රාවය

ඡන්ද කල් දාන්න ශ්‍රීලනිප ගේමක්

ලසන්ත රුහුණගේ

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව බල රහිත කරන ලෙස ඉල්ලා නොවැම්බර් 16 දින අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම එම මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා ශ්‍රීලනිපය විසින් නිර්මාණය කරන ලද්දක් බවට චෝදනා එල්ල වී ඇත.
ඒ එම අභියාචනා පෙත්සමට අදාළ පෙත්සම්කරුවන් හයදෙනා ශ්‍රීලනිපයේ සාමාජිකයන්ගේ සමීපතමයන් වීමත් අදාළ පෙත්සම බල රහිත කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගිය අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයන් අතර ශ්‍රීලනිපය නොසිටීමත් යන කරුණු හේතුවෙන්ය.
අමතරව එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥයා පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපාට ඇති සම්බන්ධයක් මෙම චෝදනාවට හේතුවී ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පළාත් පාලන විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හා එම අමාත්‍යාංශ ලේකම්වරයා නම් කර ඇත. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේ නියෝජිතයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර මාස 9ක කාලයකට පසු මෙම පෙත්සම ඉදිරිපත් කළේ ඇයිද යන්නත්, මැතිවරණ කොමිසම ඡන්දය සඳහා දින ප්‍රකාශ කර තිබීමත්, සලකා බලන කල මෙම පෙත්සම ඡන්දය කල්දැමීම සඳහා ඉදිරිපත් කර ඇති එකක් බවය.

ඒ අනුව මෙම පෙත්සම මැදිහත්කාර පාර්ශ්වයන්ගේ කරුණු ද සමඟ නැවත නොවැම්බර් 22 දින සලකා බැලීමට අභියාචනාධිකරණ සභාපති එල්ටීවී දෙහිදෙණිය කුමුදිනී වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.

ශ්‍රීලනිපය දෙකඩව ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමෙන් ලබන පරාජය කල් දමා ගැනීම සඳහා මේ ආකාරයට මැතිවරණ කල් දමන බවට මත පළවී ඇත.

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමානිර්ණ කමිටු වාර්තාව ඇතුළත් ගැසට් පත්‍රය අභියෝගයට ලක්වීම තුළ අනුමාන දිනයේ ඡන්දය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව නොවැම්බර් 17 දින රැස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාවයට පැවසීය.