රාවය

පුනරුදයේ අවුරුද්ද

පුනරුදයේ  අවුරුද්ද

වික්ටර් අයිවන්

පුනරුදය ව්‍යාපාරයට අවුරුද්දක් සම්පූර්ණවන්නේ නොවැම්බර් මාසයේදීය. පුනරුදය ව්‍යාපාරයේ පළමු අදියර අවසන් කිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් අවසානයේදීය. මෙය ගතවූ අවුරුද්ද දෙස ආපසු හැරී බැලීමකටත්, එළැඹෙන අවුරුද්ද තුළ සපුරා ගැනීමට අපේක්ෂා කරන දේවල් දෙස බැලීමටත් සුදුසුම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
පුනරුදය ව්‍යාපාරය බිහිකර ගැනීම සඳහා ආරම්භක සාකච්ඡා පවත්වන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේ අවසාන භාගයේදී හා යහපාලන ආණ්ඩුවක් බිහිවූ මුල් කාලයේදීය. එය පහළොස් දෙනෙකුට නොවැඩි පිරිසක් අතර වාචික මට්ටමෙන් කරන සාකච්ඡා ක්‍රියාවලියක් විය. එම සාකච්ඡා කරන ලද්දේ හොරණ හාමුදුරුවන්ගේ පන්සලේ හා කොළඹ හැව්ලොක් පෙදෙසේ ඇති මාෂල් පෙරේරාගේ ආයතනයේදීය. මෙම සාකච්ඡාවලට සහභාගි වූ කිහිපදෙනා අතර නාමධාරීන් ලෙස සැලකිය හැකි පුද්ගලයෝ තිදෙනෙක්ද සිටියෝය. මෙම සාකච්ඡාවලට සහභාගි වූ සියලුදෙනා කොළඹ අය නොවූහ. දොස්තර සුගත් ආවේ කුරුණෑගල සිටය. තිදෙනෙකු ආවේ බලංගොඩ සිටය. මා ආවේ ගාල්ලේ සිටය. අන් සියලුදෙනා කොළඹ අවට අයවී යැයි කිව හැකිය. සාකච්ඡා වටය තර්කානුකූල අවසානයකට ඒමෙන් තොරව ඉදිරියට ඇදීයමින් තිබුණි. කුසල්ගේ මතය වූයේ විකල්ප ආර්ථික වැඩසටහනක් හදාගැනීමෙන් තොරව වැඩ කරන තැනකට යායුතු නැති බවය. පැවති හැම සාකච්ඡාවකටම නොවූවත් විජයානන්ද ජයවීර හා සුනිල් විජේසිරිවර්ධන ද සමහර සාකච්ඡාවලට සහභාගි වූහ. කෘෂි ඉංජිනේරුවකු වූ සුමනරත්නද, ඉංජිනේරු ආයතනයේ සභාපති ලෙස ක්‍රියා කළ තිලක් ද, චූලානන්ද සමරනායකද මෙම සාකච්ඡාවලට සහභාගි වූහ. මෙම සංවාදය තර්කානුකූල අවසානයකට ගෙන නොයෑම ගැන මට විවේචනයක් තිබුණි.
මම එක් සාකච්ඡාවකට සහභාගිවීමෙන් වැළකී සාකච්ඡා සභාව වෙත කෙටි විවේචනයක් ලියා යැව්වෙමි. එම ලිපිය සාකච්ඡා සභාවට පැමිණි අයගේ දැනගැනීම සඳහා කියවා තිබුණු අතර අනතුරුව සාකච්ඡා සභාවේ සිටි තිලක් හෝ ජයවීර මට දුරකතනයෙන් කතා කොට ඔවුන්ට ඇසෙන ලෙස මගේ විවේචනය ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ලබා දුන්නේය. නිකම්ම සිටිනවාට වඩා මෙවැනි සාකච්ඡා සභාවක කල් ගෙවීම ආත්ම තෘප්තියට හේතුවන නමුත් ඒ ආත්ම තෘප්තිය ලබාගැනීම සඳහා ගාල්ලේ සිට කොළඹට ඒම තේරුමක් නැති ක්‍රියාවක් බවත් අවශ්‍ය වන්නේ ආත්ම තෘප්තිය පමණක් නම් ගාල්ලේද මෙවැනි සාකච්ඡා සභාවක් ඇති කරගත හැකි බවද එවිට එම තෘප්තිය සඳහා ලොකු වියදමක් හෝ ලොකු මහන්සියක් දරන්නට සිදුනොවන බවත් වැඩ කරන තැනකට යෑමට අත්‍යවශ්‍ය බවත් මම කියා සිටියෙමි. සාකච්ඡා සභාවට සහභාගි වූ වැඩිදෙනෙක් මාගේ මතය අනුමත කළ බව පසුව මට දැනගන්නට ලැබුණි.
