රාවය

අඹකඳවිල වතුරට වින කළ වැලි හොරු

ටිරන් කුමාර බංගගම ආරච්චි 

2014 ඉඳලා අද වෙනකම් කළ ව්‍යාපෘතියක් නෑ. මේක බීඕඅයි ව්‍යාපෘතියක් නම් කළ මොනවා හරි වැඩක් තියෙන්න එපැයි. මේ අය කිව්වේ ඉස්සෝ වගා කරනවා, මාළු බෝ කරනවා කියලා. අද ඒ මුකුත් නෑ. අඩුම තරමේ 2014 ඉඳලා මේ වෙනකොට එක ටැංකියක් හරි හදලා මාළු බැරි නම් ගෙම්බෙක් හරි දාන්න එපැයි. ඒ මුකුත් නෑ. එක ටැංකියක් අක්කර දෙකක් විතර පොලිතින් ලේයර් දාලා හදනවා කිව්වා. ඒකට ලක්‍ෂ 38ක් යනවා කියලාත් ඒ මහත්වරු කිව්වා.

එහෙම කියලා කරන්නේ මේකේ තියෙන වැලි ටික කප කපා අරගෙන යන එක. උදේ පාන්දර ඉඳලා දවසට වැලි ලොරි හැට හැත්තෑවක් යනවා. මෙතන වටින ඛණිජ වැල්ලක් තියෙනවා කියලා තමයි අපිට ආරංචිය. බොරුවට අරවා මේවා කරනවා කිය කියා ගම්මු රවට්ට රවට්ටා වැලි අදිනවා.”
මේ හලාවත අඹකඳවිල මීසම්භාර පීටර් බොතේජු පියතුමා සිය වසම් පහේම ජනයා මුහුණ දෙන ගැටලුවේ ස්වභාවය පැහැදිලි කරන්නට වූ අයුරුය. අඔකඳවිල, මැදවත්ත, වැලිහේන, සමිඳුගම හා ඉරණවිල මේ වසම්ය. මේ සියල්ල භාර පීටර් පියතුමා මේ ප්‍රශ්නයේ විසඳුම් සොයන පාර්ශ්වයේ පෙරගමන්කරු වී ඇත. ඒ නිසාම ගැටලුවේ ස්වභාවය වඩා තහවුරු කිරීම පියතුමාටම බාර විය.
‘මේ ගම්වල මිනිස්සු වැඩි හරියක් ධීවර රස්සාව කරන්නේ. කාටවත් යටත් නැති ස්වඋත්සාහයෙන් ජීවත් වන මිනිස්සු. මේ වැලි ගොඩ දාන වැඬේ හින්දා මේ මිනිස්සු කරදරයට පත්වෙලා. මොන තරම් ප්‍රශ්න ආවත් අපි පාරට බැහැලා ප්‍රශ්න විසඳ ගන්න ඕනෑ නෑ කියන තැන මම ඉන්නේ. ඒත් ගම්මු කියන්නේ සාකච්ඡා වැඩක් නෑ. මේවා කුඩු කරලා දාමු කියලා. එහෙම කරන්න බැරි මිනිස්සු නෙමෙයි මේ. මම ගහපං කියපු ගමන් ගහන මිනිස්සු. මම බොහෝම අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නේ. ඉතින් ඒකේ නරක ප්‍රතිඵලය තමයි, දැන් ගම්මු හිතනවා මම කම්පැණියෙන් සල්ලි අරගෙන මෙහෙම කරනවා කියලා. කම්පැණිය කියනවා ගමේ මිනිස්සු මේක ගැන ප්‍රශ්න කරන්නෙත් නෑ. මේ ෆාදර්මනේ මේක අදින්නේ කියලා. මම මේ දෙපැත්තෙන්ම තැලෙනවා.
මම මේ පල්ලියේ තව අවුරුද්දක් දෙකක් ඉඳලා යයි යන්න. අපි තාවකාලිකව ආ අය. මේ කම්පැණිය වුණත් තව අවුරුදු කිහිපයකින් යයි. ඒත් මේ ගම්වල මිනිස්සු පරම්පරා ගණනක් මේකේ ඉන්නවා. ඒ නිසා ඒ මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය තියෙන්න ඕනෑ.’

