රාවය

සිනමාව තුළදී මගේ අරමුණ ඉටුවුණා |ඉන්දිරා ජොන්ක්ලස්

සිනමාව තුළදී මගේ අරමුණ ඉටුවුණා |ඉන්දිරා ජොන්ක්ලස්

සුලෝචන වික්‍රමසිංහ

සිංහල සිනමාව තුළ ඔබ, වෙනස්ම අනන්‍යතාවක් සහිත නිළියක් ලෙස හැඳින්වීම නිවැරදිද?
ඒක ගැන මට මුකුත් කියන්න බැහැ. මොකද ඒ මම නිසා. මගේ වෙනසක් මට දැනෙන්නේ නැහැ. ඒත් මට ඇහෙන දේවල්වලින් ඔබ කියන කතාවේ යම් ඇත්තක් තියෙනවා කියලා මට හිතෙනවා. කොහොම වුණත් මට කවදාවත් නිළියක් ලෙස මගේ ජීවන වෘත්තිය ගොඩනගා ගන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒක මගේ ආත්ම තෘප්තිය සඳහා පමණයි. ඒ නිසා මම රඟපාලා තියෙන චිත්‍රපට ප්‍රමාණෙත් බොහොම අඩුයි. එහෙම තියෙද්දිත් ලාංකික රසිකයන්ට මාව තාමත් මතක තියෙන එක ගැන මට හරි සතුටුයි.
මම ඉගෙනගත්තේ යහපත් එfඬ්රා කන්‍යාරාමයේ. ඒ දවස්වල ඒ ඉස්කෝලේ ඉගැන්වූයේ අයර්ලන්ත සිස්ටර්ලා. ඒගොල්ලන්ට හරි පුළුල් දැනුමක් තිබුණා. ඒ නිසා ඔවුන් අපිව ඉතා විශාල ලෝකයකට රැගෙන ගියා. ඔවුන් කලාවට බොහොම කැමති පිරිසක්. අපේ ඉස්කෝලෙට එහා පැත්තේ තිබුණේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය. ඒකෙ ගුරුවරු වුණේ බ්‍රදර්ස්ලා. අපේ ඉස්කෝලේ සිස්ටර්ස්ලායි, බෙනඩික්ට් විද්‍යාලයේ බ්‍රදර්ස්ලායි එකතුවෙලා ඒ දවස්වල නොයෙක් නොයෙක් සංදර්ශන පැවැත්වූවා. ඩැල්රින් සුබීත් ඒ දවස්වල අපේ ඉස්කෝලේ හිටියා. අපි ඔක්කොම එකට සිංදු කිව්වා. වේදිකා නාට්‍ය කළා. ඒ අතරතුර අපේ ගෙදරින් මාව මියුසික් ක්ලාස්වලට දැම්මා. ඩාන්සින් ක්ලාස්වලට දැම්මා. ඒ හැම එකකම වගේ මම දස්කම් දැක්වූවා. ෂීලා මැක් කියන ගුරුවරියත් යටතේ මම වෙස්ටර්න් බැලේ ඉගෙනගත්තා. ඇයයි ඇගේ ස්වාමියායි එකතුවෙලා හැම අවුරුද්දෙම සංදර්ශනයක් කරනවා. එහිදී මම රඟපෑවා. නැටුවා. ඒ වගේම ඒ කාලේ ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය වුණු ශේක්ස්පියර් නාට්‍යවලට මම සම්බන්ධ වුණා. ඒ නිසා මම පළමුව බිහිවෙන්නේ වේදිකාවෙන්. හැබැයි ඒ කාලේ ඉඳන්ම සිනමාවට මම ආස කළා. මට දැනගන්න ඕනෑ වුණා වේදිකා රංගනයෙහි හා සිනමා රංගනයෙහි ඇති වෙනස ගැන. නොසිතූ විදියට මගේ දෛවය මාව නිළියක් බවට පත්කළා. එතැනදී මගේ මහත්තයා, ඬේවිඞ් ජොන්ක්ලස් මට ලබාදුන් සහයෝගය ඉතා විශාලයි. ඔහු රොඞ්නි ජොන්ක්ලස්ගේ ඥාතියෙක්.

