘප්තිමත් නැද්ද?
මම කරන පරිවර්තන ගැන මම තෘප්තිමත්. ඒ වැඩ මම හුදකලාව අවංකව කරන වැඩ. මගේ ජීවිතේ ලොකුම සතුට තිබුණේ මගේ මව්පියන්ට සලකන එක. ඒක මම කළා. ඒ අවංකකමට මගේ පරිවර්තන වැඩවලටත් මම දෙනවා.

ඔබ මුලින් මාධ්‍යවේදිනියක්. ඒ ජීවිතේ කොහොමද?
කැම්පස් එකෙන් අවුට් වුණාම පරිවර්තක වෘත්තියක් ලැබුණා. හරිම ඒකාකාරීයි. ඉතින් මම ලේක්හවුස් එකට ඉල්ලුම්පතක් දැම්මා. ලේක්හවුස් එකට මාව තෝරාගත්තා. පත්තර කිහිපයක වැඩකරලා සිළුමිණේත් වැඩ කළා. මේ කාලයේ මට ඇමරිකාවේ යුනිවසිටි එකකට යන්න අවස්ථාවක් ලැබුණා. අවුරුද්දකට ගියේ. මට එහේ ඉන්න චාන්ස් ඕනෑ තරම් ලැබුණා. ඒත් මගේ මව්පියන් නිසා ආවා. ඒ ඇවිත් ආයේමත් සිළුමිණට වැඩකළා. හරිම කටුක කාලයක්. මේ කාලේ ‘ඬේලි නිවුස්’ එකේ එඩිටර්ට ආරංචි වෙලා තිබුණා මට ඉංග්‍රීසියෙන් වැඩකරන්න පුළුවන් කියලා. ඉතින් මට ඒකට අඩගැහැව්වා. පත්තර රස්සාවෙන් මම තෘප්තිමත් වුණේ ඬේලි නිවුස් වැඩ කළ කාලයේදී තමයි. මම කරපුවාට වටිනාකමක් දුන්නා වගේම ඉතාම හොඳ පිරිසක් හිටියා. සිංහල පත්තරය තුළ නැති සුහදකමක් ඉංග්‍රීසි පත්තරකාරයෝ අතර මම දැක්කා. අවුරුදු 55දී මම අයින් වුණා. ඒත් තව අවුරුදු දෙකක් ඉන්න කියලා ආරාධනාවක් ආවා. ඒ ඉඳලා මම පත්තර රස්සාවට ආයුබෝවන් කිව්වා.

ඔබ අම්මාටයි තාත්තාටයි හොඳින් සැලකුවා.
ඔව්! මගේ මුළු ජීවිතයම ඒ දෙන්නා. මට හැකි උපරිමයෙන් මම ඒ දෙන්නා බලාගත්තා. ඒ දෙන්නාට තියෙන ආදරය වැඩි හින්දාම වෙන්න ඇති මට කියලා පවුලක් වෙන්න මට කවදාවත්ම ඕනෑ නොවුණේ. මම අද ගොඩක් සතුටු වෙනවා. අම්මාට තාත්තාට හොඳට සලකන්න ලැබීමයි, මම මේ දැනට තෝරාගත්ත ජීවිතේයි ගැන. ගොඩක් අය මගෙන් ඇහැව්වා තනියම ඉන්න එක අමාරු නැද්ද කියලා. ඒත් පවුල් ඇතුළේ වන ප්‍රශ්න දිහා බැලුවාම මම ජීවිතේ කළ නිවැරදිම වැඬේ තනියම හිටිය එක කියලා හිතෙනවා. ඇත්තට තනිකඩ ජීවිතය හරිම තෘප්තිමත්. මම වැඩටවත් කෙනෙක් ගන්න කැමති නෑ. මොකද ඒකත් මම අත්විඳලා තියෙනවා. මට කාගෙන්වත් වැඩ ගන්න බෑ. ඉතින් කාලයක් ගියාම වැඬේ මාරුවෙලා මම වැඩකාරයා බවට පත්වෙනවා. ඉතින් මගේ වැඩ මම කරගෙන පාඩුවේ ඉන්නවා.

