රාවය

අනවශ්‍ය දේවල් පෞද්ගලික අංශයට දීලා අත්‍යවශ්‍ය දේවල් රජය කරන්න ඕනෑ |ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

අනවශ්‍ය දේවල් පෞද්ගලික අංශයට දීලා  අත්‍යවශ්‍ය දේවල් රජය කරන්න ඕනෑ |ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

තරිඳු උඩුවරගෙදර

අයවැය ආණ්ඩුව විසින් ඉදිරිපත් කළා. මෙය අලුත් හැරවුමක් විදියට ඇතැමුන් හැඳින්වුවා. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ජවිපෙට තියෙන්නෙ විවේචනයක්. අයවැය ගැන තියෙන විවේචනය මොකක්ද?
එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. රට මුහුණ දෙන සමාජ ආර්ථික අර්බුදයට උත්තර හොයන්නට යන දිශානතිය පැහැදිලිව පෙනෙනවා. 1978 විවෘත ආර්ථිකය ගෙනෙනකොට ඒක හරියට ක්‍රියාත්මක කරන්න ඔවුන්ට බැරිවුණා. ප්‍රධාන හේතුව අපේ රටේ රාජ්‍යය සුභසාධන රාජ්‍යයක් විදියට දීර්ඝකාලීනව හැඩගැසී තිබීම. එහෙම තිබුණු රාජ්‍යය එකවර කණපිට හරවන්න බැරිවුණා. අසූවේ වැඩ වර්ජනය, අසූඅට අසූනවයේ කැරලි නිසා මේක ආපස්සට තල්ලුකළා. ඔවුන් දැන් කියන්නේ හැත්තෑහතේ විවෘත ආර්ථිකය ආරම්භ කළ ගාමක ගමන අඩපණ වෙලා, ඒක වේගවත් කිරීම අපේක්ෂා කරන අයවැයක් මෙවර ඉදිරිපත් කරනවා කියලා. ඉතා පැහැදිලියි මේක විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ගියර් එක මාරුකරලා ඉස්සහරට යන්න ගෙනා අයවැයක්. ජනතාවගෙන් අපට අහන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නය ආර්ථිකයේ මෙවැනි ලිහිල්කරණයක් කරන්න ආණ්ඩුවට ජනවරමක් තියෙනවාද කියලා. මෙයාලා ආවේ විධායක ජනාධිපති ක්‍රමය දැන් අපි පිළිගන්නේ නැහැ, විවෘත ආර්ථිකයේ පීඩාව දැන් අපට දැනිලා තියෙනවා? පෞද්ගලීකරණය පිළිගන්නේ නැහැ කියලා. එහෙම කියලා ජනතාවගෙන් ඡන්දය අරන් ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අයවැය හදනවා.

සයිටම් ප්‍රශ්නය ජයගත් බව වාමාංශික කොටස් හඬනඟන අතරේම ආණ්ඩුව සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලට පෞද්ගලික අංශයේ මැදිහත්වීම ප්‍රතිපත්තියක් විදියට පිළිගන්න බව කියනවා. එතකොට ජයග්‍රහණය මොකක්ද?

සමහරු ඉන්නවා අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි සයිටම් එකයි දෙකම එකට කලවම් කරගෙන. මෙතැන වෙලා තියෙන්නෙ මාපියන්, ශිෂ්‍යයන් සයිටම් එක අහෝසි කරන්නට කළ කැපකිරීම් සාර්ථක වෙමින් සයිටම් ආයතනය අහෝසි කරලා තියෙනවා. ප්‍රතිපත්තිය වෙනස්වෙලා නැහැ. සයිටම් අහෝසි කරන්න මේ තරම් කැපකිරීමක් කරන්න වුණා නම් ප්‍රතිපත්තිය වෙනස් කරන්නට ආණ්ඩුවම ගෙදර යවන්න එපැයි. වෙන උත්තරයක් නෑ.