ඔබ සිනමා නිළියක් බවට පත්වෙන්නේ ‘කළුදිය දහර’ චිත්‍රපටය සමඟින්.
කළුදිය දහරට ඉස්සෙල්ලා මම චිත්‍රපට දෙකක විතර රඟපාලා තිබුණා. මම උසස්පෙළ විභාගයට ලියන වෙලාවෙදි අපේ විභාග පරීක්ෂකතුමා මගෙන් ඇහුවා චිත්‍රපටයක රඟපාන්න කැමතිද කියලා. සිනමාව ගැන දැනගන්න තිබුණු ආසාව නිසා මම කැමති වුණා. ඔහු නිෂ්පාදකවරු කිහිප දෙනෙක්ද දැනගෙන හිටියා. විභාගෙ ඉවර වුණු හැටියේ මම විවාහ වුණා. ඒ අතරෙදි තමයි ඔවුන් මාව චිත්‍රපටයට යොදාගත්තේ. ඒත් දවස් හතර පහක් ෂූටිං ගිහිල්ලා මම නැවතුණා. මොකද එතැන එතරම් පිළිවෙළක් තිබුණේ නැහැ. මට මගේ විවාහ ජීවිතේ එයට වඩා වැදගත් වුණා. ඒ අතරම 1970 විතර ඩන්ස්ටන් පෙරේරා කියන නිෂ්පාදකවරයා ජාත්‍යන්තර සම්බන්ධතාව ඇතිව චිත්‍රපටයක් කරන්න අදහස් කළා. ඒ චිත්‍රපටයටත් මාව තෝරාගත්තා. ඒ චිත්‍රපටයත් කෙරුණේ නැහැ. අවාසනාව කියන්නේ මට ඒ චිත්‍රපට දෙකේම නම් මතක නැහැ. ඊට පස්සේ තමයි කළුදිය දහර.
කළුදිය දහර තේමාවට මම හුඟක් කැමතියි. ඒ නිසා මම ඒ චිත්‍රපටය ඉතා ආසාවෙන් බාරගත්තා. වතු අධිකාරීන් හා කම්කරුවන් අතර තියෙන ගැටුමක් තමයි එහි මූලික වශයෙන් නිරූපණය වෙන්නේ. එතැනදී මට රඟපාන්න තිබුණ කොටස වැඩියි. හැබැයි මම ඒ චරිතය හොඳට කළා කියලා හිතෙනවා. ඒ චිත්‍රපටයේදී මට රවීන්ද්‍ර රන්දෙණිය හම්බවෙනවා. ජෝ අබේවික්‍රම, මනෝ බි්‍රකන්රිජ් වැනි අය සමඟ රඟපාන්න ලැබීමත් සතුටක්. කළුදිය දහර චිත්‍රපටය කිරීමත් සමඟම සිනමාව සම්බන්ධව මගේ තියෙන විපරම් කිරීමට හොඳ පිළිතුරක් ලැබුණා. ඒ චිත්‍රපටය රූපගත කළ උඩරට පරිසරයට මම ඉතාම කැමතියි. ඒ වගේම මනික් සන්ද්‍රසාගර වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීමත් සතුටක්. ඔහු ඉතා සැහැල්ලුවෙන් සිටින කෙනෙක්. ඔහු සීරියස් දෙයක් වුණත් වැඩිය සීරියස් විදියට භාරගන්නේ නැහැ. ‘මාස්ටර් සර්’ ගීතය ඇහෙන වාරයක් වාරයක් පාසා මගේ හිත අතීතයට දිව යනවා. නිමල් මෙන්ඩිස් කළුදිය දහරයට කළ ඒ ගීතය මට හිතෙන්නේ කවදාවත් පැරණි නොවන ගීතයක් කියලා. හැබැයි ඒ චිත්‍රපටය වර්තමාන පරම්පරාවට දැකබලාගන්න නොහැකිවීම ගැන මට කනගාටුයි. මමත් එහි පිටපතක් හොයනවා. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ 1975 නොවැම්බර් මාසේ. ඒ වෙනකොට සමඟි පෙරමුණු රජය වතු ජනසතු කිරීම ආරම්භ කරලා ඉවරයි. හැබැයි අපි ඒ චිත්‍රපටය කළේ ඊට ඉස්සෙල්ලා. වතු ජනසතු කිරීම නීතිගත වෙන්න ඉස්සෙල්ලා ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා නම් කළුදිය දහරට මීට වඩා වැඩි වටිනාකමක් ලැබෙන්න තිබුණා.

ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන භාෂාව කරගත් ඔබට සිංහල පිටපත් කියවීම ගැටලුවක් වුණේ නැද්ද?
විශේෂ ගැටලුවක් වුණේ නැහැ. මගේ මව් භාෂාව විදියට පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි. ඒකට හේතුවක් තියෙනවා. මගේ අම්මා ලන්සි කාන්තාවක්. ඒත් මගේ පියා සිංහල කෙනෙක්. අම්මා ගෙදරදි අපිත් එක්ක කතාකළේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන්. තාත්තා කතාකළේ සම්පූර්ණයෙන්ම සිංහලෙන්. ඒ නිසා ඒ භාෂා දෙකම මට හුරුවුණා. ඉස්කෝලේ 8වැනි වසර වෙනකම් මම ඉගෙනගත්තේ සිංහලෙන්. ඊට පස්සේ විද්‍යා විෂයයන් කරන්න ඕනෑවුණ නිසා ඉංග්‍රීීසි භාෂාවෙන් ඉගෙනගන්න සිද්ධවුණා. අදත් මම මගේ මව් භාෂාව හැටියට සලකන්නේ ඉංග්‍රීසි. හැබැයි පිටපතක් සිංහලෙන් කියවලා අවබෝධ කරගන්න මට පුළුවන්. මගේ සිතුවලි ඉංග්‍රීසිය හරහා නිර්මාණය වුණාට සිංහලෙන් තියෙන අදහස් මට හොඳට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මගේ වචන උච්චාරණයේ තියෙන්නේ ඉංග්‍රීසි හැඩයක්. ඒ නිසා කිසිම අධ්‍යක්ෂවරයෙක් මගේ කටහඬ චිත්‍රපටවලට යොදාගත්තේ නැහැ. මම රඟපෑ හැම චිත්‍රපටයකම මගේ චරිතයට දෙබස් කැව්වේ වෙනම ශිල්පීන් කට්ටියක්. ඒ නිසා මගේ ස්වාභාවික කටහඬ මම රඟපෑ කිසිම චිත්‍රපටයක නැහැ.

‘පාර දිගේ’ චිත්‍රපටය ඔබට ලැබුණු අභියෝගාත්මක චිත්‍රපටයක්.
ඔව්. පතිරාජ මාව දැනගත්තේ සුනිලා අබේසේකර නිසා කියලා මට හිතෙනවා. මොකද සුනිලාත් ඉංග්‍රීසි හා සිංහල කියන ලෝක දෙකේම දස්කම් දැක්වූ කෙනෙක්. ඇය මගේ හොඳ යෙහෙළියක්. පාර දිගේ පිටපත කියෙව්වාට පස්සේ මට දැනුණා පතී කරන්න යන්නේ සීරියස් චිත්‍රපටයක් කියලා. කොහොමත් මම සීරියස් දේවල්වලට කැමති කෙනෙක්. මට ඕනෑවුණේ කරන හැම දෙයකින්ම යම්කිසි ගුණාත්මක දෙයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න. ඒ නිසා තමයි පාර දිගේ හරහා පතී කරන්නට යන සමාජ කතිකාවට මට දායකවෙන්න හිතුණේ. මම පතීගේ ස්ටයිල් එකට හරි කැමතියි. එම චරිතය අභියෝගාත්මක චරිතයක් වුණත් මට එහෙම දෙයක් දැනුණේ නැහැ. මම කිසි දෙයකට බයවෙන කෙනෙක් නෙමෙයි. කරන දේ ගැන හරි වැටහීමක් ලබාගත්තාට පස්සේ මට කිසි දෙයක් අභියෝගයක් නෙමෙයි. පාර දිගේ කතා තේමාව ඒ දවස්වල හැටියට තරමක ප්‍රශ්නකාරී තේමාවක්. ගබ්සාව මුල් කරගත්, පාවී යන තරුණ ජීවිත පිළිබඳ එහි ගැඹුරින් සාකච්ඡා වෙනවා. ඒත් ඒ බැරෑරුම්කම දර්ශන තලයට ගියාට පස්සේ තේරෙන්නේ නැහැ. මොකද ඒ චරිතය ගැඹුරින් නිරූපණය කිරීමේදී වෙනත් බොහෝ කරුණු කෙරෙහි අවධානය යොමුකරන්න අපට සිද්ධ වෙන නිසා. පාර දිගේ චිත්‍රපටයේ මම කළ චරිතය ගැනත් බොහොම දෙනෙක් කතාකළා. ඒ චිත්‍රපටයේදී මට වසන්ති, විජය, ඩබ්.ජයසිරි ඇතුළු තවත් විශාල කණ්ඩායමක් අඳුනාගන්න ලැබෙනවා. ඒ හැම කෙනෙක් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න ලැබීම ලොකු සතුටක්.