ඉන්පසු සමාජ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා සභා පවත්වන තැනකට යායුතු බව මගේ කල්පනාව විය. සාකච්ඡා සභා කැඳවන තැනකට ගියද මිනිස්සු ඒවාට නොපැමිණෙනු ඇති බවත් පැමිණෙනු ඇත්තේ හැමදාමත් හැම සාකච්ඡා සභාවකට යන මහලු හා ඇට්ටරවූ අය බවත් අප සමඟ සිටි සමහර මතධාරීන්ගේ මතය වී තිබුණි. ගම් සම්බන්ධයෙන් ඒ අයගේ මතය වී තිබුණේ ගම්වලට ගොස් ඒවාහි වැඩ කළ හැකි තත්ත්වයක් කොහෙත්ම නැති බවය. රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන පක්ෂ ග්‍රාමීය සංස්කෘතිය මුළුමනින් දූෂ්‍ය කර තිබෙන බවත් ඒ නිසා ගම්මුන් සාකච්ඡා සභාවකට එන්නේ ද්‍රව්‍යමය වශයෙන් ඔවුන්ට ලැබෙන වාසි බලාගෙන බවය. සාකච්ඡා සභාවලට එන අයට හොඳට කන්න බොන්න දී ඊට අතිරේකව ඔවුන්ට ද්‍රව්‍යමය වශයෙන් දෙන්න දෙයක් නැතිනම් ඔවුන් සාකච්ඡා සභාවලට නොඑනු ඇති බව ඔවුන් දරන ලද මතය විය.
පළමු අත්හදා බැලීම
මා ඊට කලකට පෙර පොල්පිතිගම සාර්ථක සාකච්ඡා සභාවක් පවත්වා තිබුණි. එහි කැඳවුම්කරු ලෙස ක්‍රියා කළේ වර්තමානයේ පුනරුදය ව්‍යාපාරයේ ප්‍රබල හා වර්ණවත් චරිතයක් බවට පත්ව සිටින දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වූ උදය කුමාරය. ඔහු රාවයේ උද්යෝගිමත් පාඨකයෙකි. මා දීර්ඝ කාලයක් ඔහු නමින් දැන සිටියේ නැත. මා ඔහු හැමවිටම හඳුනා ගන්නේ ඔහුගේ කටහඬිනි. ඔහු විටින් විට මට දුරකතනයෙන් කතා කළේය. ගමට විදුලිය ලබාගැනීම සඳහා ඔහු දියත් කරන ලද අරගලයකදී ඔහු මට දුරකතනයෙන් කතා කොට මගෙන් උපදෙසක් ලබා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු වූ අතර, ආණ්ඩු පක්ෂයට තිබුණු සම්බන්ධකම්වලින් පුද්ගලික ඵල ප්‍රයෝජන නොලබා පොදු යහපත පිණිස ක්‍රියාකිරීම තුළ ප්‍රදේශයේ ජනතාව අතර ලොකු පිළිගැනීමක් හිමිකරගෙන සිටි පුද්ගලයෙකු විය.
ඔහු මට එක් අවස්ථාවකදී දුරකතනයෙන් කතා කොට තමන්ගේ ගමට එන ලෙස මට ආරාධනා කළේය. ගමේ හොඳ සාකච්ඡා සභාවක් සූදානම් කර දෙන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු ඊට කැමති විය. ඔහුගේ ගමට යන තෙක්ම මා ඔහු හැඳිනගෙන සිටියේ කටහඬින් මිස ඔහුගේ නමින් නොවේ. ඔහුගේ රූපය දකින්නට ලැබුණේද පොල්පිතිගමට ගිය පසුය. පොල්පිතිගම පැවති සාකච්ඡා සභාව ඉතාමත් වර්ණවත් සාකච්ඡා සභාවක් විය. එයට 20කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා සභාව පැවැත්විණි. දොස්තර සුගත් අමරජීව මා පළමුවරට හඳුනාගත්තේ එම සාකච්ඡා සභාව නිසාය. ඔහු රාවයේ උද්යෝගිමත් පාඨකයකු වූවා සේ ම මාගේ පොත් කියවන පාඨකයෙකු ද විය. ඔහු ඒ කාලයේදී පොල්පිතිගම රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා විය. ඔහු සමාජ සංවේදී කෙනෙකු ලෙස සැලකිය හැකි අතර පොල්පිතිගම ප්‍රදේශයේ ජනතාව අතර ලොකු පිළිගැනීමක් හිමිකරගෙන සිටි පුද්ගලයෙකු ද විය. සභාවේදී මා හඳුන්වා දෙන කතාව කරන ලද්දේ ඔහු විසිනි. එහි පැවති සාකච්ඡාව ඉතා උසස් මට්ටමක පැවති අතර ගම දියුණු මට්ටමේ සාකච්ඡා කළ හැකි තත්ත්වයක තිබෙන බව තේරුම් ගැනීමට එම සාකච්ඡා සභාව ඉවහල් වී යැයි කිව හැකිය.
සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කරන අත්හදා බැලීමක් වශයෙන් සාකච්ඡා සභාවක් පළමුවරට පවත්වනු ලැබුවේ මහනුවරය. එම සාකච්ඡා සභාවේ කැඳවුම්කරුවන් ලෙස ක්‍රියා කළේ රාජා උස්වැටකෙයියාව හා රංජිත් විජේසිංහ යන දෙදෙනාය. දෙදෙනාම කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධය. එය සාර්ථක සාකච්ඡා සභාවක් වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නවරත්න බණ්ඩා පුනරුද ව්‍යාපාරයට එකතු වූයේ එම සාකච්ඡා සභාව හරහාය. ඊට අතිරේකව වර්තමානයේ පුනරුද ව්‍යාපාරයේ නුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන චරිතය බවට පත්ව සිටින දයානන්ද කුලසේකර, මංජුල ඉහළගොල්ල හා ආනන්ද ස්ටීවන් යන අය එකතු වූයේද එම සාකච්ඡා සභාව හරහාය. අත්හදා බැලීමක් වශයෙන් කරන දෙවැනි සාකච්ඡා සභාව පවත්වන ලද්දේ කුරුණෑගලය. සාකච්ඡා සභාව පවත්වන ලද්දේ නීතිඥයෙකු වූ රත්නායක මහතාගේ නිවසේ වන අතර කැඳවුම්කරුවන් ලෙස ක්‍රියා කර තිබුණේ දොස්තර සුගත් හා උදය කුමාරය. එයද හොඳ සහභාගිත්වයක් තිබූ වර්ණවත් සාකච්ඡා සභාවක් වී යැයි කිව හැකිය.
මේ කාලයේදීම සමාජ ව්‍යාපාරයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව අළලා මා විසින් රාවයට ලිපි පෙළක් ලියන ලද අතර එම වැඩසටහනේ කොටස්කරුවන් වන ලෙස රාවය පාඨකයන්ට ආයාචනා කිරීමක්ද එම ලිපි පෙළ මගින් සිදුවිය. රාවය පාඨකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මා පුදුමයට පත්කිරීමට හේතුවන තරම් ප්‍රශස්ත තත්ත්වයක තිබුණි. මාරවිල චින්තකගෙන් ලැබුණු ආරාධනය රාවය පාඨකයන් අතරින් සාකච්ඡා සභාවක් සඳහා ලැබුණු පළමු ආරාධනය ලෙස සැලකිය හැකිය. සාකච්ඡා සභාව පවත්වන ලද්දේ ලස්සන වැවක් ඉදිරියේ තිබෙන ඔහුගේ ගේ මිදුලේය. දැන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම චරිතය ලෙස සැලකිය හැකි වෙන්නප්පුවේ සරත් සේ ම එම දිස්ත්‍රික්කයේ ප්‍රබල චරිත ලෙස ක්‍රියාකරන කෘෂි විද්‍යාඥයෙකු වූ දංකොටුවේ ජයසිරිද, ඉතාමත් නිර්මාණශීලී සුපවේදියෙකු ලෙස සැලකිය හැකි මාරවිල සුමිත් ද, කොළඹ වරායේ විධායක නිලධාරියකු වූ ජයන්තද පුනරුද ව්‍යාපාරයට එකතු වූයේ එම සාකච්ඡා සභාව හරහාය. ඒ සියලුදෙනා රාවයේ දීර්ඝකාලීන පාඨකයන් ලෙසද සැලකිය හැකිය. පුනරුද ව්‍යාපාරයට ගම් හා නගර මට්ටමෙන් සාකච්ඡා සභා පවත්වමින් ශාඛා ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ එතැන් සිටය.
ජනවාරි අවසන් වන විට අප රටේ විවිධ ප්‍රදේශවල සාකච්ඡා සභා 29ක් පවත්වන්නට සමත් වී තිබුණු අතර ඒ වනවිට පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින හා බර කර ගසන්නට සූදානම් හොඳ කණ්ඩායමක්ද ගොඩනැගී තිබුණි. ඒ වනවිට විවිධ වගකීම් කරට ගෙන ක්‍රියාකරන ප්‍රධානම චරිත බවට පත්ව සිටියේ දීයකඩුවේ සෝමානන්ද හිමි, දොස්තර සුගත්, නවරත්න බණ්ඩා, වෙන්නප්පුවේ සරත්, උදය කුමාර, ඉංජිනේරු ආයතනයේ සභාපති තිලක් ද සිල්වා, දත්ත විශ්ලේෂකයකු වූ විජය උඳුපිටිය, ආචාර්ය උපාධිධාරී කෘෂි ඉංජිනේරුවරයෙකු වූ සුමනරත්න, ග්‍රන්ථ ප්‍රකාශකයෙකු වූ රංජිත් දිසානායක යන අයය.