වැලි කැපීමට මේ ජනයා මෙතරම් විරුද්ධ ඇයි? ඊළඟට ඇති පැනයය. මේ ඒ පැනයට පිළිතුරය. සුනිල්, නිමල්, බෙනිලස්, ශිරෝමන්, තුෂාර සැවෝම පැහැදූ අයුරුය.
“අපේ මේ ගම් තියෙන්නේ මුහුදටත් කළපුවටත් වටවෙලා. කොටින්ම අපි දූපතක වගේ තමයි ඉන්නේ. අපේ මේ ප්‍රදේශ කවදාවත් වැහි වතුරට යටවෙන්නේ නැහැ. ඒ වගේම මුහුද කළපුව තිබුණාට පිරිසිදුම පානීය ජලය මෙහේ තිබුණා. ඒ නිසාම තමයි අඹකඳවිල කියලා නම දාලා තියෙන්නේත්. කොහොම හරි මේ කම්පැණිය ඇවිල්ලා වැලි ටික අදින්න අදින්න කළපු ජලය ගමට එන්න පටන් අරගෙන අද අපිට බොන්න වතුර නෑ. වතුර අපිරිසිදු වෙලා. සුදු ඇඳුමක් හෝදාගන්න බෑ. මේ කම්පැණිය මේක දැනගෙන ගමට ටැංකි හදලා දෙනවා. පිරිසිදු වතුර ටික ළිංවලින් අරන් බීපු අපි අද ඒ වතුර ටික විනාශ කරගෙන ටැංකිවලට වතුර පුරවාගෙන බොන්න ඕනෑ. මේක මොනතරම් කරුමයක්ද? ආයේ කවදාවත් අපිට පිරිසිදු වතුර නෑ.”

ගමේ තත්ත්වය එබඳුය. බොන වතුර ටික අපවිත්‍ර වූ පසු ගම්මු විරෝධය පෑම අසාධාරණද? එහෙත් මෙම ව්‍යාපෘතිය කරගෙන යනු ලබන සෙනුර ඇක්වා කල්චර් ආයතනයේ බලධාරීන්ට සහ ඊට ඈඳුණු දේශපාලකයන්ට මෙය අවැඩක් වී ඇත. ඒ නිසා මෙම ආයතනයත් ගම්මුත් අතර විරසකය නරක අතට හැරෙමින් පවතිනුයේ ආයතනය මේ ප්‍රශ්න තඹේකට මායිම් නොකරන බැවිනි.
“මේ පාර හදන්න කියලා අවුරුදු ගාණක ඉඳලා කියනවා. හදන්නේ නැහැ. මොකද වැලි ගෙනියන්න බැහැනේ. එතකොට අපිට පාරේ යන්න නැහැ. වැලි ඇස්වලයි කටේයි හැම තැනම වාහනයක් ගියාම. වැහි දවසට මඩ. මේ ව්‍යාපෘතිය එන්න කලින් මේ ප්‍රශ්න මුකුත් තිබුණේ නැහැ.” මේ ගම්මු නගන තවත් අතුරු ප්‍රශ්නය.
පියතුමා කතාවට නැවත මැදිහත්වූයේ මෙම ව්‍යාපෘතියට ඇති දේශපාලන හයිය පැහැදිලි කරන්නටය.

“මම මේකට මැදිහත් වෙලා මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න ගත්තා විතරයි. ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය මට කතාකළා. මෙහේ ආවා. පල්ලියක් ගිලා බහිනවා කිව්වත් ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය එන්නේ නෑ. මේ ආයතනයට විරුද්ධ වෙනවා කියලා දුවගෙන ආවා. රදගුරුතුමා මට කතා කළා. හැබැයි මම මේකට මැදිහත් වුණේම රදගුරුතුමාගේ අවසරය මත. මේ අපේ පල්ලිය එක්ක ඉන්න වසම්. ඒ මිනිස්සුන්ට අසාධාරණයක් වෙනකොට අපි කට පියාගෙන ඉන්නවා නම් මොකද්ද අපෙන් ඇති වැඬේ.”