‘බැද්දේගම’ ඔබගේ රංගන දිවියෙහි වෙනස්ම මානයක්.
ඒ චිත්‍රපටයත් මම ඉතා ආසාවෙන් රඟපෑ තවත් චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ මට විශාල දෙයක් කරන්න තිබුණේ නැතත්, ලෙස්ටර්ගේ චිත්‍රපටයකට සම්බන්ධවීමට මට ලැබුණ අවස්ථාව ඉතාම සුවිශේෂයි. එතැනදී මම රඟපෑවෙ හෙන්රි ජයසේනගේ භාර්යාව හැටියට. හෙන්රි වගේ අතිදක්ෂ නළුවෙක් එක්ක රඟපාන්න ලැබීම මගේ ජීවිතේ ලොකු වාසනාවක්. ඒ වගේම මාලිනී, නදීකා, ටි්‍රලීෂියා, ඩී.ආර්. නානායක්කාර, ටෝනි වගේ ශිල්පීන් මුල්වරට හමුවුණේ එතැනදී. විජය හා ජෝ අබේවික්‍රම එක්ක මම ඒ වෙනකොටත් රඟපාලා තිබුණා. බැද්දේගම කරන කොට මට ලැබුණ අත්දැකීම් සම්භාරය අතිවිශාලයි. එතැනදී මට රෙද්ද හැට්ටය ඇඳගෙන රඟපාන්න වුණා. ඒ වගේම මනසින් ගමේ ගැහැනියක් බවට පත්වෙන්න සිදුවුණා. ඒ වෙනකොට මේ හැමදේම මට අලුත්. ඒත් ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි හැම කෙනෙක්ම ඒ චිත්‍රපටය තුළදී එක පවුලක් බවට පත්වුණා. උදේ ඉඳන් හවස් වෙනකං රූපගතකිරීම් කරලා අපි හවසට ගමේ මිනිස්සු සමඟ එකට එකතුවුණා. හම්බන්තොට පැත්තෙ දුෂ්කර ගම්මානයක කළ ඒ රූපගත කිරීම් වෙහෙස වුණත් මනසට ලොකු විවේකයක් ලබාදුන්නා. කළුදිය දහර කළේ ඉතා සොඳුරු සීතල පරිසරයක. බැද්දේගම’ කළේ කර්කශ ප්‍රදේශයක. ඒ ස්ථාන දෙකේදීම එකිනෙකට වෙනස් අත්දැකීම් සම්භාරයක් ලැබුවා.