මතවාදය සකස් කරගැනීම
පුනරුදයේ මතවාදය සකස් වූයේ මා අතිනි. සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව අළලා මා පොතක් ලියා තිබුණු අතර ලංකාවේ පවතින අර්බුදය කෙරෙහි අපේ චින්තනය බලපා තිබෙන ආකාරය පිළිබඳවද කුඩා පොතක් ලියා තිබුණි. ඊට අතිරේකව පුවත්පත් කතුවරයෙකු වශයෙන්ද, කරුණු හදාරන්නෙකු වශයෙන්ද රටේ තිබෙන මූලික ප්‍රශ්න පිළිබඳව මට අවබෝධයක් තිබුණි. ලංකාව මුහුණ දී තිබෙන ප්‍රශ්න අතර ප්‍රධානතම ප්‍රශ්නය ලෙස මට පෙනුණේ නිදහස ලබාගැනීමේදී හෝ ඉන්පසුව ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීමේ ප්‍රශ්නයයි. රටේ ඇතිවූ සියලු ගැටුම් කෙරෙහිද දීර්ඝකාලීන වශයෙන් රටේ ඇතිවූ අශීලාචාර තත්ත්වය කෙරෙහිද එය වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. එම තත්ත්වය සමාජය රෝගී කිරීමටද, රාජ්‍ය දූෂිත කොට ජරපත් කිරීමටද හේතුවී තිබුණි. එම අවලස්සන තත්ත්වයෙන් රට සමාජය හා රාජ්‍ය මුදාගැනීමට අවශ්‍ය නම් ජාතික රාජ්‍යයේ යහපැවැත්මට නැතුවම බැරි නූතන ජාතිය ගොඩ නගා ගනිමින් හා එම ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යා යුතුය. රාජ්‍ය තිබෙන්නේ එහි බලය අල්ලාගෙන දේවල් නිවැරදි කරගැනීමට හැකි තැනක නොව එහි බලය අල්ලාගත්තවුන් පවා කුණු කිරීමට හේතුවන තරම් කුණුවූ තත්ත්වයකය. රටේ තිබෙන අවලස්සන හා ජරාජීර්ණ තත්ත්වය වෙනස් කළ හැකිවනු ඇත්තේ සමාජයේ ඇති කරන යහපත් විපර්යාසයකින් පමණය. ලොකු වෙනසක් ඇති කිරීමට නම් ඒ වෙනස ඇති කිරීමට අවශ්‍ය තරම් විශාල මිනිසුන් පිරිසක් (අපේ ඉලක්කය දශ ලක්ෂයක්) හොඳ මිනිසුන් බවට පත් කළ යුතුය. ඔවුන් නවීන ලෙසත් තර්කානුකූල ලෙසත් සාධාරණ ලෙසත් බහුත්වවාදී ලෙසත් සිතන මතන හා ක්‍රියාකරන මිනිසුන් බවට පත් කළ යුතුය. සමස්ත මතවාදය සකස් කරන ලද්දේ එම ඉලක්කයට ගැළපෙන ආකාරයටය.
වර්ගය හා ආගම ගැටුම් ඇති කරන සාධකයක් ලෙස සැලකුණද කුලය ගැටුම් ඇති කරන සාධකයක් ලෙස සැලකුණේ නැත. කුලය සලකන ලද්දේ ප්‍රසිද්ධියේ සාකච්ඡාවට ලක් නොකළ යුතු හොර රහසේ පමණක් කතා කළ යුතු දෙයක් ලෙසය. මා අප්‍රේල් කැරැල්ල වෙනුවෙන් බන්ධනාගාරයේ ගත කළ දීර්ඝ කාලය තුළ එම විෂය තරුණ කැරලිකරුවන් සමඟ සාකච්ඡා කිරීමේ හොඳ අවස්ථාවක් ලැබුණු අතර කුලයද තරුණ කැරලිකාරීත්වය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් බව හඳුනා ගැනීමට මට ඒ නිසා හැකිවිය. ඉන්පසු ජේවීපී දෙවැනි කැරැල්ලේ හා එල්ටීටීඊ කැරැල්ලේ සමාජ පසුබිම පිළිබඳව මා උනන්දුවෙන් කරුණු සොයා බලන ලද අතර එම කැරලි දෙකද මගේ එම නිරීක්ෂණ සනාථ කළේ යැයි කිව හැකිය. කුලය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා නොකරන පිළිවෙතේ වෙනසක් ඇති කිරීමට මට අවශ්‍ය වූ අතර ඒ නිසා මා රාවය සඟරාව ආරම්භ කළ කාලයේ සිටම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන තැනකට ගියෙමි. මා අනුගමනය කළ ඒ පිළිවෙත නිසා කිසියම් විශාල පිරිසක් ඒ නිසා තමන්ට මුහුණ දෙන්නට සිදුවන දුක්ගැනවිලි මට ලියා එව්වේය. ඒවා කියවීමෙන් එම විෂය පිළිබඳව මා ඉගෙන ගත් කරුණු බොහෝය. ඒ මගින් මා ඇති කරගත් නිගමනය වූයේ ලංකාවේ කුල පීඩනයක් ඇති බවය. ඒ මගින් සිංහල හා දෙමළ සමාජයේ කුල පීඩිතයන්ට ඇති කර තිබෙන පීඩාව වර්ග පීඩනය හා ආගම් පීඩනයටත් වඩා පීඩාකාරී වන බවය.