ඔබ එළියේ සමාජයේ එක්ක අඩු ඇසුරක් නේද පවත්වන්නේ.
කාලයක් තිබුණා. පාරේම ගතකළ, චිත්‍රපට, නාට්‍ය බලපු. දැන් ඒවා එපා වෙලා නෙමෙයි. එහෙම ගතකරන්න කට්ටිය නෑ. ටිකක් ගියාම මට බොහෝ අයගේ ඇසුර එපා වෙනවා. නරකට නෙමෙයි. මා තුළම මොකද්දෝ ලොකු හිස්කමකින් හුදෙකලාවට ප්‍රියකමකින් මම පෙළෙනවා. ඉතින් මට ඕනෑ මේ බිත්ති ඇතුළට වෙලා මගේ පාඩුවේ ඉන්නයි. එහෙම නැතිව සමාජය එක්ක අමනාපෙන් වත් මට ඒ තැන්වල පවතින්න බැරුවවත් නෙමෙයි. ඒත් මට ඒ තැන්වල පැවැත්මක් නෑ වගේ.

ඔබ පෙනුමෙන් නපුරුයි වගේ.
ගොඩාක් අය එහෙම හිතනවා. මොකද මට ඇවිත් තියෙන්නේ තාත්තාගේ පෙනුම ඉතින්. මම වැඩි කතාබහක් නැති නිසා ගොඩාක් අය මම නපුරු කුහක ගැහැනියක් කියලා හිතනවා. මට එහෙම හිතෙනවා. ඒත් මම කටුවක් ඇතුළේ හිරවෙච්ච පුංචි දේටත් කඩාවැටෙන චරිතයක්. මගේ පෙනුමේ තිබුණාට ඇතුළේ නැත්තේ ඔය නපුරුකමම තමයි. (හිනා)

කොණ්ඬේ කපාගෙන ඉන්නේ ඇයි?
කොණ්ඬේ ගියා. අන්තිමට චූටි බලු නැට්ටක් විතරයි ඉතිරි වුණේ. ඉතින් ඒක තියාගෙන සාරි ඇන්දාම තවත් කැතයි. මම ඒ නිසා කොණ්ඬේ කපලාම දැම්මා. කොණ්ඬේ නැති නිසා කැපුවා මිසක් මොස්තරයට කැපුවේ නැහැ.

ගම අතඇරලාද දැන්..
අපෝ නැහැ. ඒක අත අරින්නත් බෑ. මගේ මල්ලි නංගි ඉන්නේ එහේ. නිතර ගමේ යනවා. ගම නැතිව මට බෑ.

අම්මා තමයි ඔබගේ වීරවරිය නේද?
ඔව්! හැබැයි වීරයා තාත්තා. වීරවරිය අම්මා. මොකද අපේ ගමේ මොන තරම් අඩුයැයි කියන කුලවල අය හිටියත් ඒ අය සමානයි කියලා මට භාවිතයෙන්ම ඔප්පු කළේ තාත්තා. අම්මා තාත්තාව බැඳගත්තා කියලා අම්මාගේ පවුලෙන් එළෙව්වත් අම්මා ඒ අය ලෙඩ වුණාම බැණුම් අහ අහ සවුත්තු වෙවී සාත්තු කළා. මේ හැම ගතිගුණයක්ම මා තුළත් තියෙනවා. ඒ දෙන්නා තමයි මගේ ලෝකය. මට හැකි උපරිමයෙන් මම ඒ අයට කළා. දැන් ඒ අය නෑ. ඒ අයගේ මතක තියෙනවා. දැන් ඉතින් පරිවර්තන කටයුතු කරමින් ඉතිරියත් ගෙවනවා. මම හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ.

ඔබ වඩා ඇලුම් කරන්නේ මොන වගේ පොත්ද?
මම දැන් නවකතා කියවන්නේම නෑ. චරිත කතා, දර්ශනය සියලුම ආගමික පොත් තමයි මම කියවන්නේ. මගේ දැන් වැඩි නැඹුරුව තියෙන්නේ සිත් ගැන හොයන්නයි.■