‘තුන්වෙනි යාමය’ ඔබගේ රංගන දිවියේ කූටප්‍රාප්තියයි කීවොත් නිවැරදිද?
එහෙම කියන්න පුළුවන්. හැබැයි පහුගිය සතියේ ඒ චිත්‍රපටය දකිනකං මම ඒ චිත්‍රපටය සම්පූර්ණයෙන් දැකලා තිබුණේ නැහැ. රූපගත කිරීම්වලින් පස්සේ එහි කොටස් කිහිපයක් දැකලා තිබුණා. ඒකට හේතුව තුන්වෙනි යාමය ප්‍රදර්ශනය කරන්න ඉස්සෙල්ලා මම විදේශගත වීමයි.
ධර්මසිරි ඉතා දක්ෂ වේදිකා නාට්‍යකරුවෙක් බව මම දැනගෙන හිටියා. ඒත් ඔහුගේ නාට්‍ය මම දැකලා තිබුණේ නැහැ. විවාහයෙන් පස්සේ 1976 විතර අපි ව්‍යාපාරයක් පටන්ගත්තා. මට දරුවො දෙන්නෙක් ලැබුණා. ඒ වැඩ කටයුතු කරනකොට නාට්‍ය, චිත්‍රපට බලන්න වැඩි කාලයක් මට ඉතුරුවෙලා තිබුණේ නැහැ. කොහොමහරි හේග් කරුණාරත්න ‘ජුලියස් සීසර්’ නාට්‍යය අලුත් විදියකට කරන්න යනකොට එය නිෂ්පාදනය කළේ මමයි මගේ මහත්තයායි. ඒක අපි කළේ ඉංග්‍රීසියෙන්. වින්සන්ට් සේරසිංහ, මම, මගේ මහත්තයා, කැරන් බ්‍රෙකන්රිජ්, රිචඞ් ඩි සොයිසා, පිලා අංගගේ වැනි අය තමයි එහි රඟපෑවේ. ධර්මසිරි ඇවිත් තිබුණා ඒ නාට්‍යය බලන්න. එතැනදී තමයි ඔහු මාව දැනහඳුනාගත්තේ. ඊට පස්සේ ධර්මසිරි ජලපවාහන මණ්ඩලයට කරපු කෙටි චිත්‍රපටියට මාව සම්බන්ධ කරගත්තා. එහි අවසාන ප්‍රතිඵලය තමයි තුන්වෙනි යාමය.
තුන්වෙනි යාමය භාරගන්න මට විශේෂ හේතුවක් තිබුණා. පොඩි කාලේ ඉඳලම මම මනෝවිද්‍යාව සම්බන්ධව ඉතා උනන්දුයි. මේ චිත්‍රපටයේ තියෙන්නේත් එවැනි තේමාවක්. මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන රහස් සිතුවිලි කොච්චර දුරකට ඔවුන්ගේ ජීවිත පැවැත්මට අදාළ වෙනවාද කියන කාරණාව ගැන මම ගොඩාක් කල් ඉඳන් හිතහිතා හිටියේ. ඒක නිරූපණය කරන අවස්ථාව මට ලැබෙනකොට මට පුදුම සතුටක් දැනුණා. ඒකත් අභියෝගාත්මක චරිත නිරූපණයක්. ධර්මසිරිට පුළුවන් වුණා අපි හැමෝගෙන්ම උපරිම දක්ෂතාව අරගන්න. එතැනදි තමයි මගේ ප්‍රියතම නිළිය වුණු අයිරාංගනී සේරසිංහ චිත්‍රපටයක් තුළදී හමුවෙන්නේ. තුන්වෙනි යාමය චිත්‍රපටයේ අපේ මුළු පවුලම ඉන්නවා. මගේ මහත්තයා තමයි පල්ලියේ ස්වාමි හැටියට ඉන්නේ. මගේ නැන්දම්මා, ලොකු පුතා මේ හැමෝම වාගේ ඒ චිත්‍රපටයේ ඉන්නවා. තුන්වෙනි යාමය වගේ චිත්‍රපටයක රඟපානවා කියන්නේ හොඳ චිත්‍රපට දෙක තුනක රඟපානවා වගේ වැඩක්. එවැනි සංකීර්ණ චරිත ඉතා පහසුවෙන් නිරූපණය කරන්න පුළුවන් චරිත නෙවෙයි. ඒ චරිත තමන්ගේ අධ්‍යාත්මය තුළට උරාගන්න ඕනෑ. තුන්වෙනි යාමය චිත්‍රපටය සමඟම මගේ නම රසිකයන් අතරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා තියෙන බව මට දැනෙනවා. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණු කාලේ මම ලංකාවේ හිටියා නම් එය මීට වඩා තදින් මට වැදෙන්න තිබුණා.

වර්තමාන සිංහල සිනමාව පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ඒ සම්බන්ධව යමක් කියන්න මම දන්නවා මදි. මම විදේශගත වෙන්නේ 83දී. ඊයේ පෙරේදා තමයි නැවත ආවේ. ඒත් මට බොහෝ දෙනා කියනවා දේශීය සිනමාව අනතුරේ කියලා. ඒක එහෙනම් එය ඉතා භයානක තත්ත්වයක්. සිනමා කියන්නේ රටක ඉතිහාසයක්. එය විනාශ වෙනවා කියන්නේ මුළු ඉතිහාසයම විනාශ වෙනවා කියන එකයි. කොහොම වුණත් සිනමාව තුළදී මගේ අරමුණ ඉටුවුණා. මට ඕනෑ වුණේ ජනප්‍රිය නිළියක් වීමට වඩා සිනමාව ගැන දැනගන්න. එය ඉෂ්ට වුණා. මනික්, ලෙස්ටර්, පතිරාජ, ධර්මසිරි වගේ අධ්‍යක්ෂවරු යටතේ වැඩක් කළාට පස්සේ තව කාත් එක්කවත් වැඩ කරන්න ඉතුරුවෙලා තියෙනවාද කියලා හිතෙනවා. ඒ කොහොම වුණත් තව ටික කලක් මම ලංකාවේ ඉන්නවා. ඒ අතරතුර මට ගැළපෙන චරිතයක් ලැබුණොත් නවකයෙකුගේ වුණත් හොඳ නිර්මාණයකට දායක වෙන්න මම කැමතියි.■