මා මෙම විෂය පිළිබඳව පොත් දෙකක්ම ලියා තිබෙන අතර ඒවාට තිබෙන ඉල්ලුමෙන්ද පෙනීයන්නේ කුලය මුල් කරගත් බරපතළ ප්‍රශ්නයක් රටේ තිබෙන බවය. ප්‍රේමදාස ජනාධිපතිවරයා පත් කළ තරුණ අසහන කොමිසමද සිංහල දෙමළ කැරලි කෙරෙහි කුලය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව පිළිගත්තේය. කුලය පිළිබඳව රටේ පැවති දීර්ඝකාලීන නිශ්ශබ්දතාවකට පසුව ඒ ප්‍රශ්නය කරළියට ගත් විට එය විවාදයට හේතුවන ප්‍රශ්නයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. පුනරුදය සාකච්ඡා සභාවලදීද කුලය මුල් කරගත් ලොකු ප්‍රශ්නයක් නැති බව කියන අය සිටියේය. ඒ හැම අවස්ථාවකදීම පාහේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට මට ඉඩක් ලැබුණේ නැත. සභාවේ සිටින කෙනෙකු හෝ දෙදෙනෙකු ඊට පිළිතුරු දුන්නේය. නිදර්ශනයක් වශයෙන් කැකිරාවේ පැවති සාකච්ඡාවේදී නීතිඥ මහතෙකු කතා කරමින් කියා සිටියේ මා කරන ලද විග්‍රහයේ එන එක කරුණක් හැර එනම් කුලය පිළිබඳ කාරණය හැර අන් සියලු දේ පිළිගන්නා බවය. කුලය ලංකාවේ ලොකු ප්‍රශ්නයක් නොවන බව ඔහු කියා සිටියේය. ඊට ප්‍රතිපක්ෂව එහි සිටි විදුහල්පතිවරුන් දෙදෙනෙකු ද කරුණු ඉදිරිපත් කරන ලද අතර කුලභේදයක් තිබෙන බවට එක් අයෙක් සිය පාසල ආශ්‍රයෙන්ද තවත් අයෙක් ගම් ප්‍රදේශවල පවතින තත්ත්වයන් ආශ්‍රයෙන්ද පැහැදිලි කරන ලදි. ඔවුන් දෙදෙනාගේ කතාවලින් පසුව මට ඒ ගැන විශේෂයෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ නැත.
සිංහල වර්ගවාදය
සිංහල බෞද්ධයන් අතර වර්ගභේදවාදය හා ආගම්භේදවාදය ඇති කළ චින්තකයා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලතුමාය. පූර්ව නූතන යුගයේදී කුලභේදවාදයක් තිබුණද වර්ග භේදවාදයක් හෝ ආගම් භේදවාදයක් නොතිබුණි. වර්ගභේදවාදය හා ආගම් භේදවාදය නූතන යුගයේදී සිංහල බෞද්ධයන් අතර ඇති කළ චින්තකයා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලතුමාය. ඔහු සිංහල බෞද්ධයන් අතර ඉතාමත් සුවිශේෂ පිළිගැනීමක් හිමිකරගෙන සිටින පළමු පෙළේ ජාතික වීරයෙකු වුවද ජාතිය ගොඩනැගීම පුනරුද ව්‍යාපාරයේ වැදගත්ම හා ප්‍රමුඛම අරමුණක් වීම නිසා සිංහලයන් අතර තිබෙන වර්ගභේදවාදී හා ආගම් භේදවාදී ආකල්ප නැති කිරීම සඳහා ධර්මපාලතුමාගේ අස්ථානය විවේචනාත්මකව සලකා බැලීම අත්‍යවශ්‍ය කොන්දේසියක් විය.
සියලු ජනවර්ග අතුරින් සිංහලයන් උතුම් වේය කියන අදහස සේ ම සියලුම ඉපැරණි ශිෂ්ටාචාර අතුරින් ලංකාවේ අනුරාධපුර හා පොළොන්නරු ශිෂ්ටාචාරය ශ්‍රේෂ්ඨ වේය කියන අදහස සිංහලයන් තුළ ඇති කර තිබුණේ අනගාරික ධර්මපාලතුමාය. එම කාරණා දෙකම සත්‍ය නොවීය. තමන් සියලු ජනවර්ගවලට වඩා උතුම්ය කියන භේදකාරී හැඟීම සිංහල ජනවර්ගයා තුළ ඇති කිරීමට හේතුවී තිබුණේ එතුමාගේ එම ඉගැන්වීම්ය. සිංහලයන්ගේ පළමු පෙළේ වීරයෙකු ලෙස සැලකෙන අනගාරික ධර්මපාලතුමාගේ අදහස් විවේචනයට ලක් කිරීම හා සිංහල ජනවර්ගය තමන්ගේ අතීතය පිළිබඳව ඇති කරගෙන තිබෙන විශ්වාසයන් විවේචනයට ලක්කිරීම සිංහල අසන්නන්ගේ උනන්දුවට හේතුවූවා මිස ඔවුන්ගේ විරෝධයට හේතු නොවීය.