ඕනෑම ව්‍යාපෘතියක් ගම්මුන්ට හයිරං පෑම් දමන තැනට එන්නේ දේශපාලන හයියෙනි. මෙම ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු සමයේ විවෘත කරනුයේ රාජිත සේනාරත්න ඇමතිවරයාය. මේ ආණ්ඩුවෙත් ඔහු ප්‍රබලයෙකි. ජෝන් අමරතුංග ඇමතිවරයා ගම්මුන්ගේ ප්‍රශ්නයට ඇහුම්කන් නොදුන්නද මෙම ව්‍යාපෘතිය බලන්නට යන එන අයකු බවට පත් වී ඇත. එසේ නම් මෙම ව්‍යාපෘතිය පිටු පස ඇති බලය තහවුරුය.

“දැන් ගිහිල්ලා බැලුවත් වැලි කඳු නෑ. මේ අය කඳු ගහන්නේ නෑ. කෙළින්ම ඇද ඇද ලොරිවලටමයි පුරවන්නේ. මේ තරම් හොරට වැඬේ කරන්නේ ඇයි. අපි කිව්වා, හරි ඔයගොල්ලෝ මේ වළවල් හාරලා වැලි ටික කඳු ගහලා ඒ ටික අරගෙන යන්න, අපේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. එහෙත් ඒකට කැමති නෑ. දවසට 60-70ක් වැලි ලොරි යනවා. උදේ පටන් ගත්තාම හවස් වෙනකම් යනවා. අපි විරුද්ධ වුණ නිසා තාවකාලිකව නතර කරලා තියෙනවා. හැබැයි වැලි පර්මිට් අලුත් කරනවා. ඉස්සෝ වගා කරන්න මාළු ඇති කරන්න ආවා නම් අවුරුදු ගාණක් තිස්සේ ඒ මුකුත් නොකර වැලි හාර හාර ඉන්නේ ඇයි.”

මේ වසම්වල ජනයාට අද පානය කරන්නට ජලය අහිමිය. එයම මේ ආයතනයට එරෙහිව පාරට බහින්න හේතුවක් නොවේද? මේ ප්‍රදේශයේ ස්වාභාවික වැලි කඳු පිහිටා ඇත. පෞද්ගලික වතුවල පවා ඒවා සුලබය. එහෙත් ඒවා කැපීම සපුරාම තහනම්ය. ඒ මෙම පරිසර පද්ධතිය විනාශවන නිසාය. නිවසක් හදන්න වුව වැලි කන්දක් ඉවත් කරගැනීමට රාජ්‍ය ආයතන පසුපස අනේකවිධ වැඳවැටීම් කළ යුතු වන්නේ අවසර ගැනීමටය. එහෙත් දවසට වැලි ලොරි 50-70 රැගෙන යන විට අදාළ ආයතන නිහඬය.

“අඹකඳවිල පිහිටලා තියෙන්නේ මුහුදත් කළපුවටත් අතර මීටර 500ක් පමණ පළල දූපතක. අපි පරම්පරා ගාණක් පාවිච්චි කළේ භූගත නළ ළිං ජලය. දැන් තනිකරම ඒ ජලය ලුණු රහයි. මේ ඉඩම මීට කලින් බහුමාන් කියන ස්වීඩන්කාරයාට අයිති ඉඩම. එයා කළේත් ඉස්සෝ වගා කළ එක. ඒ ඉස්සෝ වළවල් තවම තියෙනවා. එයා බාල අපරාධවලට අහුවෙලා එළෙව්වා. දැන් මේ ඉඩම රජය සතුයි කියලායි කියන්නේ. මේ ව්‍යාපෘතිය මොකක් වුණත් අද කරන්නේ වැලි අදින එක. ඒකට අපි විරුද්ධයි.” ගම්මුන්ගේ මේ විරෝධතාව මේ ආයතනය මායිම් නොකරන්නේ ඇයි? වැලි හොරුන්ට හෙණ ගහපියව් යැයි ගම පුරා පෝස්ටර් ඇලවෙන විට එම ප්‍රදේශයේ දේශපාලකයා උරණ වන්නේ ඇයිද යන ප්‍රශ්නය ඉතිරිවේ.

