රාවය

ආණ්ඩුවේ කැත මුහුණ

ආණ්ඩුවේ  කැත මුහුණ

ආණ්ඩුව මාසයකට එක් වරක් හෝ දෙවරක් බැගින් තමන්ගේ අසමත්කම පෙන්වීමට කුමක් හෝ කරන බව මීට පෙර ලියා ඇත. ඊට එකතු කළ යුතු තවත් දෙයක් තිබේ. ආණ්ඩුව මාසයකට වරක් හෝ දෙවරක් තමන්ගේ කැත මුහුණ ද යළි යළි පෙන්වමින් සිටින්නේ ය යන්නයි. ඊට අලුත් ම උදාහරණය ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීමයි.
ලංකා ඊනිව්ස් යනු කිසිසේත් මාධ්‍ය ආචාර ධර්ම සුරකින වෙබ් අඩවියක් නොවේ. මාධ්‍ය ලෝකයේ තිබිය හැකි පහත් ම භාවිතාවක් සහිත, ආචාර ධාර්මික නොවන, විශ්වාසවන්ත මූලාශ්‍ර මත රඳා නොපවතින, ඕනෑ ම කෙනකුට තමන් කැමති බොරුවක් අපහසුවකින් තොරව පළ කරවා ගත හැකි, තමන්ට ඒ ඒ මොහොතේ මූල්‍ය ආධාර සපයන්නා වෙනුවෙන් ඕනෑ ම කැත වැඩක් කිරීමට කැපවී සිටින වෙබ් අඩවියකට දැක්විය හැකි හොඳ ම උදාහරණයකි. ඒ හේතුවෙන් ඊනිව්ස් මාධ්‍ය භාවිතය නිසා නිකරුණේ බලවත් අපහසුවටත් අවමානයටත් පත්වූ පිරිස ද සුළුපටු නොවෙති. එහි සංස්කාරකවරයා, තමා රටින් පිටව සිටීම, මෙවැනි පහත් මාධ්‍ය භාවිතයක් සඳහා බලපත්‍රයක්, ආරක්‍ෂාවක් ලැබීමක් සේ සලකන බව පෙනේ. එනිසා, මාධ්‍ය නිදහසේ නාමයෙන් ඊනිව්ස් වැනි මාධ්‍ය අවභාවිතයක් මෘදු වචනවලින් සාධාරණීකරණය යුතු නොවේ.
එහෙත්, එවැනි වෙබ් අඩවියක් වුව ද පාඨකයාට බැලීමට ඇති අයිතිය අවහිර කරන්නට කිසිවකුට අත්තනෝමතික අයිතියක් නැත. කළ හැකි එක ම ක්‍රමය නීතියට අනුව, අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා ය.
ජනවාරි 8 වැනි දා පරාජය කැරුණු රාජපක්‍ෂ පාලනයේ එක් රෝග ලක්‍ෂණයක් වුණේ, තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරන ඕනෑ ම අයකුට අවහිර කිරීමයි. ඒ නිසා ඒ කාලයේ වෙබ් අඩවි සැලකිය යුතු ප්‍රමාණයක් අවහිර කරන ලදි. (එහෙත්, එසේ අවහිර කළ වෙබ්අඩවි ප්‍රොක්සි අඩවි හරහා බැලීමට ජනතාව පුරුදු වී සිටියෝ ය.) රාජපක්‍ෂවරුන්ගේ ඒ හිතුවක්කාර පිළිවෙත, අවසානයේ පාර කැපුවේ ඔවුන්ට හිතුවාටත් වඩා කලින් බලය අතහැර දා ගෙදර යන්නට ය. එහෙම වුණේ, වෙබ් අඩවි අවහිරය, ශීලාචාර සමාජයක සිදු නොවිය යුත්තක් හා ශිෂ්ට පාලකයන් අතින් සිදු නොවිය යුත්තක් හැටියට රටේ මහජනතාව සැලකූ බැවිනි. මහජනතාව එසේ සිතීමේ ප්‍රතිඵය වුණේ වර්තමාන ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එම ධුරවලට පත්වීම ය.
වෙබ් අඩවි වාරණයට විරුද්ධ මහජනතාවකගේ ඡන්දයෙන් ධුරවලට පත්වුණු ජනාධිපතිවරයකුගේත්, අගමැතිවරයකුගේත් පාලන කාලයෙන් අඩක් ගෙවී යන විට යළිත් වෙබ් අඩවි වාරණය වීම, ඉතිහාසය විගඩමක් හැටියට ප්‍රතිනිර්මාණය වීමකි. එහෙත්, මේ නායකයන් දෙපළ සිටින ආණ්ඩුවකින් එවැන්නක් සිදු විය නොහැකි ය. සිදු නොවිය යුතු ය.
එහෙත් එය සිදු වී තිබේ.
ලංකා ඊනිව්ස් අවහිර කිරීම ගැන ඇඟිල්ල දිගු වී ඇත්තේ ජනාධිපතිවරයා වෙත ය. පසුගිය කාලය පුරා ඔහුට එරෙහි ව ඊනිව්ස් වෙබ් අඩවියේ පළ කරන ලද විවිධ දේ නිසා මේ අවහිරය කළ බවට තේරුම් ගන්නට ඕනෑ තරම් සාධක තිබේ. තමාට එරෙහි විවේචන නොඉවසන ගතියක් ජනාධිපතිවරයා දැන් දැන් පෙන්වන බව ද සැලකිල්ලට ගත් කල ඉහත සිතිවිල්ල තවදුරටත් සාධාරණය කෙරෙයි. එහෙත්, ඊනිව්ස් වෙබ් අඩවිය අවහිර කළේ තමා හෝ තමාගේ අනුදැනුමෙන් නොවේ නම්, ඒ බව ප්‍රසිද්ධියේ කියන්නට ජනාධිපතිවරයාට හැකි ය. කවුරු කළත් ඒ අවලස්සන ක්‍රියාවෙන් මුහුණ කැත වන්නේ තමාගේත් තම ආණ්ඩුවේත් බැවින්, වහා ම තමා යටතේ තිබෙන විදුලි සංදේශ නියාමන කොමිසමට මේ අවහිරය ඉවත් කරන ලෙස නිල නියමයක් කිරීමට ද ජනාධිපතිවරයාට හැකි ය.
රටේ මහජනතාව මේ ආණ්ඩුව පත් කර ගත්තේ රාජපක්‍ෂවරුන් මෙන් හැසිරෙන්නට නොවේ.■