ගොවීන් අතර තිබෙන දුප්පත්කම හා වී ගොවිතැනට ලබාදී තිබෙන ප්‍රමුඛත්වය අතර තිබෙන අන්තර් සම්බන්ධය ගැනද තුන්වේලටම බත් කන ප්‍රතිපත්තිය මහජන සෞඛ්‍ය කෙරෙහි ඇති කර තිබෙන හානිකර බලපෑම ගැන ද අපි කතා කළෙමු. පිං පව් ප්‍රතිපත්තිය මත වන සතුන්ගේ ගහණය වර්ධනයවීමෙන් කෘෂිකර්මයට සිදුවී තිබෙන හානිය ගැනද අපි කතා කළෙමු. ඒ සමඟ කෘෂිකර්මයට හානි කරන සතුන් දඩයම් කිරීමේ අයිතිය ගොවීන්ට ලබාදීමේ වැදගත්කමත්, දඩයම් කරන සතුන්ගේ මස් ළඟ තබාගැනීමේ, ප්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය මහජනයාට ලබාදීමේ වැදගත්කම ගැනත් අපි කතා කළෙමු. පුනරුද ව්‍යාපාරය පළ කළ එම අදහස් සාම්ප්‍රදායික විරෝධී වුවත් එම අදහස් අසන්නන්ගේ බලවත් උනන්දුවට මිස විරෝධයට හේතුවූයේ නැත. ඉන් පැහැදිලිව පෙනෙන්නේ ග්‍රාමීය ජනයාට හොඳින් කරුණු පැහැදිලි කළ විට සාම්ප්‍රදායික වැරදි විශ්වාසයන් අත්හැරීමට සූදානම් ජනමනසක් ඔවුන්ට තිබෙන බවය.
අප පවත්වා තිබෙන සාකච්ඡා සභාවලින් වැඩි හරියක් පවත්වා ඇත්තේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලය. ඒ මොනම තැනකවත් පුනරුදය පතළ කරමින් තිබෙන නව අදහස් ඔවුන්ගේ පිළිගැනීමට මිස විරෝධයට හේතුවූයේ නැත.
පළමු අදියරයේ අපේක්ෂා
පළමු අදියරයේදී සාකච්ඡා සභා 200ක් පැවැත්වීම අපේ ඉලක්කය විය. මේ වනවිට පවත්වා තිබෙන සාකච්ඡා සභා ගණන 160කට වැඩිය. ඒ ගණනින් සාකච්ඡා සභා ගණන වැඩි ප්‍රමාණයක් සිංහල ප්‍රදේශවලද, තවත් ප්‍රමාණයක් දෙමළ හා මුස්ලිම් ප්‍රදේශවලද විශාල ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශවලද ඊට අඩු ප්‍රමාණයක් නාගරික ප්‍රදේශවලද, ඊට අතිරේකව වෘත්තීයවේදීන්ට, තරුණයන්ට හා කාන්තාවන්ට සීමාවන ආකාරයේ සාකච්ඡා සභා කිහිපයක්ද පවත්වා තිබේ. එහිදී සාකච්ඡා සභා සඳහා අප තෝරාගත් ආකෘතිය වූයේ ලොකු පිරිසකට තියන සාකච්ඡා සභා වෙනුවට 20ත් 50ත් අතර පිරිසකට සීමාවූ සාකච්ඡා සභා පැවැත්වීමය. අප කරන ලද එම සාකච්ඡා සභාවලදී අපේ අය කතා කරන කතාවලට අතිරේකව සහභාගි වන්නන්ටද අදහස් පළකිරීමට ඉඩදෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. අසන්නන්ට පුනරුදයේ මතවාදය කියා දෙන අතර අසන්නන් පළකරන අදහස්වලින් පුනරුදය මතවාදය පෝෂණය කරගැනීම එහි එක් වැදගත් අරමුණක් විය. පුනරුදයේ මතවාදයට ලැබෙන පිළිගැනීමේ තරම තේරුම් ගැනීම එම වැඩසටහනේ තවත් ප්‍රධාන අරමුණක් විය.
ඒ මගින් පුනරුද ව්‍යාපාරයට මහජනයා අතරට යාමට තිබෙන හැකියාවේ තරම තේරුම්ගත හැකිය. පුනරුදය මතවාදයට සාකච්ඡා සභාවලට පැමිණි ජනයා අතර ලැබුණු පිළිගැනීමේ තරම අතිවිශාල වී යැයි කිව හැකිය. සාකච්ඡා සභා සඳහා යන කාලය පැය දෙකක් හෝ ඊට වැඩිවිය හැකි වුවත් සාකච්ඡා සභාවලට සහභාගිවන්නන් සාකච්ඡා සභාව අවසන් වන තෙක් පිටවී නොයන සම්ප්‍රදායයක් හැම තැනකදීම දක්නට ලැබුණි. පුනරුදයේ අදහස් ඔවුන්ගේ බලවත් උනන්දුවට හේතුවන බවද පෙනෙන්නට තිබුණි. සාකච්ඡා සභාවලට සහභාගිවන්නන් අතර මුතු මැණික් වැනි වටිනා විශේෂ මිනිසුන් වේ නම් ඔවුන් හඳුනා ගනිමින් ඔවුන් පුනරුද ව්‍යාපාරයේ අත්තිවාරම සඳහා යොදා ගැනීම එම වැඩසටහනින් අපේක්ෂා කළ තවත් වැදගත් අරමුණක් විය.