“අපි ආණ්ඩුව කරන කිසිම ව්‍යාපෘතියකට විරුද්ධ නැහැ. මේක බීඕඅයි ව්‍යාපෘතියක් නම් ඒකෙන් රටට යහපතක් වෙනවා නම් අපි විරුද්ධ නැහැ. එත් ව්‍යාපෘතිය විදිහට එක දෙයක් පෙන්නලා තව දෙයක් කරන්නේ ඇයි? ඉස්සෝ, තිලාපියා වගා කරනවා කියලා වැලි හාරන්නේ ඇයි? අපිට ආරංචි විදිහට මේ වැල්ලේ සිලිකන් තියෙනවා. මේ වැල්ල වටිනවා. ඒ නිසා තමයි මේ හොර වැඬේ කරන්නේ. එහෙම නම් ආණ්ඩුවේ වගකිව යුතු අය ඇවිල්ලා කියන්න. මේ වැල්ල වටිනවා. ඒ නිසා විවිධ දේවල්වලට අපි මේ වැල්ල ගන්නවා කියලා. ඇයි හොරාට කරන්නේ. මිනිස්සුන්ගේ බොන වතුර ටිකත් විනාශ කරලා මේ කරන වැඬේ ආණ්ඩුවට වාසියක් වෙනවාද කියලා අපි දන්නේ නැහැ.”
ඒ පියතුමාගේ මැදිහත් වීමය.

දැනට තාවකාලිකව වැලි ගෙනයෑම නවතා ඇත. එහෙත් ඔවුන් නැවත වැලි හාරනු නියතය. එම ආයතනය පවසන ආකාරයට මෙම භූමියෙන් ආසන්න වශයෙන් වැලි කියුබ් 5719ක් ඉවත් කළ යුතුව ඇත. 2014 සිට මේ දක්වා වසර තුනකට ඔවුන් ඉවත්කර ඇත්තේ වැලි කියුබ් 1917කි. මේ නිසා තව ඇදීමට වැලි කියුබ් 3722ක් ඉතිරිය. මේ ඔවුන් කියන අයුරුය. අවුරුදු තුනටම වැලි කියුබ් 1917ක් ඇද ඇත්නම් ඉතිරි වැලි ටික අදින්නට තව වසර හත අටක් වත් ගතවනු නියතය. මේ තත්ත්වයන් හොඳින්ම දන්නා ගම්මුන් අද ඉන්නේ වෛරී තැනකය. එබැවින් හෙට දිනයේ මේ ප්‍රශ්නය කුමන අයුරින් විසඳේද යන්න ගැටලුවකි. ඒ නිසා ආණ්ඩුවේ නිසි ආයතන නිවැරදි මැදිහත් වීමක් කොට මේ ප්‍රශ්නය විසඳාලිය යුතුව ඇත.

අද වන විට ආණ්ඩුවේද හයිය ඇතිව මෙම ව්‍යාපෘතිය කරන ආයතනය ගමේ මීට විරුද්ධ වන පුද්ගලයන් දඩයම් කිරීමද පටන් ගෙන ඇත. ඔවුන් විවිධ චෝදනාවන්ට ලක් කොට පොලිසි, උසාවි ගෙන යෑමටත් අරඅඳිමින් සිටින බව පැවසේ. මේ නම් ප්‍රශ්නය නරක අතට ගමන් කිරීමකි. එය හෙට දවසේ ලොකු විනාශයකට අත වැනීමකි. එබැවින් ආණ්ඩුවේ වගකිව යුතු ආයතන දැන්ම අඔකඳවිල ප්‍රශ්නයට මැදිහත් විය යුතුව ඇත.■