පෞද්ගලික අංශය සෞඛ්‍ය, අධ්‍යාපන ක්ෂේත්‍රවලට මැදිහත්වීමෙන් ඉන්දියාවේ විශාල ගැටලු ඇතිවෙලා තියෙන බව මේ දිනවල ඉන්දීය සමාජයේ ඇතිවෙන සංවාද දෙස බැලුවාම පෙනෙනවා. එහෙත් නිසි ප්‍රමිතිය, නියාමනය නීතිගත කිරීමෙන් සාධනීය ලෙස පෞද්ගලික අංශය මැදිහත් කරගන්න පුළුවන් නේද? ජවිපෙ ඒකට එකඟ නැත්තේ ඇයි?
දැන් තියෙන යථාර්ථය මොකක්ද. අනෙක් ප්‍රධාන ක්ෂේත්‍රයක් වන ප්‍රවාහනයෙන් උදාහරණයක් ගමු. රජයේ බස් සේවය දූෂිතයි, නාස්තිකාරයි කියලා තමයි පෞද්ගලික බස් සේවය පටන්ගත්තේ. පටන්ගන්නකොට මේවා මනරම්. හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නෙ. රජයේ බස් එක තමයි රෑ දොළහට එකොළහට තියෙන්නෙ. ප්‍රයිවෙට් බස් ගැන පැමිණිලි හැමදාම. සෞඛ්‍ය සේවය ගත්තත් චැනලින් පටන්ගත්තාම මනරම්. මමත් ටියුෂන් හරහා පෞද්ගලික අධ්‍යාපනය ලැබුවා. හැබැයි මම රුපියල් විස්සයි ටියුෂන් පන්තියට ගෙව්වේ. දැන් මිල දෙදාහයි පන්දාහයි. ඒවාට වියදම් නොකර ළමයෙක්ට විභාගය සමත්වෙන්න බැහැ. ඉස්කෝලය නාමමාත්‍රිකයි. ඉස්සර ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තාම වෛද්‍යවරයා නොමිලේ රෝගියාව බලලා, සමහරවිට ගෙදර ඇවිල්ලත් බලලා යනවා. අද දොස්තර මහත්තයාගේ මූණ බලන්න විතරක් 1500යි. ඉන්පස්සෙ වෙනම බිලක් දුන්නාම 3000ක බෙහෙත් ෆාමසියෙන් ගන්න ඕනෑ. සුළු පිරිසක් මේකෙන් පවතිනවා. අතිබහුතරය පීඩාවට පත්වෙනවා.

රජයෙන් නොමිලේ ලබාදෙන ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය ආශ්‍රිත සේවා වැඩිදියුණු කරන්න වියදම් කරන්නේ අඩුවෙන් නේද? සීයට තුනක් සෞඛ්‍යයට සහ සීයට හයක් අධ්‍යාපනයට වෙන් කරන්න මුලින් පොරොන්දු වෙලා හිටියා නේද?
මේ ආණ්ඩුවේ ප්‍රමුඛතාව නාස්තිය, දූෂණයටයි මේ ආණ්ඩුවේ ප්‍රමුඛතාව තියෙන්නෙ. කෝප් කමිටුවේත් ඉන්න නිසා මම දන්නවා රාජ්‍ය ව්‍යාපාරවල තියෙන හොරකම්, නාස්තිය, අකාර්යක්ෂමතාව නතර කළොත් මේ රට දුවන්න පුළුවන්. අනෙක මේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් මෙහෙයවන්නේ ආයතන කිහිපයක්. විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, වරාය, ජල සම්පාදනය, මහාමාර්ග කියන ක්ෂේත්‍ර පහ හැදුවොත් මේ රටේ ආදායම් දියුණු කරන්න පුළුවන්. ඒ ක්ෂේත්‍රවල නිලධාරීන් තමන් කැමති විදියට පඩි වැඩි කරගන්නවා. සමහර ආයතනවල ඉන්නවා ඇමතිවරුන්ට වඩා පඩි ගන්න නිලධාරීන්. මම රාජ්‍ය ආයතන අසූවක විතර කෝප් වාර්තා පහක් පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. ඒ ඔක්කොගේම තියෙන්නේ මේ තත්ත්වය. මේවාට මොකද කරන්නේ කියලා මුදල් අමාත්‍යාංශයෙන් ඇහුවාම අපට කරන්න කිසි දෙයක් නැහැයි කියනවා. ඒ කියන්නේ කිසිම නියාමනයක් නෑ. මෙහෙයවීමක් නෑ. ඉතින් අයාලේ යන රටක් මෙහෙම තිබීම ගැන සතුටුවෙන්න ඕනෑ. යන යන පැත්තට යනවා.