ආධාර ලබාදෙන විදේශ සංවිධානයක ආධාරවලින් තොරව ස්වශක්තියෙන් මෙම ගමන යාමට අවශ්‍ය පරිත්‍යාගශීලී වටාපිටාවක් සමාජයේ තිබේද යන්න තේරුම් ගැනීමද එම වැඩසටහනේ තවත් වැදගත් අරමුණක් විය. විදේශ ආධාර සංවිධානයකින් ලබාගන්නා ආධාරවලින් තොරව පුනරුදයට මෙවැනි ලොකු ගමනක් යා නොහැකිය කියන මතය දරන සුළු පිරිසක් අප අතරද සිටියේය. විදේශ ආධාර දෙන සංවිධානයකින් ආධාර ලබාගන්නා තැනකට ගියහොත් ව්‍යාපාරයේ ස්වාධීනත්වය පමණක් නොව පවිත්‍රභාවයද දුර්වල කිරීමට හේතුවී පුනරුද ව්‍යාපාරයද තවත් එන්ජීඕ ව්‍යාපාරයක් බවට පත්විය හැකි නිසා අප ස්වශක්තිය මත විශ්වාසය තබා ක්‍රියාකරන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යායුතු බව අපි එහිදී දරන ලද දැඩි මතය විය. එහිදී අප තෝරාගත් මාර්ගය නිවැරදි බව දැනටත් හොඳින් සනාථ වී තිබෙන්නේ යැයි කිව හැකිය.
අපට මුලදී වැඩ කරන්නට සිදුවූයේ අපේ පොකට්වල තිබෙන සල්ලිවලිනි. එහෙත් ක්‍රමානුකූලව අපේ ආධාරකරුවන් අපට ආධාර කරමින් අපට දරන්නට සිදුවන බර සැහැල්ලු කළේය. සාකච්ඡා සභා සඳහා යන වියදම් දරන ලද්දේ සාකච්ඡා සභා සංවිධානය කරන්නන්ය. සමහරවිට අප ඔවුන් ආරාධනා කළ ප්‍රදේශවලට ගිය පසු අපට අවශ්‍ය කෑම් බීම් පමණක් නොව ඉඳුම් හිටුම්ද දුන්නේය. තවත් සමහරවිට ගමන් ගාස්තුද දුන්නේය. විවිධ අය මුදලින්ද වෙනත් ආකාරවලින්ද ආධාර කළේය. අප යන දුර ගමන්වලදී සමහර අය ඔවුන්ගේ මෝටර් රථවලින් අප රැගෙන යන සංස්කෘතියක් ගොඩනැගුණි. තවත් සමහරෙක් ඔවුන්ගේ විශේෂ ශිල්ප ඥානයෙන් අපට ආධාර කළේය.
මේ දක්වා එන ගමන අපි ආවේ පෝස්ටර්වලින් තොරවය. කටවුට් හා වෙළෙඳ දැන්වීම්වලින් තොරය. ප්‍රවෘත්ති සාකච්ඡාවලින් තොරවය. ආරම්භයේදී අපට වැඩ කරන්නට සිටියේ පුද්ගලයන් ස්වල්ප දෙනෙකු පමණය. මේ වන විට ව්‍යාපාරය හැම අතකටම අතු ඉති විහිදුන එක්තරා ප්‍රමාණයකට විශාල වර්ණවත් මිනිසුන් කිසියම් විශාල ප්‍රමාණයකින් යුතු කිසියම් විශාල ප්‍රමාණයකට විශාල ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්නේයැයි කිව හැකිය. අපි මේ ගමන ආවේ දෙමළ ජනයාට විශාල විනාශයක් ඇති කිරීමට හේතුවූ දීර්ඝ ක්‍රියාදාමයකින් පසුව ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන්ට එරෙහිවද ඔවුන් කෙරෙහි වෛරයක් හා පිළිකුළක් ඇති කිරීමට හේතුවන සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මකවෙමින් තිබෙන අවස්ථාවකදී ඊට එරෙහිව උඩුගම් බලා පිහිනන ව්‍යාපාරයක් වශයෙනි. අපේ එම අස්ථානයද සිංහල මහජනයාගේ ප්‍රසාදයට මිස විරෝධයට හේතු නොවූ බවද කිව යුතුය.
දෙවැනි අදියරය
දැන් අපි ඉන්නේ පුනරුද වැඩසටහනේ පළමු අදියර අවසන් කරමින් සිටින අවස්ථාවකදීය. දැන් අපට පුනරුදය මතවාදය පැතිරවීම සඳහා නිල වෙබ් අඩවියක්ද මුහුණු පොතේ නිල පිටුවක්ද ට්විටර් හස්තයක් තිබෙන්නේය. පුනරුදයේ ආධාරකරුවන්ට සේ ම පුනරුදය ගැන උනන්දුවක් දක්වන්නන්ටද එම ඩිජිටල් සමාජ ජාලාවලට එකතුවිය හැකිය. ශාඛා 200 ඉලක්කය දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඉන්පසු ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් සඳහා දිය හැකි හොඳ ආදර්ශ මාදිලියක් බවට පත්කර ගැනීමට හේතුවන නව ව්‍යවස්ථාවක් ඇතිකර ගනිමින් ව්‍යාපාරයේ සංවිධාන ව්‍යුහය විධිමත් හා ක්‍රමවත් කරගැනීමට බලාපොරොත්තු වෙමු.
දෙවැනි අදියරයේදී අපි දශ ලක්ෂයේ සාමාජික ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරමු. පළමු අදියරයේදී අප කළේ ව්‍යාපාරයේ අත්තිවාරම ශක්තිමත්ව තැනීමය. දෙවැනි අදියරයේදී අපි එම අත්තිවාරම මත පුනරුද ව්‍යාපාරයේ මතු මහල තනා නිමකිරීමට බලාපොරොත්තු වෙමු. අපේ ඉලක්කය දෙවැනි අදියරය අවසන් වනවිට ජාලගත කරන ලද නවීන ලෙසත්, තර්කානුකූල හා සාධාරණ ලෙසත් සිතන මතන හොඳ මිනිසුන් දශ ලක්ෂයක් තැනීමය. එය 20යි 20 තරගයට එකතු වන්නට නොවේ. අව්‍යාජ සමාජ-දේශපාලන විපර්යාසයක් ඇති කිරීම සඳහාය.
වසරක් වැනි කාලයක් තුළ එවැනි ලොකු ඉලක්කයක් සපුරා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. ඒ ඉලක්කය සපුරා ගැනීමට අපට හැකිය. 2018 ජනවාරි වන විට පුනරුද ව්‍යාපාරයට සිටින ආධාරකරුවන්ගේ සංඛ්‍යාව දස දහසක් ලෙස සැලකුවහොත් ඉන් සියයට සියයක් නොව සියයට 25ක් පමණක් මසකට සාමාජිකයන් දෙදෙනෙක් ව්‍යාපාරයට එකතු කර දෙන තැනකට ගියහොත් ඒ ආකාරයට වර්ධනය වන පුනරුද ව්‍යාපාරයේ ආධාරකරුවන්ගෙන් සියයට 25ක් මසකට පුද්ගලයන් දෙදෙනෙකු පුනරුද ව්‍යාපාරයට එකතු කළහොත් හා ඒ ක්‍රියාදාමය අඛණ්ඩව සිදුවුවහොත් 12 වන මාසයේදී පුනරුදය ව්‍යාපාරයේ ආධාරකරුවන්ගේ සංඛ්‍යාව 1297500ක් වනු ඇත. 11 වැනි මාසයේදී එය නතර කළ නොහැක්කේ එම මාසයේ අවසානයේදී ආධාරකරුවන්ගේ සංඛ්‍යාව 865000ක් වන නිසාත් එය අපේක්ෂා කරන ඉලක්කයට වඩා අඩු නිසාත්ය.
පුනරුද ව්‍යාපාරය ජනතාවට තිබෙන පරමාධිපත්‍යය බලය නව්‍ය හා විස්තීර්ණ ආකාරයකින් අභ්‍යාස කරන්නට පටන් ගනු ඇත්තේ තුන්වැනි අදියරයේදීය. එහිදී කළ හැකි සියලු ක්‍රියා එකවිට කරන්නට බලාපොරොත්තුවන්නේ නැත. එය සිදුවනු ඇත්තේ එකකට පසු තවත් එකක් යනාදී වශයෙනි. එහිදී කරන පළමු ක්‍රියාව ජයග්‍රාහී වුවහොත් එම ක්‍රියාව පමණක් පුනරුද ව්‍යාපාරයට තිබෙන මහජන බලය දෙගුණ තෙගුණ කිරීමට හේතුවනු ඇත. අවසානයේ එසේ බිහිවන නූතන සමාජය එය විසින් ගොඩනගන නූතන ජාතියේ අවශ්‍යතාවන්ටද නූතන ලෝකයේ අවශ්‍යතාවන්ට ගැළපෙන වර්ග, කුල හා ආගම් භේදයෙන් තොර බහුත්වවාදී, සාමකාමී ශ්‍රී ලංකා සමාජයක්ද දූෂණයෙන්, අකාර්යක්ෂමතාවෙන් හා අගතියෙන් තොර නවීන ශ්‍රී ලංකා රාජ්‍යයක්ද ගොඩනගනු ඇත. ඒ සියල්ල සිදුකෙරෙනු ඇත්තේ මහජනයාට තිබෙන පරමාධිපත්‍ය බලය අහිංසාවාදී හා නිර්මාණශීලී ආකාරයට අභ්‍යාස කෙරෙන ක්‍රමයක් තුළය. අවශ්‍ය සියලු වෙනස්කම් ඇති කරනු ඇත්තේ පාලකයන් විසින් නොව මහජනයා විසිනි.■