මේ සියල්ල රජය විසින් මෙහෙයවන්න යෑම හොඳ ආර්ථික ප්‍රතිපත්තියක්ද? විශේෂයෙන් රජය නඩත්තු වෙන්නේ ජනතාවගේ බදු මුදලින්. ඉතින් මේ වාමාංශික ප්‍රතිපත්ති යල් පැන ගිය ඒවා නෙවෙයිද?
අපි සියල්ල රජය විසින් මෙහෙයවන්න කියලා කියන්නේ නැහැ. රජය කරන්න ඕනෑ මෙහෙවීමයි. සමහර ව්‍යාපාර රජය පවත්වාගෙන යන්න ඕනෑ නෑ. පවත්වාගෙන යන්නේ පෞද්ගලික අංශය වුණත් ඒක නියාමනය කිරීම රජයේ කාර්යභාරයක්. පෞද්ගලීකරණයේ උපරිමයේ තියෙනවායැයි කියන රටවලත් ශක්තිමත් රාජ්‍ය යන්ත්‍රණයක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් ගෝල්ෆේස් හෝටලය, ක්වීන්ස් හෝටලය පටන්ගත්තේ රජයෙන්. රජය එකල ඒවා කිරීම නිවැරදි වෙන්නේ එකල මේ වගේ ආයෝජන කරන්න තරම් ශක්තිමත් පෞද්ගලික අංශයක් නොතිබුණු හින්දා. හැබැයි අද රජය හෝටල් පටන්ගන්න ඕනෑ නෑ. අද හෝටල් කර්මාන්තයට ආයෝජනය කරන්න ශක්තිමත් ආයෝජකයෝ ඉන්නවා. අද කරන්න ඕනෑ නියාමනයක්. ජවිපෙ ආණ්ඩුවක් ආවාමත් ඉස්කෝල ටික, රෝහල් ටික, හෝටල් ටික, කඩසාප්පු වගේ ඔක්කෝම රජයෙන් පවත්වාගෙන යන්නේ නෑ. ඔක්කෝම රජය කරන්න ඕනෑ කියන එක යල්පැන ගිය අදහසක්. හැබැයි සිද්ධවෙන්නේ මොකක්ද කියලා රජය දැනගෙන ඉන්න ඕනෑ. චීනය, වියට්නාමය ගත්තත් සිදුවෙන්නේ ඒක. අද චීනය විවෘත ආර්ථිකයට ගිහිල්ලා කියලා සමහරු කියනවා. ඒක පට්ටපල් බොරුවක්. ඉඩම් ලබාදීම, ව්‍යාපාරවලට නීතිරීති පැනවීම, බදු තීරණය කිරීම, ව්‍යාපාර ධනපති ක්‍රමය දක්වා ගමන් කිරීම වළක්වමින් ඒවා මෙහෙයවීම කරන්නේ රජය. හැබැයි ජාතික ආරක්ෂාව, බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍ය කියන සේවාවන් අනිවාර්යයෙන් රජය යටතේ තියෙන්න ඕනෑ. ප්ලේටෝ ඇරිස්ටෝටල්ගේ දැනුම මුදල් ඇති අයට මිලට ගන්නත් මුදල් නැති අයට නොගෙන ඉන්නත් කියලා ක්‍රමයක් නෑ. අනවශ්‍ය දේවල් පෞද්ගලික අංශයට දීලා අත්‍යවශ්‍ය දේවල් රජය විසින් කරන්න ඕනෑ.

ජවිපෙට කෝප් කමිටුව ලැබීම හැමෝම අගය කළා. වසර තුනක් වෙද්දී ආණ්ඩුව ඇවිත් තියෙන තැන..
කෝප් කමිටුව ජනතා විමුක්ති පෙරමුණ සභාපතිත්වය ගැනීමෙන් වෙන්න පුළුවන් පුංචි වෙනස හොරු හෙළිදරව් කිරීම විතරයි.
නිශ්චිතවම ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවා. මේකේ බල සංයුතිය හැදිලා තියෙන විදියට මහින්ද රාජපක්ෂව ආරක්ෂා කරන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඕනෑ.

මේ දිනවල ඉල්මහ විරුවන් සමරනවා. ජවිපෙ එදා විප්ලවය සහ අද විප්ලවය දකින්නේ කොහොමද?
මාදිලිය වෙනස්වෙලා තියෙනවා. හැබැයි අරමුණ එකයි. එදා සමාජය මේ තරම් විකෘති වෙලා තිබුණෙ නෑ. අද අධිපරිභෝජනකාරී සමාජයක් ඇතුළේ තරගකාරීත්වය ඇතුළේ මිනිස්සුන්ව හිරකරලා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, වැඩිහිටියන් බලාගැනීම වගේ ප්‍රශ්න ඇතුළේ මිනිස්සුන්ව හෙම්බත් කරලා. දැන් මිනිස්සු සමාජයක් විදියට හිතනවාට වඩා කුටුම්බයක් විදියට හිතන්න අරන්. ඒකෙත් දැන් මිනිස්සු කුටුම්බය ඇතුළේ කාමරවලට වෙන්වෙලා හිතනවා. පුද්ගලයෝ හැටියට. අසූඅටේ තිබුණු වෙනස තමයි, ජයග්‍රහණය දුර වුණත් ඔවුන් සමාජයේ පැවැත්ම ගැන හිතුවා. සාමූහික ක්‍රියාවලියක් විදියට හිතුවා. අද දේශපාලනය වුණත් හම්බකරගන්න රස්සාවක් වෙලා. අද සමාජ ක්‍රියාකාරිකයන්ගේ ලොකු අඩුවක් තියෙනවා. අපි ඉදිරියේ තියෙන අභියෝගය අද හරි ප්‍රබලයි. ගැටලුවලට එදා දුන්න විසඳුම් වගේම එදා අරගලවලට පාවිච්චි කළ උපක්‍රමත් අදට ගැළපෙන්නේ නෑ.■